විනිමය අනුපාතයේ කැළඹීම - ඉල්ලුම සහ සැපයුම ද? වගකීම කාගේ ද?

මේ දිනවල ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව ස්ථායිකරණය භාර ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නිරන්තරයෙන් ජප කෙරෙන මන්ත්‍රයකි. ඊට හේතූන් ලෙස දක්වන්නේ තෙල් සහ ගෑස් පෝලිම් නැතිවීම, උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පහළ යාම,  පොලී අනුපාතයන් පහළ යාම, විදේශ සංචිතය ඉහළ යාම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම  යනාදිය යි.

මාර්තු -අප්‍රේල් -මැයි කාලය තුළ විනිමය අනුපාතය හදිසියේ ඩොලරයක් රුපියල් 360 ක පමණ සිට රුපියල් 300 මට්ටමට වඩා වේගයෙන් පහළ යාම ද ස්ථායිකරණ සංඥාවක් ලෙස දැක්විණ. ඊට හේතුව, 2022 මාර්තු 8 දින සිට මැයි මස  ආරම්භය දක්වා කාලය තුළ විනිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ සිට රුපියල් 371 මට්ටමට 85% කින් පමණ සීග්‍රයෙන් ඉහළ යාම ආර්ථික අර්බුදයට මූලික හේතුව ලෙස සැලකුණ බැවිනි. එබැවින්, නැවත විනිමය අනුපාතය රුපියල් 300 මට්ටමට වේගයෙන් පහළ යාම ආර්ථික ස්ථායිකරණ කණ්ඩායමේ අනභිබවනීය දක්ෂකමක් ලෙස දැක්විණ. 

එහෙත්, 2023 මාර්තු මස සිට මේ දක්වා විනිමය අනුපාතයේ කැලඹුම් හැසිරීම දෙස බලන විට ආර්ථිකයේ එවැනි ස්ථායිකරණයක් පවතින බව සාර්ව ආර්ථික විද්‍යා මූලධර්ම අනුව කිව නොහැකිය. මෙහිදී, ජුනි මස ආරම්භයේ රුපියල් 290 ට පමණ පහළ ගිය විනිමය අනුපාතය නැවත හදිසියේ රුපියල් 310-320 ට  ඉහළ යාම හේතු කොට ස්ථායිකරණ කථාව කැළඹීමට පත් වී ඇත (රූපසටහන බලන්න).

ඊට ප්‍රතිචාර ලෙස අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් දක්වන්නේ විනිමය අනුපාතයේ මෙම කැළඹුම පිළිබඳ ව කලබල වීමට කරුණක් නොමැති බවත්, මෙය ඉල්ලුම සහ සැපයුම අනුව විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩදීමේ ප්‍රතිඵලයක් බවත් ය. IMF උපදෙස් අනුව නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තිය ලෙස පසුගිය මාර්තු 7 දින ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙය යි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ විනිමය අනුපාතයේ වෙළෙඳපොළ නම්‍යශීලිත්වය සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ ව මේ දිනවල කෙරෙන අදහස්වල අර්ථ විරහිතභාවය පෙන්වා දීම යි.

නිදහස් විනිමය අනුපාතය ප්‍රයෝගික සත්‍යයක් ද? නැත.

ආර්ථික විද්‍යා මූලධර්මයන් දෙස බලන විට නිදහසේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වන විනිමය අනුපාතයක් ශ්‍රී ලංකාවේ නොමැත. ඊට හේතුව, විනිමය අනුපාතය යනු මූලික වශයෙන් මහ බැංකුවේ මූල්‍ය සහ විදේශ විනිමය ප්‍රතිපත්තිය අනුව තීරණය වන ආර්ථික විචල්‍යයක් හෝ මිලක් වන බැවිනි. වත්මන් මහ බැංකු ප්‍රතිපත්ති අනුව එසේ නිදහසේ ක්‍රියාත්මක වන ඉල්ලුමක් සහ සැපයුමක් හෝ විනිමය අනුපාතයක් විදේශ මුදල් වෙළෙඳපොළේ නොමැත. ඊට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය. මේවා අපොස උ.පෙ. ආර්ථික විද්‍යාව හදාරන සිසුන් පවා දන්නා කරුණු ය.

  • විනිමය අනුපාතය යනු දේශීය මුදල් සහ විදේශ මුදල් අතර ඉල්ලුම් සහ සැපයුම් අන්තර් බලපෑමෙන් තීරණය වන මිලකි. එහෙත්, ඉන් එකක්වත් නිදහසේ ක්‍රියාත්මක වීමට මහ බැංකුව ඉඩ නොදෙයි.

  • දේශීය මුදල් සැපයුම සහ ඉල්ලුම කෙරෙහි මහ බැංකුව විසින් විවිධාකාර මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් හරහා මැදිහත් වෙයි. ප්‍රතිපත්ති පොලී අනුපාතයන්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, විවට වෙළෙඳපොළ කටයුතු, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් සහ විවිධාකාර බැංකු නියෝගයන් සහ ආවේක්ෂණයන් ඒ අතර වෙයි.

  • විදේශ මුදල් සැපයුම සහ ඉල්ලුම කෙරෙහි අනේක විධ සීමාවන් මහ බැංකුව විසින් පනවා ඇත. එසේම, රජය විසින් ද ආනයන සහ අපනයන සීමාවන් පනවා ඇත. විදේශ මුදල් වෙළෙඳාම සඳහා බලපත්‍රය හෝ අවසරය ලබා දී ඇති පිරිසට හැර වෙනත් පාර්ශවයන්ට විදේශ මුදල් ගනුදෙනුවල නිරත වීමට නීතියෙන් අවසරය නොමැත. තවද, වෙළෙඳපොළේ විදේශ මුදල් සැපයුම සහ ඉල්ලුම කෙරෙහි මැදිහත්වීමේ අරමුණින් මහ බැංකුව විසින් තම විදේශ මුදල් සංචිතය හරහා බැංකු සමඟ විදේශ මුදල් වෙළෙඳාම කෙරේ. සමහර අවස්ථාවල මහ බැංකුව විසින් ඉල්ලුම් සහ සැපයුම් සාධක තැකීමක් නොකොට වෙළෙඳපොළ විනිමය අනුපාතය නියම කරනු ඇත. එබැවින්, ආර්ථිකයේ හෝ වෙළෙඳපොළේ විදේශ මුදල් ඉල්ලුම සහ සැපයුම සහ විනිමය අනුපාතය මහ බැංකුවේ සෘජු හෝ වක්‍ර මැදිහත්වීම යටතේ පවතී.

එබැවින්, ප්‍රතිපත්ති සම්පාදකයන් පවසන පරිදි විනිමය අනුපාතය ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් අනුව නම්‍යශීලී ලෙස තීරණය වීමට නම්, රජය විසින් මහ බැංකුව වසා දමා ආනයන සහ අපනයන පාලනයන් ඉවත් කළ යුතුය. එවිට විනිමය අනුපාතය සහ පොලී අනුපාතයන් ඇතුලු සියළු මූල්‍ය මිල ගණන් ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වනු ඇත.

20 වැනි සියවසේ රාජ්‍ය මහ බැංකු පිහිටුවීමට පෙර පැවතියේ එවැනි වෙළෙඳපොළ මත පදනම් වූ මූල්‍ය ක්‍රමයන් ය. වත්මන් මහ බැංකුවල අකාර්යක්ෂමතාවයන්, අක්‍රමිකතාවයන්  සහ අසමත්වීම් මෙන්ම නූතන මූල්‍ය තාක්ෂණය දෙස බලන විට එවැනි මූල්‍ය ක්‍රමයන් නුදුරු අනාගතයේ නැවත හට ගැනීම පුදුමයක් නොවනු ඇත.

විනිමය අනුපාතය එසේ නිදහස් කිරීමට මහ බැංකුවට බලයක් තිබේ ද? නැත.

ප්‍රතිපත්ති සම්පාදකයන් සිතන්නේ  ඔවුන්ට දේවතාවන් මෙන් කැමති පරිදි මුදල් ගනුදෙනු පිළිබඳ තීරණයන් ගැනීමට හැකි බවයි. එහෙත්, එම සියළු තීරණයන් ගත යුත්තේ මුදල් නීති පනතේ දැක්වෙන ප්‍රතිපාදනයන් අනුව ය. ඒ අනුව, මහ බැංකුව විසින් ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථිකයේ දේශීය මුදල් ස්ථායිකරණය සහ විදේශ මුදල් ස්ථායිකරණය පවත්වා ගැනීම සඳහා ය. එම ප්‍රතිපාදනයන් අනුව වෙළෙඳපොළ ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන් මගින් ඕනෑම විනිමය අනුපාතයක් තීරණය වීමට ඉඩ දී ආර්ථික කථා පවත්වමින් බලා සිටීමට බලයක් මහ බැංකුවට නොමැත.

