රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් කිරීමේ ආර්ථික මූලධර්මයන් අවබෝධ කර ගනිමු - එමගින්, කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය නිෂ්ඨාවට සුව කරමු - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - V කොටස

 

සුගිය ලිපි දෙක මගින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරවල ස්වරූපය සහ ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන මූලධර්මයන් පැහැදිලි කෙරෙන ලදි. මෙම ලිපියෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරවල මූලික ආර්ථික මූලධර්මයන් සහ මැසිවිලි පිළිබඳ ව ප්‍රයෝගික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරේ. ඒවා නම්, සමාහාර ඉල්ලුම, උද්ධමනය සහ රාජ්‍ය ණය තිරසරභාවය යනාදිය යි. මේ පිළිබඳ මැසිවිලි සාමාන්‍යයෙන් මූල්‍යවාදී ආර්ථික ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කෙරෙන අතර එමගින් රාජ්‍ය වියදම් විරෝධී ගෝලීය මතවාදයක් ගොඩ නැගී ඇත.

එය හුදෙක් රාජ්‍ය වියදම් ආංශීය ව්‍යුහය සහ ප්‍රතිලාභ ව්‍යුහය දෙස නොබලා සමස්ත රාජ්‍ය වියදම් සහ ණය සංඛ්‍යාවන් සහ එහි දිශානතිය මූල්‍යවාදී මූලධර්මයන් මත ඉදිරිපත් කිරීමකි. ඔවුන්ගේ සංකල්පීය පදනම වනුයේ ආර්ථිකයෙහි රාජ්‍ය අංශයේ ප්‍රමාණය අඩු කොට තරගකාරී පෞද්ගලික අංශයක් වර්ධනය කිරීමත්, ආර්ථික ස්ථායිකරණය කිරීමේ වගකීම මූල්‍යවාදී සංකල්ප මත ක්‍රියාත්මක වන මිල ස්ථායිතාවය ඉලක්ක කෙරෙන ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියකට/මහ බැංකුවට පැවරීමත් ය.

එහෙත්, මෙය හුදු පැරණි සංකල්පයක් වන අතර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට සාපේක්ෂව එහි සමාජ ආර්ථික ශක්‍යතාවය සැබෑ ලොව දත්තයන්ගෙන් තහවුරු කළ නොහැකිය. මීට හොඳම නිදසුන වනුයේ වර්තමාන ගෝලීය කොරෝනා වසංගත ආර්ථික පසුබැස්ම සහ අස්ථායිතාවය මැඩලීම සඳහා අතිප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යොදා ගැනීම යි.

රාජ්‍ය වියදම සහ ආර්ථිකයේ සමාහාර ඉල්ලුම  

රාජ්‍ය වියදම යනු ආර්ථිකයේ සමාහාර ඉල්ලුමේ ප්‍රධාන කොටසකි. එබැවින්, ආර්ථික බසුබෑමක් හෝ අවපාතයක් පවතින අවස්ථාවල, එනම් සමාහාර සැපයුමට වඩා සමාහාර ඉල්ලුම පහළ මට්ටමක පවතින විට, රාජ්‍ය වියදම ප්‍රසාරණය කිරීමෙන් ආර්ථිකය ස්ථායීකරනය කළ හැකිය. එසේම, ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් සේවා වියුක්තියක් පවතින අවස්ථාවක රාජ්‍ය වියදම ප්‍රසාරණය කිරීමෙන් භාණ්ඩ හා සේවා සඳහා නව ඉල්ලුමක් ජනිත කිරීම තුළින් නිෂ්පාදන/සැපයුම් මට්ටම ඉහළ නැංවිය හැකිය.

එහෙත්, මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ රාජ්‍ය වියදම් ව්‍යුහය යි. එනම්, ආර්ථිකයේ කුටුම්බ සහ නිෂ්පාදන අංශයන් වෙත රාජ්‍ය වියදම් ව්‍යාප්ත වන ආකාරය සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් ය. උදාහරණ ලෙස රට පුරා විවිධ පොදු පහසුකම් පද්ධතිය දියුණු කිරීම, කෘෂි සහ කාර්මික ක්‍රියාකාරකම් සඳහා නිෂ්පාදන සහනාධාර සැපයීම, අඩු ආදායම් ලාභී කුටුම්බයන් සඳහා පාරිභෝගික සහනාධාර සැපයීම සහ සාධාරණ වෙළෙඳපොළ නියාමනයන් සඳහා කෙරෙන වියදම් දැක්විය හැකිය.

මෙහිදී, රාජ්‍ය වියදම් ලෙස මධ්‍යම රජයේ වියදම් විග්‍රහ කළ ද, රජය ලෙස සියළු රාජ්‍ය ආයතනයන් ඇතුළත් වියදම රාජ්‍ය වියදම ලෙස සැලකිය යුතුය. ඊට හේතුව, රාජ්‍ය ව්‍යවසායන් සහ අර්ධ රාජ්‍ය ආයතනයන් ද අවසානයේ රාජ්‍ය අයවැය ව්‍යුහය සහ මට්ටම කෙරෙහි බලපාන අතර ඒවා මගින් ද රාජ්‍ය මහජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙන බැවිනි. උදාහරණ ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තම පිරිවැයට වඩා පහළ මිලකට තෙල් අළෙවි කිරීමෙන් සිදු වන පාඩුව රජය විසින් පියවිය යුතුය.

රාජ්‍ය වියදම ලෙස බොහෝ විට පවතින මතය වනුයේ රාජ්‍ය වර්තන හෙවත් පරිභෝජන වියදම රාජ්‍ය වියදම යන්න යි.  එහෙත්, මිට පෙර ලිපියෙන් දැක්වූ පරිදි සමස්ත රාජ්‍ය වියදම තුළින් විවිධාකාරයෙන් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය සහ උපයෝජනය ඉහළ යාමට දායක වෙයි. එසේම, පරිභෝජන සහ නිෂ්පාදන සහනාධාර හේතු කොට ආර්ථිකයේ මිල ව්‍යුහය පහළ මට්ටමක පවත්වා ගැනීම තුළින් දේශීය නිෂ්පාදනවල පිරිවැය තරගකාරිත්වයක් ඇති කෙරේ. එය ආර්ථිකයේ සෑම අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇත.

උදාහරණ ලෙස ඛනිජ තෙල් පහළ මිලකට සැපයීම තුළින් ආර්ථිකය පුරා නිෂ්පාදන සහ පාරිභෝගික පිරිවැය පහළ මට්ටමක පාලනය කෙරනු ඇත. දුර බැහැර ගම්වල පාරවල් ඉදිකිරීම් තුළින් එම ගම්වල නිෂ්පාදන ක්‍රියාකාරකම්, ඵලදායිතාවය සහ මානව සංවර්ධනය ඉහළ යනු ඇත. 2016 දී ජර්මනිය විසින් සිරියානු සරණාගතයන් භාර ගැනීමේ අරමුණු අතර රාජ්‍ය සංක්‍රාම වියදම හරහා ඇති කෙරෙන අතිරේක ඉල්ලුම තුළින් ආර්ථිකයේ ක්‍රියාකාරකම් ඉහළ නැංවීම ද දැක්විණ.

එබැවින්, රාජ්‍ය වියදම මූලික වශයෙන් විමධ්‍ය ගත/ආංශීය සමාජ ආර්ථික ආයෝජන වියදම ලෙස සැලකිය යුතු අතර හුදෙක් වර්තන සහ ප්‍රාග්ධන වියදම් වර්ගීකරණය සහ සමාහාර ඉල්ලුම මත පදනම් වී රාජ්‍ය වියදම් පරිමාවේ ආර්ථික කාර්යභාරය විග්‍රහ කිරීම ප්‍රයෝගික නොවේ. නුතන මූල්‍ය න්‍යාය තුළින් රාජ්‍ය වියදම සඳහා මෙවැනි ප්‍රයෝගික පදනමක් ඉදිරිපත් කොට ඇත.

රාජ්‍ය වියදම සහ උද්ධමනය

රජයේ බදු ආදායමට වඩා වැඩි වේගයකින්, එනම් අයවැය හිඟය ඉහළ නැංවීම තුළින් රජය විසින් වියදම් කෙරෙන විට එමගින් උද්ධමනකාරී පීඩනයක් හට ගන්නා බව මූල්‍යවාදී ආකල්පය යි. මෙය සංකල්පයන් දෙකක සංයුතියක් මත පදනම් වෙයි. පළමුව, රාජ්‍ය වියදම ඉහළ යාම යනු එම ප්‍රමාණයෙන් ආර්ථිකයේ දැනටම පවතින සමාහාර සැපයුම සඳහා කෙරෙන සමාහාර ඉල්ලුම ඉහළ යාම යි. දෙවනුව, අයවැය හිඟය පියවීම බැංකු පද්ධතිය වෙතින් ණය ගැනීම හරහා සිදු කෙරෙන බැවින් ආර්ථිකයේ මුදල් සැපයුම ප්‍රසාරණය වීම තුළින් සමාහාර ඉල්ලුම ඉහළ යනු ඇත. ඒ අනුව, ජාතික ආදායම් සමතුලිත සංකල්පයට අනුව සමාහාර සැපයුමට වඩා සමාහාර ඉල්ලුම ඉහළ යන විට ආර්ථිකයේ පොදු මිල මට්ටම ඉහළ යාම හෙවත් උද්ධමනකාරී තත්ත්වයක් හට ගනු ඇත. මෙම ආකල්පය පදනම් වී ඇත්තේ මුලින් දැක්වූ පරිදි සමස්ත රාජ්‍ය වියදම/අයවැය හිඟය පිළිබඳ සංඛ්‍යාවන් මත ය. 

එබැවින්, රාජ්‍ය වියදම් ව්‍යුහය හෝ ව්‍යාප්තිය මත ආර්ථිකයේ විවිධ කුටුම්බ සහ ව්‍යාපාරික අංශයන්හි සිදු වන ආර්ථික ධාරිතාවය සහ ක්‍රියාකාරිත්වය ඉහළ යාම තුළින් අඛණ්ඩව සිදු වන සම්පත් උපයෝජනය සහ ආර්ථික වර්ධනය මෙහිදී නිරූපනය නොවේ. එය කාලපමාවකින් ලැබෙන ප්‍රතිලාභයකි. විශේෂයෙන් ආර්ථික පසුබැසීම් පවතින කාලවල සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම පහළ මට්ටමක පවතින බැවින් ආර්ථික ස්ථායීතාවය සඳහා රාජ්‍ය වියදම් ප්‍රසාරණය කිරීම සම්මත ප්‍රතිපත්තියක් වී ඇත.

එසේම, උද්ධමන අනුපාතය සහ ආර්ථික වර්ධන අනුපාතය ගණනය කිරීමේ දැඩි දෝෂයන් ද මෙහිදී සැලකිය යුතුය. විශේෂයෙන් උද්ධමනය ලෙස ගණනය කෙරෙන පාරිභෝගික මිල දර්ශකයේ වර්ධනය යනු ඉන් ආවරණය වන කුටුම්බවල ජීවන වියදමේ වෙනස්වීම වන අතර එය සමාහාර සැපයුම්-ඉල්ලුම් අසමතුලිතතාවය මත හට ගන්නා පොදු මිල මට්ටමේ වෙනස්වීම නියෝජනය නොවේ. 

පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනයේ වෙනස්වීම විග්‍රහ කළ ද, ආර්ථිකයේ නිෂ්පාදන සහ ආදායම් වර්ධනයට සාපේක්ෂව සමාහාර සැපයුම්-ඉල්ලුම් අසමතාවය තුළින් හට ගන්නා සත්‍ය පොදු මිල මට්ටමේ වෙනස් වීම විග්‍රහ කිරීමට තොරතුරු මූල්‍යවාදීන් සතුව නොමැත. එය හුදෙක් ප්‍රයෝගික වැදගත්කමක් නොමැති සංකල්පීය උද්ධමනයකි. එබැවින්, පාරිභෝගික මිල උද්ධමන දත්ත මත පදනම් වී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තීරණයන් ගැනීම ආර්ථික වශයෙන් අවදානම්කාරී ක්‍රියාවකි.

එහෙත්, අයවැය හිඟයන් හරහා රජයන් විසින් අඛණ්ඩව වියදම් කිරීමත්, මුදල් ප්‍රසාරණයේ මූලික සාධකය ලෙස රාජ්‍ය ණය ප්‍රසාරණය හඳුනා ගැනීමත් හේතු කොට උද්ධමනය යනු රාජ්‍ය වියදම තුළින් හට ගන්නා අයහපත් ප්‍රතිඵලය ලෙස මතයක් ගෝලීයව නිර්මාණය කෙරී ඇත. එනම්, උද්ධමනය භූතයකු මෙන් ආර්ථිකයේ නිරන්තරයෙන් හොල්මන් කර බවක් මූල්‍ය වාදී අදහස්වලින් දැකිය හැකිය.

එහෙත්, උද්ධමනය සහ රාජ්‍ය වියදම් ප්‍රසාරණය අතර පවතින ඍජු සබඳතාවක් ප්‍රයෝගිකව සනාථ කළ නොහැකිය. එසේම, මූල්‍ය වාදී සංකල්පය අනුව මුදල් ප්‍රසාරණය හරහා උද්ධමනකාරී තත්ත්වයක් හට ගනී නම්, එය මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් පාලනය කළ යුතු අතර රාජ්‍ය මූල්‍ය සහ ණය ප්‍රසාරණය වෙත චෝදනා කිරීමෙන් ඵලයක් නොමැත. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ වනුයේ පුළුල් සමාජ ආර්ථික සවර්ධනය වන අතර උද්ධමනය පාලනය කිරීම එහි විශේෂිත අරමුණක් නොවේ.

එසේම, වත්මන් ගෝලීය කොරෝනා වසංගත ආර්ථික අසාධ්‍යතාවය හමුවේ උද්ධමන බියෙන් රාජ්‍ය වියදම් සහ ණය කපා හැරීම සිදු කොට, මූල්‍ය ප්‍රතිපත්තිය සහ පෞද්ගලික අංශය හරහා පොදුජනයාට හිතකර වන ආර්ථිකයන් නැවත ගොඩ ගැනීම පිළිබඳ ව කිසිම සහතිකයක් දිය නොහැකිය. එබැවින්, සංවර්ධිත රටවල මහ බැංකු විසින් රජයන්ගෙන් ඉල්ලා සිටියේ තම බදු සහ වියදම් බලතල භාවිතා කොට රාජ්‍ය වියදම් ප්‍රසාරණය හරහා කුටුම්බ සහ ව්‍යාපාරික  උත්තේජනයන් සපයන ලෙස යි. ඊට හේතුව ලෙස දැක්වුයේ මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ කෙරෙන ණය ප්‍රදානය මගින් පමණක් ආර්ථිකයන් පුනරුත්ථාපනය කළ නොහැකි බව යි.

රාජ්‍ය වියදම සහ රාජ්‍ය ණය තිරසරභාවය

රාජ්‍ය ණය තිරසරභාවය ලෙස රාජ්‍ය අයවැයට බරක් නොවී පවත්වා ගත හැකි රාජ්‍ය ණය මට්ටම අදහස් වෙයි. එබැවින්, රාජ්‍ය බදු ආදායමට වඩා අධික ලෙස වියදම් කිරීම හේතු කොට ගෙන හට ගන්නා රාජ්‍ය ණය ගොඩ ගැසීම පිළිබඳ ඍණාත්මක අදහස් ඉදිරිපත් කිරීම නිරන්තරයෙන් දැකිය හැකිය. අඛණ්ඩ අයවැය හිඟයන් හරහා වියදම් කෙරෙන විට ණය තොගය ඉහළ ගොස් ණය සේවාකරන බරක් අයවැය තුල හට ගනී. එනම්, පවතින අයවැය හිඟය පියවීමට මෙන්ම ණය ආපසු ගෙවීම සඳහා ද ණය ගැනීමට සිදු වීම යි. මෙය ණය උගුලක් ලෙස දැක්වෙයි. මෙම ණය බර විවිධ සංඛ්‍යා දර්ශකයන් පදනම් කර ගෙන විග්‍රහ කෙරෙන අතර ණය/ද.දේ.නි. ප්‍රතිශතය ඉන් මූලික දර්ශකයක් ලෙස භාවිතා කෙරේ. එබැවින්, ණය බර පිළිබඳ ව කෙරෙන මැසිවිලි පදනම් කර ගෙන රාජ්‍ය වියදම් කෙරෙහි බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් අප්‍රසාදය පළ කෙරේ.

එහෙත්, ණය බර පිළිබඳ ගැටළුවක් පවතී නම් එය හුදෙක් බදු අය කිරීම, ණය උපයෝජනය සහ කළමනාකරණයේ දුර්වලකම් වන අතර ණයවල දුර්වලකමක් නොවේ. රාජ්‍ය ණය යනු හුදෙක් රාජ්‍ය වියදම් පියවීමේ මුලාශ්‍රයක් පමණක් නොව, ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය තුළ ඉතාම වැදගත් කාර්ය භාරයක් ඉටු කෙරෙන ආර්ථික ක්‍රියාකාර කමකි (වැඩි විස්තර සඳහා මෙහි පහත දැක්වෙන රාජ්‍ය ණය පිළිබඳ ලිපිය බලන්න). එසේම, ණය දර්ශකයන් දෙස බැලීමේ දී ඒවා රටවල් අතර දැඩි ලෙස වෙනස් වන අතර එම සෑම රටකම රාජ්‍ය ණය ගැටළුවක් ලෙස සලකා රාජ්‍ය වියදම් විවේඡනය කිරීම දැකිය හැකිය. එබැවින්, රජයන් පවා රාජ්‍ය වියදම/අයවැය හිඟය සහ රාජ්‍ය ණය තොගය යම් යම් අභිමතානුසාරී සංඛ්‍යාවන් දක්වා පහළ දැමීමට සැලසුම් ඉදිරිපත් කෙරේ. එහෙත්, එම දර්ශකයන් අනුව යහපත් බවට පිළි ගත හැකි අයවැය හිඟය සහ ණය මට්ටමක් තීරණය කළ හැකි සාර්ව ආර්ථික විද්‍යා ක්‍රමවේදයන් නොමැත.

මිට හේතුව, රාජ්‍ය වියදම්වල ආංශීය ව්‍යුහය සහ සමාජ ආර්ථික දායකත්වය/ප්‍රතිලාභයන් පිළිබඳ ඇගයීමක් අදාළ රාජ්‍ය අධිකාරීන් වෙත නොතිබීම යි. රාජ්‍ය ණය සේවාකරන අපහසුතාවය ගැන විග්‍රහ කල ද, රාජ්‍ය ණය හරහා ජනිත කොට ඇති සමාජ ආර්ථික වත්කම් තොගයේ වටිනාකම, රාජ්‍ය/ජාතික ශේෂ පත්‍රය සහ එහි වත්කම් මත වාර්ෂිකව ජනිත කෙරෙන ආදායම් පිළිබඳ තොරතුරු නොමැත. වර්තන බදු ආදායම හෝ ජාතික ආදායම ඊට අදේශකයන් නොවේ.

කෙටි සටහනක් 
 
එබැවින්, අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් රාජ්‍ය වියදම් සහ ණය හරහා සිදු කෙරෙන සමාජ ආර්ථික ව්‍යාපෘති පිළිබඳ පිරිවැය-ප්‍රතිලාභ දැක්වෙන න්‍යාසයක් හෝ වගුවක් අධ්‍යයනය කිරීම තුළින් අනවශ්‍ය උද්ධමන සහ ණය බියකින් තොරව රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර පද්ධතිය මූලධර්මානුකූලව පවත්වා ගැනීම කළ යුතුය. නූතන මූල්‍ය න්‍යාය ඉදිරිපත් වී ඇත්තේ මෙම සංකල්පය මත ය (වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියේ ඇතුලත් නූතන මූල්‍ය න්‍යාය පිළිබඳ විශේෂ ලිපිය බලන්න).

ඒ අනුව, ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය වෙයි නම්, උද්ධමනය හෝ ණය තොගය පිළිබඳ භීතිකාවකින් තොරව රාජ්‍ය වියදම් ප්‍රසාරණය කිරීම තුළින් පොදුජන ආර්ථික සංවර්ධනය වේගවත් කළ හැකිය. ඊට හේතුව, රජය යනු කුටුම්බයක් හෝ ව්‍යාපාරික සමාගමක් මෙන් හුදෙක් ගණකාධිකරණ මූලධර්මයන් සහ ප්‍රමිතීන් මත නිර්වචනය කෙරෙන මූල්‍ය ප්‍රවාහ සංඛ්‍යාවන් සහ පුරෝකථනයන් මත අයවැය කළමනාකරණය කෙරෙන ආයතනයක් නොව පොදුජන ආරක්ෂණ සහ සංවර්ධන අධිකාරියක් වන බැවිනි.

මෙහිදී, දත්ත මත පදනම් වී තීරණ ගැනීමේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්, නීති ප්‍රතිපාදන යටතේ බලයලත් අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම, කාලීන පදනමක් මත සත්‍ය කාර්ය සාධනය ඇගයීම සහ පසුවිපරම් කිරීම හරහා පොදුජන විශ්වාසය රැකීම සහ ප්‍රතිපත්ති විනිවිදභාවය ප්‍රමුඛ රාජ්‍ය පාලන පද්ධතියක් තුළ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එවිට රජයට තම අයවැය, වියදම සහ ණය ආර්ථික මූලධර්මයන් මත සනාථ කිරීමට හැකියාව ලැබේ. එසේ නොවන විට හට ගන්නා රාජ්‍ය අක්‍රමිකතාවන් සහ අකාර්යක්ෂමතාවන් හේතු කොට ඉහත දැක්වූ උද්ධමන සහ ණය මැසිවිලි තුළින් රජය පොදුජන පීඩනකාරී අධිකාරියක් බවට පත් වනු ඇත.

මෙහිදී, රජය විසින් පොදුජන ආරක්ෂණ සහ සංවර්ධනය සඳහා පවත්වා ගත යුතු බදු, වියදම් සහ ණය ව්‍යුහය කුමක් ද? යන්න යෝජනා කිරීමේ හැකියාව බාහිර පාර්ශවයන්ට නොමැත. ඊට හේතුව, ඊට අදාළ විමධ්‍ය ගත දත්ත පද්ධතිය සහ අදාළ නෛතික ප්‍රතිපාදනයන් පිළිබඳ තොරතුරු ඔවුන් වෙත නොමැති වීම යි. එබැවින්, එය අදාළ බලය ලත් රාජ්‍ය ආයතන සහ නිලධාරී පද්ධතිය සතු ජාතික කර්තව්‍යයක් වෙයි.

(වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයක් වන මෙම කතුවරයාගේ "සාර්ව ආර්ථික විද්‍යාව" ග්‍රන්ථය කියවන්න)

(ඊලඟ ලිපි පෙළ තුළින් මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාරයන් ඉදිරිපත් කෙරේ)

පි සමරසිරි
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?