මහ බැංකු අධිපතිගේ ස්වාධීන මහ බැංකු අඬහැරය - කුමක්, කෙසේ, කා සඳහා ද?

 

මේ දිනවල මහ බැංකු අධිපති විසින් තම මාධ්‍යය සහ දේශපාලනික හිතවතුන්  සමඟ එක් වී කෙරෙන ස්වාධීන මහ බැංකු අඬහැරයක් දස දෙසින් ඇසෙමින් පවතී.  වසර 73 ක් පමණ ජීවත් වූ ලෝකයේ තවමත් තරුණ මහ බැංකුවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ව සමාජයේ කිසිවකු හෝ මහ බැංකු අධිපතිගේ වසර 30 ක පමණ මහ බැංකු සේවා කාලය තුළ ඔහු විසින් හෝ මෙතෙක් ප්‍රශ්න කළේ නැත. එහෙත්, දැන් හීනෙන් බය වී නැගිට්ට පුද්ගලයෙකු මෙන්, ඔහු විසින් මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ව අඬහැරයක් පටන් ගෙන ඇත. 

උද්ධමනය පහළ දමා වත්මන් ආර්ථික අර්බුදයෙන් රට සහ මහජනයා ගොඩ ගැනීමට ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය නිවැරදි සහ දැඩි, එහෙත් ජනප්‍රිය නොවන, තීරණයන් ගැනීම පිණිස මහ බැංකුවට ස්වාධීනත්වය අවශ්‍ය බවත්, ඒ සඳහා නව මහ බැංකු පනත ඉදිරිපත් කළ බවත්, ඔහුගේ ස්වාධීන අඬහැරයේ තේමාව වී ඇත.

එහෙත්, ස්වාධීන මහ බැංකු විසින් ගෙන ඇති හෝ ගනු ලබන නිවැරදි තීරණයන් කුමක් ද? යන්න ස්වාධීන මහ බැංකු ලෙස සැලකෙන සංවර්ධිත රටවල මහ බැංකුවලින් පවා සොයා ගත නොහැකිය. උද්ධමනය පාලනය කිරීමට පූර්ණ ස්වාධීනත්වයක් ඇති මහ බැංකු පවතින එම රටවල් පවා දශක හතරකින් වාර්තා වූ ඉහළම උද්ධමනයට පසුගිය වසර පුරා මුහුණ දෙන අතර, එම මහ බැංකු විසින් ඓතිහාසික වේගයෙන් පොලී අනුපාතයන් වසර පුරා ඉහළ දැමීම කළ ද උද්ධමනය නම් පහළ බසින බවක් නොපෙනේ. 

එහෙත්, මෙතරම් ඉහළ පොලී අනුපාතයන් හේතු කොට ආර්ථිකයන් අඩාල වෙමින්, බැංකු කඩා වැටීමේ අර්බුදයන් ද ආරම්භ වී ඇත. එම මහ බැංකුවලට ස්වාධීනත්වය පැවතීම තුළින් ඔවුන් ගන්නා ලද තීරණයන් නිවැරදි තීරණයන්  නම්, මෙවැනි උද්ධමනකාරී තත්ත්වයක් හට ගැනීම හෝ උද්ධමනය පාලනය කිරීමට අපහසු වීම හෝ ආර්ථිකයන් පසුබැස බැංකු බූන්වත් වීම හෝ සිදු විය නොහැක. 

එබැවින්, ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිට නිවැරදි තීරණ ගැනීමේ දිව්‍ය බලයක් තිබේ ද? යන්න මෙම පනත සම්මත කිරීමට පෙර රජය විසින් සොයා බැලිය යුතුය. මා දන්නා පරිදි නිවැරදි තීරණයන් කියා තීරණයන් වර්ගයක් නොමැති අතර තීරණයන්ගේ හොද නරක තීරණය වන්නේ එවායෙන් මහජනයාට ලැබෙන ප්‍රතිඵල අනුව ය. වත්මන් මහ බැංකු අධිපති විසින් ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස 2020 අවසානය තෙක් වසර 15 ක පමණ කාලයක් තුළ පොලී අනුපාතය, විනිමය අනුපාතය, විදේශ මුදල් සංචිතය සහ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව නිවැරදි තීරණයන් ගත්තා නම්, මෙවැනි ආර්ථික අර්බුදයකට මහජනයාට මුහුණ දීමට සිදු නොවනු ඇත. නිවැරදි තීරණයන් ගැනීමට නොහැකි වූයේ මහ බැංකුවට ස්වාධීනත්වය නොමැති වූ නිසා ද? යන්න පැහැදිළි කළ යුතුය.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ, මහ බැංකු ස්වාධීනත්වය සඳහා යැයි යෝජිත මහ බැංකු පනත අනුව මහ බැංකුවට එවැනි ස්වාධීනත්වයක්  නොලැබෙන බවත්, ස්වාධීනත්වයේ නාමයෙන් මහ බැංකුව වත්මන් මහ බැංකු අධිපති සහ ඔහුගේ දේශීය සහ විදේශීය ආධාරකරුවන්ගේ යහපත සඳහා භාවිතා කිරීමේ කූඨ අරමුණක් ක්‍රියාත්මක වන බවත් ඉදිරිපත් කිරීම යි.

මහ බැංකු ස්වාධීනත්වයේ අර්ථය

මහ බැංකුවේ ස්වාධීනත්වය ලෙස සැලකෙන්නේ රජයේ අවසරයන් ලබා ගැනීමකින් තොරව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි වීමේ නිදහස යි. මහ බැංකුව යනු රජයෙන් ආරම්භක ප්‍රාග්ධන අරමුදල් ලැබ, මුදල් මුද්‍රණය සහ නියාමනය කිරීමේ ඒකාධිකාරී බලය රජයෙන් ලැබ, ක්‍රියා කරන රාජ්‍ය ආයතනයකි. මුදල් ඇමති හෝ ජනාධිපති හෝ පාර්ලිමේන්තුව හෝ වෙතින් කිසිම අවසරයක් නොමැතිව මුදල් මුද්‍රණය කරමින් ආයතනය පවත්වා ගැනීමේ ස්වාධීන බලයක් පවතින මහ බැංකුවට තවත් අවශ්‍ය ස්වාධීනත්වය කුමක් ද? යන්න අවබෝධ කර ගැනීම අපහසු ය.

මහ බැංකුව ක්‍රියාත්මක වන මුදල් නීති පනත නිර්මාණය කළ ඇමෙරිකානු මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් එක්ස්ටර් මහතා විසින් තම වාර්තාවේ සඳහන් කළේ, මහ බැංකු ස්වාධීනත්වය යනු නීතියෙන් අර්ථකතනය කොට ලබා දිය හැකි දෙයක් නොවන බවත්, රජයෙන් බිහි කෙරෙන රාජ්‍ය ආයතනයක් රජයෙන් පූර්ණ නිදහස සහිත ආයතනයක් විය නොහැකි බවත්, රජය සහ මහ බැංකුව මනා සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බවත්, එය රඳා පවතින්නේ මහ බැංකුවේ සහ රජයේ ඉහළ නිලයන්ට පත්වන පුද්ගලයන් මත බවත් ය. 

මුදල් නීති පනත අනුව මහ බැංකුවේ කිසිම ආර්ථික ප්‍රතිපත්තියකට රජයේ අවසරය ලබා ගැනීමට අවශ්‍ය නොවේ. එසේ අවසර ගැනීමක් අවශ්‍ය නම්, බංකොලොත් වී ඇති ආර්ථිකයේ මහ බැංකු පොලී අනුපාතය මේ දක්වා 7.50% සිට 16.50% දක්වා 120% කින් ඉහළ දැමීමට වත්මන් මහ බැංකු අධිපතිට ඉඩක් නොලැබෙනු ඇත. මෙම පොලී අනුපාතය පසුගිය දින 1% කින් ඉහළ දමන ලද්දේ හුදෙක් IMF උපදේශය මත බව මහ බැංකුව විසින් ප්‍රකාශ කොට ඇත. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මූලධර්ම සහ බලතල පැහැදිලි ලෙස මුදල් නීති පනතෙහි දැක්වෙයි. ඇත්ත වශයෙන් එම නීති අනුව සමහර රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා රජය විසින් මහ බැංකුවෙන් අවසර ගත යුතුය. 

මුදල් නීති පනත අනුව රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසිවල දී රජයට ලබා ගත නොහැකි මුදල් ප්‍රමාණය මහ බැංකුවෙන් සැපයීම තහනම් ය. එහෙත්, වත්මන් මහ බැංකු අධිපති විසින් එම නීතිය අමු අමුවේ කඩ කොට, මේ දක්වා රුපියල් බිලියන 852.5 ක පමණ මුදලක්  වෙන්දේසියෙන් පිටත භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නව මුදල් මුද්‍රණය හරහා රජයට ණය සපයා ඇත. මින් රුපියල් බිලියන 121 ක් මුද්‍රණය කොට ඇත්තේ මාර්තු 15 දින ස්වාධීන මහ බැංකු අඬහැරය මැද ය. එබැවින්, ඔහු විසින් නීතිය අනුව ආර්ථික විද්‍යා වෘත්තීය පදනමකින් ක්‍රියාත්මක වී නම්, මේ වන විට ආර්ථිකයේ මුදල් මුද්‍රණය සැලකිය යුතු ලෙස පහළ ගොස් උද්ධමනය ද කඩා වැටී තිබිය යුතුය. 

ඊට හේතුව, ඔහුට අනුව වත්මන් අධිඋද්ධමනය යනු හිටපු මහ බැංකු අධිපතිවරු විසින් රජයට අවශ්‍ය ආකාරයට රුපියල් බිලියන 200 ක පමණ ප්‍රතිමූල්‍ය ණය ප්‍රදානය සඳහා නව මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රතිඵලයකි. එබැවින්, වත්මන් මහ බැංකු අධිපති විසින් නව මුදල් මුද්‍රණය හරහා රජය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්නේ, නීති කඩ කරමින් වන අතර එය ජෝන් එක්ස්ටර් මහතාගේ සටහනට අදාළ වන ක්‍රියාවකි.

මහ බැංකුව මෙන් සියළු රාජ්‍ය ආයතනයන් රාජ්‍ය ප්‍රාග්ධනය මත රජය වෙනුවෙන් මහජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නීතිය මගින් පිහිට වූ ආයතනයන් වෙයි. එම ආයතන ක්‍රියාත්මක විය යුතු ආකාරය එම ආයතන පිහිට වූ පනත්වල දක්වා ඇත. එම කිසිම පනතක රජයෙන් ස්වාධීන වීම හෝ නොවීම ගැන දක්වා නොමැත. 

එබැවින්, ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරීන්  විසින් සිදු කරනු ලබන්නේ, නීතිය මගින් තම ආයතනයට ලබා දී ඇති බලතල අනුව මහජන සේවාවන් සැපයිම යි. එබැවින්, මහ බැංකුවට පමණක් රජයෙන් ස්වාධීන වීමේ මානසික රෝගයක් හට ගැනීමට පදනමක් නොමැති බැවින් ස්වාධීන කොමිසමක් හරහා ඊට හේතු සොයා බැලිය යුතුය. එසේ, නොවුව හොත් මානසික රෝගය හේතුවෙන් ආයතනය අතරමං වී විනාශ වී යනු ඇත. 

මෙය ඉතා බියකරු වන්නේ, මුදල් මුද්‍රණය කොට වැය කිරීම හරහා ක්‍රියා කිරීමට මහ බැංකුවට ස්වාධීනත්වය පවතින බැවින් මානසික රෝගයෙන් පෙළෙන මහ බැංකු නිලධාරීන් විසින් කුමන ආකාරයෙන් මුදල් මුද්‍රණය කෙරේ ද? යන්න සිතා ගත නොහැකි බැවිනි.

නව මහ බැංකු පනතෙන් ලැබෙන ස්වාධීනත්වය

  • පරිපාලන සහ මූල්‍ය වශයෙන් ස්වාධීනත්වය 

මහ බැංකු අධිපති සහ ඔහුගේ දායකයන් විසින් ගායනා කරන ස්වාධීන අඬහැරයේ වැඩිපුරම ඇසෙන්නේ "මහ බංකු ස්වාධීනත්වය" යන පදය යි. එය යෝජිත පනතේ 5 වැනි වගන්තියෙහි දැක්වෙයි. ඒ අනුව, මහ බැංකුව පරිපාලන සහ මූල්‍ය වශයෙන් ස්වාධීන ආයතනයක් වන අතර පනතේ නියම කොට ඇති කාර්යයන් කිරීමේ දී මහ බැංකුවේ කිසිම නිලධාරියෙකුට කිසිම පුද්ගලයකු හෝ ආයතනයක් විසින් බලපෑමක් නොකළ යුතුය. මහ බැංකු අධිපතිගේ ස්වාධීන අඬහැරයේ එකම පද කාණ්ඩය මෙය යි. 

එහෙත්, පරිපාලනය සහ මූල්‍ය ස්වාධීනත්වය හෝ බාහිර බලපෑම කුමක් ද? යන්න ට නීතිමය අර්ථකතනයක් දී නොමැති අතර එවැනි බලපෑමක් වූ අවස්ථාවක ඊට අදාළ පාර්ශවයන්ට (මහ බැංකුවේ සහ පිටත) එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පනතේ දක්වා නොමැත. එසේම, මහ බැංකුවේ බලතල, වගකීම් සහ කාර්යයන් දැක්වෙන වෙනත් කිසිම වගන්තියක ස්වාධීනත්වය අදාළ වන හෝ පිළි පදින ආකාරය දක්වා නොමැත.

මෙම ස්වාධීනත්ව අඬහැරයේ ලොකුම විහිළුව වන්නේ, මහ බැංකුවේ නිලධාරීන්ට පනතේ නියම කොට ඇති තම වගකීම් සහ කාර්යයන් ඉටු කිරීම සඳහා ඕනෑම පාර්ශවයකින් උපදෙස් හෝ ගුරුහරුකම් ලබා ගැනීමට හෝ අනුගමනය කිරීමට පනතින් අවසර ලබා දීම යි. එබැවින්, මෙම පනත කෙටුම්පත් කළ කිසිවෙකු මහ බැංකු ස්වාධීනත්වය හෝ මහ බැංකු කාර්යයන් පිළිබඳ ව අබමල් රේණුවක දැනුමක් ඇති පුද්ගලයන් නොවන බව පෙනේ. 

මෙම වගන්තියෙන් මැනවින් පැහැදිලි වන කරුණක් වන්නේ, තම ව්‍යවස්ථාපිත කාර්යයන් ඉටු කිරීමට තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන් මහ බැංකු සේවයට පත් වීමේ අවස්ථාව පවතින බව යි. ඒ අනුව, ඔවුන්ට ඕනෑම බාහිර පාර්ශවයකින් උපදෙස් ලබා ගැනීමේ බලතල  පනතින් ලබා දී ඇත. එමගින්, පැහැදිලි වන්නේ මහ බැංකු ස්වාධීනත්වය යනු අර්ථ රහිත පදයක් බව යි.

  • රජයට ණය නොදීම සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් නව මහ බැංකු පාලක මණ්ඩලයට සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට ඇතුලත් නොකිරීම  

නව පනතින් ලැබෙන ස්වාධීනත්වය පිළිබඳ අඬහැරයේ තවත් ප්‍රධාන පද යුගල දෙකක් පවතී . ඒවා නම්, මහ බැංකුව විසින් රජයට ඍජු හෝ වක්‍ර ලෙස ණය නොදීම සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් නව මහ බැංකුවේ පාලක මණ්ඩලයට ඇතුලත් නොකිරීම යනාදිය යි. එහෙත්, දැනට රජයට දී ඇති ණය (අත්තිකාරම් සහ භාණ්ඩාගාර බිල්පත් ණය) ඉදිරියට පවත්වා ගෙන යනු ඇත.

එහෙත්, මේ තුළින් මහ බැංකුවට ලැබෙන ස්වාධීනත්වයට වඩා ප්‍රතිපත්ති දුෂ්කර තාවන්ට මුහුණ දීමට සිදු වනු ඇත. රජය විසින් ස්වාධීනව බැංකු සහ වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීම කරන විට මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය අර්බුදයට ලක් විය හැකිය. මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් රාජ්‍ය අරමුදල් පිළිබඳ යහපාලන චක්‍ර ලේඛනයන් මහ බැංකුව ආවරණය වන පරිදි නිකුත් කළ හොත් මහ බැංකුවේ පරිපාලන ස්වාධීනත්වය ගිලිහෙනු ඇත. 

ඊට හේතුව, මහ බැංකුවේ අරමුදල් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ පාලනයට යටත් රාජ්‍ය අරමුදල්වලට අයත් වන බැවිනි. නව මහ බැංකු පනත ව්‍යවස්ථාව අභිමවා යන පනතක් නොවේ. වර්තමානයේ බොහෝ භාණ්ඩාගාර චක්‍ර ලේඛනවලින් මහ බැංකුව නිදහස් කෙරෙන්නේ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මුදල් මණ්ඩලයේ නිල සාමාජිකයෙක් වීම හේතු කොට මහ බැංකු මූල්‍ය සහ පරිපාලන ක්‍රියාකාරකම් පිළිබඳ ව මනා දැනුමක් ඔහු වෙත පවතින බැවිනි.

එබැවින්, මහ බැංකුවේ ලාභ ආදායම් බදුවලින් නිදහස් කළ ද, මහ බැංකුව ස්වාධීන ආයතනයක් නම්, මහ බැංකුව ද රාජ්‍ය බදු නීතිවලට යටත් ආයතනයක් ලෙස ප්‍රකාශ කෙරෙනු ඇත.

නව මහ බැංකු පනතෙන් නොලැබෙන ස්වාධීනත්වය

යෝජිත පනතේ ප්‍රතිපාදනයන් දෙස බලන විට මහ බැංකුවේ ස්වාධීනත්වය තවත් කෙලෙසන ප්‍රතිපාදනයන් රැසක් පවතී. ඉන් ප්‍රධාන කිහිපයක් පහත දැක්වෙයි.

  • මහ බැංකුවේ ප්‍රාග්ධනය රජයෙන් සැපයීම
මෙහි හාස්‍ය ජනක ප්‍රතිපාදනය වන්නේ මහ බැංකුව බූන්වත් වන අවස්ථාවල, එය නිරාකරණයට අවශ්‍ය ප්‍රාග්ධනය රජය විසින් සැපයිය යුතු වීම යි. මේ පිළිබඳ ව නැගෙන ප්‍රධාන මහජන මැසිවිල්ල වනුයේ, මුදල් මුද්‍රණය කොට වැය කරන එකම ස්වාධීන රාජ්‍ය ආයතනය වන මහ බැංකුවට බූන්වත් වීමට අවශ්‍ය ප්‍රතිපාදනයන් යෝජිත පනතින් ලබා දීම යි. 

එබැවින්, නීති සම්පාදකයන් විසින් තම ඇස් කන් වසා ගෙන මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර විමසිය යුතු කරුණක් වන්නේ, මුදල් මුද්‍රණය කරන නිවැරදි තීරණ ගන්නා ස්වාධීන මහ බැංකුව බූන්වත් භාවයට පත් විය හැක්කේ කෙසේ ද? එසේ වූ විට මහජන මුදල්වලින් මහ බැංකුව නුබූන්වත් කිරීමේ සාධාරණත්වය කුමක් ද? යන්න යි.

  • රජයට නියෝජිත සේවාවන් සැපයීම

රජයේ බැංකු කරු, රජයේ මුදල් තැන්පතු ආයතනය, රාජ්‍ය මූල්‍ය නියෝජිත, ණය දෙන ආයතන වෙත රාජ්‍ය ණය ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේ නියෝජිත සහ රජයේ  IMF නියෝජිත යන සේවාවන් මුදල් නීති පනතේ මෙන්ම යෝජිත පනතේ ද ඇතුලත් වී ඇත. මෙම සේවාවන් රජයේ බලපෑම සහ රජය සමඟ ක්‍රියා කිරීමට තුඩු දෙන මෙවලම් ය. එහෙත්, මේවා මහ බැංකුවේ උද්ධමන පාලනයට යොදා ගැනීම සඳහා නිර්දේහ කෙරෙන මෙවලම් නොවේ. 

  • වර්ෂ තුනකට වරක් උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්ති ගිවිසුම මුදල් ඇමති සමඟ අත්සන් කිරීම

වත්මන් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ව කිසිම එකඟතාවක් හෝ සාකච්ඡාවක් මුදල් ඇමති සමඟ සිදු කිරීමට ප්‍රතිපාදන නොමැත. එබැවින්, මෙය යෝජිත පනත විසින්ම මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය රජයට පාවා දීමකි. මෙහි හාස්‍ය ජනක ප්‍රතිපාදනය වන්නේ, මෙම ගිවිසුමේ උද්ධමන ඉලක්කය හෝ එහි සංරචකයන් සංශෝධනය කිරීමට මුදල් ඇමති වෙත බලය ලබා දීම යි. එබැවින්, නව ස්වාධීන මහ බැංකුවට ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් මෙම පනතින් ලබා දී නොමැත.

මුදල් නීති පනත අනුව මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය රටේ මහජනයාට හිත කර නොවන බව රජයේ මතය වන අවස්ථාවක, එම මතයට මහ බැංකුවේ මුදල් මණ්ඩලය එකඟ නොවේ නම්, රජයේ මතය ක්‍රියාත්මක කරන ලෙස විධාන කිරීමට මුදල් ඇමති වෙත බලය ලැබී ඇත. එහෙත්, එය හුදෙක් විධානයක් නොව වගකීම් සහිත විධානයකි. එනම්, එම විධානය මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුතු අතර එම ප්‍රතිපත්තියේ පුර්ණ වගකීම රජය විසින් භාර ගැනීම යි. 

එහෙත්, ඉහත දැක්වූ මූල්‍ය ප්‍රතිපත්ති ගිවිසුමේ එවැනි වගකීමක් රජයට හෝ මුදල් ඇමති වෙත නොමැත. තව ද, උද්ධමන ඉලක්කය අඛණ්ඩව අසමත් වන විට මහ බැංකුවේ කිසිම අදාළ නිලධාරියෙකුට දඬුවමක් නොමැත. එබැවින්, නව පනතින් මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා ස්වාධීනත්වයක් ලැබෙන බව  අඬහැරයේ  දැක්වීම අර්ථය නොදැන කෙරෙන අඬහැරය කි.

  • අවසාන ණය දෙන්නාගේ කාර්යය සඳහා රජයේ  ඇපය ලබා ගැනීමේ නව නීතිය 

ලෝකයේ මහ බැංකුවල සම්ප්‍රදායික සහ ඉතා වැදගත් කාර්යයක් වන්නේ, මූල්‍ය හෝ බැංකු ද්‍රවශීල අර්බුදයක් හෝ චකිතයක් ඇති වන බවට සංඥාවන් පවතින අවස්ථාවල මහ බැංකුවේ මතය අනුව බැංකුවලට හදිසි ණය සැපයීම යි. එමගින්, කලබල වී මුදල් ආපසු ගන්නා තැන්පතු හිමියන්ට කඩිනමින් මුදල් ලබා දීමට හැකි වීමෙන්, මූල්‍ය සහ බැංකු පද්ධතිය පිළිබඳ ව තැන්පතු විශ්වාසය නැවත ගොඩ නැගීමේ හැකියාවක් පවතී. 

මුදල් සහ බැංකු ක්‍රමයේ ස්ථායිතාවය මහ බැංකුවල වගකීමක් වන බැවින් සෑම මහ බැංකුවක් වෙත මෙම ස්වාධීනත්වය පවතී. මෙවැනි අවස්ථාවල, බැංකු විසින් වෙනත් බැංකුවලට ණය දීමට ඉදිරිපත් නොවන බැවින්  මහ බැංකු හදිසි ණය සේවය අවසාන ණය දෙන්නා ලෙස හැඳින් වෙයි. මෙම කාර්ය සඳහා බලතල වත්මන් මහ බැංකුව සතුව පවතින අතර එම බලතල අතීතයේ කිහිප වරක් භාවිතා කොට ඇත.

ලෝකයේ මහ බැංකු හදිසි ණය සේවය පිළිබඳ ව පසුගිය සතියේ අමෙරිකාවෙන් සහ ස්විට්සර්ලන්තයෙන් වාර්තා විය. පළමුව, ඇමෙරිකාවේ මාර්තු 7-10 සතිය තුළ බැංකු තුනක් කඩා වැටීමෙන් තැන්පතු හිමියන් අතර චකිතයක් හට ගැනීමේ අවදානම වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් 19 වැනි ඉරිදා දින හදිසි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. එය සීමාවකින් තොරව උපරිම වර්ෂයක කාලයක් සඳහා රාජ්‍ය සුරැකුම්පත් සහ වෙනත් නම් කරන ලද සුරැකුම්පත්වල සමවටිනාකම හෙවත් මුහුණත වටිනාකම ඇපය මත තැන්පතු ආපසු ගෙවීම සඳහා ලබා දෙනු ඇත. ඊට පසු දින තුන තුළ ඩොලර් බිලියන 300 ක පමණ විශාල මුදලක් බැංකු විසින් ලබා ගත් බව වාර්තා විය. දෙවනුව, එම සතියේම ස්විට්සර්ලන්ත මහ බැංකුව විසින් ස්විට්සර්ලන්ත ෆ්‍රෑන්ක් බිලියන 50 ක හදිසි ණයක් ද්‍රවශීල අර්බුදයට මුහුණ දී ඇති ක්‍රෙඩිට් සුයිස් නම් වූ විශාල බැංකුවකට ලබා දෙන ලදි.

මෙය පසුගිය වසරක කාලයක් තුළ ලෝකය පුරා මහ බැංකු විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා බවට පවසමින් පොලී අනුපාතය වේගයෙන් ඉවක් බවක් නොමැතිව ඉහළ දැමීම හේතු කොට බැංකු, මූල්‍ය ආයතන, ව්‍යාපාරික සමාගම් සහ කුටුම්බයන්ට මුහුණ දීමට සිදු වී ඇති මූල්‍ය කම්පනයේ ඍජු ප්‍රතිඵලයක් බව ආර්ථික සහ මූල්‍ය විචාරකයන් විසින් දැක්වෙයි. 

මෙම කම්පනය වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද පවතින අතර වත්මන් ආර්ථික කඩා වැටීම සහ රාජ්‍ය ණය අර්බුදය දෙස බලන විට බැංකු සහ මූල්‍ය ආයතනවලින් තැන්පතු ආපසු ගැනීමේ චකිතයක් හට ගැනීමට අවකාශයක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකිය. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුව එම අවදානම වැලැක්වීමට කිසිම සූදානමක් නොමැති බව, බැංකු වෙත සැපයෙන දෛනික ණය කවුළුව (නිත්‍ය ණය පහසුකම) මෙම වසරේ ජනවාරි මැද සිට සිමා කිරීමෙන් පැහැදිලි වෙයි.

එහෙත්, යෝජිත පනත මගින් මෙම අවසාන ණය දෙන්නාගේ ස්වාධීනත්වය මහ බැංකුවෙන් ඉවත් කොට ඇත. එනම්, එවැනි හදිසි ණය ලබා දිය හැක්කේ රජයේ ඇපය ලැබේ නම් පමණි. එබැවින්, නව පනත හරහා මූල්‍ය අර්බුදයන් වැලැක්වීම රාජ්‍ය මූල්‍ය කාර්යයක් බවට පත් කොට ඇත. එසේම, වත්මන් මහ බැංකු හදිසි ණය ලබා ගැනීමට අවසර ලැබෙන්නේ බැංකු වෙත පමණි. එහෙත්, නව පනත යටතේ එම ණය බැංකුවලට අමතරව මූල්‍ය සමාගම් සහ ලිසිං සමාගම් වැනි ඉතා අවදානම්කාරී මූල්‍ය ව්‍යාපාරයන්හි නිරත ඡායා බැංකු ද ඇතුලත් කොට ඇත. එබැවින්, නව පනතින් රජයට විශාල වගකීමක් පැවරෙන අතර මූල්‍ය අර්බුදයන් වැලැක්වීමට මහ බැංකුව වෙත පවතින ස්වාධීනත්වය සිමා කොට ඇත.

  • නිකුත් කෙරෙන ව්‍යවහාර මුදල්වල (කාසි සහ නෝට්ටු) නිර්මාණය මුදල් ඇමතිගේ අනුමැතියට යටත් වීම සහ ඔහුගේ අත්සන යෙදීම 

මහ බැංකුව ස්වාධීන ආයතනයක් නම් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමට මුදල් ඇමතිගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවිය යුතුය. මහ බැංකු අධිපතිගේ සහ ව්‍යවහාර මුදල් අධිකාරිගේ අත්සනින් කාසි සහ නෝට්ටු නිකුත් කළ යුතුය. එබැවින්,  ස්වාධීන මහ බැංකුව පිළිබඳ මහජනයාගේ විශ්වාසය මත කාසි සහ නෝට්ටු ගනුදෙනු කෙරෙනු ඇත. එබැවින්, මෙයට මුදල් ඇමතිගේ නම යොදා ගැනීම යනු මහ බැංකුව විසින් තම වගකීමක් වන කාසි සහ නෝට්ටු සඳහා මහජනයා අතර රාජ්‍ය විශ්වාසය ලබා ගැනීමට ක්‍රියා කිරීමකි.

  • පාලක මණ්ඩයේ  සහ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩයේ සාමාජිකයන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය මුදල් ඇමති හරහා රජය සතු වීම

මෙය මහ බැංකු ස්වාධීනත්වය නැති වී යාමකි. මෙම සාමාජිකයන් ප්‍රසිද්ධියේ ඉල්ලුම් පත්‍ර කැඳවා තරගකාරී පදනමකින් තෝරා නොගන්නා අතර ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කෙරෙන්නේ මුදල් ඇමතිගේ එක් නිර්දේශයක් පමණි. අවම වශයෙන් නිර්දේශ තුනක් හෝ ඉදිරිපත් කෙරේ නම්, වඩා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා සභාවට යම් අභිමතයක් පවතී. එසේම, යම් සාමාජිකයෙකු ඉවත් කිරීමට ක්‍රියා කිරීමේ බලය ද මුදල් ඇමති වෙත පැවරී ඇත.  ශ්‍රී ලංකාවේ මුදල් ඇමති සාමාන්‍යයෙන් විධායක ජනාධිපති වන බැවින් ඔහුගේ නිර්දේශය ව්‍යවස්ථා සභාව විසින් ක්‍රියාත්මක කරනු ඇත. එසේ ඉවත් කිරීමේ සාධක අවශ්‍ය පරිදි මුදල් ඇමතිගේ අභිමතය පරිදි නම්‍යශීලී ලෙස භාවිතා කළ හැකිය.

එහෙත්, ඇමෙරිකාව වැනි රටවල මහ බැංකු අධිපති මණ්ඩල සාමාජිකයන් වසර 4 ක් සඳහා ජනාධිපති විසින් පත් කළ පසු, ඔවුන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිට හෝ රජයට නොමැත. මෙහි දී, එම රටවල පවා රජය සහ මහ බැංකුව අතර පවතින නිල නොවන සබඳතාවයට උදාහරණයක් වන්නේ, ඇමෙරිකා මහ බැංකුවේ උපසභාපති ජනාධිපති විසින් පත් කොට වසර දෙකක් ගත වීමට පෙර එම තනතුර අතහැර ජනාධිපතිගේ ආර්ථික උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස පත් කිරීම යි.

2017-18 වර්ෂවල ඇමෙරිකානු මහ බැංකුව විසින් ඉවක් බවක් නැතිව, ආර්ථිකයේ කිසිම උද්ධමන පීඩනයක් පවා නොමැති අවස්ථාවේ අනාගතයේ උද්ධමනය හට ගැනීමේ අවදානමක් ඇති බව පවසමින් පොලී අනුපාතය සීග්‍රයෙන් 2% කින් 2.50% දක්වා ඉහළ දැමීම කෙරෙහි උරණ වූ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මහ බැංකු අධිපති නිර්දය ලෙස විවේචනය කළ අතර ඔහු ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් ද ගවේෂණය කරන ලදි. මහ බැංකු බලතල පහළ දැමීම පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය. 

පසුව, මහ බැංකුව විසින් පොලී අනුපාතය තවදුරටත් ඉහළ දැමීම අත්හිටුවන ලදි.  එහෙත්, මහ බැංකුව විසින් පැවසූ පරිදි උද්ධමනය ඉහළ යාමක් සිදු නොවීය. ඊට පසුව, 2020 වසර ආරම්භයේ දී  කොරෝනා වසංගතය හට ගැනීමත් සමඟ පොලී අනුපාතය නැවත 0.25% දක්වා විගසින් පහළ දමා, රිසි සේ මුදල් මුද්‍රණය වර්ෂයක් තුළ 110% කින් ඉහළ දමන  ලදි. එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මහත් පැසසුමට ලක් විය.

  • රාජ්‍ය මූල්‍ය මෙව්ලම්වල සහයෝගය මුදල් ඇමතිගෙන් ඉල්ලා සිටීම

නව පනත අනුව ආර්ථිකයේ දේශීය මිල ස්ථායිතාවය හෝ මහ බැංකුවේ විදේශ සංචිතය කෙරෙහි අහිතකර අස්ථායිතාවයන් හෝ කම්පනයන් අපේක්ෂා කෙරෙන විට, මහ බැංකුව විසින් තමන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් සහ රජය විසින් ගැනීමට යෝජනා කෙරෙන රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගයන් ඇතුලත් වාර්තාවක් මුදල් ඇමති වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එම කම්පනය පහව යන තෙක් තවදුරටත් මුදල් ඇමති වෙත වාර්තා කළ යුතු බවත් දැක්වෙයි.

මහ බැංකුව තම වගකීම් ඉටු කිරීමට ස්වාධීන නම්, මෙසේ රාජ්‍ය මූල්‍ය උපකාරය ඉල්ලා සිටීමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් කිරීම යෝග්‍ය නොවේ. ඉන් අදහස් වන්නේ නව මහ බැංකුවට තනිවම තම ප්‍රධාන වගකීම් ඉටු කිරීමට හැකියාවක් නොමැති බව යි.

මහ බැංකු ස්වාධීනත්වයේ යටි අරමුණු

කරුණු විග්‍රහ කරන විට මෙම ස්වාධීන අඬහැරය තුළ යටි උපායන් රැසක් පවතින බව පෙනේ. ඉන් කිහිපයක් පහත දැක්වෙයි.

  • දේශීය මිල ස්ථායිතාවය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අවභාවිතය

ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම තුළින් දේශීය මිල ස්ථායිතාවය පවත්වා ගෙන යාම සඳහා මහ බැංකුවට ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා නව පනත ඉදිරිපත් කරන බව පැවසුව ද, නව පනතේ ඇතුලත් කොට ඇති නව ප්‍රතිපාදනයන් රාශියක් දැඩි ප්‍රශ්නකාරී වෙයි. එබැවින්, මෙහි බොහෝ යටි අරමුණු පවතී.

ඉන් ප්‍රධාන ප්‍රශ්නයන් දෙකක් දැක්විය හැකිය.

  • පළමුව, රජයට ණය දීම තහනම් කොට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ණය ගනුදෙනු කිරීම සහ විවට වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වාණිජ බැංකුවලට අමතරව විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් ඇතුලත් කිරීම. විශේෂයෙන් මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් යනු ඉතාමත් අවදානම්කාරී ව්‍යාපාරික ආයතන වන අතර රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා මුදල් පද්ධතියට අවදානම්කාරී ඡායා බැංකු ඇතුලත් කිරීම කිසිම රටක දැකිය නොහැකිය.

  • දෙවනුව, විවට වෙළෙඳපොළ ගනුදෙනු සඳහා රාජ්‍ය සුරැකුම්පත් ඉවත් කෙරෙන අතර ඒ වෙනුවට මහ බැංකුව විසින් තීරණය කෙරෙන ණයකර සහ කොටස් වැනි පෞද්ගලික වෙළෙඳපොළ මූල්‍ය සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් භාවිතා කෙරෙනු ඇත. නව පනත යටතේ රජයට වක්‍රව ණය සැපයීම ද තහනම් බැවින්, විවට වෙළෙඳපොළ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම ද මහ බැංකුවට තහනම් වෙයි. එහෙත්, වත්මන් ශ්‍රී ලංකා මහ බැංකුවට විවට වෙළෙඳපොළ කටයුතු සඳහා අවසර පවතින්නේ, රාජ්‍ය සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් යොදා ගැනීම සඳහා පමණි.

මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වය පවතින සංවර්ධිත රටවල මහ බැංකු පවා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සිදු කරන්නේ, බැංකු පද්ධතිය සහ රාජ්‍ය සුරැකුම්පත් හරහා ය. එබැවින්, නව පනත තුළින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවදානම්කාරී ඡායා බැංකු සහ පෞද්ගලික සුරැකුම්පත් යොදා ගැනීමේ අරමුණ කුමක් ද? යන්න ප්‍රශ්නකාරී වෙයි. 

එබැවින්, මෙය ඡායා බැංකුවල සහ පෞද්ගලික සුරැකුම්පත් වෙළෙඳපොළවල අවදානම් මහ බැංකුව විසින් දැරීමේ උත්සාහයක් බව කිව හැකිය. එබැවින්, රටේ මුදල් සහ බැංකු ක්‍රමය පෞද්ගලික වත්කම් වෙළෙඳපොළවල් මත රැඳීමේ දැඩි අවදානමක් පවතී. නව පනතින් ප්‍රතිපාදනය කොට ඇති පරිදි මහ බැංකුව  බූන්වත් වීම ඒ මගින් සිදු වනු ඇත. එවිට, මහ බැංකුවට අවශ්‍ය අවශ්‍ය ප්‍රාග්ධනය රාජ්‍ය අරමුදල්වලින් සැපයීමට නියම කොට ඇත. 

එබැවින්, රාජ්‍ය ණය සහ සුරැකුම්පත් ඉවත් කොට, පෞද්ගලික ණය සහ සුරැකුම්පත් හරහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පදනම කුමක් ද? යන්න තේරුම් ගත නොහැකිය. එනම්, රාජ්‍ය ප්‍රාග්ධනය සහිත මහ බැංකුව රාජ්‍ය විරෝධී පෞද්ගලික මහ බැංකුවක් ලෙස ක්‍රියාත්මක කිරීමේ ආර්ථික හෝ මහජන අරමුණ කුමක් ද? යන්න යි. 

මෙය අනාගතයේ දී මහජනයා විසින් තෝරා පත් කර ගන්නා රජයන්ගේ ස්ථායිතාවයට මහත් තර්ජනයක් වනු ඇත. අනාගතයේ දී ඇති විය හැකි මූල්‍ය අර්බුදයක් සඳහා ද වගකීමට සිදු වන්නේ රජයට යි. ඊට හේතුව, ඡායා බැංකු මුදල් ප්‍රතිපත්ති පද්ධතිය ඇතුළු කිරීම හේතු කොට, ඔවුන් සහ බැංකු අතර අන්තර් සම්බන්ධය ඉහළ යන අතර හදිසි ද්‍රවශීල ණය සැපයීම සඳහා රාජ්‍ය ඇපය අවශ්‍ය වීම යි.

  • මහ බැංකු අධිපති නිල කාලය දීර්ඝ කර ගැනීම  

සමහර විචාරකයන්ට අනුව නව පනත තුළ මහ බැංකු අධිපති වෙත නිල කාලයක් නොමැති අතර, වත්මන් මහ බැංකු අධිපති ඉවත් කිරීමක් සිදු නොවුව හොත්, ඔහු විසින් ජීවිත කාලය පුරා අධිපතිකම දැරීමේ කූඨ ප්‍රයත්නයක් පවතී. තව ද, වත්මන් මුදල් මණ්ඩල සාමාජිකයන් නව පනත යටතේ තම වසර 6 ක නිල කාලය අවසන් වන තෙක් නව පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස නිරායාසයෙන් පත්වනු ඇත. මෙය ද කූඨ ප්‍රයත්නයකි. 

නව මහ බැංකුව ස්වාධීන මහ බැංකුවක් නම්, ස්වාධීන නොවූ මහ බැංකුවේ සාමාජිකයන් ස්වාධීන මහ බැංකුවේ සාමාජිකයන් ලෙස පිළි ගත නොහැකිය. එබැවින්, නව ස්වාධීන මහ බැංකුවට නව ස්වාධීන සාමාජිකයන් පත් කිරීමට අවස්ථාව සැලසෙන පරිදි වත්මන් සාමාජිකයන් නව පනතින්ම ඉවත් කළ යුතුය.

තව ද, පාලක මණ්ඩල සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේ දී බැංකු පනතේ දැක්වෙන යෝග්‍යතා පරීක්ෂණය අදාළ කොට ඇත. එහෙත්, එහි සමහර කොන්දේසි අධිපතිගේ පත් වීමට වාසි දායක වන පරිදි සංශෝධනය කොට ඇතුලත් කොට ඇත. එය පුද්ගලයකුගේ අවංක භාවය සහ විශ්වාසී භාවය පරික්ෂා කෙරෙන කොන්දේසිය යි.

එසේම, ගෝලීය සම්මතය වන්නේ මහ බැංකු අධිපති සහ මණ්ඩල සාමාජිකයන් වර්ෂ 4 ක නිල කාලයක් සඳහා පත් කිරීමයි. එහෙත්, IMF උපදෙස් අනුව කෙටුම්පත් කොට ඇති යෝජිත පනතෙහි වසර 6 ක නිල කාලයක් ලබා දී ඇත. මීට අමතරව, මණ්ඩල සාමාජික සංඛ්‍යාව 6 සිට 12 දක්වා ඉහළ නංවා ඇත. නියෝජ්‍ය අධිපති වරුන් දෙදෙනකු ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට ඇතුලත් කිරීමෙන්, මහ බැංකු අධිපතිගේ මණ්ඩල රැස්වීම් බලය ඉහළ දැමීමට ක්‍රියා කොට ඇත.

  • මහ බැංකු අයවැය

නව පනත අනුව මහ බැංකුවේ  පරිපාලන ක්‍රියාකාරකම් සඳහා මුදල් මුද්‍රණය පාලක මණ්ඩලය විසින් අනුමත කෙරෙන වාර්ෂික අයවැයක් හරහා ක්‍රියාත්මක කෙරෙනු ඇත. මහ බැංකුවේ සියළු වියදම් පියවෙනුයේ නව මුදල් මුද්‍රණය තුළිනි. එසේම, මහ බැංකුවේ වැටුප් යනාදිය මහ බැංකු ආදායම මත පදනම් නොවිය යුතු බව නව පනතෙහි දැක්වෙයි. ඊට හේතුව, මහ බැංකු ආදායම යනු මුදල් මුද්‍රණයෙහිම කොටසක් වන බැවිනි. 

මහ බැංකු වියදම් මුදල් මුද්‍රණය තුළින් පියවීමට බලතල පවතී නම් සහ මහ බැංකු ආදායම එහි වියදම් තීරණය කෙරෙන සාධකයක් නොවේ නම්, මහ බැංකුවට අයවැයක් අවශ්‍ය ඇයි ද? යන්න ගැටළුවකි. අයවැය තුළින් සිදු කෙරෙන්නේ, වියදම් අධි ඇස්තමේන්තු සකස් කොට නිදහසේ මුදල් මුද්‍රණය කිරීමකි. සමහර අවස්ථාවල, සත්‍ය වියදම ඇස්තමේන්තු වියදමට වඩා අඩු වන විට, එය සේවක මණ්ඩල කාර්යක්ෂමතාවයක් ලෙස සලකා සේවක ප්‍රසාද දීමනා ද ලබා දීම දැකිය හැකිය. එබැවින්, මහ බැංකු අයවැය ද ප්‍රෝඩාකාරී ප්‍රතිපාදනයකි.

නව මහ බැංකු පනතින් කඩාකප්පල් කෙරෙන මුදල් ක්‍රමය

වත්මන් මුදල් ක්‍රමය ප්‍රධාන වශයෙන් නිල මුදල් ඒකකය, මහ බැංකුව, ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවලින් (තැන්පතු සහ ණය) යුක්ත වෙයි. එහෙත්, නව පනත යටතේ මුදල් ක්‍රමය මහ බැංකුව, ව්‍යවහාර මුදල්, වාණිජ බැංකු සහ ඡායා බැංකුවලින් යුක්ත වෙයි. නිල මුදල් ඒකකයක් නොමැති වීමත්, ඡායා බැංකු ඇතුලත් කිරීමත්, හේතු කොට මුදල් ක්‍රමය අර්බුදයට පත් වනු ඇත.

විශේෂයෙන් නිල මුදල් ඒකකයක් නීතියෙන් නොමැති වීම හේතු කොට, බැංකු ව්‍යාපාරික කටයුතු, විද්‍යුත් ගෙවුම් පද්ධතිය, ඉතුරුම් සහ ණය ගනුදෙනු සහ ගිණුම්කරණය අර්බුදයට පත් වනු ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ අනාගත මූල්‍ය ක්‍රමය නීතිමය ගැටළු රාශියකට මුහුණ දෙනු ඇත. එය මුදල් සහ බැංකු පිළිබඳ ව මහජන විශ්වාසය පලුදු වී, බැංකු චකිතයන් හට ගැනීමට පවා හේතු විය හැකිය.

සමාප්ත සටහන

ඉහත දැක්වූ කරනු විග්‍රහ කිරීමේ දී පැහැදිලි වන්නේ, මහ බැංකු අධිපතිගේ මහ බැංකු ස්වාධීනත්ව අඬහැරය යනු හුදෙක් මහජනතාව සහ දේශපාලනික නායකයන් මුලා කොට, තමාට සහ තම මිතුරු ව්‍යාපාරිකයන්ට වාසි දායක වන ලෙස මහ බැංකුව පාලනය කිරීම සඳහා වත්මන් මහ බැංකු අධිපති ගනු ලබන ප්‍රෝඩාකාරී උත්සාහයකි. 

එම අඬහැරයේ තේමාව ලෙස රජයෙන් සහ දේශපාලනයෙන් ස්වාධීනව නිවැරදි තීරණයන් ගෙන උද්ධමනය පාලනය කිරීමට නව පනත යටතේ හැකි බව දැක්වෙයි. එහෙත්, එවැනි ස්වාධීනත්වයක් නව මහ බැංකු පනතින් නොලැබෙන බව ඉහත දැක්වූ කරුණු අනුව පැහැදිලි අතර රජයට ණය නොදීම එහි එකම යටි අරමුණ යි. ලෝකයේ බිහි වන එවැනි එකම මහ බැංකුව ශ්‍රී ලංකා නව මහ බැංකුව යි. මෙය රාජ්‍ය විරෝධී දේශපාලනයට මහ බැංකුව එකතු වීමේ ඍජු පියවරකි.

තව ද, මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් එසේ නිවැරදි තීරණය ගැනීමට හැකි දිව්‍ය ලෝකයෙන් පැමිණෙන පිරිසක් නොවේ. බොහෝ සේ ස්වාධීන මහ බැංකු පවතින සංවර්ධිත රටවල පවා තත්ත්වය එසේ ය. නිදහස් මහ බැංකුව තිබූ පමණින් එමරටවල් උද්ධමනයෙන් සහ මූල්‍ය අර්බුදවලින් නිදහස් වී නොමැත. එම මහ බැංකුවල වැරදි තීරණයන් පිළිබඳ ව නිරන්තරයෙන් විද්වත් විවේචනයන් පවතී. 

නූතන ආර්ථිකයන්හි භාණ්ඩ හා සේවා මිල ගණන් සහ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවේ පොලී අනුපාතයට හැකි බව ප්‍රකාශ කිරීම හාස්‍ය ජනක වන අතර එය ඇත්ත වශයෙන් පාලනය කෙරෙන්නේ රාජ්‍ය මූල්‍ය මෙවලම් හරහාය වෙයි. උදාහරණ ලෙස ඇමෙරිකානු රජය විසින් මෑත දී උද්ධමන පාලන පනතක් සම්මත කොට ක්‍රියාත්මක කරමින් පවතී. එයට මහ බැංකුව විරුද්ධ වූයේ නැත. එහෙත්, උද්ධමන පාලනය මහ බැංකුවල ව්‍යවස්ථාපිත අරමුණක් වන බැවින්, රජය විසින් උද්ධමන පාලනය කිරීමේ ලකුණු දා ගන්නේ මහ බැංකුව යි.

එබැවින්, යෝජිත පනතින් බිහි කෙරෙන නව මහ බැංකුව යනු රාජ්‍ය විරෝධී එහෙත් රාජ්‍ය ඒකාධිකාරයෙන් පෞද්ගලික අංශයේ අවදානම් ගැනීම සඳහා මුදල් මුද්‍රණය කෙරෙන පෞද්ගලික මහ බැංකුවකි. ඊට හේතුව, යෝජිත පනත කෙටුම්පත් කොට ඇත්තේ ස්වාධීන වෘත්තීය මණ්ඩලයක් විසින් නොව, වත්මන් මහ බැංකු අධිපති සහ ඔහුගේ සහචරයන් විසින් බැවිනි. මෙවැනි ජාතික වැදගත් කමක් ඇති නීති කෙටුම්පත් කරනු ලබන්නේ, ස්වාධීන විශාරද මණ්ඩලයක් විසින් මහජන අදහස් විමසීමෙන් පසුවය.

සමස්තයක් වශයෙන් ගත් විට පෙනී යන්නේ, නව මහ බැංකු පනත කෙටුම්පත් කළ හෝ එය නිකුත් කිරීමට පෙර කියැවූ හෝ කිසිවෙකුට මහ බැංකු මූලධර්ම සහ පරිචය මෙන්ම මහ බැංකු ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික මූලධර්මයන් පිළිබඳ ව  කිසිම අවබෝධයක් නොමැති බව යි.

එබැවින්, IMF කොන්දේසියක් ලෙස කඩිමුඩියේ මෙම පනත සම්මත කර ගැනීමට ක්‍රියා කිරීම සමාජ විරෝධී ක්‍රියාවකි.  එසේම, එමගින් වත්මන් මූල්‍ය ක්‍රමය චකිතයට පත් කරනු ඇත. එබැවින්, පොදු මහජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරනු ලබන  මහජන නියෝජිතයන්ගේ යුතුකම වන්නේ, ව්‍යාජ අඬහැරයන්ට වශී නොවී ජාතික අභිවෘද්ධිය පිණිස යෝජිත පනත පරාජය කිරීම යි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?