මහ බැංකුව විසින් මුදල් නීති පනතේ දක්වා ඇති මූල ධර්මයන් සහ මෙවලම් යටතේ විනිමය අනුපාතය නියාමනය කළ යුතුය. එහෙත්, ඒ සඳහා සුත්‍රයක් හෝ සංකල්පීය ආර්ථික මොඩලයක් දී නොමැත. මහ බැංකුවට දක්ෂ ආර්ථික විද්‍යඥයන් පුහුණු කිරීමට බලතල මුදල් නීති පනතින් ලබා දී ඇත්තේ එබැවිනි. IMF හෝ එහි මාණ්ඩලික නිලධාරීන් ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා නීති අනුව නොවන බැවින් ඔවුන් අනුගමනය කරන ආර්ථික සංකල්පයන් අනුව නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්ති නිර්දේශ කළ හැකිය. එබැවින්, එවැනි නිර්දේශයන් ශ්‍රී ලංකා නීතියට පිටතින් ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාපිත වරදකි.

තවද, සංවර්ධිත රටවල් ඇතුළු ලෝකයේ කිසිම මහ බැංකුවක් වෙළෙඳපොළට ඕනෑ ආකාරයට විනිමය අනුපාතයන් හැසිරවීමට ඉඩ දෙන්නේ නැත. ඊට හේතුව, විනිමය අනුපාතය ද සාර්ව ආර්ථිකය සහ මහජනතාව කෙරෙහි බලපාන මූල්‍ය ප්‍රතිඵලයක් වන බැවිනි. උදාහරණ ලෙස ඇමෙරිකානු මහ බැංකුව විසින් පසුගිය මාර්තු මස සිට හටගත් බැංකු කැළඹීම තුළින් ඩොලරයේ විදේශ වටිනාකම ස්ථායිකරණය කිරීමේ අරමුණින් සංවර්ධිත රටවල මහ බැංකු 6 ක් සමඟ සත් දින ඩොලර් සැපයීමේ හුවමාරු ගිවිසුම් මාර්තු මස 20 සිට අප්‍රේල් මස අවසානය දක්වා ක්‍රියාත්මක කරන ලදි. එය වක්‍ර ලෙස ඩොලරයේ විනිමය අනුපාතය කෙරෙහි මැදිහත්වීමකි. එහෙත්, සංවර්ධිත රටවල මහ බැංකු විසින් විනිමය අනුපාතය නියම කිරීම හරහා මුදල් වෙළෙඳපොළට මැදිහත්වීමක් සිදු නොකෙරේ.

ආර්ථිකය නැවත ස්ථායිකරණය

ආර්ථික ස්ථායිකරණය යනු වෙළෙඳපොළ පද්ධතියේ මිල ගණන්වල අහිතකර විචලතාවයන් වැලැක්වෙන පරිදි ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම් අංශය සහ සැපයුම අංශය අතර තුලනයක් ඇති කිරීම පිළිබඳ සාර්ව ආර්ථික කළමනාකරණ සංකල්පයකි. එබැවින්, විනිමය අනුපාතය සහ උද්ධමනය හදිසියේ පහළ යාම හෝ වෙනත් සදනීය ආර්ථික ඉලක්කම් හුවා දක්වමින් ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව දැක්වීම දේශපාලනික කථා මිස සාර්ව ආර්ථික කථා නොවේ. 

එබැවින්, ආර්ථික ස්ථායිකරණය පිළිබඳ ව අදාළ නිලධාරීන් විසින් දේශපාලනික නායකයන් වෙත ආර්ථික ඉලක්කම් සහ උපදෙස් ලබාදීමේ දී අදාළ සංකල්පයන් සහ මූලධර්මයන් අනුව සිදු කළ යුතුය. එසේ නොමැති වූ විට, ආර්ථිකය පිළිබඳ ව පදනම් විරහිත අතිසුබදායී ප්‍රකාශනයන් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ එම නායකයන් ය. 

උදාහරණ ලෙස 2023 පළමු කාර්තුවේ ආර්ථික සංකෝචනය 11.5% ක් ද, 2023 වර්ෂයේ IMF ආර්ථික සංකෝචන පුරෝකතනය 3% ක් ද, 2023 අවසානයේ ජීවන වියදම 2019 අවසානයට සාපේක්ෂව දෙගුණයක් ද වෙයි නම්, කුමන ඉලක්කම් හෝ දත්ත භාවිතා කොට කෙරෙන ආර්ථික ස්ථායිකරණ කථාන්දරයන් ආර්ථික වශයෙන් පදනම් විරහිත වෙයි.

ඊට හේතුව, විදේශ මුදල් අර්බුදයකට සහ රාජ්‍ය ණය අර්බුදයකට හසු වී බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකය  ස්ථායිකරණය කිරීම කථා පැවැත්වීමෙන් සහ මඩ ගසා ගැනීමෙන් කළ නොහැකි බැවිනි. එසේම, එය වෙළෙඳපොළ ගැන ආර්ථික කථා පවත්වමින් මහ බැංකුවේ එක් දින පොලී අනුපාතය එහාට මෙහාට දැමීමෙන් හෝ එහෙන් මෙහෙන් විදේශ ණය ටිකක් ගෙන විනිමය අනුපාතය පහළ දැමීමෙන් හෝ මුදල් මුද්‍රණය කපා හැරීමෙන් හෝ රාජ්‍ය ණය පැහැර හැරීමෙන් හෝ නව මහ බැංකුවක් පිහිටුවීමෙන් හෝ හෝ ආර්ථිකය සහ මහජනයාගේ ඉල්ලුම සංකෝචනය කිරීමෙන් හෝ කළ හැකි සරල කාර්යයක් නොවේ.

උදාහරණ ලෙස 2007/09 මූල්‍ය අර්බුදයට හසු වූ ඇමෙරිකාවේ සහ යුරෝපයේ ආර්ථිකයන් නැවත ස්ථායිකරණය කිරීමට දශකයක් පමණ ගත විය. එම රටවල් මුහුණ දෙන වත්මන් උද්ධමන පීඩනයෙන් සහ කැළඹීමෙන් ආර්ථිකයන් ස්ථායිකරණය කිරීම සඳහා ද එවැනි කාලයක් ගත වන බව අපේක්ෂා කෙරේ. එබැවින්, බුන්වත් වී දරිද්‍රතාවයට පත් වී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය අද හෙට ස්ථායිකරණය කරන බවට දක්වන ආර්ථික දේශනයන් හාස්‍ය ජනකය.

දේශපාලන නායකයන්ට දෙන උපදේශය

ඉහත දැක්වූ කෙටි ඉදිරිපත් කිරීම තුළින් උගත හැකි උපදේශයන් හතරකි.

  • දේශපාලනික නායකයන් විසින් තමන් නොදන්නා සාර්ව ආර්ථික ඉලක්කම් සහ සංකල්පයන් නිලධාරීන් විසින් දෙනු ලබන පත්‍රිකා බලා කියවීමෙන් වැලකී ඒවා මහජනයාට ඉදිරිපත් කිරීම අදාළ නිලධාරීන්ටම පැවරීම.

  • ආර්ථික ස්ථායිකරණයේ වගකීම ඊට ව්‍යවස්ථාපිත බලය ඇති නිලධාරීන්ට පැවරීම.

  • බාහිර තාක්ෂණික උපදේශයන් ලබා ගෙන ඔවුන්ගේ දින වකවානු සහිත කාර්යසාදනය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම. ඊට හේතුව, ආර්ථික ස්ථායිකරණය යනු ආර්ථික ඉල්ලක්කම් තනා ආර්ථික සුබදායී කථා පැවැත්වීම නොව පොදුජනයාගේ ජීවිතයට දැනෙන දෙයක් වීම යි.
  • වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු නිලධාරීන් ස්ථායිකරණ කාර්යයන්ගෙන් ඉවත් කිරීම. ඊට හේතුව, අර්බුදය වැලැක්වීමට අසමත් වූ ඔවුන්ට අර්බුදය නිරාකරණය කිරීමට හැකියාවක් නොමැති බැවිනි.
එසේ නොවුවහොත් මහජන උදහසට ලක්වන්නේ දේශපාලනික නායකයන් මිස ව්‍යවස්ථාපිත නිලධාරීන් නොවේ. එවිට, නිලධාරීන්ට හෝ IMF එකට දොස් කීමෙන් ඵලක් නොමැත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)




Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි