IMF ආර්ථික ස්ථායිකරණය - හුදු මතවාදයකි. විද්‍යාවක් නොවේ. ඕනෑ තරම් විකල්පයන් පවතී.
ලිපියේ පසුබිම
මේ දිනවල ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දේශනයන් සහ ආර්ථික ඉලක්කම්වලින් මාධ්‍යය පිරී ඇත. එහි හරය වන්නේ, IMF ණය වැඩසටහනින් ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව යි. සමහරුන්ට එය, කුණාටුවකට හසු වූ ගුවන් යානයක් ගුවන් නියමුවා විසින් පාලනය කොට, හදිසි ගොඩ බැස්සවීමක් වැනි විද්‍යාවකි.
ඒ බවට, උද්ධමනය, ආර්ථික වර්ධනය, පොලී අනුපාතය, විනිමය අනුපාතය, රාජ්‍ය මූල්‍ය, මුදල් මුද්‍රණය, ගෙවුම් ශේෂය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ විවිධාකාර ඉලක්කම් සහ ඉලක්කයන් ඉදිරිපත් කෙරේ. එහෙත්, IMF යනු පැරණි ආර්ථික මතවාදයක් පමණක් බවත්, ස්ථායිකරණ ඉලක්කම් යනු හුදු තාවකාලික ඉලක්කම් බවත්, ඔවුන් නොදනී.
එබැවින්, මෙම ලිපිය මගින් IMF ආර්ථික ස්ථායිකරණ මතවාදය කෙටියෙන් ඉදිරිපත් කෙරේ. ආර්ථිකයේ ණය සහ නිෂ්පාදන දාමයන් බිඳී අවහිර වීම තුළින් අර්බුදයට ලක් වී ඇති පොදුජන ජීවිතය නැවත ගොඩ ගැනීම සඳහා සාර්ව ආර්ථික සැලසුම් සකස් කරන මහජන නායකයන්ට මෙම දැනුම උපකාරී වනු ඇත. එහෙත්, ඒ සඳහා එකම සැලැස්ම ලෙස IMF පුදන බැතිමතුන්ට, මින් ඵලක් නොමැති විය හැකිය. ඊට හේතුව, භක්තිකයන් යනු හුදු විශ්වාසයට අන්ධ වී ඇති පිරිසක් බැවිනි.
ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට හේතුව අඛණ්ඩ අයවැය හිඟය බවට IMF මතවාදය
IMF නිලධාරීන් විසින් ඕනෑම රටකට ණය පහසුකම් සහ ආර්ථික උපදෙස් සැපයීමේ දී අනුගමනය කරනු ලබන මතවාදය වනුයේ, රටක ආර්ථික අස්ථායීතාවය, ගෙවුම් ශේෂ හිඟය, මුදල් ප්‍රසාරණය සහ උද්ධමන පීඩනය යනාදිය අඛණ්ඩ අයවැය හිඟයේ ප්‍රතිඵලය බව යි.
මෙය, හුදෙක් ආර්ථිකයක සමස්ත මූර්ත ජාතික නිෂ්පාදිතය හෝ සැපයුම සහ සමස්ත මූර්ත ජාතික වියදම හෝ ඉල්ලුම අතර සමතාවයක් හෙවත් සමතුලිතයක් දැක්වෙන සම්භාව්‍ය ජාතික ආදායම් සමීකරණ සංකල්පය මත ගොඩ නැගී ඇත.
සමතුලිතයේ අදහස වන්නේ, යම් කාලයක් තුළ රටක ජනිත කෙරෙන ජාතික ආදායමට හෝ නිෂ්පාදිතයට, එම කාලය තුළ ජාතික වියදම සමාන විය යුතු බව යි. මෙහි දී, වියදම ලෙස සැලකෙන්නේ පරිභෝජනය සහ ආයෝජනය යි.
ජාතික ආදායම් සමතුලිත සංකල්පය
- සමස්ත මූර්ත ජාතික නිෂ්පාදිතය (Y) = සමස්ත මූර්ත ජාතික වියදම (E)
- එනම්, Y = E
මෙහි දී, ජාතික වියදම කොටස් රැසකට බෙදා දැක්වෙයි. එනම්, පෞද්ගලික පරිභෝජනය (C), පෞද්ගලික ආයෝජනය (I), රාජ්‍ය බදු සහ සහනාධාර (T), රාජ්‍ය වියදම (G), භාණ්ඩ හා සේවා අපනයන (X) සහ ආනයන (M) යනාදිය යි.
- Y = C + I - T + G + X - M
(X - M ) යනු ජාතික නිෂ්පාදිතයට ගෝලීය ආර්ථිකයේ සහභාගිත්වය යි.
ඉහත දැක්වූ ජාතික ආදායම් සමීකරණය පහත ලෙස වචන නැවත සකසා පහත ලෙස ඉදිරිපත් කළ හැකිය.
- Y - C = I + (G - T) + (X - M)
මෙහි Y යනු මහජනතාවගේ සමස්ත ආදායම (එනම්, වැටුප්, බදු කුලිය, පොලිය සහ ලාභවල එකතුව) යි. ඊට හේතුව, ජාතික නිෂ්පාදිතයේ වටිනාකම, ජාතික ආදායමට සමාන විය යුතු බැවිනි.
එබැවින්, (Y – C) යනු පෞද්ගලික අංශයේ ඉතුරුම් වෙයි. ඒ අනුව, වචන නැවත සකසා පහත දැක්වෙන සමීකරණය ලබා ගත හැකිය.
- (G - T) = (S - I) + (M - X)
- අයවැය හිඟය = පෞද්ගලික ශුද්ධ ඉතුරුම් + ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය
ඒ අනුව, රටක අයවැය හිඟයක් පවතින විට, පෞද්ගලික ඉතුරුම් අතිරික්තයක් හෝ ගෙවුම් ශේෂ හිඟයක් හෝ ඒ දෙකම හෝ හට ගනී. ඊට හේතුව, අයවැය හිඟය පියවීමට අවශ්‍ය සම්පත් රජය වෙත සැපයීම සඳහා ය. මෙහිදී, ආර්ථිකයේ පෞද්ගලික ඉතුරුම් හිඟයක් පවතී නම් (එනම්, සෘණ ඉතුරුම්), එය සහ අයවැය හිඟය යන දෙකම පියවීම සඳහා අවශ්‍ය සම්පත් ගෙවුම් ශේෂ හිඟය (ආනයන) හරහා සපයා ගත යුතුය.
ඒ අනුව, ශ්‍රී ලංකාව වැනි දියුණුවන රටවල පවතින අඛණ්ඩ ගෙවුම් ශේෂ හිඟයට සහ පෞද්ගලික ආයෝජන හිඟයට හේතුව රාජ්‍ය අයවැය හිඟය බවට IMF මතවාදය ඉදිරිපත් වී ඇත. ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා විදේශ ණය ගත යුතුය. එබැවින්, ශ්‍රී ලංකාව විදේශ ණය උගුලට හිර වී ඇත. නිදහස් විදේශ ආයෝජන පරිසරයක් නොමැති බැවින්, විදේශ ණය ගැනීම ද රජය විසින් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විදේශ ණය සහ ආර්ථික අර්බුදය එය යි.
උද්ධමනයට හේතුව අයවැය හිඟය බව
උද්ධමනය ද මෙම මතවාදය තුළ ඉදිරිපත් කෙරේ. මෙහි දී, IMF විසින් පැරණි මූල්‍ය වාදය එලෙසම කෙරේ. එනම්, උද්ධමනය යනු සැමදා, සැම තැනම, මුදල් සිද්ධියකි. එනම්, ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම හෝ වියදම, සමස්ත සැපයුමට වඩා ඉහළ යාම හරහා පොදු මිල මට්ටම ඉහළ යාම යි. මෙහි දී, මිල ගණන් තීරණය වීම කෙරෙහි බලපාන ආර්ථිකයේ සැපයුම් තත්ත්වයන් සහ නිෂ්පාදන පිරිවැය නොසැලකේ. එකම හේතුව ලෙස ඔවුන් සලකන්නේ මුදල් ප්‍රමාණය ඉහළ යාම යි.
එබැවින්, අඛණ්ඩ අයවැය හිඟය යනු මුදල් ප්‍රමාණය ඉහළ යාම හරහා උද්ධමනය ඇති කෙරෙන එකම සාධකය වෙයි. මුදල් ප්‍රමාණය ඉහළ යන්නේ, අයවැය හිඟය පියවීම සඳහා මහ බැංකුවෙන් සහ බැංකුවලින් ණය ගැනීම යි. ඊට හේතුව, ණය මගින් මුදල් මැවෙන බැවිනි. විදේශ ණය ගැනීමෙන් සිදු වන්නේ ද නව දේශීය මුදල් මැවීමකි.
අයවැය හිඟය යනු ආදායමට වඩා අතිරික්ත රාජ්‍ය වියදම යි. එබැවින්, අතිරික්ත රාජ්‍ය වියදම සහ එය පියවීමට ගන්නා ණය හරහා ආර්ථිකයේ සමස්ත ඉල්ලුම, සමස්ත සැපයුමට වඩා ඉහළ යාමෙන් උද්ධමනය හට ගනී. 2022 සහ 2023 වර්ෂවල රටේ පැවති සිවිල් අර්බුදය හේතු කොට හට ගත් වෙළෙඳපොළ අස්ථායිතාවය තුළින් ජනිත වූ අධිඋද්ධමන පීඩනය ද IMF ට අනුව, අයවැය හිඟය, රාජ්‍ය ණය සහ මුදල් ප්‍රසාරණයේ ප්‍රතිඵලයකි.
IMF කොන්දේසි
පසුගිය වර්ෂ දෙකක පමණ කාලය පුරා රට ආර්ථිකය අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති IMF ණය වැඩසටහන ඉහත දැක්වූ පැරණි මතවාදය මත පදනම් වී ඇත. ඒ බව, සියළුම IMF කොන්දේසිවලින් පැහැදිළි වෙයි. එනම්, අයවැය හිඟය, රාජ්‍ය ණය, ගෙවුම් ශේෂ හිඟය (ජංගම ගිණුමේ හිඟය), මුදල් මුද්‍රණය සහ මුදල් සැපයුම පාලනය කිරීම පදනම් කොට ගත් ඉලක්කයන් මත විවිධාකාර කොන්දේසි පැනවීම යි.
උදාහරණ ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බදු යෝජනා, වියදම් පාලන යෝජනා සහ රාජ්‍ය ව්‍යවසායන් අත්හැරීම යනාදිය ඉන් කිහිපයකි. මේවා සියල්ල රජය සහ අයවැය හිඟය කප්පාදු කිරීම හරහා මුදල් සැපයුම, ගෙවුම් ශේෂය, විනිමය අනුපාතය සහ උද්ධමනය පාලනය කොට ආර්ථිකය ස්ථායිකරණය කිරීමේ අරමුණින් ඉදිරිපත් කොට ඇත.
එහෙත්, අයවැය හිඟය සහ ණය මත ක්‍රියාත්මක වන සමස්ත ආර්ථිකය සහ පොදුජන ජීවන මට්ටම කඩා වැටීමේ අවදානම ගැන කිසිම වගකීමක් ඔවුන්ට නැත. කැපෙන රජයේ තැන ගැනීමට පෞද්ගලික අංශයට හැකියාව පවතී ද? එයට මහජනයා දක්වන ප්‍රතිචාරය කුමක් ද? යන්න පිළිබඳ ව ඔවුන්ට දැනුමක් නොමැත.
එබැවින්, IMF කොන්දේසිවලට එකඟ වන සියළු දෙනා ඉහත දැක්වූ IMF මතවාදය භක්තිමතුන් ය. එහෙත්, බොහෝ දෙනාට ඉහත දැක්වූ IMF මතවාදයේ ආර්ථික පදනම පිළිබඳ කිසි දැනීමක් නොමැත. බොහෝ යක්ෂ, භූත සහ දේව ඇදහිලි ද එවැනි ය.
මෙහි දුක්ඛ දායක කරුන වන්නේ, මහජන මුදලින් ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාලවල සහ සම්මන්ත්‍රණවල ආර්ථික විද්‍යාව පුහුණු වී, දශක ගණනක් ආර්ථිකය කළමනාකරණය කරන ලද පිරිස් පවා, නූතන ආර්ථික විද්‍යා මූලධර්මයන් කෙරෙහි කිසි තැකීමක් නොමැතිව IMF භක්ති ලිපිකරුවන් වීම යි.
එසේම, ඉදිරි මැතිවරණවලට සූදානම් වන කිසිම නායකයකු විසින් විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැත. ඔවුන් සැවොම පවසන්නේ දුෂණය තුරන් කොට රට දියුණු කරන බව යි. ඒ සඳහා මුදල් සොයා ගන්නා ආකාරය ගැන කිසිවක් නොපැවසේ. IMF වැඩසටහන සංශෝධනය කරන බව ද සමහරු දක්වති. එහෙත්, IMF වැඩසටහන අහෝසි කරන බව කිසිවෙකු විසින් නොදක්වයි.
එබැවින්, මහජනතාව විසින් අවබෝධ කර ගත යුතු කරුන වන්නේ, IMF මතවාදයට සහ වැඩසටහනට විකල්ප වූ ආර්ථිකයක් ඉදිරි අනාගතයේ දී කිසිම නායකයෙකුගෙන් තමන්ට නොලැබෙන බව යි. එහි අදහස වන්නේ, තිබෙන දෙය කර ගෙන යාම මිස, කිසිම නවීකරණයකට කිසිම නායකයෙකු මහන්සි නොවන බව යි.
1948 සිට ස්වයං පාලනයක් ඇති මෙතරම් ආර්ථික සම්පත් හිමි පැරණි රටක වෙසෙන පොදුජනයාට නූතන ලෝකයේ ජීවන මට්ටමක් බුක්ති විඳීමට හැකි ලෙස රට මෙහෙයවීමට හෝ සැලසුමක් ඉදිරිපත් කිරීමට ජාතික නායකයන්ට නොහැකි වීම ජාතික කණගාටුවකි. දුෂණයට අවලාද කිරීමෙන් ඵලක් නොමැත. ඊට හේතුව, දුෂණය යනු විදේශීය සාධකයක් නොව දේශීය රාජ්‍ය පාලක පද්ධතියේම කොටසක් බැවිනි.
තමන්ගේ දැනුම මත විශ්වාසයන් සහ මතවාදයන් දැරීම පෞද්ගලික කරුනකි. එහෙත්, ඒවායින් පොදු ජනයාට ඇති සෙත පිළිබඳ නිසි දැනුමක් නොමැතිව ක්‍රියාත්මක කිරීමෙන් වින්දිතයන් බවට පත්වන මහජනයා වෙනුවෙන් රජය වගකිව යුතුය. රජයන් පත්කර ගන්නේ පොදුජන යහපත සඳහා ය.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment