ගෝලීය කොරෝනා වසංගතයට මැදි වූ 2020 ශ්‍රී ලංකා ආර්ථිකයේ සාර්ව කැඩපත - ආර්ථික විද්‍යා සිසුන්ට අත් වැලකි

 



2020 වර්ෂයේ දී ගෝලීය කොරෝනා වසංගතයේ පැතිරීම වැලැක්වීම පිණිස ලෝකය පුරා රජයන් විසින් අනුගමනය කළ රටවල් සහ ප්‍රදේශයන් අගුළු දැමීමේ සහ පුද්ගල දුරස්ථ භාවය ඇති කිරීමේ ප්‍රතිපත්ති රැල්ල තුළින් හට ගත් දැඩි සමාජ ආර්ථික අස්ථායිතාවන් හේතු කොට, ලෝකය පුරා සැපයුම් ජාලයන් බිඳී ගොස් වෙළෙඳපොළවල් අක්‍රීය වී ගෝලීය ආර්ථික අවාපතයක් හට ගැනින. එබැවින්, ගෝලීය නිෂ්පාදනය, පරිභෝජනය සහ ආයෝජනය කඩා වැටී දැඩි සේවා වියුක්තියක් හට ගැනින.

 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයේ පැතිරීම අවම මට්ටමක පාලනය කළ ද, වසංගතයේ ගෝලීය ආර්ථික අවපාතයේ බලපෑම හේතු කොට ශ්‍රී ලංකා ආර්ථිකය ද දැඩි පසුබෑමකට ලක් විය. එය අවබෝධය සඳහා 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවේ අඩංගු වන මූර්ත, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය යන ගනුදෙනු අංශයන් නියෝජනය වන පරිදි තෝරා ගත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිඵල දර්ශකයන් කිහිපයක් තුළින් 2020 ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්ෂණික ඡායා රූපයක් පහත ඉදිරිපත් කෙරේ. එහෙත්, 2020 ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ විග්‍රහයන් විවිධ පැතිකඩවල් හරහා විවිධ ලෙස ඉදිරිපත් කළ හැකිය.

මූර්ත අංශය

  • ආර්ථික වර්ධනය

ආර්ථික වර්ධනය ඍණ 3.6% ක් ( 2019 දී 2.3%)  ලෙස වාර්තා විය. එනම්, මූර්ත ද.දේ.නි. ය 3.6% කින් පහළ යාම යි. කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන සෑම අංශයකම මූර්ත නිෂ්පාදනය පහළ යන ලදි. ද.දේ.නි. යෙහි  කෘෂිකාර්මික සහ සේවා අංශයන්ගේ දායකත්වය ඉහළ ගිය අතර කාර්මික අංශයේ දායකත්වය පහළ යන ලදි.

  • ඒක පුද්ගල ආදායම

රුපියල් සහ ඩොලර් යන දෙයාකාරයෙන්ම ඒක පුද්ගල ආදායම පහළ යන ලදි. එනම්, රුපියල් ඒක පුද්ගල ආදායම රුපියල් 688,573 සිට 683,106 දක්වා 0.8% කින් ද, ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 3,852 සිට 3,682 දක්වා 4.4% කින් ද පහළ යන ලදි.

  • ඉතුරුම් සහ ආයෝජනය

ඉතුරුම් සහ ආයෝජනය පහළ යාම නාමික වටිනාකම මෙන්ම ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස ද සිදු විය. ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස ජාතික ඉතුරුම් 24.7% සිට 23.9% දක්වා ද, ආයෝජනය 26.8% සිට 25.2% දක්වා ද පහළ යන ලදි.

  • සේවා වියුක්තිය

සේවා වියුක්ති අනුපාතය 4.8% සිට 5.5% දක්වා ඉහළ යන ලදි. එහෙත්, සංවර්ධිත රටවල සේවා වියුක්ති අනුපාතය අධික ලෙස ඉහළ යාමේ අනුපාතයන් සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ මෙය පහළ මට්ටමක පැවතීම සමීක්ෂණ නිර්වචනයන් හේතු කොට සිදු වී ඇති බව පෙනේ.

  • උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවීය, එනම්, 2019 දී 4.3% සිට 2020 දී 4.6% දක්වා සුළු ඉහළ යාමකි.

රාජ්‍ය මූල්‍ය අංශය

  • රාජ්‍ය අයවැය හිඟය

අයවැය හිඟය 15.9% කින් ද, ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස 9.6% සිට 11.1% දක්වා ද සැලකිය යුතු ලෙස ඉහළ යන ලදි. මීට හේතුව, සමස්ත රාජ්‍ය වියදම ආන්තික වශයෙන් පහළ ගිය ද, බදු ආදායම ඊට වඩා පහළ යාම සහ ද.ද.දේ.නි.ය පහළ යාම යි. අයවැය හිඟය පියවීම දේශීය ණය ගැනීම හරහා සිදු වූ බැවින් දේශීය ණය ගැනීම 95% කින් පමණ ඉහළ ගිය අතර විදේශ ණය ශුද්ධ වශයෙන් ගෙවීම සිදු විය.

  • රාජ්‍ය ණය තොගය සහ ණය සේවාකරනය

ගෙවීමට එකතු වී ඇති මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2 කින් හෝ 16% කින් ද, ද.දේ.නි. යෙන් 86.8% සිට 101% දක්වා ද අධික ලෙස ඉහළ යන ලදි. මීට හේතුව, අයවැය හිඟය ඉහළ යාම, නව ණය ගෙන වර්ෂය තුළ ගෙවීමට නියමිත ණය ආපසු ගෙවීම සහ ද.දේ.නි.ය පහළ යාම යනාදිය යි. එහෙත්, ණය සේවාකරනය 4% කින් පමණ පහළ යන ලදි. එය, ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස ද 13.5% සිට 13% දක්වා පහළ යන ලදි.

විදේශ ණය ගැනීම අධික ලෙස පහළ යාම හේතු කොට රාජ්‍ය ණය තොගය තුළ විදේශ ණය ප්‍රතිශතය 47.6% සිට 40% දක්වා පහළ යන ලදි. දළ විදේශ ණය ගැනීම 2019 දී ඩොලර් මිලියන 6,570 සිට 2020 දී ඩොලර් මිලියන 2,002 දක්වා 30% කින් පමණ පහළ යන ලදි. ශුද්ධ විදේශ ණය ගෙවීම ඉහළ යාම හේතු කොට ගෙවීමට ඇති රාජ්‍ය විදේශ ණය තොගය ඩොලර් බිලියන 34.2 සිට 28.2 දක්වා 17.5% කින් පමණ පහළ යන ලදි.

විදේශ අංශය

  •  විදේශ වෙළෙඳ හිඟය

වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 6,008 දක්වා 25% කින් පමණ පහළ යන ලදි. එය අපනයන ආදායමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම පහළ යාම හේතු කොට සිදු විය. එනම්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,893 කින් හෙවත් 15.5% කින් ද, ආනයන වියදම ඩොලර් මිලියන 3,882 කින් හෙවත් 19.5% කින් ද පහළ යාම යි. රජය විසින් අත්‍යවශ්‍ය නොවන ආනයන අත්හිටු වීම සහ ගෝලීය තෙල් සහ වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අධික ලෙස පහළ යාම මීට මූලික හේතුව විය.

