ඉදිරි මැතිවරණයට නව ආර්ථික කළමනාකරණ පොරොන්දුවක් දෙමු - රට ජාතිය ආර්ථික ගාසා තීරයකින් මුදවමු
ලිපියේ පසුබිම
1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ රාශියක් සහභාගි වී ඇත. එසේම, රාජ්‍ය පාලනය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අනුගමනය කළ පක්ෂ හෝ මහජන සංවිධානයන් ද විය. මෙම සියළු පක්ෂ විසින් රටේ ජනතාව විවිධාකාරයේ විෂමතාවන් මත වෙන් කොට, පක්ෂ නායකයන්ට කැමැත්ත සහ ඡන්දය ලබා ගැනීම සඳහා සංවිධානය කිරීම දැකිය හැකිය.
මෙහි දී, ආගම, ගෝත්‍රය, කුලය, නිජ ප්‍රදේශය, අතීත උරුමය, පළාත, ජීවන වෘත්තීය, ආර්ථික සංකල්ප, ගෝලීය භූදේශපාලනය වැනි නොයෙකුත් කරුණු මත ජනයා බෙදා ගැනීම සිදු වෙයි. ඒ මගින් රට තුළ විවිධ සමාජ ආරවුල් සහ අර්බුදයන් ඇති කෙරෙන බවත්, නූතන මානව සංවර්ධනය මහජනතාවගෙන් වැලැක්වෙන බවත් රහසක් නොවේ. ඒ බව, සියවස් ගණනක් තුළ ගොඩ නගා ගත් රටවල් සහ සමාජයන් එවැනි ගැටුම් හේතු කොට දින ගණනකින් විනාශ යාමෙන් සනාථ වෙයි. ඒ සියල්ල දේශපාලන නායකයන්ගේ පොරොන්දුවල ඇති ගැටුම් හරහා සිදු වන අතර බෙදීමට ලක් කෙරෙන බහුතර මහජනයා ඒවායේ ප්‍රාණ ඇපකරුවන් ලෙස භාවිතා කෙරේ.
එහෙත්, වරින්වර ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සතු වී ඇත්තේ පක්ෂ දෙකකට ය. එම පක්ෂ දෙක 1950 ගණන්වල ආරම්භ වී, පසුව විවිධ පුද්ගල මුහුණුවරින් මේ දක්වා විකාශය වී ඇත. අනෙක් පක්ෂවල ක්‍රමවේදය වී ඇත්තේ, හුදෙක් තම නායකයන්ට රාජ්‍ය වාසි භුක්ති විඳීම සඳහා රාජ්‍ය බලයේ සිටින පක්ෂයට එකතු වීම හෝ සංධානගත වීම යි. මෙහි දී, ඔවුන්ගේ වැදගත්කම සහ පැවැත්ම වන්නේ එක් ප්‍රධාන පක්ෂයකට බහුතර බලය ලබා ගැනීමට උර දී බලයේ වාසි ලබා ගැනීම යි.
එබැවින්, මහ මැතිවරණයක දී සමස්ත රාජ්‍ය පාලනය සිදු කෙරෙන ආකාරය පිළිබඳ ව ජාතික වශයෙන් මහජන පොරොන්දු තරගකාරීව ඉදිරිපත් කිරීම සිදු වන්නේ ප්‍රධාන පක්ෂ දෙක විසිනි. එම පොරොන්දු බොහෝ විට, සමකාලීන දැවෙන මහජන ගැටළු කිහිපයකට පිළියම් හෝ මහජනයාට නව බලාපොරොත්තුවක් ලබා දීම කෙරෙහි යොමු වී ඇත. සමහර මහජන ගැටළු එම පක්ෂ විසින් ම නිර්මාණය කරන ලද ඒවාය.
මෙහි දී, ඡන්ද පදනමට බලපෑමක් කළ හැකි රාජ්‍ය සේවකයන්, පහළ ආදායම් ලාභීන්, කාන්තාවන්, විශ්‍රාමිකයන් වැනි ජන කොටස් ඉලක්ක වූ විශේෂ පොරොන්දු දැකිය හැකිය. ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය සහ සංහිඳියාව, දුෂණය අතුගා දැමීම, සමෘධිය ලඟා කර දීම වැනි බැරෑරුම් සංකල්පීය පොරොන්දුවල ද අඩුවක් නොමැත. මෙම පොරොන්දු සැපයීමේ දී තම පක්ෂයේ සහ නායකයන්ගේ අතීත භූමිකාවන් වර්ණනා කිරීමත්, සියළු සමකාලීන මහජන ප්‍රශ්න සඳහා අනෙක් ප්‍රධාන පක්ෂයට අවලාද නැගීමත් බහුල දසුනකි.
එසේ මාරුවෙන් මාරුවට එම පක්ෂ දෙක විසින් දහසක් පොරොන්දු මත රට පාලනය කළ ද, 2022 වර්ෂය ආරම්භයේ සිට රට සහ මහජනයා මුහුණ දෙන ආර්ථික අර්බුදය සහ ඒ ආශ්‍රිත සාධක/කරුණු මගින් පක්ෂ දෙකේම ජාතික අසාර්ථකත්වය විදහා දැක්වෙයි. එබැවින්, එම පක්ෂ දෙකට තවදුරටත් අතීත මාදිලියේ ඡන්ද පොරොන්දු, අනෙක් පක්ෂයට දෝෂාරෝපණය සහ තම පක්ෂ භූමිකාව වර්ණනය ඉදිරි මැතිවරණවල දී හරි යන්නේ නැත. ඊට හේතුව, සමකාලීන මහජන/ජාතික අවශ්‍යතාවය වන්නේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ඉදිරි පරම්පරාවන් බේරා ගැනීමට හැකි තිරසාර රාජ්‍ය වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම වීම යි.
එය කළ හැකි රජයක් වර්තමානයේ නොමැති බැවින් එය කළ යුත්තේ ඉදිරි ඡන්දයෙන් පත්වන රජයට යි. එබැවින්, ඉදිරි මැතිවරණයේ දී ඉදිරිපත් කළ යුතු ඡන්ද පොරොන්දු අවශ්‍යයෙන්ම එවැනි රාජ්‍ය වැඩපිළිවෙලක් සම්බන්ධව විය යුතු ය. එහෙත්, එසේ නොවූවත්, රටකට රජයක් පැවතිය යුතු බැවින් පක්ෂ දේශපාලන නායකයන් සංධානගත වී කුමන හෝ පොරොන්දු ඉදිරිපත් කොට තමන්ට වාසි වන පරිදි කුමක් හෝ රජයක් පිහිටුවා ගනු ඇත. දේශපාලන වෘත්තියේ අරමුණ සහ කාර්යසාධනය එය යි.
එහෙත්, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන, අනාගත ශ්‍රී ලංකික ජාතියක් සඳහා රාජ්‍ය පාලනය පිළිබඳ ව දැඩි මහජන උනන්දුවක් පවතී නම්, ප්‍රධාන පක්ෂ දෙක විසින් ඉරිදිපත් කළ යුතු ඡන්ද පොරොන්දු අවශ්‍යයෙන්ම ඉහත දැක්වූ රාජ්‍ය වැඩපිළිවෙලක් විය යුතුය. එහෙත්, එය දේශපාලන කථනය මෙන් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එසේම, එවැනි වැඩපිළිවෙලක් සැකසීම සඳහා පිළිගත් ආර්ථික මූලධර්මයන් හෝ මොඩලයන් නොමැත.
එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, එවැනි වැඩපිළිවෙලක් සැකසීමේ දී සලකා බැලිය හැකි පදනම, අංශයන් සහ විශ්වාසයන් ඇතුලත් මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීම යි.
පුද්ගල දැනුම, මනාපයන් සහ විශ්වාසයන් අනුව මෙවැනි මාර්ගෝපදේශයන් රැසක් ඉදිරිපත් විය හැකිය. එහෙත්, අවශ්‍ය වන්නේ කාලීන පදනමක් මත පොදුජනයාගේ ජීවන මට්ටම උසස් කිරීමේ ඉලක්කයන් තීරණය කොට, එය ලඟා කර ගැනීමට අවශ්‍ය නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම යි.
නව ආර්ථික කළමනාකරණ මාර්ගෝපදේශය
නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් හෝ ක්‍රමවේදයක් සැකසීම පියවර දෙකකින් කළ යුතුය. එනම්, ඊට අවශ්‍ය පදනම අවබෝධ කර ගැනීම සහ එහි ක්‍රියාමාර්ගයන් හෝ සංගටකයන් ඉදිරිපත් කිරීම යි. එය කළ යුත්තේ වැඩපිළිවෙල පිළිබඳ ව ඇති කර ගන්නා යම් යම් විශ්වාසයන් පදනම් කර ගෙන ය.
එසේ නොමැතිව, යම් පක්ෂයක් විසින් තම අතීත නායකයන්ගේ ප්‍රතිපත්ති සහ විශේෂ කාර්යසාදනයන් හුවා දක්වමින්, මහජනයාගේ සමකාලීන ආර්ථික ප්‍රශ්නයන් විසඳීමට තම පක්ෂයට හැකි බවට යම් යම් පොරොන්දු දීම මෙම අවස්ථාවට යෝග්‍ය නොවේ. ඊට හේතුව, එම පැරණි ආර්ථික කළමනාකරණ මොඩලය හෝ කාර්යසාදනය 2022 වර්ෂය ආරම්භයේ සිට කඩා වැටී ඇති බැවිනි.
එබැවින්, ලිපියේ මෙම කොටස මගින් නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් සැකසීමේ දී භාවිතා කළ යුතු පදනම, සංගටකයන් සහ විශ්වාසයන් යෝජනා කෙරේ.
- පළමූ පියවර - මූලික පදනම අවබෝධය
නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් සැකසීමේ දී මූලික පදනම ලෙස සැලකෙන්නේ ආර්ථික කළමනාකරණය පරිසරය හඳුනා ගැනීම යි. ඊට උපකාරී වන කරුණු 04 ක් පහත දැක්වෙයි.
1. ආර්ථිකයක ක්‍රියාකාරී ස්වරුපය
ආර්ථිකයක් යනු වෙළෙඳපොළ පද්ධතියක එකතුවකි. එමගින්, නිෂ්පාදන සහ උපයෝජන ක්‍රියාවලිය සිදු වෙයි. එය, විවිධ වෙළෙඳපොළවල තරගකාරී ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් මත තීරණය වන මිල ගණන් මගින් සිදු වෙයි. ස්වාභාවික මානව ආර්ථික හැසිරීම එය යි. රජයේ සාර්ව ආර්ථික කළමනාකරණය හේතු කොට කිසිම රටක නිදහස් වෙළෙඳපොළ පද්ධතියක් දැකිය නොහැක.
එබැවින්, ඕනෑම ආර්ථිකයක පවතින මහජන ජීවන මට්ටම, එනම්, සේවා නියුක්තිය, ආදායම, පරිභෝජනය, ඉතුරුම් සහ ආයෝජනය, යනු රජය විසින් කළමනාකරණය කරන ලද වෙළෙඳපොළ පද්ධතියක ප්‍රතිඵලයකි. එය, රටවල් අතර ජීවන මට්ටම් සැසඳීමෙන් අවබෝධ කර ගත හැකිය. එහෙත්, උසස් ජීවන මට්ටමක් ලඟා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආර්ථික මොඩලයක් හෝ මූලධර්මයන් ආර්ථික විද්‍යාවෙන් නිර්දේශ නොකෙරේ. එහෙත්, ආර්ථික විද්‍යාඥයන් විසින් විවිධාකාරයේ විග්‍රහයන් සහ මතයන් ඉදිරිපත් කිරීම සුලබ දසුනකි.
2. සාර්ව ආර්ථික කළමනාකරණය
සාර්ව ආර්ථික කළමනාකරණය යනු රජය විසින් වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වන ආකාරය යි. මෙය නිෂ්පාදනය තුළ පැවතිය යුතු සමාජ සාධාරණත්වය පිළිබඳ රජයේ මතවාදය මත සිදු කෙරේ. උදාහරණ ලෙස කොමියුනිස්ට්වාදී, සමාජවාදී සහ ධනවාදී මතවාදයන් දැක්විය හැකිය. ඒ අනුව, රටවල ආර්ථිකයන් විවිධ පරිමාණයෙන් රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වන වෙළෙඳපොළ පද්ධතීන් වෙයි. රාජ්‍ය මතවාදයන්ගේ වෙනස්කම් හේතු කොට ආර්ථිකයන් සැසඳීම කළ නොහැකිය. එහෙත්, යම් යම් නිර්නායකයන් හරහා රටවල ජීවන මට්ටම් සැසඳීමේ හැකියාවක් පවතී.
සාර්ව ආර්ථික කළමනාකරණය පුළුල් ලෙස කොටස් දෙකක් හරහා ක්‍රියාත්මක වෙයි. එනම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය යි.
- රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය, රාජ්‍ය ව්‍යවසායන් සහ වෙළෙඳපොළ නියාමනය වැනි මෙවලම් හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය සේවයකි.
- මූල්‍ය ප්‍රතිපත්තිය යනු ආර්ථිකයේ මුදල් පාලනය යි. මුදල් යනු මහ බැංකුව හරහා රාජ්‍ය පාලනයට හෝ ඒකාධිකාරයට යටත් වූ මහජන සේවයකි. එබැවින්, මුදල් පාලනය මූලික වශයෙන් ආර්ථිකයේ ගනුදෙනු සඳහා සැපයෙන මුදල් ප්‍රමාණය සහ මුදල් පිරිවැය වන පොලී අනුපාතය යනාදිය පාලනය කෙරෙහි යොමු වෙයි. නූතන ආර්ථිකයන් යනු මුදල් ගනුදෙනු මත ක්‍රියාත්මක වන වෙළෙඳපොළ පද්ධතීන් වන බැවින් ආර්ථිකය කෙරෙහි මැදිහත්වීමට මුදල් පාලනයෙහි ඇති හැකියාව ඉතා විශාල වෙයි. එසේම, මුදල් යනු ස්‌වාභාවික සම්පතක් නොව, රජයට ඉතා ලාභ දායී ලෙස ඕනෑ ප්‍රමාණයකින් නිපදවිය හැකි අමුද්‍රව්‍යයක් වන බැවින් මුදල් යනු සාර්ව ආර්ථික කළමනාකරණයෙහි විශේෂ මෙවලමක් වෙයි.
සාර්ව ආර්ථික කළමනාකරණයේ අරමුණ වන්නේ, ව්‍යුහාත්මක අර්බුදයන් රහිතව මහජනයාට හිතකර ලෙස වෙළෙඳපොළ පද්ධතිය මෙහෙයවීම යි. එනම්, ආර්ථිකය ස්ථායිතාවයක් සහිතව ප්‍රවර්ධනය කිරීම යි. එබැවින්, රටක් ආර්ථික අර්බුදයකට මුහුණ දීම යනු එරට සාර්ව ආර්ථික කළමනාකරණය අසමත්වීම යි. පශ්චාත් අර්බුද විග්‍රහවල දී හෙළිවන්නේ, රජය විසින් කාලයක් පුරා වෙළෙඳපොළ ක්‍රියාකාරකම් වැලැක්වීම හෝ මර්දනය කිරීම හේතු කොට බාහිර කම්පනයන්ට මුහුණ දීමට ආර්ථිකයට නොහැකි වීමෙන් අර්බුදයන් හට ගන්නා බව යි. එනම්, කාලයක් පුරා ආර්ථිකය තුළ නිදන්ගත රෝගයන් වර්ධනය වීම යි. එබැවින්, ආර්ථික අර්බුදයන්ගේ වගකීම රජයන් භාරගත යුතුය.
එබැවින්, යෝජිත ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල තීරණය කළ යුත්තේ, නව ආර්ථිකයක් බිහි කිරීම සඳහා රජය විසින් වෙළෙඳපොළ පද්ධතියට ලබා දෙන නිදහස සහ රාජ්‍ය මැදිහත්වීමේ මෙවලම් පිළිබඳ නිසි අවබෝධයක් මත ය. වත්මන් ආර්ථික කළමනාකරණ පද්ධතිය දෙස බලන විට, එය කියන තරම් සරල හෝ පහසු කාර්යයක් නොවේ.
3. ශ්‍රී ලංකාවේ කඩා වැටුන ආර්ථික කළමනාකරණ මොඩලය
ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ක්‍රමයෙන් අනුගමනය කළ ආර්ථික කළමනාකරණ මොඩලය 2022 වර්ෂයේ දී කඩා වැටෙන ලදි. වත්මන් ආර්ථික අර්බුදය යනු එම කඩා වැටීම යි. එම මොඩලය වූයේ, කෙටිකාලීන රාජ්‍ය විදේශ ණය හරහා රැස් කර ගත් විදේශ මුදල් සංචිතය තුළින් ආනයන ආර්ථිකය මූල්‍යකරණය කිරීම යි (වැඩි විස්තර සඳහා මෙම කතුවරයාගේ "2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ආර්ථික විද්‍යා ඇසකින්" යන සරසවි ප්‍රකාශනය කියවන්න https://economydiscovery.blogspot.com/2023/08/2022.html).
එබැවින්, වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හුදෙක් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය අසමත්වීමේ ප්‍රතිඵලයකි. ඒ පිළිබඳ ව විවිධාකාර විග්‍රහයන් කළ හැකිය. එහෙත්, සත්‍යය වන්නේ, ප්‍රධාන පක්ෂ දෙක විසින් මෑත දශක කිහිපය තුළ අනුගමනය කළ ආර්ථික කළමනාකරණ මොඩලය කඩා වැටී ඇති බව යි.
එබැවින්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයකි. කඩා වැටී ඇති මොඩලය වාත්තු කිරීමෙන් තිරසාර ආර්ථික සංවර්ධනයක් හෝ ජීවන මට්ටමක් මහජනතාවට සැපයිය නොහැකි බව කිව යුතු නොවේ.
4. කඩා වැටුන ආර්ථික මොඩලය නැවත පන ගැන්වීමේ උත්සාහය
වත්මන් රජයේ සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය වන්නේ, කඩා වැටුණ ආර්ථික මොඩලය නැවත වාත්තු කොට දේශපාලන වාසි ලබා ගැනීම යි. එනම්, IMF ණය වැඩසටහන හරහා නැවතත් නව විදේශ ණය ටිකක් ලබා ගැනීම, යාවත්කාලීන වන පෞද්ගලික විදේශ ප්‍රේෂණ සහ සංචාරක ලැබීම් සහ විදේශ ණය සේවාකරණය පැහැර හැරීම යනාදිය තුළින් රැස් කෙරෙන විදේශ මුදල් සංචිත හරහා ආනයන විවෘත කිරීම මගින් දේශීය බඩු හිඟය සහ මිල ගණන් පහළ යාමට සැලැස්වීම යි. එය නැවත ආර්ථිකය ස්ථායිකරණය කිරීම ලෙස රජය විසින් හුවා දැක්වීම සිදු කෙරේ.
2022 ආර්ථිකය මුහුණ දුන් ජීවන දුෂ්කරතාවන්ට එමගින් යම් තාවකාලික සහනයක් ලැබෙන බැවින් මහජන ප්‍රසාදය ලැබෙන බව රහසක් නොවේ. එහෙත්, මෙය ආර්ථිකය නැවත ස්ථායිකරණය කිරීමක් නොව, කඩා වැටුණ ආර්ථික මොඩලය නැවත වාත්තු කිරීම හෝ පන ගැන්වීමට උත්සාහ කිරීමකි. එය හුදෙක් අති තාවකාලික කාර්යයකි.
එබැවින්, මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ, ඉදිරි පරම්පරාවන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මුදවා ගත හැකි නව ආර්ථික කළමනාකරණ මොඩලයකි.
- දෙවන පියවර - වැඩපිළිවෙලෙහි සංගටකයන් සැකසීම
ඉහත දැක්වූ පදනම තුළ නව ආර්ථික කළමනාකරණ මොඩලය සැකසීම දෙවන පියවර වෙයි. එය, දිගුකාලීන ඉලක්කයන් සහ ඒවා ලඟා කර ගැනීම සඳහා යෝජනා කෙරෙන ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන් යනාදියෙන් යුක්ත විය යුතුය. එවැනි ක්ෂේත්‍රයන් 04 ක් පහත ඉදිරිපත් කෙරේ.
1. ජීවන මට්ටම පිළිබඳ ඉලක්කයන් තීරණය කිරීම
මෙහි දී, අනුගමනය කෙරෙන මතය වන්නේ, තිරසාර ලෙස සංවර්ධනය වන ආර්ථිකයක ජීවන මට්ටම ඉහළ යා යුතු බව යි. එනම්, අඩු දියුණු රටවල දැකිය හැකි ජීවන මට්ටමෙන් එහා ගොස්, සංවර්ධිත රටවල ජීවන මට්ටම දෙසට ලඟා වීම යි. එබැවින්, නව ආර්ථික කළමණාකරණයේ අරමුණ ලෙස කාලරාමුවක් සහිතව කුටුම්බ ජීවන මට්ටම ඉහළ දැමීමට අදාළ ඉලක්කයන් තීරණය කළ යුතුය.
මෙහි දී, ආදායම, සේවා නියුක්තිය, සාමාන්‍ය පරිභෝජනය, කල්පවතින භාණ්ඩ පරිභෝජනය, බලශක්තිය සහ තාක්ෂණ පරිභෝජනය, නිවාස තත්ත්වය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ජීවන ගුණාත්මක භාවය ඉහළ දැමීමේ ඉලක්කයන් සැකසිය යුතුය. එහෙත්, ඒවා ලඟා කළ යුත්තේ සෘජු රාජ්‍ය සේවාවන් හරහා නොව, වෙළෙඳපොළ පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමට කුටුම්බයන්ට අවස්ථාව සැලසීමෙනි.
සාමාන්‍ය ආර්ථික කළමනාකරණ සැලසුම්වල දක්නට ලැබෙන්නේ, ආර්ථික වර්ධනය, උද්ධමනය, ඒක පුද්ගල ආදායම, සේවා වියුක්තිය සහ රාජ්‍ය අයවැය හිඟය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳ ඉලක්කයන් ය. එහෙත්, ඒවා ප්‍රතිපත්ති මෙවලම් හරහා කෘතීම ලෙස මෙහෙය විය හැකිය. එසේම, එම ඉලක්කයන් තුළින් ජීවන මට්ටමේ ඉහළ යාම හඳුනා ගත නොහැකිය. එබැවින්, නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල මෙහෙයවිය යුත්තේ මහජන ජීවන මට්ටම ඉහළ දැමීම ඉලක්ක කර ගෙන ය.
2. විදේශ විනිමය අතිරික්තයක් ජනිත කිරීම මත පදනම් වූ නව ආංශීය ආර්ථික ව්‍යුහයක් තීරණය කිරීම
දැනට කඩා වැටී ඇති සාර්ව ආර්ථික කළමනාකරණ මොඩලයේ ආර්ථික ව්‍යුහය වූයේ, පැරණි තේ, රබර්, පොල්, ඇඟලුම්, සංචාරක ව්‍යාපාරය සහ නොපුහුණු විදේශ රැකියා අංශයන් ය. එය නැවත පන ගැන්වීමට උත්සාහ කිරීමෙන් මුලින් දැක්වූ ජීවන ඉලක්කයන් සපුරා ගත නොහැකිය.
එබැවින්, අපනයන සහ ආනයන ආදේශනය තුළින් තිරසාර විදේශ මුදල් අතිරික්තයක් ජනිත කළ හැකි නව ආංශීය ආර්ථික ව්‍යුහයක් නිර්මාණය කළ යුතුය. එය හුදෙක් කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශයන්ට එහා ගොස්, වෙන් වෙන් ආර්ථික/නිෂ්පාදන ක්‍රියාකාරකම් අනුව හඳුනා ගත යුතුය. මෙහි දී, සමස්තයක් ලෙස ඒ ඒ අංශවල සුළු හා මාධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්‍රියාකාරකම්/ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කෙරෙහි ප්‍රමුඛතාවයක් දිය යුතුය. ඊට හේතුව, එමගින් ආර්ථියේ රැකියා සහ ආදායම් බිහි කිරීම හරහා පහළ සහ මධ්‍යම ආදායම් කුටුම්බවල ජීවන මට්ටම ඉහළ දැමීමේ හැකියාවයි.
මෙම විදේශ මුදල් අතිරික්තය ගණනය කිරීමේ දී විදේශ ශුද්ධ ආදායම මෙන්ම ආංශීය මූර්ත අංශයන්ට ලැබෙන විදේශ ආයෝජන ද ඇතුලත් වනු ඇත. එබැවින්, අතීතයේ මෙන් රාජ්‍ය විදේශ ණය ගැනීම හරහා ජනිත කෙරෙන ගෙවුම් ශේෂ අතිරික්තය පදනම් කර ගෙන ආර්ථිකය මෙහෙයවීමේ සහ ඇගයීමේ ක්‍රමවේදය අවසන් කළ යුතුය.
නව ආංශීය ආර්ථික ව්‍යුහය හුදෙක් දේශීය සම්පත්වලට සීමා නොවී, දේශීය සම්පත් සහ ගෝලීය ආර්ථික සම්පත් තරගකාරීව උපයෝජනය කිරීම මත පදනම් විය යුතුය.
එසේම, නව අංශයන්/ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් ලෙස විවිධාංගකරණය විය යුතුය. ඊට හේතුව, ආර්ථික සංකේන්ද්‍රන අවදානම වැලැක්වීම සඳහා ය.
3. නව ආංශීය නිෂ්පාදන ව්‍යුහයට අනුකූල වන පරිදි ආර්ථිකයේ ඉල්ලුම්/වියදම් ප්‍රවාහය මෙහෙය වීම
නව ආර්ථික කළමනාකරණ ව්‍යුහය මූර්ත සැපයුම් අංශය ප්‍රවර්ධනය කෙරෙහි යොමු වෙයි. එබැවින්, සමස්ත ඉල්ලුම/වියදම කළමනාකරණය මත පදනම් වූ සම්ප්‍රදායික සාර්ව ආර්ථික කළමනාකරණ මොඩලය අත් හැරිය යුතුය. ඒ අනුව, නව ආංශීය නිෂ්පාදන ව්‍යුහයට අනුකූල වන පරිදි ආංශීය පරිභෝජන, ඉතුරුම් සහ ආයෝජන ක්‍රියාකාරකම් මෙහෙයවිය යුතුය. එසේ නොමැතිව, විවිධ බාහිර අරමුණු මත සමස්ත ඉල්ලුම/වියදම පාලනය කිරීමට උත්සාහ ගත හොත්, විදේශ මුදල් අතිරික්තයක් ජනිත කෙරෙන නව ආංශීය නිෂ්පාදන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ ඉලක්කය අසාර්ථක වනු ඇත.
ඒ අනුව, නව ආංශීය නිෂ්පාදන ව්‍යුහය මත පදනම් වන නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල තුළ IMF මතවාදය පදනම් වූ ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයට ඉඩක් නොමැත. හේතුව, IMF මොඩලය යනු හුදෙක් උද්ධමන පාලනයට යොමු වූ රාජ්‍ය වියදම සහ මූල්‍ය පාලනය මත පදනම් වූ සමස්ත ඉල්ලුම/වියදම පාලන ක්‍රමයක් වීම යි. මින් ආර්ථිකයේ සම්පත් සහ නිෂ්පාදන හැකියාව හෙවත් සැපයුම් අංශය කෙරෙහි අවධානය යොමු නොවේ. ශ්‍රී ලංකාව 1965 සිට 16 වරක් මෙම IMF මොඩලය සහ IMF උපදේශනය අනුගමනය කළ ද, 2022 දී ආර්ථික අර්බුදයක් පතිත වීමෙන් එම මොඩලය ද අසාර්ථක වී ඇති බව තහවුරු වෙයි (වැඩි විස්තර සඳහා කියවන්න ).
එබැවින්, අසාර්ථක IMF මොඩලය නැවත වාත්තු කිරීමෙන් ආර්ථිකය අර්බුදයෙන් ගොඩ ගැනීමටත්, ඉලක්ක ජීවන මට්ටම ලඟා කර ගැනීමටත් නොහැකි බව සරල කරුනකි. එසේ සමස්ත ඉල්ලුම/වියදම කප්පාදු කිරීමෙන් සිදු වන්නේ ආර්ථිකය සහ ජීවන මට්ටම තවත් අගාධයට තල්ලු වීම යි.
4. නව ආංශීය නිෂ්පාදන ව්‍යුහය ප්‍රවර්ධනයට යෝග්‍ය පරිදි මූල්‍ය සේවාවන් ව්‍යාප්ත කිරීම
වත්මන් මුදල් ආර්ථිකයන්හි නිෂ්පාදන ක්‍රියාකාරකම් සිදු වන්නේ මුදල් ආයෝජනය සහ ගනුදෙනු හරහා ය. එනම්, නිෂ්පාදන ක්‍රියාකාරකම් මූල්‍යකරණයටත්, නිෂ්පාදනය මත කෙරෙන ඉල්ලුම මූල්‍යකරණයටත් මුදල් අවශ්‍යය. එම මුදල් විවිධ ණය සහ හිමිකම් ප්‍රාග්ධන මෙවලම් හරහා සැපයිය යුතුය. එසේම, එම මුදල් මෙවලම් ආර්ථිකයේ මූර්ත නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පවතින විවිධ අවදානම් දැරීමට යෝග්‍ය පරිදි සැකසිය යුතුය. ඊට හේතුව, අවදානම් දැරීමෙන් තොරව නව නිෂ්පාදනය ප්‍රවර්ධනය කළ නොහැකි බැවිනි.
එබැවින්, ආර්ථිකයේ නව නිපැයුම් සහ නවීකරණයන් සිදු වන්නේ ව්‍යාපාරික අවදානම් ගැනීම හරහා වන අතර ඊට ගැලපෙන ලෙස මුදල් සැපයීමේ මූල්‍ය මෙවලම් ව්‍යාප්ත විය යුතුය. සංවර්ධිත රටවල් එම තත්ත්වයට පැමිණ ඇත්තේ එවැනි මූල්‍ය සේවා අංශයක් ප්‍රවර්ධනය කිරීමෙනි. උදාහරණ ලෙස ගෝලීය වශයෙන් දියුණු වී ඇති බොහෝ ව්‍යාපාරික සමාගම් ව්‍යවසායික ප්‍රාග්ධනය තුළින් ගොඩ නැගුන ව්‍යාපාරයන් වෙයි. මෙහි දී, බැංකු ණය වැනි සම්ප්‍රදායික මූල්‍ය මෙවලම්වල වැදගත්කම සුළු වෙයි. ඊට හේතුව, ඒවාට නව ව්‍යාපාරික අවදානම් ගැනීමේ හැකියාව නොමැති බැවිනි. තව ද, බැංකු නියාමනය සැකසී ඇත්තේ ව්‍යාපාරික අවදානම් ගැනීම වැලැක්වීම පදනම් කර ගෙන ය.
එබැවින්, නව ආංශීය නිෂ්පාදන ව්‍යුහය මුල්‍යාකරණය කළ හැකි නව මූල්‍ය සේවා ව්‍යාප්ති ව්‍යුහයක් අවශ්‍ය වෙයි. එය, වත්මන් මහ බැංකුව සහ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමන ක්‍රමය හරහා සිදු කළ නොහැකිය. එබැවින්, නව ආංශීය ආර්ථික ව්‍යුහයට අවශ්‍ය මූල්‍ය සේවාවන් සැපයෙන පරිදි මූල්‍ය අංශය ප්‍රතිසංවිධානය කළ යුතුය.
මෙයට දේශීය මූල්‍ය මෙන්ම විදේශීය මූල්‍ය ද ආවරණය විය යුතුය. මෙහි දී, දේශීය මූල්‍ය රජයේ ස්වෛරිත්ව මුදල් පාලනයට හසුවන බැවින් ගැටළුවක් මතු නොවේ. එහෙත්, ආර්ථිකයට අවශ්‍ය විදේශීය මූල්‍ය අවශ්‍යතාවන් සැපයීමට දේශීය ආර්ථික කළමනාකරණයට හැකියාවක් නොමැත. පැරණි ආර්ථික කළමනාකරණ මොඩලය කඩා වැටීමට ප්‍රධාන හේතුව එය යි. එනම්, රාජ්‍ය විදේශ ණය හරහා ආර්ථිකයට අවශ්‍ය විදේශ මූල්‍ය සේවාවන් සැපයීම යි.
එබැවින්, නව ආර්ථික කළමනාකරණ මොඩලය තුළ විදේශ මූල්‍ය අවශ්‍යතාවන් නව ආංශීය නිෂ්පාදන ව්‍යුහය තුළින් ජනිත කර ගැනීම සඳහා වෙළෙඳපොළට නිදහස දිය යුතුය. මෙහි දී, විදේශ මූල්‍ය යනු ආර්ථිකයට තවත් විදේශ වෙළෙඳ භාණ්ඩයක් ලෙස සලකා වෙළෙඳපොළ පද්ධතියට ඉඩ දිය යුතුය. එසේ නොමැතිව, රජය විසින් එය පාලනය කිරීමට උත්සාහ ගත හොත්, ආර්ථිකයේ විදේශ මුදල් අවශ්‍යතාවන් සපිරීමට රජයට සිදු වනු ඇත. එය කළ හැකි දෙයක් නොවේ. කඩාවැටී ඇති ආර්ථික කළමනාකරණ මොඩලය එය යි.
නව මූල්‍ය සේවා අංශයක් ගොඩ නැගීමේ පදනම ලෙස මෑත දී IMF එකට බියෙන් සම්මත කළ මහ බැංකු පනත අවලංගු කොට, ආර්ථිකයේ ප්‍රමුඛ අංශයන් වෙත මූල්‍ය ව්‍යාප්ත කළ හැකි නව මහ බැංකු පනතක් අවශ්‍ය වනු ඇත. එය කළ නොහැකි නම්, නව ආර්ථික සංවර්ධන පොරොන්දු දිය නොහැකිය. ඊට හේතුව, එම පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය අංශයක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට වගකීමක් නොමැති බැවිනි.
සමස්ත මූල්‍ය අංශ නියමනයේ පදනම විය යුත්තේ, නව ආංශීය නිෂ්පාදන ව්‍යුහය ගොඩ නැගීමේ දී මුහුණ දෙන විවිධ ව්‍යාපාරික අවදානම් දැරීමට හැකියාව ඇති මූල්‍ය සේවා මෙවලම් ශ්‍රේණියක් බිහි කිරීමට අවශ්‍ය මූල්‍ය වෙළෙඳ පරිසරය සැපයීම යි. එහි දී, බැංකු පද්ධතිය විවිධාංගකරණය වීම මෙන්ම බැංකු පද්ධතියෙන් පිටත පුළුල් ඡායා බැංකු පද්ධතියක් ප්‍රවර්ධනය වනු ඇත.
පුද්ගලයන්ට සහ කුටුම්බයන්ට තම හැකියාවන් අනුව තරගකාරීව රැකියා සහ ආදායම් මාර්ගයන් ජනිත කර ගැනීමටත්, ඒ මත ජීවන මට්ටමක් ගොඩ නගා ගැනීමටත් අවස්ථාවන් සැපයෙන මූල්‍ය සේවා අංශයක් පැවතිය යුතුය. එහි අරමුණ වනුයේ, ආදායම් ව්‍යාප්ති විෂමතාවන් දුරු කිරීමේ රාජ්‍ය සුබසාධන සේවා සංකල්පය මත රාජ්‍ය මූල්‍ය ප්‍රදානයන් මත ජීවත් වීමේ පුරුද්ද අධෛර්යමත් කොට, වෙළෙඳපොළ පද්ධතිය තුළ ජීවත් වීමේ පුරුද්ද සහ හැකියාව ප්‍රවර්ධනය කිරීම යි. එහෙත්, අන්ත අසරණ ජන කොටස් වෙත රාජ්‍ය මූල්‍ය හරහා සහනාධාර සේවා සැපයීම වැලැක්වීමේ අරමුණක් මෙහි නැත.
- නව ආර්ථික කළමනාකරණ වැඩසටහනට පදනම්වන විශ්වාසයන් කිහිපයක්
නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් සැකසීම කළ යුත්තේ, රජය විසින් වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වීමේ දී අනුගමනය කළ යුතු විශ්වාසයන් පදනම් කර ගෙන ය. එබැවින්, යෝජිත නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල පහත දැක්වෙන විශ්වාසයන් 09 මත රැඳෙනු ඇත. යම් අවස්ථාවක එම විශ්වාසයන් අත හැරියොත්, නව ආර්ථික කළමනාකරණ මොඩලය බිඳ වැටෙනු ඇත.
1. වෙළෙඳපොළ පද්ධතිය කෙරේ විශ්වාසය තැබීම සහ වඩාත් ඉහළ ස්වාධීනත්වයක් ලබා දීම
මෙහි දී, ජාතික ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව කෙරෙහි බලපාන සම්පත් උපයෝජන ක්‍රියාකාරකම් හැර, අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා විවිධාකාර රාජ්‍ය බලපත්‍ර සහ අනුමත කිරීම් ක්‍රමවේදයන් අත්හිටුවීම අපේක්ෂා කෙරේ. එහි අරමුණ වනුයේ, විවිධ බලපත්‍ර සහ බලපෑම් හරහා රජයට හිතවත් පාර්ශවයන් කිහිප දෙනෙකු විසින් ආර්ථිකයේ පද්ධති වැදගත් කමක් ඇති ක්‍රියාකාරකම් පාලනය වැලැක්වීමත්, ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීමත් ය.
2. වෙළෙඳපොළ නියාමනයන් නිරන්තරයෙන් අසමත් වීම
එබැවින්, රාජ්‍ය නියාමන ආයතනයන්ගේ කාර්යය විය යුත්තේ, වෙළෙඳපොළ අවදානම් සහ අක්‍රමිකතාවන් පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීමත්, ඉල්ලුම් සහ සැපයුම් කරුවන්ගේ වගකීම් සහ සාධාරණ වෙළෙඳපොළ විනය පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමත් ය.
3. රාජ්‍ය ආයතනවල කාර්යසාධනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්හි විනිවිද භාවය සහ එම ආයතනවල කාර්යසාධනය ජීවන මට්ටමේ ඉලක්කවලට සම්බන්ධ කිරීම
එමගින්, රාජ්‍ය ආයතනවල මහජන බලතල නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල තුළ මහජන යහපත සඳහා යෙදවෙන බවට තහවුරු කළ හැකිය. එය, රාජ්‍ය ආයතනවල කාර්යයන් සම්බන්ධීකරණය කිරීමට උපකාරී වෙයි.
4. දුෂණය සහ අක්‍රමිකතාවන් යනු රාජ්‍ය මැදිහත්වීම හරහා වෙළෙඳපොළ තරගය සිමා කිරීමේ මිල ප්‍රතිඵලය බව
ඒවා රජයට සම්බන්ධ පාර්ශවයන් විසින් සිදු කෙරෙන්නේ, රජය විසින් ඔවුන් වෙත සපයා දී ඇති ආරක්ෂාව හේතුවෙනි. එබැවින්, දුෂණය වැලැක්වීම නීති පැනවීම මගින් කළ නොහැකි අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ තරගකාරී වෙළෙඳපොළ නිදහස සහ වෙළෙඳ වංචා විමර්ශනය යි. එසේ නොමැතිව, දේශපාලන නායකයන් විසින් එකිනෙකාට දොස් පවරමින් දුෂණය තුරන් කිරීම හරහා ආර්ථිකය සහ ජන ජීවිතය සංවර්ධනය කරන බවට දෙන මැතිවරණ පොරොන්දුවේ ප්‍රයෝගික වැදගත්කමක් නොමැත. මෙහි ශෝක ජනක කරුණ වන්නේ, දුෂණ චෝදනා නගමින් රජයන් සහ මහජනයා කම්පනයට පත් කිරීමේ අඛණ්ඩ දේශපාලන ව්‍යාපාරයක් පැවතීම යි.
5. නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල "ගෝලීය ආර්ථිකයක් තුළ විදේශ මුදල් අතිරික්තයක් හරහා රටේ සංවර්ධනය" යන තේමාව මත සිදු කිරීම
එබැවින්, ගෝලීය සහ කලාපීය භූදේශපාලනික කණ්ඩායම් සමඟ ආර්ථිකය ගනුදෙනු කරන ආකාරය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය විනිවිද විය යුතුය. එසේම, විවිධාකාරයේ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකුලතාවය දැක්වීමට පෙර, එමගින් යෝජිත ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලට සහ ඉලක්කයන්ට බලපාන ආකාරය අධ්‍යයනය කොට අවශ්‍ය නිදහස් කිරීම් ලබා ගත යුතුය. උදාහරණ ලෙස මානව හිමිකම්, මුදල් විශුද්ධිකරණ සහ ගෝලීය උෂ්ණත්ව පාලන සම්මතයන් දැක්විය හැකිය. ඊට හේතුව, මේවා සකසා ඇත්තේ සංවර්ධිත රටවල යහපත සඳහා වන බැවිනි
6. ආර්ථිකය වෙළෙඳපොළ හරහා දේශීය සහ ගෝලීය සම්පත් උපයෝජනයට විවෘත වුව ද, ජාතික ආරක්ෂාවට සහ දේශීය පරිසර ආරක්ෂාවට වැදගත් වන සම්පත් ආරක්ෂා කිරීම
ඒ සඳහා එම සම්පත් පිළිබඳ නාමාවලිය සහ ආරක්ෂණ ප්‍රතිපත්තිය විනිවිද විය යුතුය. ඊට හේතුව, දේශපාලන නායකයන් විසින් කලින් කලට මහ පොලොවේ පවතින සියළු දේ ජාතික ආරක්ෂාව සහ පරිසරය ආරක්ෂාව ලෙස නම් කොට තමන්ට රිසි ලෙස මහජන ක්‍රියාකාරකම් පාලනය කිරීමේ ප්‍රවණතාවය යි. උදාහරණ ලෙස හිටපු ඇමෙරිකානු ජනාධිපති විසින් ඇමෙරිකාවේ පවතින සියළු තොරතරු තාක්ෂණ චීන ව්‍යාපාරික සමාගම් ජාතික ආරක්ෂාව සංකල්පය මත අත්හිටුවීම හෝ දේශීය ව්‍යාපාරික සමාගම් සමඟ ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නයක් දැරීම දැක්විය හැකිය.
7. නව ආර්ථික කළමනාකරණය තුළ පැරණි නිජ සංකල්පයන් සහ විශ්වාසයන් නොසැලකීම
එම සංකල්පයන් ඉදිරිපත් කෙරෙමින් සංවිධානය වන දේශපාලන පක්ෂයන් සහ සංවිධානයන් පොදු මහජන සංවර්ධනයට එරෙහි පිරිස් ලෙස නම් කළ යුතුය. ඊට හේතුව, එවැනි ක්‍රියාකාරකම් තුළින් රට සහ මහජනයා තවත් ගාසා තීරයකට ඇද දැමීමේ හැකියාව පවතින බැවිනි. නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලේ අරමුණ වනුයේ විවිධ ජන කොටස් බෙදා වෙන් කොට, ඔවුන්ගේ සියවස් ගණන් පැරණි අතීතයන් සහ ඔවුන්ගේ ආගමන මූලයන් විනිශ්චය කිරීම නොව, ගෝත්‍රීය සහ සමාජීය භේදයන්ගෙන් තොරව වත්මන් සහ අනාගත පරම්පරාවල ජීවන මට්ටම ඉහළ දැමීම යි.
8. නව ආර්ථික කළමනාකරණ වැඩසටහන අවබෝධ කර ගත හැකි දැඩි රාජ්‍ය නායකයකුගේ අවශ්‍යතාවය
සියළුම රජයේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය ප්‍රධානීන් පත් කළ යුත්තේ, නව වැඩසටහනට එකඟ වී එය අන්තර් සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම මත ය. අතීතයේ බොහෝ රජයන් කඩා වැටීම හෝ අස්ථායිවීම සිදු වී ඇත්තේ, විවිධ රාජ්‍ය අධිකාරීන් විසින් තම පෞද්ගලික මතයන් අනුව අත්තනෝමතිකව ක්‍රියා කිරීම හේතුවෙනි. එය සිදු වූයේ, එකඟ වූ ආර්ථික කළමනාකරණ වැඩසටහනක් නොතිබූ බැවිනි. එබැවින්, යෝජිත නව ආර්ථික කළමනාකරණ වැඩසටහන සමස්ත රාජ්‍ය ප්‍රතිපත්තිය වන බැවින්, සියළු රාජ්‍ය අධිකාරීන් ඊට අනුයුක්ත විය යුතුය.
එසේ නොවී, පසුකාලීනව විරුද්ධ අදහස් ඉදිරිපත් කිරීමට සුදානම් වන අධිකාරීන් වහාම එම තනතුරුවලින් ඉවත් කොට, නව අධිකාරීන් පත් කළ යුතුය. මෙහි දී, එක් එක් පක්ෂවලින් අමනාප වී එන පුද්ගලයන් රාජ්‍ය අධිකාරීන් ලෙස පත් නොකළ යුතු අතර නව සංධානයන් සඳහා ආර්ථික කළමනාකරණ වැඩසටහන සංශෝධනය නොකළ යුතුය. එනම්, නව ආර්ථික කළමනාකරණ වැඩසටහන දේශපාලන වින්දිතයෙක් නොවිය යුතුය.
නව ආර්ථික කළමනාකරණ වැඩසටහන එසේ ක්‍රියාත්මක කළ හැකි වන්නේ, ශක්තිමත් රාජ්‍ය නායකයෙක් යටතේ පමණි. එබැවින්, එහි පුර්ණ වගකීම රාජ්‍ය නායකයා සතු වෙයි.
9. ආර්ථික කළමනාකරණ අවදානම් අවේක්ෂණය කෙරෙන ස්වාධීන අධිකාරියක් රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීම
මෙය, හුදෙක් නව ආර්ථික කළමනාකරණ වැඩසටහනේ ඉලක්කයන් සහ ඊට අදාළ ප්‍රතිපත්ති මෙවලම්වල කාර්යක්ෂමතාවය අවේක්ෂණය කෙරෙන ඒකාබද්ධ රාජ්‍ය අවදානම් කළමනාකරණ අධිකාරියක් ලෙස ක්‍රියාත්මක විය යුතුය. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් අදාළ තොරතුරු ලබා ගැනීමේ සහ විශ්ලේෂණය කිරීමේ අධිකාරිය සහ නිපුණතාවය මෙම අධිකාරිය සතු විය යුතුය. මින් හෙළි කෙරෙන දුර්වලතාවයන් රාජ්‍ය නායකයා විසින් අදාළ රාජ්‍ය අධිකාරිය සමඟ නිරාකරණය කළ යුතු අතර මෙම අධිකාරියේ කාර්යය හුදෙක් ඒවා පසුවිපරම් කිරීම පමණි. විධායක නියෝගයන් නිකුත් කිරීමේ බලතල ඊට නොමැත.
වර්තමානයේ රාජ්‍ය ප්‍රතිපත්ති අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙවැනි ස්වාධින අවේක්ෂණ ක්‍රමයක් නොමැති වීමත්, අදාළ රාජ්‍ය අධිකාරීන් නිරන්තරයෙන් ඉලක්කයන් නොමැතිව නිලධාරිවාදී අභිමතය පරිදි ක්‍රියාත්මක වීමත් ය. මෑත කාලයේ දී දක්ෂ අධිකාරීන් ලෙස සමාජ මාධ්‍යය පුරා වාර්තා වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහි වන නිලධාරීන් ය. එයට හේතුව, ආර්ථික කළමනාකරණ වැඩසටහනක් සහ අවේක්ෂණයක් ක්‍රමවේදයක් නොමැති වීම යි. මෙහි ශෝක ජනක කරුණ වන්නේ, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සමහර නිලධාරීන් දේශපාලනික පළිගැනීම්වලට ලක් වී වංචා චෝදනාවන් මත අධිකරණ ක්‍රියාවලියට හසු කිරීම යි. එවැනි වාතාවරණයක් තුළ මෙවැනි නව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කළ නොහැකිය.
නව ආර්ථික කළමනාකරණ වැඩසටහන සමාජ පහළ සහ මධ්‍යම ආදායම් ස්තරයන් ඉහළට එසවීමේ ඉලක්කය මත සැපයුම් අංශය ප්‍රතිසැකසීම කෙරෙහි යොමු වෙයි. එබැවින්, මෙය ඉහළ සිට පහළට ආර්ථික ප්‍රතිලාභ විසිරීම පිළිගැනෙන පැරණි ඉල්ලුම් කළමනාකරණ සංකල්පයට සම්පූර්ණ වෙනස් ආර්ථික කළමනාකරණ එළඹුමකි. ස්වාධීන අවේක්ෂණයයේ දී මෙම එළඹුමේ ස්ථායිතාවය පවත්වා ගත යුතුය.
සමාප්ත සටහන
- පහත රුපසටහනේ සංක්‍ෂිප්තව දක්වා ඇති පරිදි නව සාර්ව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳ ව ඉහතින් යෝජිත මාර්ගෝපදේශය හුදෙක් 2022 ආරම්භයේ සිට ආර්ථිකය සහ මහජනයා මුහුණ දෙන ආර්ථික අර්බුයෙන් ඉදිරි පරම්පරාවන් බේරා ගැනීමේ අරමුණින් කෙටුම්පත් කෙරින. එහි පදනම වනුයේ වෙළෙඳපොළ පද්ධතිය කෙරෙහි ඉහළ විශ්වාසයක් තැබීම තුළින් ආර්ථිකයේ සැපයුම් අංශය මෙහෙයවීම හරහා පොදුජන ජීවන මට්ටම ඉහළ දැමීම යි. එබැවින්, සමස්ත ඉල්ලුම පාලනය කෙරෙහි යොමු වූ සම්ප්‍රදායික සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය මෙහි දී නොසලකා හැරේ.
- මෙම මාර්ගෝපදේශය ඇසුරින් තවදුරටත් සමාජ ආර්ථික දත්ත පදනම් කර ගෙන, ආර්ථික කළමනාකරණ සැලසුමක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එය ව්‍යාපාරික සමාගම් අනුගමනය කෙරෙන උපායමාර්ගික සැලසුම් මොඩලය පදනම් කර ගෙන සැකසිය හැකිය. එහෙත්, ආර්ථික කළමනාකරණ සැලසුමේ අඩංගු බොහෝ සංගටකයන් ප්‍රතිපත්ති මෙවලම්වල කාර්යක්ෂමතාවය මත තීරණය වන අසම්භාව්‍ය ඉලක්කයන් වෙයි. ඊට හේතුව, ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි දේශපාලනික ගැටුම් සහ වියවුල් ය.
- ආර්ථික කළමනාකරණ වැඩසටහනක් සැකසීමේ ආර්ථික විද්‍යා මූලධර්මයන් නොමැත. එය, හුදෙක් පොදුජනයාගේ මානව සංවර්ධනය සඳහා සම්පත් ගවේෂණය සහ උපයෝජනය කිරීම පිළිබඳ සමකාලීන ජාතික දේශපාලන දර්ශනය මත සැකසෙයි. එය බොහෝ විට රාජ්‍ය නායකයාගේ දර්ශනයකි. මෙහි දී, පැරණි නායකයන්ගේ දර්ශනයන් සහ ප්‍රතිපත්ති පිටපත් කිරීමට උත්සාහ නිෂ්ඵල කාර්යයකි. ඊට හේතුව, ඒවා ඔවුන්ගේ කාලවල පැවති මානව සහ ගෝලීය ආර්ථික දැනුම මත පදනම් වූ බැවිනි. එබැවින්, මෙවැනි වැඩසටහනක් සැකසීම පැරණි සංකල්ප අනුව පොරකන ආර්ථික විද්‍යාඥයන්ට කළ නොහැක. ආර්ථික විද්‍යාඥයන් කරන්නේ, පර්යේෂණ කාමරවල සිට ගණිතමය සංකල්පයන් හඳුන්වා දීම සහ සමකාලීන ආර්ථිකයන්ගේ හැසිරීම ඔවුන් පිළිගන්නා සංකල්පයන් අනුව විග්‍රහ කිරීමේ කාර්යය කි. බොහෝ විට මැතිවරණ සමයේ දී පවතින රජය විසින් මෙවැනි ආර්ථික කළමනාකරණ වැඩසටහන් සැකසීමේ කාර්යය පවරන්නේ මහ බැංකුවට ය. එහෙත්, මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ගේ ගිරා දැනුම වන්නේ, කාර්යාල කාමරවල පරිගණක තිරයන් බලා ගෙන, උද්ධමනය සහ රාජ්‍ය අයවැය හිඟය පාලනය කිරීමේ පැරණි සංකල්පයන් අත්හදා බැලීමට උත්සාහ කිරීම යි. එබැවින්, මැතිවරණයට ඉදිරිපත් වන මහජන නායකයන්ට මෙවැනි ආර්ථික කළමනාකරණ වැඩසටහනක් සැකසීමේ ක්ෂේත්‍ර දැනුම පැවතිය යුතුය. එසේ නැත්නම්, මෙම ලිපියෙන් යෝජිත ආර්ථික කළමනාකරණ පොරොන්දුවක් ඉදිරිපත් කළ නොහැකිය.
- මෙවැනි විස්තීර්ණ ආර්ථික කළමනාකරණ පොරොන්දුවක් ඉදිරිපත් නොකොට, ආර්ථිකය නැවත ස්ථායිකරණය කරන බවට යම් පක්ෂයක් විසින් ඡන්ද පොරොන්දුවක් දෙයි නම්, එය මහජනයා රැවටීමට කෙරෙන උත්සාහයකි. ඊට හේතුව, ආර්ථික ස්ථායිකරණය යනු ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනය/සැපයුම සහ සමස්ත ඉල්ලුම තුලන මට්ටමක පවත්වා ගැනීම පිළිබඳ සාර්ව ආර්ථික සංකල්පයක් වන බැවිනි. වත්මන් IMF වැඩසටහන මගින් උත්සාහ කෙරෙන්නේ ද, දැනට කඩා වැටී ඇති නිෂ්පාදනයට/සැපයුමට සරිලන ලෙස රාජ්‍ය වියදම/ඉල්ලුම කපා හැරීම හරහා ආර්ථික ස්ථායිකරණය යි. එය සිදු වන්නේ බහුතර මහජනයා දරිද්‍රතාවයට ඇද දැමීමෙනි. එබැවින්, කඩා වැටී ඇති වත්මන් ආර්ථිකයට අවශ්‍ය වන්නේ ස්ථායිකරණය නොව, තිරසාර ලෙස නිෂ්පාදනය/සැපයුම ඉහළ දැමීම යි. ඉහත දක්වා ඇති මාර්ගෝපදේශය එවැනි ආර්ථික කළමනාකරණ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා ය.
- කෙසේ වෙතත්, රාජ්‍යයක පැවැත්මට කුමක් හෝ රජයක් අවශ්‍ය බැවින්, මෙවැනි නව සාර්ව ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකොට, පැරණි මාදිලියේ ඡන්ද පොරොන්දු සහ දේශපාලනික උපායමාර්ගයන් හරහා ද රජයක් පත් විය හැකිය. දේශපාලන වෘත්තියේ ස්වභාවය එය යි. එහෙත්, ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය දෙස බලන විට, එවැනි රජයක අවදානම වනුයේ, එහි ආර්ථික කළමනාකරණ අක්‍රීයතාවය හේතු කොට ශ්‍රී ලංකාව සහ මහජනයා නුදුරේ දී ආර්ථික ගාසා තිරයක ප්‍රාණ ඇපකරුවන් වීමට ඇති අවදානම යි. එහි මුල් සලකුණු වත්මන් 17 වැනි IMF ණය වැඩසටහන කෙරී ගෙන යන ආකාරයෙන් හඳුනා ගත හැකිය.
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment