කොරෝනා ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නූතන මූල්‍ය වාදය ඉදිරියට


රටවල මහජනයාගේ ජීවන තත්ත්වයේ පවතින කුරිරු විෂමතාවන් රහසක් නොවේ. ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් රටවල ආර්ථික වර්ධනය, උද්ධමනය, කොටස් වෙළෙඳපොළ, ආයෝජන  අනුපාතය, සේවා නියුක්තිය, ණය තිරසරභාවය වැනි ආර්ථික සංඛ්‍යාවන් කෙසේ අර්ථ නිරුපණය කළ ද, රැකියා, ආදායම්, නිවාස, ගෘහ උපකරණ, ජලය, විදුලිය සහ වයිෆයි වැනි ගෘහ පහසුකම්, කෑම බීම, ඇඳුම් පැළදුම්, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, නිතිය සහ සාමය, වත්කම්, යනාදී සෑම ජීවන අංශයකින්ම මහජනයාගේ ජීවන විෂමතාවය අවබෝධ කර ගැනීම අපහසු නොවේ. එසේම, රජයන් විසින් රටේ ආර්ථික සංවර්ධනය සහ එය මහජනයා අතරේ සාධාරණ ලෙස බෙදී යාම සඳහා විවිධ සංකල්ප මත පදනම් වී ගන්නා ලද බොහෝ ප්‍රතිපත්තිවල වැදගත් කම ද රහසක් නොවේ.

කොරෝනා අර්බුද නව අභියෝගය

2020 ආරම්භයේ දී හට ගෙන තවමත් පැතිරෙන ගෝලීය කොරෝනා වසංගතය තුළින් සැපයුම් ජාලයන් බිඳී යාම හේතු කොට ආර්ථිකයන් කඩා වැටී ජීවන විෂමතාවය අති දුක්ඛ දායක මට්ටමකට ඉහළ ගොස් ඇති බව ගෝලීය අත්දැකීම යි. මෙම වසංගතයෙන් ගොඩ ඒමේදී ද මහජනයා අතර තවත් විෂමතාවන් ඇති කෙරෙන බව පිළි ගැනේ. එබැවින්, කොරෝනා මර්ධනය සමඟ ජීවන විෂමතාවයන් පහළ යන පරිදි ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ප්‍රතිපත්ති කට්ටලයක් ක්‍රියාත්මක කිරීමේ අභියෝගයන්ට සියළු රජයන් මුහුණ දී ඇත. මෙවැනි මානුෂිය අර්බුදයන් හමුවේ රජයන් මෙන්ම මහජනයා විසින් නව සංකල්ප මත නව ප්‍රතිපත්ති සහ නව නිපැයුම් තුළින් ඉදිරියට එන බවට අතීත අත්දැකීම් නොඅඩුව පවතී. මෙහිදී, ආර්ථික සහ සමාජ පාලනය බෙහෙවින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රීති මත රැඳෙන බැවින් රාජ්‍ය කාර්යභාරය ඉතා ඉහළ වෙයි. එබැවින්, කොරෝනා වසංගතයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කෙරෙන සෞඛ්‍ය, මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයන් අඩු වැඩි මට්ටමින් සමාන ස්වරුපයක් ගනී. 

නව රාජ්‍ය වියදම් සංකල්පය

නව සංකල්පයන් සහ ප්‍රතිපත්ති පැකේජයන්ගෙන් ප්‍රයෝජනය ගෙන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පොදු ජන ජීවිතය එහි විෂමතාවය අඩු කරමින් ඉහළ දැමීමට රජයට මහඟු අවස්ථාවක් ලැබී ඇත. ඒ සඳහා අවදානය යොමු කළ යුතු රාජ්‍ය ක්‍රියාකාරකම් නාමාවලියෙන් කිහිපයක් පහත දැක්වෙයි.

  • රට පුරා පවතින අබලන් වැවු සහ වාරිමාර්ග පිළිසකර කොට පෝෂිත ප්‍රදේශ නැවත වගා කිරීම සහ ඒවා නඩත්තු කිරීම.
  • සියළු ග්‍රාමීය මාර්ග සංවර්ධනය කොට ඒවා නඩත්තු කිරීම තුළින් ග්‍රාමීය ආර්ථිකයන් පණ ගැන්වීම.
  • සෑම කුටුබයකටම සේවා ලැබෙන පරිදි විදුලි, ජල සහ අන්තර් ජාල පද්ධතීන් ක්‍රියාත්මක කිරීම.
  • රට පුරා පවතින විනාශ වී ගිය වන ප්‍රදේශයන් නැවත වගා කිරීම, නඩත්තු කිරීම, වන රක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සත්ත්ව සහ මිනිස් ප්‍රදේශයන් ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂක බලඇණියක් යෙදවීම.
  • කේන්ද්‍රීය පාසල් පද්ධතියක් රට පුරා ඇති කොට පාසල් අතර අධ්‍යාපන ගුණාත්මකභාවය සමාන කිරීම.
  • රට පුරා රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සමාන කිරීම.
  • අසරණ වැඩිහිටියන්, ළමයින් සහ කුටුම්බයන් වෙත සමාජ ආරක්ෂණ පද්ධතියක් ඇති කිරීම.
  • විශේෂ සංචාරක සමාජ ආරක්ෂක බලඇණියක් යෙදවීම.

රාජ්‍ය වියදම් පියවීම

නව සංකල්පයන්ට අනුව රජයන් විසින් පළමුව තම සමාජ ආර්ථික ව්‍යාපෘතීන් දියත් කොට දෙවනුව මුදල් සොයා ගත යුතුය. එනම්, පළමුව චෙක්පත් සහ ඇනවුම් නිකුත් කිරීම මගින් වියදම් කොට, දෙවනුව ඒවා පියවීම සඳහා මුදල් රැස් කළ හැකිය. එසේ මුදල් රැස් කිරීම රජයේ බැංකු කරුවන්ගේ කාර්යය වෙයි. ඒ සඳහා අවශ්‍ය දේශීය අරමුදල් මුදල් මුද්‍රණය සහ මැවීම මගින් පියවිය හැකිය. එබැවින්, බදු ආදායම් මත ම පදනම් වී වියදම් පාලනය කිරීම අවශ්‍ය නොවේ. එබැවින්, කුටුම්බ සහ පෞද්ගලික අංශය මෙන් නොව රජයකට තම ආදායම සහ ණය සීමාවන් මත පදනම් වී රාජ්‍ය අයවැය තීරණයන් ගැනීම අවශ්‍ය නොවේ. රජයට දේශීය මුදල් මුද්‍රණය කොට වියදම් කළ හැකිය. මුද්‍රිත මුදල් යනු පෞද්ගලික අංශයේ ඉතාමත් ඉහළ ද්‍රවශීල වත්කම වන බැවින් ඕනෑම මුදල් ප්‍රමාණයක් සඳහා පෞද්ගලික අංශයේ ඉල්ලුම පවතී. එසේම, රාජ්‍ය ණය යනු ණය අවදානම රහිත එකම මූල්‍ය වත්කම වන බැවින් පෞද්ගලික අංශයේ ණය මගින් ද රාජ්‍ය වියදම් සඳහා අරමුදල් සපයා ගත හැකිය. ආර්ථිකයේ ඕනෑම ණය ප්‍රසාරණයක් යනු මුදල් සැපයුම/සංසරණය ඉහළ යාමකි. එනම්, බැංකු පද්ධතිය තුළින් ණය මැවීමකි. ආර්ථිකයේ ගනුදෙනු සහ ණය ඉල්ලුම පියවීමට අවශ්‍ය වන ව්‍යවහාර මුදල් සහ සංචිත සඳහා බිහිවන ඉල්ලුම පියවීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් මුද්‍රණය කෙරෙනු ඇත. එය මහ බැංකුව විසින් බැංකු ණය, රාජ්‍ය ණය සහ විදේශ විනිමය යනාදී වත්කම් ඇති කර ගැනීම තුළින් සිදු කරනු ඇත.