  • විදේශ ණය සේවාකරනය

විදේශ ණය සේවාකරනය ඩොලර් මිලියන 4,382 දක්වා 24% කින් පමණ පහළ යන ලදි. එහෙත්, ණය සේවාකරන අනුපාතය, එනම් ණය සේවාකරනය මුළු භාණ්ඩ හා සේවා අපනයන ලැබීම්වල ප්‍රතිශතයක් ලෙස, 2019 දී 29.7% සිට 2020 දී 33.5% දක්වා ඉහළ යන ලදි. ඊට හේතුව, අපනයන ආදායම පහළ යාම යි. එසේම, ඉහළ රාජ්‍ය විදේශ ණය මට්ටම හේතු කොට මුළු ණය සේවාකරනයෙන් රාජ්‍ය විදේශ ණය සේවාකරනය 2019 දී 79.3% සිට 2020 දී 90.7% දක්වා ඉහළ යන ලදි.

  • සමස්ත ගෙවුම් ශේෂය 

ගෙවුම් ශේෂයෙහි ඩොලර් මිලියන 2,328 ක පමණ වාර්තා ගත සමස්ත හිඟයකට ආර්ථිකය මුහුණ දුනි. වෙළෙඳ ගිණුමේ සහ ජංගම ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස පහළ ගිය ද, 2019 දී වාර්තා වූ ගෙවුම් ශේෂ අතිරික්තය වූ ඩොලර් මිලියන 377 සමඟ සැසඳීමේ දී අධික හිඟයක් වාර්තා වීම විශේෂයෙන් හේතු වූයේ රාජ්‍ය විදේශ ණය සහ පොලී ගෙවීම සඳහා මහ බැංකුවේ විදේශ වත්කම් සංචිතය භාවිතා කිරීම සහ රජයට ලැබුණ විදේශ ණය ප්‍රමාණය 30% කින් පමණ පහළ යාම යි.

  • නිල විදේශ වත්කම්

ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,328 ක් පමණ මහ බැංකුව විසින් ආර්ථිකය වෙත සැපයීම හේතු කොට මහ බැංකුවේ නිල විදේශ සංචිතය දැඩි ලෙස පහළ යන ලදි. එනම්, එය ඩොලර් මිලියන 7,642 සිට ඩොලර් මිලියන 5,664 දක්වා 26% කින් (ඩොලර් මිලියන 1,978 කින්) පහළ යාම යි. මහ බැංකුව විසින් ගෙවුම් ශේෂ හිඟයන් පියවීම සඳහා විදේශ විනිමය ආර්ථිකයට සැපයීම ප්‍රධාන වශයෙන් විනිමය අනුපාතය පාලනය කිරීමේ අරමුණින් සිදු කෙරේ.

  • විනිමය අනුපාතය

ගෝලීය කොරෝනා ආර්ථික අවපාතයේ ඍජු අයහපත් ප්‍රතිඵලයක් වූයේ විනිමය අනුපාතය දැඩි අවධමන පීඩනයක් හට ගැනීම යි. මහ බැංකුවේ මැදිහත් වීම හේතුකොට වාර්ෂික සාමාන්‍ය විනිමය අනුපාත අවප්‍රමාණය 3.8% ලෙස පහළ මට්ටමක වාර්තා වුව ද, වර්ෂය මැද දැඩි විනිමය අර්බුදයකට මුහුණ දුනි. එබැවින්, විනිමය අනුපාතය මාර්තු මස ආරම්භයේ ඩොලරයක් රුපියල් 181.85 සිට අප්‍රේල් මස 9 දින වන විට රුපියල් 197.34 දක්වා 8.5% කින් අවප්‍රමාණය විය. මහ බැංකුව විසින් විදේශ විනිමය ආර්ථිකයට සැපයීම සහ විනිමය පාලනයන් රැසක් පැනවීම මගින් සමස්ත අවප්‍රමාණය වර්ෂයේ දෙවන භාගයේ දී පහළ මට්ටමකට ගෙන එන ලදි.

මූල්‍ය අංශය

  • මුදල් මුද්‍රණය (පදනම් මුදල් ප්‍රමාණය)

පදනම් මුදල් ප්‍රමාණයේ ඉහළ යාම රුපියල් බිලියන 31 ක් හෝ 3.4% ක පහළ වර්ධනයකි (රුපියල් බිලියන 964 දක්වා). පහළ වර්ධනයට හේතුව, මහ බැංකුව විසින් අත්තිකාරම් සහ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට ලබා දුන් ණය සඳහා මුදල් මුද්‍රණය ඉහළ ගිය ද, ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා මහ බැංකුව විසින් ආර්ථිකයට විදේශ විනිමය සැපයීම තුළින් පදනම් මුදල් ප්‍රමාණය කෙරෙහි ඇති වූ සංකොචණාත්මක බලපෑම යි.

  • මුදල් සැපයුම

මුදල් සැපයුම (M2b) සැලකිය යුතු ලෙස 23.4%  කින් වර්ධනය විය. මීට මූලික හේතුව වූයේ රජය විසින් බැංකු පද්ධතියෙන් ණය ලබා ගැනීම යි. රාජ්‍ය අංශයට සැපයූ බැංකු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,936 කින් හෙවත් 53.6% කින් ඉහළ යන ලදි. ආර්ථිකයේ පැවති අවපාතය සහ අවිනිශ්චිතභාවය හේතු කොට බැංකු පද්ධතිය විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය රුපියල් බිලියන 374 ක් හෝ 6.5% ක පහළ මට්ටමක විය. ගෙවුම් ශේෂ හිඟය පියවීම හේතු කොට මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිතය පහළ යාම තුළින් මුදල් සැපයුම කෙරෙහි අධික ඍණ බලපෑමක් ඇති විය. එබැවින්, ඉහළ මට්ටමක රාජ්‍ය ණය වර්ධනයක් නොවී නම්, ආර්ථිකය අරමුදල් සහ ඉල්ලුම් හිඟයකට මුහුණ දී අවපාතය තවත් ඉහළ යා හැකිව තිබිණ.

පදනම් මුදල් ප්‍රමාණයේ වර්ධනය ඉතා පහළ වූ බැවින් මුදල් සැපයුම ඉහළ යාම බැංකු පද්ධතිය තුළින් මුදල් මැවීම ඉහළ යාම හරහා සිදු විය. එය මුදල් ගුණකය 8.2 සිට 9.8 දක්වා 1.6 කින් ඉහළ යාම තුළින් දැක්වෙයි. මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5% සිට 2% දක්වා 3% කින් පහළ හෙළීම සහ රාජ්‍ය ණය ඉල්ලුම ඉහළ යාම හේතු කොට මුදල් මැවීම ඉහළ යන ලදි. එහෙත්, පෞද්ගලික අංශය වෙත ණය සැපයුම පහළ මට්ටමක (6% ක පමණ සාමාන්‍ය වර්ධනය) පැවතුන බැවින් බැංකු පද්ධතිය වෙත ඉහළ මට්ටමේ අතිරික්ත සංචිත පැවතිණ. එම අරමුදල් අවදානම් සහිත ණය දීමට වඩා මහ බැංකුවේ නිත්‍ය තැන්පතුවල ආයෝජනය කිරීමෙන් අවදානම් රහිත පොලී ආදායම් ලබා ගැනීම බැංකුවලට වඩාත් ලාභ දායී විය.

  • පොලී අනුපාතය

කොරෝනා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාරී වීම සඳහා මහ බැංකුව විසින් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතු කොට පොලී අනුපාතයන් දැඩි ලෙස පහළ යන ලදි. මෙවැනි ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති ලෝකය පුරා අනුගමනය කරන ලදි. උදාහරණ ලෙස ඇමෙරිකාවේ සහ යුරෝපයේ ප්‍රතිපත්ති/මහ බැංකු පොලී අනුපාතයන් ශූන්‍යයට ආසන්න විය. සමහර රටවල එය ඍණ මට්ටමක විය. ඉන්දියාවේ එය 3.35%-4% අතර විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව 7%-8% සිට 4.50%-5.50% දක්වා 2.5% කින් පහළ හෙලන ලදි. ඒ අනුව, 2019 අවසානයේ සිට 2020 අවසාන වන විට එක් දින අන්තර් බැංකු ණය පොලී අනුපාතය 7.45% සිට 4.55% දක්වා ද, දින 184 භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික ඵලදා අනුපාතය 8.45% සිට 5.05% දක්වා ද පහළ යන ලදි. එසේම, බැංකු තැන්පතු සහ ණය පොලී අනුපාතයන් ද සැලකිය යුතු ලෙස පහළ යන ලදි. මෙසේ පහළ පොලී අනුපාත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අරමුණ වනුයේ බැංකු ණය ප්‍රසාරණය තුළින් සමාහාර වියදම ඉහළ නැංවීම හරහා ආර්ථික පසුබැසීමෙන් ගොඩ ඒමට උපකාරී වීම යි. එමගින්, ඉදිරියේ දී නිෂ්පාදනය සහ සමාහාර සැපයුම ඉහළ යාම අපේක්ෂා කෙරේ.

2020 ගෝලීය සාර්ව ආර්ථික කමනාකරණ ක්‍රමවේදය

සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල් විසින් කොරෝනා වසංගතය සහ එහි ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්ති ක්‍රමවේදය වූයේ සමාජයන් අගුළු දැමීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සහ ඉන් හට ගත් නිෂ්පාදන සහ සැපයුම් ජාලයන් කඩා වැටීම ප්‍රකෘතිමත් කිරීම සඳහා අති ලිහිල්/ප්‍රසාරණාත්මක මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කිරීම යි. මෙහිදී, රජයන් විසින් ව්‍යාපාරික සමාගම් සහ කුටුම්බ වෙත විශාල වශයෙන් මූල්‍ය ප්‍රදානයන් කළ අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ණය හරහා සපයා ගන්නා ලදි. එබැවින්, එම ණය ඉතා පහළ පොලී අනුපාතයන් යටතේ ලබා ගැනීමට හැකි වන පරිදි මහ බැංකු විසින් ඉතා පහළ පොලී අනුපාතයන් මත විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරන ලදි.

මෙම ප්‍රතිපත්ති ක්‍රමවේදය මගින් වසංගතයේ බලපෑමට ලක් වූ ව්‍යාපාරයන්ට සහ කුටුම්බයන්ට රාජ්‍ය වියදම් සහ බැංකු ණය හරහා මූල්‍ය සහනයන් සැපයීම මෙන්ම ආර්ථිකයේ සමාහාර වියදම ඉහළ නැංවීම තුළින් ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය ප්‍රකෘතිමත් කිරීම අපේක්ෂා කෙරින. එබැවින්, රාජ්‍ය වියදම, අයවැය හිඟය, මුදල් මුද්‍රණය, ණය සහ මුදල් සැපයුම ඵෙතිහාසික ලෙස ඉහළ යන ලදි. මෙහිදී, අති ලිහිල්/ප්‍රසාරණාත්මක මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පැකේජය හේතු කොට ඇති විය හැකි අනාගත උද්ධමනය ඉහළ යාමේ අවදානම නොසලකා හරින ලදි. ඊට හේතුව, උද්ධමනය ගෝලීය සැපයුම් අවහිරතා හේතු කොට මෙම අවස්ථාවේ හට ගන්නා තාවකාලික ආර්ථික ප්‍රතිඵලයක් වන බැවින් ආර්ථිකයන් නැවත ප්‍රකෘතිමත් වීමේ දී උද්ධමනය පීඩනය පහළ යන බවට අපේක්ෂා කිරීම යි.

(මෙහි සංඛ්‍යා දෝෂයන් පවතී නම් එය කතුවරයාගේ අඩුපාඩුවකි)

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?