එකම බේරැම්කරැ වී, දැන් දැන් එපා වෙන IMF - සැබෑ IMF විමර්ශනය කරමු.


ලිපියේ පසුබිම 

  • IMF ණය සතුට සහ අසතුට 

ශ්‍රී ලංකාවේ 2022 අප්‍රේල් මස සිට ආරම්භ කළ IMF ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ව පළමු විමර්ශනය පසුගිය සැප්තැම්බර් 27 දින අවසන් විය. එහෙත්, දේශපාලනික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම විමර්ශනයෙන් පසු විගසින් ලැබෙන බවට හිස මුදුනින් බලාපොරොත්තුවෙන්  සිටි ඩොලර් මිලියන 330 ක දෙවැනි ණය වාරිකය අත්හිටවීමක් සිදු විය. පළමු වාරිකය වූ ඩොලර් මිලියන 333 ක මුදල IMF ණය වැඩසටහන කොන්දේසි මත අනුමත වූ 2023 මාර්තු 21 දිනම ලැබූ අතර එහි සතුට සමහර දේශපාලනික නායකයන්ගේ මග පෙන්වීම මත මුළු රටම සමරන ලද බව නොරහසකි. එම සැමරුම ශ්‍රී ලංකාවේ ප්‍රභාකරන් පරාජය සහ ඇමෙරිකාවේ බිල් ලාඩන් පරාජය සැමරීමට නොදෙවෙනි ය. 

එහෙත්, දෙවැනි IMF ණය වාරිකය නොලැබීම මත ඔවුන් විසින් දැන් දැන් IMF සමඟ උරණ වෙමින්, IMF ණය වැඩසටහන් අප වැනි අර්බුදකාරී රටවලට යෝග්‍ය නොවන බව පවසමින් දේශීය ආර්ථික හඬක් නැවත අවදි කරමින් සිටින බව මාධ්‍ය තොරතුරුවලින් පැහැදිලි වෙයි. මොවුන් සියළු දෙනා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට සහ මහජනතාව ගලවා ගැනීමේ එකම මාර්ගය IMF ණය වැඩසටහන බව පවසමින් IMF වැඳ පුදා ගත් බවත්, පාර්ලිමේන්තුවේ දී  IMF වැඩසටහනට දෙඅත් එසවූ බවත් රහසක් නොවේ. එය දේශපාලනික නායකයන්ගේ සහ ඔවුන් විසින් පත් කොට ඇති නිලධාරීන්ගේ ස්වභාවය යි.

  • IMF 16 වතාවක් අසමත්වීම සහ 2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය 

ශ්‍රී ලංකා රජය විසින් 1965 ජුනි සිට 2020 ජුනි දක්වා කාලය තුළ 16 වතාවක් IMF ණය වැඩසටහන් ක්‍රියාත්මක කළ ද , මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව හරහා IMF සාර්ව ආර්ථික කළමනාකරණ අවේක්ෂණ සහ උපදේශණ සේවය වාර්ෂිකව ලබා ගත්ත ද, අවසානයේ 2022 වර්ෂයේ දී ආර්ථිකය කඩා වැටෙන ලදි. එනම්, ගසපු පදයකුත් නැත, බෙරේ පලුවකුත් නැත, නටපු නැටුමකුත් නැත, මෙන් ය.

එසේ ආර්ථික කඩා වැටීමට හේතුව වූයේ , එම IMF ණය වැඩසටහන්, අවේක්ෂණ සහ උපදේශන තුළින් බාහිර ආතතීන්ට ඔරොත්තු දීමේ ව්‍යුහාත්මක ශක්තියක් ලැබෙන පරිදි ආර්ථිකයේ මූර්ත ආංශීය ව්‍යුහය නිර්මාණය නොවීම යි. මෙම බාහිර ආතතීන් මූලික වශයෙන් 2020-21 ගෝලීය කොරෝනා වසංගතය, ඒ ආශ්‍රිත ගෝලීය සැපයුම් දාමයන් බිඳී යාම සහ එහි පීඩනය තුළින් හටගත් දේශීය දේශපාලනික අස්ථායිතාවය ලෙස දැක්විය හැකිය. 

එමගින්, 2022 වර්ෂයේ දී ආර්ථික අර්බුදය හට ගැනීමට මූලික හේතුව වූයේ, මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය කෙටිකාලින රාජ්‍ය විදේශ ණය මත රැඳීම සහ විදේශ ණය හිඟය හේතු කොට විදේශ මුදල් සංචිතය දිය වී යාම යි. දිගු කාලීන IMF පුහුණු ලද ආර්ථික විද්‍යාඥයන් විසින් අනුගමනය කළ සාර්ව ආර්ථික කළමනාකරණ මොඩලය වූයේ, කෙටි කාලීන විදේශ වෙළෙඳපොළ ණය හරහා පවත්වා ගෙන යන විදේශ මුදල් සංචිතය තුළින් සහන පිරිවැයක් යටතේ ආනයන ආර්ථිකය මූල්‍ය කරණය කිරීම යි.

ආර්ථික ව්‍යුහය තුළින් විදේශ මුදල් සංචිතය ගොඩ නැගීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා නොකොට එය රාජ්‍ය ණය කළමනාකරණය සඳහා භාවිතා කෙරෙන ලදි. එබැවින්, විදේශ ණය හිඟය හේතු කොට කඩා වැටුණේ එම ආර්ථික මොඩලය යි. එසේ රාජ්‍ය විදේශ ණය සහ විදේශ මුදල් සංචිතය මත සමස්ත ආර්ථිකය දැඩි ලෙස රඳා පැවති බැවින් අර්බුදය දින කිහිපයක් තුළ සමස්ත ආර්ථිකයම වෙලා ගත් ආකාරය  අමතක නොවේ. 

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය පිළිබඳ ව ආර්ථික විග්‍රහයක් ඇතුළත් කොට මා විසින් සකසන ලද විශේෂ ග්‍රන්ථයක් සරසවි පොත්හලෙන් පසුගිය අගෝස්තු මස නිකුත් කරන ලදි. මෙම ආර්ථික අර්බුදය තිරසාර ලෙස නිරාකරණය කිරීම සඳහා IMF වැඩසටහන යෝග්‍ය නොවන බවට ප්‍රයෝගිය ආර්ථික විද්‍යා විග්‍රහයක් මෙම ග්‍රන්ථයෙහි පිටු 268-283 හි  ඇතුළත් වෙයි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ එම විග්‍රහයෙහි දැක්වූ මූලික කරුනු ඉදිරිපත් කිරීම යි.

එසේම, මෙම IMF ණය වැඩසටහනේ සැකැස්ම සහ බලාපොරොත්තු විරහිතභාවය පිළිබඳ ව කෙටි ලිපි තුනක් මා විසින් මෙම වෙබ් අඩවියේ ඇතුළත් කොට ඇත.

IMF ණය වැඩසටහනේ අන්තර්ගතය ඉගෙන ගනිමු. ආර්ථිකය ගොඩ ගනිමු.

IMF ණය සතුට - සුපුරුදු විදේශ මුදල් සූදුවට නැවත යාමේ සුදානමක් ද?

2023 මාර්තු IMF ගිවිසුම - 1815 මාර්තු උඩරට ගිවිසුම නූතන වේශයකින් පැමිණීමක් ද? (I කොටස)

IMF ණය වැඩසටහන පිළිබඳ මූලික ගැටළු

ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සහ රාජ්‍ය අධිකාරීන් විසින් ආර්ථික අර්බුදයෙහි එකම ගැලවුම්කරු  ලෙස  IMF ණය වැඩසටහනට හිස මුදුනින් ප්‍රසංශා කළ ද, සමස්ත ආර්ථිකය සහ පොදුජනයාගේ දෘෂ්ඨියෙන් බලන විට, එමගින් මෙතරම් අපේක්ෂාවන් තබා ගැනීම ප්‍රයෝගික නොවන බවට ගැටළු රැසක් දැකිය හැකිය. 2022 ආර්ථික අර්බුදය ග්‍රන්ථයෙහි ඇතුළත් කරන ලද IMF ණය වැඩසටහනේ මූලික ගැටළු නාමාවලිය පහත දැක්වෙයි. 

  • ආර්ථිකය නොව රජය ආර්ථික අර්බුදයෙන් හෝ මූල්‍ය බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමේ වැඩසටහනක් වීම

  • අර්බුදය නිරාකරණය අසම්භාව්‍ය විදේශ අරමුදල් මූලයන් මත රැඳීම

  • IMF විසින් ණය ප්‍රතිසැකසීම කෙරෙන බවට මහජනයා සහ මහජන නායකයන් මුලා කිරීම

  • උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්තිය සමකාලීන ශ්‍රී ලංකා ආර්ථිකයට නොගැලපීම

  • මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීම පිළිබඳ කොන්දේසිවල නොගැලපීම

  • දුෂණ වැලැක්වීමේ කොන්දේසියේ සාරව ආර්ථික නොගැලපීම සහ එය සම්මත IMF ණය වැඩසටහන්වල ආර්ථික විචල්‍යයක් නොවීම 

  • නව සමාජ ආරක්ෂණ ජාල ප්‍රතිපත්තියේ අයෝග්‍යතාවය 

  • රාජ්‍ය ආර්ථික ආයතනික පද්ධතිය සහ ආර්ථික කළමනාකරණ ස්වෛරිත්ව අධිකාරිය විනාශ කිරීම හරහා රජයට සහ රාජ්‍යයට ඇති අවදානම් 

  • සමස්ත ඉල්ලුම පාලනය කිරීම මත පදනම් වූ IMF වැඩසටහන්වල සංකල්පීය පදනම යල්පැන ගොස් තිබීම

  • IMF ණය වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීමට ඇති ඉහළ අවදානම් IMF විසින්ම හඳුනා ගැනීම සහ පිළි ගැනීම

මෙම සෑම ගැටළුවක්ම පිළිබඳ ව දත්ත මත පදනම් වූ විග්‍රහයක් ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි. 

මා විසින් ඉදිරිපත් කළ සමස්ත නිරීක්ෂණය වූයේ, සාමාන්‍ය කාලවල තාවකාලික බාහිර ආතතීන් හේතු කොට විදේශ මුදල් සංචිතය පහළ යාම තුළින් හට ගන්නා සාර්ව ආර්ථික කළමනාකරණ දුෂ්කරතාවන් නිරාකරණය සඳහා ඉල්ලුම් අංශය සහ විදේශ සංචිත කළමනාකරණය මත පදනම් වූ IMF ණය වැඩසටහන් යෝග්‍ය වුව ද, ආර්ථික අර්බුදයකින් දිගු කාලීන ගොඩ ඒම සඳහා මුර්ත සැපයුම් අංශය මත පදනම් වූ ව්‍යුහාත්මක වැඩසටහනක්  එමගින් ක්‍රියාත්මක කළ නොහැකි බව යි.

මීට අමතරව, ආර්ථික අර්බුදය වැලැක්වීම සහ නිරාකරණය කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ක්‍රියාත්මක කළ සහ දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති මෙවලම්වල අසාර්ථකභාවය සහ අකාර්යක්ෂමතාවය පිළිබඳ ව ද ආර්ථික විග්‍රහයක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි.

සමාප්ත සටහන 

මෙහි දී, මතුවන මූලික මහජන මැසිවිල්ල වනුයේ, IMF ණය වැඩසටහන, ඊට අනුබද්ධ ණය තිරසරභාවය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සංකල්පයන් සහ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සංකල්පීය ප්‍රතිසංස්කරණයන් ගැන කථා කරමින් දැනට වර්ෂ දෙකකට ආසන්න කාලයක මහජන කාලය සහ සම්පත් කැප කළ ද, පොදුජන ආර්ථිකය තවමත් ගොඩ එන බවක් මහජන ජීවන මට්ටමෙන් නොදැකීම යි. පසුගිය දා IMF විසින් ද දැක්වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වීමේ මූලික සංඥාවන් පැවතුන ද, පූර්ණ ආර්ථික ප්‍රකෘත්තිය තවමත් නිශ්චිත වී නොමැති බව යි.

මෙම තත්ත්වය තුළ දැකිය හැකි ලොකුම විහිළුව වන්නේ, සමහර ප්‍රතිපත්ති බලධාරීන් විසින් මහජනයාගෙන් විකල්ප සැලසුම් හෝ විසඳුම් ඉල්ලා සිටීම යි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු, දත්ත, විශේෂඥ දැනුම සහ ව්‍යවස්ථාපිත බලතල පවතින්නේ ඔවුන් සතුව යි. එබැවින්, ඔවුන් විසින් කළ යුත්තේ, අදාළ මහජන වගකීම් ඉටු කිරීමට තමාට හැකියාව නොමැති නම්, වසර ගණන් රජය විවේචන කරමින් මහජන වත්කම් භුක්ති විඳිමින් නොසිට, පුළුවන් කෙනෙකුට ඉඩ දී එම ආසනවලින් ඉවත් වීම යි. ඊට හේතුව, ඔවුන් විසින් පවත්වා ගැනීමට උත්සාහ කෙරෙන ව්‍යාජ සංකල්පීය අධිරාජ්‍යයන් සමකාලින ජනසමාජයට නොගැලපීම යි. ඒවා හදිසියේ කඩා වැටෙන ව්‍යාජ මූල්‍ය වත්කම් අධිරාජ්‍යයන් මෙන් නිසැකයෙන් කඩා වැටෙනු ඇත. ඊට හේතුව, ව්‍යාජයට වැඩි ආයුෂ නොමැති වීම යි.

දැනට වාර්තාවන තොරතුරු අනුව පෙනී යන්නේ, එම IMF පුහුණු ආර්ථික විද්‍යාඥයන් විසින් දැනට උත්සාහ කරන්නේ ඉහත දැක්වූ ලෙස බිඳ වැටුණ ආර්ථික මොඩලයම නැවත යාවත්කාලීන කිරීමට උත්සාහ කරන බව යි. ඊට හේතුව, ඔවුන්ගේ දැනුමේ මදි කමක් නිසාම නොව, ඉන් ඔවුන්ට ලැබෙන පෞද්ගලික වාසි නිසා විය යුතුය. එය ආර්ථික අර්බුදය වවාගෙන කෑම හරහා සිදු කෙරෙන්නෙකි. එබැවින්, ආර්ථික අර්බුදයක් තිරසාර ලෙස නිරාකරණය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් දශකයකට වඩා අධික කාලයක් ගත වනු  ඇත.

එබැවින්, වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් පැරණි ආර්ථිකය වාත්තු කිරීමක් හැර ආර්ථිකයේ දිගු කාලීන මූර්ත සංවර්ධනයක් සහ පොදුජන ජීවන මට්ටමේ ගුණාත්මක ඉහළ යාමක් බලපොරොත්තු විය නොහැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි