මහ බැංකු අධිපතිගේ පාර්ලිමේන්තු ආර්ථික කතිකාවත - මානසික රෝගයක් ද? නැතහොත් නොදැනුවත් කමක් ද? පරීක්ෂා කරමු.


මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු අධිපති විසින් අගෝස්තු මස 30 දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ "ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි මග" මැයෙන් සිදු කරන ලද කතිකාවත තුළ කරනු ලැබූ දේශනයේ අඩංගු වූ මූලික කරනු සහ ඒ පිළිබඳ ව මාගේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම යි. මෙහි පළමු ලිපිය සැප්තැම්බර් 6 දින මෙම වෙබ් අඩවියෙන් නිකුත් කරන ලදි.

කතිකාවත ආරම්භයේ දී මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබුවේ මෙය සංවාදශීලී කතිකාවතක් ලෙස පවත්වන බවත්, වෙනදා මෙන් නොව මන්ත්‍රීවරුන් කාරක සභා ශාලාවේ පහළ ආසනවල සිටින විට තමා එහි මුල් මේසයේ සිට මෙය සිදු කිරීම වරප්‍රසාදයක් ලෙස සලකන බවත්, මෙහිදී, තමා ආර්ථික විද්‍යාඥයෙක් ලෙස අදහස් ඉදිරිපත් කරන බවත් ය.

ඔහුගේ දේශනය පවර් පොයින්ට් දර්ශනයක් (PowerPoint Presentation) හරහා සිදු කළ අතර එය මහජනයා වෙත නිකුත් කොට නොමැත. මෙම දේශනය මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු, දැනට ගෙන ඇති ප්‍රතිපත්ති සහ ඉදිරියට ගනු ලබන ප්‍රතිපත්ති පිළිබඳ ව කෙටි ඉදිරිපත් කිරීමක් විය. ඒ අනුව, දේශනයේ සාරාංශය පහත දැක්වෙන ප්‍රධාන කරුනු 17 යටතේ ඉදිරිපත් කෙරේ.

මහ බැංකු අධිපති විසින් දැක්වූ විද්වත් අදහස් කෙටියෙන්

1. ජීවන තත්ත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකය ආර්ථික වර්ධන වේගය බව

එය 1977 සිට 2011-12 තෙක් ඉහල වේගයක් වුව ද, ඊට පසු දීර්ඝ කාලයක් එය පහළ ගොස් ඇත. එබැවින්, ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර්වලින් 2017 දී ඩොලර් 4,000 ඉහළම අගය දක්වා මැදි ආදායම් උගුල (middle income trap) මට්ටමට ඉහළ ගොස්, එතැන් සිට පහළ ගොස් ඇත. මෙසේ ආර්ථික වර්ධනය පහළ යාම තුළින් ආර්ථික ව්‍යුහයේ සහ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් ඇති බව පෙන්නුම් කෙරේ.

2. අනෙක් ප්‍රධාන දර්ශකය වන උද්ධමනය 1977 සිට 2008-09 දක්වා සාමාන්‍යයෙන් 12% මට්ටමේ දීර්ඝ කාලයක් පැවතී, පසුව 2008-09 සිට 2020-21 දක්වා 5% ක සාමාන්‍යයට පහළ ගොස් නැවත අධිඋද්ධමනකාරී තත්ත්වයට ඉහළ ගිය බව

 මෙය සිම්බාබ්වේ සහ ලෙබනන් රටවල වැනි ඉතා අවාසනාවන්ත තත්වයකට පත් විය හැකි විය හැකි බැවින් ආර්ථික වර්ධනය එසවීම සහ ස්ථායීතාවය සඳහා පළමුව උද්ධමනය පාලනය කිරීම අවශ්‍ය වෙයි.

3. සාර්ව ආර්ථිකය වශයෙන් පැවති විශාලම අසමතුලිතතාවය අයවැය හිඟය සහ ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය වීම

1950 ගණන්වලින් පසු විදේශ විනිමය හිඟය අණ්ඩව පැවතී ඇත. දීර්ඝ කාලීන අයවැය හිඟය සියළු ප්‍රශ්නවල හේතුව වන අතර එය රටවලින් ඔප්පු කොට ඇත. රජය, ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් 20%-30% ක් පමණ වුවත්, රජය විසින් දිගු කාලයක් අයවැය හිඟය පවත්වා ගෙන යාම නිසා ජංගම ගිණුමේ හිඟයක් හට ගෙන ඇති අතර එහි සමීප සබඳතාවයක් පවතින බව (Twin Deficits) විද්‍යානුකූලව සහ ශාස්ත්‍රීය ලෙස රටවල අධ්‍යනයන්ගෙන් ඔප්පු වී ඇත.

4.විදේශ මුදල් හිඟයට දිගු කාලින ප්‍රධාන හේතුව අයවැය හිඟය පියවීමට රජයට විශාල ලෙස දේශීය සහ විදේශිය ණය ගැනීමට සිදු වීම

දේශීය ණය හේතු කොට පොලිය ඉහළ යාම සහ පුද්ගලික අංශයට මූල්‍ය සම්පත් අහිමි වන අතර පොලිය ඉහළ යාම නිසා පොලී ගෙවීම සඳහා තවදුරටත් රාජ්‍ය ණය ඉහළ යාම සිදු වී ඇත.

5. රාජ්‍ය ආදායමට වඩා වියදම ඉහළ යාම සහ අපනයනවලට සාපේක්ෂව ව්‍යාපෘති සඳහා ආනයන ඉහළ යාම හේතු කොට ගෙවුම් ශේෂ ජංගම හිඟය ඉහළ ගිය බව

එය පියවීමට රටක් විදියට ණය හෝ ආයෝජන ලෙස විදේශ අරමුදල් අවශ්‍ය වන අතර රජය සහ පුද්ගලික අංශය විසින් ණය ගැනීම හේතු කොට රටේ ණය බර ඉහළ යාම සිදු වී ඇත. එසේම, ආනයන හේතු කොට විනිමය අනුපාතය ඉහළ ගොස් උද්ධමනය හට ගැනීමත්, එය නැවත ව්‍යාපෘති වියදම සහ අයවැය හිඟය ඉහළ යාමටත් හේතු වී ඇත. මෙය චක්‍රයක් ලෙස පැවතී ඇත.

6. එබැවින්, දීර්ඝ කාලීන ලෙස මෙම චක්‍රය කොතනින් හෝ කැඩීමට සිදු වීම

1980 ගණන්වල රාජ්‍ය ආදායම ද.දේ.නි. යෙන් 20% ක් පමණ වූ අතර එය දැන් 8% ට පහළ ගොස් ඇත. ආදායම වැඩි නම් වියදම් කිරීමේ හැකියාව වැඩි බැවින් වියදම් කිරීමට අවශ්‍ය නම් ආදායම වැඩි කිරීමේ අවශ්‍යතාවය පවතී. එසේ නැත්නම්, ණය බර ඉහළ යනු ඇත. ද.දේ.නි. ට සාපේක්ෂව ණය ප්‍රතිශතය 1980 ගණන්වල 108% ක් වුව ද, දැන් එය 99% කි. 1980 ගණන්වල ණය ප්‍රතිශතය ඉහළ ගියත් සහනදායි ණය හේතු කොට ණය අර්බුදයක් නොවූ අතර, පසුව වත්මන් ණය අර්බුදයට හේතුව වාණිජ ණය ඉහළ යාම යි. 

2005 පමණ සිට ISB ණය 6%-8% වැනි ඉහළ පොලියට ලබා ගත් කෙටි කාලීන ණය හේතු කොට සහනදායි ණය ප්‍රතිශතය පහළ ගොස් වාණිජ ණය ප්‍රමාණය ඉහළ යාම තුළින් ණය බර ඉහළ යාම සිදු වී ඇත. ණය ගැනීමේ වරදක් නැති අතර එය විදේශ විනිමය ඉපැයෙන ආකාරය භාවිතා නොකිරීම හේතු කොට ණය ප්‍රශ්නය හට ගෙන ඇත. 1980 ගණන්වල මහවැලි ණය මගින් සහල්, කෘෂිකර්මාන්තය සහ විදුලි බලය නිෂ්පාදනය ඉහළ යාම නිසා විදේශ විනිමය ඉපයීමේ හැකියාව ඉහළ ගොස් ඇත. රජයේ දේශීය වර්තන වියදම් සඳහා වාණිජ ණය භාවිතා කෙරෙන විට විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් නොවන අතර එය වත්මන් අර්බුදයට මූලික හේතුව වී ඇත.

7. මෙම චක්‍රය ණය ගෙන ණය ගෙවීම කෙරෙන පොන්සි ක්‍රමයකට සමාන බව

ඉහළ ආර්ථික ආර්ථික වර්ධන වේගය සහ උද්ධමනය පාලනය හේතු කොට වෙළෙඳපොළ ණය ගැනීමට හැකියාව පැවති බැවින් ණය ගැනීම සිදු කෙරින. එහෙත්, ණය දීම නැවතුන ගමන් මුදල් හිඟය නිසා රජයත්, රටත් බංකොලොත් විය.

8. 2020 වන තෙක් ණය මගින් සංචිතය රැස් කොට සංචිතය හරහා ණය ගෙවීම

2020 වන විට ණය ගැනීම අහිමි විය. ඩොලර් බිලියන 3-4 ක් ණය ගත යුතු විය. 2020 දී එය අහිමි විය.

9. එබැවින්, ණය පැහැර හැරීමට සිදු වූ අතර එය 2020 සිට පැවති බව

ආදායම පහළ යාම සහ පොලී වියදම ඉහළ යාම හේතු කොට ණය ඉහළ ගොස් ඇති අතර දැන් එය පොලිය හේතු කොට හිර වී ඇත. වාර්ෂික පොලිය 2020/21 දී රජයේ ආදායමින් 72% ක් පමණ වී ඇත. 2020/2021 දී පොලී අනුපාතය පහළ මට්ටමක මර්දනය කොට තබා ගත්ත ද, රාජ්‍ය ආදායම ඉහළ නොයාම හේතු කොට එය සිදු වී ඇත.

10. රටක් විදියට විදේශ විනිමය නොඉපයීම

රට පැත්තෙන් විනිමය ආදායම වැඩි නොවී වියදම දිගටම ඉහළ ගිය අතර බංගලිදේශය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් ලොකු වර්ධනයක් ලබා ගත්ත ද, ශ්‍රී ලංකාව එකතැනම සිටීම. අපනයන ආදායම 2001 දී ද.දේ.නි. යෙන් 33% සිට 15% කට පහළ ගිය අතර ආර්ථිකය වර්ධනය වී ඇත්තේ දේශීය කර්මාන්ත සහ සේවා තුළිනි. අපනයන කර්මාන්තවලින් නොවේ. එබැවින්, වෙළෙඳ හිඟය ඉහළ යාම සිදු විය. මෙහි දී, විනිමය අර්බුදයක් එන විට IMF වෙත ගොස් ගැලවුම් පැකේජයක් ලබා ගැනීම 16 වරක් කළ අතර මෙවර 17 වන වතාව වෙයි. ණය අර්බුදයක් වන තෙක් නොසිට ගෙවුම් ශේෂ අර්බුදය සහ IMF ණය චක්‍රයක් ලෙස සිදු කිරීම.

11. මෙම අර්බුදය නිවැරදි කිරීමට IMF වැඩපිළිවෙල තුළින් ඊළඟ වසරේ හැකි වන බව

IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකළ හොත් අර්බුදය නැවත හට ගනු ඇත. එහි සම්පුර්ණ වගකීම සහ අයිතිය පාර්ලිමේන්තුව සතු වෙයි. ඡන්ද පොරොන්දු  දෙන දෙන විට ජනතාව මේ ගැන නොදැනීම ඔවුන්ගේ වරද වෙයි. මන්ත්‍රීවරුන්ගේ වැරැද්ද නොවේ. දැනට රාජ්‍ය සංස්ථාවල පාඩුව ට්‍රිලියනයක් පමණ වන අතර එය මහජනතාවම දැරිය යුතු බව ඔවුන් වෙත පැවසිය යුතුය.

12. මෙම ඉතිහාසයේ ලොකුම අර්බුදය හට ගැනීමට හේතුව

කිසිවෙකු නොඉල්ලූ ලෙස 2019 දී බදු කපා හැරීම, අයවැය හිඟය ඉහළ යාම සහ එය දේශීය ණයවලින් පියවීම. 2020 න් පසු විදේශ ණය ගැනීම නොමැතිව විදේශ ණය ගෙවීම සිදු කොට ඇත. එබැවින්, දේශීය වෙළෙඳපොළේ මුදල් නොමැති වූ නිසා මුදල් මුද්‍රණය කොට රුපියල් සපයා ගැනීම තුළින් විදේශ ණය ගෙවීම සිදු කොට ඇත. අනෙක් රටවල් විසින් ද කොරෝනා වසංගත කාලයේ තාවකාලිකව මුදල් මුද්‍රණය කළ අතර ඊට පසුව එය නිවැරදි කොට ඇත. එහෙත්, ශ්‍රී ලංකාවේ 2021 දී මුදල් මුද්‍රණය දිගටම කිරීම හේතු කොට වර්තමානයේ උද්ධමනය 60% දක්වා ඉහළ ගොස් ඇත. එම හේතු දෙක අපි දුටුව ද, කිසිවෙකු ගණන් ගත්තේ නැහැ.

13. රුපියල් අච්චු ගසා විදේශ සංචිතයෙන් විදේශ ණය ගෙවූ අතර සංචිතය අවසන් වූ විට ණය ගෙවීමට නොහැකි වීම

තමා මහ බැංකු අධිපති තනතුර භාර ගන්නා විට සංචිතය ඩොලර් මිලියන 20 ට පහළ ගොස් පැවති අතර අප්‍රේල් මස 18 දින විදේශ බැංකු දෙකකට ඩොලර් මිලියන 200 ක් ද, ඊළඟ මාස 12 ඇතුලත ඩොලර් බිලියන 6 ක් ද ණය ගෙවීමට පැවැති අතර ඒ වන විට රාජ්‍ය බැංකු දෙක විසින් තෙල් සඳහා වූ ණයවර ලිපි පැහැර හැර තිබුනා. එබැවින්, එම අවස්ථාවේ දී මහ බැංකුව සහ බැංකු විසින් ණය පැහැර හැර තිබූ අතර වෙනත් පියවරක් නොමැති වූ බැවින් සාකච්ඡා කොට මෘදු ණය පැහැර හැරීමක් (soft default) සිදු කළා. 

මෙය බැංකු විසින් ගනුදෙනු කරුවන්ට දී ඇති ණය ආපසු ගෙවීමට අපහසු වූ විට සිදු කරන ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය අඛණ්ඩව පහළ යමින් පැවති බැවින් ණය පැහැර හැරීමේ තත්ත්වයට කොහොමත් යනු ඇත. පොහොර සහනාධාරය නැති කළ බැවින් සහල් සහ ආහාර අර්බුදය හට ගෙන ඇති අතර එය විදේශ විනිමය අර්බුදයට වඩා දැඩි වෙයි.

14. IMF ණය නොලැබීම

2020 දී කොරෝනා වසංගතය හේතු කොට කිසිම කොන්දේසියක් නොමැතිව රටවලට ණය ලබා දෙන බව IMF විසින් ප්‍රකාශ කළ අතර ඉන් ඩොලර් මිලියන 800 ක් පමණ ලබා ගත හැකිව තිබිණ. එහෙත්, ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා IMF විසින් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටිය ද, රජය ඊට අකැමති වීම හේතු කොට IMF ණය මුදල නොලැබින. ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස විදේශ රජයන්ගෙන් ඉල්ලා සිටිය ද, IMF වැනි ස්වාධීන වැඩපිළිවෙලක් නොවූ නිසා එය නොලැබින. 2021 ජනවාරි තෙක් විදේශ මුදල් හුවමාරු වැනි ක්‍රමවලින් ණය ගෙවීම සිදු කළා.

15. 2020 සිට විදේශ සංචිතය යොදා ගෙන විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීම සහ පසුව 2021 මාර්තු මස එය අතහැර දැමීම තුළින් රුපියල් 203 සිට 380 ට ඉහළ යාම

විනිමය අනුපාතය යනු අනෙක් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් වන අතර එය වෙනස් කිරීමට අනුපිළිවෙලක් පවතී. එය කළ යුත්තේ මුලින් ණය ප්‍රතිව්‍යුහගත කොට, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කොට, රාජ්‍ය ආදායම ඉහළ දැමීමෙන් පසුව ය. මුදල් මුද්‍රණයට අමතරව එකවරම විනිමය අනුපාතය අතහැරීම නිසා එය 80% කින් අවප්‍රමාණය වීම තුළින් එවකට 20%-30% මට්ටමේ පැවති උද්ධමනය 60%-70% දක්වා ඉහළ යාම සිදු විය. ඊට පසු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, තෙල් ගෑස් පෝලිම්, පැය 13 ක් පමණ විදුලිය කැපීම සිදු වූ අතර බැංකුවලට විදේශ මුදල් ලැබීම නැවතී පැවතින.

16. එබැවින්, සමාජ අර්බුදයක් හට ගෙන රජය පෙරලා දැමීම

එය මෙම ආර්ථික අර්බුදයේ සහ කළමනාකරණය කිරීමේ අඩුපාඩු තුළින් හට ගත් ප්‍රතිඵලයකි.

17. යෝජිත ඉදිරි වැඩපිළිවෙල

  • IMF ණය වැඩසටහන

ඉදිරි දින කිහිපය තුළ IMF කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම, විදේශ ණය නොගෙවීම මගින් විනිමය ඉතිරි කර ගැනීම සහ ලැබෙන විදේශ විනිමය මගින් එදිනෙදා කළමනාකරණය කර ගැනීම. දැන් විදේශ ණය නොලැබෙන බැවින් තිබෙන විදේශ ආදායමින් කළමනාකරණය කළ යුතුය. දැඩි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය මගින් ආර්ථික හැකිලීම තුළින් මෙය කළ හැකි වෙයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙන්නේ ආර්ථිකය හැකිලිමෙන් පමණි. රාජ්‍ය ආදායම ද.දේ.නි. යෙන් 14%-15% මට්ටමට වැඩි කළ යුතුය. පොලිය අඩු කොට ව්‍යාපාරයන් සඳහා නැවත ඉඩ දුන හොත් නැවත ආනයන වැඩි වී විනිමය හිඟය හට ගනු ඇත.

  • පසුගිය වසරේ මාසයකට ආනයන සඳහා ඩොලර් බිලියන 2 ක් අවශ්‍ය වූ අතර දැන් එය බිලියන 1.3 ට පහළ ගොස් ඇති බව

මාසිකව විදේශ ලැබීම් අපනයන ඩොලර් බිලියන 1.2 ක් සහ විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 300 ක් පමණ ලැබුනොත්, ඩොලර් බිලියන 1.5 කින් පොතේ විදියට ආර්ථිකය පාලනය කර ගැනීමට හැකි වෙයි. එහෙත්, අපනයන හැර ඔක්කොම ව්‍යාපාරයන් වැටිල, හැකිලිමෙන් තමයි මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙන්නෙ.

  • IMF ණය, ණය ප්‍රතිව්‍යුහගත කරණය, තෙල්, විදුලි වැනි ගාස්තු ඉහළ දැමීම හරහා වර්ෂ දෙක තුනක් තුළ විදේශ විනිමය ලබා ගෙන නැවත අවකාශයක් ලබා ගත් බව

එහෙත්, දැනටමත් නැවත මහජනයා පාරට බැහැල වාහන තදබදය හට ගෙන ඇති බැවින් නැවත අර්බුදය ඒමේ අවදානම පවතී.

  • ආනයන පාලනය අවශ්‍ය බව

තවත් ඩොලර් මිලියන 200-300 ක් වත් ආනයන පහළ දැමිය යුතුය. එවිට, IMF ණය ලැබෙන තෙක් තෙල් සහ ගෑස් සපයා දී රට සාමාන්‍ය තත්ත්වයට ගත හැකි වනු ඇත.

  • මෙහි වැඩිම බලපෑම අඩු ආදායම් ලාභීන්ට වීම

උද්ධමනය 60% නම් මුර්ත ආදායම 40% ක් වන බැවින් උද්ධමනය හේතු කොට 40% න් දැන් ජීවත් වීමට සිදු වනු ඇත. මෙය උද්ධමනය අනුව ආදායම ඉහළ යන අයට දැරීමට හැකි වුව ද, ස්ථාවර ආදායම් ලාභී රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට දැරිය නොහැකි බැවින් සමාජ ආරක්ෂණය සඳහා මුදල් වෙන් කිරීම අවශ්‍යය වෙයි. එසේ නැත්නම් නැත්නම් සමහර ප්‍රතිසංස්කරණයන් දැරීමට නොහැකිව මහජනයා පාරට බහිනු ඇත. 

එවැනි රැල්ලක් තවම පැමිණ නොමැති අතර පසුගිය අරගලය රාජ්‍ය පාලන ක්‍රමයේ ගැටළු හේතු කොට මධ්‍යම පන්තික ආකල්ප වෙනස් වීමක් තුළින් හට ගත් එකකි. එසේ නැතිව, ජීවත් වෙන්න බැරුව ආපු ආර්ථික රැල්ලක් නොවේ. එහෙත්, දුප්පත් මිනිස්සු පාරට බැස්සොත් ලේ වැගිරීමකින් කෙලවර වන අතර එය පාලනය කරන්න කිසිවෙකුට බැරි වනු ඇත. එබැවින්, උද්ධමනය පාලනය සහ ඊට සරිලන ආදායම් මාර්ගයක් හැමෝටම ලබා දීම අත්‍යවශ්‍ය වෙයි.

  • තමා දන්නා විදියට වෙනත් විසඳුම් මාර්ගයක් නොමැති බව

දේශීයව සැකසූ විසඳුම් (Home-grown Solutions) ක්‍රියාත්මක කොට වැටීමෙන් පසුව දැන් අපි මෙම නිවැරදි විසඳුම් ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. විදේශ විනිමය කළු කඩ වෙළෙඳපොළ වැනි වෙනත් ප්‍රශ්න පවතිනවා. විදේශ විනිමය අත්‍යවශ්‍ය නොවන දේවලට යොමු වීම නිසා ආනයන පාලනය අවශ්‍ය වෙයි. පොලී අනුපාතය වැඩි වීම සහ ආනයන සිමා හේතු කොට ව්‍යාපාරයන්ට ප්‍රශ්න පවතිනවා. ඒවා නැවත හැරවීමට කාලයක් යන අතර අර්බුදයකින් හට ගන්නා වේදනාව සැවොම විසින් සමානව දැරීම අවශ්‍ය වෙයි. දැනට පවතින ආකාරයට උද්ධමනය තවත් ඉහළ ගොස් ලබන වසරේ දී පහළ යනු ඇත. බැංකු අර්බුදයක් හට ගත හොත් කිසිවක් කළ නොහැකි වන බැවින් බැංකු පද්ධතිය අරක්ෂා කළ යුතුය.

මාගේ ප්‍රතිචාරය

මෙම ප්‍රතිචාරය ඉහත දැක්වූ අදහස්වල හරය පදනම් කර ගෙන පමණක් සිදු කෙරේ. ඊට හේතුව, එම අදහස් විසිරී පැවතීමත්, ඊට පදනම් වූ සංඛ්‍යාවන් සහ රුපසටහන් ඇතුළත් "පවර් පොයින්ට් දර්ශනය" නොමැති වීමත් ය. 

එහෙත්, මහ බැංකු අධිපති වරයෙකු විසින් සාමාන්‍යයෙන් මෙවැනි සම්භාවනීය පිරිසක් ඇමතීම සිදු කරනුයේ, ප්‍රවේසමෙන් වචන තෝරා ගෙන සකස් කර ගත් ලිඛිත දේශනයක් ලෙස ය. ඊට හේතුව, මහ බැංකු අධිපති වරයාගේ දේශනයේ නිරවුල් භාවයත්, එමගින් ආර්ථිකයෙහි හට ගත හැකි අහිතකර අපේක්ෂණයන් වැලැක්වීමත් අරමුණු කොට ගෙන ය.

ඒ අනුව, මෙම ප්‍රතිචාරය පහත දැක්වෙන කරුණු 11 ක් යටතේ ඉදිරිපත් කෙරෙන අතර සමහර අදහස් මෙම ප්‍රතිචාරයෙන් මග හැරී යනු ඇත.

  • අතීත සිදු වීම් පිළිබඳ ව දේශපාලනික චෝදනා ස්වරූපයෙන් අදහස් දැක්වීම

වර්තමානයේ හට ගන්නා ඕනෑම අහිතකර සිදු වීමක් සඳහා පසුගිය රජයට හෝ රජයන්ට චෝදනා කිරීම දේශපාලනික නායකයන්ගේ ස්වරුපය යි. මහ බැංකු අධිපති විසින් ද වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය සඳහා පසුගිය රජයට සහ මහ බැංකුවට චෝදනා කළ අතර එම බොහෝ චෝදනාවන් 2020 අවසානය දක්වා මහ බැංකු සේවයේ වසර 15 ක පමණ කාලයක් තුළ ඔහුගේ ඍජු ප්‍රතිපත්ති දායකත්වයට ද අදාළ වෙයි. එනම්, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂක, සහකාර අධිපති, නියෝජ්‍ය අධිපති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති සහ IMF විධායක අධ්‍යක්ෂක ලෙස. එහෙත්, ඔහු විසින් අදහස් දැක්වූයේ එම ප්‍රතිපත්ති පිළිබඳ ව කිසිවක් නොදන්නා ආධුනිකයකු ලෙස ය.

  • ගෝලීය මහ බැංකු සම්මතයට එරෙහිව රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය පිළිබඳ ව අදහස් දැක්වීම

ඔහුගේ අදහස් දැක්වීම මුළුමනින්ම අතීතයේ රාජ්‍ය අයවැය කළමනාකරණයේ දුර්වලතාවන් සහ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති පිළිබඳ ව සිදු වූ අතර මෙම අර්බුදයට මූලසාධකය රාජ්‍ය අයවැය ලෙස ගෙන හැර දක්වන ලදි. එහෙත්, මෙම අර්බුදය මූලික වශයෙන් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියට අයත් විදේශ විනිමය අර්බුදය තුළින් හට ගෙන ඇති අතර ඊට මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අසමත්භාවය පිළිබඳ ව කිසිවක් සඳහන් නොකෙරිණ. 

මෙහිදී, මූල්‍ය ප්‍රතිපත්තිය (විදේශ විනිමය ඇතුළු) වසර 15 ක් පමණ මුදල් මණ්ඩලය සමඟ කළමනාකරණය කරනු ලැබුවේ ඔහු විසින් බව සඳහන් කළ යුතුය. මහ බැංකු අධිපති වරුන් සහ ඉහළ නිලධාරීන් විසින් රාජ්‍ය මූල්‍ය/අයවැය ප්‍රතිපත්ති පිළිබඳ ව ප්‍රසිද්ධියේ අදහස් නොදක්වන අතර එම ප්‍රතිපත්ති සහ ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන තම ව්‍යවස්ථාපිත අරමුණු ඉටු කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම මහ බැංකු විසින් අනුගමනය කෙරෙන ගෝලීය සම්මතය යි.

  • වත්මන් ආර්ථික අර්බුදයට මූලසාධකය දීර්ඝ කාලීන අයවැය හිඟය සහ රාජ්‍ය ණය බර ලෙස හුවා දැක්වීම

මෙය සාර්ව ආර්ථික විද්‍යාවෙහි ජාතික ආදායම් සමතුලිත මූලධර්මය සහ ගෙවුම් ශේෂය පිළිබඳ ව මූල්‍ය සහ IMF දැක්ම මත දැක්වෙන අදහසකි. මෙම සංකල්පයන් පිළිබඳව කෙටි විග්‍රහයක් මා විසින් මෙම කතිකාවතට මාර්ගෝපදේශයක් ලෙස අගෝස්තු මස 28 දින මෙම වෙබ් අඩවියෙහි පළ කරන ලද ලිපියෙහි ඉදිරිපත් කොට ඇත. ඒ අනුව, අයවැය හිඟය හේතු කොට ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය (නිවුන් හිඟය) හට ගන්නා අතර අයවැය හිඟය සහ එය පියවීමට ණය ගැනීමේ දී මුදල් ප්‍රසාරණය වීම තුළින් ආර්ථිකයේ සැපයුමට වඩා අතිරික්ත සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමක්  ඇති වී උද්ධමනකාරී තත්ත්වයක් හට ගනී.

එහෙත්, මෙම සංකල්පයන් හුදෙක් උපකල්පනයන් මත පදනම් වූ ආර්ථිකයේ යම් අවස්ථාවක් නිරූපනය කෙරෙන ගණිත/සංඛ්‍යාන ආකෘතීන් වන අතර ඒවා මගින් ගතික හෝ ක්‍රියාශීලී වෙළෙඳපොළ පද්ධතියක් සහිත ආර්ථිකයන්ගේ හැසිරීම හෝ උපණතීන් සහ පොදුජන ජීවන තත්ත්ව සංවර්ධනය නොපෙන්වයි. උදාහරණ ලෙස වත්මන් උද්ධමන රැල්ල සැපයුම් දාම අවහිරතාවන් තුළින් හට ගෙන ඇති ගෝලීය උද්ධමන රැල්ලක් වන අතර රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති (වියදම, ණය සහ නියාමනය) හරහා ජනිත කොට ඇති පොදුජන සංවර්ධනය අති මහත් වෙයි.

තව ද, මහ බැංකු අධිපතිට අනුව රජය ආර්ථිකයෙහි 20%-30% ක් පමණක් නම්, මෙම ආර්ථික අර්බුදය රාජ්‍ය අයවැය තුළින් පමණක් හට ගත් බව දැක්වීමට ආර්ථික පදනමක් නොමැත.

එසේම, මෙම ආර්ථික අස්ථායිතා (ගෙවුම් ශේෂ සහ උද්ධමන අර්බුදය) සංකල්පයන් හුදෙක් සමස්ත නිෂ්පාදනය සහ වියදම පිළිබඳ ව ආර්ථික විද්‍යාඥයන්ගේ සන්තුෂ්ඨිය සඳහා සැකසෙන ආර්ථික ඉලක්කම් කළමනාකරණය මත පදනම් වන අතර පොදුජන ජීවන තත්ත්වය සහ විෂමතාවන් පිළිබඳ අවධානය යොමු නොකෙරේ. එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා රාජ්‍ය වියදම්, ණය, ආනයන සහ මුදල් ප්‍රවාහයන් කපා දැමීමෙන් ආර්ථික ඉලක්කම් එසවිය හැකි වුව ද, නිෂ්පාදනය, සේවා නියුක්තිය, ආදායම සහ පොදුජන ජීවන තත්ත්වය තව තවත් කඩා වැටීම වැලැක්විය නොහැකි බැවින් ආර්ථික ඉලක්කම් එසවීමේ ප්‍රතිඵලයක් නොමැත.

එබැවින්, මෙම අර්බුදකාරී අවස්ථාවේ ආර්ථික විද්වතුන්ගෙන් අවශ්‍ය වන්නේ පොදුජන ජීවිතය අරක්ෂා කොට ඉහළ නැංවිය හැකි නව්‍ය යෝජනාවන් ක්‍රියාත්මක කිරීම වන අතර ආර්ථිකය සහ පොදුජන ජීවිතය තව තවත් කඩා දැමීම සඳහා පොදුජන වියදමින් ජාත්‍යන්තර විද්වතුන් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.

  • මැදි හා දිගු කාලයේ දී උද්ධමනය පාලනය කොට මිල ස්ථායිතාවය ඇති කිරීම සඳහා ආර්ථිකය තවත් සංකෝචනය කිරීම

IMF සහ මූල්‍ය වාදී සංකල්පයට අනුව උද්ධමනය යනු ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සැපයුමට වඩා ඉල්ලුම ඉහළ යාමෙන් හට ගන්නා අස්ථායිතාවයකි. වත්මන් ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය උද්ධමනය බවත්, පළමුව එය පාලනය කළ යුතු බවත්, ඒ සඳහා ආර්ථිකය තවත් හකුළුවා භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ දැමීම කළ යුතු බවත්  මහ බැංකු අධිපති විසින් පවසන්නේ එබැවිනි. ඔහු විසින් මහ බැංකු පොලී අනුපාතයන් 8% කින් ද, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් 32% කට ද ඉහළ දමා මුදල් සංසරණය සිමා කිරීමට සහ ආනයන පාලනයට ක්‍රියා කරන්නේ ආර්ථිකයේ නිෂ්පාදනය, පරිභෝජනය සහ ආයෝජනය පහළ දැම්ම එසේ ආර්ථිකය හැකිලීම සඳහා බව දැක්වෙයි.

එබැවින්, ගෝලීය ආර්ථිකය තුළ ගතික ආර්ථිකයක උද්ධමනය හට ගන්නා ආකාරය පිළිබඳ ව ප්‍රයෝගික අවබෝධයක් මහ බැංකු අධිපති වෙත නොමැති බව පැහැදිලි ය. ගෝලීය බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ උද්ධමනයෙන් හට ගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික සංකෝචනය, උග්‍ර විදේශ මුදල් හිඟය, ආනයන හිඟය, විනිමය අනුපාත අධි අවප්‍රමාණය සහ අධික පොලී අනුපාතයන් ඉහළ යාම තුළින් අධි උද්ධමනකාරී තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතී. එබැවින්, වත්මන් උද්ධමනයේ බොහෝ සාධකයන් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ දුබලතාවන් ය. එබැවින්, ඒවා නිවැරදි නොකොට ඒවා තවත් තද කරමින් ආර්ථිකය සංකෝචනය කොට නොදන්නා මැදි හා දිගු කාලයේ දී උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කිරීම මානසික රෝගයකි. මෙම ආර්ථික හැකිළීම මානව හිමිකම් කවුන්සලය විසින් දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ නිල ආර්ථික අපරාධ කාණ්ඩයට වර්ග වීමේ හැකියාව ද පවතී.

රජය විසින් කේතු ක්‍රමවේදයකට ඉන්ධන ලබා දීම හේතු කොට නැවත මහජනයා පාරට පැමිණ රථවාහන තදබදය හට ගැනීමෙන් ආර්ථිකය යථාතත්ත්වයට පත් වීමේ අවදානම පිළිබඳ ව කණස්සල්ල පළ කළ මහ බැංකු අධිපති පොලී අනුපාතයන් පහළ හෙළා ආනයන ලිහිල් නොකිරීමට හේතුව ව්‍යාපාරයන් නැවත ගොඩ ඒම වැලැක්වීමට බව දැක්වීය. එනම්, ආර්ථිකය තවත් හැකිළීම සඳහා ය.

කෙසේ හෝ ඉදිරි වර්ෂ කිහිපය තුළ ඉල්ලුම පහළ ගොස් උද්ධමනය පහළ යනු ඇත. ඊට හේතු කිහිපයකි. පළමුව, ආහාර අනාරක්ෂිත භාවය සහ ඖෂධ හිඟය හේතු කොට ළමා සහ වියපත් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇත. දෙවනුව, සෑහෙන තරුණ ජනගහනයක් විදේශ ගත වනු ඇත. ශ්‍රී ලංකාවේ භුමි දේශ සීමාවක් පැවති නම්, ලක්ෂ ගණනක් ජනගහනය සරණාගතයන් ලෙස විදේශ ගත වනු ඇත. තෙවනුව, ජීවත් වීමේ ගැටළු හේතු කොට විවාහ කල් දැමීම සහ උපත් අනුපාතය පහළ යනු ඇත. 

සිවුවනුව, ඔහු දක්වන පරිදි දුප්පත් ජනයාට ජීවත් වීමට නොහැකිව ලේ වැගිරෙන අරගලයක් හට ගත හොත් බොහෝ තරුණ ජනගහයනයක් නැවත මරණයට පත් වනු ඇත. පස්වනුව, දැනටම පවතින ආර්ථික සහ ආදායම් සංකෝචනය හේතු කොට ආහාර, ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආයෝජන ඉල්ලුම අඛණ්ඩව පහළ යනු ඇත. එබැවින්, ඉදිරි වසර කිහිපය තුළ සමස්ත ඉල්ලුම පහළ යනු ඇත.

එසේම, ආර්ථිකයේ ඉහළ යන දුගී භාවය හේතු කොට විවිධ භූදේශපාලනික මූලයන් හරහා මානුෂීය විදේශ ආධාර සහ විදේශගත තරුණ පිරිස් තම දෙමාපියන්ට එවන ප්‍රේෂණ හේතු කොට විදේශ මුදල් හිඟය සහ ආනයන හිඟය ලිහිල් වී විනිමය අනුපාත ප්‍රතිප්‍රමාණයක් සිදු විය හැකිය. එමගින්, සැපයුම් අංශය වර්ධනය වනු ඇත.

ඒ අනුව, උද්ධමනය පහළ යනු ඇති අතර ඒ සඳහා මහ බැංකු හෝ රාජ්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය නොවේ. එබැවින්, මාධ්‍ය උත්සව සහ සාකච්ඡා හැකි තරම් සංවිධානය කොට ඒවාට සහභාගී වීම සඳහා ඕනෑ තරම් කාලය ඔහුට ලැබෙනු ඇත.

එබැවින්, සිම්බාබ්වේ, ලෙබනනය වැනි රටවල් මුහුණ දෙන උද්ධමනය ගැන මහජනයා බිය වැද්දීම ශ්‍රී ලංකාවට යෝග්‍ය නොවේ. තවද, එම රටවල උද්ධමන තත්ත්වයන්ට භූදේශපාලනික සහ රාජ්‍ය පාලන පද්ධතියේ සාධකයන් බලපා ඇත. විශේෂයෙන් 2008 නොවැම්බර් මස දී සිම්බාබ්වේ උද්ධමනය ට්‍රිලියන ප්‍රතිශතකයන් වීමත්, මුදල් නෝට්ටුවල බින්දු ඉවත් කොට බිලියන වටිනාකම් දීමත් දැකිය හැකි විය. 

එම අධි උද්ධමනයට ප්‍රධාන හේතුව සුදු ජාතීන්ගේ ව්‍යාපාරයන් කඩා දැමීම තුළින් හට ගත් ආර්ථික අවපාතය යි. එහෙත්, පසුව උද්ධමනය 100% ට වඩා පහළ ගිය ද, ආර්ථික හෝ මිල ස්ථායිතාවයක් සිම්බාබ්වේ හි දැකිය නොහැකිය. එහෙත්, මහජනයා කෙසේ හෝ ජීවත් වීම දැකිය හැකි අතර මහ බැංකුව විසින් මෑත දී මුදල් සංසරණය පහළ දැමීම සඳහා රන් කාසි අළෙවිය ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් අධි උද්ධමනයට ද මෑත දේශපාලන අස්ථායිතාවය හේතු වූ අතර එහි අවදානම දැනට පහව ගොස් ඇති බව පෙනේ.

එහෙත්, සිම්බාබ්වේ වැනි උද්ධමනයක් ශ්‍රී ලංකාවේ හට ගනී නම්, මහ බැංකුවක අවශ්‍යතාවයක් නොමැත. ඊට හේතුව, මහ බැංකුවේ අරමුණු සහ වගකීම් අඛණ්ඩව පැහැර හැරීම යි.

  • ස්වෛරීත්ව බැඳුම්කර (ISB) හරහා වාණිජ ණය ලබා ගෙන විදේශ ඉපැයුම් නොලැබෙන ලෙස උපයෝජනය කිරීම තුළින් අර්බුදය හට ගැනීම

ISB ගැනීම 2005 පමණ සිට ආරම්භ වූ බව මහ බැංකු අධිපති ප්‍රකාශ කළ ද එය ආරම්භ වූයේ 2007 සිට ය. මෙහිදී, සඳහන් කළ යුත්තේ මෙම අර්බුදයට ISB හේතුවක් වී ඇති බැවින් මහ බැංකු අධිපති ද ඊට වගකිව යුතු බවයි. ඊට හේතුව, 2007 සිට 2019 දක්වා ISB 18 ක් හරහා ඩොලර් මිලියන 17,550 ක් රැස් කිරීමේ ඉහළම ප්‍රතිපත්ති මට්ටමේ වත්මන් අධිපති සහභාගී වූ බව යි. ඊට  අළෙවි ප්‍රකාශනය සැකසීම, ආයෝජකයන් සහ ආයෝජක බැංකු සමඟ සාකච්ඡා පැවැත්වීම, අධිපති සමඟ ලංසු සහ පොලී අනුපාතය තීරණය කිරීම ද අඩංගු විය. 

ISB නිකුතුව රාජ්‍ය ණය අංශයේ කාර්යයක් වුව ද, එය ඉටු කරනු ලැබූවේ වත්මන් අධිපතිගේ අධික්ෂණය යටතේ පැවති මූල්‍ය ප්‍රතිපත්ති අංශය වන අතර රාජ්‍ය ණය අංශය ලිපිකාර සේවය පමණක් සපයනු ලැබීය. ඊට හේතුව, ISB නිකුත් කොට විදේශ මුදල් රැස් කරනු ලැබුවේ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ කොඳු නාරටිය වන විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා බැවිනි.

එබැවින්, ISB නිකුත් කිරීම රජයේ විශේෂිත ඉල්ලීමක් නොමැතිව මහ බැංකුවේ අභිමතය පරිදි කරන ලද කාර්යයකි. එබැවින්, ISB නිකුත් කිරීමේ අවදානම පිළිබඳ ව රජයට චෝදනා නැගීම අසාධාරණ වෙයි. තවද, ISB අළෙවි ප්‍රකාශනවල දැක්වෙන්නේ එම අරමුදල් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව යි. එබැවින්, රාජ්‍ය ණය කළමනාකරු, රාජ්‍ය මූල්‍ය නියෝජිත සහ නිල මූල්‍ය උපදේශක ලෙස ISB අරමුදල් උපයෝජනය පිළිබඳ ව නිසි උපදෙස් සහ පසුවිපරම් මහ බැංකුව විසින් කළ යුතුව තිබිණ. 

රාජ්‍ය මූල්‍ය අංශය නමින් මහ බැංකු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ වෙනම පර්යේෂණ අංශයක් ද පවතී. එහෙත්, එය සිදු නොවූ අතර ISB අරමුදල්වල ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් රඳවා ගෙන ඊට අදාළ රුපියල් වටිනාකම නොමිලේ ලැබුණ මුදල් මෙන් රජයේ ගිණුමට ලබා දෙන ලදි. එසේම, ISB සංකේන්ද්‍රන අවදානම ඇතුළු ආර්ථික පද්ධති අවදානම් පිළිබඳ ව කිසිම තාක්ෂණික පර්යේෂණයන් හරහා රජයට උපදෙස් දීමක් සිදු නොවීය.

එසේම, ආර්ථිකයේ මූර්ත ගනුදෙනු තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කොට විදේශ සංචිතය ගොඩ නැගෙන පරිදි මුදල් නීති පනතට අනුකූලව මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකළ අතර විදේශ රාජ්‍ය ණය හරහා ආර්ථිකයේ විදේශ අංශය මූල්‍ය කරණය කෙරෙන ලදි. එය රාජ්‍ය අයවැය ප්‍රතිපත්තියේ නොව මූල්‍ය ප්‍රතිපත්තියේ වරදකි. මෙය සිදු වූයේ මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරු සහ රාජ්‍ය මූල්‍ය නියෝජිත ලෙස ක්‍රියා කළ බැවිනි. 

දේශීය ණය ව්‍යුහය කෙරෙහි ද මහ බැංකුව වගකිව යුතු වන්නේ දේශීය රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම ද මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තියට ආධාරකයක් ලෙස සිදු කළ බැවිනි. එබැවින්, රාජ්‍ය ණය කළමනාකරණ විචක්ෂණ භාවය පිළිබඳ ව ආර්ථික පද්ධති අවදානම් මත පදනම් වූ ඇගයීම් සිදු නොවූ අතර මූල්‍ය ප්‍රතිපත්තියේ පදනම ලෙස රාජ්‍ය ණය ක්‍රියාත්මක විය.

 මෙහිදී, මහ බැංකු අධිපති විසින් සඳහන් නොකළ කාරණයක් වන්නේ රාජ්‍ය දේශීය සුරැකුම්පත් විදේශ ආයෝජකයන්ට නිකුත් කොට එම විදේශ අරමුදල් මහ බැංකු මුදල් හුවමාරු හරහා විදේශ සංචිතය රැස් කිරීම හරහා ද රාජ්‍ය වාණිජ ණය ප්‍රසාරණය කිරීම යි. එම ක්‍රමවේදය ද අධීක්ෂණය කරනු ලැබුවේ වත්මන් මහ බැංකු අධිපති ය. මෙහිදී, තරගකාරී නොවූ පුද්ගලික නිකුතු හරහා රාජ්‍ය සුරැකුම්පත් විදේශ ආයෝජකයන්ට නිකුත් කිරීම ද රාජ්‍ය ණය කළමනාකරණ අවදානම් රාශියකට හේතු විය.

  • විනිමය අනුපාත ප්‍රතිපත්තියට අනුපිළිවෙලක් ඇති බව

විනිමය අනුපාතය යනු අනෙක් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් වන බැවින් එය වෙනස් කිරීමට අනුපිළිවෙලක් පවතින බවත්, මුලින් ණය ප්‍රතිව්‍යුහගත කොට, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කොට, රාජ්‍ය ආදායම ඉහළ දැමීමෙන් පසුව එය කළ යුතු බවත් දැක්වීම පදනම් විරහිත ය. එසේම, විපක්ෂ නායකවරයා විසින් ආර්ථිකයේ උද්ධමනය, විදේශ මුදල් හිඟය සහ ව්‍යාපාර කඩා වැටීම වැනි ගැටළු එකිනෙකට බැඳී පවතින බව විමසන ලද අවස්ථාවේ, මහ බැංකු අධිපති විසින් දැක්වූයේ ඒවායේ අනුපිළිවෙලක් පවතින බවත්, උද්ධමනය සහ විදේශ මුදල් ගැටළුව පළමුව විසඳිය යුතු බවත් දැක්වීම ද පදනම් විරහිත ය.

ඊට හේතුව, ආර්ථික විද්‍යාව යනු වරින් වර ගණන කෙරෙන ආර්ථික ඉලක්කම් මත පදනම් වී මහජනයාගේ ආර්ථික හැසිරීම් අනුපිළිවෙලින් හඳුනා ගත හැකි ආර්ථික භෞතික විද්‍යාවක් හෝ රසායන විද්‍යාවක් නොවේ. උද්ධමනය හට ගන්නා අවස්ථාව සහ ප්‍රමාණය සහ ඊට පසුව හට ගන්නා ආර්ථික ප්‍රතිඵලයන් අනුපිළිවෙලට දැක්විය නොහැකිය. ආර්ථික ප්‍රතිපත්ති ද වෙළෙඳපොළ ප්‍රතිඵලයන්ට මැදිහත් වන හෝ ඒවා යම් යම් මට්ටම්වල පාලනය කෙරෙන මෙවලම් නොවේ. 

උදාහරණ ලෙස පොලී අනුපාතය සහ විනිමය අනුපාතය යනු වෙළෙඳපොළ මිල ගණන් දෙකක් වන අතර ඒවායේ මට්ටම සහ දිසාව පාලනය කිරීමට මහ බැංකුව විසින්  තම ප්‍රතිපත්ති මෙවලම් හරහා වෙළෙඳපොළට මැදිහත් වනු ඇත. එම ප්‍රතිපත්ති ගැනීම සමකාලීන ආර්ථික තත්ත්වය, පවතින ආර්ථික දත්ත සහ ප්‍රතිපත්ති දැනුම සහ අත්දැකීම් මත සිදු කරනු ඇත. එහෙත්, ඒවායේ අනුපිළිවෙලක් නොමැත. එසේ අනුපිළිවෙලක් පවතී නම්, මහ බැංකු අධිපති විසින් විදේශ සංචිතයක් ගොඩ නැගීමට පෙර මාර්ගෝපදේශ විධානයක් හරහා විනිමය අනුපාතය සඳහා නැවත ස්ථාරව අගයක් නියම කිරීම ප්‍රශ්නයකි.

එබැවින්, ප්‍රතිපත්ති අනුපිළිවෙල යනු ගතික ආර්ථිකයන් සඳහා ප්‍රයෝගික නොවන මානසික රෝගයකි.

  • ආර්ථික ඉලක්කම් එසවීම හරහා ආර්ථික අර්බුදය විසඳීමේ ප්‍රතිපත්ති මොඩලය

උද්ධමනය, ආර්ථික වර්ධනය, ඒක පුද්ගල ආදායම, අයවැය හිඟය සහ රාජ්‍ය ණය අනුපාතය සහ ගෙවුම් ශේෂ හිඟය ඉලක්ක කොට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව අදහස් දැක්වීම සිදු කරන ලදි. මෙහිදී, මාසික විදේශ විනිමය ප්‍රවාහයේ ඉලක්ක පිළිබඳ ව විශේෂයෙන් දක්වන ලදි. උදාහරණ ලෙස "මාසිකව විදේශ ලැබීම් අපනයන ඩොලර් බිලියන 1.2 ක් සහ විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 300 ක් පමණ ලැබුනොත්, ඩොලර් බිලියන 1.5 කින් පොතේ විදියට ආර්ථිකය පාලනය කර ගැනීමට හැකි බව" ඔහු විසින් ඉහත ප්‍රකාශ කිරීම දැක්විය හැකිය. මෙය පැරණි වැරැද්ද නැවත කිරීමකි.

මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය සහ විදේශ අංශ මූල්‍යකරණය කරනු ලැබුවේ ආර්ථිකයේ මූර්ත අංශයේ සංවර්ධන ඉලක්ක හරහා නොව ගණකාධිකරණ මූලධර්ම මත පදනම් වූ විදේශ මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමේ එළඹුම හරහා වෙයි. ISB, රාජ්‍ය සුරැකුම්පත් විදේශිකයන්ට අළෙවිය, IMF ණය, විදේශ මුදල් හුවමාරු යනාදිය එහි ප්‍රධාන ප්‍රවාහ මෙවලම් විය. විදේශ මුදල් ආතතියක් හට ගත් අවස්ථාවල තාවකාලිකව ආනයන ණය සිමාවන් පනවන ලදි.

පසුගිය මහ බැංකු අධිපතිවරු  හතර දෙනුකු සමඟ එම මෙහෙයවුම ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියා වූයේ වත්මන් මහ බැංකු අධිපති ය. එබැවින්, වත්මන් ආර්ථික කළමනාකරණ එළඹුම මෙන්ම වත්මන් අර්බුද විසඳුම ද වන්නේ ඔහු දන්නා එම මොඩලය වෙයි. එබැවින්, ඔහුගේ මොඩලය ආර්ථිකය නැවත ඉලක්කම්වලින් ගැට ගැසීමට උත්සාහයක් මිස, කඩා වැටි ඇති ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය දේශීය සම්පත් උපයෝජනය සහ මූර්ත ආර්ථික පුනරුදය හරහා නැවත ගොඩ නැගීම නොවන බව පැහැදිලිය.

  • 2020 දී IMF ණය නොලැබීම

ඔහු විසින්ම ප්‍රකාශ කරන පරිදි 2020 දී කොරෝනා වසංගතය හේතු කොට කිසිම කොන්දේසියක් නොමැතිව රටවලට ණය ලබා දෙන බව IMF විසින් ප්‍රකාශ කොට ඇත. ඒ අනුව, රටවල් 90 කට ඩොලර් බිලියන 170 ක් පමණ ණය සපයන ලදි. ශ්‍රී ලංකාවට ඉන් ඩොලර් මිලියන 800 ක් පමණ ලබා ගත හැකිව තිබූ බවත්, ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා IMF විසින් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටිය ද, රජය ඊට අකැමති වීම හේතු කොට එම IMF ණය මුදල නොලැබුන බවත් දැක්වීම එම අවස්ථාවේ IMF හදිසි ණය ප්‍රදානය පිළිබඳ ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයකි.

එම අවස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ක්‍රියාවලියකට ලෝකය විවෘත නොවූ අතර ශ්‍රී ලංකාවට වඩා ණය ප්‍රශ්නය උග්‍ර රටවලට එවැනි කොන්දේසියක් නොමැතිව IMF ණය ලැබී ඇත. එසේම, ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම පිළිබඳ ව ගැටළුව IMF විසින් නගනු ලැබුවේ 2022 ආරම්භයේ දී ය. එබැවින්, පසුගිය රජයට නගන ලද එම චෝදනාව පිළිබඳ ව එහි යම් කුමන්ත්‍රණයක් පැවතී ද? යන්න නිසි විමර්ශනයක් අවශ්‍ය වෙයි. තවද, අනපේක්ෂිත ලෙස IMF විසින් 2021 අගෝස්තු මස කරන ලද ඩොලර් බිලියන 650 ක පමණ නව SDR සලාක නිකුතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 787 ක් පමණ මුදලක් ලැබුන බව ඔහු විසින් ප්‍රකාශ නොකරන ලදි.

  • හිටපු මහ බැංකු අධිපති වරුන් දෙදෙනා විසින් දේශීය නිෂ්පාදිත මොඩලයක් හරහා මුදල් මුද්‍රණය කිරීම හේතු කොට වත්මන් අධි උද්ධමනය හට ගැනීම

මෙය මූලික වශයෙන් මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට ණය දීම තුළින් සිදු වූ මුදල්  මුද්‍රණය ලෙස දැක්වෙයි. වත්මන් මහ බැංකු අධිපති විසින් අප්‍රේල් මස 8 දින ප්‍රකාශ කරනු ලැබුවේ ස්වාධීනව මෙම මුදල් මුද්‍රණය පහළ දමා උද්ධමනය පාලනය කරන බව යි. එහෙත්, ඔහු විසින් සතිපතා වෙන්දේසිවලට අමතරව රජයට මුදල් අවශ්‍ය විට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හරහා එම මුදල් මුද්‍රණයේ වේගය තවත් ඉහළ දමා ඇත.

ඒ අනුව, 2022 අප්‍රේල් මස 7 දින සිට මේ දක්වා රුපියල් බිලියන 473 ක පමණ ශුද්ධ මුදල් මුද්‍රණයක් සිදු කොට ඇති අතර නව ක්‍රමවේදය යටතේ රුපියල් බිලියන 430 ක් පමණ මුද්‍රණය කොට ඇත. එබැවින්, මෙම මාස 5 තුළ කරන ලද මුළු මුද්‍රණය හිටපු මහ බැංකු අධිපතිවරු දෙදෙනා විසින් 2021 ජනවාරි සිට 2022 අප්‍රේල් 4 දක්වා මාස 15 ක් තුළ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය වූ රුපියල් බිලියන 1,005 සමඟ සැසඳීමේ දී 90% කි. ඊට අමතරව, වත්මන් මහ බැංකු අධිපති විසින් දෛනිකව බැංකු වෙත ලබා දෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 605 සිට රුපියල් බිලියන 784 දක්වා ඉහළ නංවා ඇත. එය ද දෛනික මුදල් මුද්‍රණය තවත් රුපියල් බිලියන 180 කින් පමණ ඉහළ දැමීමකි. ඉහත දැක්වූ උද්ධමන තර්කය නිවැරදි නම්, වත්මන් උද්ධමනය ඉහළ යාම වත්මන් මහ බැංකු අධිපතිගේ මුදල් මුද්‍රණයේ බලපෑම හේතු කොට සිදු වී ඇත.

මෙවැනි මානව අර්බුද සමයන්හි දී මුදල් මුද්‍රණය පිළිබඳ ව  මා විසින් මැසිවිලි නැගීමක් නොකරන අතර මෙහි මා විසින් නගන මැසිවිල්ල වන්නේ වත්මන්, මහ බැංකු අධිපති විසින් මුදල් මුද්‍රණය සහ උද්ධමනය පිළිබඳ ව හිටපු මහ බැංකු අධිපති වරුන්ට චෝදනා කරමින්, උද්ධමනය අධි උද්ධමනයක් වීම දැක දැක තමා විසින් ඊට වඩා වැඩි වේගයෙන් නීතියට පිටින් මුදල් මුද්‍රණය කිරීම යි.

එබැවින්, මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ලෙස හඳුන් වන්නේ පොලී අනුපාතය ඉහළ දැමීම සමඟ මුදල් මුද්‍රණය ද ඉහළ දැමීම යි. එහෙත්, සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කරනු ලැබුවේ නව මුදල් මුද්‍රණය ක්‍රමානුකුලව නවතා දැමීමෙන් පසුව යි.

තවද, වෙනත් රටවල මහ බැංකු විසින් 2020 දී කොරෝනා වසංගතය හේතු කොට මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කොට මුදල් මුද්‍රණය කළ ද, ඊට පසුව එය විගස වෙනස් කළ බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එය අඛණ්ඩව පවත්වා ගත් බවත් මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ. සංවර්ධිත රටවල මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කරනු ලැබුවේ ආර්ථික වර්ධනය ශක්තිමත් බවත්, උද්ධමනය පැහැදිලි ලෙස ඉහළ යන බවත් තහවුරු කර ගැනීමෙන් පසු 2021 වර්ෂය අවසානයේ සිට ය. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එය ආරම්භ කරනු ලැබුවේ 2021 අගෝස්තු මස වන අතර එම මාස කිහිපය තුළ උද්ධමනය 4%-6% ඉලක්ක මට්ටමේ පවතින විට ය.

එහෙත්, මුදල් මුද්‍රණය ඇස්තමේන්තු කෙරෙන්නේ සංචිත මුදල් හෙවත් මුදල් පදනම ඇස්තමේන්තු කිරීමෙනි. ඒ අනුව, 2019 දෙසැම්බර් අවසානයේ සිට 2022 මාර්තු අවසානය දක්වා සංචිත මුදල් ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 454 කිනි. එනම්, රුපියල් බිලියන 933 සිට රුපියල් බිලියන 1,387 දක්වා 49% කින් පමණි. එසේම, 2022 මාර්තු අවසානයේ සිට ජුනි අවසානය දක්වා වත්මන් මහ බැංකු අධිපතිගේ කාලය තුළ එය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 66 කිනි. තවද, මාර්තු මස විනිමය අනුපාතය 80% කින් පමණ ඉහළ යාම හේතු කොට මහ බැංකු විදේශ වත්කම්වල රුපියල් වටිනාකමේ ඉහළ යාම ඉවත් කළ හොත්, සත්‍ය මුදල්  පදනම මේ වන විට සංකෝචනය වී තිබිය හැකිය.

එබැවින්, මුදල් මුද්‍රණය ඉහළ යාම හේතු කොට මෙතරම් ඉහළ උද්ධමනයක් හට ගත් බව ප්‍රකාශ කිරීම සාවද්‍ය වෙයි. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා මහ බැංකුව විසින් රජයට ණය මුදල් ලබා දීම සිදු නොවී නම්, විදේශ සංචිතය පහළ යාම හේතු කොට මුදල් පදනම ද පහළ ගොස්, මුදල් හිඟයක් හට ගෙන පොලී අනුපාතයන් ඉහළ ගොස්, ආර්ථිකය මේ වන විට තවත් හැකිළී මහා අවපාතයකට මුහුණ දීමේ හැකියාව පැවතින.

  • ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදේශ ණය පැහැර හැරීම

මහ බැංකු අධිපති විසින් ජාතික අයවැය සංශෝධනයක් නොමැතිව රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැරීම සඳහා යෝජනා සහ උපදෙස් සැපයීම තුළින් සිදු කොට ඇති වරද පිළිබඳ ව පසුගිය ලිපියේ ඉදිරිපත් කළ අතර එය දැනට පාර්ලිමේන්තු විවාදවල දී සනාථ වී ඇත. පාර්ලිමේන්තුවේ යෝජනා තුළින් එය සිදු වී නම්, රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය හරහා ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ පහසුකම් ලබා ගත හැකිව තිබින. උදාහරණ වශයෙන් ඒ සඳහා ඇමෙරිකානු රජයේ සහාය ලබා දෙන බවට ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය විසින් පසුගිය දා ප්‍රකාශයක් කළ බවට වාර්තා විය. එවැනි අවස්ථාවක දී ආවරණ ණය සහ ආයෝජන විදේශ රාජ්‍යයන් සහ ආයෝජකයන්ගෙන් ලබා ගැනීමේ පහසුව පවතී.

එහෙත්, ණය පැහැර හැරීමේ නිවේදනය කොට වෙළෙඳපොළ හරහා ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ ක්‍රියාවලිය කටුක සහ කල් ගත වන ක්‍රියාවලියක් වනු ඇත. එබැවින්, ඩොලර් බිලියන 2.9 ක් වන වර්ෂ 4 ක් කාලයක් තුළ ලැබෙන IMF ණය මුදල මගින් වත්මන් අර්බුදය විසඳීම සඳහා ඉක්මන් සහනයක් නොවනු ඇත. එබැවින්, අර්බුදය විසඳුම්කරන සමීකරණයෙහි IMF පදය මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කෙරෙන තරම් වැදගත් පදයක් ලෙස සැලකිය නොහැකිය. එහෙත්, ඔහු IMF මොඩලයේ ජාත්‍යන්තර නියෝජිතයෙකු වන බැවින් ඔහුගේ හෘද ස්පන්දනය IMF සමඟ බැඳී ඇති අතර IMF යනු මෙම අර්බුදයේ දී අසමත් ආර්ථික පුනර්ජන මොඩලයක් බව ඔහුට ද අවබෝදයක් ඇති බව 16 වතාවක් IMF වෙත ගිය බවත්, ප්‍රතිසංස්කරණයන් දැරිය නොහැකිව මහජනයා පාරට බැසිය හැකි බවත් ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වෙයි.

  • අරගලය පිළිබඳ ව ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීම

මහ බැංකු අධිපති විසින් මෑත සිදු වූ අරගලය යනු මෙම ආර්ථික අර්බුදයේ සහ කළමනාකරණය කිරීමේ අඩුපාඩු තුළින් හට ගත් ප්‍රතිඵලයක් , එනම් සමාජ අර්බුදයක් හට ගෙන රජය පෙරලා දැමීම, ලෙස පළමුව දක්වන ලදි. එහෙත්, ඔහු විසින් පසුව එය රාජ්‍ය පාලන ක්‍රමයේ ගැටළු හේතු කොට මධ්‍යම පන්තික ආකල්ප වෙනස් වීමක් තුළින් හට ගත් අරගලයක් බවත්, එසේ නැතිව, ජීවත් වෙන්න බැරුව ආපු ආර්ථික රැල්ලක් නොවන බවත් දැක්වීය. ඒවා ප්‍රතිවිරුද්ධ අදහස් දෙකකි. එහෙත්, අරගලය මෙහෙය වූ පිරිස දක්වන්නේ මහජනයා මුහුණ දෙන උග්‍ර ආර්ථික හෝ ජීවන ගැටළු හේතු කොට ඊට විසඳුම් ලබා ගැනීම පිණිස මෙම අරගලය දියත් කළ බව යි.

එසේම, ඉදිරියේ දී දුප්පත් මිනිස්සු පාරට බැස ලේ වැගිරීමකින් කෙලවර අරගලයක් හට ගත හැකි බවත්,  එය පාලනය කිරීමට කිසිවෙකුට බැරි වනු ඇති බවත් ප්‍රකාශ කිරීම හුදෙක් තම නිල විෂයෙන් ඔබ්බට ගොස් තම නිල පදවිය භාවිතා කිරීමකි. එවැනි විෂයන් දේශපාලන නායකයන්ට අයත් කරුණු වෙයි. මහ බැංකු අධිපති විසින් නව තනතුරට පත් වී සති කිහිපයකට පසු එවක දේශපාලනික අර්බුදය හුවා දක්වමින් ඉල්ලා අස්වීමට තර්ජය කිරීම ද තම නිල විෂයෙන් පිටත ක්‍රියා කිරීමකි. එහෙත්, ජනාධිපති නිලයෙන් පලවා හැරීම තුළින් හට ගත් ඓතිහාසික දේශපාලනික අර්බුදය අවස්ථාවේ ඉල්ලා අස්වීමට ඔහු සූදානම් වූයේ නැත.

එබැවින්, මහ බැංකු අධිපති විසින් නිසි ස්ථාවරයක් නොමැතිව අදහස් ප්‍රකාශ කරන බව තහවුරු වෙයි. 

කෙටි නිගමනය

මෙම කතිකාවත ආරම්භයේ දී පාර්ලිමේන්තු මහ ලේකම් වරිය විසින් සඳහන් කළේ ව්‍යවස්ථාදායකය වශයෙන් මුදල් පාලනය සහ අධික්ෂණ කාර්යභාරය පාර්ලිමේන්තුවට හිමි වී ඇති බැවින් කථානායක වරයා විසින් දෙන ලද උපදෙස් මත මෙම විද්වත් කතිකාවත සුදානම් කළ බවත්, මහ බැංකු අධිපති සතුව වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ ව හසල දැනුමක් සහ මනා පරිචයක් ඇති බවත් ය.

එහෙත්, ඉහත විග්‍රහය දෙස බැලීමේ දී මහ බැංකු අධිපති සතුව එවැනි හසල දැනුමක් සහ මනා පරිචයක් නොමැති බවත්, වත්මන් ආර්ථික අර්බුදයට ඔහු ද ඍජුව වග කිව යුතු බවත් ය.

එසේම, මෙය නිල පාර්ලිමේන්තු කතිකාවතක් වූ බැවින් ණය පැහැර හරිම හැර කතිකාවතේ අඩංගු අනෙක් විෂය කරනු පිළිබඳ ව පාර්ලිමේන්තුවේ විවාදයක් හෝ අදහස් ඉදිරිපත් කිරීමක් සිදු නොවූ බැවින් මෙම කතිකාවතෙන් ඉදිරිපත් කළ ආර්ථික පුනර්ජන මොඩලය පාර්ලිමේන්තුව විසින් පිළි ගෙන ඇති බවට කෙරෙන වැටහීමක් හේතු කොට මහ බැංකු අධිපති විසින් එයට නිල වලංගු භාවයක් ආරෝපණය කොට ක්‍රියාත්මක කිරීමේ අවකාශය පවතී.

එබැවින්, මුදල නීති පනතේ 116(2) වගන්තිය යටතේ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ජනතාවට වඩාත් වාසි දායක වන ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව විධානයන් නිකුත් කිරීමේ අධිකාරිය මුදල් ඇමති වෙත පවතී. එවැනි විධානයක් නිකුත් කොට නොමැති නම්, වත්මන් මහ බැංකු අධිපතිගේ ප්‍රතිපත්ති හේතු කොට ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොදුජනයා තවත් බංකොලොත් වූ බවට පසුකලක දී චෝදනා කිරීමට වත්මන් රජයේ දේශපාලනික නායකයන්ට නෛතික අවකාශයක් නොමැත. 

එබැවින්, මහ බැංකු අධිපති විසින් යෝජනා කරන පරිදි ආර්ථිකය තවත් හකුළුවා වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීමට ක්‍රියා කිරීමේ දී, ඔහු විසින් සඳහන් කළ පරිදි ලේ වැගිරෙන අරගලයක් හට ගැනීමේ දැඩි අවදානමක් පවතී. මෙවැනි ජාතික ප්‍රතිපත්ති පිටුපස ජාත්‍යන්තර භූදේශපාලනික සාධක සහ බලපෑම් පවතින බව ද රහසක් නොවේ.

සමස්තයක් ලෙස ගත් විට මහ බැංකු අධිපති විසින් ඉහත දැක්වූ පරිදි පාර්ලිමේන්තුවේ දී කරන ලද කතිකාවත, මෙම ආර්ථික අර්බුද අවස්ථාවේ ප්‍රායෝගික ආර්ථික පදනමක් නොමැති ආර්ථික අපරාධයකට පාර්ලිමේන්තුව යොමු කිරීමේ මානසික රෝගී තත්ත්වයක් නිරූපනය කරන්නක් බව කිව හැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?