මහ බැංකුව රු. බි. 235 ක ලාභ රජයෙන් සැඟවීම - මහ දවල් පොදු දේපල අපහරණයක්?

 


රාජ්‍ය මුදල් නීති අනුව රාජ්‍ය ව්‍යවසායන්ගේ වාර්ෂික ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදලට යැවිය යුතුය. මෙහි දී, රජය සමඟ එකඟ වී ලාභයෙන් කොටසක් ආයතනයේ ප්‍රාග්ධනය සඳහා රඳවා ගෙන, ඉතිරිය ඒකාබද්ධ අරමුදලට දිය යුතුය. රාජ්‍ය මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් එසේ රජයට ලැබෙන ලාභාංශ කුඩා වීම යි. 

බොහෝ විට නිර්මාණශීලී ගිණුම් ක්‍රමයන් හරහා රාජ්‍ය ආයතනයන් විසින් ලාභ සඟවා ගැනීම ද රහසක් නොවේ. බොහෝ ආයතනවල වාර්ෂික ගිණුම්/වාර්තාවන් ඉදිරිපත් කෙරෙන්නේ වර්ෂ ගණනාවක් ප්‍රමාද වීමෙන් පසුව ය. එබැවින්, රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් වී ඇති රාජ්‍ය ආයතන පද්ධතියක් බව රහසක් නොවේ.

මහ බැංකුවේ ලාභය පිළිබඳ මුදල් නීතිය 

වෙනත් රාජ්‍ය ව්‍යවසායන් සහ ව්‍යාපාරික ආයතනයන් මෙන් නොව, මහ බැංකුව යනු රජය වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීම මගින් වත්කම් අත් කර ගෙන ආදායම් සහ ලාභ ලැබීමට ඒකාධිකාරී බලතල සහිත එකම ආයතනය යි.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පාලනය සඳහා මහ බැංකුව ද රාජ්‍ය ව්‍යවසායක් ලෙස සැලකෙයි. මුදල් මණ්ඩලය විසින් මහ බැංකුව කළමනාකරණය කෙරෙන අතර එහි වාර්ෂික වාර්තාව අප්‍රේල් මස 20 දාතමින් මහ බැංකු අධිපතිගේ අත්සන සහිත ලිපිය මගින් මුදල් ඇමති වෙත ඉදිරිපත් කොට ඇත. එම මහ බැංකු වාර්ෂික වාර්තාවත් එහි ඇතුළත් මහ බැංකු මූල්‍ය වාර්තාවත් මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් අනුව ඉදිරිපත් කෙරේ.

මහ බැංකුවේ වාර්ෂික ලාභය ගණනය කිරීම සහ එය බෙදා හැරීම පිළිබඳ ප්‍රතිපාදනයන් මුදල් නීති පනතේ IV කොටසේ අඩංගු වෙයි. ඒ අනුව, සෑම මුදල් වර්ෂයක් අවසාන වී දින 60 කට පෙර මහ බැංකුවේ ශුද්ධ ලාභය ගණනය කොට එය බෙදා හැරීම කළ යුතුය.

2022 වර්ෂයේ මහ බැංකු ශුද්ධ ලාභය බෙදීම 

  • මුදල් නීති පනතේ 39 වගන්තිය අනුව මහ බැංකුවේ ශුද්ධ ලාභය බෙදා හැරීම හෝ උපයෝජනය කළ යුතුය. රජයට ලබා දෙන ලාභ කොටස එහි 39 (ඇ) ප්‍රතිපාදනයේ දැක්වෙයි. ඒ අනුව, එම ලාභ කොටස මුදල් ඇමති සමඟ උපදේශණය කොට රජයෙන් මහ බැංකුවට ගෙවීමට ඇති ණය වගකීම් පියවීම හෝ රජයේ ඒකාබද්ධ අරමුදලට යැවීම හෝ කළ යුතුය.

  • මහ බැංකු මූල්‍ය වාර්තාවේ ගිණුම් සටහන් අංක 35 ට අනුව 2022 වර්ෂය සඳහා බෙදිය යුතු ලාභය ලෙස රුපියල් බිලියන 235 ක් ලෙස මුදල් මණ්ඩලය විසින් ගණනය කොට ඇත. එම ලාභය මුදල් නීති පනතේ 39 වගන්තියට අනුව බෙදිය යුත්තේ රජයට යි. එබැවින්, මුදල් ඇමති උපදේශණයෙන් ගත යුතු එකම තීරණය වන්නේ, එම මුදල ඒකාබද්ධ අරමුදලට දෙනවා ද? නැත්නම් රජය විසින් මහ බැංකුවට ගෙවිය යුතු ණය පියවනවා ද? යන්න යි. 

  • එහෙත්, මුදල් මණ්ඩලය විසින් එම මූළු මුදලම මහ බැංකුවේ ප්‍රාග්ධන අරමුදල් ලෙස රඳවා ගෙන ඇත. එය මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනතේ 39 (ඇ) ප්‍රතිපාදනය අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. මහ බැංකු මුදල් මුද්‍රණාලයේ අයිතිකරු රජය වන බැවින් එම ලාභය රජයට ලැබිය යුතුය. එය නීතියෙන් පිට මහ බැංකුවේ තබා ගැනීම යනු මුදල් මණ්ඩලය විසින් තම මහජන බලය ඉක්මවා ක්‍රියා කිරීමකි.

  • 2021 වර්ෂයේ ද රජයට ලබා නොදී රුපියල් බිලියන 27.5 ක මුදලක් එසේ රජයෙන් වසන් කොට රඳවා ගෙන ඇත.

ඒ අනුව, 2021 සහ 2022 වර්ෂයන්වල මහ බැංකුව විසින් රජයෙන් වසන් කර ගෙන ඇති මුළු ලාභ මුදල රුපියල් බිලියන 262.5 කි. මෙම මුදල IMF ණය මුදලෙන් පසුගිය දා ලැබූ පළමු වාරිකය මෙන්  දෙගුණයකටත් වඩා වැඩි වීමෙන් එහි විශාලත්වය වටහා ගත හැකිය. 

මුදල් මණ්ඩලය විසින් රාජ්‍ය මුදල් වංචාවන් පිළිබඳ නීති උල්ලංඝණය

මුදල් මණ්ඩලය විසින් මෙසේ මුදල් නීති පනත යටතේ රජයට ලැබිය යුතු මුදල් සඟවා ගැනීම සහ එම මුදල් තම ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම පොදු දේපළ පනත සහ අල්ලස් සහ දුෂණ පනත යටතේ වරදක් වනු ඇත. 

එබැවින්, මෙම ආර්ථික අර්බුද සමයේ රජයට තම මුදල් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ව උනන්දුවක් ඇත්නම්, 2021 සහ 2022 වර්ෂයන් වෙනුවෙන් මහ බැංකුව විසින් රජයෙන් වසන් කර ගෙන ඇති මුළු ලාභ මුදල වන රුපියල් බිලියන 262.5 ක මුදල අය කර ගෙන, ඊට අදාළ චුදිතයන්ට දඩුවම් දිය යුතුය. ඒ සඳහා IMF කියන නව නීති අවශ්‍ය නොවේ.

එම මුදල් ප්‍රමාණය හුදු උපකල්පනයන් මත ගණනය කළ වටිනාකමක් නොව සත්‍ය ගිණුම් වාර්තාවලින් උපුටා ගන්නා ලද්දකි. එම මහ බැංකු ගිණුම් වාර්තාවන් සහතික කොට අත්සන් තබා ඇත්තේ මහ බැංකු අධිපති සහ ප්‍රධාන ගණකාධිකාරී වෙයි. ඒවා විගණනය කොට ඇත්තේ විගණකාධිපති විසිනි. එබැවින්, එම චෝදනාවන් සනාථ කිරීම සඳහා පුද්ගල සාක්ෂි අවශ්‍ය නොවේ.

තවද, මුදල් නීති පනත උල්ලංඝණය කිරීමේ වරද මත මුදල් මණ්ඩලය ඉවත් කිරීමේ ප්‍රතිපාදනයන් ද මුදල් නීති පනතේ පවතී. 

එසේ නොකෙරේ නම්, රාජ්‍ය අංශයෙන් රාජ්‍ය මූල්‍ය විනයක් බලාපොරොත්තු විය නොහැකි අතර රජය විසින් තම පැවැත්මට අවශ්‍ය මුදල් සපයා ගැනීමේ ඉතා පහසු මාර්ගයන් ලෙස බදු අය කිරීමේ සහ ණය ගැනීමේ වේගය ඉහළ දැමිය යුතුය. 

මෙම මුදල අය කර ගැනේ නම්, එම ප්‍රමාණයෙන් රාජ්‍ය අයවැය හිඟය පහළ යනු ඇත. රාජ්‍ය මුදල් විනය ඉහළ දැමීමට නිතර දෙවේලේ දේශනා පවත්වන මහ බැංකු අධිපති විසින් ම රාජ්‍ය මුදල් අක්‍රමිකතාවයේ යෙදීම ශෝක ජනක වෙයි. 

මහ බැංකු මූල්‍ය වාර්තාකරණ ගැටළු

මුදල් මණ්ඩලය විසින් මහ බැංකු මූල්‍ය වාර්තා සකස් කිරීමේ දී අනුගමනය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් ය. ඒ අනුව, 2022 වර්ෂය තුළ මහ බැංකුවේ වාර්තාගත අලාභයක් දැක්වෙයි. එනම්, රුපියල් බිලියන 374.2 ක අලාභයකි. 

  • මෙතරම් විශාල අලාභයක් ඇති විට එම වර්ෂය සඳහා බෙදීමට ඇති ලාභය ලෙස මුදල් මණ්ඩලය විසින් රුපියල් බිලියන 235 ක් ඇස්තමේන්තු කිරීමේ ගිණුම් ප්‍රමිතීන් සහ එහි විශ්වාසනීයත්වය පිළිබඳ ව ගැටළු රැසක් හට ගනු ඇත. 

  • මෙහි දී, නිර්මාණශීලී ගිණුම් උපක්‍රමයන් පිළිබඳ චෝදනාවන් ද නැගෙනු ඇත. උදාහරණ ලෙස 2022 වර්ෂයේ දී මහ බැංකුව විසින් රජයට දෙන ලද ලාභය ලෙස රුපියල් බිලියන 30 ක් මූල්‍ය වාර්තාවල සඳහන් වුව ද, ඒ පිළිබඳ ගිණුම් සටහන් සොයා ගත නොහැකිය.

  • මෙම ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතීන් අදාළ වන්නේ මහා පරිමාණයේ මූල්‍ය ව්‍යාපාරයන් සඳහා ය. මහ බැංකු යනු එවැනි ව්‍යාපාරික ආයතනයන් නොවේ. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කෙරෙන එම ගිණුම් ප්‍රමිතීන් ශ්‍රී ලංකා නීතියේ කොටසක් නොවන අතර ඒවා මුදල් නීති පනතින් මහ බැංකුව වෙත නියම කොට ඇති ගිණුම් ප්‍රමිතීන් සහ මූලධර්මයන් උල්ලංඝණය කෙරේ. එබැවින්, මුදල් මණ්ඩලය විසින් මහ බැංකු මූල්‍ය ප්‍රකාශනයන් සැකසීම සිදු කෙරෙන්නේ ද මුදල් නීති පනත උල්ලංඝණය කිරීමෙනි. එවැනි මහජන බලයක් මුදල් මණ්ඩලය වෙත නොමැත.

  • තවද, මුදල් මුද්‍රණය කොට ණය දීම හරහා පොලී ආදායම් ලැබීමත්, එසේ මුද්‍රණය කොට ඇති කාසි සහ නෝට්ටු වගකීම් සඳහා පොලී නොගෙවීමත්, මත ගනුදෙනු කරන මහ බැංකුවට මෙතරම් ඉහළ අලාභයක් සිදු වන්නේ ඇයි ද? යන්න ද ප්‍රශ්නයකි.

  • 2021 වර්ෂය අවසානයේ දී මහ බැංකුවට රජය විසින් සපයා ඇති ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 463.6 ක් විය. එය මුදල් නීති පනතේ නියම කොට ඇති ප්‍රග්ධන අනුපාතය වූ 15% ට සාපේක්ෂව 58% ක අනුපාතයකි. තවද, මුදල් මණ්ඩලය විසින් විදේශ වත්කම් සහ ප්‍රාග්ධනය ගණනය කරනු ලබනුයේ මුදල් නීති පනතෙන් නියම කොට ඇති ගිණුම් ප්‍රමිතීන් මත නොවේ. මුදල් මුද්‍රණය කොට ණය දෙන සහ ද්‍රවශීල අර්බුදයන් සහ බැංකු චකිතයන්ට මුහුණ නොදෙන මහ බැංකුවට මෙතරම් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය ඇයි ද? යන්න ගැටළුවකි. මහජනයාගෙන් තැන්පතු සහ ණය ලබා ගෙන ණය දීමේ ව්‍යාපාරයන්හි නියුතු බැංකු සහ මූල්‍ය ආයතනවලට එය යෝග්‍ය වනු ඇත. ඊට හේතුව, ඔවුන්ගේ අවදානම් සහ අලාභයන් පියවා, තැන්පතු සහ ණය හිමියන් ආරක්ෂා කිරීමට ප්‍රාග්ධනය අවශ්‍ය බැවිනි. එහෙත්, මුදල් මණ්ඩලය විසින් මෙසේ නීති විරෝධිව ප්‍රාග්ධනය රැස් කිරීමට හේතුව වනුයේ වැරදි තීරණයන් සහ මූල්‍ය අක්‍රමිකතාවන් හේතු කොට හට ගන්නා අලාභයන් රහසේ පියවා ගැනීම යි.

වෙනත් රාජ්‍ය ව්‍යවසායකයන්හි මෙන් නොව, මහ බැංකුව කළමනාකරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විද්‍යාඥයන් සහ මූල්‍ය විද්වතුන් විසින් ය. සියළු පව් උද්ධමනයට සහ මූල්‍ය ප්‍රතිපත්තියට පවරා අත් සෝදා ගන්නේ නම්, මහ බැංකුවට එවැනි විද්වතුන් අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න ද ප්‍රශ්නයකි. මහ බැංකුව යනු ලාභ අරමුණ මත කටයුතු නොකරන ආයතනයක් වුව ද, මුදල් මුද්‍රණය තුළින් මෙතරම් විශාල අලාභයක් වාර්තා වීම විශාල ගැටළුවකි.

සමාප්ත සටහන

ආයතනයක කළමනාකාරිත්වයේ කාර්යසාධනය සහ කාර්යක්ෂමතාවය එහි වාර්තාවන් තුළින් නිරීක්ෂණය කළ හැකිය. එහෙත්, එය පහසු නොවේ. ඊට හේතුව, අනුගමනය කොට ඇති ගිණුම් ක්‍රමයන්ගේ සංකීර්ණත්වය සහ නිර්මාණශීලිත්වය යි. ඒවා සාමාන්‍ය විගණන නිලධාරීන්ට හසු නොවන බව රහසක් නොවේ. ආයතනයක ගිණුම් සැබෑ ලෙස විමර්ශණය කෙරෙන්නේ, ආයතනය හදිසියේ  බංකොලොත් හෝ කඩා වැටීමෙන් පසුව ය.

මහ බැංකු මූල්‍ය වාර්තාවන් පිළිබඳ ව ඉහත දැක්වූ කරුණු මෙන්ම මහ බැංකුවේ දෛනික මූල්‍ය ගනුදෙනුවල පරිමාව දෙස බලන විට, 2022 වර්ෂයේ මහ බැංකුවේ මූල්‍ය වාර්තාවන් සහ ඊට පසුබිම් වී ඇති ගනුදෙනු සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් පිළිබඳ ව ස්වාධීන බාහිර විමර්ශනයක් කිරීම යෝග්‍ය වෙයි. 

පසුගිය අප්‍රේල් මස 11 දින මහ බැංකු අධිආරක්‍ෂිත මුදල් සුරක්ෂිතාගාරයෙන් අතුරුදහන් වූ රුපියල් ලක්ෂ 50 ක මුදල පිළිබඳ ව තවමත් ආරංචියක් නොමැති අතර ඉදිරියේ දී මහ බැංකුවේ මුදල් පිළිබඳ අභ්‍යන්තර පාලනයන් සහ ක්‍රියාදාමයන් වැනි දේවල් ශක්තිමත් කරන බව ද මහ බැංකුව විසින් අප්‍රේල් මස 20 දින පුවත්පත් නිවේදනයෙන් ප්‍රකාශ කොට ඇත.

එබැවින්, මහ බැංකුව වැනි ප්‍රධානම රාජ්‍ය ආයතනයක මූල්‍ය යහකළමනාකරණය පවත්වා ගැනීමට රජයට හැකියාවක් හෝ ඕනෑකමක් නොමැති නම්, රාජ්‍ය ආයතන පද්ධතියේ  සහ ආර්ථිකයේ යහකළමනාකරණය පවත්වා ගැනීමට රජයට නොහැකි බව කිව යුතු නැත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි