මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය උඩුයටිකුරු කිරීම - කබරගොයා තලගොයා කිරීමක් ද?

 


මහ බැංකුව විසින් පසුගිය මැයි 31 දින ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 13% සහ 14% දක්වා එකවර 2.5% කින් පහළ දමමින්, මාස 17 ක් පමණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හදිසියේ උඩුයටිකුරු කොට ඇත. මෙම කෙටි ලිපියේ අරමුණ මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ව ප්‍රයෝගික අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම යි.

දැඩි මූල්‍ය ප්‍රතිපත්තියෙන් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියකට මාරුවීම 

මහ බැංකුව විසින් තම පුවත්පත් දැන්වීමේ කියා සිටියේ ආර්ථිකයේ මූල්‍ය තත්ත්වය ළිහිල් කිරීම සඳහා මෙසේ පොලී අනුපාතයන් පහළ දමන බව යි. එමගින්, 2022 වර්ෂයේ දී වාර්තා වූ ඓතිහාසික ආර්ථික සංකෝචනයෙන් මිදීම සඳහා මූල්‍ය වෙළෙඳපොළවල් ළිහිල්වීම තුළින් උත්තේජනයක් සැපයෙන බව දැක්විණ. මෙම මූල්‍ය ලිහිල්කරණයට හේතු ලෙස දැක්වූයේ, මේ වන විට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා උද්ධමනය පහළ යාම, උද්ධමන පීඩනය ක්‍රමයෙන් විසිරී යාම සහ උද්ධමන අපේක්ෂාවන් තවදුරටත් නැංගුරම් ලෑම යනාදිය යි.

මහ බැංකු පුවත්පත් දැන්වීම දෙස බලන විට මෙම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය දැනට ආර්ථිකයේ සිදු වී ඇති ස්ථායිකරණය සතුටු දායක වන බැවින් ආර්ථික වර්ධනය නැවත අත්කර ගැනීම පිණිස යොමු වූ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක ආරම්භය බව ගම්‍ය වෙයි. ඒ අනුව, 2022 වර්ෂය ආරම්භයේ සිට පස්වරක් මුළු වශයෙන් 10.5% කින් ඉහළ දැමු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් (එනම්, 5%-6% සිට) නැවත 2.5% කින් පහළ දමා ඇත. එබැවින්, මේ දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ගේ ඉහළ යාම 8% දක්වා පහළ යනු ඇත.

මීට පෙර එසේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ දැමීමේ අරමුණ වූයේ, ආර්ථිකයේ පැවති අධිඉල්ලුම පහළ දමා ආර්ථිකය මුහුණ දෙන අධිඋද්ධමන පීඩනය සහ ගෙවුම් ශේෂ හිඟය පළමුව ආර්ථිකය සංකෝචනය හරහා පාලනය කිරීමත්, ඉන් ඇති කෙරෙන මිල ස්ථායිතාවය හරහා නැවත ආර්ථිකය පහසුවෙන් ගොඩ නැගීමත් ය. ඒ අනුව, රට සහ මහජනතාව මුහුණ දුන් ආර්ථික අර්බුදය නිරාකරණයට මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ, 2022 වර්ෂයේ ආර්ථික අර්බුදයෙන් සංකෝචනය වන ආර්ථිකය තවත් සංකෝචනය කිරීමේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියකි.

මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල්කරණයේ ආර්ථික පසුබිම

මෙම මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල්කරණයට ආර්ථික පසුබිම ලෙස 2022 ආර්ථික අර්බුදයෙන් පසු හට ගෙන ඇති ආර්ථිකයේ සුභදායී තත්ත්වය හුවා දැක්වෙන දත්ත සහ තොරතුරු රැසක් මහ බැංකුව විසින් තම පුවත්පත් දැන්වීමෙහි සඳහන් කරන ලදි. ඒවා වූයේ,

  • උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පහළ ගොස් 2023 තෙවන කාර්තුවේ දී තනි ඉලක්කමකට පහළ බැසීම සහ මැදි කාලයේ දී එය මැදි තනි ඉලක්කමක ස්ථායිකරණය වීමේ අපේක්ෂාව,

  • ආනයන පහළ යාම තුළින් විදේශ වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පහළ යාම,

  •  විදේශ සේවක ප්‍රේෂණ සහ සංචාරක ලැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යාම,

  • කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත් කෙරෙහි විදේශ ආයෝජනය විශ්වාසය ඉහළ යාම තුළින් පසුගිය මාස කිහිපය තුළ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි අරමුදල් සැපයුම ඉහළ යාම,

  • විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේගයන්ට අනුව තීරණය වීමට ඉඩ හැරීම තුළින් විදේශ මුදල් සැපයුම ඉහළ යාම තුළ ධනාත්මක අපේක්ෂණයන් පිළිඹිබු කරමින් විනිමය අනුපාතය පහළ යාම,

  • මහ බැංකුව විසින් සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් වෙළෙඳපොළෙන් මිල දී ගැනීම හරහා නිල විදේශ මුදල් සංචිතය අඛණ්ඩව ඉහළ යාම සහ එය 2023 මැයි මස අවසානයේ ඩොලර් බිලියන 3 ක් ලෙස අපේක්ෂා කිරීම,

  • ගෙවුම් ශේෂ තත්ත්වය ප්‍රවර්ධනය වීම, IMF ණය වැඩසටහන, අපේක්ෂිත ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය පහසුකම්, ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය ප්‍රකෘතිමත් වීම සහ ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය යනාදිය තුළින් තවදුරටත් ගෙවුම් ශේෂ බාධකයන් ලිහිල් වී දේශීය ආර්ථික පුනරුදයට උපකාරී වීම,

  • මහ බැංකුවේ මාර්ගෝපදේශය සහ දේශීය මුදල් වෙළෙඳපොළේ අරමුදල් තත්ත්වය වර්ධනය වීම තුළින් බැංකු ණය සහ තැන්පතු පොලී අනුපාතයන් අඛණ්ඩව පහළ යාම සහ දේශීය රාජ්‍ය ණය ප්‍රශස්තකරණ ප්‍රතිපත්තිය හේතු කොට රාජ්‍ය ණය අවදානම් වාරිකය පහළ ගොස් රාජ්‍ය සුරැකුම්පත් ඵලදා අනුපාතයන් තවදුරටත් පහළ යාමේ අපේක්ෂාව.

සමස්තයක් ලෙස ගත් විට ආර්ථිකය අර්බුදයෙන් ස්ථායිකරණය සඳහා අනුගමනය කළ දැඩි රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට තවමත් සංකෝචනය හෝ යටපත් වී පවතින ආර්ථිකය 2023 අවසාන කාලයේ සිට නැවත ක්‍රමයෙන් ගොඩ එන බවට පුරෝකථනය කොට ඇත.

ඒ සඳහා උපකාරී සාධක ලෙස මූල්‍ය තත්ත්වයන් ළිහිල් කිරීම, ව්‍යාපාරික සහ ආයෝජක විශ්වාසය ඉහළ යාම, විදේශ මුදල් ලැබීම් ඉහළ යාම, සංචාරක කර්මාන්තයේ සීග්‍ර පුනරුදය සහ ආර්ථික වර්ධන උපකාරක ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීම යනාදිය මහ බැංකුව විසින් දක්වා ඇත.

එසේම, IMF ණය වැඩසටහනේ කොන්දේසි යටතේ ඉදිරියේ දී ආනයන සිමාවන් ඉවත් කරන ලෙස රජයට උපදෙස් දෙන මහ බැංකුව විසින් ආනයන සඳහා පනවා තිබූ මුදල් තැන්පතු කොන්දේසිය මැයි මස සිට ඉවත් කළ බව ද දක්වා ඇත.

මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයේ ජාතික වැදගත්කම පරික්ෂා කිරීම

මෙම මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තොරතුරු රැසකින් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයේ ජාතික වැදගත්කම කුමක් ද? යන්න ප්‍රශ්න කළ හැකිය.

  • පළමුව, අයවැය මූල්‍යකරණය සඳහා ඉදිරියේ දී විදේශ මූල්‍ය පහසුකම් ලැබීම තුළින් දේශීය මූල්‍යකරණයේ අවශ්‍යතාවය විශාල වශයෙන් පහළ යන බැවින් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් මත වන පීඩනය තවදුරටත් පහළ යන බව.

මෙහි යටි අදහස වනුයේ 2022 ආර්ථික අර්බුදය ජනිත කළ රාජ්‍ය විදේශ ණය හරහා අයවැය සහ ආනයන ආර්ථිකය මූල්‍යකරණය කිරීමේ පැරණි සුපුරුදු ආර්ථික කළමනාකරණ මොඩලයට නැවතත් යාමට මහ බැංකුව අර අඳින  බව යි. දැනටම කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළට විදේශ ආයෝජනය සැලකිය යුතු ලෙස ලැබී ඇති බවත්, එමගින් දේශීය විදේශ මුදල් වෙළෙඳපොළේ අරමුදල් සැපයුම ඉහළ ගොස් ඉන් මිල දී ගත් විදේශ මුදල් හරහා මහ බැංකු විදේශ මුදල් සංචිතය තර වී ඇති බවත් ප්‍රකාශ කොට ඇත. එම මොඩලය නැවතත් IMF ණය වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව නොරහසකි.

  • දෙවනුව, මෙම මූල්‍ය ප්‍රතිපත්තිය වත්මන් දැඩි මූල්‍ය තත්ත්වයන් ළිහිල් කිරීමේ ආරම්භය බවත්, ඉදිරියේ දී පොලී අනුපාත ව්‍යුහය කඩිනමින් සාමාන්‍යකරණය වීමට අපේක්ෂා කෙරෙන බවත්, ආර්ථිකයේ ක්‍රියාකාරකම්වල පුනරුදයේ පදනම් පුළුල් කෙරෙන බවත්, මූල්‍ය වෙළෙඳපොළවල පීඩනය ළිහිල් වන බවත්, එමගින් ආර්ථිකය නැවත පුනරුදය සඳහා මෙහෙයවන බවත් දැක්වීම.

මෙහි දී, 2022 වර්ෂයේ දී අත්විඳි 8.7% ක ආර්ථික සංකෝචනයට අමතරව 2023 වර්ෂයේ දී තවත් 3% ක ආර්ථික සංකෝචනයක් අපේක්ෂා කෙරෙන බැවින් ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා විශාල පරිමාණයේ මූල්‍ය ප්‍රතිපත්ති උත්තේජනයක් හෝ ළිහිල් කිරීමක් අවශ්‍ය වනු ඇත. තව ද, පොලී අනුපාත ව්‍යුහය සාමාන්‍යකරණය යනු කුමන මට්ටම පොලී අනුපාතයන් ද? යන්න මහ බැංකුව විසින් දක්වා නොමැති බැවින් එය අඩු වශයෙන් 2022 වර්ෂය ආරම්භයේ දී පැවති 5%-6% මට්ටමේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත පදනම් විය යුතුය. මෙහි දී, IMF ණය වැඩසටහනේ කොන්දේසියක් වන මූර්ත ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 2.5% ක පමණ මට්ටමේ ඇස්තමේන්තුගත ස්වාභාවික පොලී අනුපාතයක පවත්වා ගත යුතුය.

ඉදිරි වර්ෂවල උද්ධමනය මැදි තනි ඉලක්කමක මට්ටමට (එනම් 5%) පහළ යාමට අපේක්ෂා කෙරේ නම්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් කඩිනමින් අවම වශයෙන් 7.5% මට්ටමට පහළ යා යුතුය. පසුගිය දා පැමිණි IMF නියෝජිත කණ්ඩායම විසින් ද පොලී අනුපාතයන් පහළ දැමීමට අවකාශය පවතින බවට ප්‍රකාශ කොට ඇත.

එසේ නම්, මහ බැංකුව විසින් අඛණ්ඩව ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත්, බැංකු පොලී අනුපාතයන් පහළ දමන ලෙස බැංකුවලට බල කිරීමත් ඉදිරි මාස කිහිපය පුරා සිදු කරනු ඇත. එසේම, වත්මන් ආර්ථිකයේ සහ පොදුජන ජීවන තත්ත්වයේ පවතින සංකෝචන මට්ටම දෙස බලන විට ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා ඉදිරි වර්ෂ කිහිපය පුරා පහළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පවත්වා ගත යුතුය.

එහෙත්, මෙම මූල්‍ය ප්‍රතිපත්තියේ ආර්ථික විද්‍යා තර්කානුකූල භාවය පිළිබඳ ප්‍රශ්න රාශියක් පැන නගී.

  • පළමුව, උද්ධමනය 2023 ජනවාරි මස 51.7% සිට මැයි මස දී 25.2% දක්වා 49% කින් පහළ ගොස් ඇත.

මෙය 2023 ජනවාරි මස සිට 2021 පදනම් වසර මත හඳුන්වා දුන් නව පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කෙරේ. ඊට පෙර අනුගමනය කළ 2013 පදනම් වසර මිල දර්ශකය අනුව ඉහළම උද්ධමනය වූ 69.8% 2022 සැප්තැම්බර් මස වාර්තා විය. වෙනත් රටවල උද්ධමන දත්ත දෙස බලන විට මෙතරම් ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවේ උද්ධමනය මාස කිහිපයක් තුළ මෙතරම් අධික පරිමාණයකින් පහළ බැසීම ප්‍රශ්නකාරී වෙයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ උද්ධමනය වේගයෙන් පහළ බසින බව දැක්වුව ද, පාරිභෝගික මිල දර්ශකය අඛණ්ඩව ඉහළ ගොස් ඇති බැවින් ආර්ථික සංකෝචනය තුළ මාසික පොදුජන ජීවන වියදමේ සහ මිල ගණන්වල පහළ යාමක් සිදු වී නොමැත.

ඊට හේතුව, මිල ගණන් සහ උද්ධමනය ඉහළ යාමේ පහසු නැඹුරුවක් පැවතිය ද, එය පහළ යාමට පෙර දිගු කාලයක් පැවතීමේ සම්භාවිතාවයක් පවතින බව මහ බැංකු සහ ආර්ථික විද්‍යාඥයන් විසින් සාමාන්‍යයෙන් පිළිගැනීම යි. එබැවින්, ලෝකයේ සංවර්ධිත ඇතුළු බොහෝ රටවල උද්ධමන අනුපාතය පහළ යාම දැනට ආරම්භ වුව ද, එය තවමත් ඉලක්ක උද්ධමනයට වඩා සැලකිය යුතු ඉහළ මට්ටමේ පවතින බැවින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් තවදුරටත් ඉහළ දැමීමේ හෝ අඛණ්ඩව පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක් මහ බැංකු විසින් අනුගමනය කිරීම දැකිය හැකිය. එබැවින්, වත්මන් ගෝලීය වෙළෙඳපොළ අපේක්ෂණයන් වන්නේ, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීම ආරම්භ කිරීමට පෙර ඒවා වත්මන් මට්ටමේ කාලයක් නොවෙනස්ව පවතින බව යි. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමක් බලාපොරොත්තු වන්නේ 2024 වර්ෂයේ දෙවන භාගයේ සිට ය.

එබැවින්, ශ්‍රී ලංකාව විසින් කඩිමුඩියේ නව මිල දර්ශකයක් හඳුන්වාදීම, උද්ධමනය සීග්‍රයෙන් පහළ යාම සහ වත්මන් උද්ධමනය ඉලක්ක උද්ධමනයට වඩා පස් ගුණයක් හෝ 500% කින් ඉහළ මට්මක පැවතිය ද, මහ බැංකුව විසින් කඩිමුඩියේ ආර්ථිකය පිළිබඳ ව අධිසුභදායී ප්‍රකාශනයක් කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 2.5% කින් පහළ දමා තවදුරටත් පොලී අනුපාතයන් සාමාන්‍යකරණය කරන බව දක්වා ඇත. එය ආර්ථික පුනරුදය සඳහා උත්තේජනයක් ලෙස කෙරෙන බව ද දැක්වෙයි.

එසේම, ආනයන සීමාවන් ළිහිල් කරන ලෙස රජයට ද උපදෙස් දී ඇති අතර එය මහ බැංකු ප්‍රතිපත්ති අධිකාරියෙන් ඔබ්බට ගොස් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට හොටය දැමීමකි. ඊට ප්‍රතිචාර ලෙස මුදල් රාජ්‍ය ඇමතිවරයෙකු විසින් මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවේ, එන සතියේ සිට භාණ්ඩ 400 කට පමණ පනවා තිබූ ආනයන සීමාවන් ළිහිල් කරන බව යි. 

එබැවින්, උද්ධමන පාලන සහ ඉලක්කකරණ වත්මන් ශ්‍රී ලංකා මූල්‍ය ප්‍රතිපත්තිය ගෝලීය මූල්‍ය ප්‍රතිපත්ති මූලධර්මයන්ට ද එරෙහිව මෙසේ හදිසියේ උඩුයටිකුරු කිරීම මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ව ආර්ථික හෝ මූල්‍ය න්‍යායික පදනම සහ විශ්වාසනීයත්වය දෙදරා යාමකි.

  • දෙවනුව, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව ක්‍රියාත්මක කෙරෙන්නේ, මහ බැංකුවේ එක් දින ණය සහ තැන්පතු පහසුකම් මත පදනම් වූ අන්තර් බැංකු වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය පාලනය කිරීම හරහා නොවේ.

ඊට හේතුව, 2023 ජනවාරි 16 දින සිට මහ බැංකුව විසින් තම එක් දින ණය සහ තැන්පතු පහසුකම් සලාක කොට සීමා කිරීම යි. එනම්, යම් බැංකුවකට එක් දින තැන්පතු පහසුකම මාසයකට දින 5 කටත්, එක් දින ණය පහසුකම බැංකුවක ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය මෙන් 90% කටත් සීමා කිරීම යි. එබැවින්, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව සහ අන්තර් බැංකු වෙළෙඳපොළ ද්‍රවශීලතාවය කළමනාකරණය කරනු ලැබුවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් කාලීන ගිවිසුම් හරහා බැංකු වෙත ණය සැපයීම මගිනි.

එබැවින්, නව මූල්‍ය ළිහිල්කරණය මත වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළ දැමීම කළ යුත්තේ සම්මත පොලී අනුපාත කොරිඩෝ ක්‍රමවේදය තුළ නොව තව තවත් දිගු කාලීන ප්‍රතිවිකුණුම් ගිවිසුම් හරහා බැංකුවලට ද්‍රවශීල අරමුදල් සැපයීම සඳහා මුදල් මුද්‍රණය කිරීමෙනි. එසේම, මහ බැංකුව විසින් සුපුරුදු පරිදි බැංකු අධීක්ෂණ බලය අයුතු ලෙස යොදා ගනිමින් පොලී අනුපාතයන් පහළ හෙළන ලෙස බැංකු වෙත බල කිරීම කරනු ඇත.

දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ආරම්භයේ දී මහ බැංකුව විසින් කරනු ලැබුවේ පොලී අනුපාතයන් ඉහළ දමන ලෙස බැංකු වෙත බල කිරීම යි. ඒ සඳහා පොලී අනුපාතයන් ඉහළ දමන ලෙස 2022 අප්‍රේල් 21 දින බැංකු වෙත කරනු ලැබූ මුදල් මණ්ඩල විධානය ද තවමත් පවතී. බැංකු විසින් වර්ෂයක් පුරා තැන්පතු සහ ණය සඳහා ඉහළ පොලී අනුපාතයන් අනුගමනය කොට ඇති බැවින් හදිසියේ පොලී අනුපාතයන් පහළ දැමීමට බල කිරීම තුළින් ද්‍රවශීල කළමනාකරණ අස්ථායිතාවයකට හෝ කම්පනයකට බැංකු මුහුණ දීමේ අවදානමක් පවතී.

  • තෙවනුව, 2023 මැයි මස වන විට වෙළෙඳ හිඟය පහළ ගොස්, විදේශ මුදල් ලැබීම ඉහළ යාම තුළින් ගෙවුම් ශේෂ තත්ත්වය යහපත් වී විනිමය අනුපාතය සැලකිය යුතු ලෙස පහළ යාම මහ බැංකුව විසින් සුභදායි ලෙස දැකීමට තරම් තිරසාර සාර්ව ආර්ථික පදනමක් ශ්‍රී ලංකාවේ නොමැත.

2022 ආර්ථික අර්බුදයේ බලපෑම තවමත් ව්‍යාප්ත වන අතර රාජ්‍ය ණය පැහැර හැරීම වලක්වා ණය සේවාකරණය ආරම්භ කිරීමට තවමත් උත්සාහ කරමින් පවතී. එබැවින්, ආර්ථිකයේ මූර්ත අංශය දෙස බලන විට විනිමය අනුපාතය ඉදිරි අනාගතයේ පහළ යාමට තරම් තිරසාර විදේශ මුදල් ලැබීමක හෝ අතිරික්තයක සේයාවක්වත් නොමැත. එබැවින්, IMF ණය ගිවිසුම සහ දේශීය ණය ප්‍රශස්තකරණ ප්‍රතිපත්තිය තුළින් විදේශ ආයෝජක විශ්වාසය ඉහළ යාම තුළින විදේශ ආයෝජන ඉහළ යාමත්, එමගින් රුපියල් ශක්තිමත් වී ඇති ඇති බවත් ප්‍රකාශ කිරීම හුදෙක්  ආර්ථික විද්‍යා දැනුමක් නොවේ.

උදාහරණ ලෙස 2023 ජනවාරි-අප්‍රේල් කාලය තුළ ඩොලර් මිලියන 252 ක පමණ කෙටි කාලීන විදේශ ආයෝජනය භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළට පැමිණීමට හේතුව හුදෙක් ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් සැලසුම් කරන ලද අභ්‍යන්තරික වෙළෙඳ අක්‍රමිකතාවයක් ලෙස පෙනේ. එනම්, එය ඉතා කෙටි කාලයේ දී විනිමය අනුපාතය සහ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සැලකිය යුතු ලෙස පහළ යන බවට තොරතුරු හෙළිවීමේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික වෙළෙඳ ලාභයක් ලැබීම පිණිස කරන ලද විදේශ ආයෝජනයක් මිස ස්ථායී විදේශ ආයෝජන ප්‍රවණතාවක් නොවේ.

මහ බැංකුව විසින් තම විදේශ සංචිතය ඉහළ ගිය බවට දක්වන්නේ මෙවැනි විදේශ ලැබීම් හරහා සැකසෙන විදේශ මුදල් හුවමාරු තුළිනි. මහ බැංකුව විසින් 2023 ජනවාරි 26 දින බැංකු සමඟ විදේශ මුදල් හුවමාරු වෙන්දේසි පැවැත්වීමේ නව මෙහෙයවුම් උපදෙස් මාලාවක් නිකුත් කොට ඇත්තේ එම අරමුණිනි. ඝානාවේ ද පසුගිය මැයි 17 දින අනුමත වූ IMF ණය වැඩසටහන සහ ඩොලර් මිලියන 600 ක IMF පළමු ණය වාරිකය ලැබීම සමඟ එහි මුදල මැයි මාසයේ ලෝකයේ ඉහළම හතර වැනි ශක්තිමත් මුදල ලෙස වාර්තා වී ඇත. මෙවැනි තත්ත්වයන් මූල්‍ය වෙළෙඳුන් විසින් කරනු ලබන තාවකාලික වෙළෙඳ ගනුදෙනුවල ප්‍රතිඵලයකි. ඝානාව ද ශ්‍රී ලංකාව මෙන් රාජ්‍ය ණය පැහැර හැර ආර්ථික අර්බුදයට ලක් වූ රටකි.

අභ්‍යන්තරික වෙළෙඳ ක්‍රමවේදයන් හරහා මුදල් ශක්තිමත් වීම හෝ විනිමය අනුපාතය පහළ යාමට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ නොමසුරු උපකාරය ලැබීම ද සාමාන්‍ය සිද්ධියකි. ඊට හේතුව, ඔවුන්ගේ පුරුද්ද වනුයේ විදේශ ණය සේවාකරණය සහ ආනයන මිල ගණන් තුළින් උද්ධමනය පාලනය කිරීම සඳහා දේශීය මුදල් කෘතීම ලෙස අධිඅගයක පාලනය කිරීම යි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල වත්මන් ආර්ථික අර්බුදයට හේතුව මෙම විනිමය අනුපාත ප්‍රතිපත්තිය යි. එබැවින්. මහ බැංකුව විසින් ඉලක්කම් සැකසීම කෙරෙන පැරණි ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමේ උත්සාහයක නිරත වන බව පැහැදිලි ය.

  • සිවුවනුව, නිදහස් වෙළෙඳපොළ බලවේගයන් අනුව විනිමය අනුපාතය නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ දීම හේතු කොට (IMF කොන්දේසි මත) රුපියල ශක්තිමත් වී ආනයන මිල ගණන් පහළ ගොස් උද්ධමනය පහළ යාමට හේතු වූ බව මහ බැංකුව විසින් දක්වා ඇත.

එබැවින්, 2022 මාර්තු මස 7 දින පා කරන ලද විනිමය අනුපාතය පහළ නොයාමට හේතුව මහ බැංකුව විසින් 2022 මැයි 13 දින සිට රුපියල් 360 ක අන්තර් බැංකු විනිමය අනුපාත මාර්ගෝපදේශයක් හරහා වෙළෙඳපොළ විනිමය අනුපාතයන් පාලනය කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිපත්තිය යි. එමගින්, හට ගෙන ඇති සාර්ව ආර්ථික අලාභයට මහ බැංකුව වගකිව යුතුය. ලෝකයේ කිසිම මහ බැංකුවකට විනිමය අනුපාතය පුරෝකථනය කිරීමේ දේව දැනීමක් නොමැති බැවින් මහ බැංකුව විසින් විනිමය අනුපාතය පිළිබඳ විවිධාකාර සුභදායී අදහස් මත ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීම සාර්ව ආර්ථිකයට බොහෝ අවදානම් ඇති කරනු ඇත.

  • පස්වනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මැයි 31 දින 2.5% කින් පහළ දමන බවට වූ අභ්‍යන්තර දැනුම නොසලකා, එදින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළින් 23%-26% මට්ටමේ ඵලදා අනුපාතයන් මත (එනම්, ඊට පෙර සතියේ වෙන්දේසි අනුපාතයන්ට ආසන්න) රුපියල් බිලියන 160 ක් ද, 25% ක් පමණ වූ ඵලදා අනුපාතයන් මත රුපියල් බිලියන 40 ක පමණ පුද්ගලික නිකුතුවක් ද හරහා මුළු වශයෙන් රුපියල් බිලියන 210 ක් අරමුදල් රජයට සපයා දී ඇත.

එමගින්, අවම වශයෙන් 2.5% ක අලාභයක් රජයට ද, 2.5% ක ලාභයක් මූල්‍ය වෙළෙඳුන්ට ද ලබා දී ඇත. එම තීරණයට මහ බැංකු අධිපති ඇතුළු පොලී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන සියළු ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලබා දී ඇත. එබැවින්, දැන දැනත් මෙම වෙන්දේසිය හරහා රජයට අලාභ කිරීම අභ්‍යන්තරික මූල්‍ය අක්‍රමිකතාවයකි.

  • සයවනුව, 2022 වර්ෂයේ ආර්ථික අර්බුදයෙන් ආර්ථිකය ස්ථායිකරණය සඳහා අනුගමනය කළ දැඩි රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට ආර්ථිකය සංකෝචනය වූ බව මහ බැංකුව පිළිගෙන ඇත.

ඉහළ පොලී අනුපාතයන් සහ බැංකු ණය සීමාවන් හේතු කොට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් රැසක් බංකොලොත්වීම මෙම ආර්ථික සංකෝචනයට ප්‍රධාන සාධයක් වූ බව ද නොරහසකි. එබැවින්, සමස්ත ව්‍යාපාරික ප්‍රජාව සහ දේශපාලන නායකත්වය මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට විරුද්ධ විය. එසේම, පසුගිය වර්ෂයක පමණ කාලය තුළ ගන්නා ලද රාජ්‍ය ණය සඳහා ගෙවීමට සිදු වූ අතිරේක පොලී පිරිවැය 15% ක් පමණ විය. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා එය ඉදිරි වර්ෂ ගණනාවක් පුරා දැරීමට සිදු වනු ඇත. ආර්ථිකයේ නිල සංකෝචනය 2022 දී 7.8% ක් ද, 2023 දී 3% ක් ද වෙයි. එසේම, 2024 දී ලබා ගත හැකි ආර්ථික වර්ධනය ද 1.5% ක සුළු ප්‍රමාණයක් බව IMF විසින් ඇස්තමේන්තු කොට ඇත. ඊට හේතුව, දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ආයෝජනය සහ ආර්ථික ධාරිතාවය සැලකිය යුතු ලෙස පහළ යාම යි.

තවමත්, උද්ධමන අනුපාතය 25% ක් සහ පාරිභෝගික මිල දර්ශකය ඉහළ නගින බැවින් ආර්ථිකය සහ මිල මට්ටම ස්ථායිකරණය වී නොමැත. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය කඩිමුඩියේ උඩුයටිකුරු කිරීමෙන් පැහැදිළි වන්නේ මහ බැංකුව විසින් නිසි සාර්ව ආර්ථික අවබෝධයක් නොමැතිව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට ඇති බව යි.

තව ද, මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් මාස 12-18 ක පමණ කාල පමාවක් තුළ ආර්ථිකය කෙරෙහි බලපාන බව මහ බැංකුව විසින් පිළිගැනෙන බැවින් මෙතෙක් ගන්නා ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම්වල අහිතකර බලපෑම 2023 වර්ෂයේ ද දැරීමට සිදු වනු ඇත. උදාහරණ ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීමේ බලපෑමේ කාල පමාව පහත දැක්වෙයි.

  • ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීමේ බලපෑමේ කාල පමාව 

2022 ජනවාරි 19 දින 0.5% - බලපෑම: 2023 ජනවාරි සිට 2023 ජුනි දක්වා

2022 මාර්තු 3 දින 1% - බලපෑම: 2023 මාර්තු සිට 2023 සැප්තැම්බර් දක්වා

2022 අප්‍රේල් 8 දින 7% - බලපෑම: 2023 අප්‍රේල් - 2023 ඔක්තෝබර් දක්වා

2022 ජුලි 6 දින 1% - බලපෑම: 2023 ජුලි සිට 2024 ජනවාරි දක්වා

2023 මාර්තු 3 දින 1% - බලපෑම: 2024 මාර්තු සිට 2024 සැප්තැම්බර් දක්වා

  • ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමේ බලපෑමේ කාල පමාව

2023 මැයි 31 දින 2.5% - බලපෑම: 2024 ජුනි සිට 2024 දෙසැම්බර් දක්වා

එබැවින්, 2022 මාර්තු මස සිට ඉහළ දමන ලද 10% ක ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ගෙන් ආර්ථික වර්ධනය කෙරෙහි වන අහිතකර බලපෑම 2023 ඉදිරි මාසවල සහ 2024 වර්ෂයේ ද දැරීමට සිදු වනු ඇත. එසේම, පසුගිය මැයි 31 දින 2.5% කින් පහළ හෙළන ලද ප්‍රතිපත්ති පොළී අනුපාතයේ ආර්ථික වර්ධන දායකත්වය බලපොරොත්තු විය හැක්කේ 2024 ජුනි-දෙසැම්බර් කාලය තුළ ය.

එබැවින්, මීට පෙර ඉහළ දමන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ගේ අහිතකර බලපෑම සමනය කිරීම සඳහා අඩුම වශයෙන් කඩිනමින් තවත් 7.5% කින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමිය යුතු අතර එහි හිතකර බලපෑම් බලපොරොත්තු විය හැක්කේ 2024 වර්ෂය දෙවන භාගය තුළ ය. එසේ නොවුව හොත්, ඉහළ දැමූ ප්‍රතිපත්ති පොලී අනුපාතයන්හි බලපෑම සමඟ IMF කොන්දේසි මත ඉදිරියේ දී පවතින දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ආර්ථිකයෙහි අවධමනකාරී තත්ත්වයක් හට ගැනීමේ අවදානමක් ද පවතී. එබැවින්, වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රමවේදය තුළින් ආර්ථිකය අර්බුදයෙන් ගොඩ ගැනීම නොව එය අඛණ්ඩව අස්ථායිකිරීමේ දැඩි අවදානමක් පවතී.

සමාප්ත සටහන

සමස්තයක් වශයෙන් ගත් විට, මහ බැංකුව විසින් කඩිමුඩියේ තම මූල්‍ය ප්‍රතිපත්තිය උඩුයටිකුරු කිරීමත්, ඒ සඳහා දක්වන ලද සුභවාදී ආර්ථික දත්ත කට්ටලයත්  මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීනත්වය, ගෝලීය මූල්‍ය මූලධර්මයන් සහ විද්වත් භාවය පිළිබඳ ව ගැටළු රාශියක් පැන නගින බව පෙනේ. ඕනෑම ආර්ථික කථාන්දරයක් ඕනෑම අවස්ථාවක ගෙතීම සඳහා ක්‍ෂුද්‍ර ආර්ථික දත්ත සහ සංකල්පයන් මහ බැංකුව සතුව පවතී.

ජනාධිපති වරයා විසින් 2023 ජුනි පළමු දින ජාතිය අමතා කළ කතාවේ දී, රජයේ ක්‍රියාමාර්ග සහ පිළිවෙත් හි විනිවිදභාවය සහතික කිරීමට රජය විසින් සක්‍රීයව කටයුතු කරන බව ද පවසා ඇත. එබැවින්, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ මෙවලම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව එසේ සක්‍රීය ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව යෝජනා කළ හැකිය. මෙහි දී, මහ බැංකුව විසින්  වරින් වර කරනු ලබන ප්‍රකාශනයන්ගේ පරස්පර භාවය සහ පසුබිම් ආර්ථික දත්ත පරීක්ෂා කිරීම අවශ්‍ය වනු ඇත.

එසේ නොවුව හොත්, මහ බැංකුව විසින් ආර්ථිකය නුදුරු අනාගතයේ දී වත්මන් ආර්ථික අර්බුදයේ දෙවැනි වටයට තල්ලු කිරීමේ අවදානමක් පවතින බව කිව හැකි අතර ඒ සඳහා ද මහජනතාවට වගකිව යුත්තේ රජය යි.

ඊට හේතුව, මහ බැංකුවේ එක් දින පොලී අනුපාතයන් එහාට මෙහාට කරමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධනය වෙනස් වන ආකාරය පුරෝකථනය කරමින් වර්ෂ ගණන් බලා සිටීමෙන්, උග්‍ර ණය සහ විදේශ මුදල් අර්බුදයකින් පෙළෙන ආර්ථිකයක් ඉන් ගොඩ ගැනීම කළ නොහැකි බැවිනි. ඒ බව ගෝලීය ආර්ථිකයේ වාර්තා වී ඇති ආර්ථික අර්බුදයන් දෙස බැලීමෙන් මැනවින් පැහැදිලි වෙයි.

මූල්‍ය ප්‍රතිපත්තිය යනු ණය සහ මූල්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම තුළින් ආර්ථිකයේ මූර්ත අංශය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රතිපත්ති ක්‍රමවේදය යි. එහෙත්, ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යනු හුදෙක් මූල්‍ය වෙළෙඳුන්ගේ කෙටි කාලීන සමපේක්ෂණ ලාභ පදනම් වන කෙටි කාලීන පොලී අනුපාතයන් සහ විනිමය අනුපාතයන් උච්ඡාවචනය කෙරෙන මූල්‍ය සූදුවක්  පමණි. එමගින්, මුර්ත ආර්ථිකයට කෙරෙන දායකත්වය පිළිබඳ ව කිසිම ආර්ථික දත්ත මහ බැංකුව සතුව නොමැත.

පසුගිය දා ජනාධිපති වරයා විසින් ජාතිය ඇමතීමේ දී ප්‍රකාශ කරනු ලැබුවේ ඉදිරි වසර පහකින් ආර්ථිකය පූර්ණ ලෙස ස්ථායිකරණය කරන බව යි. එහෙත්, මෙම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය තුළින් ඊට අවකාශයක් නොලැබෙන බව පැහැදිලි ය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි