ඇමෙරිකානු මහ බැංකු පොලිය 0.25 කින් කැපීම, අපේ මුදල්වලට බලපාන හැටි. මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 03
ලිපියේ අරමුණ සහ පසුබිම
ඇමෙරිකානු මහ බැංකුව විසින් ඊයේ දින (2025 සැප්තැම්බර් 17), තම පොලී අනුපාතය 4.00%-4.25% දක්වා 0.25 කින් පහළ හෙළීය. එය, පසුගිය වසර දෙසැම්බර් මස 0.25 කින් පහළ දැමීමෙන් පසු කරන ලද පළමු පහළ දැමීම යි.
පොලී අනුපාතය පහළ දමන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අඛණ්ඩව මහ බැංකුවට තර්ජනය කළ ද, යෝජිත නව තීරු බදු ප්‍රතිපත්තිය තුළින් ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ යාමේ අවදානම හේතු කොට මහ බැංකුව විසින් පොලී අනුපාතය ස්ථාවරව තබා ගන්නා ලදි.
මෙම ලිපියේ අරමුණ වනුයේ, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය සෙසු ලෝකයට බලපාන ආකාරය පිළිබඳ කෙටි සටහනක් තැබීම යි. එය, අපගේ මුදල් ගනුදෙනු සඳහා පොලී අනුපාතයන් තීරණය වන ආකාරය පිළිබඳ නිසි දැනුමක් මත මුදල් කළමනාකරණය කර ගැනීමට උපකාරී වෙයි.
ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය යනු කුමක් ද?
මෙය ඇමෙරිකානු අන්තර් බැංකු එක් දින ණය වෙළෙඳපොළ පොලී අනුපාතය තීරණය වීම සඳහා මහ බැංකුව විසින් දෙන ලද ඉලක්ක යි. ඒ අනුව, නව ඉලක්කය 4.00%-4.25% වෙයි.
- අන්තර් බැංකු ණය වෙළෙඳපොළෙහි ගනුදෙනු වන්නේ, සංචිත මුදල් ලෙස හැඳින් වෙන මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද මුදල් ය. එම මුදල් ගනුදෙනු මහ බැංකුවේ ඇති බැංකුවල සංචිත මුදල් ගිණුම් ශේෂයන් හුවමාරුව හරහා සිදු වෙයි. එනම්, අතිරික්ත සංචිත මුදල් ශේෂ හිමි බැංකු විසින් සංචිත මුදල් හිඟ බැංකුවලට ණය සැපයීම යි.
- අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් මහ බැංකු පොලී අනුපාත පරාසයේ පැවතීමට අවශ්‍ය මට්ටමින් මුදල් මුද්‍රණයක් මහ බැංකුව විසින් සිදු කෙරේ. එය, මහ බැංකුව විසින් බැංකු සමඟ සංචිත මුදල් ගනුදෙනු කිරීම හරහා සිදු කෙරේ. එනම්, සංචිත මුදල් හිඟ බැංකුවලට ණය දීමත්, අතිරික්ත සංචිත මුදල් ඇති බැංකුවලින් ඒවා තැන්පතු ලෙස උකහා ගැනීමත් ය.
- ඒ සඳහා මහ බැංකුව විසින් දෛනික පොලී අනුපාතයන් කිහිපයක් ද භාවිතා කෙරේ. එම පොලී අනුපාතයන් මෙම ඉලක්ක පොලී අනුපාත පරාසය තුළ නියම කෙරේ. එබැවින්, අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාතයන් මෙම ඉලක්ක පරාසයෙන් පිටත නොයනු ඇත. ඊට හේතුව, අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට හැකි බැවිනි.
- මහ බැංකුව විසින් මුද්‍රණය කරන මුදල් හෙවත් සංචිත මුදල්වලින් කොටසක් මෙසේ බැංකු බැංකු වෙත පවතින අතර ඉතිරිය රජය සහ මහජනතාව වෙත පවතී. එසේම, සංචිත මුදල්වලින් කොටසක් මහ බැංකුවෙන් පිටත සංසරණය වන කාසි සහ නෝට්ටු ලෙස ද, අනෙක් කොටස මහ බැංකුවේ ඇති රජයේ සහ බැංකුවල සංචිත ගිණුම්වල තැන්පතු ලෙස ද, පවතී.
එබැවින්, මෙම පොලී අනුපාතය සහ මුදල් මුද්‍රණය රජයෙන් ස්වාධීනව කිරීමට මහ බැංකුවට නෛතික බලයක් ලබා දී ඇත. මෙම ක්‍රියාවලිය ඇමෙරිකානු මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ලෙස දැක්වෙයි. අනෙක් රටවල මහ බැංකු විසින් ද තම මුදල් ප්‍රතිපත්තිය සඳහා භාවිතා කරන්නේ මෙම ක්‍රමවේදය යි. මෙහි වාර්තා වන අසාමාන්‍ය සිද්ධිය වන්නේ, ඇමෙරිකානු මහ බැංකුව ඇතුළු බොහෝ මහ බැංකු විසින් මෙම පොලී අනුපාතය මත පදනම් වූ මුදල් මුද්‍රණය සහ මුදල් ප්‍රතිපත්තිය අති විශාල අලාභයන් දරමින් සිදු කිරීම යි.
ඇමෙරිකානු මුදල් ප්‍රතිපත්තියේ අරමුණු මොනවා ද?
එම අරමුණු ලෙස ඇමෙරිකාවේ ස්ථායී මිල ගණන් සහ උපරිම සේවා නියුක්තිය පවත්වා ගැනීම ලෙස දැක්වෙයි. එය උද්ධමනය පාලනය සහ ආර්ථික වර්ධනය ලෙස සරලව දැක්වෙයි. වර්තමානයේ 2% ක වාර්ෂික උද්ධමන ඉලක්කයක් පනවා ඇති අතර ආර්ථික වර්ධනය හෝ උපරිම සේවා නියුක්ති අරමුණ සඳහා ඉලක්කයන් නොමැත.
මහ බැංකුව විසින් නිරන්තරයෙන් පවසන්නේ, කලින් කලට ලැබෙන දත්ත මත පදනම් වී, මෙම අරමුණු දෙක තුලනය කිරීමට යෝග්‍ය පරිදි, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව යි. එහෙත්, පොලී අනුපාතය මගින් එම තුලනය සිදු කෙරෙන ආකාරය පිළිබඳ ව කිසිම ආර්ථික පර්යේෂණ දත්ත ඉදිරිපත් නොකෙරේ. එය ආර්ථිකයෙහි ණය සහ මුදල් තත්ත්වය වෙනස් වීම හරහා කාලයක් තුළ සිදු වන බවට සංකල්පීය කථාන්දරයක් පමණක් ඉදිරිපත් කෙරේ.
නව පොලී අනුපාතය තීරණය කිරීමට හේතුව ලෙස මහ බැංකුව විසින් දැක්වූයේ, උද්ධමන අවදානම් පැවතිය ද, ආර්ථිකය පසුබැසීමේ හෝ සේවා වියුක්තිය ඉහළ යාමේ අවදානම් වැඩි බැවින් පොලී අනුපාතය පහළ දමන බව යි.
අනෙක් රටවල මහ බැංකු විසින් ද මීට සමාන අරමුණු සහ විග්‍රහයන් භාවිතා කෙරේ. එහෙත්, මහ බැංකු සුළු සංඛ්‍යාවක් තම මුදල් ප්‍රතිපත්ති අරමුණ ලෙස මිල ස්ථායිතාවය හෝ උද්ධමන පාලනය ඉදිරිපත් කෙරේ. එම මහ බැංකු විසින් කෙරෙන මුදල් මුද්‍රණ සියල්ල උද්ධමන පාලන මුවාවෙන් සිදු කෙරේ. තව ද, ආර්ථික සංවර්ධන අරමුණ ඔවුන්ට අදාළ නොවන බව ද දැක්වෙයි. එහෙත්, ඔවුන් විසින් ආර්ථිකයෙහි උද්ධමන ප්‍රවණතාවය ගැන පමණක් නොව, සියළු ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ව අදහස් ඉදිරිපත් කිරීමටත්, රජයට සහ අයවැයට දොස් පැවරීමටත්, පුරුදු වී ඇත.
ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය සෙසු ලෝකයට වැදගත් ඇයි?
ඊට හේතුව, ඩොලරය ලෝකයේ ප්‍රචලිතම ජාත්‍යන්තර සංචිත මුදල වීමත්, එබැවින්, ඇමෙරිකාව සහ සෙසු ලෝකය අතර නිරන්තර ඩොලර් ආයෝජන ප්‍රවාහයක් පැවතීමත් ය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ආර්ථිකයන් අධික ලෙස ඩොලර්කරණය වී ඇති බැවින් එම රටවල ආර්ථික ස්ථායිතාවයට මෙම ඩොලර් ආයෝජන ප්‍රවාහය ඉතා වැදගත් වෙයි.
මෙම ඩොලර් ආයෝජන ප්‍රවාහය ඇමෙරිකානු පොලී අනුපාතයන් සහ සෙසු රටවල පොලී අනුපාතයන් මෙන්ම ඒවා අතර ඇති පරතරය මත රඳා පවතී. එබැවින්, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය පහළ යන විට, ඩොලර් ආයෝජනයන් ඇමෙරිකාවෙන් සෙසු රටවලට සංක්‍රමණය වීමත්, ඊට ප්‍රතිවිරුද්ධව, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය ඉහළ යන විට, ඩොලර් ආයෝජනයන් සෙසු රටවලින් ඇමෙරිකාවට සංක්‍රමණය වීමත්, සිදු වෙයි.
එසේම, රටවල ඉදිරි පොලී අනුපාතයන් පිළිබඳ ව ආයෝජකයන්ගේ සමපේක්ෂණයන් අනුව ද ඩොලර් ආයෝජන ප්‍රවාහයන් වෙනස් වනු ඇත. බොහෝ දියුණු වන රටවල් කලින් කලට විදේශ මුදල් අර්බුදයන්ට මුහුණ දීමට හේතුව, මෙසේ ඩොලර් ආයෝජනයන් එම රටවලින් හදිසියේ ඉවත් වීමෙනි. එහි මූලය වන්නේ, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය යි.
එබැවින්, සෙසු රටවල මහ බැංකු විසින් ද ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතයට සමාන්තරව තම පොලී අනුපාතයන් වෙනස් කරනු ඇත. ඊට හේතුව, එම රටවල මුදල් මුද්‍රණය සහ ආර්ථික ස්ථායිතාවයේ න්‍යෂ්ඨිය ලෙස එම රටවලට ලැබෙන ඩොලර් ආයෝජනය ක්‍රියා කරන බැවිනි. එබැවින්, එම ඩොලර් ආයෝජන ප්‍රවාහය පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මහ බැංකු විසින් නිරන්තරයෙන් තම පොලී අනුපාත ප්‍රතිපත්තිය භාවිතා කරනු ලැබේ.
මුදල් කළමනාකරණය සඳහා මහ බැංකු පොලී අනුපාතයේ වැදගත්කම කුමක් ද?
පොලි අනුපතය යනු ණය අවදානම් පියවීම සඳහා අය කරන මිල යි. එහෙත්, මහ බැංකුව විසින් බැංකු සමඟ සිදු කරන ණය ගනුදෙනුවල කිසිම අවදානමක් නොමැත. එබැවින්, මහ බැංකු පොලී අනුපාතයේ මූල්‍ය ආර්ථික පදනමක් නොමැත.
එහෙත්, ඉහත දැක්වූ පරිදි මහ බැංකු පොලී අනුපාතය මගින් අන්තර් බැංකු ණය පොලී අනුපාතයේ මට්ටම තීරණය වෙයි. එබැවින්, බැංකුවල සංචිත මුදල් ද්‍රවශීලතාවය පවත්වා ගැනීමේ පිරිවැය හෝ මිල මහ බැංකු පොලී අනුපාතය මත තීරණය වෙයි.
එබැවින්, මහ බැංකු පොලී අනුපාතය වෙනස් වන විට බැංකු විසින් තම ණය සහ තැන්පතු පොලී අනුපාතයන් ද වෙනස් කරනු ඇත. එහෙත්, බැංකුවලට එම ගනුදෙනුවල ඇති අවදානම් ද සැලකිල්ලට ගෙන එම පොලී අනුපාත වෙනස්කම් සිදු කරනු ඇත. එය බැංකු අතර ද වෙනස් වනු ඇත.
මෙහි දී, බැංකු විසින් පොලී අනුපාතයන් වෙනස් කිරීම තැන්පතු සහ ණය අතර ද වෙනස් ලෙස සිදු කෙරේ. බොහෝ විට පොලී අනුපාතයන් ඉහළ යන විට, ණය පොලී අනුපාතයන් කඩිනමින් ඉහළ දැමීමත්, තැන්පතු පොලී අනුපාතයන් කල් පසු වී ඉහළ දැමීමත් දැකිය හැකිය. මීට ප්‍රතිවිරුද්ධව, පොලී අනුපාතයන් පහළ යන විට තැන්පතු පොලී අනුපාතයන් කඩිනමින් පහළ දැමීමත්, ණය පොලී අනුපාතයන් කල් පසු වී පහළ දැමීමත් සිදු කෙරේ.
ඊට සමගාමිව, රාජ්‍ය සුරැකුම්පත් සහ පෞද්ගලික මුදල් ගනුදෙනුවල පොලී අනුපාතයන් ද වෙනස් වනු ඇත. එබැවින්, මහ බැංකු පොලී අනුපාතය වෙනස්වීම අනුව ආර්ථිකයෙහි සෙසු පොලී අනුපාතයන් ද වෙනස් වීමේ සම්ප්‍රදායක් ගොඩ නැගී ඇත.
එබැවින්, රටවල මුදල් ක්‍රමයන් සහ මුදල් ප්‍රතිපත්ති ඇමෙරිකානු මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ආශ්‍රිතව තීරණය වන විට, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය වෙනස් වන විට, ඊට සමගාමීව සෙසු රටවල ද පොලී අනුපාතයන් වෙනස් වනු ඇත. එය ක්ෂණිකව හෝ කාල පමාවක් තුළ සිදු වනු ඇත.
එබැවින්, රටවල බැංකු සහ ආයෝජකයන් ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය පිළිබඳ ව විවිධ සමපේක්ෂණයන් මත තම මුදල් කළමනාකරණ කරනු ඇත. එබැවින්, ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ද පොලී අනුපාතයන් පහළ යාමේ හැකියාවක් පවතී.
ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය වෙනස් කිරීමේ ස්වරූපය
අතීත දත්ත දෙස බලන විට, වසර කිහිපයක් තුළ පොලී අනුපාතය ක්‍රමයෙන් ඉහළ දැමීමත්, ඊට පසුව වසර කිහිපයක් තුළ එය ක්‍රමයෙන් නැවත පහළ දැමීමත් චක්‍රයන් ලෙස සිදු කෙරේ. වරින් වර කෙරෙන වෙනස සාමාන්‍යයෙන් 0.25 සහ 0.50 වෙයි. එබැවින්, සෙසු රටවල මහ බැංකු විසින් ද ඊට සමාන ස්වරූපයකින් තම පොලී අනුපාතයන් වෙනස් කිරීම දැකිය හැකිය.
- ඒ අනුව, නව චක්‍රය වන්නේ, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය ඉදිරි වසර කිහිපයක් පුරා 0.25 බැගින් වරින් වර පහළ දැමීම යි. මෙම පහළ දැමීමේ චක්‍රය ආරම්භ වූයේ, 2024 සැප්තැම්බර් මස පොලී අනුපාතය 5.25%-5.50% සිට 0.50 කින් පහළ දැමීමෙනි. ඒ අනුව, අද වන විට පොලී අනුපාතය වර්ෂයක් තුළ 4.00%-4.25% දක්වා 1.25% කින් සිව්වරක දී පහළ දමා ඇත.
- ඇමෙරිකානු මහ බැංකුවේ නිල පුරෝකථනය අනුව සාමාන්‍ය අන්තර් බැංකු එක් දින පොලී අනුපාතය මෙම වසර අවසාන වන විට 3.6% ක් ද (වර්තමානයේ 4.1% ක් පමණ), 2026 අවසානයේ දී 3.4% ක් ද, 2027 අවසානයේ දී 3.1% ක් ද වෙයි. එබැවින්, ඉදිරි වසර දෙක තුළ මහ බැංකු පොලී අනුපාතය අවම වශයෙන් තවත් 1% කින් පමණ 3.0%-3.25% පමණ දක්වා පහළ යාම අපේක්ෂා කෙරේ.
- එහෙත්, ඇමෙරිකානු මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ දැමීමේ පසුගිය චක්‍රය ආරම්භ වූයේ, 2022 මාර්තු මස 0-0.25% සිට ය. එය 2024 අගෝස්තු මස දක්වා 5.25%-5.5% දක්වා අධික ලෙස ඉහළ ගිය චක්‍රයක පැවතින. ඊට පසුව නැවත 2024 සැප්තැම්බර් මස සිට මේ දක්වා සිව්වතාවක දී පොලී අනුපාතය 4.00%-4.25% දක්වා 1.25% කින් පහළ හෙළා ඇත. එබැවින්, මෙම පොලී අනුපාතය නැවත 1% පමණ මට්ටමක් දක්වා පහළ යාමට තවත් 3% කින් පහළ යා යුතුය (පහත රූප සටහන බලන්න).
- ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිරන්තරයෙන් පවසන්නේ, මහ බැංකු පොලී අනුපාතය අවම වශයෙන් 1% දක්වා ඉහළ ප්‍රතිශතයකින් පහළ හෙළිය යුතු බව යි. එබැවින්, විශාල ප්‍රමාණයක උද්ධමන පීඩනයක් හට නොගත හොත්, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය සහ සෙසු රටවල පොලී අනුපාතයන් ඉදිරි වසර දෙක තුළ සැලකිය යුතු ලෙස අඛණ්ඩව පහළ යනු ඇත.
සෙසු රටවල මහ බැංකු රැසක් විසින් දැනටමත් සැලකිය යුතු ලෙස තම පොලී අනුපාතයන් පහළ දමා ඇත. එහෙත්, සමහර ඩොලරය මත අධික ලෙස රැඳෙන දියුණු වන රටවල් පොලී අනුපාතය පහළ දැමීමේ අලස භාවයක් දක්වනු ඇත. ඊට හේතුව, එම රටවල සාපේක්ෂ ඉහළ පොලී අනුපාතයන් පවත්වා ගැනීම හරහා ඉතා කෙටි කාලීන ඩොලර් ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීම තුළින් තම විදේශ මුදල් සංචිතයන් තර කර ගැනීම යි. සමහර රටවල රජයන් විසින් ආර්ථිකය කළමනාකරණය කරනුයේ, මෙම විදේශ මුදල් සංචිත ඉලක්කම ඉහළ නැංවීම හරහා ය. එය සාර්ව ආර්ථික වශයෙන් ඉතා අවදානම්කාරී මුදල් ප්‍රතිපත්තියකි.
මූල්‍ය සාක්ෂරතා උපදේශය
- සමස්තයක් ලෙස ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය සහ දේශීය මහ බැංකු පොලී අනුපාතයේ චක්‍රයන් ආශ්‍රිත සමපේක්ෂණයන් හරහා මුදල් කළමනාකරණය කිරීම බැංකු සහ ආයෝජකයන්ගේ හැසිරීම යි. ඔවුන් මහ බැංකු පොලී අනුපාතයෙන් සහ මුදල් මුද්‍රණයෙන් ලාභ ලැබීමට ඉදිරි පොලී අනුපාත සමපේක්ෂණය කරමින් මූල්‍ය කාටලයක් ලෙස ක්‍රියාත්මක වෙයි. ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන තුළ පොලී අනුපාතයන් පහළ බසින චක්‍රයක පවතින බවට පුරෝකථනය කළ හැකිය.
- එබැවින්, වර්තමාන පොලී අනුපාතයන් මත වසර කිහිපයක දිගු කාලයක් සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් ඉදිරි පොලී අනුපාත පහළ යාමේ අවදානම වලකා ගත හැකිය. මේ දිනවල ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිවල දී මාස 3 බිල්පත්වලට සාපේක්ෂව මාස 6 සහ 12 කාලයන්වල බිල්පත් සඳහා ඉල්ලුම ඉහළ යාමට හේතුව මෙය යි. එසේ නොවේ නම්, ඉදිරි වර්ෂවල දී පහළ යන පොලී අනුපාතයන්ට මුදල් ආයෝජනය කිරීමට සිදු වනු ඇත.
- ඊට ප්‍රතිවිරුද්ධව, ණය ගැනීමේ දී කෙටි කාලීන ණය ගිවිසුම් වඩා හිතකර වෙයි. එමගින්, පහළ පොලී අනුපාතයන්ට පසු කාලයේ දී නව ණය ගැනීමේ හැකියාව ලැබේ.
- තම පොලී අනුපාතය වෙනස් කිරීමට හේතු ලෙස මහ බැංකු විසින් විවිධාකාර සාර්ව ආර්ථික අසමතුලිතතා කථාන්දරයන් දක්වනු ඇත. ඒ සඳහා ලෝකය පුරා ඇති ආර්ථික දත්ත සහ ඉලක්කන් ද තම මනාපය පරිදි ඉදිරිපත් කෙරේ. එහෙත්, මහ බැංකු පොලී අනුපාතය යනු බලා සිටිය දී එම සියළු අසමතුලිත තාවයන් තුලනය කොට විසඳන දේවායුධයක් හෝ දේව විද්‍යාවක් නොවේ. එසේම, මහ බැංකු පොලී අනුපාතය හුදෙක් කිසිම මූල්‍ය ආර්ථික විද්‍යා පදනමක් නොමැති අත්තනෝමතික පොලී අනුපාතයකි. එය, මහ බැංකුවේ මුදල් මුද්‍රණ ඒකාධිකාරය සහ බැංකු මූල්‍ය වෙළෙඳුන්ගේ සමපේක්ෂණ මුදල් වෙළෙඳාම මත රඳා පවතී. එබැවින්, කුමන හෝ මට්ටමක පොලී අනුපාතයක් පවත්වා ගැනීම මහ බැංකුවට එතරම් අභියෝගාත්මක කාර්යයක් නොවේ.
- එහෙත්, මහ බැංකු පොලී අනුපාතය සහ ආර්ථිකයේ පොලී අනුපාතයන් කුමක් වුවත්, මහජනයා සහ ව්‍යාපාරිකයින් විසින් තම මුදල් ගනුදෙනු කරනු ඇත. එම පොලී පිරිවැය අවසානයේ දී ජීවන වියදම ලෙස මහජනයාට පැටවෙනු ඇත. එබැවින්, මහ බැංකු පොලී අනුපාතය මගින් සිදු වන එකම කාර්යය වන්නේ, මුදල් වෙළෙඳුන් වෙත මහ බැංකු මුදල් මුද්‍රණය හරහා එදිනෙදා සමපේක්ෂණ වෙළෙඳ අවස්ථාවන් සහ ලාභයන් ජනිත කිරීමත්, මහ බැංකුවේ අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය සුමට ලෙස පවත්වා ගැනීමත් පමණි. එමගින්, රටේ මූල්‍ය පද්ධති ස්ථායිතාවය පවත්වා ගැනීමට වක්‍ර සේවයක් ඉටු වෙයි.
- එබැවින්, මූල්‍ය සාක්ෂරතාවයේ මූලික අංගයක් ලෙස මහජනතාව ද ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය සහ ඒ අනුව දේශීය මහ බැංකු පොලී අනුපාතයේ මෑත කාලීන සහ ඉදිරි කාලීන චක්‍රයන් හෝ උපණතීන් අවබෝධ කර ගෙන, ඒ මත සමපේක්ෂණකාරී ලෙස තම මුදල් තැන්පතු/ආයෝජන සහ ණය කළමනාරණය කිරීම තුළින් මූල්‍ය වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම යෝග්‍ය වෙයි. ඒ සඳහා මූල්‍ය ගණිත සුත්‍රයක් නොමැත.
(මහජනයාගේ මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රවර්ධනයට උපකාරී වීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙහි දැක්වෙන අදහස් සියල්ල හුදෙක් කතුවරයාගේ අදහස් ය )
Comments
Post a Comment