ඔබේ මුදල් මොනවා ද? කොහේ ද? අවදානම් කුමක් ද? මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 02

ලිපියේ අරමුණ සහ පසුබිම 

පුද්ගල මූල්‍ය සාක්‍ෂරතාවය යනු පුද්ගලයකු විසින් තම ජීවන රටාව සහ ඉලක්ක සඳහා ප්‍රතිලාභ-අවදානම් තුලනයක් මත මුදල් කළමනාකරණය කිරීම ලෙස මෙම ලිපි කලාපය සඳහා අර්ථ නිරූපණය කෙරේ. මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න.(ලිපිය)

එබැවින්, රටේ මුදල් ක්‍රමයෙහි හෝ මූල්‍ය පද්ධතියෙහි කුමන ලක්ෂයන්හි, කුමන ප්‍රතිලාභ-අවදානම් මත තම මුදල් ගනුදෙනු කෙරේ ද? යන්න දැනුමක් පුද්ගලයෙකුට අවශ්‍ය ය. බොහෝ පුද්ගලයන් වංචාකාරී තැන්පතු සහ පිරමීඩ ආයෝජනයන්ට හසු වී, තම මුදල් අහිමි කර ගෙන, ජීවන රටාව බිඳ ගන්නේ, එවැනි දැනුමක් නොමැති බැවිනි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවෙහි මූල්‍ය පද්ධතියෙහි අඩංගු සංඝටකයන් හෝ ස්ථරයන් සහ ඒවායේ ඇති මූලික පිරමීඩ අවදානම් හඳුන්වා දීම යි. එම දැනුම, මුදල් පිරමීඩයේ කුමන ස්ථරවල අපගේ මුදල් තිබේ ද? එහි ප්‍රතිලාභ-අවදානම් මට්ටම් කුමක් ද?  එම මුදල් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? යන්න හඳුනා ගැනීමට උපකාරී වෙයි.

මුදල් යනු කුමක් ද?

මුදල් යනු වටිනාකම මැනීම, වටිනාකම රැස් කිරීම සහ වටිනාකම හුවමාරු කර ගැනීම සඳහා පිළි ගැනෙන ඕනෑම මාධ්‍යයකි. මෙම වටිනාකම ආශ්‍රිත මුදල්වල කාර්යයන් හතරක් දැක්වෙයි. එනම්, ගනුදෙනුවල ගිණුම් තැබීම, වෙළෙඳාම, ඉතිරි කිරීම සහ ණය හෝ ආයෝජනය කිරීම සඳහා මුදල් භාවිතා කිරීම යි. එම කාර්යයන් ඉටු කරන රාජ්‍ය මුදල් වර්ග සහ පෞද්ගලික මුදල් වර්ග විශාල සංඛ්‍යාවක් ලෝකයේ විකාශය වී ඇත.

නූතන මුදල් ක්‍රමයන්හි ගනුදෙනු වන ඕනෑම මුදලක් යනු එය මුදල් නිකුත් කරන්නාගේ ගෙවුම් පොරොන්දු පත්‍රයක් වීම යි. එනම්, මුදල් නිකුත් කරන්නා විසින් ණය ගැනීමේ දී නිකුත් කරන පොරොන්දු පත්‍රයන් ය. උදාහරණ ලෙස සංසරණය වන කාසි සහ නෝට්ටු යනු රජය විසින් නිකුත් කොට ඇති ගෙවුම් පොරොන්දු පත්‍රයන් ය. එමගින්, රජය ලබා ගෙන හෝ ගෙවීමට ඇති ණය නියෝජනය වෙයි. එසේම, බැංකු තැන්පතු යනු බැංකු විසින් ගනුදෙනු කරුවන්ගෙන් ලබා ගෙන ඇති ණය සඳහා නිකුත් කොට ඇති ගෙවුම් පොරොන්දු පත්‍ර යි.

නූතන නිල මුදල් ක්‍රමයන් රාජ්‍ය මුදල් මත ක්‍රියාත්මක වෙයි. එනම්, රජය විසින් නිල මුදල් ඒකකය නියම කිරීමත්, නිල මුදල් කාසු සහ නෝට්ටු රජය විසින් නිකුත් කිරීමත්, එම නිල මුදල් කාසි සහ නෝට්ටු හුවමාරුව මත පදනම් වී පෞද්ගලික මුදල් ගනුදෙනු සිදුවීම ත් ය. උදාහරණ ලෙස මහජනයා විසින් මුදල් ලෙස බැංකු තැන්පතු පිළි ගැනීමට හේතුව තැන්පතු මුදල් අවශ්‍ය විට නිල මුදල් කාසි සහ නෝට්ටු ලෙස ආපසු ගැනීමට හැකි බවට ඇති විශ්වාසය යි.

මුදල් ධනය හිමිකම මත අර්ථකථනය කෙරෙන නූතන ධනවාදය විකාශය වීමේ වාහකය මුදල් ය. ඊට හේතුව, භාණ්ඩ හා සේවා සහ වත්කම්වල වටිනාකම හෝ මිල මුදල් ඒකකවලින් මැනීමටත්, එම මිල ගණන් මත ඒවා ගනුදෙනු කිරීම සඳහා වෙළෙඳපොළවල් විකාශයටත්, එම වෙළෙඳ ගනුදෙනුවල මුදල් ලාභය මත ධනය රැස් කිරීමටත් හැකියාව මුදල් හරහා ලැබීම යි. නූතන මාර්ගගත විද්‍යුත් මුදල් හරහා එම හැකියාව තවත් ඉහළ ගොස් ඇත. 

එබැවින්, පුද්ගලයෙකුට මෙම ධනවාදී මාවතෙහි විවිධ පරිමාණයෙන් සහ වේගයෙන් ගමන් කිරීමට අත්‍යාවශ්‍ය මෙවලමක් ලෙස මූල්‍ය සාක්‍ෂරතාවය සැලකිය හැකිය. ඊට හේතුව, ධනය රැස් කිරීම හුදෙක් මුදල්වල ප්‍රතිලාභ-අවදානම් කැමැත්ත මත මුදල් කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලය වන බැවිනි.

මුදල් යනු ස්වාභාවික ආර්ථික සම්පතක් නොවේ. එය, සමාජය විසින් නිර්මාණය කොට ඇති ආර්ථික සම්පතකි. මුදල්වල වටිනාකම ආවරණය කෙරෙන කිසිම නෛසර්ගික වත්කමක් නොමැති අතර එම වටිනාකම සමාජය විසින් කලින් කලට තීරණය කෙරේ. එබැවින්, පුද්ගලයෙකු විසින් තම මුදල් ඉහළ ආරක්ෂාවක් සහ ඵලදායිතාවයක් සහිතව කළමනාකරණය කිරීමට නම්, ආර්ථිකයෙහි මුදල් ගැවසෙන ස්ථානයන් සහ එම ස්ථානයන්හි මුදල් සඳහා පවතින ප්‍රතිලාභ-අවදානම් සංයෝගයන් පිළිබඳ දැනුමක් ලබා ගත යුතුය.

මුදල් ද පිරමීඩයකි. ඔබේ මුදල් එහි කොතැන ද? 

පසුගිය දිනක මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, තහනම් පිරමිඩාකාර ආයෝජනයන් තුළින් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට පවා අවදානම් පවතින බව යි. මූල්‍ය පද්ධතිය යනු ආර්ථිකයට අවශ්‍ය මුදල් නිෂ්පාදනය කිරීමටත්, එම මුදල් ගනුදෙනු කිරීමටත්, නීතියෙන් සැකසී ඇති ආයතනික පද්ධතිය යි. මූල්‍ය පද්ධති ස්ථායිතාවය යනු මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඛණ්ඩව පැවතීම යි. එනම්, එය කඩා නොවැටී පැවතීම යි.

රටක මූල්‍ය පද්ධතියෙහි සැකසුම සහ ක්‍රියාකාරකම්වල ස්වරූපය දෙස බලන විට, එය ප්‍රතිලාභ සහ අවදානම් ගෙන දෙන, විවිධ ස්ථරයන්ගෙන් යුත් පිරමීඩයක් බව කිව හැකිය. එහෙත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය පිරමීඩයේ පරිමාව සහ ස්ථර ව්‍යුහය දෙස බැලීමේ දී, එහි ඇති තහනම් පිරමිඩාකාර ආයෝජනයන් මගින් මූල්‍ය පද්ධති ස්ථායිතාවයට තර්ජනයක් ඇති බව ප්‍රකාශ කිරීමට තරම් තොරතුරු නොමැත.

එහෙත්, අප සියලු දෙනා මෙම මූල්‍ය පද්ධති පිරමීඩයේ විවිධ ස්ථානවල සිට අපගේ මුදල් කළමනාකරණය කරන බැවින් වඩාත් ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම මුදල් කළමනාකරණයක් සඳහා මෙම පිරමීඩයේ පුළුල් සැකැස්ම සහ ප්‍රතිලාභ-අවදානම් පිළිබඳ දැනුමක් අවශ්‍යය.

අප ගනුදෙනු කරන මුදල් නිපදවන්නේ, මෙම පිරමීඩයේ ක්‍රියාශීලී ආයතන ස්ථරයන් කිහිපයක් විසින් වන අතර මුදල් නිපදවීමේ බලය සහ හැකියාව ඔවුන් අතර වෙනස් වෙයි.

1. පිරමීඩයේ පතුලේ සිටින්නේ රජය සහ මහ බැංකුව යි. 
  • ආර්ථිකයට නිල මුදල් නිකුත් කෙරෙන්නේ රජයේ වියදම් පියවීම සඳහා ය. එහි දී රජය විසින් මුදල් ගෙවුම් ඇනවුම් නිකුත් කෙරෙන අතර එය පියවීම සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය මුදල් නිකුත් කෙරේ. මහ බැංකුව යනු රජයේ බැංකුව වන අතර මහ බැංකුව විසින් එසේ මුදල් නිකුත් කිරීම මුදල් මුද්‍රණය ලෙස දැක්වෙයි. එසේ රාජ්‍ය මුදල් නිකුත් කිරීමේ රාජ්‍ය බලපත්‍රය ලබා ඇති එකම ආයතනය මහ බැංකුව යි. එබැවින්, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රධාන මූලය වනුයේ, වියදම් පියවීම සඳහා රජයට ණය සැපයීම යි. එය රජයේ දේශීය ණය සහ විදේශීය ණය මිල දී ගැනීම හරහා සිදු වෙයි. මහ බැංකුව විසින් බැංකුවලට දෙන ණය ද, රාජ්‍ය ණය සුරැකුම්පත් මිල දී ගැනීම මත සිදු කෙරේ. එනම්, රාජ්‍ය ණය මිල දී ගැනීමකි. 
  • මහ බැංකුව විසින් එසේ මුද්‍රණය කෙරෙන මුදල්වලින් කොටසක් මහ බැංකුවේ ඇති බැංකු ගිණුම්වල තැන්පතු ලෙසත්, අනෙක් කොටස රටේ සංසරණය වන රාජ්‍ය කාසි සහ නෝට්ටු ලෙසත් පවතී. එම මුදල් සංචිත මුදල් ලෙස දැක්වෙයි. මහජනයා අතැති කාසි සහ නෝට්ටු යනු ඉන් එක් කොටසකි.

  • මෙහි දී, මහ බැංකුවේ සහ බැංකුවල ඇති රජයේ ජංගම ගිණුම්වලට බදු හරහා රැස් වන මුදල් ශේෂයන් මුදල් ලෙස නොසැලකේ. ඊට හේතුව, එම මුදල් ශේෂ යනු රාජ්‍ය වියදම් පියවීම සඳහා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති මුදල්වලින් නැවත රජයට උකහා ගන්නා මුදල් කොටසක් බැවිනි. එනම්, එම ප්‍රමාණයෙන් සංසරණයේ පවතින රාජ්‍ය මුදල් ප්‍රමාණය පහළ යාමකි. රජයට නව වියදම් කිරීමට අවශ්‍ය විට, එය නව මුදල් නිකුත් කිරීම මගින් සිදු වෙයි. එබැවින්, අනාගත වියදම් පියවීම සඳහා රජය සතුව තම බැංකු ගිණුම් වෙත මුදල් සංචිත පවතින බවට කෙරෙන ප්‍රකාශය පදනම් විරහිත වෙයි. මෙහි දී, බදුවල ආර්ථික කාර්යය වන්නේ, රාජ්‍ය වියදම් සඳහා මුදල් රැස් කිරීම නොව, රාජ්‍ය වියදම් සඳහා දැනටමත් නිකුත් කොට ඇති මුදල් තුළින් හට ගත හැකි උද්ධමනය පාලනය කිරීම සඳහා ඉන් කොටසක් ආර්ථිකයෙන් රජයට උකහා ගැනීම යි. එනම්, බදු යනු රාජ්‍ය මුදල් ප්‍රමාණයක් අවලංගු කිරීම යි.

  • සමස්තයක් ලෙස පිරමීඩය තුළ මහජනතාව විසින් මුදල් ගනුදෙනු කරන්නේ, තම මුදල් ඕනෑම අවස්ථාවක රාජ්‍ය/මහ බැංකු කාසි සහ නෝට්ටු ලෙස ලබා ගත හැකි බවට ඇති පොදු විශ්වාසය හේතුවෙනි. මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය යනු මෙම විශ්වාසය යි.

  • එබැවින්, බොහෝ විට මහ බැංකුව මත මූල්‍ය පද්ධති පිරමීඩය ගොඩ නැගෙන බව දැක්වෙන්නේ, රාජ්‍ය කාසි සහ නෝට්ටු හෝ සංචිත මුදල් නිකුතුව, අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතිය සහ මුදල් නියාමනය මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන බැවිනි.

2. මහ බැංකුවට ඉහළ පිරමිඩ ස්ථරය වාණිජ බැංකු ය

  • මූල්‍ය පිරමීඩයේ ගනුදෙනු කෙරෙන මුදල්වලින් බහුතරය, වාණිජ බැංකු විසින් තම ගිණුම් සටහන් මගින් නිෂ්පාදනය කෙරෙන මුදල් ය. එනම්, බැංකු විසින් ණය දීමේ දී මැවෙන තැන්පතු ය. එම මුදල් බැංකු ගිණුම් හරහා ගනුදෙනු වෙයි. මහජනතාව විසින් තම බැංකු තැන්පතුවල ඇති මුදල් ගනුදෙනු කිරීමේ දී, එම මුදල් නැවත නැවත බැංකු අතර තැන්පතු ලෙස හුවමාරු වනු ඇත.

  • එබැවින්, මහ බැංකුව මෙන්, ණය දීම මගින් මුදල් නිපදවීමේ හැකියාව වාණිජ බැංකු සතු වෙයි. වාණිජ බැංකු වෙත ඇති මහජනයාගේ තැන්පතු යනු එම මුදල් ය. එම මුදල් හුදෙක් ගිණුම් සටහන් හෝ ඉලක්කම් මුදල් වන අතර ඊට සමාන කාසි සහ නෝට්ටු ප්‍රමාණයක් බැංකුවල නොමැත. 

  • එබැවින්, වාණිජ බැංකු විසින් මහජනයාගෙන් රැස් කරන තැන්පතු මගින් ණය දෙන බවත්, එම තැන්පතු මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද කාසි සහ නෝට්ටුවලින් ලැබෙන බවත්, සාවද්‍ය මතයන් ය. එනම්, මහ බැංකුව විසින් නිකුත් කරන කාසි සහ නෝට්ටු මහජනයා අතට ලැබී, ඒවා මහජනයා විසින් වාණිජ බැංකුවල තැන්පත් කෙරෙන අතර වාණිජ බැංකු විසින් එම කාසි සහ නෝට්ටුවලින් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත තබා, ඉතිරි කොටස ණය දීමෙන් ගුණක ක්‍රියාවලිය හරහා මුදල් මැවෙන බවත්, මහ බැංකු ව්‍යවස්ථාපිත සංචිතය හේතුවෙන් ණය මැවීම සීමා වන බවත්, කියවෙන මිථ්‍යා කථාන්දරය යි. 

  • එහෙත්, යම් තැන්පතු හිමියන් විසින් කාසි සහ නෝට්ටු ලෙස තම තැන්පතු ආපසු ඉල්ලා සිටිය හොත් ලබා දීම සඳහා වාණිජ බැංකු විසින් යම් කාසි සහ නෝට්ටු ප්‍රමාණයක් තම සේප්පුවල එදිනෙදා තබා ගැනීම සිදු කෙරේ.

3. වාණිජ බැංකුවලට ඉහළ පිරමීඩ ස්ථරය බැංකු නොවන මූල්‍ය ආයතන යි.

  • එනම්, මහජනතාවගෙන් තැන්පතු සහ ආයෝජන ලබා ගෙන, එම මුදල් මගින් ණය සහ ආයෝජන ව්‍යාපාරයෙහි නිරත විශේෂිත බැංකු, මූල්‍ය සමාගම්, කල්බදු මූල්‍ය සමාගම්, සමුපකාර බැංකු, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වැනි ආයතන පද්ධතිය යි. මොවුන් විසින් වාණිජ බැංකුවල පවත්වා ගෙන යන ගිණුම් හරහා තම ගෙවුම් සහ පියවුම් ගනුදෙනු සිදු කෙරේ. එනම්, වාණිජ බැංකු තැන්පතු ගිණුම් සහ ණය පහසුකම් හරහා ය.

  • සමස්තයක් ලෙස ගත් විට, මෙම ආයතන පද්ධතිය විසින් වාණිජ බැංකු මෙන් ණය ප්‍රදානය සහ තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරයෙහි නිරත වන බැවින් මේවා ඡායා බැංකු ලෙස හැඳින් වෙන අතර වාණිජ බැංකු හරහා නව මුදල් නිෂ්පාදනයට ද යම් හැකියාවක් ඔවුන් වෙත පවතී.

4. රාජ්‍ය සුරැකුම්පත්

  • රාජ්‍ය සුරැකුම්පත් යනු කාසි සහ නෝට්ටු වැනි ගෙවුම් පොරොන්දු පත්‍රයන් ය. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් යනු රාජ්‍ය මුදල් වර්ගයකි. රජය විසින් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ දී සිදු වන්නේ, රජය විසින් වියදම් කිරීමේ දී දැනටමත් නිකුත් කොට ඇති සංචිත මුදල්වලින් කොටසක් නැත රජයට උකහා ගෙන, ඒ සඳහා රාජ්‍ය සුරැකුම්පත් මුදල් හුවමාරු කිරීම යි. එම ගිණුම් පියවීම රජයේ නියෝජිත බැංකුව ලෙස මහ බැංකුව විසින් සිදු කෙරේ. සංචිත මුදල් ගිණුම් සහ රාජ්‍ය සුරැකුම්පත් ගිණුම් මහ බැංකුව විසින් පවත්වා ගෙන යන අතර රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ සහ කල් පිරීමේ ගනුදෙනු පියවීම මහ බැංකුව විසින් එම ගිණුම් අතර සටහන් හරහා සිදු කෙරේ.

  • එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් යනු සංචිත මුදල්වලට විකල්ප තවත් රාජ්‍ය මුදල් වර්ගයක් මිස, රජය විසින් තම අනාගත වියදම් පියවීම සඳහා වෙළෙඳපොළෙන් රැස් කර ගන්නා මුදල් නොවේ. ඊට හේතුව, මුදල් මුද්‍රණය හරහා රජයට නව වියදම් කළ හැකි බැවිනි. රාජ්‍ය සුරැකුම්පත් සඳහා ක්‍රියාකාරී ද්විතීය වෙළෙඳපොළක් පවතින බැවින් ආයෝජකයන්ට අවශ්‍ය වූ විට තම රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කොට මුදල් ආපසු ගත හැකිය. එබැවින්, රාජ්‍ය සුරැකුම්පත්වල ආර්ථික කාර්යය වන්නේ, රජය විසින් නිකුත් කොට ඇති මුදල්වලින් කොටසක් ආර්ථිකය තුළ වියදම් කිරීම පමා කිරීම යි. එය, රාජ්‍ය වියදම් තුළින් හට ගත හැකි උද්ධමනය පාලනය කිරීම සඳහා සිදු කෙරේ.

5. සමාගම් කොටස් සහ ණයකර

ව්‍යාපාරික සමාගම් විසින් දිගු කාලීන අරමුදල් රැස්කර ගැනීම සඳහා සමාගම් කොටස් සහ ණයකර කෙරේ. මහජනයා විසින් ඒවා මිල දී ගැනීමේ දී, තම කාසි සහ නෝට්ටු සහ බැංකු තැන්පතු මුදල් භාවිතා කෙරේ. ඒවා, බැංකු ණය හරහා මිල දී ගැනීමේ දී ද, තැන්පතු ලෙස නව මුදල් මැවෙනු ඇත. එසේම, ඒවා, කොටස් වෙළෙඳපොළ හරහා අළෙවිය තුළින් තැන්පතු මුදල් හෝ කාසි සන් නෝට්ටු ලබා ගෙන, වියදම් කළ හැකිය. එබැවින්, කොටස් සහ ණයකර ද, මහජනයා විසින් මුදල් ලෙස සැලකෙන වත්කමකි.

6. විශ්‍රාම අරමුදල්

මේවා, සේවක සාමාජිකයන්ගෙන් ඉතුරුම් ලබා ගෙන, ඒවා ආයෝජනය කොට, විශ්‍රාම ප්‍රතිලාභ සැපයීම සඳහා සංවිධානය වී ඇත. එබැවින්, මේවා ද  මූල්‍ය පිරමීඩයේ වැදගත් ස්ථරයකි. එහෙත්, මීට නව මුදල් නිපදවීමේ හැකියාවක් නොමැති අතර වාණිජ බැංකු විසින් කෙරෙන මුදල් නිෂ්පාදනයට දායක වනු ඇත.

7. රක්ෂණ සමාගම්

මේවා විවිධ අවදානම් ආවරණය කිරීමේ කොන්දේසි පදනම් කර ගෙන, මහජනතාවගෙන් ඉතුරුම් රැස් කිරීම සහ ඒවා ආයෝජනය කිරීමේ මූල්‍ය ව්‍යාපාරයේ යෙදී ඇත. මෙම ව්‍යාපාරය ද මූල්‍ය පිරමීඩයේ වැදගත් ස්ථරයකි.

8. මූල්‍ය සේවා ආයතන ස්ථරය

මූල්‍ය ගනුදෙනු සඳහා තැරවුකාර, ආයෝජන, අරමුදල් කළමනාකරණ, ගෙවුම් සහ පියවුම් වැනි සේවාවන් සපයනු ලබන ආයතන පද්ධතිය මීට අයත් වෙයි. මොවුන් විසින් මූල්‍ය පිරමීඩයට අවශ්‍ය උපකාරක සේවාවන් සැපයෙයි.

9. අසංවිධිත මූල්‍ය අංශය

ඉහත දැක්වූ සියළු පිරමීඩ ස්ථරයන් රජය විසින් නියම කොට ඇති නෛතික ප්‍රතිපාදනයන් තුළ ක්‍රියාත්මක වෙයි. එහෙත්, ඉන් බාහිරව පුද්ගලික මට්ටමින් මුදල් ආයෝජන හෝ ණය ගනුදෙනු සිදු වන පිරමීඩ ස්ථරයක් ද පවතී. අනවසර තැන්පතු සහ පිරමීඩ ගනුදෙනු සිදු වන්නේ, මෙම ස්ථරය තුළ ය. එම ගනුදෙනු සාමාන්‍යයෙන් කාසි සහ නෝට්ටුවලින් සිදු වෙයි.

ශ්‍රී ලංකා මූල්‍ය පිරමීඩයේ පරිමාව කොපමණ ද? එහි කොතරම් මුදල් ගනුදෙනු වෙයි ද?

මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කොට ඇති දත්ත අනුව 2024 වර්ෂය අවසානයේ දී, ඉහත දැක්වූ මූල්‍ය පිරමීඩයෙහි පළමු ස්ථරයන් 8 හි සමස්ත මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 41,878 කි. (පහත සංඛ්‍යා වගුව බලන්න). එය, 2024 දී රටේ මුළු නිෂ්පාදන වටිනාකම ද ඉක්මවා, 140% ක පමණ මට්ටමක විය. 

පිරමීඩයේ සැලකිය යුතු ස්ථරයන්ගේ පරිමාව සහ වැදගත්කම පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වෙයි.

  • මින්, මහ බැංකුව විසින් නිෂ්පාදනය කොට ඇති මුදල් ප්‍රමාණය (මහ බැංකු වත්කම්) රුපියල් බිලියන 3,876 ක් විය. එනම්, සමස්ත මූල්‍ය පිරමීඩයේ වටිනාකමින් 9.3% කි. මින් 51% ක් විදේශ සංචිත ද, 45.8% ක් රාජ්‍ය ණය ද විය. විදේශ සංචිතය ද රාජ්‍ය විදේශ ණය හරහා ගොඩ නගා ඇති බැවින් මහ බැංකු මුදල් මුද්‍රණයේ මූලය හුදෙක් රාජ්‍ය ණය ප්‍රසාරණය යි. එබැවින්, ස්වාධීන මහ බැංකුවේ සැබෑ අරුථ අපැහැදිළි ය. 
    • එසේම, මහ බැංකු මූල්‍ය වාර්තාවල රාජ්‍ය ණය ලෙස රුපියල් බිලියන 1,775 ක් ද, මහ බැංකුව විසින් නිකුත් කොට ඇති රාජ්‍ය ණය වාර්තාවල මහ බැංකු ණය ලෙස රුපියල් බිලියන 2,453 ක් ද, දැක්වීමෙන් මූල්‍ය පිරමීඩයේ සැබෑ තත්ත්වය විකෘති වී ඇත. 

    • එනම්, රජය වෙත ණය දීම සඳහා මහ බැංකුව විසින් සැබෑ වශයෙන් මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධ නොවීමත්, මහ බැංකුවට රජයෙන් අයවිය යුතු ණය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් මහ බැංකු මූල්‍ය වාර්තාවල ගිණුම් ගත කිරීමෙන් මුදල් මුද්‍රණය අවතක්සේරු වීමත්, එම ගිණුම් හරහා මහ බැංකුවට සිදු වී ඇති පාඩුවත් ය. 

    • සමස්තයක් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යා අනුව, මහ බැංකු ස්ථරයේ මුදල් ප්‍රමාණය මෙන් 11 ගුණයක මුදල් ප්‍රමාණයක් මූල්‍ය පිරමීඩයේ සංසරණය විය. ඉන්, සංසරණයේ පැවති කාසි සහ නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 1,356 කි. එනම්, මුළු පිරමිඩයේ මුදල් ප්‍රමාණයෙන් 3.2% කි.

  • මූල්‍ය පිරමීඩයේ 56.6% ක් මහ බැංකුව සහ වාණිජ බැංකු ය. වාණිජ බැංකු පමණක් 47.3% කි. මහ බැංකුව විසින් එදිනෙදා මුදල් මුද්‍රණය කරන්නේ, බැංකු අතර ගෙවුම් පියවීම සඳහා අවශ්‍ය ණය සැපයීමට ය. එම ණය සාමාන්‍යයෙන් බැංකු විසින් ප්‍රදානය කෙරෙන රාජ්‍ය ණය සහ ප්‍රමුඛ ව්‍යපාරික ණය සඳහා අවශ්‍ය අන්තර් බැංකු පියවුම් ද්‍රවශීලතාවය සඳහා වෙයි. මහ බැංකුව විසින් දිනය තුළ පියවීම සඳහා වාණිජ බැංකුවලට සැපයෙන පොලී රහිත ණය මෙම සංඛ්‍යාවලට ඇතුළත් නොවේ.

  • එබැවින්, මහ බැංකුව සහ වාණිජ බැංකු කිහිපය මුදල් ව්‍යාපාරික කාටලයක් ලෙස මූල්‍ය පිරමීඩය අරක් ගෙන ඇත. එම කාටලය මගින් මැවෙන හෝ නිපදවෙන මුදල්වලින් කොතරම් ප්‍රමාණයක් රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් සහ ජීවන මට්ටම සඳහා සම්ප්‍රේෂණය වන්නේ ද? යන්න ඇස්තමේන්තුවක් නොමැත. එබැවින්, ආර්ථික ක්‍රියාකාරකම්වල සංකේන්ද්‍රණය දෙස බලන විට, එම මුදල් බහුතරය මහා පරිමාණ ව්‍යාපාරික සහ මූල්‍ය වෙළෙඳ සමපේක්ෂණ කටයුතු සඳහා සැපයෙන බව පැහැදිළි ය.

  • මූල්‍ය පිරමීඩය තුළ මහජනයා සතු රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය 0.8% පමණ වුව ද, මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සහ විශ්‍රාම අරමුදල් ඇතුළු සියළු පිරමීඩ ස්ථරයන් විසින් සිදු කොට රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය (මුහුණත වටිනාකම) 43.3% කි. එබැවින්, සමස්ත මුදල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සෘජුව හා වක්‍රව රාජ්‍ය සුරැකුම්පත් හරහා සිදු වනු ඇත.

  • එහෙත්, රජය විසින් දේශීය සහ විදේශීය වශයෙන් සෘජු ණය සහ සුරැකුම්පත් හරහා ලබා ගෙන ඇති ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් 28,738 ක් පමණ වූ අතර එය මූල්‍ය පිරමීඩයෙන් 68.6% කි. එම ණයවලින් 64% ක් දේශීයව ද, 36% විදේශීය ද ලෙස ලබා ගෙන ඇත. එබැවින්, මූල්‍ය පිරමිඩය තුළ මුදල් නිෂ්පාදනයටත්, එම මුදල් ආර්ථිකය පුරා ව්‍යාප්ත කිරීමටත්, දායක වී ඇති ප්‍රධාන වාහකයා වන්නේ, රාජ්‍ය අයවැය සහ ණය ප්‍රසාරණය යි. එබැවින්, පැරණි මූල්‍ය වාදී IMF සංකල්පයන් පිළි ගෙන, අයවැය සහ රාජ්‍ය ණය සංකෝචනය කළ හොත්, මූල්‍ය පිරමිඩය ද ඒ අනුව සංකෝචනය වී, මුදල් හිඟය හේතුවෙන් ආර්ථිකය ද සංකෝචනය වනු ඇත.

ඔබේ මුදල් තිබෙන්නේ, පිරමිඩයේ කොතැන ද?

මූල්‍ය පිරමීඩයේ අප සිටින ස්ථානයන් අපගේ මූල්‍ය සාක්‍ෂරතා මට්ටම් අනුව වෙනස් වෙයි. අප බොහෝ දෙනෙකුගේ මුදල් කාසි සහ නෝට්ටු සහ බැංකු තැන්පතු ස්ථරයේ පවතී. සේවා නියුක්තිකයන්ගේ මුදල් කොටසක් විශ්‍රාම අරමුදල්වල ද පවතී.  මූල්‍ය සාක්‍ෂරතා මට්ටම ඉහළ පුද්ගලයන්ගේ මුදල්, රාජ්‍ය සුරැකුම්පත් සහ සමාගම් කොටස් සහ ණයකරවල ද පවතී. එසේම, ඒ ඒ ස්ථරයන් තුළ අපගේ මුදල් පවතින ආයතනයන් ද වෙනස් වෙයි. එබැවින්, ස්ථරයන් මෙන්ම ආයතනන් ද වෙනස් වෙයි.

එබැවින්, අප විසින් අවබෝධ කර ගත යුත්තේ, අප සතු මුදල් යනු පිරමීඩය විසින් මවන මුදල් බවත්, එම මුදල් අප විසින් පිරමීඩයේ විවිධ ස්ථානවල ගනුදෙනු කරන බවත්, එම මුදල්වල ප්‍රතිලාභ සහ අවදානම් එම ස්ථානයන් අනුව වෙනස් වන බවත් ය. උදාහරණ ලෙස කාසි සහ නෝට්ටු, බැංකු තැන්පතු, බැංකු නොවන මූල්‍ය ආයතන තැන්පතු, රාජ්‍ය සුරැකුම්පත්, සමාගම් කොටස්, අනවසර තැන්පතු, තහනම් පිරමීඩ ආයෝජන යනාදිය අතර ප්‍රතිලාභ සහ අවදානම් විශාල වශයෙන් වෙනස් වනු ඇත.

මූල්‍ය සාක්‍ෂරතාවයට ඔවදන් කිහිපයක්

  • රටක මූල්‍ය පද්ධතිය යනු මූල්‍ය හෝ මුදල් පිරමීඩය කි. එම මුදල් පිරමීඩය තුළම නිපද වෙයි. මුදල් නිපද වෙන්නේ ණය මගිනි. එබැවින්, මුදල් ද ලාභය අරමුණු කොට කෙරෙන නිෂ්පාදනයකි. ණය යනු අවදානම් ගනුදෙනු ය. එබැවින්, ඔබේ මුදල්, පිරමීඩයේ කොතැනක පැවතිය ද, අවදානම්කාරී වෙයි. එය පිරමීඩයේ ස්ථානය අනුව වෙනස් විය හැකිය. උදාහරණ ලෙස මහ බැංකුවේ දැඩි නියාමනයට සහ අධීක්ෂණයට යටත් බැංකු සහ මූල්‍ය සමාගම් තැන්පතු සඳහා මහ බැංකුව විසින් තැන්පතු රක්ෂණයක් ක්‍රියාත්මක කරන්නේ, එම තැන්පතු මුදල් ද අවදානම්කාරී බැවිනි.

  • එබැවින්, සමස්ත මූල්‍ය  පිරමීඩයම අවදානම්කාරී වෙයි. අප විසින් එහි සියළු මුදල් ගනුදෙනු ක‍රන්නේ, ඒවා, කාසි සහ නෝට්ටු ලෙස ආපසු ලබා ගත හැකි බවට ඇති විශ්වාසය නිසා ය. කාසි සහ නෝට්ටු කෙරෙහි විශ්වාසය පවතින්නේ, රජය කෙරෙහි ඇති විශ්වාසය මත මිස, ඒවා නිකුත් කරන මහ බැංකු මුදල් කළමනාකරුවන් පිළිබඳ විශ්වාසය නිසා නොවේ. පිරමීඩයේ සියළු ස්ථරයන් සහ ආයතන ද රාජ්‍ය බලපත්‍රය මත රාජ්‍ය නියාමනය අධිකාරීන් යටතේ පවතී. 
    • එබැවින්, සමස්ත මූල්‍ය  පිරමීඩයම පවතින්නේ, රජය පිළිබඳ විශ්වාසය මත මිස, මුදල්වල ආරක්ෂාව හෝ ගුණාත්මක භාවය නිසා නොවේ. එබැවින්, මූල්‍ය පිරමීඩය බිඳ නොවැටී පවතින්නේ, සදාචාර උවදුර ගැටළුව ලෙස දැක්වෙන, රජය විසින් බේරා ගන්නා බවට විශ්වාසය මත මහජනයා විසින් අවදානම් ගැනීමේ පුරුද්ද තුළිනි. 

    • රටවල කලින් කලට මූල්‍ය අර්බුදයන් හට ගන්නේ, එම විශ්වාසය බිඳ වැටෙන විට ය. එනම්, මහජනයා විසින් තම මුදල්, කාසි සහ නෝට්ටු ලෙස ආපසු ඉල්ලා සිටීම යි. ප්‍රථමයෙන්ම ඊට මුහුණ දෙන්නේ බැංකු තැන්පතු ය. බැංකු චකිත ලෙස දැක්වෙන්නේ එවැනි සිද්ධීන් ය. පසුව, එය පිරමීඩය පුරා පැතිරී යනු ඇත. ඊට හේතුව, පිරමීඩයේ අනෙක් ස්ථරයන් සෘජුව හෝ වක්‍රව බැංකු ස්ථරය මත පවතින බැවිනි. එබැවින්, පිරමීඩය තුළ එතරම් කාසි සහ නෝට්ටු ප්‍රමාණයක් නොමැති බැවින් පිරමීඩය ක්ෂණිකව බිඳ වැටෙනු ඇත.

  • ආර්ථිකයෙහි මුදල් මැවෙන්නේ, මහ බැංකුව විසින් මුද්‍රණය කරනු ලබන මුදල් (එනම්, සංචිත මුදල්) ගනුදෙනු කිරීම හරහා බවත්, එය මුදල් ගුණක ක්‍රියාවලියකින් සිදු වන බවත්, එබැවින්, උද්ධමනය, විදේශ වෙළෙඳ හිඟය, රාජ්‍ය අයවැය හිඟය වැනි මුදල් ප්‍රසාරණය මගින් හට ගන්නා ආර්ථික අස්ථායිතාවයන් සමනය කිරීම සඳහා මහ බැංකුව විසින් ස්වාධීනව තම මුදල් මුද්‍රණය සීමා කළ යුතු බවත් දැක්වෙන අදහස් අර්ථ රහිත ය. 
    • ඉහත දැක්වූ පරිදි මූල්‍ය පිරමීඩයේ විවිධ ස්ථරයන්ට සහ ආයතනයන්ට, මහ බැංකුවට නොදෙවෙනිව මුදල් මුද්‍රණය කළ හැකිය. එකම වෙනස වන්නේ, රුපියල් කාසි සහ නෝට්ටු මුද්‍රණය කිරීමට ඔවුන්ට නෛතික අධිකාරියක් නොමැති වීම යි. තව ද, මුදල් ප්‍රතිපත්තිය හුවා දක්වමින් තමන්ට ඕනෑ ආකාරයට මුදල් මුද්‍රණය කිරීමට හෝ නොකිරීමට මහ බැංකුවට නොහැකිය. අන්තර් බැංකු ගෙවුම් සහ පියවුම් පද්ධතියට අවශ්‍ය වන පරිදි එදිනෙදා මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදු වනු ඇත. 

    • එබැවින්, ආර්ථිකයෙහි හෝ මූල්‍ය පිරමිඩයෙහි සංසරණය වන මුදල් නිෂ්පාදනයට මහජනයා, රජය, මහ බැංකුව සහ බැංකු ඇතුළු බොහෝ පාර්ශවයන් තරඟකාරීව දායක වී ඇති අතර එය හුදෙක් මහ බැංකුවට තම මතයට පමණක් පාලනය කළ හැකි දෙයක් නොවේ.

    • එබැවින්, මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් වෙනස් කිරීම මගින් පිරමිඩය පුරා ණය සහ මුදල් ප්‍රවාහය වෙනස් වී ආර්ථිකයෙහි මිල ස්ථායිතාවය හට ගන්නා බව ප්‍රකාශ කිරීම හුදෙක් මිථ්‍යා සංකල්පයකි. මහ බැංකු පොලී අනුපාතයන් යනු කිසිම අවදානමක් නොගන්නා පොලී අනුපාතයන් වීමත්, මහ බැංකු සංචිත මුදල් ප්‍රමාණය මූල්‍ය පිරමිඩයෙන් 3.8% ක් පමණක් වීමත්, හේතු කොට මහ බැංකු පොලී අනුපාතයන්ට එවැනි දිව්‍ය හැකියාවක් නොමැත.

  • එබැවින්, මූල්‍ය පද්ධතිය ශක්තිමත් බවත්, එය කම්පනයන්ට ඔරොත්තු දෙන බවත්, එහි ස්ථායිතාවය අඛණ්ඩව පවතින බවත්, මහ බැංකු සහ රාජ්‍ය අධිකාරීන් විසින් නිරන්තරයෙන් කෙරෙන ප්‍රකාශනයන් අසත්‍ය වෙයි. ඊට හේතුව, පිරමීඩයේ විවිධ ස්ථරවල ඇති මුදල්වල අවදානම් නොදැනීමත්, පිරමීඩයේ සංසරණය වන මුදල් සමස්තය ණය මගින් නිෂ්පාදනය වී තිබීමත්, කාසි සහ නෝට්ටු වශයෙන් පවතින මුදල් ප්‍රමාණය මුළු පිරමීඩයෙන් 3.2% ක් පමණ වූ සුළු ප්‍රමාණයක් පමණක් වීමත්, මූල්‍ය අර්බුදයක දී අවශ්‍ය විශාල ප්‍රමාණයක කාසි සහ නෝට්ටු මුද්‍රණය සහ සැපයීමට මහ බැංකුවට නොහැකි වීමත් ය. 

    • එබැවින්, මූල්‍ය පද්ධති ස්ථායිතාවය ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව විසින් අනුගමනය කරන බවට හුවා දැක්වෙන සාර්ව විචක්ෂණ අධීක්ෂණය නම් වූ මූල්‍ය නියාමන ක්‍රමවේදය අර්ථ විරහිත ය. 

    • එසේම, සියළු මූල්‍ය නියාමනයන් ඒ ඒ ආයතනවල ප්‍රාග්ධනය, ද්‍රවශීල අරමුදල්, හිඟ ණය වැනි ඇස්තමේන්තුගත අතීත ගිණුම් සංඛ්‍යා ආශ්‍රිතව සිදු කෙරෙන බැවින් සමස්ත මූල්‍ය පිරමීඩය සහ ආර්ථිකය තුළ ජනිත කෙරෙන ව්‍යාපාරික සහ මූල්‍ය අවදානම් හඳුනා ගැනීමට සහ නියාමනය කිරීමට එම නියාමන ආයතනවලට හැකියාවක් නොමැත. 

    • එසේම, තැන්පතු මගින් ගුණාකාරව මුදල් මැවෙන බවට මතවාදය අනුව තැන්පතු ආරක්ෂා කිරීම හරහා ආයතන සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමේ පදනම මත මෙම නියාමනය සිදු කිරීම අර්ථ විරහිත ය. ඊට හේතුව, ණය මගින් තැන්පතු සහ අනෙක් මුදල් වර්ගයන් මැවීම යි. එබැවින්, තැන්පතු සහ මුදල් ආරක්ෂා කිරීමට නම්, මූල්‍ය පිරමිඩයෙහි ඇති ණය ව්‍යුහය ආරක්ෂා කිරීම සඳහා නියාමනය යොමු කළ යුතුය.

    • එබැවින්, රාජ්‍ය නියාමනය තුළින් පිරමීඩයේ විවිධ ස්ථානවල ඇති තම මුදල් ආරක්ෂා වන බවට සෑහීමකට පත්වීමට මහජනයාට නොහැකිය.

  • එබැවින්, මූල්‍ය පද්ධතිය ද පොන්සි ආයෝජන ක්‍රමයක් ලෙස සැලකෙයි. පොන්සි ආයෝජන ක්‍රමයක් යනු ආයෝජකයන්ට ආපසු මුදල් ඉල්ලා සිටින විට ගෙවීමට ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් නොමැති මූල්‍ය ව්‍යාපාරයකි. රටවල මූල්‍ය අර්බුදයන් හට ගන්නේ එබැවිනි.

  • සමස්තයක් ලෙස ගත් විට, මූල්‍ය පිරමීඩයේ ස්ථානය අනුව සියළු මුදල් ගනුදෙනුවල විවිධ ප්‍රතිලාභ සහ අවදානම් පවතී. එබැවින්, අප විසින් මූල්‍ය පිරමීඩය තුළ කෙටි කාලීන පදනමක් මත ප්‍රතිලාභ-අවදානම් කළමනාකරණය කර ගත යුතුය. එහි දී, ප්‍රතිලාභ සහ අවදානම් සහ මුදල්වල ස්වරූපය පිළිබඳ ව තමන්ට දැනුමක් නොමැති කිසිම ආයතනයක හෝ මෙවලමක හෝ ස්ථරයක තම මුදල් නොතැබිය යුතුය. 

  • එබැවින්, අප විසින් දිගු කාලීන පදනමක් මත ධනය කළමනාකරණය කිරීමට පුරුදු විය යුතුය. එය, මූර්ත ආයෝජන වත්කම්වල කළ යුතුය. ඊට හේතුව, මූර්ත වත්කම් ඉහත දැක්වූ මූල්‍ය පිරමීඩ අවදානම්වලට සෘජුව හසු නොවන බැවිනි. මෙහි දී, මුර්ත වත්කම්වලට ස්වයං ව්‍යාපාරික ආයෝජන ඇතුළු තම පාලනයේ පවතින මූර්ත දේපොළ අයත් වෙයි. එම වත්කම්වල ලොකු කුඩා බේදයක් නොමැත. එය තම ඉපැයීම් හැකියාව මත තීරණය වනු ඇත. යාචකයන්ට පවා විවිධ ප්‍රමාණයේ මූර්ත වත්කම් හිමිකම් පවතී.

  • වත්මන් මූල්‍ය පිරමීඩය තුළ දැකිය හැකි අවාසනාවන්ත සිද්ධිය වන්නේ, රාජ්‍ය මුදල් සහ රාජ්‍ය නියාමනය මත මුදල් පිරමීඩය ක්‍රියාත්මක වුව ද, පොදුජන සුබසාදනය උදෙසා වූ රාජ්‍ය අයවැය හිඟය පියවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට නොහැකිව රාජ්‍ය ක්‍රියාකාරකම් සීමා කිරීම යි. 
    • අතීතයේ දී ලෝකය පුරා පෞද්ගලික මුදල් කාටල් හෝ පිරමිඩයන් ලෙස විකාශය වූ මුදල්, මීට සියවසකට පමණ පෙර සිට රටවල රාජ්‍ය මහ බැංකු පිහිටුවා, පෞද්ගලික මුදල් අවලංගු කොට, රාජ්‍ය මුදල් පිරමීඩයන් ගොඩ නගා, රාජ්‍ය අයවැය හරහා පොදුජන සුබසාදනය සඳහා යොමු වූ මුදල් ප්‍රසාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. 

    • එහෙත්, වත්මන් රාජ්‍ය මුදල් පිරමීඩයන් තුළ රාජ්‍ය අයවැය සඳහා මුදල් හිඟය තුළින් රජයන් අවතැන් වී ඇත. එසේ නම්, රජයේ නමින් ක්‍රියාත්මක වන වත්මන් නිල මුදල් කාටලය සහ පිරමීඩය කවුරුන්ගේ යහපත සඳහා පවතී ද? යන්න ඇගයීමක් කිරීමට රජයට හැකියාව තිබිය යුතුය. 

    • මීට හොඳම උදාහරණය, පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු මහ බැංකුව වෙත හදිසියේ ගොස්, චෝදනාවන්ට ලක් වී ඇති එහි ගොඩනැගිලි අළුත්වැඩියා වියදම් නිරීක්ෂණය කොට, රාජ්‍ය ණය පොලී පිරිවැය පහළ දැමීම සඳහා මහ බැංකු පොලී අනුපාතය වහාම පහළ දමන ලෙස උපදෙස් දීම යි. එහෙත්, මහ බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කොට ඇති බැවින් වත්මන් මහ බැංකු අධිපති වෙනස් කොට, නව අධිපති වරයෙකු යටතේ මහ බැංකුව පුනරුත්ථාපනය කිරීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කොට ඇත.

  • වත්මන් මූල්‍ය පිරමිඩය රාජ්‍ය මුදල් මත ගොඩ නැගුව ද, එය මූල්‍ය කාටලයක් විසින් මෙහෙය වන අධි ධනවාදී මූල්‍ය පිරමීඩයකි. 
    • එබැවින්, මුදල් හේතු කොට හට ගන්නා බවට සංකල්පීය චෝදනාවන් නැගෙන විදේශ මුදල් අර්බුද, බැංකු අර්බුද, උද්ධමන හෝ අවධමන පීඩනයන්, ආර්ථික පසුබැසීම් වැනි ආර්ථික අස්ථායිතාවයන්ට වග කිව යුත්තේ, රජය සහ පොදු මහජනතාව නොව, එම මූල්‍ය කාටලය සහ එමගින් මහා පරිමාණයෙන් මුදල් ලබා ගෙන උපයෝජනය කරන සමපේක්ෂක ව්‍යාපාරිකයන් ය. 

    • එබැවින්, ආර්ථික අස්ථායිතාවයන් නිරාකරණයට බව පවසමින්, වැට් බදු ඉහළ දැමීම, රාජ්‍ය සුබසාදන වියදම් අඩු කිරීම සහ රජය කප්පාදු කිරීම වැනි අත්තනෝමතික ධනවාදී ප්‍රතිපත්තිවල බර පොදුජනයාට පැටවීම රාජ්‍ය අසාධාරණයකි. 

    • ඒ වෙනුවට, නව රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය විය යුත්තේ, පුළුල් නිෂ්පාදන ක්‍රියාකාරකම් මූල්‍යකරණයට උපකාර වන ලෙස මූල්‍ය පිරමීඩය සාධාරණ ලෙස ප්‍රතිව්‍යාප්ත කිරීම යි. රජයේ මුදල් සහ පාලනය යටතේ මූල්‍ය පිරමීඩය පවතින බැවින් එය පහසුවෙන් කළ හැකිය.

  • සමස්තයක් ලෙස, අපගේ මුදල් සියල්ල මූල්‍ය පිරමිඩයෙන් ආපසු ගත නොහැකිය. එම මුදල්වලින් 96.8% පවතින්නේ (එනම්, කාසි සහ නෝට්ටු 3.2% කි) ගිණුම්වල සටහන් ඉලක්කම් මුදල් ලෙස ය. එබැවින්, අපට ඇති එකම විකල්පය නම්, ප්‍රතිලාභ-අවදානම් තුලනය මත එම මුදල් පිරමිඩය තුළ ගනුදෙනු කිරීම යි. ඉහළ ප්‍රතිලාභ-අවදානම් මත ක්‍රියා කිරීමෙන් මුදල් අහිමි වූ විට මහ බැංකුවට හෝ රජයට දොස් කීමෙන් හෝ අධිකරණයට යාමෙන් හෝ අහිමි වූ මුදල් ආපසු නොලැබේ. එසේම, කලබල වී කණ්ඩායම් වශයෙන් එක්වර මුදල් ආපසු ගැනීමට උත්සාහ කිරීම ද නොකළ යුතුය. ඊට හේතුව, එසේ මුදල් ගෙවීමට පිරමිඩයට හැකියාවක් නොමැති නොමැති බැවින් මූල්‍ය වසංගතයක් හට ගෙන, ඊට බොහෝ දෙනා ගොදුරු වීම යි. එබැවින්, මුදල් ගැන සැක හිතෙන ඕනෑම වෙලාවක තම මුදල් පිරමිඩයෙන් ඉවත් කළ යුතුය. එය ද, ප්‍රතිලාභ-අවදානම් තීරණයකි.

  • එබැවින්, තිත්ත ඇත්ත වන්නේ, කලින් කලට හට ගන්නා ආයතනික හෝ ස්ථර හෝ පද්ධති අර්බුදයන් හේතු කොට අහිමි වන මුදල්වල පාඩුව, ඊට වගකිව නොයුතු පොදු මහජනයාට දැරීමට සිදු වීම යි. එය, මුදල් නිපදවන රජය හෝ මහ බැංකුව හෝ බැංකු හෝ වෙනත් ආයතන හෝ විසින් නොදරනු ඇත. මීට හොඳම උදාහරණය, පසුගිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් විශ්‍රාම අරමුදල්වලට ඇති කළ බලපෑම යි.

  • ඉහත දැක්වූ සංඛ්‍යාවන් ශ්‍රී ලංකාවට අදාළ වුව ද, මූල්‍ය පිරමීඩය සහ එහි අවදානම් පිළිබඳ කරන ලද නිරීක්ෂණයන් සියළු රටවලට පොදු වෙයි. එහි එකම වෙනස වන්නේ, මූල්‍ය පිරමීඩයන්හි ක්‍රියාකාරී ස්ථරයන්හි ව්‍යාප්තිය සහ පරිමාව රටින් රටට වෙනස් වීම යි.

(මහජනයාගේ මූල්‍ය සාක්‍ෂරතාවය ප්‍රවර්ධනයට උපකාරී වීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙහි දැක්වෙන අදහස් සියල්ල හුදෙක් කතුවරයාගේ අදහස් ය )

පි සමරසිරි
[ආර්ථික විද්‍යාව, බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
(හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව) 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Comments

Popular posts from this blog

මුදල් මුද්‍රණය නොමැතිව දිට්වාවෙන් ගොඩ ඒම බැරි ඇයි? IMF පිටුදැක, රාජ්‍ය මුදල් බලය සුරැකිමු.

නව මාදිලියේ මුදල් ග්‍රන්ථයක් - "ආර්ථිකය හසුරුවන, සතුට ගෙනෙන මුදල් "

ඔබේ මුදල් ආයෝජන සොරුන්ගෙන් රැක ගන්නේ කෙසේ ද? - මූල්‍ය සාක්‍ෂරතාවය VI කොටස