විනිමය අනුපාත දේශපාලනය. ආර්ථික විද්‍යාව වලංගු නැත් ද?
ලිපියේ අරමුණ සහ පසුබිම
මේ දිනවල ලෝකය පුරා සංවර්ධනය වන රටවල මුදල් වේගයෙන් අවප්‍රමාණය වීමේ ආර්ථික අර්බුදයක් ව්‍යාප්ත වෙමින් පවතී. එහි මතුපිට හේතුව පසුගිය අප්‍රේල් මස සිට මැදපෙරදිග පවතින ඇමෙරිකානු යුද්ධය වුව ද, මුදල් අර්බුදය පිටුපස පාරම්පරික ආර්ථික ව්‍යුහාත්මක හේතු රැසක් පවතී. එහෙත්, රටවල ආර්ථික කළමනාකරුවන් විසින් සුපුරුදු ලෙස සැහැල්ලුවෙන් හුවා දක්වන හේතුව වනුයේ, විදේශ විනිමය වෙළෙඳපොළෙහි ක්‍රියාකාරී වී ඇති අධික සමපේක්ෂණය හෙවත් සමපේක්ෂණ පහර (Speculative Attack) යි.
මෙතෙක්, බොහෝ දෙනා සිතා සිටියේ, ඉන්දියාව යනු තිරසාර දේශීය ආරක්ෂණ ප්‍රතිපත්ති මත අත්කර ගත් වේගවත් ආර්ථික වර්ධනය හරහා ඩොලර් බිලියන 720 ද ඉක්මවූ අතිවිශාල විදේශ සංචිතයක් ගොඩ නගා ගැනීම තුළින් ගෝලීය ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දෙන රටක් ලෙස ය. මෙම විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය ස්ථායිව පවත්වා ගැනීමේ හොඳ ජවයක් ඉන්දියානු මහ බැංකුවට ඇති බව පොදු පිළි ගැනීම විය.
එහෙත්, සංවර්ධනය වන රටවල මුදල් අවප්‍රමාණය වීමේ වත්මන් ගෝලීය කම්පනයෙන් ඉන්දියානු ආර්ථිකය සහ ජන ජීවිතය ද දෙදරීමට ලක් වී ඇති බව වාර්තා වෙයි. එනම්, ඉන්දියානු විදේශ සංචිතය ඩොලර් බිලියන 667 දක්වා පහළ යාමත්, විනිමය අනුපාතය අප්‍රේල් මස ආරම්භයේ 92 සිට 95-96 දක්වා ඉහළ යාමත් මගින් හට ගෙන ඇති ආර්ථික චකිතය සහ කම්පනය යි. එය, 2021/23 ගෝලීය කොරෝනා විදේශ මුදල් අර්බුදයෙන් බංකොලොත් වී, IMF උර මතින් ගොඩ එමින් සිටින රටවල් මුහුණ දෙන විනිමය අනුපාත පීඩනයට නොදෙවෙනි ය. එහෙත්, මෙම මුදල් අවප්‍රමාණ අර්බුදය චීනය සහ මැලේසියාවට බලපා නැති බව වාර්තා වෙයි.
මෙවැනි මුදල් අවප්‍රමාණ කම්පනයන් සංවර්ධනය වන රටවලට නුපුරුදු සිද්ධියක් නොවේ. ඊට හේතුව, මෙම රටවල් විසින් භක්තියෙන් අනුගමනය කරන ඩොලරය මත එදිනෙදා කළමනාකරණය කෙරෙන භූදේශපාලනික ආර්ථික මොඩලය තුළ, මෙවැනි කම්පනයන් හුදෙක් මොඩලයේම අංගයක් වීම යි. ඒ පිළිබඳව රටවල ආර්ථික කළමනාකරුවන්ට හොඳ අවබෝධයක් පවතින බව, ඔවුන් විසින් මේ දිනවල කියන සහ කරන දේවල්වලින් මනාව පැහැදිළි වෙයි. එහෙත්, එය, විනිමය අනුපාතය පිළිබඳ ආර්ථික විද්‍යා මූල ධර්මයන්ගෙන් වෙනස් වූ දේශපාලනික ආර්ථික විද්‍යාවකි.
එබැවින්, විනිමය අනුපාතය රටවල පාලනයෙන් ගිලිහී යන අවස්ථාවල, එහි වගකීම පිළිබඳ ව විවිධ පාර්ශවයන්ට චෝදනා කිරීම පුරුද්දක් වී ඇත. උදාහරණ ලෙස පසුගිය දා ආර්ථික විද්වතෙකු විසින් දැක්වුයේ, ශ්‍රී ලංකාවේ වත්මන් විනිමය අනුපාත අර්බුදය පිළිබඳ වගකීමක් මහ බැංකුවට නොමැති බවත්, එය පාලනය කිරීම රජයේ වගකීමක් බවත් ය. අපනයන කරුවන්ට සහ සමපේක්ෂණ විදේශ මුදල් ආයෝජකයන් සහ වෙළෙඳුන්ට ඇගිල්ල දිග් කිරීම ද සාමාන්‍ය චරියාවකි.
එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, සංවර්ධනය වන රටවල් මුහුණ දෙන වත්මන් මුදල් අවප්‍රමාණ කම්පනය පිළිබඳ ව මහ බැංකු සහ රජයන් විසින් ඉදිරිපත් කරන නිදහසට කරුනු සහ තාවකාලික පිළියම්වල ආර්ථික විද්‍යා පදනමක් නොමැති බවට ආර්ථික විද්‍යා සාක්ෂි ඉදිරිපත් කිරීම යි. මෙම රටවල විනිමය අනුපාතයන්හි මෑත කාලීන හැසිරීම දෙස බලන විට, මෙවර ද, විනිමය අනුපාතයන් වේගයෙන් ඉහළ නැග, මැද පෙරදිග භූදේශපාලනික යුද්ධය සමතයකය පත් වූ පසු, ඒවා තවත් ගෝලීය කම්පනයක් පතිත වන තෙක් නව මට්ටමේ සිට නැවත ක්‍රමයෙන් ඉහළ යාම සහ උච්ඡාවචනය වීමේ නව අවධියක් ලබනු ඇත. එය ආර්ථික කළමනාකරුවන් විසින් නැවත ආර්ථිකයන් ස්ථායිකරණය කළ බවට හුවා දැක්වෙනු ඇත.
එබැවින්, විනිමය අනුපාතය පිළිබඳ මූලික ආර්ථික විද්‍යා මූල ධර්මයන් පිළිබඳ දැනුමක් ඇති පාඨක පංතිය ඉලක්ක කොට මෙම ලිපිය සකසා ඇත. මෙම විෂය පිළිබඳ ව මෑත දී නිකුත් කළ ලිපිය මෙතනින් කියවන්න.(ලිපිය)
සංවර්ධනය වන රටවල විවෘත ආර්ථික කළමනාකරණ මොඩලය සහ විනිමය අනුපාතය
සංවර්ධනය වන රටවල ද දේශීය හෝ ස්වෛරීත්ව හෝ රාජ්‍ය මුදල් ක්‍රමයන් පැවතිය ද, එම මුදල් ක්‍රමයන් හුදෙක් ඩොලරය සහ ඩොලරයට බද්ධ පාලිත විනිමය අනුපාතයක් මත ගොඩ නැගී ඇත. ඊට හේතුව, ගෝලීය වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහය ප්‍රධාන වශයෙන් ඩොලරය හරහා සිදු වීම යි. එය ඇමෙරිකානු භූදේශපාලනයේ ප්‍රතිඵලයකි.
එබැවින්, සීග්‍ර සංවර්ධනය සඳහා ගෝලීය ආර්ථිකයට රටවල් විවෘත කිරීමේ දී, එම ආර්ථිකයන් ආනයන සහ විදේශ මූල්‍ය ආයෝජනයත්, එමගින්, ගෝලීය ඩොලර් ප්‍රවාහයත්, මත දැඩි රැඳීමක් හට ගැනිණ. බොහෝ රටවල ආනයන පියවීම සඳහා ප්‍රමාණවත් අපනයන අංශයක් සංවර්ධනය නොවීමත්, අපනයන ද බොහෝ ආනයන අමුද්‍රව්‍ය මත රැඳීමත්, හේතු කොට ආනයන-අපනයන හිඟය (හෝ ගෙවුම් ශේෂ හිඟය) පියවීමට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සඳහා විදේශ මූල්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රටවල් පෙළඹුණි.
එහෙත්, එම රටවල් මුහුණ දෙන ව්‍යුහාත්මක බාධාවන් හේතු කොට දිගු කාලීන විදේශ ආයෝජන ආකර්ශනය දුර්වල විය. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස් වෙළෙඳපොළවලට ලැබෙන කෙටි කාලීන ඩොලර් ආයෝජන ප්‍රවාහය මත දෛනික පදනමක් මත මෙම විවෘත ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ නව ලිබරල් ආර්ථික මොඩලයක් අනුගමනය කිරීමේ පුරුද්දක් ඇති විය. රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස් වෙළෙඳපොළවලට ලැබෙන විදේශ ආයෝජනයන් ලෝකය පුරා සැරිසරන කිසිම විශ්වාසයක් තැබිය නොහැකි හොට් කැපිටල් වූ බැවින් රජයන් විසින් විදේශ ණය ලබා ගැනීම හරහා ලබා ගන්නා ඩොලර් මුදල් තුළින් අයවැය හිඟය සහ ගෙවුම් ශේෂය හිඟය පියවීමේ ද්විආර්ථික ඉලක්ක ඉටු කර ගැනීමේ පුරුද්දක් ඇති විය.
විවෘත ආර්ථිකයන් මෙසේ ඩොලර් ආයෝජන ප්‍රවාහය මත ගොඩ නැගුන බැවින් ගෙවුම් ශේෂ හිඟය පියවීමේ හැකියාව සහ එමගින් දේශීය ආර්ථික ස්ථායිතාවය පිළිබඳව විදේශ ආයෝජකයන්ට එළි දැක්වීමට විදේශ සංචිත ඉලක්කම භාවිතා කෙරින. එම විදේශ සංචිතය හුදෙක් රාජ්‍ය විදේශ ණය සහ වෙළෙඳපොළ කෙටි කාලීන විදේශ ආයෝජන හරහා ලැබෙන ඩොලර් මුදල්වලින් ගොඩ නැගිණ. එය, රජයන් විසින් කලින් කලට විදේශ ණය සහ ආයෝජන හරහා කෘතීම ලෙස ජනිත කළ ගෙවුම් ශේෂ අතිරික්තයන්හි ප්‍රතිඵලයකි.
එම සංචිත ඩොලර් මුදල් භාවිතය හරහා විනිමය අනුපාතය ස්ථායිකරණය කරමින්, එදිනෙදා පදනමක් මත ගෙවුම් ශේෂ හිඟයන් පියවීම ආර්ථික කළමනාකරණයේ නාභිය බවට පත් විය. එබැවින්, ඩොලර් සංචිතයේ ප්‍රමාණවත් භාවය සහ මට්ටම පිළිබඳ රටවල් අතර සැසඳීම කළ හැකි ආර්ථික දර්ශකයක් ලෙස, ඩොලර් සංචිතය මගින් මූල්‍යකරණය කළ හැකි ආනයන මාස ගණන දැක්වීම ආර්ථික කළමනාකරුවන් අතර ප්‍රචලිත පුරුද්දක් විය. මෙය අර්ථ විරහිත ආර්ථික ඉලක්කමක් වුව ද, ගෝලීය ආර්ථිකයක ස්ථායිතාවය ඇගයීමේ ප්‍රචලිත ඉලක්කමක් ලෙස භාවිතා විය.
මෙම විවෘත ආර්ථික මොඩලය තුළ, ඕනෑම දේශීය හෝ විදේශීය ආතතියක හෝ කම්පනයක පළමු බලපෑමට ලක් වූයේ, ඩොලර් සංචිතය සහ විනිමය අනුපාතය යි. එබැවින්, රජයන් විසින් IMF සහ ලෝක බැංකු ණය හරහා විවෘත ආර්ථික කළමනාකරණ මොඩලය බේරා ගැනීමේ ගෝලීය සම්ප්‍රදායක් බිහි විය. IMF සහ ලෝක බැංකුව පසු පස ඉන්දියාව නොගිය ද, ඉන්දියානු විදේශ සංචිතය මුළු මනින්ම කෙටි කාලීන විදේශ මූල්‍ය ආයෝජන මුදල් (හොට් කැපිටල්) තුළින් ගොඩ නැගුන බැවින් ඉන්දියානු විවෘත ආර්ථික කළමනාකරණ මොඩලය ද අනෙක් සංවර්ධනය වන රටවල මොඩලයෙන් වෙනස් නොවීය.
එබැවින්, කලින් කලට ඩොලර් සංචිතය දිය වී, විනිමය අනුපාතය ඉහළ ගොස් (මුදල් අවප්‍රමාණය), රජයන් සහ ආර්ථිකයන් බංකොලොත් වීමේ අර්බුදයන් පතිත වීම මෙම රටවල ආර්ථික කළමනාකරණ මොඩලයේම සාමාන්‍ය අංගයක් විය. එබැවින්, වත්මන් මුදල් අවප්‍රමාණ ගෝලීය අර්බුදය ද එහි තවත් දිගුවක් මිස, ආර්ථික කළමනාකරුවන් හුවා දක්වන පරිදි අහම්ඹ හෝ අනපේක්ෂිත සිද්ධියක් නොවේ.
විනිමය අනුපාතය තීරණය වීම
විනිමය අනුපාතය යනු විදේශ මුදල් ඒකකයක මිල, දේශීය මුදලින් දැක්වීම යි. උදාහරණ ලෙස ඩොලර් එකක් අළෙවි වන රුපියල් ගණන යි. එබැවින්, ඩොලර්කරණය වූ ආර්ථිකයන්හි විනිමය අනුපාතය යනු ඩොලරයේ විනිමය අනුපාතය යි.
විනිමය අනුපාතය ඉහළ යන විට, දේශීය මුදලේ වටිනාකම පහළ යන බව හෙවත් අවප්‍රමාණය වන දැක්වෙයි. ඊට ප්‍රතිවිරුද්ධව, විනිමය අනුපාතය පහළ යන විට, දේශීය මුදලේ වටිනාකම ඉහළ යන බව හෝ ප්‍රතිප්‍රමාණය වන බව දැක්වෙයි.
ආර්ථික කළමනාකරුවන් විසින් නිරන්තරයෙන් දක්වන්නේ, විනිමය අනුපාතය හුදෙක් රට තුළ විදේශ මුදල් හෝ ඩොලර් වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වන බව යි. මෙහි දී, ඩොලර් ඉල්ලුම ඇති වන්නේ, ආනයන, විදේශ ණය ගෙවීම සහ විදේශ ආයෝජන ආපසු යාමට අවශ්‍ය ඩොලර් මිල දී ගැනීම සඳහා ය. මීට ප්‍රතිවිරුධව, ඩොලර් සැපයුම ඇති වන්නේ, අපනයන, විදේශ ණය සහ විදේශ ආයෝජන සහ විදේශ ප්‍රේෂණ තුළින් ලැබෙන ඩොලර් අළෙවිය මගිනි.
එබැවින්, විනිමය වෙළෙඳපොළේ ඩොලර් ඉල්ලුම සහ සැපයුම වෙනස් වීම අනුව විනිමය අනුපාතය වෙනස් වන බව දැක්වීම ඉතා පටු, ඇග බේරා ගැනීමේ, සරල ආර්ථික විද්‍යා ප්‍රකාශනයකි. මේ දිනවල අධික සමපේක්ෂණය හේතු කොට අනපේක්ෂිත ලෙස ඩොලර් ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ ගොස්, විනිමය අනුපාතය ඉහළ යන බව දැක්වීම ඊට මුවාවී ඇඟ බේරා ගැනීමට කෙරෙන ප්‍රකාශයකි.
මෙවැනි පටු ප්‍රකාශනයන් මගින් විනිමය අනුපාතයේ වෙනස්වීම අර්ථකතනය කිරීම මහජනයා රැවටීමකි. ඊට හේතුව, විවෘත ආර්ථිකයන්හි විනිමය අනුපාතය යනු සමස්ත නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය බැවිනි. එය, ආර්ථිකයෙහි සමස්ත දේශීය ගනුදෙනු සහ විදේශීය ගනුදෙනු අතර හුවමාරු අනුපාතය ලෙස දැක්විය හැකිය. එබැවින්, එය දේශීය ආර්ථිකයෙහි කාර්යක්ෂමතාවය සහ තරගකාරිත්වය නිරූපනය මිල කි.
විනිමය අනුපාතය තීරණය කෙරෙන ආර්ථික සාධක
ඉහත දැක්වූ පරිදි විදේශ විනිමය වෙළෙඳපොළ මගින් තීරණය වන විනිමය අනුපාතය යනු හුදකලා වූ විදේශ මුදල් මිලක් නොව, ආර්ථිකයෙහි සියළු වෙළෙඳපොළ බලපෑමෙන් තීරණය වන මිල කි. ඊට හේතුව, එම සියළු වෙළෙඳපොළවල් සහ විදේශ විනිමය වෙළෙඳපොළ අතර ඇති අන්තර් රැඳියාව යි. එය, ආර්ථික සාධක කිහිපයක් හරහා දැක්විය හැකිය.
- දේශීය සහ විදේශීය ආර්ථිකයන්හි විවිධාකාර වෙළෙඳපොළවල වෙනස්වීම් තුළින් ඩොලර් ඉල්ලුම සහ සැපයුම වෙනස්වීම
ඊට හේතුව, එම වෙළෙඳපොළවල් සහ විදේශ මුදල් වෙළෙඳපොළ අතර දැඩි අන්තර් සබඳතාවයක් පවතින බැවිනි. උදාහරණ ලෙස වත්මන් විනිමය අනුපාත ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, ගෝලීය බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ සැපයුම් බාධක හේතු කොට, විදේශීය මිල ගණන් ඉහළ යාම හරහා ආනයන පිරිවැය ඉහළ යාමත්, රටවල විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් ආයෝජන විශාල වශයෙන් ඉවත් වීමත්, තුළින් ඩොලර් ඉල්ලුම සහ ඩොලර් හිඟය ඉහළ යාම යි. එබැවින්, ඒ ඒ අවස්ථාවල විදේශ මුදල් වෙළෙඳපොළට කම්පනයන් ඇති කෙරෙන බාහිර වෙළෙඳපොළවල සාධක හඳුනා ගැනීමක් නොමැතිව විනිමය අනුපාතයේ වෙනස් වීමට හේතු සහ ඒ සඳහා පිළියම් අවබෝධ කර ගත නොහැකිය.
- විදේශ වෙළෙඳ ගනුදෙනු පාලන සහ නම්‍යතාවය
රටවල විදේශ වෙළෙඳ ගනුදෙනු පිළිබඳ ව විවිධාකාර රාජ්‍ය පාලනයන් පවතී. එබැවින්, විදේශ මුදල් වෙළෙඳපොළ වෙනස්කම්වලට විදේශ වෙළෙඳ ගනුදෙනු දක්වන සංවේදීතාවය, ඒ ඒ වෙළෙඳපොළවල පවතින රාජ්‍ය පාලනයන් මත තීරණය වනු ඇත. එබැවින්, විදේශ මුදල් වෙළෙඳපොළ හුදෙක් සංරෝධිත වෙළෙඳපොළක් වන අතර එහි තීරණය වන විනිමය අනුපාතය හුදෙක් වෙළෙඳපොළ විනිමය අනුපාතයක් නොව දැඩි පාලිත විනිමය අනුපාතයකි.
- මුදල් සහ පොලී අනුපාත පාලනය
විදේශ මුදල් වෙළෙඳපොළ තුළ විදේශ මුදල් සහ දේශීය මුදල් අතර හුවමාරු වෙළෙඳාමක් සිදු වෙයි. එබැවින්, දේශීය මුදල් සැපයුම සහ පොලී අනුපාතයන් තුළින් විදේශ මුදල් ඉල්ලුම සහ සැපයුම කෙරෙහි සෘජු බලපෑමක් ඇති කෙරේ. මුදල් මුද්‍රණය සහ බැංකු ණය ප්‍රසාරණය තුළින් මුදල් සැපයුම ඉහළ යන අතර පහළ පොලී අනුපාතයන් තුළින් දේශීය ණය සහ මුදල් ඉල්ලුම ඉහළ යනු ඇත. එම මුදල් මගින් ආනයන සහ විදේශ රටවල ආයෝජනය සඳහා විදේශ මුදල් ඉල්ලුම ඉහළ ගොස්, විනිමය අනුපාතය ඉහළ යනු ඇත. මුදල් සැපයුම සංකෝචනය සහ ඉහළ පොලී අනුපාතයන් තුළින් මීට ප්‍රතිවිරුද්ධ බලපෑමක් අපේක්ෂා කෙරේ.
ආර්ථිකයෙහි මුදල් සැපයුම සහ පොලී අනුපාතයන් මහ බැංකුව විසින් තම මුදල් ප්‍රතිපත්තිය යටතේ පාලනය කෙරෙන බැවින් විදේශ මුදල් වෙළෙඳපොළ සහ විනිමය අනුපාතය කෙරෙහි සෘජු බලපෑමක් මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය මගින් සිදු වනු ඇත. විනිමය අනුපාතයන් අඛණ්ඩව ඉහළ යන විට, මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීමට ප්‍රධාන හේතුව, විදේශ මූල්‍ය ආයෝජන රටට ආකර්ශනය යි. එමගින්, විදේශ මුදල් සැපයුම ඉහළ නැංවීම තුළින් විනිමය අනුපාතයේ ඉහළ යාම පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.
මේ දිනවල බොහෝ මහ බැංකු විසින් විවිධාකාර ආර්ථික කථාන්දරයන් දක්වමින්, තරගකාරීව පොලී අනුපාතයන් ඉහළ දැමීමේ සැබෑ අරමුණ වනුයේ, එසේ කෙටි කාලීන විදේශ මුදල් ආයෝජන ආකර්ෂණය මගින් විදේශ මුදල් වෙළෙඳපොළ සැපයුම තාවකාලිකව හෝ ඉහළ දැමීම යි.
මහ බැංකු විසින් භක්තියෙන් අදහන මූල්‍ය න්‍යායට අනුව විනිමය අනුපාතය ඉහළ යාමට හේතුව මුදල් සැපයුම ප්‍රසාරණය තුළින් හට ගන්නා ගෙවුම් ශේෂ හිඟය යි. එබැවින්, පොලී අනුපාතය ඉහළ දමා, මුදල් සැපයුම සංකෝචනය කිරීමේ මුදල් ප්‍රතිපත්තිය හුදු ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථ අභ්‍යාසයකි. එහෙත්, මෙහි දී විනිමය අනුපාතය ඉහළ යන ලෙස මුදල් සැපයුම ප්‍රසාරණය වන තෙක් මහ බැංකුව බලා සිටියේ ඇයි ද? යන්න ප්‍රශ්න නොකෙරේ.
- විදේශ විනිමය පාලන සහ මුදල් පරිවර්තීයතාවය
විදේශ විනිමය වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම කෙරෙහි විනිමය පාලනයන් බලපානු ඇත. මෙහි දී, විදේශ මුදල් ගනුදෙනු සඳහා දේශීය මුදල් හුවමාරු කිරීමේ දී බලපාන නීති පැනවෙනු ඇත. එනම්, දේශීය මුදලේ විදේශීය පරිවර්තීයතාවය සහ එහි මට්ටම විනිමය පාලනයන් මගින් තීරණය වනු ඇත. එබැවින්, විනිමය අනුපාතය යනු හුදෙක් නිදහස් වෙළෙඳපොළ මිලක් නොව, රජය විසින් දැඩි ලෙස ඉල්ලුම සහ සැපයුම පාලනය තුළින් තීරණය වන පාලිත විනිමය අනුපාතයකි.
- මහ බැංකු ඩොලර් සංචිතය
මහ බැංකු ඩොලර් සංචිතය යනු මහ බැංකුව විසින් රටෙහි විදේශ මුදල් වෙළෙඳපොළෙන් ඩොලර් මිල දී ගෙන රැස් කෙරෙන සංචිතය යි. එම ඩොලර් රජයෙන් සහ බැංකුවලින් මිල දී ගැනේ. රජයන් සහ මහ බැංකු විසින් මෙම සංචිත ඉලක්කම නිරන්තරයෙන් හුවා දක්වමින් ආර්ථිකයෙහි ශක්තිමත් භාවය ප්‍රකාශ කළ ද, එම සංචිතය ගොඩ නැගීමේ දී වෙළෙඳපොළ විනිමය අනුපාතය කෘත්‍රිමව ඉහළට එසවීම සිදු වෙයි. ඊට හේතුව, මහ බැංකුව විසින් එසේ ඩොලර් මිල දී ගැනීමේ දී, එම ඩොලර් විදේශ මුදල් ප්‍රමාණය වෙළෙඳපොළෙන් ඉවත් වීම තුළින් හට ගැනෙන ඩොලර් සැපයුම සංකෝචනය සහ එමගින් විනිමය අනුපාතය ඉහළ යාමේ තෙරපුම යි.
උදාහරණ ලෙස 2026 පෙබරවාරි මස වන විට ඉන්දියානු මහ බැංකුවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 728 ක් පමණ විය. එම ඩොලර් මුදල් ප්‍රමාණය විදේශ මුදල් වෙළෙඳපොළෙහි පැවතියා නම්, විනිමය අනුපාතය මෑත දී රුපියල් 96 මට්ටමට ඉහළ නොයනු ඇත. එබැවින්, මහ බැංකු ඩොලර් සංචිතය යනු විනිමය අනුපාතය කෘත්‍රිමව ඉහළ නංවන වෙළෙඳපොළ නොවන සාධකයකි.
එසේම, මෙම සංචිතයන් ඩොලර් මුදල් වෙළෙඳපොළට සැපයීම හරහා විනිමය අනුපාතයේ ඉහළ යාම පාලනය කිරීම යනු තවත් කෘතීම ක්‍රියාවකි. එනම්, මහ බැංකු විදේශ සංචිතය ඉහළ යන පමණට, රටෙහි විනිමය අනුපාතය ද කෘත්‍රිම ලෙස ඉහළ අගයක් ගනී. එබැවින්, මහ බැංකු විසින් විදේශ සංචිතය හරහා විනිමය අනුපාතය තිරසාර ලෙස ස්ථායිකරණය කළ බවට කිසිම රටකින් සාක්ෂි නොමැත. එනම්, විදේශ සංචිතය යනු විනිමය අනුපාතයේ අහිතකර උච්ඡාවචනයන් මැඩලීම සඳහා භාවිතා කෙරෙන ආරක්ෂණ සංචිතයක් බවට දැක්වෙන කථාන්දරය මිථ්‍යාවකි..
- විනිමය අනුපාතය කෙරෙහි මහ බැංකුවේ මැදිහත්වීම සහ විනිමය අනුපාතයේ නිදහස් ක්‍රියාකාරිත්වය
මහ බැංකුව විසින් වෙළෙඳපොළ විනිමය අනුපාතයේ අධික උච්ඡාවචනයන් සමනය කිරීම සඳහා විදේශ මුදල් වෙළෙඳපොළට මැදිහත් වන බවට මතවාදයක් ගොඩ නැගී ඇත. මෙම මැදිහත්වීම යනු මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සහ වෙළෙඳපොළට ඩොලර් විකිණීම යි. එය, මහ බැංකු ඩොලර් සංචිතය හරහා සිදු වෙයි. අතීතයේ දී එම මැදිහත්වීම සිදු වූයේ, මහ බැංකුව විසින් වෙළෙඳපොළේ පැවතිය යුතු විනිමය අනුපාත කොරිඩෝවක් නියම කිරීමෙනි. එහෙත්, නව ක්‍රමය වන්නේ, මහ බැංකුවට මනාප අවස්ථාවල එසේ ඩොලර් වෙළෙඳාම යි.
මහ බැංකු විසින් පවසන්නේ, නිශ්චිත විනිමය අනුපාත ඉලක්කයක් නොමැති මෙම මැදිහත් වීම සිදු කෙරෙන බව යි. එහෙත්, එසේ ඉලක්ක අනුපාතයක් නොමැතිව අධික උච්ඡාවචනයන් හඳුනා ගැනීමේ පදනම කුමක් ද? යන්න නොදැක්වෙයි. එබැවින්, මහ බැංකුවල සාමාන්‍ය පුරුද්ද වන්නේ, ඒ ඒ අවස්ථාවේ දී පවතින විනිමය අනුපාතය සුළු සුළු වෙනස්කම් සහිතව පවත්වා ගැනීම සඳහා මැදිහත්වීම් සිදු කිරීම යි. එබැවින්, වෙළෙඳපොළ විනිමය අනුපාතය බොහෝ විට පහළ අගයක පාලනය කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එනම්, මුදල් අධිඅගයක පැවතීමත්, සුළු හෝ වෙළෙඳපොළ අතතියක දී හදිසියේ මුදල් අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් පැවතීමත් ය. බොහෝ රටවල යම් කාලයක් විනිමය අනුපාතය ස්ථායීව පැවතීමත්, පසුව හදිසියේ ඉහළ යාමත් මගින් එය නිරූපනය වෙයි.
- දේශීය මිල ගණන්වල නම්‍යශීලිත්වය
දේශීය වෙළෙඳපොළවල කෙරෙහි පවතින විවිධාකාර රාජ්‍ය පාලනයන් හේතු කොට ඉල්ලුම් සැපයුම් සාධක වෙනස් වන විට මිල ගණන් වෙනස් වීමේ නම්‍යශීලීතාවයක් නොමැත. එය විනිමය අනුපාතයට මෙන්ම වෙනත් මිල ගණන්වලට ද පොදු සත්‍යයකි. උදාහරණ ලෙස බලශක්ති මිල ගණන් කලින් කලට රජය විසින් තීරණය කරන බැවින් විනිමය අනුපාතය සහ ආනයන මිල ගණන් අනුව බලශක්ති මිල ගණන් වෙනස් නොවේ. එබැවින්, එහි පාඩුව රජයට දැරීමට සිදු වෙයි. එසේම, රජය විසින් යම් කාලයක් බලා ගෙන සිට, පසුව බලශක්ති මිල ගණන් එක වරට ඉහළ දැමීමෙන් සමාජ ආර්ථික කම්පනයක් හට ගනු ඇත.
එබැවින්, ඒ ඒ අවස්ථාවේ දී මිල ගණන් වෙනස් වීමට වෙළෙඳපොළවලට හැකියාව පවතී නම්, ඒ අනුව ඉල්ලුම් සහ සැපයුම් සාධක ක්‍රියාත්මක වීම තුළින් කම්පන අවස්ථාවන් මතු නොවනු ඇත. බොහෝ අවස්ථාවල රජයන් විසින් විනිමය අනුපාතයන් සහ ඒ අනුව දේශීය මිල ගණන් ඉහළ යාම වැලැක්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සිදු වන අතර එය හුදෙක් උද්ධමනය පාලනය සහ ආර්ථික වර්ධනය ආරක්ෂා කිරීමේ අරමුණ මත සිදු කෙරේ.
- ගෝලීය ආර්ථිකය සමඟ දේශීය ආර්ථිකයෙහි තරගකාරිත්වය සහ ඵලදායිතාවය
එබැවින්, රටක ආර්ථිකය ඉහළ තරගකාරිත්වක් භුක්ති විඳී නම්, මූර්ත ආර්ථික සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් තුළින් තිරසාර විදේශ මුදල් හෝ ගෙවුම් ශේෂ අතිරික්තයක් ජනිත විය යුතුය. එමගින්, විනිමය අනුපාතය පහළ යාමේ හෝ දේශීය මුදල අතිප්‍රමාණය වීමේ නැඹුරුවක් පැවතිය යුතුය. එහෙත්, බොහෝ සංවර්ධනය වන රටවල එවැනි තරගකාරිත්වයක් නොමැති බැවින් කෙටි කාලීන රාජ්‍ය විදේශ ණය සහ වෙළෙඳපොළ ආයෝජන හරහා කෘතීම ලෙස ජනිත කෙරෙන විදේශ මුදල් අතිරික්තයක් මගින් ආර්ථිකය මූල්‍යකරණය සහ කළමනාකරණය කිරීම දැකිය හැකිය.
එබැවින්, මෙම රටවල විනිමය අනුපාතය යනු හුදෙක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් වෙයි. එබැවින්, ගෝලීය ආර්ථිකය තුළ ආර්ථිකයේ සමස්ත ඵලදායිතාවය සහ තරගකාරිත්වය නිරූපණය කෙරෙන මිල මට්ටම ලෙස විනිමය අනුපාතය භාවිතා කළ නොහැකිය. එබැවින්, මෙම රටවල විනිමය අනුපාතය යනු සාර්ව ආර්ථික වැදගත් කමක් නොමැති හුදු දේශපාලනික මෙවලමකි. ඒ බව, මේ දිනවල රටවල රජයන් විසින් විනිමය අනුපාත ස්ථායිතාවය රැකීම සඳහා ගනු ලබන තාවකාලික සහ කලබලකාරී ප්‍රතිපත්තිවලින් මනාව පැහැදිළි වෙයි.
මැද පෙරදිග යුධ සහ බලශක්ති සැපයුම් කම්පනය හේතු කොට මෙවර විනිමය අනුපාතය බොහෝ රටවල 5%-8% ප්‍රමාණයකින් ඉහළ යන ලදි. මීට, විදේශ ආයෝජක සමපේක්ෂණ පහර ද ආරම්භක සාධකයක් විය. එනම්, යුද්ධය තුළින් බලශක්ති මිල ගණන් ඉහළ යාමත්, එමගින් රටවල විනිමය අනුපාතයන් සහ පොලී අනුපාතයන් ඉහළ යාමත්, අපේක්ෂණයන් හේතු කොට, ඊට පෙර විදේශ ආයෝජකයන් විසින් තම ආයෝජන මුදල් ඉක්මණින් ඇමෙරිකාව ප්‍රමුඛ සංවර්ධිත රටවලට ගෙන යාමේ රැල්ලක් හට ගැනීම යි. ඊට හේතුව, විදේශ ආයෝජකයන්ට ඉන් සිදු විය හැකි අලාභය වැලැක්වීම යි. ඊට අවශ්‍ය ඩොලර් සැපයීම හේතු කොට රටවල විදේශ සංචිතයන් පහළ යාමත්, විනිමය අනුපාතයන් ඉහළ යාමත් සිදු විය.
එබැවින්, සෑම රටක්ම විසින් ආරම්භ කළ ප්‍රතිපත්ති පැකේජය වූයේ, විදේශ ආයෝජනයන් නැවත ආකර්ෂණය කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය උත්තේජනයන් සැපයීම යි. ඊට මූලික වශයෙන්,
- විදේශ සංචිතයෙන් වෙළෙඳපොළට ඩොලර් සැපයීම තුළින් විනිමය අනුපාතයේ ඉහළ යාම අඩාල කිරීම,
- මුදල් හුවමාරු ගිවිසුම් හරහා විදේශ සංචිතයට ඩොලර් මිල දී ගැනීම, අපනයන කරුවන්ට සහන සැපයීම,
- වෙළෙඳපොළ පොලී අනුපාතයන් ඉහළ නංවා, විදේශිකයන්ට රාජ්‍ය සුරැකුම්පත් අළෙවිය ඉහළ නැංවීම යනාදිය අඩංගු විය.
මෙහි දී, ඉන්දියාව මුහුණ දුන් විදේශ මුදල් අර්බුදයේ ඉහළ පරිමාව හේතු කොට, සැලකිය යුතු ප්‍රතිපත්ති දියත් කරන ලදි. එනම්,
- මහ බැංකුව විසින් ඩොලර් බිලියන 5 ක මැදි හා දිගු කාලීන මුදල් ප්‍රමාණයක් මුදල් හුවමාරු වෙන්දේසියක් හරහා රැස් කිරීම.
- රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනයෙන් විදේශ ආයෝජකයන් ලබා පොලී ආදායමින් රඳවා ගැනීමේ බද්ධ අත්හිටුවීම.
- විදේශිකයන්ට ආයෝජනය කළ හැකි පරිදි රාජ්‍ය සුරැකුම්පත් නිකුතු ඉහළ දැමීම.
- විදේශ ආයෝජක සමාගම්වලට රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනයෙන් ලැබෙන පොලී ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීම.
- බැංකු විසින් විදේශිකයන්ගෙන් රැස් කෙරෙන මැදි හා දිගු කාලීන විදේශ තැන්පතුවල මූල්‍ය අවදානම් ආවරණය කෙරෙන ගිවිසුම් වියදම මහ බැංකුව විසින් දැරීම.
එහෙත්, ඉන්දියාව විසින් පොලී අනුපාතයන් ඉහළ නොදැමූ අතර මූල්‍ය වෙළෙඳපොළ ද්‍රවශීලතාවය ඉහළ නංවන ලදි. එය, හුදෙක් විනිමය අනුපාතය සමඟ දේශීය ආර්ථික වර්ධන අරමුණ තුලනය කිරීමේ අරමුණින් සිදු කෙරේ.
සංවර්ධනය වන රටවල විදේශ ණය හරහා ගොඩ නැගෙන ඩොලර් සංචිතය මත පදනම් වූ විනිමය අනුපාතය ස්ථායිකරණය සහ ආර්ථික කළමනාකරණ මොඩලය හුදු ඇමෙරිකානු දේශපාලනයේ සහ ඒ ආශ්‍රිත ගොඩ නැගුණ ආර්ථික විද්‍යාවේ ප්‍රතිඵලයකි. එය පියවර කිහිපයකින් යුක්ත විය.
- 1944 බ්‍රෙටන් වූඩ්ස් ගිවිසුම යටතේ ඩොලරය ගෝලීය සංචිත මුදල් කිරීමත්, අනෙක් රටවල මුදල්වල විනිමය අනුපාතය ඩොලරයට බද්ධ කොට ස්ථාවරව තබා ගැනීමත්, රටවල ඩොලර් විනිමය අනුපාතය ස්ථාවර කිරීමට අවශ්‍ය ඩොලර් ණය IMF සහ ලෝක බැංකුව විසින් රටවලට සැපයීමත් මගින් ඩොලරය ගෝලීයකරණය කිරීම.
- 1971 දී බ්‍රෙටන් වූඩ්ස් ගිවිසුම බිඳ වැටීමෙන් පසු මැද පෙරදිග ඛණිජ තෙල් මිල සහ වෙළෙඳාම ඩොලර් හරහා සිදු කිරීමෙන් ගෝලීය ඩොලර් ඉල්ලුම සහ භාවිතය අඛණ්ඩව ඉහළ දැමීම.
- සංවර්ධිත රටවල ආර්ථික විද්‍යාඥයන් විසින් සංවර්ධනය වන රටවල් මුහුණ දෙන දුගීබවේ විෂම චක්‍ර නම් වූ සංකල්පයක් ඉදිරිපත් කොට, එය බිඳීම සඳහා අවශ්‍ය ආයෝජන ඉහළ දැමීම සඳහා විදේශ ඩොලර් ආයෝජන අවශ්‍ය බවට සංවර්ධන ආර්ථික විද්‍යාවක් බිහි කිරීම.
- දුගීබවේ විෂම චක්‍රය ලෙස දැක්වූයේ, මෙම රටවල පවතින අඩු නිෂ්පාදනය සහ ආදායම, අඩු ඉතුරුම්, අඩු ආයෝජන සහ අඩු ආදායම යන සාර්ව ආර්ථික චක්‍රීය තත්ත්වය යි. එබැවින්, බාහිර විදේශ ආයෝජන හරහා ආයෝජන ඉහළ දැමීම තුළින් නිෂ්පාදනය සහ ආදායම ඉහළ යාම හරහා විෂම චක්‍රය බිඳී ගොස්, රටවල් වේගයෙන් සංවර්ධනය වනු ඇති බවට ආර්ථික මතවාදයක් ගොඩ නගන ලදි.
- සංවර්ධිත රටවල මෙන් මෙම රටවල ද මුදල් මුද්‍රණය හරහා රාජ්‍ය වියදම් තුළින් දේශීය ආයෝජනය ඉහළ දැමීමට හැකියාව තිබුණ ද, එමගින් විනිමය අනුපාතය සහ උද්ධමනය ඉහළ යන බවට දැක්වෙන මූල්‍ය න්‍යාය මගින් එම සංවර්ධන ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කෙරෙන ලදි. මූල්‍ය න්‍යායේ අර්ථකථනය වූයේ, රාජ්‍ය වියදම් සඳහා මුදල් ප්‍රසාරණය කිරීම තුළින් ගෙවුම් ශේෂ හිඟයක් හට ගෙන, විනිමය අනුපාතය සහ උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකයන් කඩා වැටෙන බව යි.
- එබැවින්, සම්මත සංවර්ධන ආර්ථික විද්‍යා මතවාදය වුයේ, විදේශ ආයෝජනය හරහා රටවල් දියුණු කිරීම යි. ඊට දායක වන ලෙස විනිමය සහ වෙළෙඳ පාලනයන් ඉවත් කොට, ආර්ථිකයන් ගෝලීය ආර්ථිකයට විවෘත කිරීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් IMF සහ ලෝක බැංකු ණය හරහා ක්‍රියාත්මක කරන ලදි.
- ඩොලර් ගෝලීයකරණයේ ඊළඟ අවධිය ලෙස ඇමෙරිකානු මූල්‍ය පද්ධතියේ නවතම අංශය ලෙස ඩොලරයට බද්ධ ස්ථායී කාසි වැනි පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඇමෙරිකානු රජය විසින් දැනට ආරම්භ කොට ඇත. එබැවින්, සංවර්ධනය වන රටවල ආර්ථිකයන් ඉදිරි දශකවල පෞද්ගලික ක්‍රිප්ටෝ ඩොලර්වලින් පිරී ගොස්, දේශීය රාජ්‍ය මුදල් ක්‍රමයන් අභාවයට යනු ඇත.
ඩොලරය සහ විනිමය අනුපාතය මත පදනම් වූ ආර්ථික කළමනාකරණ මොඩලය යනු මෙසේ ඩොලර් ණය හරහා මෙම රටවල් කළමනාකරණ කිරීම සඳහා දේශපාලන නායකයන් විසින් ණයට ගත් ආර්ථික ඥාණය යි. ඉන් මිදීමට බොහෝ රටවලට ඉදිරි දශකයන් වල පවා නොහැකි වනු ඇත.
එහෙත්, චීනය සහ 1997/98 විදේශ මුදල් අර්බුදයෙන් පසු මැලේසියාව මෙම ආර්ථික මොඩලයට හසු නොවී, මූර්ත නිෂ්පාදන සංවර්ධනය හරහා විදේශ සංචිතයක් ගොඩ නැගීම තුළින් ඩොලර් විනිමය අනුපාතය සහ ආර්ථික සංවර්ධනය කළමනාකරණය කිරීමේ හැකියාව ලබා ගෙන ඇත. එබැවින්, වත්මන් විනිමය අනුපාත කම්පනය චීනය සහ මැලේසියාවට එතරම් බලපෑමක් සිදු කොට නැත.
- සංවර්ධනය වන රටවල් කලින් කලට මුහුණ දෙන විනිමය අනුපාත කම්පනයන් යනු හුදු අනපේක්ෂිත සමපේක්ෂණ කම්පනයන් නොවේ.
- එය හුදෙක් කෙටි කාලීන විදේශ ණය සහ ආයෝජන හරහා සපයා ගන්නා ලද ඩොලරය මත ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා ණයට ගන්නා ලද ආර්ථික ඥාණය සහ එමගින් හට ගෙන ඇති ආර්ථික ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලය යි. එනම්, ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමාණවත් සාපේක්ෂ වාසි ලබා ගැනීමට නොහැකි ලෙස පහළ මට්ටමක පවතින ඵලදායිතාවය යි.
- එබැවින්, මෙම රටවල විනිමය අනුපාතය යනු හුදෙක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් පමණක් වන බැවින් එය ආර්ථික සංවර්ධන සහ ස්ථායිකරණ හැකියාව සහ මට්ටම ඇගයීමට උපකාරී නොවේ.
- එබැවින්, මෙම රටවල් මුහුණ දෙන විදේශ ණය බංකොලොත්භාවය සහ විදේශ මුදල් අර්බුදයට මූලික හේතුව විනිමය අනුපාත දේශපාලනය යි. එය, සාර්ව ආර්ථික පදනම් සාධක මත ප්‍රතිනිර්මාණය කරන තෙක්, ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධනය වන රටවලට සංවර්ධිත රටවල ආර්ථික විද්‍යාඥයන්ගෙන් ණයට ගත් ආර්ථික ඥාණයෙන් සහ විදේශ මුදල් අර්බුදවලින් මිදිය නොහැකි වනු ඇත.
- කෙටි කාලීන රාජ්‍ය විදේශ ණය සහ හොට් කැපිටල් හරහා රැස් කෙරෙන විදේශ සංචිතය තුළින් විනිමය අනුපාතය අවඅගයක් (එනම්, මුදල අධිඅගයක) මත ආර්ථිකය කළමනාකරණය කිරීමේ සාර්ව ආර්ථික අවදානම වනුයේ, අනපේක්ෂිත ලෙස පතිත වන සමපේක්ෂණ විදේශ මුදල් හැසිරීම සහ අර්බුදයන් හේතු කොට ආර්ථිකයන් සහ ජන ජීවිතය කඩා වැටීම යි. මීට හොඳම නිදසුන ආසියානු ව්‍යාග්‍රයන් ලෙස සංවර්ධනය වූ නැගෙනහිර ආසියානු රටවල හට ගත් 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය යි. ඊට හේතුව, එම රටවල් කෙටි කාලීන විදේශ ආයෝජන හරහා රාජ්‍ය අනුග්‍රහය යටතේ අධිමුදල් අගය තුළින් සිදු කළ කාර්මීකරණය යි. එබැවින්, ඉදිරියේ දී මුදල් අවප්‍රමාණ වීමේ බියෙන් එම රටවලින් විදේශ ආයෝජනය ක්ෂණිකව ඉවත්ව යාම හේතු කොට ආර්ථිකයන් මාස කිහිපයක් තුළ බිඳ වැටිණ.
- ඉන්දියාව වැනි ස්වාභාවික සම්පත් බහුල රටක කෙටි කාලීන වෙළෙඳපොළ ආයෝජනය හරහා පවත්වා ගෙන යන මෙතරම් ඉහළ මට්ටමක විදේශ සංචිතයක් තුළින් විනිමය අනුපාතය සහ ගෙවුම් ශේෂ හිඟය මූල්‍යකරණය කිරීමත්, එමගින්, ලෝකයේ බලවත් ආර්ථිකයක් බවට පත් වීමට උත්සාහ කිරීමේ ආර්ථික මොඩලයත්, ඉතා අවදානම්කාරී වෙයි. වත්මන් විනිමය අනුපාත කම්පනය තුළ විනිමය අනුපාතය ඉහළ යාම රුපියල් 3-4 කට සීමා කිරීම සඳහා විදේශ සංචිතයෙන් ඩොලර් බිලියන 55 ක් පමණ වැය කිරීමේ ආර්ථික තර්කානුකුල භාවය කුමක් ද? යන්න පැහැදිළි නැත. එබැවින්, බොහෝ ආර්ථික විද්වතුන් විසින් දැක්වූයේ, විනිමය අනුපාතය ක්‍රමයෙන් 100 යේ මානසික බාධකය ඉක්මවා ඉහළ යාමට ඉඩ දීමෙන්, ආර්ථිකය වඩාත් නම්‍යශීලී වීමට ඉඩ දිය යුතු බව යි. 2013 වර්ෂයේ දී ද මෙවැනි විදේශ මුදල් අර්බුදයකට ඉන්දියාව මුහුණ දී ඇත.
- එබැවින්, බොහෝ සංවර්ධනය වන රටවල ඉදිරි සංවර්ධනය මුහුණ දෙන ප්‍රධාන ගැටළුව ඒ සඳහා අවශ්‍ය මුදල් හිඟය යි. එය විසඳීම කළ යුත්තේ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙන් ඩොලරය සහ විනිමය අනුපාතය ඉවත් කොට, ආර්ථික සංවර්ධනය සඳහා දේශීය රාජ්‍ය මුදල් ක්‍රමය භාවිතා කිරීමෙනි. එය සැබෑ දේශීය ආර්ථික විප්ලවයක් වනු ඇත. ඊට හේතුව, මුලින් දැක්වූ ණයට ගත් ආර්ථික ඥාණය ක්‍රියාත්මක කරන නියෝජිත දාමය රට පුරා ව්‍යාප්ත වී ඇති බැවිනි.
(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි

Comments
Post a Comment