කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය නිෂ්ඨාවට සුව කෙරෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කිරීමේ මූලධර්මයන් අවබෝධ කර ගනිමු - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - IV කොටස

 

(මෙම ලිපි කලාපයෙහි අරමුණ වනුයේ සම්මතවාදී ආර්ථික විද්‍යා න්‍යායන්ට කොටු නොවී, මෙම අවස්ථාවේ පවතින ගෝලීය කොරෝනා ආර්ථික වසංගතය වැනි කලින් කලට හට ගන්නා ආර්ථික කම්පනයන්ගෙන් පොදුජනතාව ආරක්ෂා කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා ගෝලීය ආර්ථිකයක් තුළ සම්පත් රැස්කිරීම සහ උපයෝජනය කිරීමේ නව්‍ය ක්‍රමවේදයන් සෙවීම පිණිස ආර්ථික විද්‍යා ගුරුවරුන් සහ සිසුන්ගේ ආර්ථික දැනුම වර්ධනය කිරීම යි. 

එබැවින්, පහසු අවබෝධය සඳහා ආර්ථිකයක් මිනිස් ශරීරයට උපමා කොට කලින් කලට හට ගන්නා ආර්ථික ප්‍රශ්නයන් යනු ආර්ථිකයේ විවිධ වෙළෙඳපොළ අවයවවල හට ගන්නා ආසාදනයන්ගේ රෝග ලක්ෂණයන් ලෙස සලකා එම රෝග නිධානයන් සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාරයන් කළ යුතු ආකාරය මෙහිදී විග්‍රහ කෙරේ. මෙම ලිපිය එහි IV වන ලිපිය යි.)

මෙම ලිපි කලාපයේ III ලිපියෙන් කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය කුමක් ද? යන්න සහ එයට ප්‍රතිකාර කිරීම සඳහා නව පරීක්ෂණ දත්ත සහ නව රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාර වට්ටෝරු අවශ්‍ය බව ඉදිරිපත් කරන ලදි. එහිදී, මුදල් යනු ආර්ථික ඉන්ද්‍රියයන් සහ ශරීරය ක්‍රියාත්මක කෙරෙන රුධිරය බවත්, කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය සුව කිරීම සඳහා රෝගී ආර්ථිකයේ ඉන්ද්‍රියයන් ක්‍රියාශීලී කිරීම පිණිස අවශ්‍ය මුදල් රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සැත්කම් මත පදනම් වූ ප්‍රතිකාරයන් හරහා සංසරණය කල යුතු බවත් යෝජනා කරන ලදි.

ප්‍රතිකාර කිරීමේ දී පැහැදිලි මූලධර්මයන් අනුගමනය කළ යුතු වීම

රෝගී මිනිස් ශරීරයට ප්‍රතිකාර කිරීමේ දී මෙන් රෝගී ආර්ථිකයකට ප්‍රතිකාර කිරීමේ දී ද වෛද්‍ය මූලධර්මයන් මත පදනම් වී කළ යුතුය. එහෙත්, අතීතයේ දී සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ මූලධර්මයන් මෙම අවස්ථාවේ යෝග්‍ය නොවේ. ඊට හේතුව, කොරෝනා වෛරසය හේතු කොට ලෝකය පුරා හට ගෙන ඇති ආර්ථික ආසාත්මිකතාවය මීට පෙර අත්දැක නොමැති අසාමාන්‍ය තත්ත්වයක් වන බැවිනි. ඒ බව ගෝලීය ආර්ථිකය දිනෙන් දින මුහුණ දෙන විවිධ/නව සංකූලතාවයන්ගෙන් පැහැදිලි වෙයි. ඒවා විවිධ වෙළෙඳපොළවල පවතින අනපේක්ෂිත අවිනිශ්චිතතාවන් සහ අස්ථායීතාවන් හේතු කොට හට ගෙන ඇත. එබැවින්, ඒවා සම්මත සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන් මගින් පැහැදිලි කිරීමට අපහසු වී ඇත.

උදාහරණ ලෙස කොරෝනා වසංගතය ආරම්භයේ සංවර්ධිත රටවල දැඩි ශ්‍රම සේවා වියුක්තියක් හට ගත්ත ද, දැනට ආර්ථිකයන් විවෘත කිරීමේ දී ශ්‍රම බලකාය පහළ ගොස් ශ්‍රම හිඟයක් හට ගෙන වැටුප් ඉහළ යාමේ සංකූලතාවයන් හට ගෙන ඇත.  මෑත දී එංගලන්තයේ සති කිහිපයක් තුළ ඉන්ධන බවුසර් රියදුරන්ගේ හිඟය හේතු කොට ඉන්ධන බෙදා හැරීම කඩා වැටී ඉන්ධන පිරවුම්හල් වැසි ගිය අතර, රට පුරා ඉන්ධන පෝලිම් හට ගෙන දැඩි ආර්ථික ආතතියක් ඇති විය. එසේම, ගෝලීය සැපයුම් ජාලයන් තවමත් යථා තත්ත්වයට පත් නොවුන ද, ඉන්ධන මිල ගණන් අධික ලෙස ඉහළ යමින් ලෝකය පුරා පසු ගිය දශක දෙක පුරා නොදුටු මට්ටමේ ඉහළ උද්ධමන රැල්ලක් හට ගෙන ඇත. සමහර ආර්ථික විද්‍යාඥයන්ට අනුව මෙය තාවකාලික උද්ධමන තත්ත්වයක් වන අතර තවත් සමහර ආර්ථික විද්‍යාඥයන්ට අනුව මෙය දිගු කාලීන උද්ධමනකාරී තත්ත්වයක ආරම්භයකි. එසේම, සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් 1970 ගණන්වල ලෝකය මුහුණ දුන් උද්ධමනකාරී එකතැන පල්වෙන ආර්ථික තත්ත්වයකට (Stagflation) නැවත මුහුණ දීමේ අවදානමක් පුරෝකතනය කෙරේ.

එහෙත්, කොරෝනා වෛරසය හේතු කොට සිදු වූ ක්ෂණික සැපයුම් ජාලයන් බිඳී යාම තුළින් ගෝලීය ආර්ථිකයේ විවිධ ආර්ථික ක්‍රියාකාරකම් සහ වෙළෙඳපොළවල හට ගෙන ඇති කම්පනයන් සහ අස්ථායීතාවයන් මොනවා ද? යන්න පිළිබඳ ව තවම ප්‍රමාණවත් තොරතුරු නොමැත. එබැවින්, මෙවැනි පැරණි හෝ සම්මත ආර්ථික සංකල්පයන් පසු පස නොගොස් නව සංකල්පයන් සහ මූලධර්මයන් මත පදනම් වී ආර්ථික ප්‍රතිකාරයන් සෙවීම වඩාත් යෝග්‍ය වනු ඇත. ඊට හේතුව, මෙම ආර්ථික ආසාත්මිකතාවය ඉදිරි වර්ෂ කිහිපයක් පුරා පැවතිය හැකි බැවිනි. රාජ්‍ය අධිකාරීන් විසින් කඩිමුඩියේ එහෙන් මෙහෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිකාරයන් හේතු කොට අතිරේක ආසාදනයන් හට ගෙන ඇති බවට සාක්ෂි බොහෝ වෙයි. සමාජ අගුළු දැමීම සහ විවෘත කිරීම්වල පැවති දුර්වලතාවන් හේතු කොට කොරෝනා රැල්ලන් හට ගැනීම එයට හොඳ උදාහරණයකි. එබැවින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර වට්ටෝරු නිර්දේශ කිරීමේ දී අනුගමනය කළ යුතු මූලධර්ම කිහිපයක් යෝජනා කළ හැකිය.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර මූලධර්මයන් කිහිපයක්

  • වෙළෙඳපොළ පද්ධතියට සහ ප්‍රතික්‍රියාවන්ට ගරු කිරීම

සාර්ව ආර්ථිකයක් යනු වෙළෙඳපොළවල් අති විශාල සංඛ්‍යාවක එකතුවකි. එයට දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළවල් අඩංගු වෙයි. මෙම වෙළෙඳපොළවල් ඍජුව සහ වක්‍රව එකිනෙකට සම්බන්ධ වී ඇති අතර එක් වෙළෙඳපොළක හට ගන්නා කම්පනයක් හෝ ආසාදනයක් තවත් වෙළෙඳපොළවල් රාශියක් කෙරෙහි පැතිරී ගොස් ප්‍රතික්‍රියාවන් හට ගනු ඇත. උදාහරණ ලෙස ශ්‍රම හිඟයක් හට ගෙන වැටුප් ඉහළ ගිය හොත් එය වෙනත් වෙළෙඳපොළවල කෙරෙන නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළවල මිල ගණන් (උද්ධමනය) ඉහළ යනු ඇත. එවිට, පොලී අනුපාතයන් ඉහළ යාම හරහා ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළවල්  කෙරෙහි ද බලපානු ඇත. එබැවින්, ඕනෑම අවස්ථාවක ආර්ථිකයක් යනු වෙළෙඳපොළවල් අතර සිදු වන අන්තර් ප්‍රතික්‍රියාවල එකතුවකි.

එබැවින්, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාර කිරීමේ දී වෙළෙඳපොළවල් අතර පවතින මූලික අන්තර් සබඳතාවය සහ ප්‍රතික්‍රියාවන් හඳුනා ගැනීම සහ එයට  ගරු කිරීම කළ යුතුය. එයට එරෙහිව දේශපාලනික මූලධර්මයන් මත ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ හොත් ආර්ථිකය තුළ නව ආසාදනයන් පැතිරෙනු ඇත. උදාහරණ ලෙස පසුගිය මාස කිහිපය තුළ සහල්, කිරිපිටි, සීනි, ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පාලනය සඳහා කරන ලද පැරණි රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් හේතු කොට ආර්ථිකය පුරා හට ගත් දැඩි භාණ්ඩ හිඟය, දිගු පෝලිම්, කළු කඩය සහ එමගින් වෙනත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම තුළින් ආර්ථික ආසාදනයන් රැල්ලක් හට ගැනින. 

රජය විසින් එය තේරුම් ගෙන මිල පාලනයන් ඉවත් කළ විගස එම වෙළෙඳපොළවල් ක්‍රමයෙන් ස්ථායීකරනය හෝ ආසාදනයන් ඉවත් වීම සිදු විය. වර්තමාන ගෝලීය බලශක්ති මිල අර්බුදය හමුවේ චීනය විසින් ද ගල් අඟුරු බලශක්ති මිල ගණන් තීරණය කිරීමට පුර්ණ නිදහස වෙළෙඳපොළ වෙත මෑත දී ලබා දෙන ලදි. ගෑස් මිල ඉහළ යාම හේතු කොට දර සහ භූමිතෙල් උදුන් ඉල්ලුම ඉහළ යාම ද වෙළෙඳපොළ ප්‍රතික්‍රියාවන් පිළිබඳ හොඳ උදාහරණයකි. මෙහිදී, දර සහ භූමිතෙල් උදුන් මිල ගණන් පාලනය කිරීමට රජය ක්‍රියා කළ හොත් තවත් ආර්ථික ආසාදනයන් රැසක් හට ගනු ඇත. එබැවින්, යම් ආර්ථික ආසාදනයක් සුව කිරීම සඳහා වෙළෙඳපොළ ස්වයං ප්‍රතික්‍රියාවන් හෝ ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන අතර බාහිර ප්‍රතිකාර අවශ්‍ය වනුයේ එය ප්‍රමාණවත් නොවීම හෝ කල් ගැනීම සිදු වන අවස්ථාවල ය.  

  • කතිපයාධිකාරී වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය පිළි ගැනීම

කතිපයාධිකාරී වෙළෙඳපොළ (Oligopoly) යනු විශාල සැපයුම් කරුවන් කිහිප දෙනුකු හෝ සැපයුම්කාර එකමුතුවක් (Cartel) විසින් මෙහෙය වන වෙළෙඳපොළ යි. එබැවින්, කුඩා සැපයුම් කරුවන් විසින් විශාල සැපයුම් කරුවන් විසින් තීරණය කෙරෙන මිල ගණන් අනුගමනය කරනු ඇත. මීට හොඳම උදාහරණයන් වනුයේ සහල්, වී සහ බැංකු සේවා යන වෙළෙඳපොළවල් ය. එබැවින්, එවැනි වෙළෙඳපොළ නායකයන් යනු වෙළෙඳපොළ මාෆියාවරුන් ලෙස සලකා, ඔවුන් විනාශ කිරීමට රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාර වට්ටෝරු ක්‍රියාත්මක කිරීම තුළින් සිදු වනුයේ, එම වෙළෙඳපොළවල් අක්‍රීය වීමෙන් ආර්ථිකය දැඩි ආසාදනයන්ට පත් වීම යි. කතිපයධිකාරි වෙළෙඳපොළවල් හට ගැනීම තරඟය, සාපේක්ෂ වාසි සහ ඵලදායිතාවය මත සිදු වන ආර්ථික සිද්ධියකි. සමහර විට එවැනි වෙළෙඳපොළ නායකයන් විශේෂිත රාජ්‍ය ප්‍රතිකාරයන්/අනුග්‍රහය මත බිහි වීම සිදු විය හැකිය. එහෙත්, දේශපාලනික සංකල්පයන් මත ඔවුන් විනාශ කිරීමට උත්සාහ කිරීම මූලධර්ම ගරුක රාජ්‍ය ප්‍රතිකාරයන් නොවේ. ඊට හේතුව, එම වෙළෙඳපොළවල් ආර්ථික පද්ධති වැදගත් කමක් සහිත බැවිනි. මෙහිදී, එම වෙළෙඳපළ නායකයන්ට ලබා දී ඇති විශේෂ රාජ්‍ය මූල්‍ය සහනයන් සහ ආරක්ෂාවන් ක්‍රමයෙන් ඉවත් කොට පුළුල් වෙළෙඳපොළ තරගකාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිකාරයන් අවශ්‍ය වෙයි.

  • රාජ්‍ය මූල්‍ය ප්‍රවාහය පොදු ආර්ථික ආයෝජන ප්‍රවාහය ලෙස පිළි ගැනීම

රාජ්‍ය මූල්‍ය ප්‍රවාහයේ දී මූලික වන්නේ රාජ්‍ය වියදම් පරිමාව යි. වියදම මූල්‍යකරන මාර්ගයන් ලෙස සාමාන්‍යයෙන් බදු සහ ණය සැලකේ. රාජ්‍ය වියදම් පරිමාව විග්‍රහ කිරීමේ දී වර්තන/පරිභෝජන සහ ප්‍රාග්ධන/ආයෝජන ලෙස වර්ග කිරීම සම්ප්‍රදායික ක්‍රම වේදයකි. මෙහිදී, පොදු රාජ්‍ය සේවා සහ සංක්‍රාම වියදම් පරිභෝජන වියදම් ලෙස සලකා ඒවා කපා හැරීම තුළින් රාජ්‍ය මූල්‍ය හිඟය පාලනය කිරීම සහ රාජ්‍ය මූල්‍ය විනය වැඩීම පිළිබඳ ව ආර්ථික විද්‍යා විශ්ලේෂණයන් සිදු කෙරේ.

සාර්ව ආර්ථික විග්‍රහවල දී රාජ්‍ය වියදම් යනු ආර්ථිකයේ සමාහාර වියදමේ/ඉල්ලුමේ වැදගත් කොටසක් ලෙස සැලකේ. එබැවින්, ආර්ථික පසුබෑම් හෝ අවපාත කාලවල ආර්ථික සහ රැකියා වර්ධනය ඉලක්ක කොට සමාහාර ඉල්ලුම ඉහළ දැමීම සඳහා රාජ්‍ය වියදම් පරිමාව ඉහළ දැමීමට කෙරෙන නිර්දේශය සම්ප්‍රදායික ආර්ථික විද්‍යා මූලධර්මයකි. මෙහිදී, රාජ්‍ය පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් අතර වෙනසක් නොදැක්වෙයි. සමස්ත රාජ්‍ය වියදම් ඉහළ යාම හේතු කොට ආර්ථිකය තුළ නිෂ්පාදනය හෝ සමාහාර සැපයුම ගුණාකාර ලෙස ඉහළ යාම තුළින් සේවා වියුක්ත සම්පත් උපයෝජනය, ආදායම සහ සේවා නියුක්තිය ඉහළ යනු ඇත. එහෙත්, රාජ්‍ය වියදම්වල ඇති ආර්ථික වැදගත්කම දෙස බැලීමේ දී රාජ්‍ය වියදම් බහුතරය ආයෝජන වියදම් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය, ධාරිතා උපයෝජනය සහ ඵලදායිතාවය බොහෝ දුරට රාජ්‍ය වියදම් පරිමාව මගින් තීරණය වන බැවිනි. මේ සඳහා උදාහරණ රාශියක් දැක්විය හැකිය.

ජාතික ආරක්ෂක වියදම් වර්තන/පරිභෝජන වියදම් ලෙස සැලකුව ද, ජාතික ආරක්ෂාවක් නොමැති විට නිෂ්පාදන ධාරිතාවයක් හෝ උපයෝජනයක් නොමැති වනු ඇත. අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සඳහා කෙරෙන වර්තන වියදම් තුළින් ආර්ථිකයේ ශ්‍රම හමුදාව සහ එහි ගුණාත්මක භාවය තීරණය කෙරෙන බැවින් එය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමකි. විවිධ රාජ්‍ය සේවාවන් තුළින් ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පරිමාව සහ ව්‍යුහය තීරණය කෙරෙන බැවින් රාජ්‍ය සේවා සඳහා කෙරෙන සේවක වැටුප් වැනි වර්තන වියදම් යනු ආර්ථිකයේ ධාරිතාවය සහ ධාරිතා උපයෝජනය තීරණය කෙරෙන ආයෝජන වියදමකි.

වන සංරක්ෂණය, අභය භුමි, පරිසරය සුරැකීම සඳහා කෙරෙන රජයේ වියදම් යනු සමස්ත නිෂ්පාදන ධාරිතාවය රැකෙන සහ වර්ධනය කෙරෙන වියදමකි. විවිධ සංක්‍රාම වියදම් තුළින් ඇති කෙරෙන සමාජ ආරක්ෂණය තුළින් පෞද්ගලික අංශයේ නිෂ්පාදන ධාරිතාවට උපකාරී වනු ඇත. බොහෝ පෞද්ගලික නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පරිමාව සහ වර්ධනය රජය විසින් මිල දී ගනු ලබන භාණ්ඩ හා සේවා පරිමාව මත තීරණය වනු ඇත. මීට හොඳම උදාහරණය රාජ්‍ය කොන්ත්‍රාත් මත කෙරෙන ඉඳිකිරීම් කර්මාන්තය යි. රාජ්‍ය යටිතල පහසුකම් පද්ධතිය (ජලාශ්‍ර, වාරි මාර්ග, මහා මාර්ග, වරාය, ගුවන් තොටුපොළ, විදුලිබල පද්ධතිය) මගින් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවයට කෙරෙන දායකත්වය අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත්, කොරෝනා වසංගතයෙන් පීඩා විඳින කුටුම්බයන්ට සහ ව්‍යාපාරයන්ට සහනයන් ලබා දීම සඳහා ලෝකය පුරා රජයන් විසින් ඓතිහාසික ලෙස රාජ්‍ය වියදම් සහ ණය පරිමාව ඉහළ දැමීම කළ ද, එම වියදම් පහළ දමන ලෙස සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් විසින් අදහස් දැක්වීමට පටන් ගෙන ඇත. එහෙත්, ඉහත දැක්වූ පිළි ගැනීම අනුව රාජ්‍ය වියදම් කපා හැරීම තුළින් දැනට දැඩි කොරෝනා වෛරස් ආසාත්මිකතාවයට ලෙස මුහුණ දී ඇති නිෂ්පාදන ධාරිතාවය තවත් පහළ ගොස් ආර්ථිකයන් පුරා නව ආසාදනයන් හට ගනු ඇත.

එබැවින්, රාජ්‍ය වියදම් යනු නිෂ්පාදන ධාරිතාවය වර්ධනය සහ උපයෝජනය ඍජු ලෙස තීරණය කෙරෙන ආයෝජන වියදම් ලෙස පිළි ගත යුතුය. එසේම, මෙම රාජ්‍ය වියදම් ආර්ථිකයේ කොරෝනා වෛරස් ආසාත්මිකතාවයට මුහුණ දී ඇති වෙළෙඳපොළවල්/ආර්ථික අංශයන් සහ ආසාදන මට්ටම් අනුව බෙදා හැරීම කළ යුතුය. එනම්, විවිධ ශල්‍යකර්ම ස්වරූපයෙන් රාජ්‍ය වියදම් හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කිරීම යි. මෙහිදී, බදු සහ රාජ්‍ය ණය ද එම ප්‍රතිකාර වට්ටෝරුවට අයත් වෙයි. එබැවින්, අයවැය හිඟයන් හරහා රාජ්‍ය වියදම් මූල්‍යකරනය කෙරෙන රාජ්‍ය ණය වෙත දොස් නොනැගිය යුතු අතර එය ආර්ථිකයේ ධාරිතාවය පවත්වා ගෙන යන ප්‍රධාන ඖෂධය ලෙස සැලකිය යුතුය. නුතන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory) මෙම මූලධර්මය මත ඉදිරිපත් වී ඇත.

  • ආර්ථිකයේ ඩී එන් ඒ (DNA) හඳුනා ගෙන, අවශ්‍ය නම් ඩී එන් ඒ  වෙනස් කිරීම හෝ ජාන තාක්ෂණය භාවිතා කිරීම

පාරම්පරිකව ජාන ලක්ෂණයන් හරහා පවතින රෝගයන් සුව කිරීම සඳහා ඩී එන් ඒ නැවත සැකසීම (Decoding) පිළිබඳ වෛද්‍ය පර්යේෂණයන් දැනට සිදු කෙරේ. රටවල ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට ආර්ථිකයන් අතර ඩී එන් ඒ හෙවත් පදනම් සාධක අතර වෙනස්කම් හඳුනා ගත හැකිය. මෙහිදී, ආර්ථික ඩී එන් ඒ කුමක් ද? යන්න හඳුනා ගත යුතුය. සංවර්ධිත රටවල පුළුල් තරඟය ද,  බොහෝ සංවර්ධනය වන රටවල රාජ්‍ය ආරක්ෂාව හෝ මැදිහත් වීම ද,  ඩී එන් ඒ ලෙස හඳුනා ගත හැකිය. එසේම, සමහර විවෘත ආර්ථිකයන්හි ඩී එන් ඒ යනු විදේශ වෙළෙඳාම ලෙස හඳුනා ගත හැකිය. යටිතල පහසුකම් පද්ධතිය ද ඩී එන් ඒ ලෙස සැලකිය හැකි අවස්ථාවන් පවතී.

බොහෝ කල්පවතින ආර්ථික ආසාදනයන් ආර්ථිකයේ ඩී එන් ඒ ව්‍යුහය සම්බන්ධ ආසාදනයන් ය. එබැවින්, සමහර කල්පවතින ආර්ථික ආසාදනයන් හෝ රෝගයන් සුව කිරීම සඳහා අදාළ ආර්ථික ඩී එන් ඒ වෙනස් කළ යුතුය. වත්මන් කොරෝනා ආර්ථික ආසාත්මිකතාවය දිගු කලක් පවතින බවට නිරීක්ෂණය වෙයි නම්, ආර්ථිකයේ ඩී එන් ඒ පරීක්ෂාවක් කොට ඩී එන් ඒ පදනම් කොට ගත් ප්‍රතිකාරයන් අවශ්‍ය වනු ඇත. එය සංකීර්ණ ප්‍රතිකාර ක්‍රමයක් වනු ඇත.

ඇමෙරිකානු ජනාධිපති විසින් මෙම අවස්ථාවේ ඩොලර් ට්‍රිලියන 2 ක පමණ මහා පරිමාණයේ යටිතල පහසුකම් නවීකරණ අයවැයක් ඉලක්ක කිරීම ද ආර්ථික ඩී එන් ඒ ප්‍රතිකාරයක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, ඇමෙරිකාවේ දැනට පවතින යල්පැන ගිය යටිතල පහසුකම් පද්ධතිය තුළින් එහි ආර්ථික ධාරිතාවය සහ වර්ධනය සිමා කෙරෙන බැවිනි. දැනට ඩොලර්  ට්‍රිලියන 1 ක පමණ වියදමකට දෙපක්ෂය එකඟ වී ඇති අතර ඩොලර් බිලියන 550 ක පමණ යටිතල පහසුකම් වියදම් පණතක් පසුගිය මාසයේ දී අනුමත කරන ලදි.

  • සම්පත් ප්‍රතිව්‍යාප්තියේ අවශ්‍යතාවය පිළි ගැනීම

කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවයේ ඉතාමත් වේදනාකාරී පීඩනය වනුයේ සියළු ආර්ථිකයන්හි සෑම ආර්ථික සහ ජන අංශයකම විෂමතාවය ඉහළ යාම සහ සමස්ත දරිද්‍රතාවය ඉහළ යාම යි. එය පුද්ගලයන්, ජාතින්, නිෂ්පාදන අංශයන්, රටවල් යනා දී සෑම කාණ්ඩයකම දැකිය හැකිය. එබැවින්, කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවයෙන් පූර්ණ සුවය හෝ ගොඩ ඒමට උපකාරී වන ලෙස සම්පත් ප්‍රතිව්‍යාප්ත කිරීමට යෝග්‍ය ප්‍රතිකාරයන් අවශ්‍ය වෙයි.

මෙහිදී, පහළ ආදායම් ලාභී ජන කොටස්වල ආදායම ඉහළ නැංවීම සඳහා යෝග්‍ය ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම මෙන්ම බංකොලොත් භාවයට පත් වී ඇති නිෂ්පාදනයන්ගෙන් සම්පත් කඩිනමින් ඉවත් කොට නව ඵලදායි නිෂ්පාදන අංශයන් වෙත සංචලනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ද අවශ්‍ය වනු ඇත. මෑතදී ඇමෙරිකානු ජනාධිපති විසින් පහළ රැකියා ලාභීන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ මැදි ආදායම් කාණ්ඩය පුළුල් කිරීමේ ප්‍රතිපත්ති ගැනීමේ අවශ්‍යතාවය යෝජනා කොට ඇත. ඔහු විසින් ප්‍රකාශ කොට ඇත්තේ වෙළෙඳපොළ පද්ධතිය තුළින් රැකියා සහ ආදායම් ව්‍යාප්ත වීමේ මූලධර්මය (Trickle Down Economics) මෙම අවස්ථාවේ ඇමෙරිකාවට යෝග්‍ය නොවන බව යි.

  • සම්ප්‍රදායික සාර්ව ආර්ථික දර්ශක දත්ත මත නොව ක්ෂුද්‍ර/ආංශීය ආර්ථික දත්ත මත ස්වභාවික පර්යේෂණ ක්‍රමවේදය අනුව රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම

ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ විග්‍රහ කිරීමේ දී බොහෝ විට ආර්ථික වර්ධන අනුපාතය, උද්ධමන අනුපාතය, විනිමය අනුපාතය, අයවැය හිඟය, රාජ්‍ය ණය ප්‍රතිශතය, විදේශ වෙළෙඳ ශේෂය සහ විදේශ සම්පත් ප්‍රමාණය වැනි සාර්ව ආර්ථික දත්ත ශ්‍රේණියක් පදනම් කර ගැනීම  සාමාන්‍ය පිළිවෙත යි. එබැවින්, ආර්ථිකය හිතකර මට්මක සහ උපණතියක පවතින බව හුවා දැක්වීමට රාජ්‍ය අධිකාරීන් විසින් එම සාර්ව දත්ත ඉලක්ක කොට ගත් ප්‍රතිපත්ති සැලසුම් ඉදිරිපත් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම දැකිය හැකිය.

උදාහරණ ලෙස උද්ධමනය ඉහළ යන විට උද්ධමනය ගණනය කෙරෙන පාරිභෝගික මිල දර්ශකයට ඇතුළත් සමහර භාණ්ඩවල මිල ගණන් උපරිම මිල, බදු සහ සහනාධාර හරහා පාලනය කිරීම තුළින් උද්ධමනය පහළ මට්මක තබා ගැනීම දැක්විය හැකිය. රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රතිශතය පහළ හෙලීම සඳහා රාජ්‍ය වියදම් සිමා කිරීම හෝ කපා හැරීම තවත් උදාහරණයකි. එහෙත්, මෙවැනි ප්‍රතිපත්ති යනු ආර්ථික ආසාදනයන් සඳහා ප්‍රතිකාරයන් නොව ආසාදනයන් යටපත් කොට පෙන්වන ප්‍රතිජීවක ලෙස සැලකිය හැකිය. සාර්ව ආර්ථික දත්ත යනු ආර්ථිකයේ රෝගී ලක්ෂණයන් වන අතර එමගින් රෝග කාරකයන් නොදැක්වෙයි.

එබැවින්, මෙම කොරෝනා වෛරස් ආර්ථික ආසාදන අවස්ථාවේ අවශ්‍ය වන්නේ, ආර්ථිකයේ ආසාදනයන් පවතින ස්ථානයන්/අවයවයන් හෝ වෙළෙඳපොළවල් හෙවත් රෝග කාරකයන් හඳුනා ගෙන ඊට යෝග්‍ය ප්‍රතිකාර කිරීම යි. ඒ සඳහා එම රෝග කාරකයන් නියෝජනය කෙරෙන ක්ෂුද්‍ර/ආංශීය ආර්ථික දත්ත ශ්‍රේණි තෝරා ගෙන, එම දත්ත විග්‍රහය/පරීක්ෂණය කෙටි කාලීනව/නිරන්තරයෙන් කරමින් රෝග කාරකයන් සඳහා ප්‍රතිකාර කළ යුතුය. උදාහරණ ලෙස ආහාර මිල ගණන් ඉහළ යාම හේතු උද්ධමනය ඉහළ යයි නම්, ආහාර වෙළෙඳපොළවල මිල ගණන් ඉහළ යාමට හෝ ආසාදනයට බලපෑ රෝග කාරකයන් සොයා ඊට ප්‍රතිකාර කළ යුතුය. එසේ නැතුව, ආහාර මිල ගණන් නීති හරහා පාලනය කිරීමට යාමෙන් ආර්ථිකය පුරා අතිරේක ආසාදනයන් රැසක් හට ගන්නා බව අතීතය පුරා සාක්ෂි/දත්ත පවතී.

මෙහිදී, අවශ්‍ය වන්නේ ස්වභාවික පර්යේෂණයන් (Natural Experiments) හරහා ප්‍රතිකාර කිරීම යි. ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවන්හි පර්යේෂණ/පරීක්ෂණයන් කළ යුත්තේ තත්කාලීන ලෙස මිනිස් හැසිරීම නිරීක්ෂණය කිරීම හරහා ය. එය ස්වභාවික පර්යේෂණයන් ලෙස හැඳින් වෙයි. වෛද්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව වැනි විද්‍යාවන්හි රසායනාගාර පර්යේෂණයන් (Laboratory Experiments) සිදු කෙරේ. මෙහිදී, සංඝටකයන්/සාධකයන් රසායනාගාර තුළ පාලනය කිරීම හරහා නිරීක්ෂණයන් සහ ප්‍රතිකාරයන් තීරණය කෙරේ. 

මෙම වසරේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරනු ලැබුවේ ආර්ථික විද්‍යාව තුළ ස්වභාවික පර්යේෂණ ක්‍රමවේදයන් දියුණු කරන ලද ආර්ථික විද්‍යාඥයන් තිදෙනකු වෙත ය. ඉන් එක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් ඇමෙරිකාවේ අවම වැටුප් ඉහළ දැමීම හේතු කොට රැකියා සැපයුම පහළ නොයන බව ස්වභාවික පර්යේෂණයක් හරහා තහවුරු කොට ඇත. එහෙත්, න්‍යායාත්මක ආර්ථික විද්‍යා නිරීක්ෂණය වනුයේ අවම වැටුප් ඉහළ දැමීම හේතු කොට රැකියා සැපයුම පහළ යන බව යි.

එබැවින්, සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම පදනම් කර ගත් න්‍යායාත්මක ආර්ථික ආකෘතින් ඉදිරිපත් කළ සම්මතවාදී ආර්ථික විද්‍යාඥයන් (කෙන්ස් වාදීන් සහ මූල්‍ය වාදීන්) මෙන් නොව, නූතන ආර්ථික විද්‍යාඥයන් විසින් ආර්ථික අවයවයන් හෝ ඇණ මුරිච්චිවල (Nuts and Bolts) ක්‍රියාකාරිත්වය (එනම්, ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම් - Microeconomic Behaviors) තත්කාලීන ලෙස පර්යේෂණය කිරීමට නැඹුරු වී ඇත. කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවයට නිසි ප්‍රතිකාර කිරීම සඳහා ද එලෙස තත්කාලීන ක්ෂුද්‍ර ආර්ථික පර්යේෂණයන් අවශ්‍ය වනු ඇත. රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් තුළ එවැනි ක්ෂුද්‍ර ප්‍රතිකාරයන් සඳහා විශේෂඥතාවයක් පවතී.

ඒ අනුව, ආර්ථිකයේ විවිධ අවයවන්හි පවතින ආසාදනයන් හඳුනා ගෙන ස්වභාවික පර්යේෂණයන් හරහා නිසි ප්‍රතිකාරයන් කෙරෙන විට එම ආසාදනයන් දුරු වී සමස්ත ආර්ථිකයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වනු ඇත. එය කාල පමාවක් සහිතව ලැබෙන සාර්ව ආර්ථික දර්ශකයන් තුළින් පිළිබිඹු කෙරෙනු ඇත. එහෙත්, මෙම සාර්ව ආර්ථික දර්ශකවල හැසිරීම හෝ වෙනස්වීම් පිළිබඳ ව විවිධ අර්ථකතනයන් පවතින අතර ඊට හේතු වූ ආර්ථික සාධක වෙන් කොට හඳුනා ගත නොහැකිය. එසේම, මෙම සාර්ව ආර්ථික දර්ශකයන් ගණනය කිරීමේ ක්‍රමවේදයන්හි පවතින දුර්වලතාවන් හේතු කොට ඒවා මත දැඩි විශ්වාසයක් තැබීම යෝග්‍ය නොවේ. එබැවින්, ආර්ථිකයේ විවිධ අවයවන්හි සෞඛ්‍ය තත්ත්වය පෙන්වන ක්ෂුද්‍ර ආර්ථික දත්ත මත කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරවල දී වඩාත් යෝග්‍ය වෙයි.

එබැවින්, මේ දිනවල සම්මතවාදී ආර්ථික විද්‍යාඥයන් විසින් උද්ධමනය, ආර්ථික වර්ධනය, මුදල් සැපයුම් වර්ධනය, විනිමය අනුපාතය වැනි පැරණි සාර්ව ආර්ථික දර්ශකයන් පදනම් කර ගෙන ඉදිරිපත් කරනු ලබන න්‍යායාත්මක මතවාදයන් පිළිබඳ එතරම් බරක් නොතැබිය යුතුය. උදාහරණ ලෙස සමහර මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් ලෝකය පුරා දැනට හට ගෙන ඇති උද්ධමනකාරී පීඩන රැල්ල මර්ධනය කිරීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දමමින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවට සම්මත වාදී නිර්දේශයයන් ඉදිරිපත් කෙරේ. ඊට හේතුව, ඔවුන්ගේ මතවාදය යි. එනම්, උද්ධමනය යනු සමාහාර සැපයුමට වඩා සමාහාර ඉල්ලුම ඉහළ යාම තුළින් හට ගන්නා සාර්ව ආර්ථික අසමතුලිතතාවක් බව යි. 

එබැවින්, සමාහාර ඉල්ලුම පාලනය කිරීම සඳහා ආර්ථිකයේ ණය/මුදල් පරිමාව පාලනය කළ යුතු බව දැක්වෙයි. එසේම, ඊට උපකාරී වීම සඳහා රාජ්‍ය වියදම් සහ ණය පරිමාව ද පහළ හෙලන ලෙස නිර්දේශ කෙරේ. එහෙත්, සාර්ව ආර්ථික ප්‍රතිකාරයන් යනු එවැනි යාන්ත්‍රීය ප්‍රතිකාරයන් නොවේ. සම්මතවාදී සාර්ව ආර්ථික විද්‍යාව තුළ ඕනෑම ආර්ථික ආතතියක් (උද්ධමන හෝ අවධමනකාරි හෝ ආර්ථික උච්ඡාවචනයන්) විග්‍රහ කිරීම සඳහා මෙම සමාහාර ඉල්ලුම් සහ සැපයුම් අසමතුලිතතාවන් කෝකටත් තෛලයක් ලෙස භාවිතා කෙරේ. එහෙත්, එමගින් එම ආර්ථික ආතතීන්ගේ මූලයන් හෝ විසඳුම් හඳුනා ගත නොහැකිය.

වත්මන් උද්ධමන රැල්ල කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණයක් වන බව පොදු පිළි ගැනීම යි. එනම්, ගෝලීය සැපයුම් ජාල අවහිරතාවන් සහ ආර්ථික අවිනිශ්චිතතාවන් හේතු කොට හට ගෙන ඇති ආර්ථික අස්ථායීතාවයන් වන අතර ඒවා ඉවත්ව ගොස් ආර්ථිකයන් සාමාන්‍ය තත්ත්වයට පත්වන විට මෙම උද්ධමනකාරී පීඩන රැල්ල සමථයකට පත් වනු ඇත. එතෙක් බලා නොසිට, මෙම අවස්ථාවේ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිකාරයන් ලබා දුන හොත්, ආර්ථිකයේ මූල්‍ය හිඟයක් හට ගෙන සැපයුම් ජාලයන් තවත් අවහිර වී ලෝකය පුරා දැඩි ආර්ථික අවපාතයක් හට ගනු ඇත. එබැවින්, මෙම අවස්ථාවේ එවැනි මූල්‍ය ප්‍රතිකාරයන් යනු පය බරවා අයට පිටිකර බෙහෙත් බැඳීමක් ලෙස සැලකිය හැකිය.

  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් හැකි ඉක්මනින් අවසන් කිරීම

රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් අවශ්‍ය වන්නේ වෙළෙඳපොළ ස්වයං ප්‍රතිකාරයන්/ප්‍රතිශක්තිය ප්‍රමාණවත් නොවන විට හෝ කාර්යක්ෂම නොවන විට ඊට අතිරේකයක් වශයෙනි. එහෙත්, මෙම රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් හේතු කොට වෙළෙඳපොළවල විවිධ ප්‍රතික්‍රියාවන් හට ගනු ඇත. ඊට හේතුව, මෙම ප්‍රතිකාරයන් තුළින් වෙළෙඳපොළවල් කෙරෙහි විවිධ සීමාවන් සහ මැදිහත්වීම් හෝ කම්පනයන් ඇති වීම යි. එසේම, සමහර ප්‍රතිකාරයන් තුළ සිදු වන විවිධ දේශපාලනික අක්‍රමිකතාවන් හේතු කොට වෙළෙඳපොළවල් අස්ථායී වීමට ද හැකියාව පවතී. එබැවින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් නිසි මාත්‍රාවලින් කෙටි කාලයක් තුළ නිම කළ යුතුය. එය ඉහතින් දැක්වූ ස්වභාවික පර්යේෂණයන් හරහා සිදු කළ යුතුය.

එසේ නැතිව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් දින නියමයක් නොමැතිව පවත්වා ගෙන යයි නම් අතිරේක ආර්ථික ආසාදනයන් රාශියක් හට ගනු ඇත. මීට හොඳම උදාහරණය වනුයේ විනිමය අනුපාතය දැඩි ලෙස කාලයක් තුළ පාලනය කිරීම තුළින් විදේශ වෙළෙඳ හිඟය ඉහළ ගොස් විදේශ සංචිතය හීන වී විදේශ විනිමය අර්බුදයක් හට ගැනීම යි. එබැවින්, සාධාරණ කාලයක් තුළ කාර්යක්ෂම තාවයක් නොපෙන්වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් හැකි ඉක්මනින් ඉවත් කර ගත යුතුය.

  • රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රියාශීලිත්වය ප්‍රවර්ධනය

රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර පද්ධතියෙහි මූලික ආධාරකයක් වනුයේ රාජ්‍ය ණය යි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් සාමාන්‍යයෙන් අයවැය හිඟයන් හරහා කෙරෙන බැවින් අයවැය හිඟයන් පියවීම සඳහා අරමුදල් සපයා ගැනීම පිණිස ක්‍රියාශීලී පාරදෘශ්‍ය රාජ්‍ය ණය වෙළෙඳපොළක් තබා ගත යුතුය. එහි විවිධ ණය උපකරණ සහ ක්‍රියාශීලී ද්විතීය වෙළෙඳපොළක් පැවතිය යුතුය. රාජ්‍ය ණය යනු රට තුළ ණය පැහැර හැරීමේ අවදානමක් නොමැති ද්‍රවශිලතාවයෙන් ඉහළම මූල්‍ය වත්කමක් වන බැවින් රාජ්‍ය ණය සඳහා ඉහළ ඉල්ලුමක් ආර්ථිකයෙහි පැවතිය යුතුය. එබැවින්, රාජ්‍ය ණය වෙළෙඳපොළ පුළුල් කිරීමේ ගැටළුවක් නොමැති විය යුතුය. 

එවිට තරගකාරී ලෙස රජයට අරමුදල් සපයා ගැනීම සහ ණය තොගය කළමනාකරණය කිරීම කාර්යක්ෂම ලෙස කර ගැනීමේ හැකියාව ලැබේ. මෙහිදී, රාජ්‍ය ණය කළමනාකරණය ණය හිමියා සහ උපයෝජකයා වන රජය විසින්ම කළ යුතුය. මහ බැංකුව වැනි බාහිර ණය කළමනාකරුවන් පත් කිරීමෙන් ඔවුන් විසින් රාජ්‍ය/මහජන ළබැඳියාවන් නොව තම  ළබැඳියාවන් හෝ වාසිය සඳහා ණය වෙළෙඳපොළ භාවිතා කිරීමෙන් රජයට/මහජනයාට විශාල අවාසි සිදු වනු ඇත.

මෙය මූලික වශයෙන් මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උපකරණයක් ලෙස රාජ්‍ය ණය කළමනාකරණය භාවිතා කිරීම තුළින් සිදු විය හැකිය. ඊට හේතුව, මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවිතීය වෙළෙඳපොළ රාජ්‍ය ණය සුරැකුම්පත් සහ ඵලදා/පොලී අනුපාතයන් යොදා ගැනීම යි. එබැවින්, මහ බැංකුව විසින් වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් ඵලදා/පොලී අනුපාතයන් තම මූල්‍ය ප්‍රතිපත්ති ඉලක්ක තුළ මෙහෙයවීම දැකිය හැකිය. එමගින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන්ට අවශ්‍ය ආකාරයට නිදහසේ රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රියාත්මක කිරීමට රජයට ඉඩ නොලැබේ. එබැවින්, අවාසි වන්නේ රජයට යි.

උදාහරණ ලෙස වෙළෙඳපොළ බලවේග හරහා රාජ්‍ය සුරැකුම්පත් පොළී අනුපාතයන් වෙනස් වීමට ඉඩ නොදී, ආර්ථිකයේ පොලී අනුපාතයන් පාලනය කිරීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් පොළී අනුපාතයන් මුදල් මුද්‍රණය හරහා මහ බැංකුවේ පොළී අනුපාත ඉලක්කයන් මත මෙහෙය වීම සිදු කිරීම දැක්විය හැකිය. එමගින්, ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති දිශානතියක දී රාජ්‍ය සුරැකුම්පත් පොළී අනුපාතයන් එතරම් පහළ යාමට ඉඩ නොදෙන අතර, සංකෝචනාත්මක මූල්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දිශානතියක දී එය කඩිනම් කිරීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් පොළී අනුපාතයන් වේගයෙන් ඉහළ යාමට ඉඩ දීම දැකිය හැකිය.

ඊට හේතුව, මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් හරහා එක්දින අන්තර් බැංකු වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාදක කොට සිදු කිරීම යි. එබැවින්, ආර්ථිකයේ/බැංකු පද්ධතියේ මැදි හා දිගු කාලීන පොලී අනුපාතයන් පාලනය කිරීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් මහ බැංකුවට රිසි ලෙස භාවිතා කෙරේ. ඊට හේතුව, ආර්ථිකයේ පොලී අනුපාත ව්‍යුහයේ පදනම (Term Structure) ලෙස ශුන්‍ය ණය අවදානම් සහිත රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් හෙවත් ඵලදා වක්‍රය (Yield Curve) සැලකෙන බැවිනි. එබැවින්, මහ බැංකු විසින් විශේෂ අවස්ථාවල දී හැර අවදානම්කාරී පෞද්ගලික ණය සුරැකුම්පත් ගනුදෙනු කිරීම සිදු නොකෙරේ.

උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් සතිපතා වෙන්දේසි හරහා නිකුත් කිරීම රජයේ ණය කළමනාකරු වශයෙන් මහ බැංකුව විසින් සිදු කිරීමේ දී ලංසු පිළි ගැනීම සිදු කෙරෙනුයේ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉලක්කයන් පදනම් කර ගෙන ය. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩගාර බිල්පත් වෙන්දේසි පොලී අනුපාතයන් නිරන්තරයෙන් භාවිතා කිරීම දැකිය හැකිය.

උදාහරණ ලෙස අනාගතයේ ඇති විය හැකි උද්ධමන පීඩනය වැලැක්වීමේ අරමුණින් මහ බැංකුව විසින් 2021 අගෝස්තු මස් 19 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.50% කින් ද, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් ද ඉහළ නංවමින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආරම්භ කරන ලදි. එහෙත්, 2021 ඔක්තෝබර් මස 14 දින මූල්‍ය ප්‍රතිපත්ති තීරණයේ දී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් නැවතත් ඉහළ දැමීමක් නොකරන ලදි. ඊට හේතුව, ඒ වන විටත් මහ බැංකුව විසින් 2021 අගෝස්තු මස් 19 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම මෙන් හතර ගුණයකින් පමණ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් වේගයෙන් ඉහළ යාමට ඉඩ දී තිබීම යි. එනම්, දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2.71% කින් ද, දින 182 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 1.86% කින් ද, දින 364 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 1.96% කින් ද ඉහළ යන ලදි. එමගින්, ආර්ථිකයේ මැදි හා දිගු කාලීන පොලී අනුපාතයන් ද ඉහළ යන බැවින් මෙය නිල නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමකි.

මිට ප්‍රතිවිරුද්ධව, 2020 මාර්තු මස 16 වෙනි දින සිට 2021 අගෝස්තු මස 18 දින දක්වා මාස 18 ක පමණ කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 2% කින් ද, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 3% කින් ද පමණ දැඩි ලෙස පහළ හෙළා මූල්‍ය ප්‍රතිපත්තිය ඓතිහාසික ලෙස ලිහිල් කළ ද, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් පහළ යන ලද්දේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ යාමට ආසන්න ප්‍රමාණයකිනි. එනම්, දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2.08% කින් ද, දින 182 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2.67% කින් ද, දින 364 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 3.16% කින් ද පහළ පහළ යාම යි. මෙය මූල්‍ය ප්‍රතිපත්තිය නිල නොවන ලෙස සිමා කිරීමකි.

එබැවින්, මෙමගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි පොලී පිරිවැය සහ අරමුදල් හිඟය තුළින් දැඩි අවාසියක් සිදු වී ඇත. මෙම තත්ත්වය රජයේ සහ මහ බැංකුවේ  ළබැඳියාවන්  අතර ගැටුමක් වන අතර එමගින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් සැපයීම කෙරෙහි දැඩි බාධාවක් ඇති වෙයි. එසේම, මහ බැංකු විසින් තම වගකීමක් වන විදේශ වත්කම් සංචිතය තර කර ගැනීම සඳහා තම මූල්‍ය ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොකර රාජ්‍ය විදේශ ණය රැස්කිරීම ඍජු මූලයක් ලෙස භාවිතා කිරීම දැකිය හැකිය. එමගින්, රාජ්‍ය විදේශ ණය සේවාකරන ගැටළු ඇති වී ඇත. ඊට හේතුව, රජයට විදේශ මුදල් ආදායම් නොමැති බැවින් රාජ්‍ය විදේශ ණය සේවාකරනය සඳහා විදේශ ණය අඛණ්ඩ ලබා ගැනීමට සිදු වීම යි. එමගින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් පවත්වා ගෙන යාම කෙරෙහි දැඩි සිමාවන් හට ගෙන ඇත. එබැවින්, විදේශ සංචිතය සඳහා රාජ්‍ය විදේශ ණය යොදා ගැනීම රාජ්‍ය මූල්‍ය ළබැඳියාවන්ට අහිතකර වෙයි.එසේම, රාජ්‍ය ආයතනවල පවතින අරමුදල් වෙළෙඳපොළ නොවන ක්‍රමවේදයන් හරහා රාජ්‍ය ණය ලෙස ලබා ගැනීමෙන් එම ආයතනවලට සිදු වන අවාසි යනු රජයට සිදු වන අවාසි වන අතර එය රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රියාශීලිත්වයට සහ සංවර්ධනය බාධාවක් වෙයි.

බොහෝ රටවල රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් පිළිබඳ ව අප්‍රසාදය පළ වන්නේ රාජ්‍ය ණය තොගය සහ පොලී පිරිවැය පිළිබඳ ව පවතින ව්‍යුහාත්මක ප්‍රශ්නයන් හේතු කොට ගෙන ය. මෙය රාජ්‍ය ණය වෙළෙඳපොළ සහ ණය කළමනාකරණ ව්‍යුහයේ දුර්වලතාවන්වල ප්‍රතිඵලයකි. එබැවින්, ස්වාධීන ක්‍රියාශීලී රාජ්‍ය ණය වෙළෙඳපොළක් සහ කළමනාකරණයක් හරහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන්ට අවශ්‍ය පරිදි මූල්‍ය ඖෂධයන් සපයා ගැනීමට ඉඩ සැකසිය යුතුය. එසේ නොමැතිව, ණය ගැටළු හේතු කොට රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් සීමා කිරීම යනු පොදු සමාජ සහ ආර්ථික සෞඛ්‍යය නොසලකා හැරීම යි. එසේ නම් රජය සාර්ව ආර්ථික කළමනාකරණයෙන් ඉවත් වී එය වෙළෙඳපොළ පද්ධතියට පැවරිය යුතුය.

  • ප්‍රතිකාරයන් අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් කළ යුතු වීම

රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය මගින් පුහුණුව සහ බලය ලත් සහ තොරතුරු සතු ආයතන සහ නිලධාරීන් පද්ධතියක් පවතී. උදාහරණ ලෙස වන සංරක්ෂණ, කෘෂිකර්ම, වාරි මාර්ග, විවිධ රාජ්‍ය ව්‍යවසායන්, වෙළෙඳපොළ නියාමන ආයතනයන් සහ මහා භාණ්ඩාගාරය දැක්විය හැකිය. මොවුන් විශේෂඥ රාජ්‍ය මූල්‍ය වෛද්‍ය කණ්ඩායම් ලෙස දැක්විය හැකිය. එබැවින්, ඒ ඒ ආර්ථික අවයන්ට සහ ආසදනයන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ තීරණයන් ගත යුත්තේ අදාළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසිනි.

මෙහිදී, ජනාධිපති, අගමැති, ඇමති හෝ වෙනත් බාහිර විශේෂඥ කණ්ඩායම් විසින් දෙන ලද උපදෙස් සහ තීරණයන් එලෙසම ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිකාරයන් අයෝග්‍ය වී වෙනත් ආසාදනයන් ද හට ගනු ඇත. එබැවින්, ප්‍රතිකාර තීරණයන් ගැනීම සහ ක්‍රියාත්මක කිරීම කළ යුත්තේ ඒ සඳහා නීතියෙන් බලය සහ පුහුණුව ලත් ආයතන සහ නිලධාරීන් විසිනි. ඒ සඳහා වගකීම ගත යුත්තේ ද ඔවුන් විසිනි. එසේ නොවන අවස්ථාවල ආර්ථිකයේ දැඩි සංකූලතාවයන් මෙන්ම විවිධ දුෂණ චෝදනාවන් ද පැතිරෙනු ඇත. මෙහිදී, ප්‍රතිකාරයන් කිරීම සහ රෝග නිවාරණ කාර්යක්ෂමතාවය සහ සම්පත් සැපයුම ඇගයීම පිළිබඳ ව අධීක්ෂණය සහ පසුවිපරම් පද්ධතියක් රජය විසින් ක්‍රියාත්මක කිරීමේ දෝෂයක් නොමැත.

  • ප්‍රතිකාරවල විනිවිද භාවය පවත්වා ගැනීම 

රෝගියෙකුට ප්‍රතිකාර කෙරෙන විට රෝග විනිශ්චය පත්‍රයක් පවත්වා ගෙන යන අතර අදාළ වෛද්‍ය වරුන් විසින් එහි රෝග පරීක්ෂණ දත්ත, රෝග ලක්ෂණ, රෝග විනිශ්චය සහ නියම කළ ඖෂධ සහ ප්‍රතිකාර යනාදිය කෙටියෙන් සටහන් කරනු ලැබේ. ප්‍රතිකාර විනිවිද භාවය යනු එම රෝග විනිශ්චය පත්‍රය යි. වෛද්‍ය විෂය පිළිබඳ යම් අවබෝධයක් තිබෙන කෙනෙකුට එම රෝග විනිශ්චය පත්‍රය කියවීමෙන් එම වෛද්‍ය වරුන්ගේ ප්‍රතිකාර ක්‍රමවේදය අවබෝධ කර ගත හැකිය. එම රෝගියා පිළිබඳ ව වෙනත් වෛද්‍ය වරුන් විසින් තම විශේෂඥ දැනුම සහ රෝග පරීක්ෂණ දත්ත මත වෙනස් ප්‍රතිකාරයන් නිර්දේශ කිරීම ද සිදු විය හැකිය. 

රටේ දේශපාලන නායකයන් වැනි විශේෂ පුරවැසියෙකු රෝහල් ගත කෙරෙන විට රෝගියාගේ තත්ත්වය සහ ප්‍රතිකාර පිළිබඳ ව විස්තර බලය ලත් වෛද්‍යවරයකු විසින් මහජනයාගේ දැනගැනීම සඳහා මාධ්‍යය වෙත ද වරින් වර ප්‍රකාශනයන් ඉදිරිපත් කෙරේ. ඊට හේතුව, එම රෝගියා වෙත පොදුජන ළබැඳියාවක් පවතින බැවිනි. යම් රෝගියෙකු පිළිබඳ ව කෙරෙන රෝග විනිශ්චය සහ ප්‍රතිකාරවල දෝෂයන් හේතු කොට රෝගියාට අන්තරාදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ විට එම වෛද්‍යවරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් ක්‍රියා කිරිමට ද හැකියාව ඇති අතර ඒ සඳහා ප්‍රධාන නිල සාක්ෂිය ලෙස රෝග විනිශ්චය පත්‍රය භාවිතා කෙරේ.

එබැවින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කිරීමේ දී ද අදාළ රාජ්‍ය වෛද්‍ය කණ්ඩායම් විසින් එවැනි ආර්ථික රෝග විනිශ්චය පත්‍රිකාවන් පවත්වා ගැනීම සහ මාධ්‍ය ප්‍රකාශනයන් නිකුත් කිරීම මගින් ප්‍රතිකාර විනිවිද භාවය පවත්වා ගත හැකිය. ආර්ථික ප්‍රතිකාරයන් විවිධ මහජන කණ්ඩායම් කෙරෙහි යහපත් සහ අයහපත් ලෙස බලපාන බැවින් සෑම ආර්ථික ප්‍රතිකාරයක් ගැනීම සහ එහි ප්‍රගතිය පිළිබඳ ව අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් රෝග විනිශ්චය පත්‍රිකාවන් මත පදනම් වී මාධ්‍ය වාර්තා හරහා මහජනයා දැනුවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. 

එසේ නොමැතිව, එම ආර්ථික ප්‍රතිකාර විෂයන් පිළිබඳ ව නිසි දැනුමක් සහ අවබෝධයක් නොමැති විවිධ දේශපාලනික නියෝජිතයන් විසින් මාධ්‍ය හරහා තමන්ට රිසි විවිධ අර්ථකතනයන් ඉදිරිපත් කිරීමෙන් එම ආර්ථික ප්‍රතිකාරයන් යහපත් වුවත් ඒ ගැන මහජන කළ කිරීම් හට ගෙන ඒවා අක්‍රීය වීමට හෝ ඉවත් කර ගැනීමට අදාළ රාජ්‍ය ආයතනවලට සිදු වනු ඇත. බොහෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කෙරෙහි දුෂණ චෝදනාවන් එල්ල වී ඒවා අසාර්ථක වන්නේ විනිවිද භාවය නොමැති වීම හේතු කොට ගෙන ය. 

නූතන ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ මාධ්‍ය දියුණුව හමුවේ රජයන්ට පැරණි ක්‍රමයට රහසේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් තමන්ට රිසි ආකාරය සිදු කිරීම අපහසුය. එසේම, මූලික අයිතිවාසිකම් සහ තොරතුරු අයිතිවාසිකම් නීතීන් හේතු කොට ආර්ථික/රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර විනිවිද භාවය නෛතික මූලධර්මයක් බවට ද පත් වී ඇත.

(ඊළඟ ලිපියෙන් මූල්‍ය ප්‍රතිකාර මූලධර්මයන් ඉදිරිපත් කෙරේ. වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයන් වන මෙම කතුවරයාගේ "මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්වාණිජ බැංකු සහ මහ බැංකුව " සහ "සාර්ව ආර්ථික විද්‍යාවජාතික ආදායම සහ උපයෝජනයසාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන්" යන ග්‍රන්ථයන් කියවන්න)

(මෙහි ඇතුලත් අදහස් අදාළ විෂයන් පිළිබඳ ව කතුවරයාගේ දැනුම සහ පළපුරුද්ද මත පදනම් වී ඉදිරිපත් කෙරෙන අතර එහි වගකීම කතුවරයා සතු වෙයි.)

පි සමරසිරි
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි