IMF ණයෙන් විදේශ සංචිතය ඉහළට! එය තිරසාර ද? රටට හිතවත් ද? වගකීම කාගේ ද?

ලිපියේ පසුබිම

දෙවන IMF ශ්‍රී ලංකා ණය උපදේශන වාර්තාව පසුගිය 12 දින IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කිරීමත්, ඒ අනුව, අද හෙට ලැබෙන ඩොලර් මිලියන 336 ක තෙවන ණය වාරිකයත්, පිළිබඳ ව සුභාශිංෂණ පණිවුඩයන් මාධ්‍යය පුරා විසිරී ඇත. එහි මූලික සතුට වන්නේ, ණය ඩොලර් මිලියන 336 මගින් මහ බැංකු විදේශ සංචිත ඉලක්කම ඉහළට එසවීම යි. රටේ විදේශ සංචිතය ලෙස සැලකෙන්නේ මහ බැංකු විදේශ සංචිතය යි.

මේ දිනවල ඉහළ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මුවග රැඳි ප්‍රිය වැකිය වන්නේ, රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ඥාණාන්විත ආර්ථික ප්‍රතිපත්ති හේතු කොට ආර්ථිකය නැවත වේගයෙන් ස්ථායිකරණය වන බව යි. ඊට ඉහළින්ම දක්වන ඉලක්කම් දෙකකි. 

එනම්, මේ වන විට විනිමය අනුපාතය ඩොලරය රුපියල් 300 පමණ දක්වා (2022 මැයි මස 370 සිට) පහළ යාම සහ මහ බැංකු විදේශ සංචිතය ඩොලර් බිලියන 5.4 දක්වා (2022 අප්‍රේල් මස ද්‍රවශීල සංචිතය ශුන්‍යයට ආසන්නයේ සිට) ඉහළ යාම යි. මෙම ඉලක්කම් දෙක එකිනෙකට බද්ධ ආර්ථික සිද්ධීන් දෙකකි.

පසුගිය මැයි 28 දින පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති පැවසූයේ, වාහන ආනයනය ක්‍රමානුකූලව ළිහිල් කිරීම වැදගත් බවත්, රජය විසින් වාහන ආනයන සීමාවන් ළිහිල් කරන්නේ නම්, ඊට ගැලපෙන පරිදි මහ බැංකු විදේශ සංචිතය කළමනාකරණය කර ගත හැකි බවත් ය (එම වීඩියෝව මෙතනින් නරඹන්න).

2022 ආර්ථික ප්‍රපාතයෙන් පසු ආර්ථිකයේ විදේශ මුදල් තත්ත්වය එතරම් ප්‍රකෘතිමත් වී ඇත්නම්, එය රටම සැමරිය යුතු ප්‍රවෘත්තියකි. ඊට හේතුව, පැහැර ඇති විදේශ ණය ද ගෙවා, වාහන ද ආනයනය කොට, නැවත සැපවත් ජාතියක් ලෙස ජීවත් වීමට පොදු මහජනයාට අවස්ථාව ලැබෙන බැවිනි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, ආර්ථික දත්ත සහ ප්‍රතිපත්ති ක්‍රමෝපායන් දෙස බලන විට එවැනි රටට හිතවත් දිගු කාලීන ගුණාත්මක විදේශ සංචිතයක් මහ බැංකුව හෝ රජය හෝ සතුව නොමැති බවට කෙටි කථාවක් ඉදිරිපත් කිරීම යි.

විදේශ සංචිතයක අරමුණ කුමක් ද?

සංචිතයක් යනු අර්බුදකාරී හෝ නැති බැරි අවස්ථාවක දී ජීවත් වීම සඳහා රැස් කෙරෙන දිගු කාලීන ඉතුරුම් අරමුදලකි. එය පුද්ගල සහ කුටුම්බ මෙන්ම රාජ්‍ය මූල්‍ය සාක්ෂරතාවයෙහි ද මූලික ඉගැන්වීමකි. රටේ පවතින නීතිය අනුව විදේශ මුදල් සංචිතය ගොඩ නැගීම සහ පවත්වා ගෙන යාම මහ බැංකුවේ වගකීමකි. 

රට සඳහා එවැනි සංචිතයන් පවත්වා ගෙන යාමට රජයට හෝ රාජ්‍ය බැංකුවලට හෝ විශේෂ නෛතික ප්‍රතිපාදනයන් නොමැත. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බලන විට රජය විසින් එවැනි විදේශ සංචිතයක් පවත්වා ගැනීමේ නෛතික වරදක් ද නොමැත.

එහෙත්, එවැනි විශේෂ රාජ්‍ය සංචිත ප්‍රතිපත්තියක් නොමැති බැවින් මහ බැංකු විදේශ සංචිතය රටේ විදේශ සංචිතය ලෙස සැලකේ.

මුදල් නීති පනත යටතේ මහ බැංකු විදේශ සංචිතයේ අරමුණු, ප්‍රමාණය, සංයුතිය සහ සංචිත ආරක්ෂණ සහ ප්‍රවර්ධන ප්‍රතිපත්ති මෙවලම් පිළිබඳ ව ප්‍රතිපාදනයන් රැසක් පැවතින.

එහෙත්, නව මහ බැංකු පනත යටතේ මහ බැංකුව විසින් විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විදේශ විනිමය වෙළෙඳාම සහ විදේශ සංචිතයක් පවත්වා ගැනීම පමණක් පිළිබඳ ව ප්‍රතිපාදනයන් පවතී. ඒ පිළිබඳ වූ විශේෂිත වගකීම් හෝ ජාතික ආර්ථික අරමුණු කිසිවක් දක්වා නොමැත. එබැවින්, වාණිජ බැංකුවක් මෙන් එම ගනුදෙනු කිරීමට මහ බැංකුවට අවස්ථාව පවතී.

එබැවින්, නව මහ බැංකු ස්වාධීනත්වය යටතේ විදේශ සංචිතය ද රටේ සංචිතයක් නොව, මහ බැංකු කළමනාකරුවන්ගේ අභිමතය පරිදි ඕනෑම දෙයක් සඳහා යොදා ගැනීමට නිදහස ඇති මුදල් බවට ද තර්ක කළ හැකිය. එය මෑත දී වාර්තා වූ අධි වැටුප් වර්ධකය වැනි ස්වාධීනත්වයකි. තම විද්වත් කාර්යමණ්ඩලයේ ජාත්‍යන්තර තරගකාරිත්වය සඳහා සංචිතයේ ඩොලර්වලින් වැටුප් ගෙවීමේ නෛතික බාධකයක් ද නොමැත.

වත්මන් මහ බැංකු විදේශ සංචිතයේ ගුණාත්මක භාවය කුමක් ද?   

නවතම මහ බැංකු දත්ත අනුව මහ බැංකු විදේශ සංචිතය ඩොලර් මිලියන 5,421 කි. ඉන් ඩොලර් මිලියන 1,500 ක් පමණ චීන මහ බැංකු මුදල් හුවමාරුවකි. එය දැනට වසර 3 ක පමණ කාලයක සිට ඇති උපයෝජනය කළ නොහැකි අක්‍රීය මුදලකි. ඩොලර් මිලියන 18 ක් පමණ IMF ගනුදෙනු ආශ්‍රිත මුදල් ය. ඒ අනුව, උපයෝජනය කළ හැකි සංචිතය ඩොලර් මිලියන 3,900 ක් පමණ වෙයි.

එම මුදල රැස් කර ගෙන ඇත්තේ ආර්ථිකයේ මූර්ත අංශය තුළින් ජනිත වූ විදේශ මුදල් ආදායම් අතිරික්තයකින් නොව, විදේශ මුදල් ණයට ගැනීමෙනි. 

  • ඉන් කොටසක් රජයට ලැබුණ ණය යි. IMF වැඩසටහනට අනුව 2023 වර්ෂයේ දී ඩොලර් මිලියන 663 ක ණය වාරිකයක් ද, ඩොලර් මිලියන 900 ක පමණ ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ණය මුදල් ප්‍රමාණයක් ද ලැබීමට නියමිත විය. සංචිතයට තවත් ඩොලර් මිලියන 336 ක් පමණ අද හෙටම IMF තෙවන ණය වරිකයෙන් ලැබෙනු ඇත. 

  • අනෙක් කොටස මහ බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු ණය සහ බැංකුවලින් ඩොලර් මිල දී ගැනීම හරහා රැස් කර ගෙන ඇත. 2023 දී එසේ රැස් කර ගත් ශුද්ධ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1,559 ක් ද, 2024 මේ දක්වා ඩොලර් මිලියන 1,900 ක් පමණ ද වෙයි. විදේශ මුදල් හුවමාරු ණය යනු ඉහළ පිරිවැයක් සහිත ඉතා කෙටි කාලීන ඩොලර් ණය ගිවිසුම් ය.

  • ද්විපාර්ශවීය රාජ්‍ය විදේශ ණය සේවාකරණය 2022 අප්‍රේල් 12 දින සිට පැහැර හැර ඇති බැවින් 2022 දී ඩොලර් මිලියන 2,800 ක පමණ විදේශ මුදල් ඉතිරියක් ඇස්තමේන්තු කොට ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිම වන තෙක්, එම ප්‍රමාණයෙන් විදේශ මුදල් ඉතුරුම් වාර්ෂිකව ඉහළ යනු ඇත. එය සංචිතයට පුදුම රැකවරණයකි.

එබැවින්, වත්මන් ඩොලර් මිලියන 3,900 ක් පමණ වන සත්‍ය විදේශ සංචිතය යනු සාමාන්‍ය මූල්‍ය සාක්ෂරතාවයට විෂය නොවන ඉතාමත් අවදානම්කාරී කෙටි කාලීන සංචිතයකි. 

2022 දී සංචිතය කඩා වැටෙන තෙක් ඊට අරමුදල් මහ බැංකුව විසින් සොයා ගනු ලැබුවේද, මෙවැනි කෙටි කාලීන රාජ්‍ය විදේශ ණය සහ මහ බැංකු විදේශ මුදල් හුවමාරු හරහා ය. එහි ප්‍රධාන මූලයන් වූයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ දේශීය බැඳුම්කර විදේශ ආයෝජකයන්ට අළෙවි කිරීම යනාදිය යි. 

2022 දී ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රපාතයට කඩා වැටුණේ, මෙම කෙටි කාලීන විදේශ ණය මත පදනම් වූ අවදානම්කාරී මහ බැංකු සංචිත ප්‍රතිපත්තිය හේතුවෙනි (ඒ පිළිබඳ විශේෂ ලිපියක් මෙතනින් කියවන්න)

ණය පැහැර හැරීම සහ වර්ෂ දෙකකට වඩා වැඩි කාලයක් ණය ප්‍රතිව්‍යුහගත කරණය ඇදී යාම හේතු කොට නුදුරු අනාගතයේ දී වෙළෙඳපොළ විදේශ ණය ලබා ගැනීමේ හැකියාවක් ද නොමැත. එබැවින්, උදම් අනන වත්මන් සංචිතය, 2022 ට පෙර සංචිතයට ද වඩා, දුර්වල සහ අවදානම්කාරී මෙන්ම අනාගතයක් නොමැති සංචිතයක් බව කිව යුතු නැත.

වාහන ආනයනයට සංචිතය වැය කිරීමේ ආර්ථික වාසි මොනවා ද?

  • ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව මහජනයාට ප්‍රදර්ශනය කිරීම

  • දේශීය වාහන ව්‍යාපාරය වර්ධනය කිරීම සහ එමගින් ආර්ථික වර්ධන සහ සේවා නියුක්ති ඉලක්කම් ඉහළ නැංවීම 

  • වාහන ආනයන මත වූ බදු හරහා  බදු ආදායම ඉහළ නැංවීම

  • දැනට අවපාතයකට මුහුණ දී ඇති බැංකු ණය වර්ධනය වාහන ණය තුළින් ඉහළ නංවා, බැංකු ලාභ ඉහළ නැංවීමේ හැකියාව 

වාහන ආනයනයට අවශ්‍ය විදේශ මුදල් සැපයීමට ප්‍රමාණවත් විදේශ මුදල් අතිරික්තයක් වාණිජ බැංකු වෙත නොමැති නම්, වාහන ආනයන සඳහා විදේශ මුදල් ඉල්ලුම ඉහළ යාම තුළින් විනිමය අනුපාතය ඉහළ යනු ඇත. එය අහිතකර ඉහළ යාමක් නම්, එය පාලනයට අවශ්‍ය ඩොලර් තම විදේශ සංචිතයෙන් වෙළෙඳපොළට සැපයීමට මහ බැංකුවට සිදු වනු ඇත. ඊට අනුකූලව, දේශීය මුදල් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ගැලපුම් කිරීමට ද මහ බැංකුවට සිදු වනු ඇත. එය, ආර්ථිකයේ සංචිත මුදල් පහළ යාම වැලැක්වීමටත්, වාහන ණය ප්‍රසාරණය තුළින් හට ගන්නා සංචිත මුදල් ඉල්ලුම සැපිරීමටත් අවශ්‍ය වනු ඇත. එසේ විනිමය අනුපාතය කෙරෙහි බලපෑමක් නොවේ නම්, විදේශ සංචිතයට බලපෑමක් නොවේ. එය බලාපොරොත්තු විය හැක්කේ, අපනයන සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම හරහා වාහන ආනයන ඉල්ලුම පියවීමට හැකි  විදේශ මුදල් අතිරික්තයක් බැංකු වෙත ලැබේ නම් පමණි.

එහෙත්, ආර්ථිකය දැනට ගිරයට හසු වූ පුවක් ගෙඩිය මෙන් හිර වී ඇත්තේ විදේශ ණය පැහැර හැරීම හේතුවෙනි. එබැවින්, වාහන ආනයනය සඳහා විදේශ සංචිතය කළමනාකරණය කර ගත හැකි බවට මහ බැංකු අධිපතිට හොඳ විශ්වාසයක් පවතී නම්, වාහන ආනයනයට වඩා, මෙතෙක් පැහැර හැර ඇති විදේශ ණය වාරික පළමුව ආපසු ගෙවීමට විදේශ සංචිතය යෙදවීම ආර්ථිකයේ තිරසාර ස්ථායිකරණයක් සඳහා වඩාත් හිතකර වනු ඇත. 

එය අවබෝධ කර ගැනීමට ලෝක ආර්ථික විද්‍යා උපාධි අවශ්‍ය නොවේ. වාහන ආනයනයෙන් ආර්ථික ස්ථායිකරණයට වන සෙත කුමක් ද? යන්න සංඛ්‍යා සහිතව මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් විසින් තවම ඉදිරිපත් කොට නොමැත. 

නිගමනය          

  • මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ පරිදි වාහන ආනයනය ඉලක්ක කොට, විදේශ සංචිතයෙන් මුදල් බැංකු වෙත මුදා හැරීමට හැකි විශේෂ ප්‍රතිපාදනයන් මහ බැංකු පනතේ නොමැත. එය මුදල් නීති පනත යටතේ කළ හැකිව තිබිණ. එහෙත්, නීති කඩා හෝ වසා ක්‍රියා කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. උදාහරණ ලෙස 2022 දී විදේශ සංචිතය කඩා වැටී ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටුණේ, මහ බැංකුව විසින් මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්ට පිටින් විදේශ සංචිතය කළමනාකරණය කිරීම හේතුවෙනි.

  • මෙහි දී, නැගෙන පොදුජන මැසිවිල්ල වන්නේ බංකොලොත් ආර්ථිකයක වාහන ආනයනය කරන්නේ, කුමන ජන කොටසකගේ යහපත සඳහා ද? යන්න ය. තම ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා වාහන මිල දී ගැනීමට හැකි රැකියා සහ ආදායම් මට්ටමක් බහුතර ජනයාට නොමැති බව සරල ආර්ථික දත්තයකි.

  • කරුනු දෙස බලන විට පෙනී යන්නේ, 2022 දී ආර්ථිකය කඩා දැමු පැරණි විදේශ මුදල් සංචිත සූදුව මහ බැංකුව විසින් නැවත ආරම්භ කොට ඇති බව යි. වත්මන් සංචිතය එහි ප්‍රතිඵලයකි.

  • විදේශ සංචිතය යනු ගෝලීය ආර්ථිකයක් තුළ ජාතික ආරක්ෂාවට අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත්, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආර්ථික පරිවර්තන පනතෙහි මහ බැංකු විදේශ සංචිතය පිළිබඳ ව ව්‍යවස්ථාපිත ඉලක්කයන් අඩංගු නොවේ. දැනට පෙරමුණේ දියුණු වන රටවල ආර්ථික පරිවර්තනයන් කරනු ලැබුවේ, විදේශ අතිරික්තයක් මත දිගු කාලීන සංචිතයක් ගොඩ නැගීමේ අරමුණු සහ ඉලක්කයන් මත ය. එබැවින්, ශ්‍රී ලංකාවේ මහ බැංකු ප්‍රතිපත්ති කාර්ය සාදනය ද ඇතුළත් වූ එවැනි සාර්ව ආර්ථික උපාය මාර්ගයක් සහ දැක්මක් යෝජිත ආර්ථික පරිවර්තන පනතෙහි නොමැති බැවින්, සමස්ත ආර්ථික පරිවර්තනයම දින කිහිපයකින් බිඳ වැටීමේ අවදානමක් වත්මන් නිදහස් මහ බැංකු සංචිත කළමනාකරණය තුළින් දිස් වෙයි. ඊට හොඳම උදාහරණය වන්නේ, නිදහසින් පසු වසර 75 ක් තුළ විවිධ රැඩිකල් පරිවර්තනයන් හරහා ගොඩ නැගු ආර්ථිකය, 2022 අප්‍රේල් මාසයේ දී මහ බැංකු ද්‍රවශීල සංචිතය ශුන්‍යයට කඩා වැටීමෙන් ප්‍රපාතයට ඇද හැළීම යි. එබැවින්, චීනය ඇතුළු බොහෝ රටවල විදේශ සංචිතය රජයේ ප්‍රතිපත්ති පාලනයට යටත් වෙයි. එවැනි විදේශ සංචිතයක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කොට ඇති මූලික ආර්ථික අයිතිවාසිකම් නූතන ගෝලීය ආර්ථිකයක් තුළ මහජනයාට ප්‍රදානය කිරීමට හැකි ආර්ථික පරිවර්තනයක් දියත් කිරීමට රජයට කිසිම ප්‍රයෝගික හැකියාවක් නොමැත.

  • ඊයේ දින (ජුනි 12 දින) IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිගමනය කොට ඇත්තේ, ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව පවතින බවත්, ණය තිරසාරභාවය කරා යන මාවත පිහි තුඩක් උඩ පසුවෙන බවත් ය. එසේ නම්, විදේශ මුදල් අර්බුදයෙන් පෙළෙන ශ්‍රී ලංකාවේ විදේශ සංචිතයේ ගුණය සහ ආරක්ෂාව ජාතික ආර්ථික ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛත්වය ගත යුතුය. එය සාර්ව ආර්ථික කළමනාකරණ කරුනක්  මිස, මහ බැංකුව දක්ෂ ක්‍ෂුද්‍ර ආර්ථික කළමනාකරණ කරුනක්  නොවේ.

  • මහ බැංකුවක් යනු ආර්ථිකයක දිගු කාලීන තිරසාර ස්ථායිතාවය සහ ස්ථායිකරණය සඳහා මුදල් සහ බැංකු නියාමන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඒකාධිකාරී ජාතික ආයතනයකි. එබැවින්, විදේශ ණය පැහැර හැර, නව වාණිජ ණය කිහිපයක් හරහා ගොඩ නගා ඇති ඩොලර් බිලියන 4 ක මහ බැංකු සංචිතයකින් වාහන ආනයනයට ද මුදල් ලබා දී සංචිතය කළමනාකරණය කළ හැකි පවසන වත්මන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව රටට අවශ්‍ය තිරසාර ස්ථායිතා මහ බැංකුවක් නොවන බවට සැකයක් නැත.

එබැවින්, ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොදුජනයාගේ දිගු කාලීන ආරක්ෂාවට හිතකර විශ්වාසී විදේශ සංචිතයක් අප රටට නොමැති බව කිව හැකිය. ඊට අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීම රජයේ හදිසි වගකීමකි. එය ආර්ථික ඉලක්කම් සැකසීමෙන් කළ නොහැකිය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)



Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස