ද්විපාර්ශවීය ණය රැවටුම - නිල ණය පැහැර හැරීමක් ද? බංකොලොත් නිලධාරීන් ඉන් ගොඩ දැමීම ද?

මෙම ලිපියේ අරමුණ වන්නේ, ඊයේ (ජුනි 26 දින) නිල වශයෙන් ප්‍රකාශ කරන ලද ද්විපාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් යනු, 

  • රජය සහ ආර්ථිකය බංකොලොත් කමින් මුදවා ගැනීමේ ක්‍රියාවක් නොව, 

  • මුලින් නිල නොවන ලෙස ණය පැහැර හැරීම සිදු කරන ලද බංකොලොත් නිලධාරීන් ඉන් මුදා ගැනීමේ නිල ණය පැහැර හැරීමක් බවත්, 

  • එහි පසුපස දක්වන ආර්ථික ඉලක්කම් හුදු පරිගණක අභ්‍යාසයක් මිස, කිසිම ප්‍රයෝගික විශ්වාසයක් තැබිය නොහැකි පුරෝකතනයන් බවත්,

  • ණය පැහැර හැර ඇති ඝානාව වැනි අනෙක් රටවල ද මීට සමාන ණය ප්‍රතිව්‍යුහගත කරණ ප්‍රගතියක් වාර්තා වන බැවින් මෙය ශ්‍රී ලංකා අධිකාරින්ගේ විශේෂ ප්‍රගතියක් නොවන බවටත්, අදහස් ඉදිරිපත් කිරීම යි. 

එහෙත්, සමහර දේශපාලනික මාධ්‍යය විසින් එය ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් බවින් මුදවා ගැනීමක් බව දක්වමින් රතිංඥා කිරිබත් සංග්‍රහයන් ද පවත්වන ලද බව වාර්තා විය.

2022 අප්‍රේල් 12 දින  නිල නොවන ලෙස සිදු කළ ණය පැහැර හැරීම 

2022 අප්‍රේල් 12 දින වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් විසින් මෘදු ණය පැහැර හැරීම ලෙස දක්වමින් නිල නොවන ලෙස විදේශ ණය පැහැර හැරී ආකාරය සැවොම දන්නා කරුනකි. ඉහළ නගින දේශපාලනික අර්බුදය හමුවේ ඔවුන් මෙම මහජන තනතුරු භාර ගත්තේ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට පැමිණි දේව නියෝජිතයන් ලෙස ය. එහෙත්, ඔවුන් විසින් ක්ෂණිකව සිදු කරන ලද්දේ පොලී අනුපාතය 7% කින් ඉහළ දමා, විදේශ ණය පැහැර හැරීම යි. එය විශේෂඥ ආර්ථික වැඩක් නොවේ. ඉන් ආර්ථිකය කඩා වැටුණ අයුරු තවමත් මහජනයාට මතකය.

ඊට හේතුව ලෙස දැක්වූයේ, IMF හරහා මාස 4 කින් ණය ප්‍රතිව්‍යුහගත කොට IMF ණය මුදලක් මගින් ආර්ථිකය ගොඩ දැමීම යි. එය දේශපාලනික මාධ්‍යය පිරී යන ලදි. ආර්ථික ප්‍රපාතයට වැටී සිටි පොදු ජනයාට එය මිහිරි පණිවුඩයක් විය. එහෙත්, IMF ණය මුදල අනුමැතියට මාස 4 ඉක්මවා 2023 මාර්තු දක්වා වර්ෂයක් ගත විය. 

එසේම, පැහැර හරින ලද විදේශ ණය IMF මැදිහත් වී ප්‍රතිව්‍යුහගත කළේ නැත. සිදු වූයේ, IMF විසින් නියම කරන ලද තිරසාර යැයි කියන ණය ඉලක්ක ඉලක්කම් ඉටු වෙන පරිදි දේශීය සහ විදේශීය ණය දෙකම ප්‍රතිව්‍යුහගත කරන ලෙස රජයට කොන්දේසි පැනවීම යි. විදේශ රජයන්ගෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පවා මාස 26 ක් ගත විය. පෞද්ගලික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ව නිසි තොරතුරක් නැත.

ණය යනු මහජන මුදල් ලෙස පාර්ලිමේන්තුවේ සෘජු පාලනයට යටත් මුදල් ය. එහෙත්, ණය පැහැර හැරීම සිදු වූයේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් නොවේ. තව ද, මෙම ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බව වාර්තා විය. ඕනෑම ලේඛනයක් සම්මත කරන පාර්ලිමේන්තුව මෙය ද සම්මත කරන බවට කිසිම සැකයක් නැත. එහෙත්, එය සම්මත කළ විගස නිල නොවන ණය පැහැර හැරීම පාර්ලිමේන්තුව විසින් අනුමත නිල ණය පැහැර හැරීමක් ලෙස වාර්තා කෙරෙනු ඇත. ඊට හේතුව, ණය පැහැර හැරීම පිළි නොගෙන, ණය ප්‍රතිව්‍යුහගත කරණයට අනුමැතිය දිය නොහැකි බැවිනි. 

කොන්දේසි මත අනුමැතිය දීමට දැනුම ඇති පාර්ලිමේන්තුවක් තිබේ නම්, ණය පැහැර හැරීමට දායක වූ නිලධාරීන්ට දඩුවම් දීමේ කොන්දේසිය මත අනුමැතිය දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මෙහි දී, පසුගිය දශකයක පමණ කාලය තුළ ණය පැහැර හැරීමට සිදු වන ලෙස ණය ගැනීම සහ කළමනාකරණය කළ සියළු නිලධාරීන් අයත් විය යුතුය. 

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සහ විදේශ වෙළෙඳපොළ ණය කළමනාකරණ නිලධාරීන් ඊට විශේෂයෙන් අයත් විය යුතුය. ඊට හේතුව, වත්මන් රාජ්‍ය ණය සහ ආර්ථික බංකොලොත් අර්බුදයේ මූලය එය වන බැවිනි. එසේ නොවී නම්, භූ දේශපාලනය හරහා විදේශ රාජ්‍ය ණය ගැටළුව පහසුවෙන් විසඳා ගත හැකිව තිබිණ. සමහර මාධ්‍ය වාර්තාවන් අනුව මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද වත්මන් රජයේ දේශපාලනික සබඳතාවයන් මත සිදු කර ගෙන ඇත.

එබැවින්, මෙම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය තුළින් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම්ගේ විශ්‍රාමික සේවා කාලය දීර්ඝ කිරීමට රජයට අවස්ථාව ලැබෙන බැවින්, වසර දෙකකට පසු ඔවුන් බංකොලොත් භාවයෙන් මිදෙන බව කිව හැකිය.

ලෝක ප්‍රකට සාර්ථක ආයෝජකයකු වන වොරන් බෆට් මෑත දී ප්‍රකාශ කරනු ලැබුවේ, පැහැර හැරෙන තරමට ණය ගන්නා කළමනාකරුවන් සේවයෙන් පහ කළ යුතු අතර ණය පැහැර හැරීමේ පාඩුව දැන් දැන එසේ ණය දුන් ණය හිමියන් විසින් දැරිය යුතු බව යි. එහෙත්, මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් සිදු වන්නේ, එම දෙපිරිසම ආරක්ෂා වී, පාඩුව ඉදිරි පරපුරට විතැන් කිරීම යි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් 
බංකොලොත් භාවයෙන් ගොඩ ආ හැකි ද?

මෙය කරුණු නොදන්නා අය විසින් කරන ප්‍රකාශයකි. බංකොලොත් භාවය යනු මූල්‍ය අවදානම් හා සම්බන්ධ අහිතකර මූල්‍ය ප්‍රතිඵලයක් බැවින්, එය මුදල් කළමනාකරණය  ආශ්‍රිත ගැටළුවක් ලෙස අර්ථකථනය කෙරේ. එනම්, ණය ගෙවීමට ප්‍රමාණවත් මූල්‍ය වත්කම් හෝ මුදල් ලැබීම් ප්‍රවාහයක් නොමැති බව යි. 

එහෙත්, ඕනෑම ආර්ථික ක්‍රියාකාරකමක් යනු මුදල් සහ අනෙක් සම්පත් සංයුතියක් කළමනාකරණය කෙරෙන ව්‍යවසායකි. එබැවින්, බංකොලොත් භාවය යනු හුදෙක් මුදල් ආශ්‍රිත ගැටළුවක් නොව, ව්‍යවසායක කළමනාකරණ ගැටළුවකි. ඕනෑම ආර්ථික ක්‍රියාකාරකමක් හෝ ව්‍යාපාරයක් සෘජුව හෝ වක්‍රව ණය මුදල් මත ක්‍රියාත්මක වන බව නොරහසකි. ඊට හේතුව, මුදල් යනු ණයවල ප්‍රතිඵලයක් වන බැවිනි.

බංකොලොත් භාවය යනු වෛරසයක් ලෙස පැතිරෙන ආර්ථික කළමනාකරණ රෝගයකි. ඊට හේතුව, ණය සහ ව්‍යාපාරික මුදල් ගනුදෙනු හරහා බොහෝ පාර්ශවයන් එකිනෙකට බැඳී සිටින බැවිනි. එබැවින්, යම් පාර්ශවයක බංකොලොත් භාවය යනු ඔහුට සම්බන්ධ පාර්ශවයන් රැසකට බංකොලොත් භාවය පැතිරීම යි. එය කිහිප දෙනෙකු අතර හෝ සමස්ත ආර්ථිකය හරහා හෝ සිදු විය හැකිය. 

පද්ධති අවදානම යනු එසේ ආර්ථිකය පුරා බංකොලොත් භාවය පැතිරෙන තත්ත්වයකි. 2022 අප්‍රේල් මස සිට ශ්‍රී ලංකා ආර්ථිකය පුරා ව්‍යාපාරික, කුටුම්බ සහ පුද්ගල බංකොලොත් රැල්ලක් පැතිරී යාමේ මූලය වූයේ පද්ධති අවදානම් හේතු කොට රජය බංකොලොත් වීම යි. මූල්‍ය හෝ බැංකු අර්බුදයන් හෝ බංකොලොත්වීම් හරහා ද ආර්ථිකයේ බංකොලොත් රැල්ලක් හට ගැනේ. ඊට හේතුව, ආර්ථිකයේ ණය ප්‍රවාහය සහ මුදල් නිෂ්පාදන දාමය හිරවීම යි.

බංකොලොත් භාවයට මූලික හේතුව සමස්ත නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ ලාභ දායිතාවය පිළිබඳ තිරසාර ඇස්තමේන්තු සහ කාර්යසාදන පසුවිපරම් නොමැතිව නිෂ්පාදන හෝ ව්‍යාපාරික කළමනාකරණය තුළින් හට ගන්නා අධික ණය බර යි. ව්‍යාපාරික අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස ණය නොලැබීම ද එක් සාධකයක් විය හැකිය. 

එබැවින්, බංකොලොත් භාවය යනු එකවර හට ගන්නා සිද්ධියක් නොව, යම් කාලයක් තුළ ගොඩ නැගෙන ව්‍යාපාරික මූල්‍ය තත්ත්වයකි. බංකොලොත් භාවය පිළිබඳ වාර්තාවන් අධ්‍යයනය කිරීමේ දී පැහැදිළි වන්නේ, ඕනෑ තරම් පෙර සංඥාවන් මුදල් ගනුදෙනු අවදානම් දත්තවලින් නිරූපනය වන බවත්, එම දත්ත සඟවා ක්‍රියා කිරීම හේතුවෙන් බංකොලොත් භාවය පතිත වන බවත් ය.

එබැවින්, බංකොලොත් ව්‍යාපාරයක් හෝ රජයක් විසින් ණය පැහැර හැර, පසුව ණය හිමියා සමඟ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුමකට එළඹීම තුළින් බංකොලොත් භාවයෙන් ඉවත් විය නොහැකිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මුල් ණය ගිවිසුම අනුව ණය ආපසු ගෙවීමට හැකි ව්‍යාපාරික හෝ නිෂ්පාදන තත්ත්වයක් නොමැති බව ණය කරු සහ ණය හිමියා යන දෙදෙනාම පිළි ගැනීම යි. එනම්, නිල ණය පැහැර හැරීමකි. 

එබැවින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වන්නේ ණය නැවත ක්‍රමානුකූලව ගෙවා ගෙන යාමට හැකි පරිදි ණය ගිවිසුම සහනදායී කිරීම යි. ඒ අනුව, ණය ගෙවීම නැවත ආරම්භ කිරීමට සහන කාලයක් දීම, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, පොලී අනුපාතය පහළ දැමීම සහ ණය මුදලින් යම් ප්‍රතිශතයක් කපා හැරීම යන සහනයන් සලකා බැලේ. 

එහෙත්, එය ව්‍යාපාර බංකොලොත් භාවයෙන් ගොඩ ඒමක් නොවේ. ඒ සඳහා ණය පැහැර හැරීමට ලක් වූ ව්‍යාපාරික මොඩලය ප්‍රතිසැකසිය යුතු අතර ඊට නව ණය ප්‍රවාහයක් ද අවශ්‍ය වනු ඇත. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කරණය හරහා පැරණි ව්‍යාපාරික මොඩලයම යාවත්කාලීන කිරීමෙන් සිදු වන්නේ බංකොලොත් භාවයෙන් ගොඩ ඒම නොව, එය තවත් කල් දැමීම යි.

ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය ද ඊට සමානය. රජය විසින් සිදු කරන්නේ, ණය පැහැර හැරීමේ/ප්‍රතිව්‍යුහගත කරණ සහනය මත තවත් කෙටි කාලීන විදේශ ණය ටිකක් ගෙන, විදේශ සංචිත ඉලක්කම නංවා, නැවත පැරණි විදේශ ණය - ආනයන ආර්ථික මොඩලය පණ ගැන්වීම යි. බංකොලොත් වූයේ එම මොඩලය යි. 

එබැවින්, දැන් අවශ්‍ය වන්නේ ආර්ථිකයේ මූර්ත අංශය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කෙරෙන නව ආර්ථික මොඩලයක් ඉදිරි දශකය තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩ පිළිවෙලක් සහිත ආර්ථික දර්ශනයකි. එහෙත්, එවැනි පෙළඹුමක් නොමැති අතර පැරණි ආර්ථික මොඩලය යාවත් කිරීම හරහා බංකොලොත් භාවය අවසන් බවට මහජනයා සතුටු කිරීමේ දේශපාලනික ව්‍යායාමයක් පමණක් දැකිය හැකිය.

ඉදිරි ආර්ථික ඉලක්ක සංඛ්‍යාවන් විශ්වාස දායක ද?

ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ආර්ථිකයේ ඉදිරි දශකය සහ ඉන් එහා කාර්යසාදනය පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන විවිධාකාර IMF සංඛ්‍යාවන්ගෙන් මාධ්‍යය පිරී ඇත. මේවා හුදෙක් ආර්ථික මූලධර්ම මත නොව IMF නිලධාරී උපකල්පනයන් මත සැකසුන පරිගණකගත සංඛ්‍යාවන් ය. එබැවින්, එම ඉලක්කම්වල විශ්වාසනීයත්වය හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණ ඉලක්කම් හෝ පිළිබඳ විග්‍රහයක් මෙහි ඉදිරිපත් නොකෙරේ.

ආර්ථික විද්‍යාව හෝ ආර්ථිකයන් පිළිබඳ ව මන්ද අවබෝධයක් හෝ තිබෙන ඕනෑම කෙනෙකු මෙම සංඛ්‍යාවන් දෙස බැලීමටත් පවා මැළි වෙයි. ඊට හේතුව, ගෝලීය භූ දේශපාලනික ආර්ථික ක්‍රියාශීලිත්වය තුළ ඕනෑම රටක ඉදිරි වසරේ ඉලක්කයන් පවා උඩු යටි කුරු විය හැකි බැවිනි. ශ්‍රී ලංකාව වැනි බංකොලොත් ආර්ථිකයන්ගේ ඉලක්කම් කුමක් වේ ද? යන්න දෙවියන්ගෙන් ම විමසිය යුතුය. රජයට අවශ්‍ය ඉලක්කම් සකසා ගත හැකිය. 

එහෙත්, ගැටළුව වන්නේ ඉදිරි පරම්පරාවගේ ජීවන මට්ටම කුමක් ද? යන්න එම ඉලක්කම්වලින් තහවුරු කළ නොහැකි බැවිනි. එබැවින්, මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කිසිවෙකු නොදන්නා ඉලක්කම් නොව, ආර්ථික වැඩපිළිවෙලක් සහිත ඉදිරි දර්ශනයකි.

අනෙක් ණය පැහැර හැර ඇති රටවල ප්‍රගතිය සහ 
බංකොලොත් භාවයෙන් මිදීම 

ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කරණය මහත් ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වුව ද, මෙය ඝානාව, සැම්බියාව සහ ඉතියෝපියාව වැනි අනෙක් රටවල ද රැල්ලට සිදු වන භූ දේශපාලනික ව්‍යාපෘතියකි. 

ඝානාව දැනටමත් ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත නිම කොට, ඩොලර් බිලියන 13 ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් සමඟ මූලික එකඟතාවයකට ද පැමිණි බව ජුනි 24 දින වාර්තා කරන ලදි. එහි 37% ක ණය කපා හැරීමක් ද අඩංගු බව වාර්තා විය. ශ්‍රී ලංකාව බොහෝ විට අනුගමනය කොට ඇත්තේ ඝානාව යි. එරට දැනට ඩොලර් බිලියන 30 ක පමණ විදේශ ණය පැහැර හැර ඇති බව වාර්තා වෙයි.

එහි, ඊළඟ පියවර වන්නේ ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතන වෙත ගොස් ණය ශ්‍රේණිය ඉහළ නංවා ගැනීම යි. ඔවුන් ද IMF ගෝලීය දාමයේ එක් පුරුකකි. නව වෙළෙඳපොළ ණය ගැනීම පිණිස ණය ශ්‍රේණිය අවශ්‍යය. එනම්, රටවල් බංකොලොත් කළ පැරැණි විදේශ ණය සූදුව නැවත ආරම්භ කිරීම යි.

සමහරුන්ට අනුව රට බංකොලොත් භාවයෙන් මිදී ඇත් ද? යන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කිව නොහැකි අතර එය තීරණය කරන්නේ ණය ශ්‍රේණි ආයතනයන් විසින් ඔවුන්ගේ ශ්‍රේණි හරහා ය. ණය ශ්‍රේණි ලබා දීම ද මූල්‍ය සේවා ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවට අනාගතයේ දී ණය ආපසු ගෙවීමේ හැකියාව ප්‍රවර්ධනය වන බවට දැක්වෙන තාක්ෂණික වාර්තාවන් සැකසීම හරහා ණය ශ්‍රේණිය ඉහළ දැමිය හැකිය. එය හුදෙක් මතයකි. එහෙත්, බංකොලොත් වූ ශ්‍රී ලංකා ආර්ථික මොඩලය නිසි ලෙස හිඟ වාරික සමඟ ණය ආපසු ගෙවිය හැකි ලෙස බංකොලොත් භාවයෙන් දැන් මිදී ඇති බව ප්‍රකාශ කිරීමට ණය ශ්‍රේණි ආයතනයන්ට නොහැකිය. 

එබැවින්, රට හෝ රජය බංකොලොත් භාවයෙන් මිදී ඇත් ද? යන්න තහවුරු කිරීමට ණය ශ්‍රේණි ආයතනයන්ට නොහැකිය. දැනට රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති කපා හැර ඇති රටක් බංකොලොත් භාවයෙන් ගොඩ එන්නේ කෙසේ ද? යන්න අර්ථීක විද්‍යාඥයන්ට නම් පැවසිය නොහැකිය. වත්මන් මහ බැංකු අධිපති විසින් ලෝක වැසියාගෙන් විදේශ මුදල් ආධාර යාඥා කළ ද ලැබුණේ නැත. එබැවින්, බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට විදේශ ආධාර ද බලාපොරොත්තු විය නොහැකිය.

සමාප්ත සටහන

  • ණය ප්‍රතිව්‍යුහගත කොට, නව විදේශ ණය ගෙන, බංකොලොත් වූ විදේශ ණය - ආනයන ආර්ථික මොඩලය නැවත යාවත්කාලීන කිරීම හරහා පොදුජනයාට තාවකාලික සතුටක් සැපයීම තිරසාර සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් නොවේ. ඊට හේතුව, ණය සහ ආර්ථිකය තිරසාර නොවන බැවිනි.

  • පොදුජන යහපතට අවශ්‍ය වන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉදිරියේ දී ආර්ථිකය සංවර්ධනය වන බවට පුරෝකථන සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම නොව, මූර්ත අංශය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ජනිත කෙරෙන රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති වැඩසටහනක් සහිත නව ආර්ථික කළමනාකරණ දැක්මක් ඉදිරිපත් කිරීම යි.

  • එය පසුගිය වසර 4 ක කාලයක් තුළ පොදුජනතාව විඳින ජීවන පිඩනයට වටිනාකමක් ගෙන දෙනු ඇත. එනම්, වැටීමෙන් පසු නිවැරදිව තිරසාර ලෙස නැගී සිටීමේ අවස්ථාව යි. ඒ සඳහා ඕනෑ තරම් අත්දැකීම් විදේශ රටවලින් කියවිය හැකිය.

  • මෙහි දී, අතිශය ලෙස කණගාටු විය යුතු යුත්තේ, රාජ්‍ය ණයවල සාර්ව ආර්ථික මෙහෙවර නොසලකා, ණය තව තවත් දේශපාලනික වින්දිතයෙකු බවට පත් කිරීම යි. මෙහි දිගු කාලීන සමාජ ආර්ථික උවදුර වන්නේ, සාර්ව ආර්ථික මූලධර්මයන් පිළිබඳ නිසි වැටහීමක් නොමැති දේශපාලනික නායකයන් ද වින්දිතයන් බවට පත් වීම යි.

  • එසේම, ණය ප්‍රතිව්‍යුහගත කරණය යනු මෑත අතීතයේ ණය ගැනීමේ වෘත්තියට පසුව එම බංකොලොත් නිලධාරීන්ගේ සූට් ආරක්ෂා කිරීමේ නව වෘත්තියකි. එහෙත්, අතීතයේ එසේ ණය ප්‍රතිව්‍යුහගත කළ කිසිම රටක් මෙතෙක් බංකොලොත් භාවයෙන් මිදී නැත. ඊට හොඳම උදාහරණය 2000 දශකය ආරම්භයේ දී සංවර්ධිත රටක්ව පැවති වත්මන් ආජන්ටිනාව යි. දැන් IMF ණය බේරීම සඳහා ආජන්ටිනාව IMF ණය සැපයෙන තත්ත්වයට පත් වී ඇත. එබැවින්, එකම බංකොලොත් නිලධාරී කණ්ඩායමක් විසින් කළමනාකරණය කෙරෙන ශ්‍රී ලංකා ආර්ථිකය මෙම ණය පැහැර හැරීම තුළින් ආශ්චර්යයන් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)






Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස