මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාරයන් කිරීමේ ආර්ථික මූලධර්මයන් - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - VI කොටස

 


සුගිය ලිපි දෙකින් කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය සුව කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර කිරීමේ මූලධර්මයන් ඉදිරිපත් කෙරින. ඊට පෙර ලිපියෙන් රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාරයන්ගේ ස්වභාවය, ඒවා අතර පවතින වෙනස සහ පැවතිය යුතු සහයෝගය ඉදිරිපත් කෙරින. ඉදිරි ලිපි පෙළෙන් මූල්‍ය ප්‍රතිකාරයන් පිළිබඳ ප්‍රයෝගික දැනුම බෙදා හැරීමට බලාපොරොත්තු වෙයි.

පංති කාමරය තුළ ඉගැන්වෙන මූල්‍ය ප්‍රතිපත්තිය

මූල්‍ය ප්‍රතිපත්තිය යන වචනය ඇසෙන විට ගුරුවරු සහ සිසුන් බොහෝ දෙනෙකුට පළමුව මතකයට නැගෙනුයේ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාතයන්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, විවට වෙළෙඳපොල කටයුතු, මුදල් මුද්‍රණය සහ ණය පාලනයන් ය. මේවා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයන් හෙවත් ඖෂධයන්ගෙන් කිහිපයකි. දෙවනුව මතකයට නැගෙනුයේ මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ යි. එනම්, ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව යි. උද්ධමන ඉලක්කකරන මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස දැක්වෙන්නේ මෙය යි.  වර්තමාන උද්ධමන ඉලක්කය සංවර්ධිත රටවල 2% ක් ද, ශ්‍රී ලංකාවේ 4%-6% ක් ද, ඉන්දියාවේ 2%-6% ක් ද වෙයි. මෙහි තවත් ප්‍රභේදයක් නම්‍යශීලී උද්ධමන ඉලක්කකර මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින් වෙයි. සමහරුන්ට අනුව එය නාමික ද.දේ.නි. ය ඉලක්කකර මූල්‍ය ප්‍රතිපත්තිය වෙයි.

සමහරු විසින් මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ ලෙස ආර්ථික සහ මිල ස්ථායිතාවය පවත්වා ගෙන යාම දැක්වෙයි. ඇමෙරිකානු මහ බැංකුව දක්වන්නේ ආර්ථිකයේ ස්ථායී මිල ගණන් සහ උපරිම සේවා නියුක්තිය පවත්වා ගෙන යාම තම අරමුණ බව යි. යුරෝපිය මහ බැංකුව දක්වන්නේ ආර්ථිකයේ මිල ස්ථායීතාවය පවත්වා ගෙන යාම තම අරමුණ බව යි.

රටක මූල්‍ය අර්බුදයක් හට ගන්නා අවස්ථාවල ද මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හරහා මූල්‍ය ස්ථායිතාවය නැවත ඇති කොට ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කිරීම ද සාමාන්‍ය පිළිවෙත යි. උදාහරණ ලෙස ඇමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛ සංවර්ධිත රටලවල හට ගත් 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය මැඩලීම සඳහා එම රටවල දශකයක පමණ කාලයක් අති ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ලදි. එබැවින්, මූල්‍ය ස්ථායීතාවය පවත්වා ගෙන යාම ද මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස දැක්වෙයි. ඒ අනුව, බහුවිධ අරමුණු සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන බව පැහැදිලි ය.

තෙවනුව, මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය සමහරුන්ගේ මතකයට නැගෙනු ඇත. එනම්, මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයන් වෙනස් කෙරෙන විට එමගින් ආර්ථිකයේ උද්ධමන මට්ටම හෝ අරමුණු කෙරෙහි බලපාන ආකාරය යි. එය මුදල් සැපයුම වෙනස්වීම හරහා ආර්ථිකයේ සමාහාර ඉල්ලුම වෙනස්වීම තුළින් සිදු වන බව දැක්වෙයි. මෙය, ආර්ථිකයේ සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වෙනස් කිරීම තුළින් ඇති කෙරෙන ඉල්ලුම්-සැපයුම් අසමතුලිතතාවය හරහා සිදු වෙයි.

උදාහරණ ලෙස සත්‍ය උද්ධමනය ඉලක්ක උද්ධමන මට්ටමට වඩා පහළ යන දිශානතියකට ආර්ථිකය මුහුණ දෙන විට මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම තුළින් මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමටත්, ඊට ප්‍රතිවිරුද්ධ දිශානතියක් පවතින විට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් මුදල් සැපයුම සංකෝචනය කිරීමටත් ක්‍රියා කිරීම දැක්විය හැකිය. ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථවල මූල්‍ය ප්‍රතිපත්තිය මාතෘකාව යටතේ සාමාන්‍යයෙන් දැක්වෙන්නේ මෙම සංකල්පීය තොරතුරු ය.

එහෙත්, සැබෑ ලෝකයේ රටවල මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය විවිධාකාර වෙයි. උදාහරණ ලෙස, 2020 වර්ෂය ආරම්භයේ සිට හට ගත් ගෝලීය කොරෝනා වසංගතය තුළින් ඇති වූ දැඩි ආර්ථික පසුබෑම/අවපාතය මැඩලීම සඳහා සංවර්ධිත රටවල් ප්‍රමුඛ  සියළුම රටවල මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්ති ඓතිහාසික ලෙස ලිහිල් කිරීමත්, දැනට ගෝලීය වශයෙන් උද්ධමනය දැඩි ලෙස ඉහළ යාමක් සිදු වුව ද, තවදුරටත් එම ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමත්  දැක්විය හැකිය.

එසේම, ඇමෙරිකානු මහ බැංකුව විසින් 2016 වර්ෂයේ දෙසැම්බර් සිට 2018 වර්ෂයේ දෙසැම්බර් මස දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතය 0.50% සිට 2.50% දක්වා මුළු වශයෙන් 2% කින් අවස්ථා 8 ක දී සීග්‍රයෙන් ඉහළ දැමීම හරහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ අතර, ඒ හේතු කොට විදේශ මූල්‍ය අයෝජනය විශාල වශයෙන් දියුණු වන රටවලින් ඇමෙරිකාවට ගලා යාමෙන් ඇති වූ විදේශ විනිමය ආතතිය  මැඩලීම සඳහා දියුණු වන රටවල් රාශියක් විසින් ද තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වේගයෙන් ඉහළ දමමින් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරන ලදි.

මෙවැනි අවස්ථාවන් ඉහත දැක්වූ ආර්ථික විද්‍යා ඉගැන්වීමෙන් පැහැදිලි කළ නොහැකිය. ඊට හේතුව, ප්‍රායෝගික ලෝකයේ මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කිරීම එසේ ඍජු සරල සිද්ධියක් නොවන බැවිනි. එබැවින්, වර්තමානයේ  කොරෝනා ආර්ථික ආසාත්මිකතාවය සුව කිරීම සඳහා විවිධ සංකල්පයන් සහ අදහස් මත විවිධ ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාරයන් ගවේෂණය කිරීමේ සහ අත්හදා බැලීමේ ක්‍රියාවලියක් ලෝකය පුරා දැකිය හැකිය.

ආර්ථිකයේ ණය ප්‍රවාහය සහ මූල්‍ය ප්‍රතිපත්තිය

නූතන ආර්ථිකයන්හි මහජනයා අතර සංසරණය වන මුදල් ජනිත වන්නේ ණය හරහා ය. එය පළමුව මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම ද, දෙවනුව බැංකු විසින් තැන්පතු සහ ණය ව්‍යාපාරය තුළින් ණය ප්‍රදානය හරහා සිදු වෙයි. මුදල් මුද්‍රණය සහ ණය මැවීම ලෙස ද මෙය දැක්වෙයි. පදනම්/අධි බලැති මුදල් සහ මුදල් ගුණක ක්‍රියාවලිය ලෙස ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථවල දැක්වෙන්නේ මෙය යි. ඒ අනුව, මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකයේ මුදල් සැපයුම කෙරෙහි බලපානුයේ බැංකු පද්ධතිය මගින් ප්‍රදානය කෙරෙන ණය ප්‍රවාහය හරහා ය.

උදාහරණ ලෙස මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීමේ දී ආර්ථිකයේ පොලී අනුපාතයන් ද ඊට අනුරූපව ඉහළ යනු ඇත. එවිට, ණය ගැනීමේ පිරිවැය ඉහළ යන බැවින් ආර්ථිකයේ සමස්ත බැංකු ණය ඉල්ලුම පහළ යාම තුළින් බැංකු ණය වර්ධන වේගය පහළ යනු ඇත. එනම්, මුදල් සැපයුමේ  වර්ධනය පහළ යාම යි.

අනෙක් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වෙනස් කිරීම තුළින් ද එසේ බැංකු ණය ප්‍රදානය කෙරෙහි බලපානු ඇත. උදාහරණ ලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමු විට ණය ප්‍රදානය සඳහා බැංකු වෙත ඇති අරමුදල් ප්‍රමාණය පහළ යාම හේතු කොට ණය ප්‍රසාරණය පහළ යනු ඇත. සමහර අවස්ථාවල මූල්‍ය ප්‍රතිපත්තියේ මට්ටම තීව්‍ර කිරීම සඳහා උපකරණයන් කිහිපයක් එකවර භාවිතා කිරීම දැකිය හැකිය. ඊට අමතරව, මහ බැංකුවේ මුදල් මුද්‍රණය වෙනස් කිරීමෙන් ද ණය ප්‍රවාහය වෙනස් කළ හැකිය. උදාහරණ ලෙස ගෝලීය කොරෝනා වසංගත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට උපකාරී වීම සඳහා සීග්‍රයෙන් ණය ප්‍රසාරණය කිරීමේ අරමුණ මත ලෝකයේ බොහෝ රටවල ඓතිහාසික මට්ටමින් මුදල් මුද්‍රණය කිරීම දැකිය හැකිය.

ලෝකයේ මූල්‍ය ප්‍රතිපත්තියේ ආරම්භය

ඈත අතීතයේ සිට මුදල් භාවිතය පැවතිය ද, මූල්‍ය ප්‍රතිපත්තිය ලෝකයේ ආරම්භ වූයේ 20 වැනි සියවස ආරම්භයේ රාජ්‍ය මුදල් සහ රාජ්‍ය මහ බැංකු ආරම්භ වීමත් සමඟ ය. එය යුරෝපයේ සහ ඇමෙරිකාවේ සිදු වූ බව වාර්තා වෙයි. ඊට පෙර මුදල් නෝට්ටු නිකුත් කරනු ලැබුවේ වාණිජ බැංකු විසින් ඔවුන්ගේ නමිනි. එනම්, පෞද්ගලික මුදල් නෝට්ටු ය.

  • රන් මිනුම සහ මුදල්

නූතන බැංකු සහ මුදල් නෝට්ටු ක්‍රමයේ ආරම්භය 17 සහ 18 වැනි සියවස්වල යුරෝපයේ රන්කරුවන් බව පිළි ගැනේ. පසුව වාණිජ බැංකු විසින් මුදල් නෝට්ටු මුදල් නිකුත් කිරීම සිදු කෙරින. එය රන් මත පදනම් විය. එනම්, වාණිජ බැංකු විසින් නිකුත් කෙරෙන මුදල් නෝට්ටු සියයට සියයක් රන් බවට පරිවර්තනය කෙරෙන බවට පොරොන්දුව සහ විශ්වාසය යි. ඊට හේතුව මුදල් ලෙස රන් භාවිතා වීම යි. එබැවින්, බැංකු විසින් රන් තැන්පතු භාර ගැනීමේ දී සහ ණය දීමේ දී තම නමින් යුත් බැංකු නෝට්ටු මුදල් නිකුත් කරන ලදි.

පසුව, සියළු රන් තැන්පතු හිමියන් විසින් එකවර රන් ඉල්ලා නොසිටින බවට ලද අත්දැකීම මත තම රන් සංචිතයට වඩා වැඩි ප්‍රමාණයක ණය දීමට වාණිජ බැංකුවලට හැකි විය. මෙම රන් සංචිතය වත්මන් ව්‍යවස්ථා සංචිත අනුපාතයට සමාන විය. අවදානම්කාරී ව්‍යාපාරික කටයුතු හේතු කොට කඩා වැටෙන බැංකුවලින් තැන්පතු හිමියන්ට පාඩු විය. ඊට හේතුව, කඩා වැටෙන බැංකු විසින් නිකුත් කොට ඇති මුදල් නෝට්ටු මහජනයා විසින් ප්‍රතික්ෂේප කිරීම යි. ඉහළ ගනුදෙනුකාර පිළිගැනීමක් සහ විශ්වාසයක් පැවති බැංකු විසින් බැංකුවල බැංකු ලෙස බැංකු නෝට්ටු නිෂ්කාශනය සහ ණය දීම සිදු කෙරින. රාජ්‍ය අනුග්‍රහය ලද වාණිජ බැංකුවක් ලෙස 1694 දී පිහිටු වන ලද එංගලන්ත බැංකුව (දැනට එංගලන්තයේ රාජ්‍ය මහ බැංකුව වන) එවැනි පෞද්ගලික මහ බැංකුවක් විය.

  • වෙළෙඳපොළ විසින් මුදල් පාලනය

එහෙත්, රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය හෙවත් බැංකු නෝට්ටු ප්‍රමාණය ආර්ථිකය/වෙළෙඳපොළ විසින්ම පාලනය කෙරින. ජාත්‍යන්තර වෙළෙඳාම මෙහි මූලික සාධකයක් විය. එය වෙළෙඳ/ගෙවූම් ශේෂ හිඟයන්/අතිරික්තයන් හරහා සිදු විය. උදාහරණ ලෙස රටක ගෙවුම් ශේෂ අතිරික්තයක් පවතින විට එරටට පිටරටවලින් රන් ලැබෙන අතර එම රන් බැංකුවලට තැන්පතු ලෙස ලැබීම සහ ඒ මත නව ණය ප්‍රදානය හරහා බැංකු විසින් මුදල් නෝට්ටු නිකුත් කෙරින. එනම්, රටේ මුදල් සැපයුම ඉහළ යාම යි.  මීට ප්‍රතිවිරුද්ධව, ගෙවුම් ශේෂ හිඟයක් පවතින විට මුදල් සැපයුම් පහළ යන ලදි. 

එසේම, මුදල් සැපයුම ඉහළ යාම හෝ පහළ යාම හේතු කොට නැවත ගෙවුම් ශේෂ හිඟයක් හෝ අතිරික්තයක් හට ගැනීම තුළින් මුදල් සැපයුම නැවත ස්වයංක්‍රීයව පාලනය වනු ඇත. උදාහරණ ලෙස ගෙවුම් ශේෂ අතිරික්තයක් හරහා මුදල් සැපයුම ප්‍රසාරණය වන විට ආර්ථිකයේ පොලී අනුපාතයන් පහළ යනු ඇත (සැපයුම ඉහළ නිසා මිල පහළ යාම). එවිට, ආයෝජකයන් විසින් පොලී අනුපාතයන් ඉහළ විදේශ රටවල මුදල් ආයෝජනය කිරීම හේතු කොට විදේශ රටවලට රන් ඇදී යනු ඇත. එවිට, රට තුළ ගෙවුම් ශේෂ හිඟයක් හට ගැනීම හරහා මුදල් සැපයුම පහළ යනු ඇත. මිට ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ගෙවුම් ශේෂ හිඟ රටවල සිදු වෙයි.

ඒ අනුව, රන් සම්මතය මත ක්‍රියාත්මක වූ ගෝලීය මූල්‍ය ක්‍රමය තුළ රටවල මුදල් සැපයුම තීරණය වූයේ ගෙවුම් ශේෂ හිඟය සහ අතිරික්තය මත ය. නූතන ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය පවතින රටවල ද මුදල් සැපයුම තීරණය වනුයේ ගෙවුම් ශේෂ තත්ත්වය මත රැඳෙන විදේශ විනිමය සංචිතය මත ය. මෙම විදේශ විනිමය සංචිතය අතීතයේ රටවල පැවති රන් සංචිතය හා සමාන වෙයි. ශ්‍රී ලංකාවේ 1950 දී මහ බැංකුව පිහිටු වීමට පෙර පැවතියේ මෙවැනි ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයකි.

  • රාජ්‍ය මුදල් ක්‍රමය සහ මහ බැංකු පිහිටු වීම

එහෙත්, රාජ්‍ය මුදල් නෝට්ටු සහ මහ බැංකු පිහිටු වීමත් සමඟ නූතන රාජ්‍ය මුදල් ක්‍රමය සහ එය පාලනයට මූල්‍ය ප්‍රතිපත්ති නීති ගත කොට ඇත. ඒ අනුව, විවිධ ආර්ථික සංකල්පයන් සහ සමකාලීන දේශීය සහ විදේශීය සාධකයන් මත පදනම් වී මූල්‍ය ප්‍රතිපත්ති තුළින් ආර්ථිකයේ මුදල් සැපයුම මෙහෙය වීම සිදු කෙරේ.

එහෙත්, මුදල් සැපයුම තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය මට්ටමේ පාලනය කිරීමට මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාවක් නොමැත. ඊට හේතුව, මුදල් සඳහා ද වෙළෙඳපොළක් පවතින අතර එහි ඉල්ලුම් සහ සැපයුම් බලවේග ක්‍රියාත්මක වන බැවිනි. එසේම, වර්තමාන මුදල් සංසරණය මහ බැංකු නෝට්ටුවලට පමණක් සිමා නොවන අතර විද්‍යුත් මුදල් ද අධික ලෙස සංසරණය වනු ඇත. එබැවින්, මුදල් සැපයුම කෙරෙහි වෙළෙඳපොළ සාධක ද බලපානු ඇත.


(ඊළඟ ලිපියෙන් මුදල් මුද්‍රණය කෙරෙන ආකාරය පිළිබඳ ව සාකච්ඡා කෙරේ. මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයන් න මෙම කතුවරයාගේ මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව සහ "INNOVATING CENTRAL BANKS" යන ග්‍රන්ථයන් පරිශීලනය කරන්න.)


පී සමරසිරි
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි