ඉරාන යුද්ධයෙන් ඔඩු දුවන ආර්ථික අර්බුදයට කෝකටත් තෛලය ඉල්ලුම කැපීම ද? එය මිථ්‍යා ආර්ථික මතවාදයක් ද?

ලිපියේ පසුබිම සහ අරමුණ 

ශ්‍රී ලංකාව වැනි ආනයන සහ කෙටි කාලීන ඩොලර් ණය හරහා ගෙවුම් ශේෂ හිඟය පියවීම මත රැඳී ඇති රටවල ආර්ථිකයන් ඕනෑම ගෝලීය සාධකයකට කම්පනයට පත් වන බව සාමාන්‍ය දැනුම යි. එවැනි සාධකයන් තුළින් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ ගිය හොත්, එය මෙම ආර්ථිකයන්ට හදිසි භුමි කම්පාවන් පහත් වීමට සමාන ය.

  • පසුගිය මාසයක පමණ කාලය තුළ ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති භූදේශපාලනික ආතතීන් තුළින් දැනට දින 12 ක පමණ පවතින අභ්‍යාවකාශ යුද්ධය හේතු කොට හට ගෙන ඇති බලශක්ති ඇතුළු ගෝලීය සැපයුම් දාමයන් අවහිර වීම තුළ සමස්ත ගෝලීය ආර්ථිකයම කම්පනයට පත් වී ඇත. 

  • බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ හා සේවා මිල ගණන් ක්ෂණිකව ඉහළ යාම, විදේශ ආයෝජන බටහිර රටවලට සංක්‍රමණය වීම, විනිමය අනුපාතයන් ඉහළ යාම සහ රාජ්‍ය ණය පොලී අනුපාතයන් ඉහළ යාම වැනි ප්‍රධාන කම්පනයන් හේතු කොට මෙම රටවල ඉදිරියේ දී උද්ධමනය ඉහළ ගොස්, ආර්ථිකයන් හැකිලී, පොදුජන ජීවන මට්ටම කඩා වැටීමට ඇති අවදානම පිළිබඳ නිල ප්‍රකාශනයන් ඉදිරිපත් වී ඇත. 

  • ඉරාන යුද්ධය දිග් ගැසුනොත්, එදිනෙදා පදනමක් මත රැස් කෙරෙන ඩොලර් සංචිතයන් හරහා විනිමය අනුපාතය සහ ගෙවුම් ශේෂය අමාරුවෙන් ආරක්ෂා කෙරෙන රටවල් නුදුරේ දීම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇත. එනම්, ඩොලර් සංචිතය කඩා වැටී, විනිමය අනුපාතය ඉහළ යාම හේතු කොට, බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ ආනයනය කඩා වැටී, දේශීය මිල ගණන් ඉහළ යාම තුළින් නිෂ්පාදන සහ පරිභෝජන ක්‍රියාකාරකම් කඩා වැටීම යි. 2022 ගෝලීය කොරෝනා වසංගතය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක් මුහුණ දුන්නේ එවැනි අර්බුදයකට ය.

  • පසුගිය දිනවල ශ්‍රී ලංකා ආර්ථික කළමනාකරණ අධිකාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, 2022 දී මෙන් නොව, දැනට ඩොලර් බිලියන 7 ක පමණ විදේශ මුදල් සංචිතයක් සහ ඉතා පහළ උද්ධමනයක් පවතින බැවින් එවැනි අර්බුදයකට මුහුණ දීමේ හොඳ හැකියාවක් පවතින බවත්, මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශ ප්‍රතිපත්ති ගැනීම තුළින් අර්බුදය කළමනාකරණය කළ හැකි බවත්  ය. රජය විසින් පසුගිය මාර්තු 10 දින ම ඉන්දන සහ ගෑස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දැමීම (රුපියල් 22-25 කින් සහ 300 කින්) ඉන් එක්‌ ප්‍රතිපත්තියක් ලෙස දැක්විය හැකිය

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙවැනි ආර්ථික අර්බුදයන් කළමනාකරණය කිරීම හෙවත් ආර්ථික ස්ථායිකරණය සඳහා අනුගමනය කිරීමට පුරුදු වී ඇති මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශ ප්‍රතිපත්ති ආශ්‍රිත  මිථ්‍යා සාර්ව ආර්ථික මතවාදය කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. 

මෙම මතවාදය හුදෙක් බාහිර කම්පනයන් හේතු කොට ආර්ථිකයෙහි සංකෝචනය වන සමස්ත සැපයුම් අංශයට ගැලපෙන ලෙස සමස්ත ඉල්ලුම් අංශය සංකෝචනය කිරීම කෙරෙහි ගොඩ නැගී ඇත. එය හුදෙක් රජයේ පාලනයට යටත් මූල්‍ය අංශය හෝ මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීම හරහා සිදු වෙයි. 

මෙම ප්‍රතිපත්ති මොඩලය හුදෙක් ආර්ථිකයෙහි මූර්ත නිෂ්පාදන අංශය නොසලකා හුදෙක් මූල්‍ය අංශය හැකිලීම හෝ සීමා කිරීම තුළින් සමස්ත ඉල්ලුම හැකිලීමේ ආර්ථික මතවාදයකි. එබැවින්, මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ, ආර්ථිකය ඉතා ඉහළ මිල මට්ටමකට තල්ලු කිරීම තුළින් මාසික හෝ එදිනෙදා ආදායම් මත ජීවිතය ගැට ගසා ගන්නා වැඩ කරන පංතියේ ජීවන මට්ටම කඩා වැටීමත්, එහි වාසිය ආර්ථිකය පාලනය කෙරෙන ව්‍යාපාරික පංතියට හිමි වීමත් ය.

එබැවින්, මෙම ලිපිය හුදෙක් සාර්ව ආර්ථික විද්‍යා මූලධර්ම සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති පිළිබඳ ව මූලික අවබෝධයක් ඇති පාඨකයන් ඉලක්ක කොට සැකසී ඇත. (මේ පිළිබඳ ව නිකුත් කළ පළමු ලිපිය මෙතැනින් කියවන්න. (ලිපිය) )

ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මොඩලයේ න්‍යායාත්මක පසුබිම

මෙය ගොඩ නැගී ඇති පැරණි සාර්ව ආර්ථික උපකල්පනය වන්නේ, රටක සමස්ත නිෂ්පාදනය හෝ සැපයුම, ඒ සඳහා වූ ඉල්ලුම හෝ උපයෝජනයට සමාන බව යි. මෙය ආර්ථික හෝ ජාතික ආදායම් සමතුලිතය ලෙස හැඳින්වෙයි. ඊට හේතුව, රටක සමස්ත නිෂ්පාදනය, ඊට දායක වූ නිෂ්පාදන සාධකයන් වන ශ්‍රමය, භුමි හිමියන්, ප්‍රාග්ධන හිමියන් සහ ව්‍යවසායකයන් අතර ප්‍රතිලාභ හෝ ආදායම ලෙස බෙදී යාමත්, එම ආදායම මගින් නිෂ්පාදනය සඳහා ඉල්ලුම ජනිත වීමත් ය. එනම්, ආර්ථිකයක සැපයුමෙන් ඉල්ලුම ජනිත වන බව යි. 

මෙය හුදෙක් මූර්ත නිෂ්පාදන සහ ඉල්ලුම් ප්‍රමාණය ආශ්‍රිත සංකල්පයකි. එනම්, මුදල් වටිනාකම් මගින් ගණනය කෙරෙන නිෂ්පාදනය සහ ඉල්ලුම නොවේ. ඊට හේතුව, ආර්ථික විද්‍යාවේ භාවිතා වන ආර්ථික සමතුලිත මොඩලයන්හි මුදල් ලෙස විචල්‍යයක් නොමැති වීම යි. පැරණි ආර්ථික විද්‍යාවේ මුදල් යනු තෝරා ගත් භාණ්ඩයන් වූ බැවින් මුදල් යනු පවතින නිෂ්පාදනයේම කොටසකි. එබැවින්, රටක නිෂ්පාදන හෝ සැපයුම් ප්‍රමාණය සහ එහි ඉල්ලුම් ප්‍රමාණය නිරන්තරයෙන් එකිනෙකට සමාන වෙයි. එබැවින්, මෙම ආර්ථික මොඩලයෙහි පොදු මිල මට්ටම ලෙස විචල්‍යයක් හෝ සංකල්පයක් නොමැත. එහෙත්, මුදල් ලෙස හුවමාරු වන භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ හා සේවා අතර සාපේක්ෂ මිල ගණන් පවතී.

ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ආර්ථිකයෙහි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා භාවිතා කෙරෙන්නේ, මෙම සාර්ව ආර්ථික සමතුලිත මොඩලය යි. මෙම මොඩලය කෙටියෙන් පහත දැක්වෙයි.

  • ජාතික නිෂ්පාදිතය (Y) = ජාතික ආදායම = ජාතික වියදම හෝ ඉල්ලුම (E)

  • එනම්, Y = E

විවෘත ආර්ථිකයක නිෂ්පාදනය (Y) මත කෙරෙන භාණ්ඩ හා සේවා ඉල්ලුම යනු පෞද්ගලික අංශයේ පරිභෝජනය (C) සහ ආයෝජනය (I) , රාජ්‍ය අංශයේ වියදම (G) (රාජ්‍ය පරිභෝජන සහ ආයෝජන ඉල්ලුම) සහ අපනයන (X) යි. ආනයන (M) යනු විදේශීය නිෂ්පාදනයන්ගෙන් ලබා ගෙන උපයෝජනය කොට ඇති භාණ්ඩ හා සේවා වන බැවින් දේශීය නිෂ්පාදනය මත වූ ඉල්ලුම ගණනය කිරීමේ දී, ආනයන ඉවත් කෙරේ. ඒ අනුව, විවෘත ආර්ථිකයක මූර්ත ජාතික ආදායම් සමතුලිතය පහත දැක්වෙයි.
  • Y = C + I + G + X - M 
මෙහි තවත් සරල උපකල්පනයන් වන්නේ, නිෂ්පාදන සාධක හෝ මහජනයා විසින් තම ආදායම වැය කරන්නේ, පරිභෝජනය, බදු ගෙවීම (T) සහ ඉතුරුම් (S) සඳහා බව යි (C + T + S).
  • Y = C + T + S
ඒ අනුව,
  • Y  =  C + I + G + X - M  =  C + T + S
මෙම සමීකරණය සුළු කිරීමෙන් පහත දැක්වෙන කෙටි සමීකරණය ලැබේ.
  • (G - T) = (S - I) + (M - X), එනම්, 

  • රාජ්‍ය අයවැය හිඟය  = පෞද්ගලික අංශයේ ඉතුරුම් අතිරික්තය  +  භාණ්ඩ හා සේවා විදේශ වෙළෙඳ හිඟය

එනම්, රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සහ විදේශීය අංශයේ අසමතුලිතතාවන් ය. එහෙත්, ජාතික ආදායම හෝ ආර්ථිකය සමතුලිත වෙයි. එනම්, සමස්ත සැපයුමට සමස්ත ඉල්ලුම සමාන වීම යි.

IMF - නව ලිබරල් ආර්ථික කළමනාකරණ මොඩලයේ නාභිය මෙය යි. එනම්, රාජ්‍ය අයවැය හිඟය යනු එය පියවීමට අවශ්‍ය සම්පත් සංචලනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ඉතුරුම් අතිරික්තයක් සහ විදේශ වෙළෙඳ හිඟයක් පැවතිය යුතු බව යි. ආර්ථිකයක පෞද්ගලික ආයෝජන පහළ යාමටත්, විදේශ වෙළෙඳ හිඟය ඉහළ යාමටත් හේතුව ලෙස රාජ්‍ය අයවැය හිඟයේ ප්‍රසාරණය හුවා දැක්වෙන්නේ මෙම මතවාදය මත යි.

එහෙත්, ආර්ථික විද්‍යාඥයන් විසින් මෙම මූර්ත ආර්ථික සමතුලිත මොඩලයම නූතන මුදල් ආර්ථිකයන්හි ජාතික ආදායම් සමතුලිතය සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සඳහා ද භාවිතා කෙරේ. එනම්, මෙම මොඩලයෙහි අඩංගු විචල්‍යයන්හි මුදල් වටිනාකම් භාවිතා කිරීම යි. එහෙත්, එය පදනම් විරහිත බව ඉදිරියේ දී දැක්වෙනු ඇත.

නූතන මුදල් ආර්ථිකයන්හි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මොඩලය  

මෙහි හරය වන්නේ, මූර්ත නිෂ්පාදන සහ ආදායම් ක්‍රියාවලියට බාහිර වූ මහ බැංකුවේ ස්වාධීන පාලනයට යටත් මුදල් නම් වූ විචල්‍යයේ සැපයුම හෝ සංසරණය මගින් ආර්ථිකයෙහි භාණ්ඩ හා සේවා ඉල්ලුම කෙරෙහි බලපෑම හරහා ආර්ථිකයෙහි සමස්ත සැපයුම සහ සමස්ත ඉල්ලුම අතර අසමතුලිතතාවයන් (ආර්ථික අසමතුලිතතාවය) හට ගන්නා බවත්, එබැවින්, ආර්ථිකය නැවත සමතුලිත කිරීම හෝ ස්ථායිකරණය සඳහා මුදල් සැපයුම වෙනස් කිරීම හරහා සමස්ත සැපයුමට සරිලන පරිදි සමස්ත ඉල්ලුම වෙනස් කළ යුතු බවත් ය. එනම්, C + I + G + X - M යන සමස්ත ඉල්ලුම සහ එහි සංරචකයන් පාලනය කිරීම යි.

මෙහි දී, ආර්ථිකයෙහි නිෂ්පාදන හෝ සැපයුම් අංශය බාහිරව තීරණය වන බවත්, එය කෙරෙහි මුදල්වල බලපෑමක් නොමැති බවත් උපකල්පනය කෙරේ. එනම්, මුදල් යනු හුදෙක් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළවල ගනුදෙනු වන අතරමැදි ගෙවුම් මාධ්‍යක් පමණක් බවත්, එහි මූර්ත අංශ බලපෑමක් නොමැති බවටත් ඇති මතවාදය යි. මෙය පැරණි භාණ්ඩ මුදල් ආශ්‍රිතව ගොඩ නැගී ඇති මතවාදයකි.

මෙහි දී, සමස්ත නිෂ්පාදනය හෝ සැපයුම ලෙස මූර්ත ප්‍රමාණය සැලකෙන අතර සමස්ත ආදායම, ඉල්ලුම සහ එහි සංරචකයන් මුදල් මිල ගණන් මත තීරණය වන මූල්‍ය වටිනාකම් ප්‍රමාණයන් ලෙස සැලකෙයි. එබැවින්, ආර්ථිකයෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස්වීම මගින් ඒවායේ මිල ගණන් හරහා මූල්‍ය වටිනාකම් ප්‍රමාණයන් වෙනස් වනු ඇත. උදාහරණ ලෙස මහ බැංකුවේ මුදල් මුද්‍රණය ඉහළ ගිය හොත්, එම මුදල් රජය සහ මහජනතාව අතට ලැබී, වියදම් කිරීමට පෙළඹීමෙන්, ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනු ඇත. 

මෙහි දී, ආර්ථිකයක මුදල් සංසරණය හෝ සැපයුම මහ බැංකුවේ මුදල් මුද්‍රණය සහ බැංකුවල මුදල් මැවීම මත තීරණය වන බව පිළි ගැනේ. එබැවින්, රටක මුදල් සැපයුම ප්‍රධාන වශයෙන් මහ බැංකුව සහ බැංකු විසින් සපයනු ලබන ණය ප්‍රමාණය මත තීරණය වන බව පිළි ගැනේ. එබැවින්, රටක මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආර්ථිකයෙහි සමස්ත සැපයුමට යෝග්‍ය පරිදි සමස්ත ඉල්ලුම පාලනය කිරීම තුළින් ආර්ථිකය කළමනාකරණය හෝ ස්ථායිකරණය කළ හැකි බවට ආර්ථික මතවාදය ජනප්‍රිය වී ඇත. මෙම ආර්ථික මොඩලය තුළ මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මුදල් ආශ්‍රිත ප්‍රතිපත්තිවල පැතිකඩක් පහත දැක්වෙයි.

මුදල් සහ උද්ධමනය

  • මුදල් හරහා ආර්ථිකයෙහි ඉල්ලුම සිදු වන බැවින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපයුමට වඩා වැඩි වේගයකින් මුදල් සැපයුම ඉහළ යන විට, එම මුදල්වලින් භාණ්ඩ හා සේවා සඳහා ඇති කෙරෙන අධි ඉල්ලුම හරහා මිල ගණන් ඉහළ යාම හෙවත් උද්ධමනය හට ගන්නා බවත්, එබැවින්, උද්ධමනය යනු සැම තැන සැම විට මුදල් සංසිද්ධියක් බවත් පිළි ගැනේ. එබැවින්, උද්ධමනය ඉහළ යන විට, මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම පහළ දැමීමට ක්‍රියා කිරීම තුළින් එම අතිරික්ත ඉල්ලුම ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙය මුදල් ප්‍රතිපත්තිය ලෙස දැක්වෙයි. 

  • මෙය ප්‍රධාන වශයෙන් මහ බැංකුව විසින් බැංකු සමඟ මුදල් ගනුදෙනු කරන පොලී අනුපාතයන් හෙවත් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම හරහා සිදු කෙරේ. ඊට ප්‍රතිචාර ලෙස බැංකු විසින් ද තම ණය පොලී අනුපාතයන් ඉහළ දමනු ඇත. එබැවින්, ඉහළ පොලී අනුපාතයන් හේතු කොට, ආර්ථිකයෙහි ණය ඉල්ලුම පහළ යාම තුළින් මුදල් සැපයුමත්, සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමත් පහළ යන බව පිළි ගැනේ. එබැවින්, සමස්ත අධි ඉල්ලුම පහළ ගොස්, උද්ධමනය පහළ යන බවට විශ්වාස කෙරේ. එහෙත්, මෙහි දී, පෙර මට්ටමට මිල ගණන් පහළ යාමක් නොව, මිල ගණන් ඉහළ යාමේ ප්‍රමාණය පහළ යාමක් සිදු වෙයි. එහෙත්, ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් හරහා මුදල් සැපයුමේ සංකොචනයක් සිදු වන විට, මිල ගණන් පහළ යාමේ අවදානම් ද පවතී.

මුදල් සහ රාජ්‍ය අයවැය හිඟය

  • රාජ්‍ය අයවැය හිඟය හෙවත් වියදම් සහ බදු ආදායම් අතර පරතරය (G-T) රජය විසින් බැංකුවලින් ණය ගැනීම හරහා පියවෙන බව විශ්වාස කෙරේ. එබැවින්, අයවැය හිඟය තුළින් මුදල් සැපයුම ඉහළ යාමත්, එමගින්, සමස්ත ඉල්ලුම ඉහළ යාමත් හරහා උද්ධමනය හට ගන්නා බව විශ්වාස කෙරේ. 

  • එබැවින්, උද්ධමනකාරී අවස්ථාවල, එය පහළ දැමීම සඳහා අයවැය හිඟය පහළ දැමිය යුතු බවට නිර්දේශ කෙරේ. ඒ සඳහා රාජ්‍ය වියදම් පහළ දැමීම සහ බදු ඉහළ දැමීම සිදු කෙරේ. එසේ අනුගමනය කෙරෙන රාජ්‍ය අයවැය ආශ්‍රිත ප්‍රතිපත්ති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ලෙස දැක්වෙයි. IMF ණය වැඩසටහන් බොහෝ සේ රාජ්‍ය මූල්‍ය පාලන කොන්දේසි හරහා ක්‍රියාත්මක වෙයි. එනම්, රාජ්‍ය වියදම, ආදායම සහ ණය ආශ්‍රිත සීමාවන් ය.

  • එහෙත්, ඉහත දැක්වූ ආර්ථික සමතුලිත මොඩලයෙහි රාජ්‍ය අයවැය හිඟය පියවීම සඳහා පෞද්ගලික අංශයෙන් ඉතුරුම් සම්පත්  රැස් කෙරෙන බව දැක්වෙයි. මෙහි දී, එය අසත්‍ය වෙයි. ඊට හේතුව, බැංකු විසින් මුදල් මැවීම හරහා රාජ්‍ය අයවැය හිඟය පියවීමට අවශ්‍ය ණය මුදල් සැපයීම යි.

මුදල්, විදේශ වෙළෙඳ හිඟය සහ විනිමය අනුපාතය 

  • රටේ මුදල් සැපයුම ප්‍රසාරණය වන විට, ඉන් ආනයන ඉල්ලුම ඉහළ යන බවත්, එමගින්, රටෙහි විදේශ ගෙවුම් හිඟය ඉහළ යාම හරහා විදේශ මුදල් හිඟයක් හට ගැනීම තුළින් විනිමය අනුපාතය ඉහළ යන බවත් විශ්වාස කෙරේ. මෙහි දී, ආනයන සඳහා බැංකු ණය සැපයීම තුළින් මුදල් සැපයුම ඉහළ යාම ද සිදු වෙයි. විනිමය අනුපාතය ඉහළ යාම හේතු කොට ආනයනවල දේශීය පිරිවැය සහ මිල ගණන් ඉහළ යාම තුළින් උද්ධමනකාරී තත්ත්වයක් ද හට ගැනේ. 

  • එබැවින්, විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා විදේශ ණය ලබා ගැනීම තුළින් මහ බැංකු විදේශ සංචිතයක් පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කෙරේ. ඊට අමතරව, ආනයන සහ විදේශ විනිමය ගෙවුම් ගනුදෙනු පාලනය කිරීම ද සිදු කෙරේ. අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්තිවල අරමුණ විදේශ විනිමය ඉපැයුම් ඉහළ දැමීම තුළින් විදේශ ගෙවුම් හිඟය පහළ දැමීමත්, විදේශ සංචිතය වර්ධනය කිරීමත් හරහා විනිමය අනුපාතය ආරක්ෂා කිරීම යි. මෙම ප්‍රතිපත්ති විදේශ අංශ සමතුලිත ප්‍රතිපත්ති ලෙස සැලකෙයි

ඉරාන යුධ අර්බුදයෙන් ආර්ථිකය ස්ථායිකරණය සඳහා භාවිතා කෙරෙන ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති සංයෝගය
    ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ඕනෑම ආර්ථික අර්බුදයක් වැලැක්වීම හෝ කළමනාකරණය සඳහා කෝකටත් තෛලය ලෙස භාවිතා කෙරෙන්න ඉහත දැක්වූ පරිදි සමස්ත ඉල්ලුම් කළමනාකරණය හෝ සංකෝචනය සඳහා වූ මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශ ප්‍රතිපත්තීන් ය. 

    එබැවින්, ඉරාන යුද්ධයෙන් අපේක්ෂිත ගෝලීය උද්ධමනය සහ සැපයුම් අවහිරතාවයන්ගේ බලපෑමට ප්‍රතිචාර ලෙස ද එම ප්‍රතිපත්ති සංකලනයක් භාවිතා කෙරෙන බව දැකිය හැකිය. ඊට ප්‍රචලිත නිදසුන් කිහිපයක් පහත දැක්වෙයි.

  • රජය විසින් ක්ෂණිකව ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීම. ඉහළ මිල ගණන් හේතු කොට ඒවායේ ඉල්ලුම සහ පරිභෝජනය පහළ යාම හරහා විදේශ අංශ අසමතුලිතතාවයට පිළියමක් ලෙස අපේක්ෂා කෙරේ. එනම්, විදේශ ගෙවුම් හිඟය සහ විනිමය අනුපාතය කෙරෙහි ඇති පීඩනය ළිහිල් කිරීම යි. එහෙත්, විදේශ බලශක්ති මිල ගණන් ඉහළ යාම තුළින් රටට ආනයනය කෙරෙන උද්ධමනය මෙම දේශීය බලශක්ති මිල ගණන් ඉහළ දැමීම තුළින් තවත් වට කිහිපයකින් ඉහළ යනු ඇත.

  • මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. මෙය, හේතුව කුමක් වුවත්, උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකය පුරා මහ බැංකු විසින් අනුගමනය කෙරෙන ප්‍රතිපත්තිය යි. මින් ණය සහ මුදල් සැපයුම පහළ ගොස්, ආර්ථිකයෙහි සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ යාම තුළින් උද්ධමනය පහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. එබැවින්, ලෝකය පුරා මහ බැංකු විසින් ළඟදීම මෙම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ඇත.

  • රාජ්‍ය අයවැය හිඟය පහළ දැමීම. මේ සඳහා රාජ්‍ය වියදම් සහ සහනාධාර කැපීම සහ බදු ඉහළ දැමීම සිදු කෙරේ. එමගින්, ආර්ථිකයේ සමස්ත වියදමෙහි අඩංගු රාජ්‍ය පරිභෝජන සහ ආයෝජන වියදම අඩු කිරීම අපේක්ෂා කෙරේ. අයවැය හිඟය පාලනය කිරීම තුළින් ණය සහ මුදල් සැපයුම පාලනයට ද අවස්ථාව ලැබෙන බව විශ්වාස කෙරේ.

  • විනිමය අනුපාතය ඉහළ යාමට ඉඩ හැරීම. මේ දිනවල බොහෝ රටවල මහ බැංකු විසින් තම විදේශ මුදල් සංචිතය වෙළෙඳපොළට අළෙවි කිරීම හරහා විනිමය අනුපාතය ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම දැකිය හැකිය. ආනයනවල විදේශ මිල ගණන් ඉහළ යාම සහ විදේශ ආයෝජන හදිසියේ ඉවත්ව යාම හේතු කොට විදේශ ගෙවුම් හිඟය ඉහළ යාම තුළින් විනිමය අනුපාතය ඉහළ යාම සිදු වෙයි. එහෙත්, එය වැලැක්වීම සඳහා විදේශ මුදල් සංචිතය ප්‍රමාණවත් නොවන බැවින් විනිමය අනුපාතය ඉහළ දැමීමට සිදු වනු ඇත. ඒ හේතු කොට ඇති වන දේශීය මිල ගණන් ඉහළ යාම තුළ, දේශීය ඉල්ලුමෙහි අඩංගු ආනයන ඇතුළු සමස්ත ඉල්ලුම පහළ යාම අපේක්ෂා කෙරේ.

  • ආනයන සීමා කිරීම සහ තීරු බදු ඉහළ දැමීම. මෙමගින්, විදේශ ගෙවුම් හිඟය සහ විනිමය අනුපාත පීඩනය පහළ දැමීම හරහා උද්ධමන පීඩනය පහළ දැමීම අපේක්ෂා කෙරේ.

  • විදේශ විනිමය ගෙවුම් සීමා කිරීම, විදේශ මුදල් ලැබීම් ප්‍රවර්ධනය, කෙටි කාලීන විදේශ මුදල් හුවමාරු ගිවිසුම් සහ භාණ්ඩ ආනයන ණය ගිවිසුම්. මේ මගින් විදේශ ගෙවුම් හිඟය සහ සංචිතය පාලනය කිරීම හරහා විනිමය අනුපාතය අරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.

  • අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සලාකයන්, මිල පාලනයන් සහ සහනාධාර සැපයීම. මෙය දේශීය උද්ධමනය පහළ දැමීමේ වෙළෙඳපොළ නියාමන ප්‍රතිපත්තියකි

ශ්‍රී ලංකාව වැනි බොහෝ දියුණු වන රටවල ආර්ථිකයන් ආනයන සහ කෙටි කාලීන විදේශ ණය/ආයෝජන මත රැඳී පවතින බැවින් ඉරාන යුද්ධය සහ බලශක්ති හිඟය වැනි බාහිර අර්බුදයන්ට ඇති විවෘතතාවය සහ අවදානම් ඉතා ඉහළ වෙයි. එබැවින්, කාර්යක්ෂම දිගු කාලීන විදේශ අංශ සමතුලිත ප්‍රතිපත්ති නොමැතිව මෙවැනි අර්බුදයන්ගෙන් ආර්ථිකය ස්ථායිකරණය කිරීම පහසු නොවේ. 

ඉල්ලුම් කළමනාකරණ මිථ්‍යාව සහ එහි සමාජ ආර්ථික ආදීනව

ඉහත දැක්වූ මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශ ප්‍රතිපත්ති මෙවලම් කිසිවක් ආර්ථිකයෙහි නිෂ්පාදන සහ සැපයුම ප්‍රවර්ධනයට හෝ ඒ කෙරෙහි බලපාන අහිතකර සාධක මැඩලීම ඉලක්ක නොකෙරේ. මෙවැනි අර්බුදයක් දී, නිෂ්පාදනය සහ සැපයුම පහළ බැසීම සාමාන්‍ය සිද්ධියකි. 

එම තත්ත්වය තුළ ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම පහළ දැමීම තුළින් ආර්ථිකය තවත් සංකෝචනය වී, උද්ධමනකාරී පීඩනය තවත් ඉහළ යනු ඇත. රාජ්‍ය වියදම් කැපීම සහ බදු ඉහළ දැමීමේ අහිතකර බලපෑම තුළින් ගුණාකාර ලෙස ආර්ථිකය සංකෝචනය වනු ඇත. සමස්තයක් ලෙස මෙම ප්‍රතිපත්ති මොඩලයෙහි සමාජ ආර්ථික ආදීනව කාණ්ඩ කිහිපයකි.

  • රැකියා සහ ආදායම් හිඟය සහ උද්ධමනය තුළින් බහුතර වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය කඩා වැටීම.

  • වෙළෙඳපොළවල් පාලනය කෙරෙන රාජ්‍ය අනුග්‍රහය ලත් ව්‍යාපාරික පංතියේ ධනය ඉහළ යාම හරහා ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉහළ යාම.

  • උද්ධමනකාරී ආර්ථික අවපාතය කාලයක් පුරා පැවතීම හේතු කොට කල් පවතින දේශපාලනික අස්ථායිතාවයක්  හට ගැනීම.

  • ඉහළ පිරිවැය සහ මිල ව්‍යුහයක ආර්ථික ධාරිතාවය සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් නැවත ගොඩ නැගීමට බොහෝ කල් ගැනීම.

එබැවින්, සමස්තයක් වශයෙන් ඉහත දැක්වූ ඉල්ලුම් සංකෝචනාත්මක ආර්ථික ස්ථායිකරණ මොඩලය බොහෝ අතාත්වික උපකල්පයන් මත පදනම් වෙයි. ඉන් කිහිපයක් පහත දැක්වෙයි.
  • මුදල් නොමැති පැරණි ආර්ථික සමතුලිත මොඩලයක බාහිර මුදල් තුළින් ආර්ථික අස්ථායිතාවය හෝ අර්බුදයන් කළමනාකරණය කිරීම පිළිබඳ ව න්‍යායාත්මක පදනමක් නොමැත.

  • රාජ්‍ය මුදල් මත ක්‍රියාත්මක වන නූතන මුදල් ආර්ථිකයන්ගේ සැබෑ ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය ආර්ථික දායකත්වය සැලකිල්ලට ගෙන නොමැත. රාජ්‍ය වියදම් හේතු කොට ජනිත වී ඇති මුදල් තොගය, රාජ්‍ය වත්කම් තොගය සහ පෞද්ගලික වත්කම් තොගය (රාජ්‍ය ණය ඇතුළු) පිළිබඳ ව කිසිම අවධානයක් යොමු නොකොට, අයවැය හිඟය කැපීමට යෝජනා කෙරේ.

  • නූතන රාජ්‍ය මුදල් ආර්ථිකයන්හි රජයන් විසින් මුදල් මුද්‍රණය හරහා වියදම් කරන අතර බදු සහ රාජ්‍ය ණය යනු එම මුදල්වලින්  කොටසක් උද්ධමනය සහ සේවා වියුක්තිය පාලනය කිරීම සඳහා ප්‍රතිචක්‍රීය කිරීමේ මෙවලම් ය. එනම්, බදු සහ ණය යනු රාජ්‍ය වියදම් පියවීමේ මූලයන් නොව, ආර්ථිකයෙන් මුදල් අවශෝෂණ කෙරෙන මෙවලම් ය. එබැවින්, රාජ්‍ය බැංකු ගිණුමෙහි රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් රැස් වී ඇති බවට (රජයේ රුපියල් සංචිත) කෙරෙන ප්‍රකාශය පදනම් විරහිත ය. මහ බැංකු සහ බැංකු මුදල් මැවීම හුදෙක් රාජ්‍ය මුදල් මත සිදු වන රාජ්‍ය නියෝජිත කාර්යයක් වන අතර මුදල් සැපයුම පාලනය කිරීමේ ස්වාධීන බලයක් ඔවුන් වෙත නොමැත. ඊට හේතුව, රටක මුදල් සැපයුම රාජ්‍ය වියදම් පරිමාව මත තීරණය වන අතර සමස්ත ඉල්ලුම කළමනාකරණය සඳහා රාජ්‍ය වියදම් සංකෝචනය කිරීමක දී, රටේ දැඩි මුදල් හිඟයක් හට ගෙන ආර්ථිකය අවපාතයකට මුහුණ දෙනු ඇත. (නූතන රාජ්‍ය මුදල් බලය පිළිබඳ ලිපිය මෙතැනින් කියවන්න.) (ලිපිය)

  • පැරණි ආර්ථික සමතුලිත මොඩලයෙහි දැක්වූ පරිදි රාජ්‍ය අයවැය හිඟය පෞද්ගලික අංශයේ ශුද්ධ ඉතුරුම් සහ ගෙවුම් ශේෂ හිඟය මගින් පියවෙන බව අසත්‍යයකි. ඊට හේතුව, සම්පුර්ණ රාජ්‍ය වියදම් මුදල් මුද්‍රණය හරහා පියවීමේ ඒකාධිකාරී මුදල් බලය රජය සතු වීම යි. මහ බැංකුව සහ බැංකු විසින් සිදු කරනුයේ, රජයේ බැංකු නියෝජිතයන් වශයෙන් එම මුදල් මුද්‍රණය පවත්වා ගැනීම යි. බදු සහ රාජ්‍ය ණය යනු රාජ්‍ය වියදම් පියවීම සඳහා මුද්‍රණය කරන ලද මුදල් පරිමාව පාලනය කිරීමේ මෙවලම් දෙකකි. එබැවින්, රාජ්‍ය අයවැය හිඟය හේතු කොට පොලී අනුපාතයන් ඉහළ ගොස්, පුද්ගලික ආයෝජන අධෛර්යමත් වන බව පැවසීම මිථ්‍යා මතයකි.

  • මුලින් දැක්වූ මූර්ත ජාතික ආදායම් සමතුලිතය සහ ඒ ආශ්‍රිත අයවැය හිඟය මූල්‍යකරණය කිරීමේ සංකල්පය [(G - T) = (S - I) + (M - X)] ද නූතන මුදල් ආර්ථිකයන්ට නොගැලපෙයි. ඊට හේතුව, නූතන මුදල් ආර්ථිකයන්හි රාජ්‍ය අයවැය යනු මුදල් මුද්‍රණ සහ ගනුදෙනු ක්‍රමවේදයක් වන බැවිනි. නූතන රාජ්‍ය වියදම් හරහා ආර්ථිකයේ විවිධ අංශ වෙත මුදල් ව්‍යාප්ත කිරීම තුළින් ආර්ථිකයෙහි ඉල්ලුම මෙන්ම සැපයුම් අංශය ද වර්ධනය කළ හැකිය. එනම්, ස්වාභාවික සම්පත් උපයෝජනය සහ නිෂ්පාදන ධාරිතාවය  සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන සාධකයක් ලෙස මුදල් දායක වන බව යි. 

  • එබැවින්, මුදල් ආශ්‍රිත උද්ධමන මතවාදය සාවද්‍ය එකකි. මුදල් යනු අනෙක් නිෂ්පාදන සාධක මෙන් මූර්ත ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදන සාධකයකි. මෙහි දී, නූතන මුදල් හේතු කොට ආර්ථිකයන්හි සැපයුම් අංශය සහ ඉල්ලුම් අංශය අතර තත්කාලීන අන්තර් සබඳතාවයක් ඇති වී ඇති අතර ඉල්ලුම සහ සැපයුම අතර කාල පමාව ඉවත් වී ඇත. එබැවින්, ආර්ථික විද්‍යාඥයන් විසින් සැපයුම් අංශය සහ ඉල්ලුම් අංශය ලෙස ආර්ථිකය වෙන් කොට, නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති විග්‍රහ කිරීමේ ක්‍රමවේදය යල් පැන ගොස් ඇත.

  • මෙවැනි ආර්ථික කම්පනයක දී, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට හේතුව අධි ඉල්ලුම නොව, නිෂ්පාදකයන් සහ සැපයුම් කරුවන් විසින් ඒකාධිකාරී ලෙස සිදු කරන සමපේක්ෂණ මිල ඉහළ දැමීම යි. උදාහරණ ලෙස රජය විසින් ඉන්ධන සහ ගෑස් මිල ගණන් පසුගිය දා ඉහළ දැමීම දැක්විය හැකිය. එය සැපයුම් හෝ පිරිවැය උද්ධමනය ලෙස හැඳින් වෙන අතර මහ බැංකු මුදල් ප්‍රතිපත්තිවලට එය පාලනය කළ නොහැකි බව දැක්වෙයි. එහෙත්, මහ බැංකුවලට පාලනය කළ  හැකි උද්ධමන සාධක පිළිබඳ ව කිසිම පිළි ගැනීමක් නොමැති බැවින් හුදෙක් මතවාදී ලෙස උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැත. පොලී අනුපාතය ඉහළ යාම තුළින් සිදු වන එකම ප්‍රතිඵලය වන්නේ, ඉහළ පොලී පිරිවැය මගින් නිෂ්පාදන පිරිවැය සහ මිල ගණන් ඉහළ යාමත්, මූල්‍ය ආයෝජකයන් ලබන ඉහළ පොලී ආදායම මගින් ඉල්ලුම ඉහළ යාමත් තුළින් මිල ගණන් සහ උද්ධමනය තවත් ඉහළ යාම යි. එසේම, ගෝලීය මහ බැංකු ඉතිහාසය දෙස බලන විට උද්ධමනය පාලනය ඇතුළු කිසිම මහ බැංකු අරමුණු ඉටු කිරීමට මහ බැංකු අසමත් වන බව කලින් කලට රටවල සහ කලාපවල හට ගන්නා ආර්ථික, බැංකු, විදේශ මුදල් සහ මූල්‍ය අර්බුදවලින් පැහැදිළි ය.
එබැවින්, උක්ත ආර්ථික සමතුලිත මොඩලය තුළ කෙරෙන ඉල්ලුම් පාලනය තුළින් බහුතර මහජනයාගේ සුබසාදනය පිණිස ආර්ථිකයන් ස්ථායිකරණය වන බවට අපේක්ෂා කළ නොහැකිය. ඊට හේතුව, මෙම ප්‍රතිපත්ති මගින් ආර්ථිකයෙහි මිල ගණන් සහ ජීවන වියදම ඉහළ යාම, භාණ්ඩ හා සේවා හිඟය සහ සේවා නියුක්තිය සහ කුටුම්බ ආදායම පහළ යාම යි. එනම්, ආර්ථිකයෙහි උද්ධමනකාරී අවපාත තත්ත්වයක් හට ගැනීම යි.

උද්ධමනකාරී ආර්ථික අවපාත තත්ත්වයන් වැලැක්වීම සඳහා ආර්ථික ප්‍රසාරණ ප්‍රතිපත්ති නිර්දේශය 

ඉහත දැක්වූ ඉල්ලුම් පාලන ප්‍රතිපත්තිවල ආදීනව සහ මිථ්‍යා මතවාදය සැලකීමේ දී, රජය විසින් මෙම අර්බුදකාරී අවස්ථාවේ දී කළ යුත්තේ, එම පැරණි න්‍යායවාදී මිථ්‍යා මතවාදය ඉවත ලා, නූතන රාජ්‍ය මුදල් මුද්‍රණ බලය භාවිතා කොට, ආර්ථිකයෙහි දේශීය නිෂ්පාදන සහ සැපයුම් ධාරිතාවය සහ පරිමාව වර්ධනය කිරීම යි. 

එය, ආනයන සහ විදේශ ණය මත ආර්ථිකයෙහි දැඩි රැඳීම අඩු කොට, අපනයන ඇතුළු දේශීය නිෂ්පාදනය ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ ආර්ථික අංශ කෙරෙහි යොමු විය යුතුය. ඊට හේතුව, මෙම අර්බුදය තුළින් ආර්ථිකය උද්ධමනකාරී ආර්ථික අවපාතයකට තල්ලු වන බැවිනි. එබැවින්, උද්ධමනය පාලනය කෙරෙන අතර ආර්ථිකය වර්ධනය කෙරෙන ප්‍රතිපත්ති කට්ටලයක් ක්‍රියාත්මක කළ යුතුය.

  • ඒ සඳහා ආර්ථිකයෙහි ප්‍රමුඛ අංශයන් වර්ධනය කෙරෙන රාජ්‍ය වියදම් වර්ධනය, බලශක්ති ඇතුළු පාරිභෝගික සහ නිෂ්පාදන සහනාධාර සැපයීම, බදු පහළ දැමීම සහ පොලී අනුපාතයන් පහළ දැමීම අවශ්‍ය වනු ඇත. එනම්, මහජනතාවගේ රැකියා, ආදායම් සහ ජීවන වියදම/තත්ත්වය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කයන් මත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යි.

  • හදිසි විදේශ මුදල් ණය ගැනීම හරහා විදේශ සංචිතය සහ විනිමය අනුපාතය ආරක්ෂා කිරීම එතරම් යෝග්‍ය ප්‍රතිපත්ති මෙවලමක් නොවේ. ඊට හේතුව, විනිමය අනුපාතය ඉහළ යාමට ඉඩ නොදී, ආනයන ආදේශනය සහ විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ශනය අපහසු වන බැවිනි. එනම්, විනිමය අනුපාතය අතාත්වික ලෙස පහළ මට්ටමක පාලනය කිරීම යනු ආර්ථිකය විදේශ ණය සහ ඩොලර්කරණයේ අඛණ්ඩව හිර කර තැබීමකි. ආර්ථිකය මෙවැනි ගෝලීය ආතතීන්ට මෙතරම් විවෘත වීමේ මූලය වනුයේ එම විනිමය අනුපාත ප්‍රතිපත්තිය යි.

  • එහෙත්, මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් දිගු කාලීන මහජන හිතසුව පිණිස පාලනය කිරීමට රාජ්‍ය අධිකාරීන් අපොහොසත් වන බවත්, දැනටමත් සුපුරුදු කාර්යාල ලිපි ගොනුවල අඩංගු න්‍යාය වාදී ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති අපහසුවකින් තොරව කඩිමුඩියේ ක්‍රියාත්මක කරන බවත් සාමාන්‍ය අත්දැකීම යි. නව දැනුම මත නව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දෙන අපහසුකම් සහ දුෂණ චෝදනාවන් හේතු කොට කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවනු ඇත.

  • තව ද, 2022 ආර්ථික අර්බුදය ආරම්භයේ දී අනුගමනය කළ මුදල් මුද්‍රණය හරහා රාජ්‍ය වියදම් ඉහළ දැමීම, බදු පහළ දැමීම සහ විදේශ මුදල් සංචිතය භාවිතයෙන් විනිමය අනුපාතය ආරක්ෂා කිරීම වැනි ප්‍රතිපත්ති මෙවලම් නීති විරෝධී බවට තීරණය වී ඇති බැවින් වත්මන් අර්බුදය හමුවේ ඒවා භාවිතා කිරීමට අදාළ රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවනු ඇත. එබැවින්, රජය විසින් අර්බුද ආවේක්ෂණ සහ උපදේශක විද්වත් මණ්ඩල කොපමණ පත් කළ ද, ආර්ථික ප්‍රතිපත්ති වගකීම ඇති ව්‍යවස්ථාපිත නිලධාරීන් විසින් අදාළ ප්‍රතිපත්ති යුහුසුළුව ක්‍රියාත්මක නොකළ හොත්, අර්බුදයේ සමාජ ආර්ථික ආදීනව පොදු මහජනයාගේ ජීවන තත්ත්වය පිටින් යනු ඇත. මෙහි දී, එම නිලධාරීන්ට කඩිනමින් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාර්යාල පහසුකම් සහ පරිසරය ප්‍රමාණවත් ලෙස පවතී ද? යන්න ගැටළුවකි. ඒ බව මෑත දී බොහෝ රටවල් මුහුණ දී ඇති ආර්ථික අර්බුදවලින් මනාව පැහැදිළි වෙයි.

සමස්තයක් ලෙස කුමන රජයන් විසින් කුමන ප්‍රතිපත්ති කට්ටලයක් ක්‍රියාත්මක කළ ද, එය හුදෙක් දේශපාලනික ක්‍රියාවලියකි. ඊට හේතුව, ආර්ථික අර්බුදයන් නිරාකරණය කෙරෙන ආර්ථික විද්‍යාවන් නොමැති බැවිනි. ඒ බව, විවිධ ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන විවිධ අදහස්වලින් පැහැදිළි වෙයි. බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් රජයට ඉලක්කම් සහිත අනතුරු ඇඟවීම හැර අර්බුද කළමනාකරණ මෙවලම් පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කිරීම දැකිය නොහැක. එසේම, මෙවැනි අර්බුදයන්ගෙන් පසු රාජ්‍ය පාලක පක්ෂයට ගෙදර යාමට සිදු වන බව ද සාමාන්‍ය අත්දැකීම යි

එබැවින්, ලිපි ගොනුවල පවතින ඉල්ලුම් පාලන මතවාදය හැර වෙනත් නව්‍යශීලී ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීමේ කිසිම අවදානමක් ගැනීමට කිසිම රජයක් ඉදිරිපත් නොවනු ඇත. උදාහරණ ලෙස රජය සතු රුපියල් ට්‍රිලියනයක සංචිතය මගින් මෙම අවස්ථාවේ දී අඩු ආදායම් පවුල්වල ජීවන වියදම පහළ දැමීමේ මිල සහනාධාර සැපයීමට හෝ රාජ්‍ය ණය පොලී අනුපාතයන් පහළ දැමීමට හෝ භාවිතා කළ හැකි වුව ද, එවැනි අදහස් ඉදිරිපත් වී නොමැත. 

එබැවින්, 2022 අර්බුදයට පසුව රජය විසින් නැවත වරක් මිථ්‍යා ඉල්ලුම් පාලන මතවාදය තුළින් ආර්ථිකය සහ ජීවන තත්ත්වය හැකිළීම වැලැක්වීමට ඉරාන යුද්ධය ඉක්මනින් නිම වේවා යි පැතීම හැර වෙනත් විකල්පයක් මහජනතාවට නොමැත.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, පළමු ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ පළමු මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ නිලධාරී, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

ඔබේ මුදල් ආයෝජන සොරුන්ගෙන් රැක ගන්නේ කෙසේ ද? - මූල්‍ය සාක්‍ෂරතාවය VI කොටස