නැග්ගුවත් , බැස්සුවත්, නිකං තිබුණත් හොඳ කියන, මහ බැංකු පොලිය - ඇලඩින්ගේ උද්ධමන පාලන පහන ද?

ලිපියේ මූලික පසුබිම 

මේ දිනවල මහ බැංකුව විසින් තම පොලිය පහළ දැමීම ආරම්භ කොට ඇත. එය වීර ක්‍රියාවක් ලෙස දස දෙසින් ප්‍රශංසා කෙරේ. මහ බැංකුව සහ එහි මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශ කෙරෙන්නේ, දැනට අර්බුදයට හසු වී, සංකෝචනය සහ බංකොලොත් වී ඇති ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා පොලිය පහළ දමන බව යි. මේ තුළින් බැංකු ණය පොලී අනුපාතයන් ද පහළ ගොස්, ආර්ථිකය පුරා ණය ප්‍රසාරණය දිරි ගැන්වී, නිෂ්පාදනය සහ රැකියා සැපයුම ඉහළ යන බව දැක්වෙයි. ඒ අනුව, පසුගිය මැයි මස 31 දින මහ බැංකු පොලිය 2.5% කින් පහළ දැමීම ආරම්භ කොට, මේ දක්වා අවස්ථා තුනක දී එය 5.5% කින් 10%-11% දක්වා පහළ දමා ඇත. ඉදිරියටත් එසේ කෙරෙන බවට ධනාත්මක අදහස් බොහෝ දැකිය හැකිය. එය හොඳ දෙයක් බව පැවසේ.

මෙසේ මහ බැංකු පොලිය පහළ දැමීමට සිදු වී ඇත්තේ, ඊට පෙර එය අධික ලෙස ඉහළ දමා පැවති බැවිනි. 2022 අප්‍රේල් මස 8 දින එක්වර 7% කින් පොලිය ඉහළ දමන ලදි. එහි දී, මහ බැංකුව සහ එහි මාධ්‍ය ජාලය විසින් දැක්වූයේ, අධිඋද්ධමනය හේතු කොට පල්ලමට වැටෙමින් පවතින ආර්ථිකය තිරිංග දමා නවතා ගැනීමට එසේ කළ බව යි. පසුව පැවසූවේ, ඉහළ පොලී අනුපාතය මගින් ආර්ථිකය තවත් සංකෝචනය කොට උද්ධමනය පාලනය කරන බව යි. බැංකු පොලී අනුපාතයන් ඉහළ ගොස්, බැංකුවල තැන්පතු ඉහළ යාම සහ ණය දීම පහළ යාම තුළින් ආර්ථිකයේ වියදම් පරිමාව පහළ යාම හරහා එය සිදුවන බව දැක්විණ. ඒ අනුව, 2023 මාර්තු මස අවසාන වන විට අවස්ථා හතරක දී මහ බැංකු පොලිය 10% කින් 15.5%-16.5% දක්වා ඉහළ දමන ලදි. එය ද හොඳ දෙයක් බව පැවසින.

මහ බංකුවේ පුරුද්ද වන්නේ තම පොලී අනුපාතය යම් කාලයක් තුළ ක්‍රමයෙන් ඉහළ දැමීමත්, ඊට පසු යම් කාලයක් තුළ එය නැවත ක්‍රමයෙන් පහළ දැමීමත් ය. ඒ අතර තුර වරින් වර පොලී අනුපාතය අහඹු ලෙස වෙනස් නොකිරීම ද තවත් පුරුද්දකි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, එතෙක් පොලී අනුපාතයේ සිදු කරන ලද සමුච්චිත වෙනසට ආර්ථිකය දක්වා ඇති ප්‍රතික්‍රියාවන් කුමක් ද? යන්න නව දත්ත තුළින් හඳුනා ගැනීමට කාලය ගැනීම බව යි. එය ද හොඳ ක්‍රියාවක් බව දැක්වෙයි.

මින් පෙනී යන්නේ, මහ බැංකු පොලිය කලින් කලට කුමන වේගයකින්, ප්‍රමාණයකින් නැංගුව ද, බැස්සුව, නැත්නම් නොවෙනස්ව තබා ගත්ත ද, එය ආර්ථිකයට හොඳ බව මහජනයා වෙත හුවා දක්වන ප්‍රවණතාවක් ඇති බව යි. එය විශ්වාස කෙරෙන සංකල්පීය ආර්ථික මානසිකත්වයක් මහ බැංකු මාධ්‍ය ජාලය විසින් ගොඩ නගා ඇත. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා රටවල මහ බැංකු ආගමික විශ්වාසයක් මෙන් පැතිරී ඇත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ මහ බැංකු පොලිය එසේ කෝකටත් තෛලයක් මෙන් නොවරදින සාර්ව ආර්ථික ඖෂධයක් නොවන බවට ප්‍රයෝගික කරුනු කිහිපයක් ඉදිරිපත් කිරීම යි. අප සියළු දෙනා මුදල් ගනුදෙනු මත රඳා පවතින බැවින් මුදල් ගනුදෙනුවලට අදාළ විවිධ පොලී අනුපාතයන් අප කෙරෙහි බලපානු ඇත. එබැවින්, මහ බැංකු පොලිය අප කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ යථා දැනුමක් ලබා ගැනීම තුළින් අපගේ මුදල් ගනුදෙනු පිළිබඳ වඩා හොඳ තීරණ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ලිපිය ප්‍රධාන වශයෙන් ආර්ථික විද්‍යා ගුරු සහ සිසු පිරිස සහ විද්වතුන්ගේ දැනුම පුළුල් කිරීම ඉලක්ක කොට සැකසී ඇත. එහෙත්, මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන බොහෝ කරුණු ඔවුන් ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් සහ මහ බැංකු ප්‍රකාශනයන්ගෙන් උගත් කරුනුවලට වඩා හාත්පසින් වෙනස් ය. එම වෙනසට හේතුව මෙහි ඉදිරිපත් කෙරෙන බොහෝ කරුණු ප්‍රයෝගික තත්ත්වය මත පදනම් වන බැවිනි. එබැවින්, න්‍යායාත්මක හෝ සම්මතවාදී විභාග ප්‍රශ්නයන්ට සෘජු පිළිතුරු සැපයීම සඳහා මෙම කරුනු යෝග්‍ය නොවිය හැකි වුව ද, සැබෑ ආර්ථික දැනුම වර්ධනයට මෙම කරුණු උපකාරී වනු ඇත.

අප එදිනෙදා මුහුණ දෙන පොලී අනුපාතයන් මොනවා ද?

පොලී අනුපාතය යනු ණය මුදල් ගනුදෙනුවලට අදාළ මිල යි. එනම්, ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී, එම ණය මුදල මුහුණ දෙන අවදානම දැරීම පිණිස ණය හිමියා විසින් අය කරන මුදල් වටිනාකම හෝ මිල යි. එබැවින්, අවදානම ඉහළ යන විට පොලී අනුපාතය ද ඉහළ යන බව සරල කරුනකි. ආර්ථිකයේ විවිධ ණය මුදල් ද, විවිධ පොලී අනුපාතයන් ද පවතින්නේ, විවිධ මට්ටමේ ණය අවදානම් පවතින බැවිනි. 

අප බොහෝ දෙනා තැන්පතු, නිවාස සහ ලීසිං ණය, ණය කාඩ්පත්, භාණ්ඩාගාර බිල්පත් යනාදී ණය ගනුදෙනුවල යෙදෙන බැවින් ඒවාට අදාළ පොලී අනුපාතයන් අපට වැදගත් වෙයි. බොහෝ ව්‍යාපාරිකයන්ට බැංකු අයිරා පොලිය වැදගත් වෙයි. එබැවින්, ආර්ථිකයේ බැංකු, මූල්‍ය ආයතන සහ අසංවිධිත මූල්‍ය අංශය විසින් මහජනයා සමඟ ගනුදෙනු කෙරෙන එවැනි ණය සහ පොලී අනුපාතයන් රාශියක් පවතී.

ණය ගනුදෙනුවල දී ණය හිමියා මෙන්ම ණය ගනුවා ද අවදානම්වලට මුහුණ දෙනු ඇත. ණය හිමියා මුහුණ දෙන අවදානම වනුයේ, නියමිත පරිදි ණය මුදල ආපසු නොලැබිය හැකිවීම යි. ණය ගනුවා මුහුණ දෙන අවදානම වනුයේ, නියමිත පරිදි ණය මුදල ආපසු ගෙවීමට අපේක්ෂා කෙරෙන අරමුදල් මූලයන් අහිමිවිය හැකිවීම යි. වර්තමානයේ ශ්‍රී ලංකා රජය මෙන්ම බොහෝ ණය කරුවන් මෙම අවදානමට මුහුණ දී ඇති අතර සමහර ණය පැහැර හැරීම ද සිදු වී ඇත. එබැවින්, ඉහළ පොලිය යනු ඉහළ අවදානම බවත්, අවදානම් අඩු බවට සැලකෙන ණය පවා අනාගතයේ දී පැහැර හැරීමට ලක්විය හැකි බවත් අප සිහියේ තබා ගත යුතුය.

අප බොහෝ දෙනා සලකන්නේ බැංකු තැන්පතුවල අවදානමක් නොමැති බව යි. එය නිවැරදි නොවේ. බැංකු තැන්පතු සඳහා ද පොලී අනුපාතයක් පවතින අතර එය විවිධ තැන්පතු සහ බැංකු අතර අඩු වැඩි වෙයි. බැංකු විසින් ලබා දී ඇති ණය සහ ආයෝජන ආපසු නොලැබී යන විට, තැන්පතු ආපසු ගෙවීමට බැංකුවලට නොහැකි වනු ඇත. මහ බැංකුව විසින් බැංකු තැන්පතු සඳහා අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ මෙම තැන්පතු අවදානම ආවරණය කිරීම ය.

අප කිසිවෙකු සමඟ මහ බැංකුව ණය ගනුදෙනු නොකෙරේ. එබැවින්, මහ බැංකු පොලී අනුපාතය අපට වැදගත් නොවේ. එහෙත්, බැංකු සහ මූල්‍ය ආයතන සමඟ අප කරන ණය ගනුදෙනුවල පොලී අනුපාතයන් වෙනස් වන විට, ඊට හේතුව ලෙස ඔවුන් බොහෝ විට දක්වන්නේ මහ බැංකු පොලිය වෙනස් වීම යි. එසේම, මහ බැංකුව ද වරින් වර තම පොලිය වෙනස් කරන විට, බැංකු පොලී අනුපාතයන් ද ඒ අනුව වෙනස් විය යුතු බව තරයේ ප්‍රකාශ කොට සිටී.

එහෙත්, බැංකු ණය අපට දෙන්නේ හෝ අප බැංකුවල මුදල් තැන්පත් කරන්නේ, පොලී ගෙවීම මත මහ බැංකුවෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේ නම්, මහ බැංකු පොලිය වෙනස් වන විට, ආර්ථිකයේ අනෙක් පොලී අනුපාතයන් වෙනස් වන්නේ ඇයි ද? යන්න ප්‍රෙහෙලිකාවකි.  එය විසඳා ගැනීම සඳහා මහ බැංකු පොලිය යනු කුමක් ද? යන්න නිසි අවබෝධයක් ලබා ගත යුතුය.

මහ බැංකු පොලී අනුපාතය යනු කුමක් ද?

මහ බැංකු පොලී අනුපාතය යනු මුදල් මුද්‍රණය කිරීමේ දී මහ බැංකුව යොදා ගන්නා පොලිය යි. එනම්, මහ බැංකුව විසින් ණය දීමේ දී සහ ණය ගැනීමේ දී අදාළ පොලිය යි. එම ණය ගනුදෙනු බැංකු සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ සමාගම් සමඟ එක් දින පරිණත කාලයක් සඳහා සිදු කෙරේ.

ඒ අනුව, මහ බැංකු පොලී අනුපාත දෙකක් පවතී. එක් දින ණය දීමේ දී අය කෙරෙන පොලිය නිත්‍ය ණය පහසුකම් අනුපාතය ලෙස හැඳින්වෙයි. එම ණය රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා ගෙන ලබා දෙයි. මහ බැංකුව විසින් එක් දින ණය ගැනීමේ හෙවත් තැන්පතු භාර ගැනීමේ දී ගෙවන පොලිය නිත්‍ය ණය පහසුකම් අනුපාතය ලෙස හැඳින්වෙයි. ඒ සඳහා ඇප සුරැකුම් අවශ්‍ය නැත. වර්තමානයේ මෙම ණය පොලී අනුපාතය 11% ක් ද, තැන්පතු පොලී අනුපාතය 10% ක් ද වෙයි.

එබැවින්, මෙම ණය ගනුදෙනුවල දී මහ බැංකුව විසින් 1% ක ක්ෂණික මුදල් මුද්‍රණ ලාභයක් ලබ යි. මහ බැංකුව ණය දෙන්නේ බාහිර මුලාශ්‍රයන් හරහා මුදල් රැස් කරගෙන නොව, නව මුදල් මුද්‍රණය කිරීමෙනි. ඒ සඳහා පිරිවැයක් නොමැති අතර එය හුදෙක් පරිගණක ගිණුම්වල ඉලක්කම් නිර්මාණය හරහා සිදු වෙයි. මහ බැංකුව භාර ගන්නා තැන්පතු යනු එසේ මුද්‍රණය කොට ඇති මුදල්වලින් ආපසු ලබා ගන්නා කොටසකි. ඒ සඳහා පොලී ගෙවන්නේ ද මුදල් මුද්‍රණය මගිනි. ණය දීමේ දී අය කරන පොලිය ද මුද්‍රණය හරහා දැනටමත් නිකුත් කොට ඇති මුදල්වලින් ආපසු ලබා ගන්නා මුදල් ප්‍රමාණයකි.

මෙම මහ බැංකු පොලී අනුපාතයන් දෙක ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ලෙස ද, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව ලෙස ද හැඳින්වෙයි. එහි හුදු සංකල්පීය අරමුණ වනුයේ, අන්තර් බැංකු ණය වෙළෙඳපොළේ එක් දින පොලී අනුපාතයන්ගේ විචලනය ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවට සීමා කිරීම යි. එනම්, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතයන් මෙම ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ ස්ථායිකරණය කිරීම යි.

එය දෙයාකාරයකින් සිදුවෙයි.

  • පළමුව, අරමුදල් හිඟ බැංකුවකට මහ බැංකු ණය පොලී අනුපාතයට වඩා ඉහළ පොලියකට වෙනත් බැංකුවකින් එදිනෙදා ණය ගැනීමට අවශ්‍ය නොවේ. ඊට හේතුව, මහ බැංකු ණය පොලී අනුපාතයට ඕනෑ ප්‍රමාණයක දෛනික ණය මහ බැංකුවෙන් ලබා ගත හැකි බැවිනි.

  • දෙවනුව, අතිරික්ත දෛනික අරමුදල් ඇති බැංකුවකට මහ බැංකු තැන්පතු පොලී අනුපාතයට වඩා පහළ පොලියකට වෙනත් බැංකුවකට දෛනික ණය ලබාදීම අවශ්‍ය නොවේ. ඊට හේතුව, මහ බැංකු තැන්පතු පොලී අනුපාතයට ඕනෑ ප්‍රමාණයක අරමුදල් මහ බැංකුවේ තැන්පත් කළ හැකි බැවිනි.

එබැවින්, අන්තර් බැංකු ණය වෙළෙඳපොළේ ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවෙන් පිටත පොලී අනුපාතයන් මත දෛනික ණය ගනුදෙනු කිරීමට කිසිම බැංකුවකට අවශ්‍ය නොවේ. එය ඉතා සරල මූල්‍ය කරුණකි. 

විනිමය අනුපාත කොරිඩෝව හරහා මහ බැංකුව උත්සාහ කරන්නේ ද මෙවැනි දෙයකි. එනම්, කොරිඩෝවක් තුළ විනිමය අනුපාතය පාලනය කිරීම යි. එහෙත්, එය නිරන්තරයෙන් අසාර්ථක වෙයි. ඊට හේතුව, විනිමය අනුපාත කොරිඩෝව පවත්වා ගැනීමට අවශ්‍ය ඩොලර් මුදල් මුද්‍රණය කළ නොහැකි බැවිනි. එබැවින්, මහ බැංකුවේ ඩොලර් සංචිතය දිය වී යන විට, විනිමය අනුපාතය කොරිඩෝව අක්‍රීය වනු ඇත. වත්මන් ශ්‍රී ලංකා අර්බුදයේ ප්‍රධාන මූලය එය යි. එහෙත්, පොලී අනුපාත කොරිඩෝව පවත්වා ගැනීමට මහ බැංකුවට හැකි වන්නේ, ඊට අවශ්‍ය ප්‍රමාණයට නිදහසේ මුදල් මුද්‍රණය කළ හැකි බැවිනි.

සමස්තයක් ලෙස ගත් විට, මහ බැංකු පොලී අනුපාතයන් යනු රජය විසින් තමාට මනාප පරිදි නිෂ්පාදනය කොට අළෙවි කළ හැකි භාණ්ඩයක පාලන මිල ගණන් දෙකකි. මෙහි නිෂ්පාදනය යනු මුදල් මුද්‍රණය යි. මහ බැංකු පොලී අනුපාතය ඕනෑම මට්ටමක පවත්වා ගැනීමට සරිලන ලෙස මුදල් මුද්‍රණය කොට වෙළෙඳාම් කිරීමට මහ බැංකුවට හැකියාව පවතී. එහෙත්, රජය විසින් වෙනත් භාණ්ඩ හා සේවා මිල ගණන් නියම කොට පාලනය කිරීමට උත්සාහ කළ ද, එම මිල ගණන් ක්‍රියාත්මක නොවේ. ඊට හේතුව, එම භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ අතිරික්තයක් හෝ හිඟයක් ඇති නොවන පරිදි වෙළෙඳාම් කිරීමට රජයට හැකියාවක් නොමැති බැවිනි. එහි ප්‍රතිඵලය කළුකඩයක් හට ගැනීම යි. එබැවින්, නිදහසේ මුදල් මුද්‍රණය තුළින් මහ බැංකු පොලී අනුපාතය තීරණය කොට පවත්වා ගෙන යාම විශේෂඥ වීර ක්‍රියාවක් නොවේ.

එහෙත්, වර්තමානයේ මහ බැංකු පොලිය පාලිත මිලක් ලෙස ක්‍රියාත්මකවීම දුර්වල වී ඇත. ඊට හේතුව, මෙම මිල ගණන් යටතේ කෙරෙන මුදල් ගනුදෙනු සලාක කිරීම යි. එනම්,

  • දෛනික තැන්පතු පහසුකම ඕනෑම බැංකුවකට මාසයකට උපරිම දින 5 ක් පමණක් ලබා දීම.

  • දෛනික ණය පහසුකම ඕනෑම බැංකුවක් සඳහා බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය මෙන් උපරිම 90% ක් ලබා දීම.

ඒ අනුව, පොලී අනුපාත කොරිඩෝව මූලධර්මය බිඳී ගොස් ඇති අතර මුදල් කළු කඩයක් පැවතිය යුතුය.

ආර්ථිකයේ අනෙක් පොලී අනුපාතයන් කෙරෙහි සෘජු බලපෑමක් කිරීමට මහ බැංකු පොලී අනුපාතයට හැකියාව තිබේ ද?

නූතන මූල්‍ය සහ ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව බැලූ විට, මහ බැංකුව පවසන තරම් විශාල බලපෑමක් නොව,  සීමිත බලපෑමක් පවතී. ඊට හේතු කිහිපයකි. ඊට හේතු කිහිපයකි. 

  • පළමුව, මහ බැංකු පොලී අනුපාතයන් යනු කිසිම ණය අවදානමකට මුහුණ නොදෙන මහ බැංකු ණය ගනුදෙනු සඳහා අදාළ පොලී අනුපාතයන් ය. එහෙත්, ආර්ථිකයේ බැංකු ඇතුළු අනෙක් සියළු පොලී අනුපාතයන් විවිධ අවදානම් සහිත ණය ගනුදෙනු සඳහා වන පොලී අනුපාතයන් වෙයි. එම අවදානම් තීරණය වන්නේ ආර්ථිකයේ පවතින නිෂ්පාදන සහ ආදායම් තත්ත්වය මත ය. උදාහරණ ලෙස ආර්ථික අර්බුදය හේතු කොට වත්මන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු ඉතා අවදානම්කාරී වෙයි. එබැවින්, ණයවල අවදානම් වෙනස් නොවී, පොලී අනුපාතයන් වෙනස් කළ නොහැක. එබැවින්, අවදානම් රහිත මහ බැංකු පොලී අනුපාතයට, ආර්ථිකයේ ණයවල අවදානම් වෙනස් කළ හැකි බවට සාක්ෂි නොමැත.

  • දෙවනුව, බැංකු විසින් මහ බැංකුව සමඟ දෛනික ණය ගනුදෙනු කරන්නේ, බැංකු ව්‍යාපාරික කටයුතුවල දී හට ගන්නා ඉතා කෙටිකාලීන අරමුදල් අසමතුලිතතාවන් නිරාකරණය කර ගැනීමේ එක් ඉක්මන් මූලයක් ලෙස මිස, ණය දීම සඳහා මහ බැංකුවෙන් අරමුදල් සපයා ගැනීමට නොවේ. ණය දීම සඳහා බැංකුවලට බාහිර අරමුදල් අවශ්‍ය නොවේ. ඊට හේතුව, බැංකු විසින් ගිණුම් සටහන් මගින් ණය දෙන බැවිනි. මෙය ණය මැවීම ලෙස දැක්වෙයි. තැන්පතු යනු ණය මැවීමේ අතුරු ඵලයකි. එබැවින්, බැංකු විසින් හුදෙක් තැන්පතු රැස් කිරීම මගින් ණය ලබා දෙන බවට දැක්වෙන අදහස සාවද්‍ය වෙයි. ඒ අනුව, ණය සහ තැන්පතු ක්‍රියාවලියේ හට ගන්නා අසමතුලිතතාවන් ආවරණය කිරීම සඳහා බැංකු විසින් තම අරමුදල්/ද්‍රවශීලතාවය කළමනාකරණය කරන අතර එහි දී මහ බැංකුව සමඟ ද ගනුදෙනු කෙරේ. එනම්, අරමුදල් හිඟ අවස්ථාවල දී ණය ගැනීම සහ අතිරික්ත අරමුදල් මහ බැංකුවේ තැන්පත් කිරීම යි.

  • තෙවනුව, මහ බැංකුව සමඟ කෙරෙන ණය ගනුදෙනු ප්‍රමාණය සහ පොලී පිරිවැය බැංකුවල සමස්ත අරමුදල්වලින් ඉතා සුළු කොටසකි. එය, බැංකුවල අරමුදල් පිරිවැය සහ එමගින් බැංකු පොලී අනුපාතයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.

  • සිවුවනුව, මුදල් මුද්‍රණය හෙවත් මහ බැංකුව විසින් ණය මැවීම ආර්ථිකයේ සමස්ත ණය සහ මුදල් සංසරණයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. ඊට හේතුව, ආර්ථිකයේ බහුතර ණය සහ මුදල් මැවීම පෞද්ගලික බැංකු සහ මූල්‍ය පද්ධතිය විසින් සිදු කෙරෙන බැවිනි. එහි දී, මුද්‍රිත මුදල් හුදෙක් ආරක්ෂක සංචිතයක් ලෙස භාවිතා කෙරේ. එබැවින්, ආර්ථිකයේ මුදල් මැවීම ප්‍රධාන වශයෙන් ණය ඉල්ලුම සහ අවදානම් මත තීරණය වන අතර මුදල් මුද්‍රණය එතරම් වැදගත් සාධකයක් නොවේ. ඒ අනුව, ආර්ථිකයේ ණය සහ මුදල් මැවීමේ හැකියාව සහ ප්‍රමාණය මුදල් මුද්‍රණය මත තීරණය වන බවට දැක්වෙන අදහස (මුදල් ගුණක න්‍යාය) පැරණි සාවද්‍ය මතයකි.

එබැවින්, මහ බැංකු පොලී අනුපාතය වෙනස් වූ පමණින් ආර්ථිකයේ පවතින ව්‍යාපාරික තත්ත්වයන් තුළ බැංකු විසින් තම පොලී අනුපාතයන් වෙනස් කිරීමට ඉදිරිපත් නොවේ. එහෙත්, බැංකු පොලී අනුපාතයන් යම් දුරකට වෙනස්වීම සාමාන්‍යයෙන් දැකිය හැකිය. ඊට ප්‍රධාන හේතු දෙකකි.

  • පළමුව, මහ බැංකුව විසින් විධානයන් සහ මාර්ගෝපදේශයන් බැංකු වෙත නිකුත් කිරීම හරහා බැංකු පොලී අනුපාතයන් මහ බැංකුවට මනාප මට්ටමට බලෙන් වෙනස් කරවීමට ක්‍රියා කිරීම. උදාහරණ ලෙස මෙවර මහ බැංකු පොලී අනුපාතය 4.5% ක් පහළ දැමීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාතයන් පහළ හෙළන ලෙස නියෝගයක් නිකුත් කොට ඇත. එසේම, මීට පෙර 2022 අප්‍රේල් 8 දින සිට මහ බැංකු පොලී අනුපාතය ඉහළ දැමීමේ දී ද, බැංකු පොලී අනුපාතයන් ඉහළ හෙළන ලෙස මහ බැංකුව විසින් බැංකුවලට නියම කරන ලදි. මහ බැංකුව යනු බැංකු නියාමකයා බැවින් මහ බැංකුව විසින් පැනවිය හැකි විවිධාකාර දඬුවම්වලින් බේරී සිටීම සඳහා මහ බැංකුවේ පොලී අනුපාත නියෝගයන් පිළිපැදීමට බැංකුවල සාමාන්‍ය පෙළඹීමක් දැකිය හැකිය.

  • දෙවනුව, මුදල් වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත පදනම් වී බැංකු විසින් කෙටිකාලීන පොලී අනුපාතයන් වෙනස් කිරීමේ පුරුද්දක් පැවතීම. ඊට හේතුව, මහ බැංකු පොලී අනුපාතයේ වෙනස්වීම් හරහා බැංකුවල දෛනික අරමුදල්/ද්‍රවශීලතාවය කළමනාකරණයේ පිරිවැය වෙනස්වීමත්, බැංකු මුදල් වෙළෙඳුන් විසින් මහ බැංකු පොලී අනුපාතය පදනම් කරගෙන තොග මුදල් වෙළෙඳ ලාභයන් ලැබීමට ක්‍රියා කිරීමත් ය.

  • තෙවනුව, මහ බැංකුවේ දෛනික ණය සහ තැන්පතු ගනුදෙනුවලට අමතරව මහ බැංකුව විසින් කෙටි සහ දිගුකාලීන පදනමක් මත බැංකු සමඟ ණය ගනුදෙනු කිරීම. එම ගනුදෙනු මගින් මුදල් වෙළෙඳපොළෙහි අරමුදල් ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වයන් වෙනස් කිරීම තුළින් මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් කෙරෙහි යම් පමණකට බලපානු ඇත. මෙම ගනුදෙනු මහ බැංකු විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ලෙස හැඳින්වෙයි. මෙවැනි ගනුදෙනු කිහිපයක් දැකිය හැකිය.
    • පළමුව, මහ බැංකුව විසින් ද්විතීය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීමේ සහ විකිණීමේ වෙන්දේසි හරහා මුදල් වෙළෙඳපොළේ අරමුදල් සැපයුම වෙනස් කිරීම. උදාහරණ ලෙස මේ දිනවල මහ බැංකුව විසින් දෛනික, දින 7 සහ දින 14 වැනි කාලයන් සඳහා නව අරමුදල් (ප්‍රති විකුණුම්) බැංකු වෙළෙඳපොළට නිකුත් කිරීමත්, එමගින්, කෙටිකාලීන පොලී අනුපාතයන් පහළ යාමේ යම් නැඹුරුවක් පැවතීමත් දැකිය හැකිය.
    • දෙවනුව, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම මගින් බැංකු පද්ධතිය වෙත ඇති නිදහස් මුදල් සංචිත ප්‍රමාණය වෙනස් කිරීම. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු බැංකු විසින් තම තැන්පතු වගකීම්වලින් මහ බැංකුවේ තැබිය  යුතු අරමුදල් ප්‍රතිශතය යි. එය මෑත දී, 2% දක්වා 2% කින් පහළ දැමු අතර එමගින් රුපියල් බිලියන 200 ක පමණ අරමුදල් බැංකු පද්ධතිය වෙත නිදහස් කෙරෙන ලදි.
    • තෙවනුව, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත දිනය තුළ ආපසු ගෙවීම සඳහා පොලී රහිත ණය බැංකු වෙත සීමාවකින් තොරව සැපයීම. මෙය කෙටි අතමාරු ණය ලෙස දැක්විය හැකිය.
    • සිවුවනුව, මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළ වෙන්දේසිවලින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා මුදල් මුද්‍රණය කිරීම සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් පාලනය කිරීම. මේ මගින් බැංකු/මුදල් වෙළෙඳපොළෙහි අරමුදල් සැපයුම වෙනස් වීමත්, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් වෙනස් වීමත් හේතු කොට බැංකු කෙටිකාලීන පොළී අනුපාතයන් වෙනස් වීමට හැකියාව පවතී.

එබැවින්, යම් යම් බැංකු පොලී අනුපාතයන් වෙනස්වීම හුදෙක් ප්‍රතිපත්ති පොලී අනුපාතයන්හි ප්‍රතිඵලයක් නොවේ. එය, ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රියාකාරකම්වලින් පරිබාහිර වූ මහ බැංකුවේ අත්තනෝමතික මුදල් මුද්‍රණයේ සහ බැංකු නියාමනය ද,  සමකාලීන ආර්ථික පරිසරය සහ අපේක්ෂණයන් ද මත රඳා පවතී. 

මහ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිවල අරමුණ කුමක් ද?

මේ පිළිබඳ ව මහ බැංකුව විසින් පැරණි සංකල්පයක් ඉදිරිපත් කෙරේ. එනම්, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයේ අරමුණ වනුයේ ආර්ථිකයේ උද්ධමනය යම් ඉලක්ක මට්ටමක පාලනය කිරීම හෙවත් මිල ස්ථායිතාවය පවත්වා ගැනීම බව යි. ශ්‍රී ලංකාවේ වත්මන් උද්ධමන ඉලක්කය 5% ක් වෙයි. එසේ උද්ධමන පාලනය මහ බැංකු පොලිය වෙනස් කිරීමට ප්‍රතිචාර ලෙස කාලයක් පුරා හට ගන්නා සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වෙයි.

  • පළමුව, දෛනික අන්තර් බැංකු පොලී අනුපාතය වෙනස්වීම.

  • දෙවනුව, බැංකු තැන්පතු සහ ණය පොලී අනුපාතයන් වෙනස්වීම.

  • තෙවනුව, බැංකු ණය/මුදල් මැවීම/ප්‍රසාරණය වෙනස්වීම.

  • සිවුවනුව, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම (පරිභෝජනය සහ ආයෝජනය) වෙනස්වීම.

  • පස්වනුව, සමස්ත ඉල්ලුම වෙනස්වීම තුළින් ආර්ථිකයේ පොදු මිල මට්ටමේ වෙනස්වීම හෙවත් උද්ධමනය වෙනස්වීම.

මෙම සිද්ධි මාලාව මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ලෙස හැඳින්වෙයි. මහ බැංකු පොලී/මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරය ලෙස ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථවල විචිත්‍ර ලෙස ඉදිරිපත් කෙරෙන්නේත්, ගුරුවරු සහ සිසුන් කටපාඩම් කරන්නේත්, මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් සංදර්ශනය කෙරෙන්නේත් මෙය යි. එබැවින්, ආර්ථිකයේ උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා ඉහළ යන විට මහ බැංකු පොලී අනුපාතය ඉහළ දැමීමත්, එය ඉලක්ක මට්ටමට වඩා පහළ යන විට මහ බැංකු පොලී අනුපාතය පහළ දැමීමත් මහ බැංකුවේ පුරුද්ද වී ඇත. මහ බැංකුව සහ එහි මාධ්‍ය ජාලය පවසන්නේ, මෙසේ ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගැනීම තුළින් ආර්ථිකයේ නිෂ්පාදන සහ වර්ධන ක්‍රියාකාරකම් කෙරෙහි හිතකර පරිසරයක් ඇති කෙරෙන බව යි. එබැවින්, ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගැනීම මහ බැංකුවේ ප්‍රධාන අරමුණ බවට මතවාදයක් ජනගත කොට ඇත. 

ඒ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත තීරණය ප්‍රසිද්ධ කෙරෙන පුවත්පත් දැන්වීමෙහි, එසේ පොලී අනුපාතය තීරණය කිරීමට පාදක වූ ආර්ථිකයේ උද්ධමන පසුබිම සහ විවිධ අංශවල මෑත කාලීන ප්‍රගතිය සහ ඉදිරි අපේක්ෂාවන් පිළිබඳ නොයෙකුත් මතුපිට සංඛාවන් සහ තොරතුරු ඉදිරිපත් කෙරේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතය තීරණය කිරීමට එම තොරතුරු පාදක වී ඇති ආකාරය තේරුම් ගැනීමට දේව සහය පැතිය යුතුය. ඊට හේතුව, ඒවා මහ බැංකු පොලී අනුපාතයට සම්බන්ධ වන ආකාරය මිනිස් මනසින් සිතා ගත නොහැකි බැවිනි.

උද්ධමනය පාලනය කිරීමට මහ බැංකු පොලී අනුපාතයට හැකියාව තිබේ ද?

එවැනි හැකියාවක් ඇති බවට කිසිම ආර්ථික පර්යේෂණ දත්ත නොමැත. එනම්, ඉහත දැක්වූ පැරණි මූල්‍ය සම්ප්‍රේෂණ සංකල්පය සැබෑ ලොව දත්ත මගින් තහවුරු කොට නොමැත. උද්ධමන පාලන මහ බැංකු සංකල්පයේ ප්‍රයෝගිකත්වය ප්‍රශ්න කෙරෙන මූලික කරුණු කිහියක් දැක්විය හැකිය.

  • පළමුව, ඉහත සංකල්පය අනුව මහ බැංකුව විශ්වාස කරන්නේ පොලී අනුපාතයේ වෙනස් කිරීමක් ආර්ථිකයේ මිල මට්ටම කෙරෙහි බලපෑම සඳහා මාස 12-18 ක පමණ කාල පමාවක් ගත වන බව යි. එහෙත්, ආර්ථිකයක අනිකුත් සාධකයන් එතරම් කාලයක් නොවෙනස්ව නොපවතින බැවින් මහ බැංකු පොලී අනුපාතය වෙනස්වීමේ බලපෑම කොපමණ ද? කියා වෙන් කොට හඳුනා ගැනීමේ ගණිතමය හෝ ආර්ථික විද්‍යා ක්‍රමවේදයක් නොමැත. එබැවින්, උද්ධමන පාලනයට හිතකර වූ ආර්ථිකයේ සියළු සාධක මහ බැංකු පොලී අනුපාතය ප්‍රසංශා කිරීමට යොදා ගැනේ.

  • දෙවනුව, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ දෛනික අන්තර් බැංකු වෙළෙඳපොළ පොලී අනුපාතය පාලනය කළ පමණින්, එය මහ බැංකුව කියන පරිදි අවසානයේ ආර්ථිකයේ මූර්ත ඉල්ලුම සහ මිල මට්ටම කෙරෙහි බලපාන බව ප්‍රකාශ කිරීම අතිශෝක්තියකි.

  • තෙවනුව, ආර්ථිකයේ මිල ගණන් හෝ පොදු මිල මට්ටම යනු වෙළෙඳපොළ පද්ධතියේ (සාධක සහ භාණ්ඩ හා සේවා) ප්‍රතිඵලයකි. ඊට අදාළ විවිධ වෙළෙඳපොළ ඉල්ලුම් සහ සැපයුම් සාධකයන් පාලනය කිරීමට මහ බැංකු පොලී අනුපාතයට හැකියාවක් නොමැත. උදාහරණ ලෙස බොහෝ රටවල මිල ගණන් සහ උද්ධමනය ඉහළ යාමට හේතුව ලෝක වෙළෙඳපොළේ ඉන්දන මිල ගණන් ඉහළ යාම වන අතර එය පාලනය කිරීමට මහ බැංකු පොලී අනුපාතයට හැකියාවක් නොමැත. ඉන්දන යනු පදනම් අමුද්‍රව්‍යයක් වන බැවින් ඉන්දන මිල පහළ යන තෙක් උද්ධමනය පීඩනය අඛණ්ඩව පවතී.

  • සිවුවනුව, උද්ධමනය යනු කාලයක් තුළ සමස්ත ඉල්ලුම සහ සැපයුමේ අසමතුලිතතාවයන් හේතු කොට පොදු මිල මට්ටමේ සිදුවන ඉහළ යාම ලෙස ආර්ථික විද්‍යාවේ දැක්වෙන සංකල්පයකි. එහෙත්, එය මැනීම සඳහා ක්‍රමවේදයක් මහ බැංකුවට නොමැත. එබැවින්, මහ බැංකුව විසින් පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ඉහළ යාම උද්ධමනය ලෙස සලකා, ඒ අනුව මහ බැංකු පොලී අනුපාතය වෙනස් කෙරේ. එබැවින්, පාරිභෝගික මිල දර්ශකය යනු සාවද්‍ය උද්ධමන මිනුමකි.

  • පස්වනුව, උද්ධමන මට්ටම අනුව පොලී අනුපාතය වෙනස් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීමට පිළිගත් ක්‍රමවේදයක් හෝ මූලධර්මයන් නොමැත. එබැවින්, මහ බැංකුව විසින් සිදු කරනු ලබන්නේ තම පොලී අනුපාතය කාලයක් පුරා ටිකින් ටික වෙනස් කරමින් උද්ධමන ඉලක්කමට කුමක් වන්නේ ද? යන්න බලා සිටීම යි. එසේ පොලී අනුපාතය වෙනස් කිරීම වසර ගණනාවක් පුරා ව්‍යාප්ත වෙයි. එබැවින්, මහ බැංකු පොලී අනුපාතය යනු අතිඅත්තනෝමතික ඉලක්කමකි. පෙර ප්‍රකාශ කළ පරිදි සීමාවකින් සහ පිරිවැයකින් තොරව මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට හැකියාව පවතින බැවින් එම පොලී අනුපාතය පවත්වා ගැනීමේ හැකියාව මහ බැංකුවට තිබේ.

  • සයවනුව, මහ බැංකු පොලී අනුපාතය  සහ මහ බැංකුවේ වෙනත් මැදිහත්වීම් අනුව සමහර බැංකු පොලී අනුපාතයන් වෙනස් විය හැකි වුව ද, ඒ අනුවම ආර්ථිකයේ ණය පරිමාව වෙනස් වන බව කිව නොහැකිය. ඊට හේතුව, මහ බැංකු පොලී අනුපාතයට අනුව ණයවල අවදානම සහ ඉල්ලුම වෙනස් නොවන බැවිනි. කිසිම ආර්ථික/නිෂ්පාදන ක්‍රියාකාරකමක් පොලී අනුපාතයන්ට දක්වන සංවේදීතාවය පිළිබඳ ඇස්තමේන්තු මහ බැංකුව සතුව නොමැත.

  • සත්වනුව, පොලී අනුපාතයන් යනු නූතන මුදල් ආර්ථිකයන්හි නිෂ්පාදන පිරිවැයෙහි ප්‍රධාන කොටසක් වන බැවින් පොලී අනුපාතයන් වෙනස්වීම තුළින් ආර්ථිකයේ විවිධ අතුරුඵලයන් හට ගත හැකිය. උදාහරණ ලෙස කාලයක් පුරා පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට මිල ගණන් ඉහළ යාම, නිෂ්පාදනය පහළ යාම සහ සේවා වියුක්තිය ඉහළ යාම අත්දැක ඇත. වර්තමානයේ රාජ්‍ය අංශය බංකොලොත් වී ඇත්තේ, ඉහළ පොලී අනුපාතයන් හේතු කොට ණය සේවාකරණය අපහසු වී ඇති බැවිනි.

එබැවින්, මහ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගන්නා බවට කෙරෙන ප්‍රකාශය හුදෙක් ප්‍රයෝගික සත්‍යයකින් තොර පැරණි මූල්‍යවාදී සංකල්පයක් පමණි. එහෙත්, එය මහ බැංකු මූල්‍ය ධර්මයක් සේ ලෝකය පුරා මුල් බැස ගෙන ඇත. එහෙත්, නූතන මූල්‍ය න්‍යාය මගින් පැරණි උද්ධමන පාලන මූල්‍ය වාදය නිර්දය ලෙස ප්‍රශ්න කිරීම දැකිය හැකිය.

සමාප්ත සටහන 

ඉහත දැක්වූ කරුනු සමස්තයක් ලෙස ගත් විට, මහ බැංකුව විසින් සිදු කරනුයේ, එදිනෙදා බැංකු මුදල් වෙළෙඳුන් සමඟ මුදල් මුද්‍රණය හරහා තොග මුදල් වෙළෙඳාමක් කිරීම තුළින් අවදානම් රහිත ලාභයක් ලැබීමේ සරල මූල්‍ය ව්‍යාපාරයකි. එය, මිල ස්ථායිතා සහ උද්ධමන පාලන කථාන්දරය මගින් සඟවා පවතී.

එබැවින්, රටේ ආර්ථික සහ පොදුජන ජීවන තත්ත්වයේ සංවර්ධනයට උපකාරී වන ලෙස මහ බැංකුව යොමු කළ යුතුය. එය කළ හැක්කේ, ආර්ථිකයේ ආංශීය නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට යෝග්‍ය පරිදි ණය සහ මූල්‍ය සේවා ප්‍රවාහය ව්‍යාප්ත කෙරෙන පරිදි මහ බැංකුව සහ මුදල් මුද්‍රණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණි. එය, පරිගණක දර්ශන ලෙස බලමින් මහ බැංකු පොලී අනුපාතය එහාට මෙහාට කිරීම මගින් කළ නොහැකිය.

එසේ නොමැතිව, මුදල් මුද්‍රණය හේතුකොට උද්ධමනය හට ගන්නා බවත්, මහ බැංකු පොලී අනුපාතය මගින් මුදල් මුද්‍රණය සහ උද්ධමනය පාලනය කොට මිල ස්ථායිතාවය පවත්වා ගන්නා බවත්, පවසමින් තොග මුදල් මුද්‍රණ වෙළෙඳාම හරහා ලාභ ලැබීම පොදුජන විරෝධී ක්‍රියාවකි. එපමණක් නොව උද්ධමනය 70% ට නැග්ග ද, බින්දුවට බැස්ස ද, මැදි හා දිගු කාලයේ දී උද්ධමනය ඉලක්ක මට්ටමේ ස්ථායිකරණය වීමට අපේක්ෂා කෙරෙන බව පැවසීම සඳහා ලාභයෙන් කොටසක් මහ බැංකු සේවක බෝනස් ලෙස ද ගෙවනු ඇත. එහෙත්, ඉතිරි ලාභය ද මහ බැංකුව විසින්ම බංකොලොත් කොට ඇති රජයට නොදී, යටිමඩි ගසා ගැනීම තවත් පොදුජන විරෝධී ක්‍රියාවකි. පසුගිය වසරේ පමණක් එසේ සඟවා ගත් ලාභය රුපියල් බිලියන 235 කි.

ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල් කලින් කලට ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට ප්‍රධාන හේතුවක් වනුයේ දිගුකාලීන ආර්ථික සංවර්ධන දැක්මක් නොමැතිව, මෙවැනි පැරණි සංකල්පයන් පසුපස පොදුජනයා සහ වෙළෙඳපොළවල් මෙහෙයවීම හේතුවෙනි. ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හුදෙක් මහ බැංකු මිථ්‍යා මූල්‍ය විශ්වාසය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයකි. ඉන් බංකොලොත් වී ඇත්තේ රජය සහ මහජනතාව යි. මුදල් මුද්‍රණය කළ හැකි බැවින් මහ බැංකුව බංකොලොත් නොවේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)



Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි