ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයත්, හමාස් ඊශ්‍රායල ප්‍රහාරයත්, සමාන රාජ්‍ය අසමත්වීම් නොවේ ද? විමසමු.

 

ලිපියේ සංදර්භය 

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයත්, 2023 හමාස් ඊශ්‍රායල ප්‍රහාරයත් දෙකම රාජ්‍ය අධිකාරින්ගේ අසමත්වීමේ අවස්ථාවන් දෙකකි. රජයක් යනු මිනිස් පිරිසක් වනසතුන් මෙන් නොව ජීවත් නොවී ඔවුන්ට පොදුවේ වඩා හොඳ ආරක්ෂාව සහ සුබසාධනයෙන් යුත් ජීවන තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිශ්චිත භුමි ප්‍රදේශයක සංවිධානය වී ඇති ජන නායක පිරිසකි. එම ප්‍රදේශයට රාජ්‍යයක් ලෙස ද, එම නායකත්වය යටතේ ජීවත්වන විවිධ වාර්ගික මිනිස් පිරිස ජාතියක් ලෙස ද දැක්වෙයි.

එබැවින්, ඕනෑම රාජ්‍යයක ජාතික ආරක්ෂාව සහ ආර්ථික සුබසාධනය ප්‍රවර්ධනය කිරීම පිණිස නීති හෝ සම්මතයන් පැනවීමත්, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවා පද්ධතියක් පවත්වා ගෙන යාමත් දැකිය හැකිය. එය සමස්තයක් ලෙස රාජ්‍ය අධිකාරීන් ලෙස දැක්වෙයි. එහි පරිණාමය, වත්මන් ස්වරූපය සහ කාර්යක්ෂමතාවය රාජ්‍යයන් අතර බොහෝ සේ වෙනස් වෙයි. එය රාජ්‍ය අධිකාරීන් විසින් පිළිගන්නා සමාජ වටිනාකම් සහ මූලධර්මයන් මත පදනම් වෙයි. ඒ අනුව, ජාතික ආරක්ෂාව සහ ජීවන තත්ත්වය ඉහළ දමන බවට නිරන්තරයෙන් පොරොන්දු දීම ඕනෑම රාජ්‍යයක රාජ්‍ය අධිකාරීන්ගේ  සාමාන්‍ය පුරුද්දක් වී ඇත.

එබැවින්, රාජ්‍යයක වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය රජයේ ස්වභාවය සහ කාර්යසාධනය මත තීරණය වන බව ප්‍රකාශ කිරීමේ වැරද්දක් නැත. එය ලෝකයේ රාජ්‍යයන් එකිනෙකට සැසඳීමෙන් මනාව අවබෝධ කර ගත හැකිය. මෙහි දී, විචක්ෂණකාරී රාජ්‍ය අධිකාරීන් සිටින රාජ්‍යයන්හි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීමත්, පොදුජන හිතකාමී නොවන රාජ්‍ය අධිකාරීන් සිටින රාජ්‍යයන්හි ජනතාවගේ ජීවන තත්ත්වය දුක්ඛිත තත්ත්වයක පැවතීමත් දැකිය හැකිය.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයත්, ඊශ්‍රායලට සිදු වූ හමාස් ප්‍රහාරයත් සමාන වන්නේ රජය පිළිබඳ ව ඉහත දැක්වූ අර්ථ නිරූපනය පදනම් කර ගෙන ය. එබැවින්, මෙම ලිපියෙහි අරමුණ වන්නේ එම සිද්ධි දෙක නිදසුන් ලෙස ගෙන, මහජනතාව ජීවන අවදානම්වලට තල්ලු කිරීමට රාජ්‍ය අධිකාරීන්ගේ නිසඟ දුර්වලතාවයන් හේතුවන ආකාරය ඉදිරිපත් කිරීම යි. එබැවින්, මෙම හමාස් ප්‍රහාරය හෝ ඊශ්‍රායල සහ පලස්තීන ආරවුල හෝ පිළිබඳ කිසිම අයුරක භූදේශපාලනික මතයන් ඉදිරිපත් කිරීමේ කිසිම අභිලාශයක් හෝ උත්සාහයක් මෙහි දී සිදු නොකෙරේ.

සැක නොඉපදූ ඊශ්‍රායල යුධ ශක්තිය සහ පළපුරුද්ද 

පසුගිය 7 වන සෙනසුරාදා හිමිදිරි අලුයම ඊශ්‍රායලයට සිදු වූ මෙම හමාස් ප්‍රහාරයට සම්බන්ධව ඉදිරිපත් කෙරෙන විවිධාකාර දේශපාලනික සහ ඉතිහාස විශ්ලේෂණයන් සැලකිල්ලට නොගෙන මෙම ප්‍රහාරයට දායක වූ  සෘජු හේතුව හඳුනා ගැනීම ඉතා පහසුය. එනම්, ඊශ්‍රායල ජාතික ආරක්ෂක පද්ධතියේ පැවති ශෝකජනක දුර්වලභාවය යි. 

එය, එම අවස්ථාවේ හමාස් පාලනය යටතේ පවතින පලස්තීන ගාසා තීරය ආශ්‍රිත තම දේශ සීමාව ආරක්ෂා කර ගැනීමට පවා ඊශ්‍රායලය අසමත් වීමකි. එබැවින්, එය රාජ්‍යයක් වශයෙන් ජාතික ආරක්ෂාව භාර රාජ්‍ය අධිකාරීන්ට කිසිම සමාවක් දිය නොහැකි වරදකි. 

ඊට සරල හේතු කිහිපයකි.

  • පළමුව, ඊශ්‍රායලය යනු යුධ තාක්ෂනය, නිර්භීතකම, හැකියාව, දැනුම සහ ආර්ථික සංවර්ධනය අතින් ලෝකයේ ඉහළම මට්ටමේ සිටින රටකි. ඒ පිළිබඳ ව, කිසිම තර්කයක් නොමැත.

  • දෙවනුව, ඊශ්‍රායලය යනු පසුගිය වසර 75 කට අධික කාලයක් පුරා යුදෙවු ජාතිකයන් විසින් තම නිජ භුමිය ලෙස සලකා පලස්තීනයෙන් අල්ලා ගෙන, ඉතිරි පලස්තී ප්‍රදේශය සහ අරාබි ජාතිකයන්  සමඟ නිරන්තර යුද්ධයක යෙදෙමින් යුධ ආරවුල් මැද ගොඩ නගා පවත්වා ගෙන යන රටකි.

  • තෙවනුව, ඊශ්‍රායලය යනු ලෝකයේ බලවත්ම රාජ්‍යය වන ඇමෙරිකාවේ ඉහළම අනුග්‍රහය මත ගොඩ නගා පවත්වා ගෙන යන රටකි.

  • සිවුවනුව, ඊශ්‍රායලය යනු අතීතයේ කිහිප වරක්ම අසල්වැසි පලස්තීනය සහ අරාබි රාජ්‍යයන් කිහිපයක් විසින් මෙවැනි පහරදීම්වලට මුහුණ දී ඇති රටකි. 

  • පස්වනුව, පලස්තීනය (බටහිර ඉවුර සහ ගාසා තීරය) යනු තම නිජ භුමිය ලෙස සැලකෙන දැනට ඊශ්‍රායලය ප්‍රදේශය නැවත අත්කර ගැනීමේ නිරන්තර අරගලයක නිරත ජාතියකි. එහි මහජනයා එයටම කැපවී මරණයට බිය නැති පිරිසකි. එහි වැඩිහිටි, තරුණ සහ ළමා පිරිස ඊශ්‍රායලය සමඟ දැඩි වෛරයෙන් අරගලයේම ජීවත්වන පිරිසකි. ඔවුන්ගේ ජාතිහිතෛෂිභාවය, කැපවීම සහ නිර්භීතභාවය ඊශ්‍රායලයට නොදෙවෙනි වෙයි. පලස්තීනය දකුණ ඉවුර සහ ගාසා තීරය ලෙස රාජ්‍යයන් දෙකක් ලෙස පාලනය වන අතර ගාසා තීරය යනු ඉතා දර්ද්‍රතාවයෙන් පෙළෙන මිලියන 2 ක පමණ ජනගහනයක් සහිත වර්ග කිලෝ මීටර් 365 ක් පමණ වන ජනාකීර්ණ කුඩා කාන්තාර ප්‍රදේශයකි.

  • සයවනුව, ඊශ්‍රායලය සමඟ නිරන්තර සටනක යෙදී සිටින හමාස් සංවිධානය/නායකත්වය යනු 2007 සිට පලස්තීන ජාතික ගාසා තීරය පාලන කරන, විදේශීය ආධාර ප්‍රවාහයක් හරහා සංවිධානය වී ඇති, ඉතා නිර්දය යුධ/සටන් ක්‍රමවේදයන් අනුගමනය සංවිධානයකි. ඊශ්‍රායලයට පක්ෂ ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල් විසින් එය ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කොට ඇත.

  • සත්වනුව, ගසා තීරය ආශ්‍රිත ඊශ්‍රායල දේශ සීමාව සහ එය අවට ප්‍රදේශය ශක්තිමත් යකඩ වැටක් සහිත අතිතාක්ෂණික ආරක්ෂණ මෙවලම්වලින් පිරී ඇත. ඊශ්‍රායල ආරක්ෂණ ඇස නොගැටී පක්ෂියෙකුටවත් ඒ අවට පියාසර කළ නොහැක.

  • අටවනුව, ගාසා තීරය ආශ්‍රිත මුහුද සහ ගුවන ද ඊශ්‍රායලයේ පාලනයට නතු වී ඇත.

  • නවනුව,  ඊශ්‍රායලයේ මොසාඩ් යනු ලෝකයේ නම් දරා ඇති ආරක්ෂක බුද්ධි සේවයකි. එසේම, ඇමෙරිකාවේ සී අයි ඒ බුද්ධි සේවයේ නිරන්තර අවේක්ෂණය ද ඊශ්‍රායල රජයට ලැබේ.

ඊශ්‍රායලයෙහි හමාස් ප්‍රහාරයේ ස්වරූපය කෙටියෙන් 

එහෙත්, පසුගිය 7 දින අලුයම හමාස් සටන්කරුවන් සහ ගාසා වැසියන් පිරිසක් ගාසා දේශසීමාව කඩා ගෙන දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී හැසිරුණු ආකාරය සටන් සිනමා දර්ශනයක් වැනිය. https://twitter.com/i/status/1711350850747064360

මෙය හදිසියේ කළ හැකි ප්‍රහාරයක් නොව දීර්ඝ කාලයක් තුළ සුක්ෂමව කරන ලද සූදානමක ප්‍රතිඵලයකි. ප්‍රහාරයේ මූලික ලක්ෂණ කිහිපයකි.

  • පළමුව, හමාස් සටන්කරුවන් විසින් රොකඩ් වෙඩි දහස් ගණනක් ඊශ්‍රායලය පුරාවට ගසා මුහිදුන්, ගුවනින්, බිමින් සහ උමං හරහා ගාසා තීරය ආශ්‍රිත ඊශ්‍රායල ප්‍රදේශයට කඩා වැදීම. මෙවැනි රොකට් වෙඩි සහ මිසයිල් ගුවනේ දීම විනාශ කිරීම සඳහා ඊශ්‍රායලය පුරා ස්ථානගත කොට තිබූ යකඩ ඩෝම් ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතිය ද නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව වාර්තා වෙයි.

  • දෙවනුව, බුල්ඩෝසර් ආධාර ඇතුව දේශ සිමා යකඩ වැට කඩා ඇතුළු වී ආරක්‍ෂිත ප්‍රදේශය හරහා මෝටර් රථ සහ පාගමනින් ඊශ්‍රායල ප්‍රදේශයට කඩා වැදීම.

  • තෙවනුව, රාත්‍රිය පුරා එම ප්‍රදේශයේ පැවති සැණකෙළියේ සිටි පිරිසට විවෘත ලෙස වෙඩි තබා මරා දැමීම සහ සමහරු ප්‍රාණ ඇපයට ගැනීම. ඒ අතර විදේශිකයන් රැසක් ද වූ බව වාර්තා වෙයි. මෙවැනි පහරදීම්වලින් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඊශ්‍රායලයේ සෑම නිවසකම ආරක්‍ෂිත බංකර් පවතින අතර එම බංකර් තුළට පවා අත්බෝම්බ දමා ගැසීමේ දර්ශන සංසරණය විය.

  • සිවුවනුව, එම ඊශ්‍රායල ප්‍රදේශය පුරා සැරිසරමින් පුද්ගලයන් සහ නිවැසියන් වයස නොතකා ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන යාම. විදේශිකයන් ඇතුළු 150 ක් පමණ මෙසේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. 

  • පස්වනුව, එම ප්‍රදේශයේ ස්ථානගත කොට තිබු යුධරථ සහ භටයන් අත්පත් කරගෙන ඒවා නිදහසේ හමාස් සටන්කරුවන් විසින් ධාවනය සහ පරිහරණය කිරීම.

මෙම ක්‍රියාකාරකම් ආශ්‍රිත වීඩියෝ පට ලෝකය පුරා වේගයෙන් ව්‍යාපත් වූ අතර සමහර දර්ශනයන් හමාස් සටන්කරුවන් සහ හවුල්කරුවන් විසින් රූපගත කොට එවලේ අන්තර්ජාලයට මුදාහරින දර්ශනයන් ය. 

ඉහත සිදුවීම් පිළිබඳ වූ දර්ශන පටයන් දෙස බලන විට මෙතෙක් නිර්භීතභාවයෙන් උදම්ව සිටි ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක පද්ධතියක් තිබුණා ද? යන්න සැකයක් පහළ වෙයි. ඊට හේතුව, කිසිම ආරක්ෂක ප්‍රතිවිරෝධයක් නොමැතිව හුදෙක් 1,000 ක් පමණ වූ හමාස් සටන්කරුවන් පිරිස විසින් ඊශ්‍රායල දේශසීමා ප්‍රදේශය අත්පත් කර ගෙන දින දෙකක් පමණ පාලනය කිරීම යි. අවසානයේ එම ඉතා නූතන ජන ප්‍රදේශය විනාශ වූ යුධ පිටියක් ලෙස දිස්විය.

ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩලය රැස් වී පළිගැනීම සහ ප්‍රතිප්‍රහාර කිරීමේ තීරණය ගෙන හමුදාව සහ උපකරණ කැඳවා නැවත ප්‍රදේශය ගලවා ගැනීමට දින දෙකක් ගත විය. එසේම, ඊශ්‍රායලය විසින් ගසා තීරයේ විදුලිය, ජලය, ආහාර, අන්තර් ජාලය යානා දී මූලික පහසුකම් අත්හිටුවා හමාස් ඉලක්කයන්ට අධිතාක්ෂණික ගුවන් ප්‍රවාහ එල්ල කිරීම ආරම්භ කොට ඇත. එම ප්‍රහාරවලින් ගසා ප්‍රදේශයේ විශාල ගොඩනැගිලි තප්පර කිහිපයකින් විනාශ වී යන දර්ශනයන් දැකිය හැකිය.

දැනට ඊශ්‍රායල හමුදා භටයන් 350,000 ක් පමණ යොදවා ඇති අතර ඊළඟ අදියර ලෙස ඉතා ජන ඝනත්වයක් සහිත ගාසා තීරය බිමින් ආක්‍රමණය කිරිමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. ඊට සහයෝගයක් ලෙස ඇමෙරිකානු ප්‍රහාරක යානාවක් ද අරාබි මුහුදේ ස්ථානගත කොට ඇත. එහෙත්, හමාස් විසින් ඊශ්‍රායලය පුරා රොකට් වෙඩි ප්‍රහාරයන් කිරීම අඛණ්ඩව සිදු විය.

පසුව වාර්තා වූයේ පසුගිය 7 දින සෙනසුරාදා වන විට ඊශ්‍රායලයේ සම්ප්‍රදායික උත්සවයන් දෙකක් වෙනුවෙන් බොහෝ දෙනා නිවාඩු ගොස් සිටි අතර මෙම ප්‍රහාරයෙන් පසු අදාළ රාජ්‍ය අධිකාරීන් නැවත කැඳවා ගැනීම සඳහා ද කාලයක් ගත වූ බව යි.

රාජ්‍ය අධිකාරින්ගේ ක්‍රියාශීලිත්වය පිළිබඳ ව  හමාස් ප්‍රහාරය ඇසුරින්  උගත හැකි පොදු දුර්වලතාවයන් 

මෙම සිද්ධිය මගින් ඕනෑම රාජ්‍යයක රාජ්‍ය අධිකාරින්ගේ පොදු දුර්වලතාවයන් කිහිපයක් හඳුනා ගත හැකිය.

  • තම හැකියාව, සුදානම සහ කාර්යසාධනය පිළිබඳ නිරන්තර අධිතක්සේරුවෙන් සිටීම සහ නව තත්ත්වයන් සහ අවදානම් සැලකිල්ලට ගෙන නවීකරණය නොවීම.

  • තම අධිකාරිය මහජන වගකීමකින් යුතුව ඉටුකිරීම සඳහා කාර්යක්ෂම අභ්‍යන්තර සංවිධාන ව්‍යුහයක් නොමැතිවීම සහ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන නොකිරීම .

  • උවදුරු හෝ අවදානම් පිළිබඳ මූලික සංඥාවන් නොසලකා හැරීම. මෙය තමන් පිළිබඳ අධිතක්සේරුව හේතු කොට සිදු වෙයි.

  • නවීන තාක්ෂණික උපකරණ සහ දත්ත තොරතුරු පද්ධති පැවතිය ද, තීරණ ගැනීම සඳහා ඒ පිළිබඳ මානව ආවේක්ෂණය සහ විශ්ලේෂණය ප්‍රමාණවත් ලෙස නොකිරීම.

  • රජයට බාහිර තරගකාරී පාර්ශවයන් පැය 24 පුරා දිගු කාලීන ඉලක්ක සඳහා ක්‍රියාශීලී අතර රාජ්‍ය අධිකාරීන් කෙටිකාලීන සේවා මුරයන් සහ වැටුප් ප්‍රතිලාභ ඉලක්ක මත මන්දශීලී ලෙස ක්‍රියා කිරීම. සමස්තයක් වශයෙන් ගත් විට රාජ්‍ය සේවා පද්ධතිය නිරන්තරයෙන් කෙටිකාලීන දැක්මක් සහ ක්‍රියාකාරකම් මත පැවතීම.
  • රාජ්‍යයේ ඉලක්ක පිළිබඳ ඒකාග්‍ර දැක්මක් හෝ සම්මතයක් නොමැතිව ආංශීය ඉලක්කයන් සඳහා බෙදී හෝ විසිරී ක්‍රියා කිරීම. 

  • මූලික තොරතුරු ලැබුන ද, අභ්‍යන්තර සංවිධාන ව්‍යුහයේ දුර්වලතාවන් හේතු කොට උවදුරක් පාලනය කිරීම සඳහා විගසින් ක්‍රියාත්මකවීම පමාවීම.

  • මහජනයා අතීතයේ ජීවත් කරවීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ නිරන්තර නැඹුරුව. ලෝකයේ රාජ්‍යයන් තුළ පවතින විවිධ ගැටුම් අතීත නිජබිම්, ආගම්, සංස්කෘතීන් සහ දේශපාලනික මතයන් අරක්ෂා කිරීම සහ යාවත්කාලින කිරීම සඳහා රාජ්‍ය නායකයන් විසින් ජන කොටස් මෙහෙයවීම තුළින් හට ගෙන ඇත. එය ජන නායකයන්ගේ අනන්‍යතාවය සහ පැවැත්ම සඳහා භාවිතා කෙරේ. එම ගැටුම් තුළ අතීතය පුරා ගොඩනගන ලද ජීවන තත්ත්වය විනාඩි කිහිපයකින් හෝ දින කිහිපයකින් විනාශ කෙරෙන ආකාරයත්, එම ගැටුම් මහජනයා දරිද්‍රතාවයට පත් කරමින් දශක ගණන් පවත්වා ගෙන යන ආකාරයත් අතිශය ශෝක ජනකය. එබැවින්, අනාගතයේ හොඳ ජීවන තත්ත්වයක් සඳහා වර්තමානයේ දී මහජනතාව යොමු කිරීමේ රාජ්‍ය ක්‍රියාකාරකම් මද වී ඇත.

  • රජය විසින් අනුමත කොට ඇති නීති යටතේ වගකීම් භාර විශේෂිත රාජ්‍ය අධිකාරීන් සිටිය ද, බොහෝ අවස්ථාවල ක්‍රියාත්මකවීම සඳහා දේශපාලන නායකයන්ගේ අනුමැතිය ඔවුන්ට ලබා ගැනීමේ අන්‍ය ක්‍රමවේදයන් පැවතීම.

  • මහජන වගකීම ඉටුකිරීම සඳහා අමුඅමුවේ අසමත් රාජ්‍ය අධිකාරීන් වෙත දඩුවම් ලබා දීමේ සෘජු ක්‍රමවේදයක් නොමැතිවීම.

  • අනතුරක් හෝ උවදුරක් සිදු වීමෙන් පසු එහි ආංශීය තොරතුරු සහ ඉදිරි අවදානම් සැලකිල්ලට නොගෙන තමන් දන්නා ක්‍රියාමාර්ගයන් හෝ ප්‍රතිපත්ති උපරිම ලෙස යොදා ගැනීමට තැත් කිරීම. දැනටමත් විශාල පරාසයක නීති පවතිද් දී ඒවා භාවිතා නොකොට, නව නීති පැනවීම සඳහා කාලය සහ සම්පත් නාස්ති කිරීම. මෙහි දී, උවදුරෙන් මෙන්ම නව ක්‍රියාමාර්ගයන් තුළින් ද පිඩාවට පත්වන්නේ මහජනතාව බවට කිසිම හැඟීමක් නොමැත.

  • සාමාන්‍ය හෝ නිශ්චල කාලවල මෙන්ම උවදුරු කාලවල ද නිරන්තරයෙන් මතගැටුම් ඇතිකර ගනිමින් තම වගකීම් ඉටුකිරීමට ඇති කාලය නාස්ති කිරීම සහ ජනසමාජයේ අස්ථායිතාවය ප්‍රවර්ධනය කිරීම.

  •  දේශීය තත්ත්වයන් සහ අවශ්‍යතාවන් පිළිබඳ විශේෂ සැලකිල්ල යොමු නොකොට නිරන්තරයෙන් විදේශීය මතවාදයන් පිළිගැනීම මත විදේශීය අනුග්‍රහය පැතීම සහ එමගින් ගොඩ නගා ගන්නා දේශීය රාජ්‍ය පාලන/කළමනාකරණ පද්ධතිය නිරන්තරයෙන් ගෝලීය භූදේශපාලනික ආතතීන්වලට ලක්වීම හරහා ජනසමාජය නිරන්තරයෙන් අස්ථායිවීම.

ලෝකයේ සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල හට ගෙන ඇති ආර්ථික අර්බුදයන් ආශ්‍රිත තොරතුරු දෙස බලන විට, එම අර්බුදයන්ට ද හේතුව ඉහත දැක්වූ රාජ්‍ය අධිකාරින්ගේ දුර්වලතාවයන් බව පැහැදිලිය. 2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ද ඉන් වෙනස් නොවේ.

ඉහත දුර්වලතාවයන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට දායක වූ ආකාරය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)




Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි