ක්‍රිප්ටෝ මුදල්වලින් ශ්‍රී ලංකාව ගොඩ එයි ද? නැත්නම්, එය තවත් විදේශ මුදල් උගුලක් වෙයි ද?

 


ලිපියේ අරමුණ සහ පසුබිම

මේ දිනවල ලෝකය පුරා ක්‍රිප්ටෝ මුදල් ජනප්‍රිය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික රැල්ලක් හට ගෙන ඇත. මෙය හුදෙක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධන රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් ජනිත වී ඇත. 

ගෝලීය මුදල් ඉතිහාසය කලින් කලට වෙළෙඳපොළවල් විසින් සොයා ගත් විවිධ මුදල් වර්ගයන්ගෙන්  විකාශය වී ඇත. පසුගිය සියවසක පමණ කාලය තුළ මුදල් ලෙස රාජ්‍ය කාසි සහ නෝට්ටු මුදල් ක්‍රමය ජනප්‍රිය වී ඇත. එහෙත්, රාජ්‍ය මුදල්වලට අභියෝගයක් ලෙස පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් දැනට ජනප්‍රිය වන අතර එය ඉදිරි සියවස තුළ රාජ්‍ය මුදල් අභාවයට යවන නව ගෝලීය මුදල බවට පත් විය හැකිය.

ශ්‍රී ලංකාවේ ද යම් යම් විදේශීය ක්‍රිප්ටෝ මුදල් භාවිතා වන බවත්, එවැනි ක්‍රිප්ටෝ මුදල් රාජ්‍ය නියාමනය යටතේ ප්‍රචලිත කිරීමට රාජ්‍ය අධිකාරීන් ක්‍රියා කරන බවත්, මෑත කාලීන මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ගෝලීය ක්‍රිප්ටෝ මුදල්වල මූලික ස්වරූපය, අවදානම් සහ ප්‍රවණතාවය පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කොට, ශ්‍රී ලංකාව නුදුරේ දී හසු විය හැකි ක්‍රිප්ටෝ උගුල පුරෝකථනය කිරීම යි. 

1950 සිට මෙතෙක් දේශීය රාජ්‍ය මුදල වන රුපියල මුහුණ දුන් ආර්ථික අර්බුදයන් දෙස බලන විට, රටේ පොදුජන යහපතට දේශීය රාජ්‍ය මුදල භාවිතා කිරීමට නොහැකි රාජ්‍ය අධිකාරීන්ට, දේශීය පොදුජන හිතසුව පිණිස පෞද්ගලික ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළක් නියාමනයට හෝ මෙහෙය වීමට නොහැකි බව පැවසීමට පර්යේෂණ දත්ත අවශ්‍ය නොවේ.

ගෝලීය මුදල් විකාශය

පුරාණයේ සිට මේ දක්වා මුදල් සොයා ගැනීම සහ නවීකරණය වෙළෙඳපොළ ප්‍රගතියකි. මුදල් යනු ලෝකයේ මෙතෙක් වාර්තා වූ නව සොයා ගැනීම්වලින් ඉතා විශ්මය ජනක සොයා ගැනීමක් ලෙස සැලකෙයි. එය මූලික අවධි හතරකින් කෙටි කළ හැකිය.

1. භාණ්ඩ මුදල් යුගය

මෙහි දී, කල් පවතින, පහසුවෙන් ගෙන යා හැකි භාණ්ඩයන් මුදල් ලෙස භාවිතා කෙරින. එබැවින්, මුදල් යනු පවතින නිෂ්පාදනයෙහි ම කොටසක් වූ අතර මුදල්වල භෞතික වටිනාකමක් පැවතින. එකල, රාජ භාණ්ඩාගාරයට බදු මගින් එම භාණ්ඩ මුදල් රැස් කොට, රාජ්‍ය වියදම් සඳහා භාවිතා කෙරින. එබැවින්, රාජ්‍ය වියදම් ඉහළ යන විට, බදු ද ඉහළ දමන ලදි.

2. ලෝහ මුදල් යුගය

ආරම්භයේ දී මුහුණත වටිනාකම අඩංගු ලෝහ කැබලි භාවිතා වූ අතර රාජ්‍ය වියදම් සඳහා නිල ලෝහ කැබලි නිපදවීමේ බලය රජවරුන් අත්කර ගන්නා ලදි. එබැවින්, බදු ආදායමට වඩා වැඩි වියදමක් ලෝහ මුදල් නිෂ්පාදනය හරහා සිදු කිරීමට රජවරුන්ට හැකියාව ලැබිණ. මෙය රාජ්‍ය මුදල් මුද්‍රණය හරහා සිදු කෙරෙන නූතන රාජ්‍ය අයවැයට සමාන ක්‍රියාවකි.

නූතන මුදල් ක්‍රමයේ උපත රන් ලෝහ මුදල් හරහා සිදු විය. එනම්, මුදල් ලෙස රන් කාසි භාවිතය තුළින් රන් කාසි හුවමාරු නොකොට, රන් වටිනාකම මත පදනම් වූ කඩදාසි මුදල් නෝට්ටු භාවිතය යි. එනම්, මෙම මුදල් නෝට්ටු ඕනෑම විටක නෝට්ටුවේ වටිනාකමට සමාන නිශ්චිත රන් ප්‍රමාණයකට හුවමාරු කළ හැකි බවට සමම්තය සහ විශ්වාසය යි. මෙම මුදල් රන් සම්මතය ලෙස හැඳින් වෙයි. නූතන මහ බැංකු, ආයෝජකයන් සහ පුද්ගලයන් විසින් රන් වත්කම් රැස් කිරීමේ පුරුද්ද එහි ප්‍රතිඵලයකි.

3. බැංකු නෝට්ටු මුදල් යුගය 

මෙය යුගයන් දෙකක ප්‍රතිඵලයකි. එනම්, රන් කාර්මිකයන් සහ රන් මත පදනම් වූ වාණිජ බැංකු ය.

  • රන් කාර්මිකයන්

නූතන නෝට්ටු මුදල් භාවිතයේ ආරම්භය 17-18 සියවසේ යුරෝපයේ රන් කාර්මිකයන් ය. ඔවුන් සතුව රන් සේප්පු පැවති බැවින් මහජනයා විසින් තම රන්වල ආරක්ෂාව සඳහා රන් කාර්මිකයන් වෙත තැන්පත් කරන ලදි. ඒ සඳහා රන් කාර්මිකයන් විසින් නිකුත් කරන ලද රන් තැන්පතු කුවිතාන්සි ගෙවුම් ගනුදෙනු සඳහා හුවමාරු කිරීමේ පුරුද්දක් රන් හිමියන් අතර ඇති විය. එනම්, රන් මත පදනම් වූ මුදල් නෝට්ටු භාවිතය යි. 

එබැවින්, රන් කාර්මිකයන් විසින් ව්‍යාජ රන් කුවිතාන්සි නිකුත් කිරීම මගින් ණය දීම ආරම්භ විය. ඊට හේතුව, බහුතර මහජනයා මෙම රන් කුවිතාන්සි ඉදිරිපත් කොට, රන් කාර්මිකයන්ගෙන් රන් ආපසු ඉල්ලා නොසිටීම යි. එබැවින්, රන් කාර්මිකයන් විසින් තමන් වෙත ඇති සැබෑ රන් තැන්පතු ප්‍රමාණයට වඩා කිහිප ගුණයක වටිනාකමක් ඇති රන් නෝට්ටු නිකුත් කළ අතර එම රන් නෝට්ටු හරහා මුදල් ගෙවුම් ක්‍රමය ක්‍රියාත්මක විය. එබැවින්, රන් කාර්මිකයන් බැංකු බවට පත් විය. නූතන මුදල් සහ බැංකු ක්‍රමයේ ආරම්භය එය යි.

මෙම යුගයේ රජ වරුන්ට එසේ රන් නෝට්ටු නිකුත් කිරීමට නොහැකි වූ බැවින් රජයන් අයවැය හිඟයන්ට මුහුණ දී, එය පියවීමට බැංකුවලින් ණය මුදල් ගැනීමට සිදු විය. එබැවින්, රජයන් විසින් ද තම බැංකු පිහිටු වන ලදි. මෙම රාජ්‍ය අනුග්‍රහය ලත් බැංකු පසුව මහ බැංකු බවට පත් විය. මීට හොඳම උදාහරණය වත්මන් එංගලන්ත මහ බැංකුව යි.

  • පෞද්ගලික බැංකු මුදල්

රන් කාර්මිකයන්ගෙන් විකාශය වූ බැංකු විසින් භෞතික රන් සංචිතයක් මත පදනම් වී, තම තමන්ට විශේෂ වූ මුදල් නෝට්ටු නිකුත් කළ අතර ඒවා මහජනයා විසින් මුදල් ලෙස භාවිතා කෙරින. මෙහි දී, මුදල් වටිනාකම් ඒකකයන්, එනම්, ඩොලර් සහ ස්ටර්ලින් පවුම් වැනි, රජයන් විසින් නීතියෙන් නියම කරන ලදි. ඒ අනුව, විවිධ බැංකු විසින් නිල මුදල් ඒකකයෙන් නිකුත් කරන ලද විවිධ වටිනාකමින් යුතු පෞද්ගලික බැංකු මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් මහජනයා විසින් පොදු විශ්වාසය මත ගනුදෙනු කෙරින. මෙහි මුදල් නිකුත් කිරීමේ මාධ්‍යය වූයේ, බැංකු විසින් ගිණුම් සටහන් හරහා ණය දීම සහ ගනුදෙනු කරුවන්ගේ ගිණුම්වලට නව තැන්පතු ලෙස එම ණය සටහන් කිරීම යි. 

එසේම, බැංකු අතර ගනුදෙනුකාර විශ්වාසය වෙනස් වූ බැවින් නිල මුදල් ඒකකය සමාන වුව ද, විවිධ විනිමය අනුපාතයන් මත බැංකු මුදල් නෝට්ටු ගනුදෙනු කෙරින. ඉහළ මට්ටමේ විශ්වාසවන්ත බැංකු විසින් බැංකුවල බැංකුව ලෙස මෙම මුදල් නෝට්ටු නිෂ්කාෂණය කිරීමේ සේවය සපයන ලදි. එකල, යම් යම් බැංකුවල මුදල් නිකුත් කිරීමේ සහ කළමනාකරණ වංචා හේතු කොට, කලින් කළට බැංකු සහ ආර්ථික අර්බුදයන් හට ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය. මීට හොඳම උදාහරණය 19 වැනි සියවසේ ඇමෙරිකාවේ කැලෑ බළල් බැංකු (Wildcat Banks) ය. එහෙත්, මෙම බැංකු විසින් තම ණය සහ මුදල් නෝට්ටු හරහා ආරම්භක ජනාවාස යුගයේ ප්‍රාදේශීය ආර්ථික සහ ජන සමාජ සංවර්ධනයට විශාල සේවයක් ඉටු කරන ලදි.

4. රාජ්‍ය මුදල් යුගය 

20 වැනි සියවස ආරම්භයේ සිට රාජ්‍ය මුදල් ක්‍රමයන් රටවල බිහි විය. මෙහි දී, රජයන් විසින් නෛතික ප්‍රතිපාදනයන් හරහා පෞද්ගලික බැංකු මුදල් නෝට්ටු අවලංගු කොට, රාජ්‍ය අනුග්‍රහය ලබන මහ බැංකු හරහා රාජ්‍ය කාසි සහ නෝට්ටු නිකුත් කිරීම මේ දක්වා සිදු වෙයි. එය, වටිනාකම් මැනීමේ ඒකකය සහ ගෙවුම් මාධ්‍යය ලෙස රාජ්‍ය මුදල් ඒකකය නියම කිරීමත්, ඒ සඳහා පෞද්ගලික මුදල් තහනම් කිරීමත් මගින් සිදු විය. 

තව ද, රාජ්‍ය මුදල් සඳහා මහජන ඉල්ලුමක් ඇති කිරීම සඳහා රජයට බදු ගෙවීම රාජ්‍ය මුදල්වලින් සිදු කළ යුතු බවට නියම කෙරින. මුදල් ගනුදෙනු කිරීමට අවසර ලත් බැංකු ද රාජ්‍ය නියාමනයට ලක් කිරීම මගින් රාජ්‍ය මුදල් සංචිතයක් මත ඩිජිටල් හෝ ගිණුම් මුදල් මැවීමේ හැකියාවත්, විනිමය පාලනයන් පැනවීම මගින් විදේශ මුදල් භාවිතයත්, සීමා කිරීම මගින් රාජ්‍ය මුදල් ඒකාධිකාරීත්වය පවත්වා ගැනීම සිදු කෙරේ. මීට හොඳම උදාහරණය ඇමෙරිකාවේ කැලෑ බළල් බැංකු විසින් නිකුත් කළ ඩොලර් මුදල් මර්දනය කොට, රජය විසින් රාජ්‍ය ඩොලර් කාසි සහ නෝට්ටු ව්‍යාප්ත කිරීමත්, රාජ්‍ය මුදල් මුද්‍රණය කිරීමේ සහ නියාමනය කිරීමේ අධිකාරිය ලෙස 1913 දී ඇමෙරිකානු මහ බැංකුව පිහිටුවීමත් ය.

එබැවින්, දැනට ලෝකයේ ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය මුදල් ආර්ථික ක්‍රමයන් ය. එබැවින්, රජයන්ට මුදල් මුද්‍රණය හරහා බදු ආදායමට වඩා වියදම් කිරීමේ හැකියාව ලැබීමත්, එමගින්, ජන සමාජයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමටත්, ලෝකය පුරා රජයන්ට හැකි වී ඇත. එබැවින්, රාජ්‍ය මුදල්වලට තරගකාරී ලෙස නව ක්‍රිප්ටෝ මුදල් භාවිතයට ඒම යනු මුදල් විකාශය පිළිබඳ ව නව වෙළෙඳපොළ ප්‍රවණතාවයකි.

ගෝලීය ඩොලර්කරණය

නූතන රාජ්‍ය මුදල් ක්‍රමය තුළ පසුගිය දශක අටක පමණ කාලය තුළ සිදු වූ නව්‍යතාවය වන්නේ, ඇමෙරිකානු රාජ්‍ය මුදල වන ඩොලරය ගෝලීයකරණය වීම යි. එනම්, ඇමෙරිකානු ඩොලරය ගෝලීය සංචිත මුදල බවට පත්වීම යි. එනම්, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු ඩොලරය හරහා සිදු කිරීමත්, ඩොලර් සංචිතය මත රටවල් විසින් දේශීය රාජ්‍ය මුදල් මුද්‍රණය කිරීම සහ ගනුදෙනු කිරීමත් ය. එය, ඇමෙරිකානු රජයේ දේශපාලනික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයකි. එය, ප්‍රධාන පියවරයන් පහක එකතුවකි.

  • පළමුව, 1944 දී බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම 
එමගින්, ඩොලරයේ විනිමය අනුපාතය රන්වලට බද්ධ කිරීමත් (රන් අවුන්සයක් ඩොලර් 35 ක් ලෙස), අනෙක් රටවල මුදල්වල විනිමය අනුපාතය ඩොලරයට බද්ධ කිරීමත්, ඇමෙරිකන් රජය සීමාවකින් තොරව රන් මිල දී ගැනීම සහ විකිණීම සිදු කිරීමත් තුළින් ස්ථාවර විනිමය අනුපාතයන් යටතේ ගෝලීය වෙළෙඳාම සහ ආයෝජනය ඩොලරය හරහා සිදු කිරීම ආරම්භ කරන ලදි.

  • දෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිහිටු වීම 
එය, 1944 දී බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම යටතේ සිදු විය. එනම්, ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය සහ ගෝලීය ඩොලර් මූල්‍ය ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා රටවල ගෙවුම් ශේෂ හිඟයන් පියවීමට අවශ්‍ය කෙටි කාලීන ඩොලර් ණය සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, රටවල සංවර්ධනය සඳහා අවශ්‍ය මැදි හා දිගු කාලීන ඩොලර් ණය සැපයීම සඳහා ලෝක බැංකුවත් පිහිටු වන ලදි. එම ආයතනයන් දෙක නූතන ගෝලීය ඩොලර්කරණයේ ඇමෙරිකානු නියමුවන් දෙදෙනා ය. නූතන සංවර්ධනය වන රටවල් සියල්ලම ඩොලර් ග්‍රහණයට හසු කොට, දේශීය රාජ්‍ය මුදල්වල ආර්ථික බලය සීමා කිරීම හෙවත් රාජ්‍ය මූල්‍ය විනය යනු එම ආයතනයන් දෙකෙහි ඇමෙරිකානු කාර්යසාදනය යි.

  • තෙවනුව, 1971 දී ඇමෙරිකානු රජය විසින් ඩොලර් - රන් පරිවර්තීයතාවය අත්හිටුවීම 

ඇමෙරිකානු රජය විසින් වියදම් සඳහා අධික ලෙස ඩොලර් මුද්‍රණය කිරීම හේතු කොට, ඩොලර්-රන් පරිවර්තීයතාවය (රන් අවුන්සයක් ඩොලර් 35 ක් ලෙස) පවත්වා ගැනීමට නොහැකි වීමෙන්, 1971 දී ඩොලර්-රන් පරිවර්තීයතාවය අත්හිටු වන ලදි. එමගින්, බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම බිඳ වැටෙන ලදි. එය යාවත්කාලීන කිරීමට උත්සාහ කළ ද, 1973 දී රටවල් විසින් ඩොලරය මත තම මුදල්වල විනිමය අනුපාතයන් තීරණය කිරීම බිඳ වැටෙන ලදි. එනම්, ඩොලරයේ ගෝලීය බලය බිඳ වැටීමේ ආරම්භය යි.

  • සිවුවනුව, 1974 දී බොර තෙල් මිල සහ අළෙවිය ඩොලර් හරහා කිරීමට සෞදි අරාබිය සමඟ ගිවිසුම 

මෙය, නැවත ගෝලීය වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහය සඳහා ඩොලරය අඛණ්ඩව ආරක්ෂා කිරීමේ පියවරකි. මෙහි දී,  සෞදි අරාබියට යුධ ආරක්ෂාව ඇමෙරිකාව විසින් සැපයීමත්, සෞදි අරාබිය විසින් ඩොලරය හරහා බොර තෙල් මිල සහ අළෙවිය පවත්වා ගැනීමටත් එකඟ විය. එකල ලෝකයේ විශාලම බොර තෙල් නිෂ්පාදකයා සෞදි අරාබිය වූ බැවින් අනෙක් රටවල් ද ඩොලරය හරහා බොර තෙල් වෙළෙඳාම ආරම්හ කරන ලදි. 

එබැවින්, පෙට්‍රෝ ඩොලර් නම් නව වෙළෙඳපොළ හරහා ගෝලීය ඩොලර් වෙළෙඳපොළ සීග්‍රයෙන් ව්‍යාප්ත විය. නූතන ඛනිජ තෙල් මිල ආතතීන් හේතු කොට, සියළුම රටවල ආර්ථිකයන් ගෙවුම් ශේෂ, විදේශ සංචිත සහ විනිමය අනුපාත කම්පනයන්ට සහ අර්බුදයන්ට මුහුණ දීමේ මූල හේතුව මෙම අඛණ්ඩව ක්‍රියාශීලී පෙට්‍රෝ ඩොලර් වෙළෙඳපොළ යි. ඒ බව, පසුගිය මාස කිහිපය තුළ පැවති ගෝලීය ඛනිජ තෙල් මිල අර්බුදයෙන් මනාව පැහැදිළි ය.

  • පස්වනුව, ඇමෙරිකානු මූල්‍ය වෙළෙඳපොළ සංවර්ධනය 
ඇමෙරිකානු රජය විසින් පෞද්ගලික වෙළෙඳපොළ ක්‍රමයක් තුළ තරගකාරී බැංකු සහ මූල්‍ය පද්ධතියක් සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කරන ලදි. මෙයට විශේෂයෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය දායක විය. එය, වෙළෙඳාම සහ ආයෝජනය හරහා සෙසුරටවලට ඇදී යන ඩොලර් අතිරික්තය නැවත ඇමෙරිකාවට ආකර්ශනය කර ගැනීමේ අරමුණින් සිදු විය. එබැවින්, ගෝලීය ඩොලර් වෙළෙඳපොළ පාලනයට ඇමෙරිකානු මහ බැංකුවට හැකියාව ලැබී ඇති අතර ඇමෙරිකානු මහ බැංකු පොලී සහ මුදල් පාලන ප්‍රතිපත්තියට සියළුම රටවල ආර්ථිකයන් නතු වී ඇත.

දැනට ක්‍රමයෙන් ගෝලීය අභියෝගයට ලක් වෙමින් පවතින ඇමෙරිකානු ඩොලරයේ ඊළඟ ගෝලීයකරණය ලෙස ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධන සැලසුම් දැකිය හැකිය.

ක්‍රිප්ටෝ මුදල්වල ස්වරූපය

ක්‍රිප්ටෝ මුදල් යනු අන්තර් ජාලය තුළ බ්ලොක්චේන් විද්‍යුත් ලේජරයන් හරහා ගිණුම්ගත වී ගනුදෙනු කෙරෙන ඩිජිටල් මුදල් ය. බ්ලොක්චේන් විද්‍යුත් ලේජරයන්හි විශේෂත්වය වන්නේ, මුදල් හිමියා, මුදල් කළමනාකරු සහ මුදල් ලබන්නා යන පාර්ශවයන් තුනේම මාර්ගගත අවසරය මත ගනුදෙනු සිදු වීම යි. එහෙත්, වත්මන් බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළවල විද්‍යුත් වේදිකාවන් භාවිතා කළ ද, ගනුදෙනුවලට අදාළ පාර්ශ්වයන්ගේ අවසරය සැපයෙන්නේ, වෙනස් වේලාවන්වල ය. එනම්, බාහිර පාර්ශවයන් විසින් මෙහෙය වන ගෙවුම් සහ පියවුම් පද්ධති හරහා ගනුදෙනු නිෂ්කාශනය වීම යි. එබැවින්, එම ගනුදෙනුවල වංචාවන් සිදු වීමේ අවදානම් ඉහළ අතර එම අවදානම බ්ලොක්චේන් වේදිකාවල අවම වන්නේ, අදාළ පාර්ශවයන් මාර්ගගත ලෙස ගනුදෙනුවලට සම්බන්ධ වන බැවිනි.

එසේම, ක්‍රිප්ටෝ මුදල් සඳහා භාරකරුවන්, වෙළෙඳාම සහ ආයෝජනය කෙරෙන විද්‍යුත් හුවමාරු වේදිකාවන් ද වෙනත් පාර්ශවයන් හෝ සේවා දායකයන් විසින් ක්‍රියාත්මක කෙරේ. එබැවින්, විද්‍යුත් හුවමාරු වේදිකාවන් හරහා ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සිදු වන අතර ඒවාට ප්‍රවේශ විය හැකි ගෝලීය මෘදුකාංග සහ වෙළෙඳ නියෝජිත දාමයක් ද දැකිය හැකිය.

ඉහළ යන ක්‍රිප්ටෝ මුදල් ජනප්‍රියතාවය රටවල රාජ්‍ය මුදල්වලට තර්ජනයක් වන බැවින් මහ බැංකු රාශියක් විසින් රාජ්‍ය මුදල් ද ක්‍රිප්ටෝ මුදල් ස්වරූපයෙන් ගණුදෙනු කෙරෙන මහ බැංකු ඩිජිටල් මුදල් පද්ධති හඳුන්වා දීමේ පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කොට ඇත. මහ බැංකු ඩිජිටල් මුදල් යනු රාජ්‍ය කාසි සහ නෝට්ටු නියෝජනය කෙරෙන විද්‍යුත් ඡායාවන් මහ බැංකු විද්‍යුත් වේදිකාවක් හරහා ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය යි. චීන මහ බැංකුව විසින් සිල්ලර ගෙවුම් සඳහා ඩිජිටල් යුආන් (e-CNY) දැනටම ක්‍රියාත්මක කොට ඇත.  එහි පොලී උපයන උපරිම යුආන් 50,000 ක පමණ විද්‍යුත් පසුම්බි අඩංගු අතර දැනට මිලියන 230 ක පුද්ගල පසුම්බි ද, මිලියන 19 ක ව්‍යාපාරික පසුම්බි ද,  ක්‍රියාත්මක වෙයි. යුරෝපීය මහ බැංකුව විසින් 2027-2029 දී උපරිම යුරෝ 3,000 ක පොලී රහිත ඩිජිටල් යුරෝ (Digital Euro) පසුම්බි ක්‍රියාත්මක කිරීමට සුදානම් බව වාර්තා වෙයි. 

එහෙත්, මෙය වත්මන් බැංකු සහ මූල්‍ය ව්‍යාපාරික පද්ධතිය සහ පෞද්ගලිකත්වය අර්බුදයකට ලක් කෙරෙන මුදල් ක්‍රමයක් බවට විවේචනයන් ඉදිරිපත් වී ඇත. ඊට හේතුව, නිල මුදල් නෝට්ටුවලින් කෙරෙන ගනුදෙනු සෘජුව මහ බැංකුවේ කේන්ද්‍රීය විද්‍යුත් වේදිකාවක් හරහා සිදු වීම තුළින් පුද්ගල සහ ව්‍යාපාරික මුදල් ගනුදෙනු පිළිබඳ ව මහ බැංකුව සහ රජය වෙත සැපයෙන තොරතුරු පද්ධතිය යි. එහෙත්, මහ බැංකුවල සාමාන්‍ය ක්‍රියාකාරකම් ඉතිහාසය දෙස බලන විට, මෙවැනි භාරදූර ජාතික ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවලට නොහැකි බව කිව යුතු නැත.

ක්‍රිප්ටෝ මුදල්වල ප්‍රධාන ප්‍රභේදයන් දෙකකි. එනම්, බිට්කොයින් වැනි සමපේක්ෂණ ක්‍රිප්ටෝ මුදල් සහ ස්ථායී කාසි (Stablecoins) යනාදිය යි. වත්මන් මුළු ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3 ක් පමණ වන අතර ඉන් 58% ක් පමණ බිට්කොයින් ද, 11% ක් පමණ ස්ථායි කාසි ද වෙයි.

  • බිට්කොයින්

ඉතාම ප්‍රචලිත ක්‍රිප්ටෝ මුදල් වර්ගය වන්නේ බිට්කොයින් ය.  එය නොහඳුනන මෘදුකාංග ඉංජිනේරුවකු වන සතෝශි නිකමොටෝ විසින් 2009 ජනවාරි මස දී අන්තර් ජාලයට මුදා හරින ලද බ්ලොක්චේන් ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වන ඩිජිටල් මුදලකි. එම මෘදුකාංග තුළ ඇති සූත්‍රයක් හෝ ප්‍රෙහෙලිකාවක් විසඳීම මගින් බිට්කොයින් කැනිය යුතු අතර ඒවා එම මෘදුකාංගයේම අන්තර්ගත බ්ලොක්චේන් ලෙජරය තුළ ගිණුම්කරණය වී ගනුදෙනු කළ හැකිය. 

එම මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් නියම කොට ඇති පරිදි කැනිය හැකි උපරිම බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 ක් වන අතර දැනට බිට්කොයින් මිලියන 20.04 ක් පමණ කැනීම් කොට ආයෝජකයන් විසින් අත් කර ගෙන ඇත. ඉතිරිය කැනීම සඳහා 2140 වර්ෂය දක්වා කාලයක් ගත විය හැකි බවට ඇස්තමේන්තු කෙරේ. 

2010 මැයි මස 22 දින පළමු බිට්කොයින් වාණිජ ගනුදෙනුව බිට්කොයින් එකක් ඩොලර් සත 0.004 මිලට සිදු විය. පසුව, 2010 ජුලි මස පළමු වරට දියත් කළ බිට්කොයින් හුවමාරු වේදිකාවේ බිට්කොයින් එකක් ඩොලර් සත 0.05-0.08 මිල ගණන්වලට වෙළෙඳාම ආරම්භ වී, වර්ෂය අවසානයේ දී සත 0.39 දක්වා ඉහළ යන ලදි.

එබැවින්, බිට්කොයින් කැනීම සහ වෙළෙඳාම හුදෙක් සමපේක්ෂණ වත්කමක් ලෙස ප්‍රචලිත වූ අතර පසුව එය සංවිධිත කොටස් හුවමාරුවල වෙළෙඳාම සඳහා ලැයිස්තුගත කෙරෙන ලදි. ඒ අනුව, 2025 ඔක්තෝබර් මස ඩොලර් 122,000 කට පමණ ඉහළ ගිය බිට්කොයින් මිල, දැනට ඩොලර් 58,665 කට (ලංකා මුදල් රුපියල් මිලියන 20 ක් පමණ) පමණ පහළ බැස ඇත. ඒ අනුව, වත්මන් මුළු බිට්කොයින් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.3 ක් පමණ වෙයි. එනම්, ඇමෙරිකානු මහ බැංකුව විසින් 1913 සිට මේ දක්වා මුද්‍රණය කොට සංසරණයේ පවතින ඩොලර් සංචිත මුදල් ප්‍රමාණය (දැනට ඩොලර් ට්‍රිලියන 6.7) මෙන් 18% කි.

සමස්තයක් ලෙස පැරණි මුදල්වල රන් සම්මතය මෙන්, බිට්කොයින් යනු නූතන මුදල් වත්කම් මෙහෙය වන ඩිජිටල් රන් ලෙස ප්‍රචලිත ය. බිට්කොයින් සඳහා හඳුනාගත් නිශ්චිත නිකුතු කරුවකු හෝ කේන්ද්‍රීය කළමනාකරුවකු හෝ බිට්කොයින් පදනම් වන වත්කමක් හෝ නොමැති වුව ද, ඉතා විශ්වාසී ගෝලීය ඩිජිටල් වෙළෙඳ වත්කමක් ලෙස බිට්කොයින් ජනප්‍රිය වී ඇත. එබැවින්, බිට්කොයින් මුදල් ලෙස ජාත්‍යන්තරව ගනුදෙනු කෙරෙන අතර එල් සැල්වදෝරයේ නිල මුදල ලෙස බිට්කොයින් නීති ගත කොට ඇත. 

අනෙක් ක්‍රිප්ටෝ මුදල් වර්ගයන් ද බිට්කොයින් බ්ලොක්චේන් ලෙජර්/ගනුදෙනු තාක්ෂණය තුළින් බිහි වී ඇත. එසේම, සම්ප්‍රදායික බැංකු සහ මූල්‍ය ගනුදෙනු සඳහා ද බ්ලොක්චේන් තාක්ෂණය වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතී.

  • ස්ථායී කාසි 

ස්ථායි කාසි යනු බ්ලොක්චේන් ගනුදෙනු තාක්ෂණය සහ විද්‍යුත් හුවමාරු වේදිකාවන් හරහා ක්‍රියාත්මක වන සමපේක්ෂණ නොවන, එහෙත්, වටිනාකම ආරක්ෂා කිරීමේ අරමුණින් නිකුත් කෙරෙන ක්‍රිප්ටෝ මුදල් ප්‍රභේදයකි. මේවා යම් සැබෑ ලොව ගනුදෙනු වන වත්කමක් පදනම් කර ගෙන නිකුත් කෙරේ. එනම්, නිල රාජ්‍ය මුදල් හෝ රාජ්‍ය සුරැකුම්පත් හෝ වෙනත් මූර්ත හෝ මූල්‍ය වත්කම්වල වටිනාකම පදනම් කෙරේ. 

එනම්, අතීතයේ දී රන් මත පදනම් වූ මුදල් මෙනි. එහි අදහස ස්ථායි කාසි හිමියෙකුට ඕනෑම අවස්ථාවක තමන් වෙත ඇති ස්ථායි කාසි එහි නිකුතුකරුට ඉදිරිපත් කොට, මුල් වත්කම් වටිනාකමට ආපසු ලබා ගත හැකි බව යි. උදාහරණ ඩොලර් මත එකට එක වටිනාකම් සහිත ස්ථායී කාසියක් කාසි නිකුතුකරුට ඩොලරයක් දීමෙන් මිල දී ගත හැකි අතර ස්ථායි කාසි හිමියෙකුට ඕනෑම අවස්ථාවක එය නිකුතුකරුට ඉදිරිපත් කිරීමෙන් නැවත ඩොලරය ලබා ගත හැකිය.

එසේම, එම ස්ථායි කාසි ද්විතීය වෙළෙඳපොළේ මිල ගණන්වලට වෙළෙඳාම් කිරීම මගින් ලාභ ලබා ගත හැකිය. එබැවින්, සැබෑ වෙළෙඳපොළක් නොමැති වත්කම් පදනම් කර ගෙන ද ස්ථායී කාසි නිකුත් කිරීම හරහා එම වත්කම් වෙළෙඳපොළ මිල ගවේෂණය කළ හැකිය. මෙම ක්‍රමවේදය ටෝකන්කරණය ලෙස හැඳින් වෙයි. මෙය මෑත කාලීන වත්කම් සුරැකුම්කරණයේ නව මුහුණුවරකි.

සමහර ස්ථායි කාසි නිකුතු කරුවන් විසින් එම කාසි නිකුතුවේ දී තමාට ලැබෙන මුදල් රාජ්‍ය සුරැකුම්පත් වැනි සුරක්ෂිත වත්කම්වල ආයෝජනය කොට, කාසි හිමියන්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇත. එසේම, බැංකු විසින් ද ආයෝජකයන්ගෙන් මුදල් ලබා ගෙන, තම නමින් ස්ථායි කාසි නිකුත් කිරීම මගින් තැන්පතු නොවන මුදල් රැස් කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ වී ඇත. එම මුදල් ආයෝජන ව්‍යාපාරික කටයුතුවල යෙදීමෙන් ලැබෙන ලභාවලින් කොටසක් ස්ථායි කාසි හිමියන්ට අමතර ප්‍රතිලාභ සැපයෙනු ඇත.

ජාත්‍යන්තර ගෙවීම්, මුදල් ප්‍රේෂණය සහ ණය/ආයෝජන සඳහා ස්ථායි කාසි භාවිතය දැනට ප්‍රචලිත වෙමින් පවතී. උදාහරණ ලෙස දියුණු වන රටවලට ස්ථායි කාසි හරහා විශාල වශයෙන් විදේශීය ප්‍රේෂණයන් එවීමේ මූල්‍ය අංශයක් දැනට ප්‍රචලිත වෙමින් පවතී. එනම්, ඩොලර් හෝ විදේශීය මුදල් වෙනුවට, ස්ථායි කාසි ප්‍රේෂණය කිරීම යි. එබැවින්, විවිධ ස්ථායි කාසි සඳහා ඒ ඒ රටවල වෙළෙඳපොළ විනිමය අනුපාතයන් ක්‍රියාත්මක වෙයි. එබැවින්, නුදුරු අනාගතයේ දී දියුණු වන රටවලට සිදු කෙරෙන විදේශ ආයෝජන ප්‍රවාහය ද ස්ථායි කාසි හරහා සිදු වනු ඇත.

ස්ථායි කාසි නිකුත් කිරීමේ නව ප්‍රවණතාවය වන්නේ, සම්ප්‍රදායික බැංකු හෝ මූල්‍ය වෙළෙඳපොළට නොගොස්, ස්ථායි කාසි නිකුත් කිරීම මගින් ව්‍යාපාරවල ආයෝජනය සඳහා අරමුදල් සපයා ගැනීම යි. එනම්, ස්ථායි කාසි නිකුතුව හෝ ආකර්ෂණය මගින් ස්ථාවර මිලකට ඉතා පහළ පිරිවැයක් මත ව්‍යාපාරික ප්‍රාග්ධනය රැස් කිරීම යි. මෙහි දී, ඉහළ පිළි ගැනීමක් ඇති ව්‍යාපාරික හෝ තොරතුරු තාක්ෂණ සමාගම්වලට තමාට අවේනික ස්ථායි කාසි නිකුතුව මගින් ප්‍රාග්ධනය රැස් කිරීමේ විශේෂ අවස්ථාව ලැබී ඇත. එබැවින්, ආරම්භක ව්‍යවසායන්ට මූල ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා ස්ථායි කාසි භාවිතය ප්‍රචලිත වෙමින් පවතී.

එබැවින්, ස්ථායි කාසි නිකුතුව සහ පරිහරණය ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඉතා ප්‍රචලිත වෙමින් පවතී. මෑතක දී තායිලන්ත රජය විසින් ද තායි බාට් මුදලට බද්ධ ස්ථායි කාසි නිකුත් කිරීමේ නීති සැකසීම සලකා බැලීමට ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇත. එබැවින්, බොහෝ දියුණු වන රටවල ද දේශීය මුදල් ස්ථායි කාසි නිකුත් කිරීමේ වසංගතයක් නුදුරේ දී පතිත විය හැකිය. එසේ නොවුව හොත්, විදේශ මුදල් ස්ථායි කාසි භාවිතය සහ තරගය තුළින් වෙළෙඳපොළෙන් දේශීය මුදල් ඉවත් කෙරෙනු ඇත. එනම්, හොඳ මුදල් විසින් නරක මුදල් විනාශ කිරීම යි.

ඇමෙරිකානු ස්ථායි කාසි වෙළෙඳපොළ සහ නව ගෝලීය ඩොලර්කරණය 

ගෝලීය ස්ථායි කාසි වෙළෙඳපොළ වටිනාකම දැනට ඩොලර් බිලියන 320 ක් පමණ වන අතර ඉන් 99% ක් පමණ ඇමෙරිකානු ඩොලරයට බද්ධ ස්ථායි කාසි වෙයි. මීට ප්‍රධාන හේතුව වත්මන් ඇමෙරිකානු ජනාධිපති විසින් ක්‍රිප්ටෝ මුදල් නිල වශයෙන් පිළි ගෙන, ඊට අදාළ නීති පද්ධතිය හඳුන්වා දීම යි. 

  • ඔහු ජනාධිපති පදවියට පත් වූ දිනම ජනාධිපති විධානයක් මගින් භාණ්ඩාගාරයෙහි බිට්කොයින් සංචිතයක් ප්‍රකාශයට පත් කරන ලදි. 

  • පසුගිය වසර (2025) ජුලි මස ජීනියස් පනත (GINIUS Act) මගින් ඩොලර් මුදල සහ භාණ්ඩාගාර සුරැකුම්පත් මත පදනම් වූ එකට එක වටිනාකම් සහිත ගෙවුම් මාධ්‍යක් ලෙස වලංගු පෞද්ගලික ස්ථායි කාසි නිකුතුව සහ නියාමනය හඳුන්වා දෙන ලදි. 

  • එසේම, නුදුරේ දී ක්ලැරිටි පනත (CLARITY Act) මගින් ඩිජිටල් වත්කම් නිකුතුව (වත්කම් ටෝකන්කරණය) සහ වෙළෙඳාම පිළිබඳ නියාමන පද්ධතිය නීති ගත වනු ඇත. ඒ අනුව, ක්‍රිප්ටෝ මුදල් සහ ස්ථායි කාසි පිළිබඳ මහජන විශ්වාසය සහ ජනප්‍රියත්වය අධික ලෙස ඉහළ යමින් පවතී.

එම නීතිමය තත්ත්වය තුළ ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු පියවුම් ගිණුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු මහ බැංකුව ආරම්භ කොට ඇත. මෙය, වත්මන් අන්තර් බැංකු ඩොලර් පියවුම් පද්ධතිය සමාන වෙයි. එබැවින්, ක්‍රිප්ටෝ පියවුම් නියෝජිතයන්ට අවශ්‍ය ද්‍රවශීල අරමුදල් නුදුරේ දී මහ බැංකුව විසින් සැපයෙනු ඇත. මෙය, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ නිල ඩොලර් මුදල් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමකි. එබැවින්, මුදල් මුද්‍රණය ආශ්‍රිත මහ බැංකු වත්කම් සහ විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස රාජ්‍ය සුරැකුම්පත් සහ පෞද්ගලික සුරැකුම්පත්වලට අමතරව මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සහ වෙළෙඳාම ද ආරම්භ කිරීමට සැලසුම් කෙරේ. එවිට, ක්‍රිප්ටෝ මුදල් ද මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සහ සම්ප්‍රේෂණයේ මෙවලමක් බවට පත් වනු ඇත.

තව ද, වෙනත් මහ බැංකු මෙන් ඇමෙරිකානු මහ බැංකුව ද මෑතක දී ක්‍රිප්ටෝ මුදල් සමඟ තරග කිරීම සඳහා ක්‍රිප්ටෝ මුදල් තාක්ෂණයට අනුරූපව මහ බැංකු ඩිජිටල් මුදල් හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ ද, ජනාධිපති ට්‍රම්ප් විසින් ජනාධිපති විධානයක් මගින් එය අවලංගු කරන ලදි.

ජනාධිපති ට්‍රම්ප්ගේ වත්මන් ක්‍රිප්ටෝ මුදල් ප්‍රතිපත්තිය විමර්ශනය කිරීමේ දී ඔහුගේ ඉලක්කය වනුයේ, ඩොලරයට බද්ධ ස්ථායි කාසි හරහා ඊළඟ ගෝලීය ඩොලර්කරණය පවත්වා ගෙන යාම යි. ඊට හේතුව, ඇමෙරිකානු ඩොලර් කළමනාකරණ ප්‍රතිපත්තිවල ගැටළු හේතු කොට, ඩොලරයේ ගෝලීය සංචිත මුදල් තත්ත්වය සහ විශ්වාසය ක්‍රමයෙන් පහළ යාම යි. සමහර රටවල් කණ්ඩායම් විසින් ඩොලර් නොවන මුදල් හෝ දේශීය මුදල් හරහා ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු පියවීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමට පෙළඹී ඇත. ඊට හේතුව, ඇමෙරිකානු දේශපාලනය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ව ගෝලීය විශ්වාසය ක්‍රමයෙන් පිරිහී යාම යි.

එබැවින්, සම්ප්‍රදායික ඇමෙරිකානු මහ බැංකුව සහ ඩොලර් නියාමන පද්ධතියෙන් නිදහස් වූ ළිහිල් නියාමනයක් සහිත පෞද්ගලික ස්ථායි කාසි වෙළෙඳපොළ හරහා ඉදිරි ගෝලීය ඩොලර්කරණය ව්‍යාප්ත වනු ඇත. මෙය, අතීත බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය සහ පෙට්‍රෝ ඩොලර් ක්‍රමයට සමාන ලෙස ගෝලීය ඩොලරය බේරා ගැනීමේ නව ඇමෙරිකානු විකල්පයක් වනු ඇත. IMF විසින් ඩොලර් ස්ථායි කාසි ද රටවල මහ බැංකු සංචිත වත්කමක් ලෙස ඉදිරියේ දී පිළි ගත හොත්, සීග්‍රයෙන් ඩොලර් ස්ථායි කාසි ගෝලීයකරණය වී, ඒවා ඩොලරයට විකල්ප වූ ජාත්‍යන්තර ඩිජිටල් සංචිත මුදලක් බවට පත් වනු ඇත. 

ඩොලරය මෙන් ඩොලර් ස්ථායි කාසි ද ඇමෙරිකානු මහ බැංකුව හරහා පියවීමත්, ළිහිල් නියාමන පරිසරයත්, හේතු කොට ස්ථායි කාසි පිළිබඳ ගෝලීය විශ්වාසය ඉහළ යනු ඇත. එමගින්, ඇමෙරිකානු ඩොලර් සහ ආර්ථික බලය නව ජවයකින් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇත. මෙය, ඇමෙරිකානු රජයට පාලනය කළ නොහැකි වූ ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ රජයට සහ ආර්ථිකයට වාසි දායක වෙළෙඳපොළක් බවට පත් කිරීමේ ප්‍රතිපත්ති නව්‍යශීලිකරණයේ ප්‍රතිඵලයකි. එනම්, වත්මන් ජනාධිපති ට්‍රම්ප් විසින් හැපීමට නොහැකි අත ඉඹීමට සමාන ක්‍රියාවකි.

එබැවින්, ශ්‍රී ලංකාව වැනි ඩොලර් මුදල් ණය මත යැපෙන රටවල් විසින් නුදුරු අනාගතයේ දී පෞද්ගලික ඩොලර් ස්ථායි කාසි මත යැපීමට ආර්ථිකයන් ප්‍රතිසංස්කරණය කරනු ඇත. එනම්, සම්ප්‍රදායික ඩොලර් බැඳුම්කර ණය වෙනුවට, ඊට වඩා පහසු කොන්දේසි මත ඩොලර් අනුබද්ධ ස්ථායි කාසිවලින් ණය රැස් කිරීමේ හැකියාව යි. එය රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද විවෘත වනු ඇති බැවින් රටවල විදේශ සංචිත ප්‍රසාරණයට දායක වනු ඇත. ඒ සඳහා තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය ප්‍රමුඛ අවශ්‍යතාවයක් වනු ඇත. බොහෝ රටවල් විසින් හදිසියේ ක්‍රිප්ටෝ මුදල් නීති ගත කිරීමට යුහුසුළු වීමේ දේශපාලනික රහස එය යි.

ක්‍රිප්ටෝ මුදල් අවදානම්

ලෝක ප්‍රකට ආයෝජක වොරන් බෆට් විසින් නිරන්තරයෙන් දක්වන්නේ, තමන් හොඳින් නොදන්නා දේවල මුදල් ආයෝජනය නොකළ යුතු බව යි. එනම්, ආයෝජනවල අවදානම් නිසි ලෙස දැන ගෙන, ආයෝජනය කළ යුතු බව යි. ඔහු විසින් පවසා ඇත්තේ, ක්‍රිප්ටෝ මුදල් යනු කිසි ආර්ථික ඵලදාවක් නොමැති සමපේක්ෂණ වත්කමක් හෝ කැසිනෝ ක්‍රීඩාවක් බව යි. 

ඇමෙරිකානු විශාල බැංකුවක් වන ජේ පී මෝර්ගන් චේස් බැංකුවේ සභාපති ජෙමී ඩිමොන් පවසන්නේ, ක්‍රිප්ටෝ මුදල් යනු විශාල වංචාවක් බවත්, ඒවා බොහෝ විට මුදල් විශුද්ධිකරණය, බදු මග හැරීම සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම වැනි නීති විරෝධී ක්‍රියාවන් සඳහා  භාවිතා කෙරෙන බවත් ය. 

ලෝක ප්‍රසිද්ධ මහ බැංකු කරුවකු වූ ඇලන් ග්‍රීන්ස්පෑන් විසින් දැක්වූයේ, ක්‍රිප්ටෝ මුදල් යනු අතාර්කික, නිසඟ වටිනාකමක් නොමැති, මහා රැවටීමේ න්‍යාය මත පවතින වත්කමක් බව යි.  බොහෝ මූල්‍ය ආයෝජනයන් මෙම රැවටීමේ න්‍යාය මත සිදු වන බව නොරහසකි. 

එබැවින්, ක්‍රිප්ටෝ මුදල් ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධ වුව ද, බොහෝ දෙනා විසින් ඒවා මිල දී ගැනීමට සහ වෙළෙඳාමට උත්සාහ කෙරෙන්නේ, ක්‍රිප්ටෝ මුදල්වල යථා ස්වරුපය හෝ අවදානම්-ප්‍රතිලාභ නොදැන ය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා විසින් බොහෝ වත්කම්වල මුදල් ආයෝජනය කරන්නේ, කඩිනම් සමපේක්ෂණ ලාභවලට ඇති ගිජු භාවය නිසා මිස, ඒවා පිළිබඳ නිසි අවබෝධයක් හෝ අවදානම් පිළිබඳ වැටහීමක් හෝ සැලකීමක් මත නොවේ. එබැවින්, ක්‍රිප්ටෝ මුදල්වල ද එවැනි අවදානම් රැසක් පවතින බව නොරහසකි. 

  • පළමුව, ක්‍රිප්ටෝ මුදල්වල සහ වෙළෙඳාමේ සංකීර්ණත්වය හේතු කොට, සැබෑ ප්‍රතිලාභ සඳහා ඒවා කළමනාකරණය කිරීම අපහසුය. 

  • දෙවනුව, වෙළෙඳ වංචා අවදානම අධික වෙයි. එය බොහෝ විට, විද්‍යුත් වෙළෙඳ හුවමාරු සහ වෙළෙඳ නියෝජිතයන් විසින් සිදු කෙරේ. උදාහරණ ලෙස බහමාස්වල ස්ථාපිත එෆ් ටී එක්ස් ක්‍රිප්ටෝ හුවමාරුව පාලනය කළ සෑම් බෑන්ක්මන් ෆ්රිඩ් විසින් තම ගනුදෙනු කරුවන් විසින් වෙළෙඳාම සඳහා තැන්පත් කොට තිබූ ඩොලර් බිලියන 8 ක් පමණ වටිනා ක්‍රිප්ටෝ මුදල් සොරකම් කිරීම යි. එම මුදල් ඔහු විසින් තම සමාගම්වල ආයෝජන ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ බවට 2022 දී හෙළි වූ අතර 2024 දී නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයක් විසින් ඔහුට වසර 25 ක සිර දඩුවමක් නියම කරන ලදි. මෙවැනි වංචාවන් වත්මන් කොටස් හුවමාරු සහ සුරකුම්පත් හුවමාරුවල ද වරින් වර වාර්තා වෙයි. එබැවින්, සමහර ක්‍රිප්ටෝ මුදල් ආයෝජනයන්ට තමන්ගේ ගිණුම්වල සත්‍ය වශයෙන් ක්‍රිප්ටෝ මුදල් හෝ තමා අයදුම් කල ක්‍රිප්ටෝ මුදල් වර්ගයන් සැබවින් තිබේ ද? යන්න සහතික විය නොහැකිය. එහෙත්, තම ගිණුම්වලට යම් යම් වෙළෙඳ ලාභ වරින් වර වෙළෙඳ නියෝජිතයන් විසින් එකතු කෙරෙන බැවින් ඒවා ලාභ දායි ආයෝජනයන් ලෙස ඔවුන් විසින් සලකනු විය හැකිය. ඇලන් ග්‍රීන්ස්පෑන් විසින් දැක්වූ මහා රැවටීමේ න්‍යාය මෙය යි. 

  • තෙවනුව, ක්‍රිප්ටෝ හුවමාරු වේදිකාවන් බංකොලොත් වී වැසී යාම ද සිදු වෙයි. ඊට බොහෝ විට හුවමාරු වේදිකා වංචාවන් සහ විද්‍යුත් පද්ධති දෝෂයන් හේතු වනු ඇත. 

  • සිවුවනුව, ක්‍රිප්ටෝ මිල ගණන් අධික ලෙස විචලනය වීමත්, සාර්ව ආර්ථික සාධක මත පුරෝකථනය කිරීම අපහසු වීමත්, හේතු කොට මහා පරිමාණ ප්‍රාග්ධන අලාභ සිදු විය හැකිය. ඊට හේතුව, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ අධික බුබුළු ස්වරුපයක් ගැනීම යි. උදහරණ ලෙස 2025 ඔක්තෝබර් මස ඩොලර් 122,000 කට පමණ ඉහළ ගිය බිට්කොයින් මිල, දැනට ඩොලර් 58,665 ක මට්ටමට පහළ බැස ඇති බැවින් 2025 ඔක්තෝබර් මස දී බිට්කොයින් මිල දී ගත් ආයෝජකයන් විශාල ප්‍රාග්ධන අලාභයන්ට මුහුණ දෙනු ඇත.

  • පස්වනුව, සම්ප්‍රදායික බැංකු සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල මෙන් නොව, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ අර්බුදයන් හෝ කඩා වැටීම්වල දී රාජ්‍ය අනුග්‍රහය සැපයීමේ ක්‍රමවේදයන් නොමැත. ඊට හේතුව, ක්‍රිප්ටෝ මුදල් යනු හුදු පෞද්ගලික වත්කම් වෙළෙඳපොළක් වන බැවිනි. එහෙත්, වර්තමානයේ ඇමෙරිකාවේ ස්ථායි කාසි සඳහා රාජ්‍ය නියාමන ආරක්ෂාව සැපයීමේ නීති පනවා ඇත. එම නියාමන ආරක්ෂාව නුදුරේ දී ක්‍රියාත්මක වීමට නියමිත ය. සම්ප්‍රදායික බැංකු සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවලට යම් යම් රාජ්‍ය ආරක්ෂාවන්  සැපයෙන්නේ, රාජ්‍ය මූල්‍ය පද්ධතිය කෙරෙහි ඒවායේ ඇති පද්ධති බලපෑම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය නීති රාමුව සහ ක්‍රිප්ටෝ මුදල්

ශ්‍රී ලංකා රුපියල් මූල්‍ය ක්‍රමය 1950 සිට විකාශය වූයේ, මුදල් නීති පනත යටතේ ය. එනම්, වටිනාකම් මැනීමේ නිල ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ස්ථාපිත කිරීමත්, විනිමය මාධ්‍යය ලෙස රජය වෙනුවෙන් මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් කාසි සහ නෝට්ටු සහ මහ බැංකුව විසින් නියාමනය කරන බැංකුවල තැන්පතු වගකීම් යනාදියත් නීති ගත කිරීම යි. එබැවින්, ඒ සඳහා අවසර නොමැතිව වෙනත් මුදල් හෝ මෙවලම් භාවිතා කිරීම තහනම් කෙරින. එබැවින්, විදේශ මුදල් ගනුදෙනු සහ ඒ සඳහා රුපියල භාවිතා කිරීමේ කොන්දේසි මුදල් නීති පනත සහ විනිමය පාලන පනත යටතේ නියම කරන ලදි.

2023 දී මුදල් නීති පනත අවලංගු කොට, මහ බැංකු පනත සම්මත කිරීම හේතු කොට, ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතිය සහ මහ බැංකුව කම්පනයට පත් වී ඇත. ඊට හේතුව, ශ්‍රී ලංකා මුදල ලෙස රජය වෙනුවෙන් මහ බැංකුව විසින් නිල ගෙවුම් මාධ්‍යය ලෙස නිකුත් කරන රුපියල් කාසි සහ නෝට්ටු නියම කිරීම තුළින් නිල වටිනාකම් මාධ්‍යයත්, බැංකු තැන්පතු වගකීම් වැනි විකල්ප රුපියල් ගෙවුම් මාධ්‍යත්, නීතියෙන් පිට වීම යි.

එබැවින්, ක්‍රිප්ටෝ මුදල් වැනි මාධ්‍යයන් වටිනාකම් මාධ්‍යයන් ලෙස ප්‍රචලිත වීම හරහා මහජනයා විසින් ඒවා ගෙවුම් මාධ්‍යයන්  ලෙස භාවිතා කිරීමේ නෛතික භාවයක් ඇති විය හැකිය. දැනට සමහර පාර්ශවයන් විසින් ආයෝජනය හෝ මූල්‍ය වත්කම් ලෙස අත්කර ගෙන ඇති බවට මාධ්‍යය විසින් වාර්තා කොට ඇති ක්‍රිප්ටෝ මුදල් පිළිබඳ ව මහ බැංකුව විසින් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමේ හේතුව එම නෛතික ගැටළුව විය හැකිය.

මහ බැංකුව විසින් ඉදිරිපත් කරන නිරන්තර ප්‍රතිචාරය වී ඇත්තේ, මහ බැංකුව විසින් එවැනි ක්‍රිප්ටෝ මුදල් වර්ගයන් අනුමත කොට නොමැති බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් පිළිබඳ නියාමනයක් සිදු නොවන බවත්, ක්‍රිප්ටෝ මුදල් මිල දී ගැනීම සඳහා ණය කාඩ් සහ ඩෙබිට් කාඩ් වැනි විද්‍යුත් ගෙවුම් කාඩ්පත් මගින් ගෙවීම තහනම් කොට ඇති බවත්, ක්‍රිප්ටෝ මුදල් දැඩි අවදානම්වලින් යුක්ත බවත් ය (මහ බැංකු පුවත් නිවේදනය). එහෙත්, ක්‍රිප්ටෝ මුදල් සඳහා මහ බැංකු අවසරය කුමන නීතිය යටතේ ලබා දිය යුතු ද? යන්න හෝ එවැනි අවසරයක් මෙතෙක් නොදීමේ හේතු කුමක් ද? යන්න හෝ කිසිම සඳහනක් සිදු කොට නොමැත. එසේම, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳාම ලාභ දා යී ආයෝජනයක් බවට සමහර පාර්ශවයන් විසින් ප්‍රවර්ධනය කරන බවත්, සමහර පුද්ගලයන්ට ඉන් විශාල අලාභ දැරීමට සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති බවත්, මහ බැංකුව විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත්, චීනය ඇතුළු සමහර රටවල රජයන් විසින් ක්‍රිප්ටෝ මුදල් තහනම් කොට හෝ නියාමන රාමුවක් හෝ ක්‍රියාත්මක කොට ඇත.

ක්‍රිප්ටෝ මුදල් යනු දේශීයව නිපදවා ඇති වත්කමක් නොවන විදේශීය වත්කමකි. එබැවින්, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා රුපියල් හෝ ශ්‍රී ලංකා බැංකු ගිණුම්වල විදේශ මුදල් හෝ භාවිතා කිරීමේ අවසරය විදේශ විනිමය පනත යටතේ ලබා දී නැත්නම්,  ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යනු තහනම් විදේශ වත්කමකි. එහෙත්, මහ බැංකුව විසින් දැනට තහනම් කොට ඇත්තේ, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය නොව, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සඳහා විද්‍යුත් ගෙවුම් කාඩ්පත් මගින් ගෙවීම් කිරීම ය. එබැවින්, වාණිජ බැංකු හරහා මුදල් පැවරුම් හෝ ගෙවීම් කිරීමේ තහනමක් නොමැති බව පෙනේ. එහෙත්, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සඳහා පොදු හෝ විශේෂ අවසරය මුදල් ඇමති සහ මහ බැංකුව විසින් ලබා දී නොමැති බැවින් සහ වාර්තාකරණය වැනි නියාමන කොන්දේසි පනවා නොමැති බැවින් වත්මන් ක්‍රිප්ටෝ මුදල් යනු විදේශ විනිමය පනත යටතේ නීති විරෝධී ආයෝජනයකි. එබැවින්, වත්මන් ක්‍රිප්ටෝ මුදල් හිමියන් පිළිබඳ ව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ගැටළුවක් පවතින බව පැහැදිළි ය.

රජය විසින් මෑත දී කළ ප්‍රකාශයකට අනුව සුරැකුම්පත් සහ විනිමය කොමිසම හරහා ක්‍රිප්ටෝ මුදල්  නියාමනය කිරීම සඳහා විද්වත් අධ්‍යයන සභාවක් පත් කොට ඇත. මෙහි දී, ප්‍රධාන ගැටළු හතරක් පැන නගී.

  • පළමුව, ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ වෙළඳ වංචාවන් විමර්ශණය කොට දඬුවම් දීමට නොහැකි සුරැකුම්පත් සහ විනිමය කොමිසමට, මෙතරම් තාක්ෂණික ගෝලීය ගනුදෙනු පද්ධතියක් ඇති ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු නියාමනය කිරීමට ඇති තාක්ෂණික සහ මෙහෙයවුම් හැකියාව කුමක් ද? යන්න.

  • දෙවනුව, ක්‍රිප්ටෝ මුදල් යනු මුදල්වල කාර්යයන් සිදු කෙරෙන විකල්ප විදේශ මුදල් වර්ගයන් ය. වසර 76 ක් පුරා සාර්ව ආර්ථික අරමුණු සඳහා දේශීය රාජ්‍ය හෝ දේශීය රුපියල් සංචිත මුදල් සැපයුම සහ පොලී අනුපාතය තුළනය කිරීමටත්,  රජයට ලැබෙන ඩොලර් සහ විනිමය පාලන නීති හරහා ආර්ථිකයෙහි ඩොලර් සැපයුම සහ විනිමය අනුපාතය ආරක්ෂා කිරීමටත්,  බැංකු සහ මුදල් පිරමිඩ වංචා නියාමනයටත්,  නොහැකි වත්මන් මහ බැංකුවට, රට තුළ මෙතරම් සංකීර්ණ ගෝලීය ක්‍රිප්ටෝ මුදල් සැපයුම සහ වංචා පාලනය කිරීමේ තාක්ෂණික සහ ප්‍රයෝගික හැකියාවක් තිබේ ද? යන්න.

  • තෙවනුව, වත්මන් මහ බැංකු පනත යටතේ වටිනාකම් මධ්‍යය ලෙස රුපියල ස්ථාපිත කොට නොමැති බැවින් වටිනාකම් මාධ්‍යයන් ලෙස ක්‍රිප්ටෝ මුදල්වල වලංගු භාවය තුළින් මුදල්වල අනෙක් කාර්යයන් කිරීමට ක්‍රිප්ටෝ මුදල්වලට ස්වාභාවයෙන් ඇති හැකියාව නීතියෙන් ප්‍රශ්න කළ හැකි ද? යන්න.

  • සිවුවනුව, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට IMF ණය වැඩසටහන්වලින් ඉවත් විය නොහැකි බැවින් ඇමෙරිකාව සහ යුරෝපීය රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ඉදිරියේ දී දේශීය මූල්‍ය පද්ධතිය සහ විදේශ සංචිතය විවිධාංගීකරණය කිරීමේ මුවාවෙන්, ස්ථායි කාසි හෝ ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධන කොන්දේසි IMF විසින් පැනවිය හැකි වීම. 

එබැවින්, ඉහත දැක්වූ විද්වත් අධ්‍යයන සභාව විසින් තම වාර්තාව තුළ මෙම ගැටළු විසඳිය යුතුය. මෙහි දී, විවිධාකාර නෛතික අර්ථකථනයන් ඉදිරිපත් විය හැකි අතර එහි දී වැදගත් වන්නේ, කෙතරම් දුරට ස්වෛරීත්ව මුදල ලෙස ශ්‍රී ලංකා රුපියල භාවිතා කළ යුතු ද? යන්න යි. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සියල්ල මෙම ස්වෛරීත්ව මුදල හරහා සිදු වන බැවින් රජයේ දේශීය ස්වෛරීත්වය රැක ගැනීමේ අවශ්‍යතාවය යි. එසේ නොවුව හොත්, වත්මන් ඩොලරයට අමතරව විදේශීය ක්‍රිප්ටෝ මුදල්වලට ද හිස නැමීමට රජයට සිදු වනු ඇත.

සමාප්ත සටහන 

  • ඊළඟ සියවසේ මුදල් ලෙස පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ඉදිරියට පැමිණෙනු ඇත.

  • එබැවින්, රාජ්‍ය මුදල් ද ක්‍රිප්ටෝ මුදල් බවට පරිවර්ථනය නොකළ හොත්, බොහෝ රටවල පවතින වත්මන් රාජ්‍ය මුදල් පිරිහී ගොස්, ඒවා පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් ආර්ථිකයන් බවට පත්වනු ඇත. එය, දැනට නව ලිබරල් මතවාදය තුළින් සීමා කෙරෙන රාජ්‍ය මුදල් බලය නුදුරු අනාගතයේ දී තවත් විනාශ කිරීමකි. 

  • එවිට, රාජ්‍ය ආර්ථික කළමනාකරණ බලය පිරිහීම තුළින් නිදහස් පෞද්ගලික වෙළෙඳපොළ ආර්ථිකයන් බිහි වනු ඇත. එය, නව ධනවාදී මුදල් ආර්ථික යුගයක් වනු ඇත. එනම්, පෞද්ගලික අංශයම විසින් තම තමන්ට විශේෂ වූ මුදල් අච්චු ගැසීම තුළින් නිෂ්පාදන ක්‍රියාකාරකම් මූල්‍යකරණය කෙරෙන අතිශය ධනවාදී ක්‍රමයකි. එය, 19 වැනි සියවසේ ඇමෙරිකාවේ පැවති කැලෑ බළල් බැංකු සහ අර්බුදයන්ට අත වැනීමක් විය හැකිය.

  • එහෙත්, නව ක්‍රිප්ටෝ නීති පද්ධතිය හේතු කොට, ඇමෙරිකානු ඩොලරය පෞද්ගලික ක්‍රිප්ටෝ මුදල් හරහා නව ජවයකින් තවදුරටත් ගෝලීයකරණය වනු ඇත. එමගින්, දැනට ගෝලීය සංචිත මුදල ලෙස ඩොලරය මුහුණ දෙන පසුබෑම අඩාල වී, එහි ගෝලීය සංචිත මුදල් තත්ත්වය නැවත ඉහළ යනු ඇත. එනම්, ඇමෙරිකාව නව ගෝලීය ධනවාදී රජයක් වීම යි.

  • ක්‍රිප්ටෝ මුදල් මගින් ව්‍යාපාරයන් සහ රටවල් දියුණු කළ හැකි බවට පැතිර යන මතවාදය හේතු කොට, බොහෝ දියුණු වන රටවල් නුදුරේ දී ක්‍රිප්ටෝ මුදල් වසංගත බුබුලකට හසු වී, ගෝලීය ආර්ථිකය තුළ තවදුරටත් බංකොලොත් වීමේ අවදානමක් පවතී.

  • ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිප්ටෝ බුබුල විසඳීමට අවශ්‍ය විසඳුම් නිර්දේශයන් දැනට පත් කොට ඇති විද්වත් කමිටුව විසින් කිසිදාක ඉදිරිපත් නොකරනු ඇත. ඇඟ බේරා ගැනීමට එවැනි නිර්දේශයන් ඉදිරිපත් කළ ද, ක්‍රිප්ටෝ මුදල් පිළිබඳ වත්මන් නියාමන අධිකාරිය වන මහ බැංකුව විසින් නීතිමය බාධකයන් හුවා දක්වා ඒවා ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවනු ඇත.

  • එබැවින්, වත්මන් රජයට ඇති එකම විකල්පය වන්නේ, ක්‍රිප්ටෝ මුදල් නියාමනය කිරීමට මහ බැංකුවට බල කිරීම සහ මහ බැංකුව විසින්  ගනු ලබන ක්‍රිප්ටෝ මුදල් ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීම යි.

  • මෙහි දී, මෑත දී වාර්තා වූ ආනයන අත්තිකාරම් ඩොලර් වංචාව මෙන්, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සඳහා කොතරම් ඩොලර් ප්‍රමාණයක් රටින් පිට වී ඇත් ද? සහ කොතරම් ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණයක් පුරවැසියන් විසින් අත්කර ගෙන ඇත් ද? යන්න පළමුව තක්සේරු කළ යුතුය. මෙය, උද්ධමනයට සහ උද්ධමන ඉලක්කය මග හැරීමට හේතු ලෙස මහ බැංකුව විසින් තමන්ට රිසි ලෙස දැක්වෙන සංකල්පීය කථාන්දරයන් මෙන් පහසු කාර්යයක් නොවේ.

  • සමස්තයක් ලෙස ගත් විට, ඉහත දැක්වූ අවදානම් කුමක් වුව ද, ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළ යනු බොහෝ විට දැනටමත් IMF උපදෙස් බලපොරොත්තුවෙන් නිම වී ඇති සිද්ධියක් විය හැකිය. එසේම, නුදුරු අනාගතයේ දී ඒ සඳහා රාජ්‍ය අවසරය ප්‍රදානය නොකළ ද, ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය වසංගතයක් ලෙස පැතිර යනු ඇත. ඊට හේතුව, ක්‍රිප්ටෝ මුදල්වලින් පහසුවෙන් ජීවිත ගොඩ යා හැකි බවට පැතිරෙන ආකල්පය යි. එනම්, ඇලන් ග්‍රීන්ස්පෑන් විසින් දැක්වූ මහා රැවටීමේ න්‍යය තුළින් ක්‍රිප්ටෝ මුදල් ක්‍රියාත්මක වීම යි.

  • වත්මන් රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ පවතින අධි නිලධාරී වාදය, පොදුජන ආර්ථික සහ සංවර්ධන අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා රාජ්‍ය මුදල් ප්‍රසාරණ සහ ව්‍යාප්ති බාධකයන්, ධනවත් ව්‍යාපාරික අතලොස්සක් අත වත්මන් රාජ්‍ය මුදල් ක්‍රමය සංකේන්ද්‍රණය වීම සහ රාජ්‍ය මුදල් අවභාවිතය සහ නියාමන නොහැකියාව තුළින් කලින් කළ පතිත වන උද්ධමන සහ මූල්‍ය අර්බුදයන් තුළින් මහජනයාට සිදු වන ආර්ථික අලාභ වැනි අස්ථායිතාවයන් සහ අවදානම් හේතු කොට, මහජනයා විසින් නව මුදල් ගවේෂණය කිරීමට යුහුසුළු වීම ස්වාභාවික වෙළෙඳපොළ හැසිරීමකි. නූතන ක්‍රිප්ටෝ මුදල් යනු එම මුදල් ගවේෂණයෙහි එක් යුගයකි. ඊට අනුගත වීමට රජයන්ට නොහැකි වුවහොත්, 20 වැනි සියවසේ ආරම්භ වූ රාජ්‍ය මුදල් ක්‍රමයන් මෙම 21 වැනි සියවස මැද භාගයේ සිට අභාවයට යනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

 

Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

මහ බැංකුවේ නීති විරෝධී විදේශ මුදල් සූදුව - ඊට වගකියන්නේ කවුද? දඩුවම් දෙන්නේ කවුද?