ආර්ථික අර්බුදය මානව හිමිකම් උල්ලංඝණයක් ද? චුදිතයන්ට දඩුවම් දීමට නීතිමය පදනමක් තිබේ ද? පරීක්ෂා කරමු.




මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පොදුජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීමේ සිද්ධිය මානව හිමිකම් උල්ලංඝණය විෂයට ඇතුල් කිරීමත්, ආර්ථික අර්බුදයට හේතුව ලෙස රාජ්‍ය දුෂණය ඇතුලත් ආර්ථික අවකළමනාකරණය සැලකීමත්, ආර්ථික අර්බුදය වැලැක්වීමට ක්‍රියා කළ යුතුව තිබූ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එරෙහිව ආර්ථික අපරාධ කරුවන් ලෙස සලකා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමත් පිළිබඳ යෝජනා හෝ අදහස් ඉදිරිපත් කළ බවට වාර්තා වෙයි.

මෙය මානව හිමිකම් හරහා රටේ සාර්ව ආර්ථික කළමනාකරණය කෙරෙහි ගෝලීය භූදේශපාලනය ඍජුව මැදිහත් වීමේ නව මාවතක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව, ඇමෙරිකාවේ සහ යුරෝපයේ 2007/09 මූල්‍ය අර්බුදය තුළින් හට ගත් ආර්ථික අර්බුදය හෝ වෙනත් රටවල කලින් කළට ඇති වූ ආර්ථික අර්බුදයන් හේතු කොට වර්ෂ ගණනාවක් පුරා ව්‍යාපාරයන් බංකොලොත් වීම සහ නිවාස සහ රැකියා අහිමි වීමෙන් අවතැන් වූ ජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීම සැලකිල්ලට ගෙන එම රටවල රාජ්‍ය අධිකාරීන්ට එරෙහිව ආර්ථික අපරාධ චෝදනාවන් එල්ල කිරීමක් සිදු නොවීම යි.

එසේම, ඇමෙරිකාවේ සහ යුරෝපයේ දැනට දශක හතරකින් පසුව මුහුණ දෙන ඉහළම උද්ධමන පීඩනය හේතු කොට පොදුජන ජීවන තත්ත්වය කඩා වැටෙමින් පවතින අතර එම රටවල උද්ධමනය පාලනය කිරීමේ වගකීම මහ බැංකු සතුව පැවතිය ද, ආර්ථික අපරාධ චෝදනාවන් මහ බැංකු අධිකාරීන් වෙත එල්ල කිරීමක් දැකිය නොහැක.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ ව අපරාධ හෝ වෙනත් චෝදනාවන් ඉදිරිපත් කිරීමට  ඇති නීතිමය පසුබිම පිළිබඳ කෙටි විමසීමක් ඉදිරිපත් කිරීම යි.

මානව අයිතිවාසිකම් සහ මානව ආර්ථික අයිතිවාසිකම්

රටක මානව අයිතිවාසිකම් මූලික වශයෙන් පුද්ගලයන් වෙත ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිදහස යටපත් කොට රාජ්‍ය අධිකාරීන් විසින් පුද්ගලයන් වෙත අයුතු බලය භාවිතා කිරීම වැලැක්වීමේ අරමුණින් ගොඩ නැගී ඇත. මෙහිදී, රටවල් අතර ව්‍යවස්ථාවන් සහ පුද්ගල නිදහස අර්ථකතනයන් වෙනස් වන බැවින් ඇමෙරිකාවේ හෝ යුරෝපයේ පිළි ගැනීම් පදනම් කර ගෙන වෙනත් රටක පවතින මානව අයිතිවාසිකම් තත්ත්වය පිළිබඳ ව ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේසම් විය යුතුය. 

එහෙත්, ඇමෙරිකාවෙන් හෝ යුරෝපයෙන් සැලකිය යුතු ආධාර හෝ අනුග්‍රහයන් ලබා දීමේ දී ඔවුන්ගේ මූලධර්මයන් මත පදනම් වී මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ව රටවලට කොන්දේසි පැනවීමේ වරදක් දැකිය නොහැකිය. මෙහිදී, මුහුණ දෙන ගැටළුව වන්නේ සංවර්ධිත රටවල පිළි ගැනෙන මූලික මානව අයිතිවාසිකම් එලෙසින්ම දුප්පත් හෝ අඩු දියුණු රටවල ක්‍රියාත්මක කිරීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් පවතී ද? යන්න යි.

මේ දිනවල මානව අයිතිවාසිකම් අතරට ආර්ථික අයිතිවාසිකම් ද ඇතුලත් කොට ශ්‍රී ලංකාවට කොන්දේසි පැනවීමක් මානව හිමිකම් කවුන්සලයෙන් සිදු කෙරෙන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව විසින් මානුෂීය ආධාර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නව ණය සහ ආයෝජන තුළින් එම රටවල ආධාර අනුග්‍රහය ඉල්ලා ඇති බැවිනි. උදාහරණ වශයෙන් IMF විසින් ඉතිහාසයේ පළමු වරට දූෂණ අවදානම් අඩු කිරීමේ කොන්දේසියක් මෙවර ශ්‍රී ලංකාව විසින් අයදුම් කොට ඇති IMF ණය වැඩසටහනට ඇතුලත් කොට ඇති අතර එම දූෂණය යනු කුමක් ද? යන්න අර්ථ නිරූපනය සහ අදාළ දත්ත කිසිවක් සපයා නොමැත.

රජයන් විසින් මහජනයාගේ ආර්ථික හැසිරීම් ද විවිධ ප්‍රතිපත්ති හරහා පාලනය කෙරෙන බැවින් මානව අයිතිවාසිකම් අර්ථ නිරූපනයට රාජ්‍ය පාලනය යටතේ ජීවත් වීම සඳහා පුද්ගලයන් සහ පවුල් වෙත ලැබිය යුතු අවම මූලික ආර්ථික අයිතිවාසිකම් සහ නිදහස ද අඩංගු විය යුතුය. ඊට හේතුව, පුද්ගලයන්ට තමන්ට පුරුදු හෝ දන්නා පරිදි ජීවත් වීමට හැකි රැකියාවක් සහ වෙළෙඳපොළ පද්ධතියක් ක්‍රියාත්මක නොවන විට ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ වන බැවින් ඔවුන් විසින් රටේ නීතිය සහ සාමය කඩ කරමින් රජයට විරුද්ධව නැගී සිටිය හැකි වීම යි. එවැනි අවස්ථාවල පවතින රජයන් විවිධාකාරයෙන් බිඳ වැටී ඇති බවට රටවල ඒමට දැකිය හැකිය. එම අවස්ථාවල දී රජයට එරෙහිව විවිධ භූදේශපාලනික සාධකවල මෙහෙය වීම ද සාමාන්‍ය දෙයකි.

එසේම, මානව අයිතිවාසිකම් කඩ වන අවස්ථාවල පුද්ගලයන්ට සහ පවුල්වලට තම ආර්ථික ජීවනෝපාය කර ගෙන යාමට බොහෝ බාධාවන් හට ගනු ඇත. උදාහරණ ලෙස නීති විරෝධී ලෙස පවුලක ගෘහ මූලිකයා සැකපිට අත් අඩංගුවට ගෙන විවිධ විමර්ශනයන් සඳහා කාලයක් රඳවා ගැනේ නම්, පවුලේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය කඩා වැටෙනු ඇත.

එබැවින්, මානව අයිතිවාසිකම් තුළ ආර්ථික අයිතිවාසිකම් ඇතුලත් කිරීමට කෙරෙන සාකච්ඡාව පොදුජන ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා රටක ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් කාලයට ගැලපෙන ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාරී වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ නීතිමය පසුබිම

පුද්ගලයන්ගේ ආර්ථික අයිතිවාසිකම් විග්‍රහ කළ යුත්තේ රටක ව්‍යවස්ථාව අනුව යි. ඊට හේතුව, පුද්ගලයන්ගේ ආර්ථික අයිතිවාසිකම් එරට රජය විසින් අනුගමනය කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණ ක්‍රමවේදය මත පදනම් වන බැවිනි. රටවල් අතර මෙන්ම රටක් තුළ ද කලින් කලට එම ක්‍රමවේදයන් වෙනස් වනු ඇත. උදාහරණ ලෙස චීනයේ ක්‍රමවේදය 1980 ට පෙර සහ වර්තමානය අතර විශාල වෙනසක් පවතී. 

එනම්, 1980 ට පෙර දැඩි සමාජවාදී මූලධර්මයන් මත පුද්ගල ආර්ථික නිදහස සිමා කළ අතර වර්තමානයේ වෙළෙඳපොළ මූලධර්ම අනුගමනය කරමින් පුද්ගල ව්‍යවසාය සහ සම්පත් අයිතියට සිමාවන් සහ නියාමනයන්ට යටත්ව අවසර දී ඇත. එහෙත්, එය ඇමෙරිකාව සහ යුරෝපය විසින් අනුගමනය කරනු ලබන වෙළෙඳපොළ මූලධර්මයන්ට වඩා බොහෝ ප්‍රාථමික වෙයි. ශ්‍රී ලංකාවේ සමහර රජයන් විසින් ආර්ථික නිදහස කෙරෙහි රාජ්‍ය බලපෑම ඉහළ නංවන අතර සමහර රජයන් වඩාත් වෙළෙඳපොළ නිදහසට ගරු කිරීම දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ මෙම ප්‍රතිපත්ති ක්‍රමවේදයන් කලින් කළට වෙනස් කිරීම හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා ඇති රාජ්‍ය ආයතන සහ ප්‍රතිපත්ති හරහා සිදු වෙයි. ඊට හේතුව, ශ්‍රී ලංකාවේ මූලික ආර්ථික අයිතිවාසිකම් සහ ඒවා සැපයෙන ක්‍රමවේදය (වෙළෙඳපොළ හෝ ඊට වෙනස්) ව්‍යවස්ථාව තුළ නීති ගත නොවීම යි.

ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී සහ රාජ්‍ය පාලනයෙහි දී පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය විසින් ගුරුකොට ගත යුතු රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම 14 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයෙහි දක්වා ඇති අතර ඒ යටතේ එන අරමුණු 10 ක් පමණ මහජනයාගේ ආර්ථික සුභසිද්ධිය පිළිබඳ ව යොමු වී ඇත.

එහෙත්, මෙම පර්ච්ඡේදයේ දැක්වෙන මූලධර්මයන් සහ අරමුණු කෙරෙහි රජයට ඇති නීතිමය බැඳීම සහ අනනුකූලතාවය අධිකරණය හරහා විමර්ශනය කර කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන 29 යටතේ මහජනයා වෙත ලබා දී නොමැත. එබැවින්, ව්‍යවස්ථාව තුළ අන්තර්ගත රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයන් සහ අරමුණුවල කාර්යසාධනය පරික්ෂා කර ගැනීමට මහජනයාට ඇති අයිතිය ව්‍යවස්ථාව මගින්ම අත්හිටුවා තිබීමේ පදනමේ සාධාරණත්වයක් නොමැත.

එබැවින්, මෙම ආර්ථික අර්බුදය වැලැක්වීමට අපොහොසත් වීම තුළින් මහජනයාගේ මූලික ආර්ථික අයිතිවාසිකම් සහතික කිරීමට රාජ්‍ය අධිකාරීන් අපොහොසත් වීම පිළිබඳ ව ආර්ථික අපරාධ චෝදනාවන් ගොනු කිරීමට ව්‍යවස්ථාව තුළ නිසි ප්‍රතිපාදනයන් නොමැති බව පෙනේ.

එබැවින්, එවැනි ආර්ථික අපරාධ විමර්ශනය කිරීම අනාගතයේ සිදු කිරීමට නම් ව්‍යවස්ථාවේ VI වන පර්ච්ඡේදයේ අඩංගු මූලධර්මයන් සහ අරමුණු පොදුජනයාගේ මූලික අයිතිවාසිකම් ලෙස සලකා අධිකරණ ක්‍රියාවලියට යටත් කෙරෙන පරිදි ප්‍රතිපාදන 26 සංශෝධනය කිරීම අවශ්‍ය වනු ඇත.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විමර්ශනය කර ගැනීමේ ව්‍යවස්ථානුකූල අයිතිය

එහෙත්, ඉහත දැක්වූ මූලධර්මයන් බලාත්මක කිරීමේ පදනම මත මෙහෙයවෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති ප්‍රතිපාදනයන් තුළින් පොදුජන හෝ පුද්ගල ආර්ථික සුභ සිද්ධිය කෙරෙහි සිදු කෙරෙන කාර්යසාධනය අධිකරණය හරහා විමර්ශනය කර ගැනීමේ අයිතිය මහජනයා වෙත පවතී.

උදාහරණ ලෙස රටේ මිල සහ ආර්ථික ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් නීති පනත යටතේ මුදල් මණ්ඩලයට සහ මුදල් ඇමති වෙත වගකීම් සහ බලතල පවරා ඇති අතර මෙම ආර්ථික අර්බුදය මහ බැංකුවේ වගකීමට යටත් මූල්‍ය ප්‍රතිපත්තියේ අසමත් වීම තුළින් හට ගෙන ඇති බැවින් මුදල් මණ්ඩලයට සහ මුදල් ඇමතිට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයන් ගත හැකිය.

එය ව්‍යවස්ථාවේ පර්ච්ඡේද III සහ IV යටතේ අර්ථ නිරූපනය කොට ඇති මූලික අයිතිවාසිකම් රාජ්‍ය අධිකාරියක් විසින් කඩ කිරීම පිළිබඳ ව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන 126 යටතේ එම අසාධාරණයට ලක් වී ඇති පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් අධිකරණය වෙත පැමිණිල්ලක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුය.

එහෙත්, ආර්ථික අර්බුදය මත සිදු වී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ ව අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීම දුෂ්කර ක්‍රියාමාර්ගයක් වනු ඇත. ඊට හේතුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම යටතේ අධිකරණ ක්‍රියාමාර්ගයන් ගන්නා අවස්ථාවේ දී අදාළ රාජ්‍ය අධිකාරීන් විසින් තම ව්‍යවස්ථාපිත බලය ඉක්මවා ගොස් අත්තනෝමතික ලෙස හෝ වංචනික ලෙස පැමිණිලිකරුට අසාධාරණයක් හෝ මූල්‍යමය පාඩුවක් වන ලෙස ක්‍රියා කළ බවට සනාථ කළ යුතු බැවිනි.

මෙහිදී, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ව කෙරෙන මූලික අයිතිවාසිකම් පරීක්ෂණයන් මුහුණ දෙන ප්‍රධාන බාධකය වන්නේ චෝදනාවට ලක් කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති තීරණය පිළබඳ ව අදාළ අධිකාරිය විසින් පදනම් කර ගෙන ඇති ආර්ථික මූලධර්මයන් සහ දත්තයන් (සංඛ්‍ය සහ සිද්ධි) අභියෝගයට ලක් කිරීමේ තාක්ෂණික දැනුම නීති වේදීන් සතුව නොමැති අතර තීරණය ගත් අවස්ථාවේ පැවති ආර්ථික පරිසරය සහ පැමිණිල්ල කෙරෙන හෝ පරීක්ෂා කෙරෙන පශ්චාත් අවස්ථාවේ පවතින ආර්ථික පරිසරය වෙනස් වන බැවිනි. ආර්ථික තීරණයන්ට වෙළෙඳපොළ දක්වන ප්‍රතිචාරයන් සහ බාහිර ආතතීන් හේතු කොට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබිය හැකි වීම ස්වභාවික තත්ත්වයක් වන බැවින් ආර්ථික තීරණයන්ගේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ ව අදාළ රාජ්‍ය අධිකාරීන්ට දඩුවම් කිරීමේ නීතිමය තත්ත්වයක් නොමැත.

තවද, රජය විසින් නීතිය, සාමය, අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම්, පළාත් පාලන සේවා වැනි රාජ්‍ය සේවාවන් නිසි පරිදි සැපයීමට ද වග බලා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොවන විට මානව හිමිකම්/මූලික අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ව චෝදානාවන් ඉහළ යනු ඇත. උදාහරණ ලෙස රජය විසින් රාජ්‍ය සේවාවන් එසේ සැපයීමට අවශ්‍ය සේවක ව්‍යුහයක් පවතී ද? යන්න අධ්‍යනයක් නොකොට රාජ්‍ය අයවැය හිඟය පහළ දැමීම පිණිස රාජ්‍ය වියදම පහළ දැමීම සඳහා රාජ්‍ය සේවක සංඛ්‍යාව කපා හැරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය ඉහළ යා හැකිය.

රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය

එහෙත්, අපරාධ නිතිය යටතේ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව පවතින රජයන් විසින් ක්‍රියා කරන බවට රහසක් නොවේ. මෙහිදී, බොහෝ විට යම් නිලධාරියකු විසින් ගන්නා ලද තීරණයක් හේතු කොට රජයට සිදු වී ඇති මූල්‍ය පාඩුවක් පිළිබඳ ව පොදු දේපල පනත, අල්ලස් සහ දුෂණ විමර්ශන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිචෝදනා ඉදිරිපත් කිරීම දැකිය හැකිය. පවතින නීති පද්ධතිය තුළ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිචෝදනා ඉදිරිපත් කිරීමට බලතල අදාළ නීති ක්‍රියාකරුවන් වෙත පැවතීමත්, ඊට එරෙහිව වාරණයක් ඉහළ අධිකරණයකින් ලබා නොමැති විට එම චෝදනාවන් පිළිබඳ ව අධිකරණ විමර්ශනය වර්ෂ කිහිපයක් පුරා සාමාන්‍යයෙන් පැවතීමත් දැකිය හැකිය.

රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන තෝරා ගත් ඉහළ නිලධාරීන්ට දෙනු ලබන දඩුවම මෙම අධිකරණ ක්‍රියාමාර්ගය යි. ඊට හේතුව, එවැනි බොහෝ නිලධාරීන් රජයේ වැටුපින් ජීවත් වූ අය බැවින් අධිකරණ ක්‍රියාමාර්ගයේ දී පාරට ඇද දැමීම යි. මෙහිදී, එම අධිකරණ පරීක්ෂණ විස්තර මානව හිමිකම් බලධාරීන් වෙත ඉදිරිපත් කොට දුෂණයන්ට සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනයට එරෙහිව රජය විසින් ක්‍රියා කරන බවට වාර්තා සැපයීමේ හැකියාව රජයට ලැබේ.

එහෙත්, මෙවැනි අපරාධ චෝදනාවන් සැකයෙන් තොරව ඔප්පු කිරීම කළ නොහැකි බැවින් කාලයාගේ ඇවෑමෙන් එම අධිකරණය ක්‍රියාමාර්ගයන් අසාර්ථක වන බව රහසක් නොවේ. මෙහිදී ද, මූලින් දැක්වූ ආර්ථික තීරණයන් ගැනීමේ අධිකාරී බලය අභියෝගයට ලක් කිරීමට පැමිණිල්ලේ නීති වේදීන්ට තාක්ෂණික දැනුමක් නොමැති වීම ද විශේෂ කරුණකි.

උදාහරණ ලෙස 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය ආරම්භයේ දී තායිලන්ත මහ බැංකු අධිපති විසින් දේශීය මුදලේ විනිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා මහ බැංකු සංචිතයෙන් ඩොලර් බිලියන 4.5 ක පමණ මුදලක් වැය කොට, පසුව බැරි තැන විනිමය අනුපාතය පා කරන ලදි. එහෙත්, මුල දී ම විනිමය අනුපාතය පා නොකොට ඩොලර් බිලියන 4.5 ක් වැය කිරීමෙන් මහජනතාවට සිදු වූ පාඩුව පිළිබඳ ව මහ බැංකු අධිපතිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත් අතර පහළ අධිකරණයක් විසින් ඔහු වරදකරු කොට එම මුදල පෞද්ගලික ධනයෙන් ගෙවන ලෙස නියම කරන ලදි. පසුව, වර්ෂ 15 ක පමණ අභියාචනා පරීක්ෂණයන් කිහිපයක  දී විනිමය අනුපාතය ආරක්ෂා කිරීමේ තීරණය රජයේ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදු වූ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණයක් බවට තහවුරු වීමෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කරන ලදි.

මෙහිදී, අප මතක තබා ගත යුත්තේ ආර්ථික ප්‍රතිපත්ති යනු කලා කෘතියක් හෝ විද්‍යාත්මක සොයා ගැනීමක් හෝ නිෂ්පාදනයක් කිරීම වැනි නිසැක ප්‍රතිපලයක් නොවේ. උදාහරණ ලෙස කලා කෘතියක් ඉදිරිපත් කරන්නේ බොහෝ කාලයක් පුහුණු වීම් සහ අත්හදා බැලීම්වලින් පසුව ය. එහෙත්, ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනුයේ පවතින තොරතුරු මත ගතික වෙළෙඳපොළ පද්ධතියට මැදිහත් වීමක් ලෙස වන අතර එයට වෙළෙඳපොළ සහභාගි කරුවන් විසින් දක්වනු ලබන ප්‍රතික්‍රියාවන් සහ ඒ අනුව වෙළඳපොළ වෙනස් වීම පිළිබඳ ව අපේක්ෂාවන් මිස සත්‍ය පුරෝකතනයක් මත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකිය. 

සමහර ප්‍රතිපත්ති පිළිබඳ ව දේශපාලනික සහ දුෂණ චෝදනාවන් එල්ල වන්නේ ද මෙම ප්‍රතික්‍රියාවන් තුළිනි. එබැවින්, ආර්ථික ප්‍රතිපත්තියකින් ලැබිය යුතු පොදුජන සුබසිද්ධිය කුමක් ද? යන්න අධිකරණ ක්‍රියාවලියක් තුළ තහවුරු කළ නොහැකි අතර යම් නිලධාරියකු විසින් තම තීරණ ගැනීමේ අභිමතය සාධාරණ ක්‍රමවේදයක් තුළ භාවිතා කොට ඇත් නම්, එම නිලධාරියාට එරෙහිව සැකයෙන් තොරව අපරාධ චෝදනාවන් ඔප්පු කිරීම අපහසු කාර්යයක් වනු ඇත.

මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ගයන් සාමාන්‍යයෙන් සේවයෙන් විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන් කෙරෙහි යොමු වන අතර එම තීරණයන් ගැනීමට සම්බන්ධ වූ දැනට සේවයේ යෙදෙන අනෙක් නිලධාරීන් විසින් ප්‍රතිපත්ති තීරණයේ සියළු දොස් විශ්‍රාමිකයන්ට පටවා, තමන් සුදුපිරිවට ඇද ගෙන රජයේ සාක්ෂි කරුවන්ට බවට පත් වී, තවදුරටත් රාජ්‍ය වරප්‍රසාද බුක්ති විඳීම දැකිය හැකිය. මේ දිනවල ආර්ථික අර්බුදය පිළිබඳ ව රජයේ බොහෝ ඉහළ නිලධාරීන් හැසිරෙන ආකාරයෙන් එය මනාව පැහැදිලි වෙයි.

ආර්ථික අර්බුදයට සම්බන්ධ රාජ්‍ය සේවක පරීක්ෂණ ක්‍රමවේදය අනුගමනය කිරීම 

දැනට සේවයේ සිටින ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් ආර්ථික අර්බුදය වැලැක්වීමට අපොහොසත් වීම පිළිබඳ ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හරහා පරීක්ෂා කොට ඔවුන් සේවයෙන් ඉවත් කිරීම සහ පහළ දැමීම වැනි දඩුවම් දීම අධිකරණයෙන් පිට සිදු කළ හැකිය. එයට ආර්ථික අර්බුදයට හේතු වූ මූල සාධකයන් ඍජුව හඳුනා ගෙන ඒවාට වගකිව යුතු නිලධාරීන් තරාතිරම නොබලා හඳුනා ගැනීම කළ යුතුය. එම පරීක්ෂණය මූලික වශයෙන් ලිපි ගොනු හරහා සේවා කාර්යසාධනය ඇගයීමකි.

එහිදී, අදාළ නිලධාරීන් වෙත පැවති ව්‍යවස්ථාපිත වගකීම්, බලතල, දත්ත ඇතුළු තීරණ ගැනීමේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදය සහ තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පරික්ෂා කිරීම තුළින් අදාළ නිලධාරීන් විසින් තම අධිකාරිය තුළ මහජන විශ්වාසය ආරක්ෂා වන පරිදි ක්‍රියා කොට ඇත් ද? යන්න තීරණය කළ යුතුය. මෙහිදී, අදාළ නිලධාරීන් පරීක්ෂණය අවසන් වන තෙක් තම නිලතලවලින් ඉවත් වීම පරීක්ෂණයේ ස්වාධීනත්වය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. 

එසේ නොවන විට අනෙක් නිලධාරීන්ගේ පක්‍ෂපාතිත්වය ලබා ගැනීම සහ චෝදනාවන් නිෂ්ප්‍රභා කිරීමට උපකාරී වන ලෙස නව සාක්ෂි ලේඛන සැකසීමේ අවදානම් පවතී. එම පරීක්ෂණයේ දී රජය විසින් ගනු ලබන තීරණයන්ට එරෙහිව ඉහත දැක්‌වූ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය යටතේ අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට අදාළ රාජ්‍ය සේවකයන්ට හැකියාව පවතී.

ආර්ථික අර්බුදයේ ඍජු මූල සාධකයන් ලෙස ප්‍රතිපත්ති තීරණයන් පරීක්ෂා කිරීමට යටත් විය යුතු විෂයන් කිහිපයක් දැක්විය හැකිය. මේවා ආර්ථික අර්බුදය හට ගැනීම මෙන්ම එය තවදුරටත් උග්‍ර කිරීමට අදාළ වූ තීරණයන් වෙයි.

  • විදේශ සංචිතය කළමනාකරණයේ අවදානම්

  • රාජ්‍ය විදේශ වෙළෙඳපොළ ණය කළමනාකරණයේ අවදානම්

  • විනිමය අනුපාතය කලමනාකරණය කිරීමේ දී අනුගමනය කොට ඇති ක්‍රමවේදයේ අවදානම්

  • 2020 දී කිසිම කොන්දේසියක් නොමැතිව කොරෝනා වසංගතය මැඩලීම සඳහා IMF විසින් රටවල් 90 කට පමණ දුන් සහන දායි ණය ක්‍රමයෙන් ණය මුදලක් ලබා ගැනීමට IMF හි රජයේ නියෝජිතයා වශයෙන් මහ බැංකුව අසමත් වීම

  • ආර්ථික අර්බුදය සහ සංකෝචනය නොතකා උද්ධමනය පාලනය කිරීම සඳහා ආර්ථිකය තවත් සංකෝචනය කළ යුතු බවට පුද්ගල කල්පිතය මත අප්‍රේල් මස 8 දින සහ ජුලි මස 7 දින පොලී අනුපාතය අධික ලෙස ඉහළ දැමීමෙන් රජය සහ පෞද්ගලික අංශය බංකොලොත් භාවය පත් වීම

  • අප්‍රේල් මස 12 දින රාජ්‍ය විදේශ ණය සේවාකරණය අත් හිටුවීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගත් තීරණයන්ගේ නීති විරෝධී භාවය සහ ඉන් හට ගෙන ඇති ආර්ථික බංකොලොත් භාවය

මෙම පරික්ෂණයන් ද අනාගතයේ දී මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් ලෙස වැදගත් වනු ඇත.

මෙවැනි පරීක්ෂණ ක්‍රමවේදයකින් තොරව දේශපාලනික න්‍යාය පත්‍රයන් මත පුද්ගලයන් කිහිපදෙනකුට එරෙහිව පමණක් අපරාධ චෝදනා ගොනු කිරීමෙන් සිදු වනුයේ රාජ්‍ය සේවක විනය තවත් පිරිහී, රජය විසින් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවන් තවත් ඉහළ යාම යි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි