කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය නිෂ්ඨාවට සුව කෙරෙන රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිකාරයන් සොයමු - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - III කොටස

 



මෙහි මීට පෙර ලිපි දෙකින් සාර්ව ආර්ථිකයක හැසිරීම් ව්‍යුහය සහ එය කළමනාකරණයට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සහ මූල්‍ය ප්‍රතිපත්තියේ වැදගත්කම හඳුන්වා දුනි. එහිදී, සාර්ව ආර්ථික කළමනාකරණයට වෙළෙඳපොළ පද්ධතියේ ඇති වැදගත්කම ද හඳුන්වා දෙන ලදි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් ක්‍රියාත්මක කළ ද, ආර්ථිකය කෙරෙහි එහි බලපෑම වෙළෙඳපොළ පද්ධතිය හරහා සිදු වන බව ද දැක්විණ. ඊට හේතුව, නූතන විවෘත ආර්ථිකයන්හි වෙළෙඳපොළවල් තමන්ට රිසි පරිදි පාලනයට රාජ්‍ය අධිකාරීන්ට හැකියාව නොමැති බැවිනි.

රාජ්‍ය අධිකාරීන් මෙන් නොව වෙළෙඳපොළ සහභාගී කරුවන් (එනම්, ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන්) නිරන්තරයෙන් තමන්ට ලාභ උපරිම කිරීමේ අරමුණින් පැය 24 පුරා නවීකරණය මත තරගකාරීව ක්‍රියා කරනු ඇත. උදාහරණ ලෙස ගෝලීය කොරෝනා වසංගතයට ප්‍රතිචාර ලෙස එන්නත් සහ ප්‍රතිජීවක පෙති නිපදවීම සහ සමාජ අගුළු දැමීම් මැද ආර්ථික කටයුතු පවත්වා ගැනීම සඳහා නව මාර්ගගත තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම තුළින් ගෝලීය ආර්ථිකයට සහ මහජනතාවට කොරෝනා වසංගතයෙන් ගොඩ ඒමටත්, ඉදිරි දශකය තුළ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් සිදු වන සේවය අති මහත් වනු ඇත.

කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය

කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවය යනු 2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය වශයෙන් හට ගෙන ඇති ආර්ථික අවපාතය සහ අස්ථායීතාවයන් ය. එහි ආදීනව අප සියලු දෙනා විසින් අත් දකින නමුත්, එයට කළ යුතු ප්‍රතිකාර පිළිබඳ අදහසක් අපි බොහෝ දෙනාට නොමැත. කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් ක්ෂණිකව කඩා වැටිණ. එමගින්, රටවල සමාහාර සැපයුම කඩා වැටුන අතර ආදායම් සහ රැකියා මාර්ගයන් අහිමි වීම හේතු කොට සමාහාර ඉල්ලුම ද කඩා වැටීම තුළින් ආර්ථිකයන් සහ පොදු ජනතාව දැඩි ආසාත්මිකතාවය මුහුණ දෙමින් පවතී. මෙම ආසාත්මිකතාවය සමාජ ආර්ථික පද්ධතීන්හි සෑම අස්සක් මුල්ලක් නෑර විවිධ අයුරින් පැතිරී ඇති අතර එමගින් පොදුජන ජීවිතය මහත් අස්ථායීතාවයකට ලක් වී ඇත.

නූතන ඉතිහාසයේ මෙවැනි වසංගත  ආර්ථික ආසාත්මිකතාවයන්ට පත් වීම සහ එයට ප්‍රතිකාර කිරීම  පිළිබඳ අත් දැකීම් සහ පුහුණුව ලෝකය සතුව නොමැති බැවින්  සංවර්ධිත රටවල් ඇතුළු සියළු රටවල් විසින් ආර්ථික අවපාතයකින් හෝ පසුබෑමකින් ගොඩ ඒම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාර වට්ටෝරු අනුගමනය කෙරෙමින් පවතී. එහෙත්, වර්ෂ දෙකකට පමණ ආසන්න වුව ද, මෙම ආර්ථික ආසාත්මිකතාවය විවිධ මුහුණුවරින් තවමත් පැතිරෙන අතර, සුවය සඳහා තවත් දශයක් පමණ ගත විය හැකි බව අපේක්ෂා කෙරේ.

2007/2009 ගෝලීය මූල්‍ය අර්බුදය මෙවැනි සෞඛ්‍ය වෛරසයකට සම්බන්ධයක් නොපැවතිය ද, එමගින් හට ගත් ආර්ථික ආසාත්මිකතාවයෙන් සුවය සඳහා අනුගමනය කළ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාර වට්ටෝරු 2020 වර්ෂය ආරම්භ වන විටත් දශකයකටත් අධික කාලයක් පුරා පැවතිණ. එබැවින්, කොරෝනා වෛරස් ආර්ථික ආසාත්මිකතාවයෙන් ඉක්මන් සුවය ලැබීම සඳහා මෙම ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිකාර වට්ටෝරු යෝග්‍ය වෙයි ද? යන්න විමර්ශනය කොට නව පර්යේෂණාත්මක වට්ටෝරු යොදා ගැනීම සලකා බැලිය යුතුය.

ආර්ථික රෝග නිවාරණය සහ ප්‍රතිකාර සේවය

ආර්ථිකයක් යනු විවිධ වෙළෙඳපොළ අවයවයන්වලින් යුතු ජීවිතයක් ලෙස ගත හොත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය යනු විශේෂඥ වෛද්‍ය අංශයන් දෙකක් ලෙස සැලකිය හැකිය. නූතන ගෝලීය මූල්‍ය ආර්ථික ක්‍රමය තුළ රටක ආර්ථික ජීවිතය සුව දායක ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය රුධිරය ලෙස මුදල් හෝ මූල්‍ය සැලකිය හැකි අතර මෙම විශේෂඥ වෛද්‍ය අංශ දෙක යනු ආර්ථිකයේ විවිධ අවයවයන් සඳහා අවශ්‍ය පරිදි මුදල් රුධිරය සංසරණය විධිමත් කෙරෙන විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දෙක වෙයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ සහ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ යනු ශල්‍යකර්ම, ප්‍රතිජීවක සහ විටමින් අඩංගු ප්‍රතිකාර වට්ටෝරු ලෙස සැලකිය හැකිය.  ආර්ථිකයක් රෝගී වූ විට මෙම වට්ටෝරු නිර්දේශ කිරීම, ප්‍රතිකාර කිරීම සහ ක්‍රමිකව ප්‍රතිකාර ඉවත් කිරීම රුධිර සහ අවයව ක්‍රියාකාරිත්වය පිළිබඳ රසායනාගාර පරීක්ෂණ දත්ත ඇගයීම මත සිදු කළ යුතුය.

ආර්ථික වර්ධන අනුපාතය, උද්ධමන අනුපාතය, මුදල් සැපයුම් වර්ධන අනුපාතය, ණය වර්ධන අනුපාතය, විනිමය අනුපාතය, අයවැය හිඟය, වෙළෙඳ ශේෂය, ගෙවුම් ශේෂයවිදේශ වත්කම් සංචිතය, සේවා වියුක්ති අනුපාතය වැනි විවිධ ආර්ථික දර්ශකයන් යනු එම පරීක්ෂණ පද්ධතියෙහි අඩංගු සම්ප්‍රදායික දත්ත වෙයි. ඒවා හුදෙක් ඉලක්කම් වන අතර එම දත්තවල විවිධ කාල ශ්‍රේණීන් අධ්‍යයනය කොට නිවැරදි ලෙස අර්ථකතනය තුළින් ප්‍රතිකාර මාත්‍රාවන් තීරණය කළ යුතුය. රෝගී ආර්ථිකයට ලබා දිය යුත්තේ  බාහිර ප්‍රතිකාර ද, සාමාන්‍ය වාට්ටු ප්‍රතිකාර ද, හදිසි වාට්ටු ප්‍රතිකාර ද, යන්න තීරණය කළ යුත්තේ එම පරීක්ෂණ දත්ත විමර්ශනය මත කෙරෙන රෝග විනිශ්චය මත වෙයි.

මෙහිදී, ආරෝග්‍යශාලා, වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු වෛද්‍ය පද්ධතිය කාර්යක්ෂමව පැවතිය යුතුය. රාජ්‍ය ආයතන, නිලධාරී මණ්ඩල සහ නීති රීති බලතල යනාදිය වෛද්‍ය ප්‍රතිකාර පද්ධතිය ලෙස සැලකිය හැකිය. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය වෛද්‍ය පද්ධතිය ලෙස මුදල් ඇමති, මහා භාණ්ඩාගාරය සහ පාර්ලිමේන්තුව ඇතුළත් රජය ද, මූල්‍ය වෛද්‍ය පද්ධතිය ලෙස මුදල් මණ්ඩලය ප්‍රමුඛ මහ බැංකුව සහ මහ බැංකුවෙන් අධීක්ෂණය කෙරෙන බැංකු සහ මූල්‍ය ආයතන ද හඳුනා ගත හැකිය. මෙම වෛද්‍ය පද්ධති දෙක සතුව ආර්ථික ප්‍රතිකාර පිළිබඳ මනා දැනීමක්, නිපුණතාවක් සහ අත් ගුණයක්  පැවතිය යුතු බව පැවසීම අවශ්‍ය නොවේ.

රාජ්‍ය මූල්‍ය වෛද්‍ය පද්ධතිය සහ මූල්‍ය වෛද්‍ය පද්ධතිය අතර වෙනස

මෙහි II කොටස ලිපියෙන් රාජ්‍ය මූල්‍ය ඖෂධ වට්ටෝරුව, මූල්‍ය ඖෂධ වට්ටෝරුව සහ එහි ප්‍රතික්‍රියාවන් කෙටියන් දක්වන ලදි. එනම්, ආර්ථිකයේ ඉල්ලුම් අවයවවල ක්‍රියාකාරිත්වය හෙවත් සමාහාර ඉල්ලුම් ප්‍රවාහය කෙරෙහි මැදිහත් වීම යි. ඒ හරහා ආර්ථිකයේ සැපයුම් අවයව පද්ධතිය ක්‍රියාශීලී කෙරේ.

·   රාජ්‍ය මූල්‍ය වෛද්‍ය පද්ධතිය

මෙහිදී, ආර්ථිකයේ තෝරා ගත් ඕනෑම අවයවයක් හෝ අවයවයන් ක්‍රියාශීලී කිරීම හෝ අක්‍රීය/යටපත් කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඖෂධ වට්ටෝරුව මගින් හැකියාව ලැබේ. එය බදු, වියදම් සහ ණය හරහා රාජ්‍ය මුදල් භාවිතා කිරීම හෝ සංසරණය කිරීම මගින් සිදු කෙරේ.

උදාහරණ ලෙස ආර්ථිකය ක්‍රියාත්මක වීමේ දී මහජනයා අතර ඉහළ ආදායම් විෂමතාවයක් පවතින විට රජය විසින් ඉහළ ආදායම් ලාභීන්ගෙන් ඉහළ බදු අය කොට එම මුදල් පහළ ආදායම් ලාභී කුටුම්බයන් වෙත සුභසාධනය සැපයීම සඳහා වියදම් කිරීම දැක්විය හැකිය. මෙහිදී, තෝරා ගත් මහජන කාණ්ඩයන් දෙකක් අතර මුදල් සංසරණය වෙනස් කිරීමක් හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙයි. එසේම, ග්‍රාමීය ප්‍රදේශයක රැකියා 1,000 ක් පමණ සැපයීමට හැකි නව කර්මාන්ත ශාලාවක් පිහිටු වන විදේශ ආයෝජකයෙකුට වසර 10 ක ආදායම් බදු විරාමයක් සැපයීමෙන්, එම ආයෝජනය සහ බදු සහනය හරහා රැකියා නොමැති පුද්ගලයන් 1,000 කට නව ආදායම් හෝ මුදල් ප්‍රවාහයක් ඇති කෙරේ. තවත් උදාහරණයක් ලෙස ආර්ථිකයේ සහල් මිල අධික ලෙස පොදුජනයාට පිඩාකාරි ලෙස ඉහළ යන විට උපරිම සහල් සිල්ලර මිල ගණන් නියම කොට සහල් හිඟයක් සහ කළු කඩයක් බිහි වීමට හේතු වන සහල් තොග රජය විසින් අත් කර ගෙන එම සහල් උපරිම සිල්ලර මිල මත බෙදා හැරීමට ක්‍රම වේදයක් සැපයීම දැක්විය හැකිය.

එබැවින්බදු, වියදම් සහ ණය යන රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාරයන් තුන ආර්ථිකයේ තෝරා ගත් අවයවයන් සඳහා කෙරෙන ශල්‍ය කර්ම පධතියට සමාන වෙයි. ආර්ථිකයක් දෙස බලන විට මෙවැනි රාජ්‍ය මූල්‍ය ශල්‍ය කර්ම ප්‍රතිකාරයන් විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. එබැවින්, රාජ්‍ය මූල්‍ය වෛද්‍ය අංශය තුළ බෙහෙවින් ශල්‍ය කර්ම ප්‍රතිකාර කෙරෙහි විශේෂඥ තාවයක් දරනු ඇත.

කුටුම්බයක හෝ ව්‍යාපාරික සමාගමක මෙන් නොව, රජයකට බදු අය කිරීම සහ ණය හරහා අයවැය හිඟයන් තුළින් වියදම් කිරීමේ බලය පවතී. එසේම, රට තුළ අවදානම් අඩුම ණය රාජ්‍ය ණය වීම සහ මූල්‍ය පද්ධතියට රාජ්‍ය ණයවල ඇති දායකත්වය හේතු කොට රාජ්‍ය ණය රැස් කිරීම අපහසු නොවේ. නූතන මූල්‍ය න්‍යායෙන් දැක්වෙන්නේ මෙම රාජ්‍ය මූල්‍ය බලතල භාවිතා කොට ආර්ථිකයන් පූර්ණ සේවා නියුක්තිය කරා සංවර්ධනය කළ යුතු බව යි (නූතන මූල්‍ය න්‍යාය පිළිබඳ විශේෂ ලිපයක් මෙම වෙබ් අඩවියේ අඩංගු වෙයි).

·   මූල්‍ය වෛද්‍ය පද්ධතිය

මූල්‍ය වෛද්‍ය පද්ධතිය යනු ආර්ථිකයේ මුදල් රුධිරය ආර්ථිකයට ගැලපෙන ලෙස පාලනය කෙරෙන විශේෂඥ වෛද්‍ය අංශය යි. මොවුන්ගේ සාමාන්‍ය ප්‍රතිකාර වට්ටෝරුව වනුයේ බැංකු පද්ධතියෙහි සංසරණය වන මුදල් ප්‍රමාණය හරහා සමස්ත ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණයේ වර්ධනය පාලනය කිරීම යි. එය කෙරෙනුයේ ණය, පොලී අනුපාතයන්, විනිමය අනුපාතයන් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයන් යන ඖෂධ වට්ටෝරුවේ මාත්‍රාවන් අනුව යි. එහෙත්, මෙය පැරණි මූල්‍ය ඖෂධ වට්ටෝරුවක් වෙයි. එහෙත්, ආර්ථිකයේ විවිධ අවයවයන් වෙත විශේෂිත ණය හරහා මුදල් සංසරණය හැරවීම සඳහා මූල්‍ය ශල්‍ය කර්ම කිරීමේ හැකියාව ද මූල්‍ය වෛද්‍ය විශේෂඥයන් සතුව පවතී.

උදාහරණ ලෙස අඩු ආදායම් ලාභීන්ගේ ක්ෂුද්‍ර ව්‍යාපාරයන් සඳහා ණය සැපයීම, පහළ ගොස් ඇති සුරැකුම්පත්/ණය වෙළෙඳපොළවල අරමුදල් සැපයුම ඉහළ නවා (එම සුරැකුම්පත් මිල දී ගැනීම හරහා) එම වෙළෙඳපොළවල් ක්‍රියාශීලී කිරීම, බැංකු ණය සැපයුම දුර්වල ව්‍යාපාරික  අංශයන් සඳහා ණය සැපයීම, රජයට ඍජු ණය ලබා දීම සහ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හරහා පහළ පොලී අනුපාතයන් යටතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට උපකාරී වීම වැනි විශේෂිත මූල්‍ය ශල්‍ය කර්මයන් දැක්විය හැකිය. ඒ අනුව, සමස්ත මුල්‍ය සංසරණ ප්‍රවාහයෙන් මුදල් නිසි ලෙස ලැබීමට අවහිර වී ඇති අවයවයන් සොයා ගෙන ඒවාට ඍජුව මුදල් ලැබෙන පරිදි බයිපාස් සැත්කම් කිරීමේ හැකියාව මූල්‍ය වෛද්‍ය විශේෂඥයන් වෙත පවතී. කොරෝනා වෛරස් ආර්ථික ආසාදනයට ප්‍රතිකාරයක් වශයෙන් සංවර්ධිත රටවල මූල්‍ය වෛද්‍ය විශේෂඥයන් විසින් මෙවැනි විශේෂිත මූල්‍ය ශල්‍ය කර්මයන් කිරීම දැකිය හැකිය.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගයේ අවශ්‍යතාවය

රාජ්‍ය මුල්‍ය වෛද්‍ය කණ්ඩායම සහ මූල්‍ය වෛද්‍ය කණ්ඩායම අතර රෝග පරීක්ෂණ, රෝග විනිශ්චය, ප්‍රතිකාර ක්‍රම සහ භාවිතා කෙරෙන ඖෂධ වට්ටෝරු අතර පවතින වෙනස්කම් හේතු කොට ඔවුන් අතර ගැටුම් පැවතීමත්, එබැවින්, ආර්ථික ආසාදනයන් වේදනාකාරී වීමත් දැකිය හැකිය. එසේම, ආර්ථික ආසාදනයන් හට ගැනීම පිළිබඳ ව එකිනෙකාට දොස් නැගීම ද නිරන්තරයෙන් දක්නට ලැබේ. මොවුන් සාමාන්‍යයෙන්  ආර්ථික අවපාතයන් හෝ පසුබැසීම් ඇති කෙරෙන ආසාදනයන් පවතින අවස්ථාවල යම් සහයෝගයකින් ප්‍රසාරණාත්මක ඖෂධ වට්ටෝරු සහ මාත්‍රාවන් ලබා දීම දැකිය හැකිය. මෙවැනි ආසාදනයන් අධික අවස්ථාවල මූල්‍ය වෛද්‍ය විශේෂඥයන් විසින් රාජ්‍ය මූල්‍ය වෛද්‍ය විශේෂඥයන්ගෙන් වැඩි දායකත්වය ඉල්ලා සිටීම දැකිය හැකිය. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය වෛද්‍ය විශේෂඥයන් සතු ශල්‍ය කර්ම හැකියාව සහ ඖෂධ වට්ටෝරුවල ඉක්මන් ප්‍රතික්‍රියාවන් ය. මෙය කොරෝනා වෛරස් ආර්ථික ආසාදනයට ප්‍රතිකාර කිරීමේ දී සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවලින් වාර්තා වෙයි.

එහෙත්, ඉහත දැක්වූ මතිමතාන්දරයන් හේතු කොට මූල්‍ය වෛද්‍ය විශේෂඥයන් විසින් පැරණි රසායනාගාර වාර්තා මත පදනම් වී තම ඖෂධ වට්ටෝරු සහ මාත්‍රාවන් අඩු කිරීමට උත්සාහ කිරීම දැකිය හැකිය. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රමානුකුලව ඉහළ දමන ලද ප්‍රසාරණාත්මක මූල්‍ය වෛද්‍ය ඖෂධ වට්ටෝරු සහ මාත්‍රාව පසුගිය අගෝස්තු මස 19 දින නැවත අඩු කිරීමට තීරණය කරන ලදි. එනම්, සම්ප්‍රදායික ඖෂධ දෙකක් වන ප්‍රතිපත්ති පොලී අනුපාතය 0.50% කින් (5% සහ 6% දක්වා) සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් (4% දක්වා) ඉහළ දැමීම යි. මෙය කොරෝනා වෛරස් ආර්ථික ආසාදනයෙන් ශ්‍රී ලංකාව තවත් පීඩනයකට පත් වෙමින් පවතින අවස්ථාවේ සිදු කොට ඇත.

මෙහි ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස බැංකු පද්ධතියෙහි පැවති මුදල් ප්‍රමාණය දැඩි ලෙස පහළ යාම හේතු කොට බැංකු විසින් දෛනිකව මහ බැංකුවෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය ඊට පෙර සතියේ සාමාන්‍යය වූ රුපියල් බිලියන 90 සිට සැප්තැම්බර් මස අවසාන සතියේ රුපියල් බිලියන 217 දක්වා 240% කින් ඉහළ යන ලදි. එබැවින්, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතය 5.09% සිට 5.94% දක්වා 0.85% කින් ඉහළ යන ලදි. මෙමගින්, රාජ්‍ය මූල්‍ය වෛද්‍ය ශල්‍ය කර්ම කිරීමට අවශ්‍ය අරමුදල් වියදම දැඩි ලෙස ඉහළ ගොස් අරමුදල් හිඟයකට මුහුණ දීමට සිදු වී ඇත. උදාහරණ ලෙස දින 91 ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සාමාන්‍ය පොලී අනුපාතය 1.37% කින් ද, දින 182 ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සාමාන්‍ය පොලී අනුපාතය 1.65% කින් ද, දින 364 ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සාමාන්‍ය පොලී අනුපාතය 1.69% කින් ද ඉහළ යන ලදි. එනම්, ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

මෙම ඉහළ යාම සිදු වූයේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පොලී අනුපාතයන් ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කාලය තුළ රුපියල් බිලියන 162 ක පමණ භාණ්ඩාගාර බිල්පත් ඍජුව මිල දී ගැනීම ද අභිමවා යමිනි. මෙම කාලය තුළ රජය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි හරහා රැස් කිරීමට ලංසු කැඳ වූ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 319.5 ක් වුව ද, පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට රැස් කළ හැකි වූ මුළු ණය ප්‍රමාණය වුයේ රුපියල් බිලියන 164.3 ක් හෝ අවශ්‍ය වූ ණය ප්‍රමාණයෙන් අඩකි (51%). එබැවින්රාජ්‍ය මූල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා වූ පොලී පිරිවැය ඉහළ යාම හේතු කොට රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු විය. තවදමෙම මූල්‍ය වෛද්‍ය ප්‍රතිකාර මාත්‍රාවේ වෙනස හේතු කොට පොලී අනුපාතයන් තවදුරටත් ඉදිරියේ දී ඉහළ යන බැවින් රජයට දැරීමට සිදු වන පොලී පාඩුව තවත් ඉහළ යනු ඇත.

එසේම, රජය සහ පෞද්ගලික අංශය විසින් ලබා ගන්නා අනෙක් ණය සඳහා ද පොලී අනුපාතයන් පොදුවේ ඉහළ යන බැවින් එම අතිරේක පොලී පිරිවැය ද ආර්ථිකයේ පොදු මිල මට්ටමට එකතු වී උද්ධමන පීඩනය ඉහළ යනු ඇත. එමගින්, ආර්ථිකයේ තවත් අවයවවල් රාශියක විවිධ ආසාදනයන් හට ගනු ඇත. ඊට හේතුව, මෙම මූල්‍ය වෛද්‍ය ඖෂධ මාත්‍රාව මෙම අවස්ථාවේ කොරෝනා වෛරස ආර්ථික ආසාදනයට නොගැලපෙන පැරණි ඖෂධ මාත්‍රාවක් වන බැවිනි. එම ආසාදනයන් නිරීක්ෂණය කිරීම සඳහා නව ආර්ථික රසායනාගාර පරීක්ෂණ දත්ත රාශියක් අවශ්‍ය වෙයි.

එබැවින්, මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගය තුළින් ප්‍රතිකාර මාත්‍රාවන් තීරණය කළ යුතුය. එසේ නොවන විට ඉහත දැක්වූ පරිදි සමහර ඖෂධ හේතු කොට නැති ආර්ථික රෝගයන් වැළඳීම හෝ යටපත් වී පවතින සමහර රෝගයන් වැඩි වීම හෝ තුළින් රෝගියා ශාරීරික මෙන්ම මානසික වශයෙන් අස්ථායි වී නිදන්ගත රෝගියකු බවට පත් විය හැකිය. කොරෝනා වසංගතය හේතු කොට එවැනි රෝගී ආර්ථිකයන් සංඛ්‍යාව ලෝකයේ දැනට ඉහළ යමින් පවතී.

නව වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සහ නව ඖෂධ වට්ටෝරුවල අවශ්‍යතාවය

කොරෝනා වසංගතයේ ශාරීරික සංකූලතාවන් පිළිබඳ නවතම සොයා ගැනීම වනුයේ ආසාදනයට ගොදුරු වී සුව වන  පුද්ගලයන්ගෙන් 50% කට පමණ දීර්ඝ කාලීන සංකූලතාවන් (ශාරීරික සහ මානසික) හට ගෙන ඇති බව යි. ඒවා සුව කිරීමට නව වෛද්‍ය පරීක්ෂණ සහ ඖෂධ වට්ටෝරු අවශ්‍ය වනු ඇත. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආර්ථිකයන්ට ද මෙය පොදු කරුණකි. පළමු වටයේ ආර්ථික ආසාදනය වැලක්වීම පිණිස පැරණි රාජ්‍ය මුල්‍ය සහ මූල්‍ය වෛද්‍ය වට්ටෝරු මාත්‍රාවන් එහේ මෙහේ පැන පැන, ඉලක්කම් පුරවාගත් චතුර කථනයන් පවත්වමින්, ආර්ථික වේදනාවන් යටපත් කිරීම පිණිස මාස ගණන් ඉලක්ක සහිත සැර ප්‍රතිජීවක ලබා දීමෙන් ආර්ථිකයේ මොලය තුළ ක්‍රියාත්මක වන වේදනා දැනෙන රසායනික සංයෝගයන් යටපත් කිරීම තුළින් දිගු කාලීනව මොලය අබාධිත වීමෙන් සහ පවතින ප්‍රතිශක්තිය හීන වී යාමෙන් ආර්ථිකය ඉබා ගාතයේ යන්නක් බවට පත් විය හැකිය. එබැවින්, මෙම අවස්ථාවේ නිෂ්ඨාවට සුවය ලැබීම සඳහා අඩුම වශයෙන් ඉදිරි දශකය පූරා දිවෙන ආර්ථික ජාන ඉංජිනේරු තාක්ෂණ ක්‍රම ඇතුළු නව වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සහ නව ඖෂධ වට්ටෝරු  අවශ්‍ය වනු ඇත. පැරණි වට්ටෝරු අනුව එහෙන් මෙහෙන් දෙන ආර්ථික ප්‍රතිජීවක වට්ටෝරු එයට ආදේශයක් නොවේ (තවත් විස්තර සඳහා ඊළඟ IV ලිපිය බලන්න).

(වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයන් වන මෙම කතුවරයාගේ "මූල්‍ය ආර්ථික විද්‍යාව" සහ "සාර්ව ආර්ථික විද්‍යාව" යන ග්‍රන්ථයන් කියවන්න)

පි සමරසිරි
හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති



Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?