වැටුප් දෙන්න, 20% - 21% ක වැට් තර්ජනයක් - ගැටළුව කාගෙ ද?
මෙම ලිපිය ජුලි 8 දින ලීඩර් ප්‍රවෘත්ති වෙබ් අඩවියෙහි පළවූ "වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි !" ලිපිය හා සම්බන්ධ වෙයි. (ලිපිය මෙතනින් කියවන්න).
එහි රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් විසින් වැටුප් වර්ධකයක් ඉල්ලා කරන ලද වර්ජක ව්‍යාපාරයේ ජාතික ආදීනව පිළිබඳ ව භාණ්ඩාගාර ලේකම් ගේ ප්‍රතිචාරය වාර්තා විය. එනම්,
- රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140 ක් පමණ අවශ්‍ය බව.
- රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280 ක් පමණ අවශ්‍ය බව.
- IMF එකඟතා අනුව මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැති බව.
- එබැවින්, වර්ජක වැටුප් ඉල්ලීම් දීමට නම්, දැනට පවතින 18% ක වැට් බද්ද 20%-21% දක්වා ඉහළ නැංවීමට සිදුවන බව.
මෙම ප්‍රවෘත්තිය දුටු විගස මා සිතට නැගුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් ලෝකයේ ඉහළම කාණ්ඩයේ ආර්ථික විද්‍යාඥයන් පත් කරනු ලැබුවේ, එය ඉතා පහසුවෙන් වැට් බද්දෙන් සිදු කිරීමට ද? යන්නය. එසේ නම්, එය මුදල් ඇමතිට භාණ්ඩාගාර ලිපිකරුවකු මගින් වුව ද කළ හැකිය.
රාජ්‍ය සේවක වැටුප් ඉල්ලීම්, වැට් බද්දෙන් පියවීම යනු සාධාරණ රජයකට නොහොබිනා ක්‍රියාවකි. ඊට හේතුව, වැටුප් අරගලය යනු රාජ්‍ය ව්‍යාපාරයේ කළමනාකරණ ගැටළුවක් මිස, පොදු මහජනයා විසින් ඇති කළ ගැටළුවක් නොවීම යි. මහජනයා යනු රජයේ පාරිභෝගිකයන් ය. ඔවුන් බදුවලින් මිල ගෙවා රාජ්‍ය සේවාවන් ලැබෙන විදියට ලබා ගනී.
එහෙත්, රාජ්‍ය සේවකයන් යනු රාජ්‍ය ව්‍යාපාරය තුළ සිටින පාර්ශවයකි. එබැවින්, රාජ්‍ය සේවකයන් විසින් වැඩි වැටුප් ඉල්ලන විගස, බදු ඉහළ දමන බවට රජය විසින් මහජනයාට තර්ජනය කිරීම අමනෝඥ ක්‍රියාවකි.
ඊට හේතුව, බදු වැඩි කළ යුත්තේ, රාජ්‍ය සේවාවන් සහ එහි ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා ය. එහෙත්, ඉල්ලන වැටුප් දීමෙන්, රාජ්‍ය සේවය එසේ වන බව කිසිවෙකුට නොතේරෙන කරුණකි. ඒ බව, මෑතක දී රාජ්‍ය ආයතනයකට පිය නැග ඇති ඕනෑම කෙනෙක් දනී.
වැටුප් ඉල්ලීම්වල ආර්ථික පදනම
මෙම රාජ්‍ය වැටුප් ඉල්ලීම් සාධක කිහිපයක ප්‍රතිඵලයකි.
- පළමුව, 2019 අවසානයේ සිට මේ දක්වා ජීවන වියදම 89% කින් පමණ ඉහළ යාම. උද්ධමනය 1% ට පහළ ගොස් ඇති බව රජය විසින් උදම් අනුව ද, ජීවන වියදම රුපියලකින් වත් පහළ ගොස් නැත. වත්මන් පාරිභෝගික මිල ගණන් අනුව සාමාන්‍ය පවුලක මාසික ජීවන වියදම රුපියල් 179,000 කි. දෛනික වියදම රුපියල් 5,990 කි. මැයි මාසයේ ජීවන වියදමට සාපේක්ෂව ජුනි මස ජීවන වියදම ඉහළ යාම රුපියල් 1,381 කි. මෙම ජීවන වියදම නිල වැටුප් ආදායමින් පියවන්න හැකි රජයේ සේවකයන් සංඛ්‍යාව සීමිත බව කිව යුතු නැත. එය පොදු මහජනයා ද විඳින ජීවන ගැටළුවකි. ආර්ථිකයේ මිල ස්ථායිතාවය සහතික කිරීම රජයට අයිති ස්වාධීන මහ බැංකුවේ නෛතික වගකීම යි. එය සිදු වී නැත. මහ බැංකුව විසින් ස්ථායිතාවය ඇති කරන්නේ, ශ්‍රී ලංකාවේ මිල ගණන් නොව, මහ බැංකු ආර්ථික විද්‍යාඥයන්ගේ මානසික ලෝකවල පවතින මිල ගණන් ය.
- දෙවනුව, රාජ්‍ය සේවක සමහර කොටස්වලට තැනින් තැන කේවල ශක්තිය අනුව විවිධාකාර වැටුප් ප්‍රදානය කොට ඇත.
- තෙවනුව, ආර්ථිකයේ මිල ස්ථායිතාවය වගකීම ඉටු නොකළ ද, මහ බැංකුව විසින් ද සදාචාර නොවූ අධිවැටුපක් මාස තුනකට ලබා දී ඇත. එය, දැනට වර්ෂයකට අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
එබැවින්, අක්‍රමික රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිපත්ති තුළින් හට ගෙන ඇති සේවක වර්ජන රැල්ල යනු රාජ්‍ය කළමනාකරණ අභ්‍යන්තර ගැටළුවකි. එය විසඳීම සඳහා පොදු මහජනයාගෙන් වැට් අය කිරීමට තර්ජනය කිරීමේ ආර්ථික තර්කානුකූල භාවයක් නොමැත.
කළමනාකරණ විසඳුම
- එක් පෑන් පහරකින් වැට් බදු ඉහළ දැමීම හරිම පහසුය. බහුතර වැට් බදු ගෙවන්නේ බහුතර අඩු සහ මැදි ආදායම් ජනතාව යි. එබැවින්, රාජ්‍ය සේවක කළමනාකරණ ගැටළුව විසඳා ගැනීම රජයේ මුදල් කාර්යක්ෂමතාවය තුළින් කළ යුතුය.
- රාජ්‍ය ආයතනවල විවිධාකාර ගිණුම් හරහා සඟවා ගෙන ඇති මුදල් ඕනෑ තරම් පවතී. උදාහරණ ලෙස 2023 වර්ෂයේ දී මහ බැංකුව විසින් රජයට දිය යුතු මුදල් මුද්‍රණ ලාභය රුපියල් බිලියන 452 ක මුදලක් සඟවා ඇත. එය, 3%-4% ක වැට් බද්දට සමාන විය හැකිය. එහෙත්, රජයට දිය යුතු ලාභයරුපියල් බිලියන 314 ක අලාභයක් ලෙස ප්‍රකාශ කොට ඇත.
- වත්මන් සාර්ව ආර්ථික වාතාවරණය දෙස බලන විට රාජ්‍ය සේවක වැටුප් ඉහළ නොදැමීමත්, වැටුප් ඉහළ දැමීමට වැට් බදු ඉහළ දැමීමත් යන දෙකම අයෝග්‍ය ය. එබැවින්, වැටුප් ගෙවන්න මහජනයා පටලවා ගැනීමේ ආර්ථික පදනමක් නැත.
- එබැවින්, රාජ්‍ය ආර්ථික කළමනාකරණය මෙහෙයවන ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් විසින් එක් වරට වැට් එකට නොගොස්, තම ආර්ථික මොළය ටිකක් භාවිතා කොට කළමනාකරණ ගැටළුව විසඳිය යුතුය. මහජනයා පිට නීති පිට නීති පැනවීම පහසු වුවත්, එහි මැදි කළින සමුච්චිත ආදීනව රජයකට සහ රටකට එතරම් හිතකර නොවේ.
- නිසි ආර්ථික කාර්යසාදන පසුවිපරමකින් තොරව ණය ගෙන අවභාවිතා කිරීම හේතුවෙන් ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් හට ගත් රාජ්‍ය මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස ණය පැහැර හැරීම, බදු ඉහළ දැමීම සහ රාජ්‍ය සේවා කපා හැරීම යනු හොඳ ආර්ථික කළමනාකරුවන්ගේ ක්‍රියාවන් නොවේ.
- කෝකටත් තෛල IMF යනු ඔවුන්ගේම ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවක් මිස, පොදු ජනයා විසින් කළ දෙයක් නොවේ. එබැවින්, IMF පෙන්වීම නිදහසට කරුණක් නොවේ.
එසේ නොවේ නම්, 2022 දී අත්විඳි සමාජ නැගීම ඔවුන් විසින් මතකයට ගත යුතුය.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
Comments
Post a Comment