ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මෙල්ල කරමු. මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට නොරැවටෙමු.
ලිපියේ අරමුණ සහ පසුබිම
මේ දිනවල මහ බැංකු රැසක් විසින් ඉරාන යුද්ධය හේතු කොට උද්ධමනකාරී තත්ත්වයක් හට ගත හොත් පොලී අනුපාතයන් ඉහළ දැමීමට සිදු වන බවට ඉඟි පළ කොට ඇත. සමහර මහ බැංකු විසින් තම රටවල උද්ධමනය දැනට ඉලක්කයට වඩා බොහෝ පහළ මට්ටමක පවතින බැවින් මෙම ගෝලීය උද්ධමනය දරා ගැනීමේ හැකියාවක් පවතින බවට ද ප්‍රකාශ කොට ඇත.
එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ඉරාන යුද්ධයට ප්‍රතිචාර ලෙස මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීමේ අයෝග්‍යතාවයත්, ඊට විකල්පව ආර්ථිකයන් සහ ජන ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය මුදල් බලය භාවිතා කළ යුතු ආකාරයත් පිළිබඳ ව අදහසක් ඉදිරිපත් කිරීම යි. ආර්ථික කළමනාකරණය පිළිබඳ ව ලිපිය මෙහි සම්බන්ධ කොට ඇත. (ලිපිය)
මෙම ලිපිය මගින් හුදෙක් සංඛ්‍යා විශ්ලේෂණයකින් සහ ඉරාන යුද්ධය ආශ්‍රිත කිසිම භූ දේශපාලනික ඇගයීමකින් තොර මතු පිට කියවීමක් පමණක් ඉදිරිපත් කෙරේ.
ඉරාන යුද්ධය සහ අපේක්ෂිත ගෝලීය උද්ධමන රැල්ල
ඉරාන යුද්ධය හේතු කොට ගෝලීය බලශක්ති මිල ගණන් සහ සැපයුම් දාමයන් අවහිර වීම තුළින් ලෝකය පුරා මිල ගණන් ඉහළ යන බව පොදු දැනුමකි. ඉහළ යන මිල ගණන්වලට මුහුණ දීම සඳහා වැටුප් ඉල්ලුම ඉහළ යාම තුළින් දෙවැනි වටයේ උද්ධමනයක් හට ගැනීම ද සාමාන්‍ය අපේක්ෂණයකි. එමගින්, මිල-වැටුප් දඟරය හරහා කල්පවතින උද්ධමනකාරී පීඩනයක් හට ගන්නා බව පැරණි ආර්ථික විද්‍යා මතය යි.
ඉරාන යුද්ධයේ දිගු කාලීන සංස්කෘතික සහ භූ දේශපාලනික පදනම දෙස බලන විට, මෙම යුද්ධයේ ඉක්මන් අවසානයක් සහ එමගින් ගෝලීය සැපයුම් දාමයන් ප්‍රකෘති වීමක් පිළිබඳ ව දින වකවානු පුරෝකථනය කිරීම අපහසුය. එබැවින්, දිගු කාලීන ගෝලීය උද්ධමන රැල්ලක් අපේක්ෂා කිරීම තාත්වික හැසිරීමකි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ තෙල් සහ ගෑස් මිල ඉහළ යා යුතු නම්, එය සිදු විය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ගෝලීය උද්ධමන අවදානම පැහැදිළි වෙයි.
එබැවින්, ගෝලීය උද්ධමන රැල්ල සහ එමගින් ඇති විය හැකි සමාජ ආර්ථික අනර්ථය පිළිබඳ ව සෘණාත්මක දැක්මකින් විසඳුම් සෙවීම වඩාත් හිතකර වෙයි. එසේ නැතිව ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික අපහසුකම් පිළිබඳ ව මහජනයාට අනතුරු ඇඟවීමෙන් ඵලක් නොවන අතර මහජනයා විසින් විවිධ සමපේක්ෂණයන් මත හදිසි ප්‍රතිචාර දැක්වීම හේතු කොට ආර්ථික කළමනාකරණ සහ ස්ථායිකරණ කාර්යය රජයෙන් ගිලිහී යාමට ද හැකියාව පවතී.
උද්ධමනයට මහ බැංකු පොලී ප්‍රතිකාරය
ලෝකය පුරා මහ බැංකු විසින් භක්තියෙන් පිළි පදින මුදල් මතවාදය වන්නේ, උද්ධමනය යනු සැම විට සැම තැන ආර්ථිකයෙහි නිපදවෙන භාණ්ඩ හා සේවා සැපයුමට වඩා මුදල් සංසරණය හෝ සැපයුම ඉහළ යාමේ ප්‍රතිඵලය බව යි. එනම්, එම අතිරික්ත මුදල් හරහා භාණ්ඩ හා සේවා ඉල්ලුම හෝ වියදම ප්‍රසාරණය වීමෙන් මිල ගණන් ඉහළ යාම යි. උද්ධමනය යනු මිල ගණන් ඉහළ යාමේ වේගය යි.
එබැවින්, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවල කෝකටත් තෛල ප්‍රතිකාරය වන්නේ, භාණ්ඩ හා සේවා සැපයුමට සරිලන ලෙස ඉල්ලුම කැපීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් මුද්‍රණය පහළ දැමීම යි.
මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ට අනුව එසේ පොලී අනුපාතයන් ඉහළ දැමූ විට, බැංකු ණය ඉල්ලුම පහළ යාම හේතු කොට මුදල් සැපයුම සහ වියදම පහළ යාම තුළින් මිල ගණන් ඉහළ යාම අඩාල වනු ඇත. ඊට හේතුව, ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම සහ වියදම පහළ යාම යි. මහ බැංකු උද්ධමන පාලන පිටකවරය එය යි.
එහෙත්, කොතරම් ප්‍රමාණයකින් කොතරම් කාලයක් එසේ පොලී අනුපාතයන් ඉහළ දැමිය යුතු ද? යන්න කිසිම ඇස්තමේන්තුවක් කිසිම මහ බැංකුවකට නොමැත. මහ බැංකුවලට බොහෝ ස්වාධීනව ගිණුම් සටහන් මගින් මුදල් මුද්‍රණය කොට රජයට සහ බැංකුවලට ණය දීමේ ඒකාධිකාරය පවතින බැවින් එම ණය සඳහා අය කරන පොලී අනුපාතයන් තීරණය කිරීම ඉතා සරල කාර්යයකි.
එබැවින්, මහ බැංකු විසින් කෙරෙන උද්ධමනය පාලනය යනු උද්ධමනයට හේතු වන භාණ්ඩ හා සේවා මිල ගණන් පාලනය කිරීම නොව, ඊට හාත්පසින් වෙනස් වක්‍ර අද්භූත ආර්ථික කථාන්දරයකි. එබැවින්, ඉදිරියේ දී ලෝකය පුරා මහ බැංකු විසින් ඉරාන යුද්ධය අවසන් වන තෙක් සුපුරුදු පරිදි පොලී අනුපාතයන් ඉහළ දමා පවත්වා ගෙන යාමේ පෙළඹුමක් අපේක්ෂා කළ හැකිය.
මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීමේ අනිටු ආර්ථික ප්‍රතිවිපාකයන්
- නූතන ණය මත පදනම් වූ මුදල් ආර්ථිකයන්හි පොලී අනුපාතයන් යනු නිෂ්පාදන පිරිවයේ ප්‍රධාන සංරචකයකි. එබැවින්, ඉහළ යන පොලී අනුපාතයන් හරහා භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් උද්ධමනය තවත් ඉහළ යනු ඇත. ඊට හේතුව, නූතන නිෂ්පාදන ක්‍රියාකාරකම් පොලී අනුපාතයන්ට සංවේදී නොවීම යි. එනම්, මිල-වැටුප්-පොලී ලෙස උද්ධමන දඟරය ප්‍රසාරණය වනු ඇත.
- ආර්ථිකයෙහි භාණ්ඩ හා සේවා මිල ගණන් තීරණය කෙරෙන්නේ, මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් විසින් විශ්වාස කරන පරිදි වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව නොව, වෙළෙඳපොළවල් පාලනය කෙරෙන නිෂ්පාදකයන් සහ සැපයුම් කරුවන් විසිනි. ඒවා ඉල්ලුම් කරුවන් විසින් එම මිල ගණන්වලට මිල දී ගත යුතු අතර කේවල් කිරීමේ ශක්තියක් ඔවුන් වෙත නොමැත. එබැවින්, ඕනෑම බාහිර සාධකයක පිරිවැය බලපෑම නිෂ්පාදකයන් විසින් මිලට එකතු කරනු ඇත. පිරිවැය පහළ යන විට මිල ගණන් පහළ නොදැමීමට හේතුව ඔවුන් සතු නිෂ්පාදන ඒකාධිකාරය යි. වෙළෙඳපොළ පාලනය කරන ප්‍රධාන නිෂ්පාදකයන් රාජ්‍ය අනුග්‍රහය ලබන පිරිසක් වන බැවින් ඔවුන්ගේ මිල ගණන් පාලනය කිරීමට රජයට ද හැකියාවක් නොමැත.
- ශ්‍රී ලංකාව වැනි ආනයන සහ ඩොලරය මත ජීවත් වන බොහෝ රටවල් මෙවැනි අවස්ථාවල මුහුණ දෙන උද්ධමනයට ප්‍රධාන හේතුව ආනයන විදේශීය මිල ගණන් සහ දේශීය ඩොලර් විනිමය අනුපාතය ඉහළ යාම යි. මෙම රටවල් සතු ඩොලර් සංචිතය ඉතා සුළු ප්‍රමාණයක් බැවින් විනිමය අනුපාතය ආරක්ෂා කිරීමේ හැකියාවක් නොමැත. මේ දිනවල ඉන්දියාව විසින් තම විශාල ඩොලර් සංචිතයෙන් (ඩොලර් බිලියන 728 ක් පමණ) බිලියන ගණනක ඩොලර් මුදල් බැංකු වෙත නිකුත් කොට විනිමය අනුපාතයේ ඉහල යාම පාලනය කෙරෙන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව වැනි රටවල ඩොලර් සංචිතය තුළ පවතින කෙටි කාලීන විදේශ වෙළෙඳපොළ ආයෝජන මෙවැනි අවස්ථාවල ඉවත්වීම හේතු කොට ද ඩොලර් සංචිතය හදිසියේ පහළ යනු ඇත.
- මහ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තිය නිරන්තරයෙන් රාජ්‍ය ණය පොලී අනුපාතයන් හරහා ක්‍රියාත්මක වීම සිදු වෙයි. එබැවින්, රාජ්‍ය ණය පොලී ඉහළ යාම හේතු කොට අනපේක්ෂිත ලෙස රාජ්‍ය වියදම සහ අයවැය හිඟය ඉහළ යනු ඇත. එය රජය විසින් බදු ඉහළ දැමීමට හේතුවක් වනු ඇත.
- ඉහළ පොලී අනුපාතයන් අනුව බැංකු ණය පොලී අනුපාතයන් සංශෝධනය වීම හේතු කොට පාරිභෝගික සහ ආයෝජන ණය වාරිකයන් ඉහළ යනු ඇත. එමගින්, පාරිභෝගික ජීවන තත්ත්වය සහ ඉල්ලුම පහළ යන අතර ආයෝජන පහළ යනු ඇත. එය ආර්ථිකයෙහි ඉල්ලුම පහළ යාමෙන් සේවා නියුක්තිය, ආදායම සහ වර්ධනය පහළ යනු ඇත. එය බදු ආදායම පහළ යාම තුළින් අයවැය හිඟය සහ මුදල් මුද්‍රණය ඉහළ යාමට හේතු වනු ඇත. ඊට හේතුව, රාජ්‍ය වියදම් සහ මුදල් මුද්‍රණය මහ බැංකු පොලී අනුපාත ප්‍රතිපත්තියට සංවේදී නොවන බැවිනි. එබැවින්, ආරම්භයේ දී IMF ඉලක්කයන් බිඳී ගොස්, රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය හරහා උද්ධමනය තවත් ඉහළ යනු ඇත.
නිරීක්ෂණයන් කිහිපයක්
- සමස්තයක් වශයෙන් මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් ඉරාන යුද්ධයෙන් අපේක්ෂිත මිල ඉහළ යාම් සහ උද්ධමනය පාලනය සිදු නොවනු ඇත. එහෙත්, පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් පිරිවැය ඉහළ යාම හරහා මිල ගණන් තවත් ඉහළ ගොස්, ආර්ථිකයන් දැඩි සංකෝචනයකට සහ ජීවන තත්ත්වය කඩා වැටීමකට ලක්වනු ඇත.
- මීට හොඳම ශ්‍රී ලංකාවේ උදාහරණය 2022 අප්‍රේල් මස මහ බැංකුව විසින් එවක පැවති සැපයුම් සහ පිරිවැය අර්බුදයට පිළියම ලෙස පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ දැමීම තුළින් සිදු වූ ආර්ථික සහ ජීවන කඩා වැටීම යි. එසේම, මහ බැංකුවලට උද්ධමනය හෝ අවධමනය පාලනය කිරීමේ හැකියාවක් පවතින බවට පැරණි මතවාදය හැර කිසිම සැබෑ ලොව සාක්ෂි නොමැත.
- උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ 5% උද්ධමන ඉලක්කයට පහළ අවධමන උපනතිය පාලනය කිරීමට පසුගිය වසර දෙක පුරා මහ බැංකුව අසමත් වී ඇති බවට වාර්තා වෙයි. ඊට හේතුව ලෙස මහ බැංකුව දක්වන්නේ, එම අවධමන පීඩනය සැපයුම් අංශ සාධකවල ප්‍රතිඵලය බවත්, සැපයුම් අංශ උද්ධමන පාලනයට මහ බැංකුවට වගකීමක් නොමැති බවත්, මහ බැංකුව වගකියන්නේ ඉල්ලුම් අංශ උද්ධමන පාලනයට බවත් ය. එබැවින්, අපේක්ෂිත ඉරාන යුද්ධ උද්ධමනය ද බාහිර සැපයුම් සාධක ආශ්‍රිත උද්ධමනයක් වන බැවින් එය මර්ධනය කිරීමට මහ බැංකු පොලී අනුපාතයන්ට හැකියාවක් නොමැත. එබැවින්, උද්ධමන අවධමන පාලනය මෙන්ම ආර්ථික වර්ධනය සහ ස්ථායිකරණය ද රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති මත සිදු වන බවට පර්යේෂණ සාක්ෂි ඕනෑ තරම් පවතී.
- එසේම, ආර්ථිකයක ඉහළ උද්ධමනකාරී කාලයකින් පසුව පහළ මට්ටමක් පැවතීම යනු මහජන ජීවන වියදම පහසු වීමක් නොවේ. ඊට හේතුව, පහළ උද්ධමනය යනු දැනටමත් ඉහළ ගොස් ඇති මිල ගණන්වලම වර්තමාන මිල ගණන් ස්ථායිකරණය වීමත්, ඉහළ මිල ගණන් දැරීමට ප්‍රමාණවත් ලෙස කුටුම්බ ආදායම් ඉහළ නොයාමත් ය.
- එහෙත්, දැනට ශ්‍රී ලංකාවේ 2% ට පහළ උද්ධමනයක් පවතින බැවින් අපේක්ෂිත උද්ධමන රැල්ල ආරම්භයේ දී එය 7% දක්වා ඉහළ යන තෙක් බලා සිටීමේ නිදහසක් හෝ අවකාශයක් මහ බැංකුව සතුව පවතී. එවිට, මහ බැංකුවේ ඥාණාන්විත මුදල් ප්‍රතිපත්තියේ කල්පසු වූ සාදනිය බලපෑම හේතු කොට උද්ධමනය එහි ඉලක්ක 3%-7% පරාසයට ලඟා වූ බව පැවසෙනු ඇත. එසේම, උද්ධමනය යම් හෙයකින් 7% ඉක්මවා ගිය හොත්, එය ඉරාන යුද්ධයේ සැපයුම් සාධක බලපෑම හේතු කොට සිදු වූ බවත්, එය මහ බැංකුවේ පාලනයෙන් තොර බවත්, එම උද්ධමනය තාවකාලික එකක් බවත් පැවසීමේ හැකියාව ද පවතී. ඊට හේතුව, ආර්ථික දිව ඕනෑම පැත්තකට හරවා උද්ධමන කථාන්දරය පැවසිය හැකි බැවිනි.
ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති
ඉහත දැක්වූ කරුනු අනුව මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දමා, උද්ධමනය පාලනය කොට, ආර්ථිකය ස්ථායිකරණය කරන බවට විශ්වාස නොකොට, රාජ්‍ය මුදල් නියාමන බලය පහත සදහන් ලෙස භාවිතා කරන ලෙස නිර්දේශ කෙරේ.
මෙහි දී, ඉරාන යුද්ධයේ ගෝලීය පරිමාව අනුව ක්ෂණික උද්ධමන පීඩනය, සැපයුම් අවහිරතාවන්, සමපේක්ෂණ ඉල්ලුම් ප්‍රසාරණය සහ ආර්ථික සංකෝචනය වැලැක්විය නොහැකිය.
එබැවින්, රජය විසින් කළ යුත්තේ, උද්ධමනය ගැන බිය නොවී, ආර්ථිකයෙහි සැපයුම් අංශය උත්තේජනය කිරීම සහ පිරිවැය පාලනය යි. ඒ සඳහා භාවිතා කළ හැකි ආර්ථික විද්‍යා න්‍යායන් නොමැති අතර අභිමත පරිදි රාජ්‍ය මුදල් මෙවලම් භාවිතා කළ යුතුය.
මෙය මූලික වශයෙන් දේශීය නිෂ්පාදනය උත්තේජනය සහ මිල ගණන් පාලනය කෙරෙන රාජ්‍ය වියදම් ප්‍රසාරණය සහ මුදල් මුද්‍රණයත්, විදේශ මුදල් ගෙවුම් අඩු කොට විදේශ මුදල් ලැබීම් සහ සංචිතය වර්ධනය තුළින් විනිමය අනුපාතය ආරක්ෂා කිරීමත්, ඉලක්ක කොට සිදු කළ යුතුය.
- දේශීය නිෂ්පාදනය සහ අපනයන දිරි ගැන්වෙන අංශ සඳහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය, බදු පහළ දැමීම සහ මුදල් මුද්‍රණය.
- වැට් බදු කැපීම සහ සහනාධාර හරහා බලශක්ති ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් පාලනය කිරීම.
- රාජ්‍ය සුරැකුම්පත් නිකුතුව පහළ දැමීම හරහා නිෂ්පාදන සහ වියදම් සඳහා ආර්ථිකයෙහි පවතින මුදල් ප්‍රමාණය ප්‍රසාරණය කිරීම. මුදල් මුද්‍රණය මගින් අයවැය හිඟය පියවිය හැකි බැවින් රාජ්‍ය ණය ප්‍රසාරණය පහළ දැමිය හැකිය.
- රාජ්‍ය බැංකු හරහා දේශීය කෘෂි සහ වෙළෙඳාම සඳහා සහන දායි ණය සැපයීම.
- අපනයන සහ ප්‍රේෂණ කඩිනමින් රටට ගෙන ඒමේ නියාමනයන් සහ උත්තේජනයන් සැපයීම.
- අත්‍යවශ්‍ය නොවන ආනයන සහ විදේශ ගෙවීම් සීමා කිරීම.
- සමපේක්ෂණ විදේශ මුදල් ගනුදෙනු වැලැක්වීම.
- මිත්‍ර රටවලින් කෙටි කාලීන විදේශ මුදල් තැන්පතු ලබා ගෙන, ඩොලර් සංචිතය සහ විනිමය අනුපාතය රැකීම.
- විදේශීය මුදල් තැන්පතු සඳහා විනිමය අනුපාතයට බද්ධ දේශීය මුදල් තැන්පතු ක්‍රමයක් හඳුන්වා දීම වැනි මෙවලම් හරහා විදේශ මුදල් ප්‍රේෂණ දිරි ගැන්වීම.
- මුදල් හුවමාරු ගිවිසුම් මත බලශක්ති වැනි අත්‍යාවශ්‍ය ආනයන ගිවිසුම් මිත්‍ර රටවල් සමඟ ක්‍රියාත්මක කිරීම.
- ඉන්ධන සලාකය නැවත ක්‍රියාත්මක කිරීම මගින් පරිභෝජනය සහ ආනයන වියදම පාලනය කිරීම.
සමාප්ත සටහන
- පසුගිය දිනක IMF කළමනාකාර අධ්‍යක්ෂක වරිය විසින් පවසන ලද්දේ, ඉරාන යුද්ධය සියළුම රටවල ආර්ථිකයන්හි ඔරොත්තු දීමේ ශක්තිය උරගා බැලෙන පරික්ෂණයක් වන බව යි. එහෙත්, ආර්ථිකයන් පිළිබඳ ව විස්තරාත්මක තොරතුරු IMF සතුව පැවතිය ද, මෙම යුද්ධය හේතු කොට ගෝලීය ආර්ථිකය හෝ රටවල ආර්ථිකයන් කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳ ව කිසිම සංඛ්‍යාත්මක පුරෝකථනයක් ඇය විසින් සිදු නොකරන ලදි.
- මෙවැනි ගෝලීය කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව දෙවියන් විසින් නොසැපයෙ යි. එම ශක්තිය අදාළ කම්පනයන්ට එරෙහි නිසි රාජ්‍ය ප්‍රතිපත්ති මගින් ලබා ගත යුතුය. එය IMF රාජ්‍ය මුදල් ඉලක්කම් වැඩසටහන තුළ කළ නොහැකිය. එසේ නොමැතිව, සාකච්ඡා කරමින් සුබවාදීව බලා සිටීමෙන් සිදු වන්නේ, ආර්ථිකයන් කඩා වැටීම යි. ඊට හේතුව, රටවල් ගෝලීය සැපයුම් සහ භූ දේශපාලනික දාමයන් තුළ ක්‍රියාත්මක වන බැවින්, එම සැපයුම් දාමයන් අවහිර වීමේ දී හෝ බිඳී යාමේ දී, රටවල ආර්ථිකයන් ද අර්බුදයට පත් වීම යි. මේ සඳහා නිදසුන් ලෙස පසුගිය 2020/21 ගෝලීය කොරෝනා වසංගත අර්බුදය ඇතුළු ගෝලීය කම්පනයන් රැසක් ඉදිරිපත් කළ හැකිය.
- එසේම, ඉරාන යුද්ධය ආශ්‍රිත භූ දේශපාලනික සංදර්භය සහ ගෝලීය ආර්ථික අස්ථායිතාවයේ පැතිරීම දෙස බලන විට, ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවලට එකවර අවශ්‍ය හදිසි ඩොලර් සැපයුමක් සඳහා දැනට ජනප්‍රිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ IMF ණය වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. යුද්ධය ආශ්‍රිත භූ දේශපාලනික චෝදනාවන් මත සමහර රටවලට එරෙහිව ඇමෙරිකානු සම්බාධක පැනවීම තුළින් එම රටවල ආර්ථිකයන් බිඳී යාමේ අවදානම් ද පවතී.
- එබැවින්, ඉහත යෝජනා කළ පරිදි ශ්‍රී ලංකා ආර්ථික කළමනාකරුවන් විසින් කඩිනමින් අවස්ථානුකුලව නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක නොකළ හොත්, ආර්ථිකය සහ ජන ජීවිතය 2022 දී මෙන් නැවත කඩා වැටීමේ අවදානම ගැන කිව යුතු නැත. එම ප්‍රතිපත්ති හුදෙක් ආර්ථිකයෙහි නිෂ්පාදන සහ වියදම් ප්‍රවාහය උත්තේජනය සහ ඩොලර් සංචිතය ප්‍රවර්ධනය ඉලක්ක කොට, රාජ්‍ය වියදම් සහ මුදල් මුද්‍රණය ප්‍රසාරණය තුළින් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැත.
- එසේ නොමැතිව, සුපුරුදු ලෙස දේශපාලන නායකයන් පමණක් පෝෂණය කළ හැකි මට්ටමට අයවැය සහ ණය සංකෝචනය කොට, මහ බැංකුව විසින් පොලී අනුපාතයන් අහස උසට ඉහළ නංවා උද්ධමනය පාලනය කොට ආර්ථිකය ස්ථායිකරණය කරන බවට බලා සිටිය හොත්, ආර්ථිකයට සහ ජන ජීවිතයට සිදු වන්නේ, දැනට බැදෙන කබලෙන් ලිපට වැටීම යි. එය රජයට ගෙදර යාමේ මාර්ගය විය හැකිය.
(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
Comments
Post a Comment