රජය දිට්වා මුදල් ආධාර පසුපස දිවීම. රාජ්‍ය මුදල් මුද්‍රණ බලය නොදැනීම ද? නැත්නම්, IMF පිටින් ඇඟ බේරා ගැනීමක් ද?
ලිපියේ අරමුණ සහ පසුබිම දිට්වා සුළං කුණාටුව තුළින් පතිත වී ඇති ආර්ථික කුණාටුවෙන් මහජනයා සහ ආර්ථිකය නැවත ගොඩ නැගීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා රජය ඇතුළු සමස්ත මහජනයා විසින් දේශීය සහ විදේශීය මුදල් ආධාර රැස් කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක නිරත වී ඇති බව මාධ්‍යය පුරා පවතින පුවත්වලින් පැහැදිළි ය. ආධාර යනු ආර්ථික විද්‍යාවේ එතරම් ඵලදාවක් හෝ වැදගත්කමක් නොමැති සංක්‍රාම ගනුදෙනුවකි. එනම්, යම් පාර්ශවයක් සතු වත්කමක් හෝ ආදායමක් හෝ ක්‍රය ශක්තියක් කිසිම නව ආර්ථික ඵලදාවක් ජනිත කිරීමකින් තොරව තවත් පාර්ශවයක උපයෝජනය සඳහා ප්‍රදානය කිරීමකි. එනම්, දැනටමත් පවතින ආදායමක් හෝ ඵලදාවක් නැවත බෙදා දීමකි. දිට්වා සුළං කුණාටුවෙන් හට ගෙන ඇති සෘජු සහ වක්‍ර ආර්ථික හානියේ වපසරිය දෙස බලන විට, සංක්‍රාම මගින් ආර්ථිකය සහ ජන ජීවිතය නැවත ගොඩ නැගීමට වෑයම් කිරීම හුදු මායාවකි. ඒ සඳහා රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණ බලය භාවිතා කළ යුතුය. මෙම විෂය ආශ්‍රිතව මීට පෙර පළ කරන ලද ලිපි තුනෙන් ඒ පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කොට ඇත. ඒ බව, නූතන ආර්ථිකයක් ක්‍රියාත්මක වන හෝ කළමනාකරණය කෙරෙන ද්විත්ව සටහන් ගිණුම් පද්ධතිය මගින් තහවුරු වෙයි....