එබැවින්, ආර්ථිකයේ නිෂ්පාදන සම්පත් ධාරිතාවය සංවර්ධනය සහ උපයෝජනය කිරීම තුළින් පූර්ණ සේවා නියුක්තිය අත්කර ගැනීම සහ ආර්ථික විෂමතාවය පහළ දැමීමට දායක වන පරිමාණයෙන් මුදල් මුද්‍රණය සහ ණය හරහා රාජ්‍ය වියදම් පවත්වා ගෙන යාම ගැටළුවක් නොවේ. රාජ්‍ය ණය සේවාකරණය සඳහා රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන විට නව මුදල් මුද්‍රණය සහ නව ණය නිකුත් කිරීම (Debt Rollover - ණය පෙරළීම) තුළින් එය සිදු කළ හැකිය. වර්තමානයේ සිදු වන ක්‍රියාදාමය ද එය වෙයි. පෞද්ගලික අංශය විසින් තම ආර්ථික කටයුතු පවත්වා ගෙන යනු ලබන්නේ ද මෙසේ ණය පෙරලීම තුළිනි. ඊට හේතුව, නූතන මූල්‍ය ආර්ථිකයන් ක්‍රියාත්මක වනුයේ ණය මත වන බැවිනි. මෙම නව රාජ්‍ය මූල්‍ය සහ සාර්ව ආර්ථික කලමනාකරණ සංකල්පය නූතන මූල්‍ය වාදය (Modern Monetary Theory) ලෙස ප්‍රචලිත වී ඇත. එහෙත්, මෙය දැනටමත් රටවල අප්‍රසිද්ධියේ පවතින හෝ විෂය ග්‍රන්ථවල ආවරණය නොවන රාජ්‍ය ආර්ථික/මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යි.

පැරණි මූල්‍ය වාදය සහ උද්ධමන භූතයා


සම්මතවාදී මූල්‍ය න්‍යායට (Standard Monetary Theory) හෝ සංකල්පයට  අනුව උද්ධමනය (Inflation) යනු සැමවිටම මූල්‍ය සංසිද්ධියකි (Monetary Phenomenon).  එය මහ බැංකුවේ මුදල් මුද්‍රණය හෝ බැංකු පද්ධතියේ ණය ප්‍රසාරණය හේතු කොට සිදු වෙයි. අඛණ්ඩ රාජ්‍ය අයවැය හිඟය ද උද්ධමනයට හේතු වෙයි. ඊට හේතුව, එමගින් ආර්ථිකයේ ණය සහ මුදල් ප්‍රසාරණය හරහා සමස්ත ඉල්ලුම/වියදම ඉහළ යාම යි. මෙම සංකල්පය නිසි අවබෝධයකින් තොරව මහජනයා අතර සමාජ ගත කොට ඇත. එසේම, අයවැය හිඟයන් හරහා රාජ්‍ය සේවාවන් සැපයීම තුළින් මහජනයා ණය උගුලකට හසු කෙරෙන බව ද දැක්වෙයි. ඊට හේතුව, බදු ගෙවීම් හරහා රාජ්‍ය ණය ගෙවීමට මහජනයාට සිදු වන බැවිනි. එබැවින්, සම්මතවාදී මූල්‍ය ආර්ථික විද්‍යාඥයන් කණ්ඩායම විසින් ලොව පුරා මූල්‍ය සිමාව (Monetary Space) සහ රාජ්‍ය මූල්‍ය සිමාව (Fiscal Space) යන සංකල්පයන් තුළින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය සිමා කොට උද්ධමනය පාලනය කිරීමට නිර්දේශ කෙරේ.

මොවුන් විසින් පැරණි මුදල් ප්‍රමාණවාදී සංකල්පය (Quantity Theory Hypothesis) මත පදනම් වී ආර්ථිකයක උද්ධමනය යනු මුදල් සැපයුමේ වර්ධනය සහ දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) වර්ධනය අතර වෙනස ලෙස දැක්වෙයි. එබැවින්, ආර්ථිකයේ උද්ධමනය ඉලක්කගත මට්ටමක පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් ස්වාධීනව මූල්‍ය ප්‍රතිපත්තිය හරහා මුදල් සැපයුමේ වර්ධනය පාලනය කළ යුතු බව දැක්වෙයි. උදහරණ ලෙස පවතින/විභව ආර්ථික වර්ධනය 4% ක් ද, ඉලක්කගත උද්ධමනය 4% ක් ද, වෙයි නම් මුදල් සැපයුම වර්ධනය වීමට ඉඩ දිය යුත්තේ 8% කින් පමණි. එබැවින්, ආර්ථිකයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්වල ණය ප්‍රසාරණය එය තුළ පාලනය කළ යුතුය. එබැවින්, මහ බැංකුවට ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම සඳහා රජය විසින් ද රාජ්‍ය මූල්‍ය විනය හෝ සිමාව අනුගමනය කළ යුතුය. මේ දක්වා අපොස උ.පෙ. ආර්ථික විද්‍යාවේ උගන්වන්නේ මෙය යි.

එසේ නොවන විට 18 වැනි සියවසේ ප්‍රංශය, 1920 ගණන්වල ජර්මනිය, 1990 ගණන්වල යුගෝස්ලෝවියාව, 2000 දශකයේ සිම්බාබ්වේ සහ වර්තමාන වෙනිසියුලාව වැනි රටවල හට ගත්  අධි උද්ධමනකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි බව දැක්වෙයි. එහෙත්, එම රටවල අධි උද්ධමනයට මූලික හේතු වූ සැපයුම් සාධක සහ විෂමාචාර දේශපාලනික තත්ත්වයන් ගැන කිසිවක් නොදක්වා හුදු අධි මුදල් මුද්‍රණය එකම හේතුව ලෙස දැක්වීම සාවද්‍ය ය.

එහෙත්, සාර්ව ආර්ථික කලමනාකරණය (Macroeconomic Management) යනු මෙසේ ඉලක්කම් කිහිපයක් දෙස බලා කළ හැකි දෙයක් නොවේ. ඊට හේතුව, මෙම ඉලක්කම්වල විශ්වාසනීයභාවය ආශ්‍රිත ගැටළු ය. පළමුව,  මූල්‍ය වාදී සංකල්පය ගොඩ නගා ඇත්තේ බොහෝ අතාත්වික උපකල්පනයන් මත වන අතර ඒවා පිළිබඳ ව මහජනයා දැනුවත් නොකෙරේ. දෙවනුව, රාජ්‍ය අයවැය හිඟය සහ ණය තොගය ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස සංඛ්‍යාවන් ගණනය කොට, උද්ධමනය වැලක්වීම සඳහා ඒවා යම් යම් සංඛ්‍යා මට්ටමේ පාලනය කළ යුතු බව දැක්වීම අර්ථ විරහිත ය. උදාහරණ ලෙස අයවැය හිඟය 5% කට පහළ සහ රාජ්‍ය ණය තොගය 75% කට පහළ ලෙස. ඊට හේතුව, මෙම සංඛ්‍යාවන්හි කිසිම ආර්ථික හෝ මහජන සුභසාධන වටිනාකමක් නොමැති බැවිනි. තෙවනුව, අයවැය හිඟය සහ රාජ්‍ය ණය තුළින් ක්‍රියාත්මක වන ආර්ථික සහ සමාජීය යටිතල ව්‍යුහය, පොදුජන ජීවන තත්ත්වය සහ රාජ්‍ය වත්කම් තොගය පිළිබඳ ව කිසිම සංඛ්‍යාත්මක ඇගයීමක් නොමැතිව හුදෙක් රජයේ බදු ආදායම දෙස බලා ඍණාත්මක විග්‍රයන් කිරීම යෝග්‍ය නොවේ. ඊට හේතුව, බදු ආදායම යනු හුදෙක් පවතින බදු පරිපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් වන බැවිනි. වියදම් පියවීම සඳහා බදු ආදායම ප්‍රමාණවත් නොවුන ද, ණය හරහා කෙරෙන රාජ්‍ය වියදම් සහ හිඟ අයවැය ප්‍රතිපත්ති තුළින් ආර්ථිකයේ නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ආදායම් වර්ධනයට ඇති දායකත්වය ගැන සැකයක් නොමැත.

සිවුවනුව, ද.දේ. නි. ඇස්තමේන්තුවල පවතින ගැටළු ද බොහෝ ය. පස්වනුව, මූල්‍ය වාදයෙන් අර්ථකතනය කෙරෙන උද්ධමනය මැනීම සඳහා දත්ත නොමැති අතර පාරිභෝගික මිල දර්ශකය මේ සඳහා යෝග්‍ය නොවන්නේ එම මිල දර්ශකය කෙරෙහි මුදල් සැපයුම හෝ මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය බලපාන ආකාරය තහවුරු කළ නොහැකි බැවිනි. සයවනුව, ගෝලීය සැපයුම් සහ ඵලදායිතාවයේ සහ ගෝලීය වෙළෙඳාමේ ඉහළ යාම හේතු කොට පසුගිය දශක දෙක පුරා ලෝකයේ කිසිම පොදු උද්ධමන පිඩනයක සේයාවන් නොදුටු අතර වත්මන් ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති සැපයුම් අවහිරතාවන් සහ ආර්ථික අවිනිශ්චිතතාවන් හරහා අන්තර් කාලීන උද්ධමන පීඩනයන් හට ගෙන පැවතිය ද, ඉදිරි දශකයේ දී ද පිඩාකාරි උද්ධමන ප්‍රවණතාවක් බලාපොරොත්තු නොවේ. එබැවින්, සම්මතවාදී මූල්‍ය න්‍යාය බිහි වූ සංවර්ධිත රටවල් ඇතුළු සියළු රටවල් විසින් කොරෝනා ආර්ථික අවපාතයෙන් මහජනයා ගොඩ ගැනීම පිණිස අවශ්‍ය රාජ්‍ය වියදම් ප්‍රසාරණය සඳහා විශාල වශයෙන් මුදල් මුද්‍රණය සහ ණය ප්‍රසාරණය සිදු කෙරේ. ගෝලීය මානුෂික අර්බුදයන් (Humanitarian Crisis) පවතින කාලවල වෙනත් හදිසි විකල්පයක් නොමැත. ඊට හේතුව, වෙළෙඳපොළ පද්ධතිය අවහිරව පැවතීම යි. එයට වසංගත මර්ධන රාජ්‍ය ප්‍රතිපත්ති ද හේතු වී ඇත.

නූතන මූල්‍ය වාදී ප්‍රතිචාරය


නූතන මුල්‍ය වාදීන්ට අනුව ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව සංවර්ධනය සහ උපයෝජනය සඳහා රජය වියදම් කිරීමේ දී උද්ධමනය පිළිබඳ ව බිය යුතු නොවේ. ඊට හේතුව, සේවා නියුක්තිය සහ නිෂ්පාදනය ඉහළ යන බැවිනි. තවද, උද්ධමනකාරී පීඩනයන් හට ගනී නම් බදු ඉහළ දැමීම හරහා ඍජුව ආර්ථිකයෙන් මුදල් ඉවත් කොට සමාහාර  වියදම් පරිමාව පාලනය කළ හැකිය. එය, මූල්‍ය ප්‍රතිපත්තියේ වක්‍ර උපකරණවලට වඩා වේගවත් සහ කාර්යක්ෂම වෙයි.

නූතන මූල්‍ය වාදය හුදෙක් දේශීය රාජ්‍ය මූල්‍ය අංශය සඳහා අදාළ අතර ශ්‍රී ලංකාව වැනි රටවල් විසින් මුහුණ දෙන රාජ්‍ය විදේශ මූල්‍ය අංශය කලමනාකරණය සඳහා වෙනත් ප්‍රයෝගික විසඳුම් ගෝලීය ආර්ථික පද්ධතිය හරහා සෙවිය යුතුය. උදාහරණ ලෙස මුදල් මුද්‍රණය සහ සැපයුම ඉහළ යන විට ආනයන සඳහා ඉල්ලුම් ඉහළ ගොස් දේශීය මුදල් අධික ලෙස අවප්‍රමාණය වීමෙන් (විනිමය අනුපාතය ඉහළ යාම) ආර්ථිකය උද්ධමනකාරී පීඩනයකට මුහුණ දෙනු ඇත. එහෙත්, විනිමය අනුපාත අවප්‍රමාණය ආර්ථික වශයෙන් යහපත් දෙයක් බව පිළි ගැනේ. එය පිළි නොගෙන විනිමය අනුපාතය සංකල්පීය අගයක පාලනය කිරීමට උත්සාහ කළ හොත්, ඒ  සඳහා අවශ්‍ය විදේශ විනිමය/සංචිත සොයා ගැනීමේ ගැටළුවට මුහුණ දෙනු ඇත. ඊට හේතුව, රජය විසින් පෞද්ගලික අංශයේ විනිමය හිඟය පියවීමට ද අරමුදල් සපයන බැවිනි. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණයේ පවතින ව්‍යුහාත්මක ප්‍රශ්නය මෙය වෙයි.

එබැවින්, රාජ්‍ය අයවැය තුළ රාජ්‍ය විදේශ විනිමය අයවැයක් ද සකසා කලමනාකරණය කළ හැකිය. මෙහිදී, සියළුම පෞද්ගලික විදේශ විනිමය ගනුදෙනු සඳහා විදේශ මුදලින් බදු අය කොට ඉතිරිය මැදි හා දිගු කාලීන ඍජු රාජ්‍ය විදේශ ණය හරහා සපයා ගත හැකිය. පෞද්ගලික අංශයට තම විදේශ මුදලින් කෙරෙන ගනුදෙනු සඳහා විදේශ මූලාශ්‍රයන්ගෙන් (දේශීය බැංකුවලින් පිටත) අරමුදල් සපයා ගැනීමට නියම කළ හැකිය. ඒ සඳහා ඉදිරි දශකය තුළ ගෝලීය ආර්ථිකය තුළ විදේශ අරමුදල් සැපයුම අධිකව පවතිනු ඇත. ඊට හේතුව, සංවර්ධිත රටවල කෙරෙන මුදල් මුද්‍රණය යි. එහෙත්, විදේශ අරමුදල්/ණය බැහැර කොට ආර්ථිකයක් කලමනාකරණය කිරීමට යාම නූතන ආර්ථික/ ව්‍යාපාරික ලෝකයේ නිෂ්ඵල උත්සාහයකි.

ඇමෙරිකානු අධි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණ ප්‍රතිපත්තිය


සම්මතවාදී මූල්‍ය වාදී සංකල්පය ඉහළින් පිළි ගැනෙන රටක් වුව ද, ඇමෙරිකානු මහ බැංකුව විසින් කොරෝනා ආර්ථික අවපාතයෙන් එරට ජනතාව ගොඩ ගැනීම සඳහා ඵෙතිහාසික අධි මූල්‍ය ප්‍රසාරණ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ. එමගින්, පෞද්ගලික අංශයට සහ රජයට අවශ්‍ය ණය අවශ්‍ය පරිණත කාලයන් සඳහා ශුන්‍යයට ආසන්න පොලී අනුපාතයන් මත සැපයීම සිදු කෙරේ. 2020 ආරම්භයේ සිට මේ දක්වා මුද්‍රණය කරන ලද නව මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.2 ක් විය. මෙය, මුදල් මුද්‍රණයේ 97% ක ඉහළ යාමකි. 2020 මාර්තු මස 12 දින මැද අති ළිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය දියත් කොට ඩොලර් බිලියන 1,500 ක පමණ විවට වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම තුළින් නව මුදල් නිකුත් කිරීම සඳහා වෙන්දේසි ඉදිරිපත් කරන ලදි. එහෙත්, කැලිපෝනියාවේ වෙසෙන ඇමෙරිකාවේ වෝල් මාවතේ (Wall Street) ආයෝජන කළමනාකරුවකු වන ශ්‍රී ලාංකික සම්බවයක් සහිත චමත් පලිහපිටිය මහතා විසින් බ්ලුම්බර්ග් ව්‍යාපාරික මාධ්‍ය ජාලය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී නිර්බයව ප්‍රකාශ කරනු ලැබුවේ, මෙම අවස්ථාවේ මහ බැංකු ණයවලින් ප්‍රයෝජනයක් නොමැති බැවින් මුදල් මුද්‍රණය කොට අර්බුදයට පත් වී ඇති සියළු කුටුම්බයන්ට සහ ව්‍යාපාරයන්ට ප්‍රදානයන් කළ යුතු බව යි.

පසුව, මහ බැංකුව විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ මහ බැංකුවට බලතල පවතින්නේ ආපසු ගෙවීමට හැකියාවක් ඇති බවට සැලකෙන අයට ණය ලබා දීම වන අතර වියදම් කිරීමේ බලතල නොමැති බවත්, මෙම අවපාතයෙන් ගොඩ ඒම සඳහා ණය ප්‍රමාණවත් නොවන බැවින් රජය විසින් තම බදු අය කිරීමේ සහ වියදම් කිරීමේ රාජ්‍ය බලතල (Spending and Taxing Powers) උපයෝගී කර ගෙන පුළුල් කුටුම්බ සහ ව්‍යාපාරික සහනයන් ප්‍රදානය කළ යුතු බව යි. මෙහිදී, උද්ධමන සංකල්පය සහ ණය බර පිළිබඳ මැසිවිලි අදාළ නොවන බවත්, මෙම ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදයෙන් මහජනයා මුදවා ගැනීම කෙරෙහි පමණක් ප්‍රමුඛත්වය දිය යුතු බවත්, අනාගතයේ උද්ධමනය සහ  සහ ණය බර ගැටළුවක් ඇති වුව හොත් ඒවා එම අවස්ථාවේ නිරාකරණය කළ හැකි බවත්, නිරන්තරයෙන් ප්‍රකාශ කරන ලදි. පසුව, රජය විසින් ප්‍රමාදයකින් තොරව කෙයාර්ස් පනත (Cares Act) සම්මත කොට ඩොලර් ට්‍රිලියන 3.5 පමණ ප්‍රදානයන් කුටුබයන්ට සහ ව්‍යාපාරික සමාගම්වලට සපයන ලදි. නව ජනාධිපති විසින් ඩොලර් ට්‍රිලියන 1.9 ක් ඇතුළු නව සහන පැකේජයක් ද ක්‍රියාත්මක කොට ඇති අතර ඩොලර් බිලියන 550 යටිතල පහසුකම් පැකේජයක් ද අද හෙටම ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව, මේ දක්වා ක්‍රියාත්මක කොට ඇති රාජ්‍ය සහන පැකේජයන්  (ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ) ද.දේ.නි. යෙන් 24% ක් පමණ වෙයි. ද.දේ.නි.යෙහි % වශයෙන් රාජ්‍ය අයවැය හිඟය 15% ක් ද (6% සිට), රාජ්‍ය ණය 128% ක් ද දක්වා ඉහළ ගොස් ඇත. 2021 ජුනි මාසයේ පාරිභෝගික මිල උද්ධමනය 5.4% (ඉලක්කය 2) දක්වා ඉහළ ගොස් ඇත. එබැවින්, රාජ්‍ය අයවැය හිඟය, ණය සහ උද්ධමනය පිළිබඳ ව සම්මතවාදී ආර්ථික විද්‍යාඥයන් අතර පවතින භිතිකාවන් ඇමෙරිකාවට ද අදාළ වෙයි.

2021 ජනවාරි 27 දින මාධ්‍ය වේදීන් කිහිප දෙනකු විසින් අතිලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට අනාගතයේ ඇති විය හැකි උද්ධමනය සහ වත්කම් මිල බුබුළු අවදානම් ගැන ඇමෙරිකානු මහ බැංකු අධිපතිගෙන් විමසන ලදි. ඊට එතුමාගේ ප්‍රතිචාරය වූයේ ලෝකයේ දියුණු රටවල පසුගිය දශක කිහිපය පුරා උද්ධමන පීඩනයක් නොපවතින බවත්, වත්කම් බුබුළු මර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොදා නොගන්නා බවත්, මෙවැනි මැසිවිලි අනුව මෙම අවස්ථාවේ පොලී අනුපාතයන් ඉහළ දමා මූල්‍ය තත්ත්වය දැඩි කිරීමෙන් මහජනයාට තවත් පීඩනය ඇති කිරීමේ කිසිම තර්කනුකුල බවක් නොමැති බවත් ය.

ගෝලීය පාඩම

ඉහත දැක්වූ නූතන මුල්‍ය වාදී ප්‍රතිපත්ති සංකල්පයෙන් ලෝකයාට උගත හැකි පාඩම වනුයේ මුදල් යනු කිහිප දෙනෙකුගේ පෞද්ගලික සංකල්පයන් අනුව නොදන්නා ණය සහ උද්ධමනයකට බිය වී සඟවා තබා ගෙන දන්නා කිහිප දෙනෙකුට ප්‍රදානය කළ යුතු දෙයක් නොව, පොදුජන අභිවෘද්ධිය පිණිස අවශ්‍ය වෙලාවල අවශ්‍ය පමණින් සංසරණය කළ යුතු පොදු රාජ්‍ය සේවයක් බව යි. මෙහිදී, රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණය සඳහා අවශ්‍ය අරමුදල්/ණය මූල්‍ය ප්‍රසාරණය හරහා සැපයිය යුතුය. එම ප්‍රතිපත්ති දෙකම රාජ්‍ය ප්‍රතිපත්ති වන බැවින් එය මනා අන්‍යෝන්‍ය සම්බන්ධීකරනයකින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණයක් නොමැතිව මුදල් මුද්‍රණය හරහා මූල්‍ය ප්‍රසාරණයක් කිරීම ඵලදායි නොවේ. ඊට හේතුව, මෙම අවස්ථාවේ ඉහළ ණය අවදානම හේතු කොට පෞද්ගලික වෙළෙඳපොළ ණය පද්ධතිය ක්‍රියාත්මක නොවන බැවිනි. එබැවින්, මුද්‍රණය කෙරෙන මුදල් නැවත බැංකු තැන්පතු හරහා මහ බැංකුව වෙත ප්‍රේෂණය වනු ඇත. බොහෝ රටවල් දැනට මෙම තත්ත්වයට මුහුණ දී ඇත. මෙයද රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් කඩනමින් විසඳිය යුතු ද්වීතීය ගැටළුවකි. ඊට හේතුව, පෞද්ගලික ණය ප්‍රසාරණයක් නොමැතිව ආර්ථිකය ගොඩ ගත නොහැකි අතර ණය ව්‍යාපාරය රාජ්‍ය නීති මගින් බලපත්‍ර ලාභී බැංකු සහ මූල්‍ය ආයතන වෙත සීමා කොට ඇති බැවිනි.

එවැනි ප්‍රතිපත්ති සමුච්චයක් අනුගමනය නොකළ හොත් දුකට පත් වන්නේ පොදු ජනතාව යි. ඊට හේතුව, තම ආර්ථික අභිවෘද්ධිය සඳහා අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීමේ බලය මහජනතාවට නොමැති බැවිනි. මෙහිදී, කුටුම්බ සහ ව්‍යාපාරිකයින් අවදානම් ගන්නාක් මෙන්, රජය ද පැරණි සංකල්පීය ලිපිගොනුවලට සිමා නොවී නව ප්‍රතිපත්ති අවදානම් ගත යුතුය. ඊට හේතුව, කොරෝනා වැනි ගෝලීය වසංගත සමයක ආර්ථිකය කළමනාකරණය කිරීමේ අත්දැකීම් හෝ ක්‍රමවේදයන් නොමැති අතර සාමාන්‍ය කාලවල අනුගමනය කෙරෙන රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති සංකල්පයන් මේ සඳහා යෝග්‍ය නොවන බව සංවර්ධිත රටවල් විසින් අනුගමනය කෙරෙන විශේෂ ප්‍රතිපත්තිවලින් පැහැදිලි වෙයි. මෙහිදී, සම්ප්‍රදායික ආර්ථික සංඛ්‍යාවන් ඇස්තමේන්තු කිරීම සහ සාර්ව ආර්ථික තුලනයන් පිළිබඳ අදහස් දැක්වීම හුදෙක් තමන්ම මුලා කිරීමකි. එසේම, මෙම මානුෂික අර්බුදකාරී සමයේ එය විසඳීමට පුර්ණ බලය සහ සම්පත් යෙදීම වෙනුවට දශක ගණනාවක් පුරා පැවති ව්‍යුහාත්මක ගැටළු විසඳීමට උත්සාහ කිරීමෙන් මානුෂික අර්බුදය තවත් උග්‍ර වන අතර එමගින් රජය තුළ ද ගැටුම් ඇති වී රජය පවත්වා ගැනීමේ අර්බුදයක් ද හට ගනු ඇත. එසේ කළ නොහැකි නම් පවතින ආර්ථික නීති රීති ඉවත් කොට කොරෝනා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වෙළෙඳපොළ ක්‍රමයට ඉඩ දීම යෝග්‍ය වෙයි. දැනටමත්, එන්නත් නිපදවීම සහ ආර්ථික ගනුදෙනු සඳහා මාර්ගගත තාක්ෂණය (Online and zoom technology) සැපයීම තුළින් පුද්ගලික වෙළෙඳපොළ විසින් ගෝලීය කොරෝනා අර්බුදයට මුහුණ දීම සඳහා සැපයූ දායකත්වය අති මහත් වෙයි. එසේ නොවන විට කොරෝනා වසංගතය සමකාලීන දේශපාලනික අර්බුදයක් බවට පත් වී, පවතින රජය දෙදරා යාමෙන් රටවල පොදුජන ආරක්ෂාව අහිමි වී යනු ඇත. දැනටම රටවල් රාශියක එවැනි කම්පනයන් හට ගෙන ඇත.

 

(මෙය මා විසින් 2021 මාර්තු 3 දින දිනමිණ පත්‍රයෙහි පළ කරන ලද ලිපිය ඇසුරින් සකසන ලදි.)


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?