2023 මාර්තු IMF ගිවිසුම - 1815 මාර්තු උඩරට ගිවිසුම නූතන වේශයකින් පැමිණීමක් ද? (I කොටස)
පසුගිය මාර්තු 21 දින ශ්‍රී ලංකා රජය විසින් රහසේ එකඟ වී, IMF විසින් අනුමත කොට ක්‍රියාත්මක කරන ලද ණය ගිවිසුම පිළිබඳ පුවත, රට පුරා කිරිබත්, රතිඤ්ඤා සහ ට්විටර් පණිවුඩ හරහා සැමරූ බවත්, රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් එය දැනට බංකොලොත් වී ඇති ජාතියේ ගැලවුම්කරු ලෙස හඳුන්වමින් IMF වෙත ප්‍රණාමය පුද කළ බවත්, ශ්‍රී ලංකා නව ඉතිහාසයේ සටහන් වී ඇත.
මෙම ගිවිසුමේ විශේෂත්වය වනුයේ, 1965 සිට IMF ගිවිසුම් 16 ක් අත්සන් කළ ද, ඒ බව එය අත්සන් කළ අය හැර වෙනත් කිසිවෙකු දැන නොසිටිය ද, මෙම ගිවිසුම දේශපාලන නායකයන් ඇතුළු බොහෝ මහජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වීම යි. මෙය ද තවත් IMF ගිවිසුමක් බැවින් ඉන් ජාතියට ඇති වැදගත්කම හෝ බලපෑම තීරණය වන්නේ ගිවිසුමේ ඇති කොන්දේසි ක්‍රියාත්මක වන විට ය. එහෙත්, IMF ගිවිසුම සමරන බොහෝ දෙනෙකුට එම කොන්දේසි හෝ ඉන් ජාතියට ලැබෙන අනාගත හොඳ නරක හෝ පිළිබඳ ව නිසි අවබෝධයක් තවම නොමැති බව රහසක් නොවේ.
1815 උඩරට ගිවිසුම ද එකල දේශපාලන නායකයන් සහ මහජනතාව විසින් හිස මුදුණින් පිළි ගෙන සමරන ලදි. ඊට හේතුව ලෙස, එම ගිවිසුම මගින් බ්‍රිත්‍යයන් විසින් එවක උඩරට රාජධානිය පාලනය කළ කෘර රජුගෙන් ඔවුන් මුදවා ගෙන, උඩරටට සමෘද්ධිය ලැබෙන බවට විශ්වාස කිරීම යි.
එහෙත්, ගිවිසුම ක්‍රියාත්මක වන විට එවැනි සමෘද්ධියක් නොව, ඔවුන් තවත් පීඩනයට ලක් වන බව වැඩි දිනක් ගත වීමට පෙර මහජනතාවට අවබෝධ වූ බැවින්, ඔවුන් විසින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අඛණ්ඩ කැරලි හෝ නිදහස් සටන් මාලාවක් මෙහෙය වීය. ඒ පිළිබඳ ව 1818 සහ 1848 නිදහස් සටන් දෙක ඉතිහාසයේ විස්තරාත්මකව වාර්තා වුව ද, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගරිල්ලා සටන් සහ අරගලයන් අඛණ්ඩව පැවතින.
එහෙත්, ගිවිසුමෙන් වැඩි දිනක් ගත වීමට පෙර උඩරටට එවැනි සමෘද්ධියක් නොව, ඔවුන් තවත් පීඩනයට ලක් වන බව මහජනතාවට අවබෝධ වූ බැවින්, ඔවුන් විසින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අඛණ්ඩ කැරලි හෝ නිදහස් සටන් මාලාවක් මෙහෙය වීය. ඒ පිළිබඳ ව 1818 සහ 1848 නිදහස් සටන් දෙක ඉතිහාසයේ විස්තරාත්මකව වාර්තා වුව ද, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගරිල්ලා සටන් සහ අරගලයන් අඛණ්ඩව පැවතින.
එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, 1815 මාර්තු උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකා ජාතිය ලැබූ කටුක අත්දැකීම්වලට සාපේක්ෂ නව අත්දැකීම් ගොන්නක්, නව භූ දේශපාලනික ගෝලීය ආර්ථිකය තුළ, 2023 මාර්තු IMF ගිවිසුමෙන් ද ජාතියට ලැබීමේ විශාල අවදානමක් පවතින බවට අදහසක් ඉදිරිපත් කිරීම යි.
මෙහි පළමු කොටස වශයෙන් 1815 උඩරට ගිවිසුම පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීම සඳහා කෙටි සටහනක් පහත ඉදිරිපත් කෙරේ.
එය මූලික වශයෙන් රජය විසින් නිකුත් කොට ඇති 11 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතෙහි 1815 උඩරට ගිවිසුම සහ එහි පසුබිම ආශ්‍රිතව ඉදිරිපත් කෙරෙන තොරතුරු මත පදනම් වෙයි.
1815 උඩරට ගිවිසුම ගැසීමේ පසුබිම කෙටියෙන්
ලන්දේසින් පළවා හැර මුහුදුබඩ සහ පහතරට ප්‍රදේශවල බලය තහවුරු කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උඩරට යටත් කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කළ ද, උඩරැටියන්ගේ ගරිල්ලා සටන් ක්‍රම හරහා ඔවුන් අඛණ්ඩව පරාජය විය. ඔවුන්ට උඩරට යටත් කර ගැනීමට අවශ්‍ය වූයේ, ශ්‍රී ලංකාවේ රාජධානිය මහනුවර කේන්ද්‍ර කර ගෙන පැවති බැවින් එය යටත් කර ගැනීමෙන් මුළු රටේම පාලනය ලබා ගත හැකි බැවිනි.
බ්‍රිතාන්‍යයන් සමඟ පැවති නිරන්තර සටන් මාලාව හේතු කොට දැඩි ආතතියට සහ කම්පනයට පත්ව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, තමන්ට පක්ෂ දේශීය නායකයන් (එනම්, පාලක රදල පංතිය) සහ විශේෂ ලාභ ප්‍රයෝජන පතා බ්‍රිතාන්‍යයන්ට පක්ෂව ක්‍රියා කරන නායකයන් වෙන් කොට හඳුනා ගැනීමේ දැඩි ගැටළුවට මුහුණ දෙන ලදි. මෙහි දී, රජු මුහුණ දුන් තර්ජනය වූයේ, සමහර නායකයන් විසින් උඩරට මාර්ගයන් සහ රහස් සටන් උපක්‍රම පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය හමුදාවට ලබා දී, තමා ඝාතනය කොට රාජධානිය අල්ලා ගැනීමට පැවති අවදානම යි.
එබැවින්, රජු විසින් තම සැකයට භාජනය වූ නායකයන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ පාක්ෂිකයන්ට කෘර දඩුවම් දීමේ පිළිවෙතක් අනුගමනය කරන ලදි. මෙම පිළිවෙත වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයන් ද අනුගමනය කරන බව රහසක් නොවේ. එබැවින්, රජු අවට සිටි එම නායකයන් විසින් මෙම රජු ඉතා කෘර රජෙකු ලෙස තම යටත් වැසියන් අතර ප්‍රචලිත කොට, රජුට එරෙහි මහජනයා ඒකරාශි කරන ලදි. එම වාතාවරණය තුළ සමහර නායකයන් රජු නෙරපීම සඳහා රහසේ බ්‍රිතාන්‍යයන්ට සහාය දෙන ලදි. ඔවුන් අතර පිළිමතළාවේ, ඇහැළේපොළ, මොල්ලිගොඩ, කැප්පිටිපොළ, මඩුගල්ල, කොබ්බෑකඩුව, ගලගෙදර මොහොට්ටාල වැනි නායකයන් රැසකගේ නම් ද සඳහන් වෙයි.
එහෙත්, එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් 1815 ජනවාරි මස දී උඩරට ආක්‍රමණය කළ ද, සුපුරුදු පරිදි රජු ආරක්ෂා කර ගැනීමට උඩරට වැසියන් ක්‍රියා කරන ලදි. එබැවින්, රජුට එරෙහි වූ නායකයන්ගේ සහාය ඇතිව රොබට් බ්‍රවුන්රිග් විසින් යොදන ලද උපාය වූයේ, බ්‍රිතාන්‍යයන් උඩරට වැසියන්ගේ සතුරන් නොව ඔවුන් කෘර රජුගෙන් මුදවා ගැනීම සඳහා උඩරට නායකයන් සමඟ ක්‍රියා කරන පිරිසක් බව උඩරට වැසියන් අතර ප්‍රචලිත කිරීම යි. එමගින්, රජු සහ වැසියන් අතර විශාල පරතරයක් ඇති කරන ලදි.
එහි ප්‍රතිඵලයක් ලෙස, මැද මහනුවර ආරක්‍ෂිත ස්ථානයකට පළා ගොස් සැඟවී සිටි රජු සහ බිසෝවරුන්, 1815 පෙබරවාරි 18 දින රජුට එරෙහි රදල නායකයන්ගේ මෙහෙයවීම යටතේ උඩරට වැසියන් විසින්ම වටකොට අල්ලා ගෙන, බ්‍රිතාන්‍ය හමුදාවට භාර දෙන ලදි. එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය හමුදාව උඩරට මෙහෙයවන ලද්දේ ජොන් ඩොයිල් විසිනි. ඒ අනුව, උඩරට දී නිරන්තරයෙන් පරාජය වෙමින් සිටි බ්‍රිතාන්‍යයන්ට කිසිම යුද්ධයක් නොමැතිව රජු ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට හැකි විය. එම අවස්ථාවේ ජොන් ඩොයිල් විසින් තම අසු මතම සිට රට වැසියන්ගේ ප්‍රීති ගෝෂා මැද රජුට අමානුෂික ලෙස කස පහරක් දී තම අත්අඩංගුවට ගත් බව ද වාර්තා වෙයි.
එහෙත්, රජු අල්ලා ගත් පමණින් උඩරට රාජධානිය යටත් වූ බව පිළි ගැනීමට මැළි වූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් තමන්ට සහාය දුන් රදල නායකයන් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් උඩරට රාජධානිය යටත් කර ගැනීමේ කාර්යය වංචනික ලෙස නිම කෙරින. 1815 ගිවිසුම ලෙස ඉතිහාස ගත වී ඇත්තේ මෙම ගිවිසුම යි.
1815 උඩරට ගිවිසුමේ මූලික අන්තර්ගතය
රජු අල්ලා ගැනීමේ සිට සති දෙකක් තුළ 1815 මාර්තු මස 2 දින මහනුවර රාජ සභා ගොඩනැගිල්ලේ (එනම්, මගුල් මඩුව) දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙනුවෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ද, උඩරට වැසියන් වෙනුවෙන් රදල නායකයන් ද විසින් උඩරට රාජධානිය බ්‍රිතාන්‍යය යටතට පත් කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කරන ලදි. එම ගිවිසුමෙහි වූ වගන්ති/කොන්දේසි සාරංශය පහත දැක්වෙයි.
- මුල් වගන්ති තුනින් ශ්‍රී වික්‍රම රාජසිංහට සහ ඔහුගේ ඥාතීන්ට උඩරට සිංහාසනයට තිබූ සියළු අයිතිවාසිකම් අහෝසි කෙරිණ.
- හතරවන වගන්තියෙන් උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය රජයට යටත් වූ බවත්, උඩරට සම්ප්‍රදායික නිලධාරී පන්තියේ (එනම්, රදල පන්තියේ) අයිතිවාසිකම් සහ වරප්‍රසාදයන් රැකෙන පරිදි බ්‍රිතාන්‍යය විසින් එය පාලනය කරන බවත් දැක්විණ.
- පස්වන වගන්තියෙන් බුද්ධාගම සහ දේවාගම කඩ නොකොට පවත්වා ගනිමින් භික්ෂුන් වහන්සේලා, විහාරස්ථාන සහ දේවාල ආරක්ෂා කරන බවට පොරොන්දු විය.
- සෙසු වගන්තිවලින් උඩරට රාජධානියේ අධිකරණ කටයුතු පවත්වා ගෙන යන ආකාරය දැක්විණ.
ගිවිසුමෙන් වැඩි කාලයක් යාමට පෙර උඩරට රදල නායකයන් සහ වැසියා බ්‍රිතාන්‍යයන්ට රැවටුන බවට ලැබූ අත්දැකීම තුළ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් දාමයක් ඇති විය. එහි දී, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා දී ගිවිසුම ගැසීමට බ්‍රිතාන්‍ය රජයට ආධාර දෙන ලද රදල නායකයන් සියල්ලම වගේ බ්‍රිතාන්‍ය පාලනය විසින් අමානුෂික ලෙස මරා දමන ලදි.
බ්‍රිතාන්‍ය පාලනය තුළින් නිදහස අහිමිවීම සහ අසාධාරණයන්ට මුහුණ දුන් උඩරට නායකයන් සහ වැසියන් විසින් තමන්ට සුපුරුදු සටන් ක්‍රම යොදා ගනිමින් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම සඳහා සටන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි. මින් 1818 කැරැල්ල සහ 1848 කැරැල්ල පිළිබඳ ව තොරතුරු විශේෂයෙන් වාර්තා වෙයි.
1848 කැරැල්ලට දායක වූ ප්‍රධාන හේතූන්
- නිදහස අහිමිවීම සහ රජෙකු නොමැතිවීම පිළිබඳ පසුතැවිල්ල
- උඩරට ප්‍රභූ පන්තියේ වරප්‍රසාද සහ බලයට පහර වැදීම
- ගිවිසුම කඩ කරමින් වෙනත් ප්‍රභූන් නිලතලවලට පත් කිරීම
- ආගම සහ සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳ ගැටළු මතු වීම
බ්‍රිතාන්‍ය පාලනය විසින් එම කැරැල්ල ඉතා කෘර ලෙස මර්ධනය කරන ලදි.
1848 කැරැල්ලට දායක වූ ප්‍රධාන හේතූන්
- 1833 ක්‍රියාත්මක කරන ලද කෝල්බෲක් ප්‍රතිසංස්කරණ තුළ ඉඩම් අහිමි වීම සහ දේශීය යැපුම් කෘෂිකර්මය අඩාල වීම
- රාජකාරී ශ්‍රමය අහෝසි කිරීම සහ අධිකරණ බලය අහෝසි කිරීමෙන් ගම් සභා අඩපණ වීම
- ඉංග්‍රීසි උසාවි හරහා ක්‍රියාත්මක වූ නව අධිකරණ ක්‍රමයෙන් මහජනයා පිඩාවට පත් වීම
- මහජනයාට දැරීමට සිදු වූ නව බදු බර. මෙහි දී, ආණ්ඩුකාර ටොරින්ටන් සාමිවරයා විසින් 1848 දී රජයේ පහළ වැටී තිබූ බදු ආදායම ඉහළ නැවීම සඳහා බදු සංස්කරණයන් ඉදිරිපත් කිරීම කැරැල්ලට විශේෂ හේතුවක් විය. මුද්දර බද්ද, කරත්ත සහ ඔරු පාරු බද්ද, වෙළෙඳසැල් බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද සහ බලු බද්ද යනාදිය නව බදු විය. මෙම සියළු බදු සඳහා මහජන අප්‍රසාදය පළ වූ අතර තුවක්කු බද්ද, ඇඟ බද්ද සහ බලු බද්ද යනාදියට එරෙහි විරෝධතාවන් කැපී පෙනිණ.
- "නිල් පොත" නම් වූ සංඛ්‍යා ලේඛන සංග්‍රහය සඳහා රජය විසින් කුටුම්බ තොරතුරු සමීක්ෂණයේ දී තවත් බදු පැනවීමට යන බවට මහජනයා අතර ඇතිවූ සැකය
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment