ඇමෙරිකානු ජනාධිපති වරණයට පසු ට්‍රම්ප් වෙළෙඳාම. ශ්‍රී ලංකාවේ කුමක් ද?

ලිපියේ අරමුණ

  • මෙම ලිපියේ අරමුණ පසුගිය 5 දින ඇමෙරිකානු ජනාධිපති වරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමෙන් පසු, ඔහු ජනවාරි 20 දින රාජකාරි භාර ගැනීම තෙක් ඇමෙරිකානු ආර්ථිකය හැසිරෙන ආකාරය සහ නව ජනාධිපති විසින් රජය භාර ගැනීමට සුදානම් වන ආකාරය පිළිබඳ ව කෙටි සටහනක් තැබීම යි. 

  • මෙම ඇමෙරිකානු ආර්ථික/වෙළෙඳපොළ ප්‍රතිචාරය ව්‍යාපාරික මාධ්‍යය විසින් නම් කොට ඇත්තේ ට්‍රම්ප් වෙළෙඳාම (Trump Trade) ලෙස ය. එය විශේෂයෙන් මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි දැකිය හැකිය.

  • එය,  සැප්තැම්බර් 22 දින සිට ජනාධිපති වරණ ප්‍රතිඵලය සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය නව ක්‍රමයකට කළමනාකරණය කිරීමට සූදානම් වන දේශපාලනික නායකයන්ට ද මහගු ආදර්ශයක් වනු ඇත. 

ඇමෙරිකානු දේශපාලනයේ ආර්ථික වැදගත්කම

ඇමෙරිකාව ද්විපක්ෂ පාලනයක් ඇති රටකි. එහි පාලන ව්‍යුහය ප්‍රාන්ත රාජ්‍ය 50 ක පාලනය සහ ෆෙඩරල් පාලනය ලෙස බෙදී විකාශය වී ඇත. එම ස්ථරයන් දෙකම ඇමෙරිකානු ව්‍යවස්ථාව තුළ ක්‍රියාත්මක වෙයි.

  • වොෂින්ටනයේ සිට ක්‍රියාත්මක වන ෆෙඩරල් පාලනය ජනාධිපති, කොංග්‍රස් සභාව සහ සෙනෙට් සභාව ලෙස ස්ථරයන් තුනකි. මෙහි දී, ජනාධිපති යනු නීතියෙන් විශාල ඒකාධිපති බලයක් හිමි, ඔහු විසින්ම දේශපාලනික පද්ධතියට පිටින් පෞද්ගලිකව පත් කර ගන්නා කැබිනට් මණ්ඩලයක් හරහා තම විධායක බලය ක්‍රියාත්මක කරන ආයතනයකි.

  • ඇමෙරිකානු ජනාධිපති වරණයේ විශේෂත්වය වනුයේ, කොංග්‍රස් සභාව සහ සෙනෙට් සභාව (එනම්, පාර්ලිමේන්තුව) ද එම මැතිවරණ ප්‍රතිඵල තුළින් පත්වීම යි. එබැවින්, ජනාධිපති පත් වීමෙන් පසු තමන්ට පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සඳහා තවත් මැතිවරණයක් පවත්වා, දේශපාලන පද්ධතිය අවුල් කිරීමේ අවශ්‍යතාවයක් නැත. පාර්ලිමේන්තු බලය විරුද්ධ පක්ෂයේ පැවතිය ද, ජාතික වැදගත්කමක් ඇති ප්‍රතිපත්ති සහ අයවැය සඳහා දෙපක්ෂය බහුතරෙයෙන් ක්‍රියා කරනු ඇත. පක්ෂයේ යම් මතයකට නොව, තම මතය අනුව ඡන්දය දීමේ සම්ප්‍රදායක් මන්ත්‍රී වරුන් අතර පවතී.

  • නව ජනාධිපති වරයා වැඩ භාර ගන්නේ ජනවාරි 20 දින ය. එබැවින්, ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල මෙන් නිල මැතිවරණ ප්‍රතිඵල පළ වීමටත් පෙර, ජනාධිපති, මන්ත්‍රීවරුන් සහ ඉහළ නිලධාරීන් මැතිවරණ දින රාත්‍රියේම තම ආයතන සහ කරගෙන ආ වැඩ අතහැර පැන යන්නේ නැත. 
    • නොවැම්බර් 5 සහ ජනවාරි 20 අතර කාලය තුළ ජනාධිපති විසින් තම නිලධාරීන් නම් කොට, අදාළ ෆෙඩරල් ආයතනවලින් ලිපි ලේඛන භාර ගැනීම සහ රජය සුමට ලෙස පවරා ගැනීමේ කටයුතු නිල වශයෙන් සම්ප්‍රදායික ලෙස සිදු කෙරේ. එබැවින්, ජනාධිපති සහ ඇමති වරුන් විසින් කඩි මුඩියේ එහෙන් මෙහෙන් නිලධාරීන් සොයා ගැනීමක් සිදු නොවේ. 

    • එසේම, මහ බැංකු අධිපති හැර පසුගිය රජයේ සිටි සෑම ආයතන ප්‍රධානියෙක්ම නව ජනාධිපති විසින් ඉවත් කොට නව ප්‍රධානීන් පත් කරනු ඇත. ඔවුන් සියළු දෙනා ජනාධිපතිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පිරිසකි. 

    • මහ බැංකු අධිපතිගේ නිල කාලය වසර 4 ක් වීමත්, මහ බැංකුව දේශපාලනික ආර්ථික වේදිකාවල නොසිටීමත් හේතු කොට, ඊළඟ වාරය එන තෙක් ජනාධිපති ඉවසනු ඇත. ප්‍රතිපත්ති සහ විෂමාචාර චෝදනාවන් නොමැති නම්, නව රජය විසින් මහ බැංකු අධිපති තවත් වසර හතරක නිල කාලයක් සඳහා පත් කරනු ඇත.

    • මහ බැංකු අධිපති අතුළු ජනාධිපති විසින් නම් කරන සියළුම ෆෙඩරල් නිලධාරීන්ගේ පත්වීම් සෙනට් සභාවේ පරික්ෂණයට සහ අනුමැතියට යටත් වෙයි.

    • එබැවින්, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ නිලධාරීන් පත් කරන තෙක්, ජනාධිපති වැඩ භාර ගෙන පැරණි රජයේ ක්‍රමවේදයන් කර ගෙන යාමක් සිදු නොවේ.

  • එසේම, ජනාධිපති වරණයේ දී ම ජාතික ගැටළු සඳහා ජනමතය ගැනීම සඳහා දෙවැනි ඡන්ද පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමේ ප්‍රතිපාදනයන් පවතී. උදාහරණ ලෙස මෙවර ජනාධිපති වරණයේ දී ගබ්සාව තහනම් කිරීම පිළිබඳ ව ජනමතයක් ද විමසන ලදි. ඊට හේතුව, වත්මන් ව්‍යවස්ථාව අනුව එම තීරණය ගැනීමේ බලය පවතින්නේ ප්‍රාන්ත රජයන්ට වන අතර ගබ්සා නීතිය පිළිබඳ ව ජාතික ගැටුමක් පැවතීම යි. එම ජනමතය අනුව ගබ්සාව තහනම් කිරීමට බහුතර ජනමතය ලැබී ඇත. ඒ අනුව, නව ෆෙඩරල් රජය විසින් ඊට අදාළ නීති සංශෝධනයන් ඉදිරිපත් කරනු ඇත.
  • තවද, ජනාධිපතිගේ අත තවත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රාන්ත රජයන් නැවත පත් කිරීමේ මැතිවරණ පැවැත්වීමක් ද නොමැත. ඒවා ව්‍යවස්ථාව තුළ ස්වාධීනව ක්‍රියා කරනු ඇත. 

ඒ අනුව, ඇමෙරිකානු ජනාධිපති වරණය යනු අවම මහජන මුදලින් දේශපාලනික ස්ථායිතාවය පවත්වා ගැනීමට උපකාරී වන අනගි ක්‍රමවේදයකි.

ට්‍රම්ප් වෙළෙඳාම

එනම්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙන ලද මැතිවරණ පොරොන්දු පදනම් කර ගෙන, වෙළෙඳපොළවල් හැසිරීම යි. මෙහි දී, ට්‍රම්ප් පාලනයට වෙළෙඳපොළවල සුදනම් වීමක් සිදු වෙයි. එය වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින ඇමෙරිකාවේ සාමාන්‍ය ස්වරූපය යි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු වූයේ,

  • බදු පහළ දැමීම

  • තීරු බදු ඉහළ දමා දේශීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

  • වෙළෙඳපොළ නියාමනයන් රැසක් ඉවත් කොට, නිලධාරී රතු පටි ඉවත් කිරීම හරහා මිල ගණන් පහළ දැමීම මගින් උද්ධමනය පහළ දැමීම  

  • ආගමන නීති විධිමත් කොට ආර්ථිකයට අවශ්‍ය ශ්‍රමය නිත්‍යානුකුලව සපයා ගැනීම

  • ගබ්සා තහනම් කිරීම 

  • බිට්කොයින් සහ ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය මගින් ආයෝජනය ඉහළ දැමීම

  • දැනට ලෝකයට බරක් වී ඇති රුසියානු - යුක්‍රේන යුද්ධය සහ ඊශ්‍රායල-හමාස් යුද්ධය නැවැත්වීම 

  • ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ සභාපතිත්වයෙන් ෆෙඩරල් කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව පත් කොට ෆෙඩරල් වියදම ඩොලර් ට්‍රිලියන 2 කින් පහළ දැමීම.

ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම කැබිනට් මණ්ඩලය සහ ෆෙඩරල් ආයතන ප්‍රධානින් තේරීමේ කටයුතු දැනට සිදු කෙරේ. එබැවින්, කිසිම ෆෙඩරල් ආයතනයක හෝ ප්‍රාන්ත රජයක වැඩ කඩාකප්පල් වීමක් සිදු නොවේ. 

මේ දිනවල වෙළෙඳපොළවල් විසින් මෙම ඡන්ද පොරොන්දු සහ සූදානම සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2017-2020 පළමු ජනාධිපති කාලයේ අත්දැකීම් ද පදනම් කර ගෙන ව්‍යාපාරික හැසිරීම් සංවිධානය වීම දැකිය හැකිය.

ෆෙඩරල් කාර්යක්ෂමතා දෙපාර්තම්නේතුව 

මේ දිනවල ඉතාම ප්‍රචලිත ඡන්ද පොරොන්දුව ලෙස ෆෙඩරල් කාර්යක්ෂමතා දෙපාර්තම්නේතුව පිහිටුවීම නිවේදනය කොට ඇත. එයට සම ප්‍රධානීන් දෙදෙනෙකු පත් කොට ඇත. එනම්, එලෝන් මස්ක් සහ රිපබ්ලිකන් මන්ත්‍රී විවේක් රාමස්වාමි (බිලියනපති ව්‍යවසායකයකු) ය. 

ෆෙඩරල් රජයට ද නිලධාරී වාදය සහ දුෂණ චෝදනාවන් නිරන්තරයෙන් එල්ල වෙයි. ඒ පිළිබඳව විමර්ශන කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෑම ආයතනයකම පරීක්ෂණ දෙපාර්තම්නේතුවක් ක්‍රියාත්මක වෙයි. මෙම කාර්යක්ෂමතා දෙපාර්තම්නේතුව ඊට අමතරව ක්‍රියාත්මක වෙයි. මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ව පළවූ ලිපියක් සහ වීඩියෝවක් මෙහි ඉදිරිපත් කෙරේ. (ලිපිය) (වීඩියෝව).

සමාප්ත සටහන

  • ඇමෙරිකාව ලෝකයේ ආර්ථික ශක්තියෙන් බලවත්ම රට ලෙස විකාශය වීමට සහ අඛණ්ඩව පැවතීමට හේතුව මෙම දේශපාලනික සංවිධානය සහ ස්ථායිතාවය යි. 

  • ශ්‍රී ලංකාව වැනි බොහෝ දියුණ වන රටවල අර්බුදකාරී ආර්ථිකයන්ට සහ දුප්පත් ජීවන මට්ටමට හේතුව පක්ෂ දේශපාලන අර්බුදයන් සහ අස්ථායිතාවය යි. 2022 ශ්‍රී ලංකා බංකොලොත්වීම ඊට හොඳ උදාහරණය යි. ආර්ථික වශයෙන් දියුණුව පැවති රටවල් දේශපාන නායකයන් විසින් බංකොලොත් කළ අවස්ථාවන් ද රැසක් පවතී. ආජන්ටිනාව, සිම්බාබ්වේ සහ වෙනිසියුලාව ඊට කඳිම නිදසුන් ය.

  • එහෙත්, මෙම බොහෝ රටවල බැබළෙන ප්‍රජාතන්ත්‍ර වාදයක් පවතින බවට නායකයන් නිරන්තරයෙන් පවසති. එහෙත්, දේශපාලනික පංතිය රැකීම සඳහා වැය කෙරෙන මහජන මුදල් ප්‍රමාණය අති විශාල ය. 

  • දේශපාලනික නායකයන්ගේ බලතල සහ මැතිවරණ සඳහා ව්‍යවස්ථාව නිරන්තරයෙන් වෙනස් කිරීමත්, සමහර මැතිවරණ කල් දැමීමත්, මහජනයාගේ පරමාධිපත්වය ක්‍රියාත්මක කරන බව පැවසීම හරහා මහජන ආවේගයන් සහ රැලි නිර්මාණය කොට දේශපාලන කණ්ඩායම් අතර කලින් කලට බලය හුවමාරු කර ගැනීමත්, මෙම ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති එකම ලක්ෂණය යි. සෑම රජයක් පත් වූ විගස කරදර වන්නේ, වඩාත් ශක්තිමත් ලෙස පාලනය ගෙන යාම සඳහා ව්‍යවස්ථාව වෙනස් කොට නව නීති පැනවීම සඳහා මිස ආර්ථිකය ගොඩ නැගීම සඳහා නොවේ.

  • පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා රජය භාර ගෙන, නව විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍ය මණ්ඩල පත් කොට, කාර්යාල, උපකරණ, මුදල් සහ සේවක පහසුකම් සපයා ගෙන, නව අයවැයක් සම්මත කොට ගෙන නව වැඩ ආරම්භ කිරීමට සෑහෙන කාලයක් ගත වනු ඇත. බොහෝ සංකල්පීය නව අමාත්‍යංශයන් ඊළඟ රජයෙන් අහෝසි කරන තෙක් අක්‍රීයව පවතිනු ඇත.

එබැවින්, සමස්තයක් ලෙස ගත් විට, IMF වැනි ජාත්‍යන්තර දේශපාලනික දාමයක් හරහා විදේශ ණය ටිකක් ගෙන, විනිමය අනුපාතය, උද්ධමනය සහ විදේශ සංචිත වැනි ආර්ථික ඉලක්කම් ටිකක් සකසා ආර්ථිකය හොඳ බවට ප්‍රකාශ කිරීම හැර, ව්‍යුහාත්මක ආර්ථික අවදානම් පාලනය කොට ආර්ථිකය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ සහ ජීවන තත්ත්වය උසස් කිරීමේ කිසිම වැඩසටහනක් ඉදිරි දශක කිහිපය තුළ මෙම රටවල බලාපොරොත්තු විය නොහැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස