ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රවණතාවන් - ඉන් පොදුජන ඵලයක් තිබේ ද? පරීක්ෂා කරමු

මේ දිනවල මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කිරීමත්, එමගින් ආර්ථිකය බලා සිටිය දී ගොඩ එන බවත් පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන විචිත්‍ර අදහස්වලින් මාධ්‍යය පිරී පවතී. ඊට පෙර 2022 ආරම්භයේ සිට 2023 මැයි මස පමණ දක්වා මාධ්‍යය පිරී පැවතියේ අධිඋද්ධමනකාරී පීඩනයෙන් ආර්ථිකය මුදවා ගැනීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ විචිත්‍රාකාර ඉදිරිපත් කිරීම යි. 

එහෙත්, ජපානය සහ චීනය හැර සියළු සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරා රටවල 2022 ආරම්භයේ සිට මහ බැංකු විසින් එම රටවල් මුහුණ දෙන අධිඋද්ධමනය පාලනය කිරීම සඳහා තම මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ කථාන්දරයෙන් ගෝලීය මාධ්‍යය පිරී පවතී. එම රටවල මූල්‍ය ප්‍රතිපත්ති නුදුරු අනාගතයේ දී නැවත ළිහිල් කිරීමේ වකවානු පිළිබඳ ව ද නොයෙකුත් අදහස් ද නොඅඩුව දැකිය හැකිය. මෙසේ මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සහ ඊට පසුව ළිහිල් කිරීමේ රටාව මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රය ලෙස දැක්වෙයි.

එබැවින්, මෙම ලිපිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රය කොටස් දෙකකින් ඉදිරිපත් කෙරේ. එහි පළමු කොටස ලෙස මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රයේ ස්වරුපය එහි උපකරණ සමඟ ඉදිරිපත් කෙරේ. ඊළඟ කොටසින් මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රයෙහි සාර්ව ආර්ථික බලපෑම ඉදිරිපත් කෙරේ.

මෙම පළමු ලිපිය උප කොටස් දෙකකින් යුක්ත වෙයි. එනම්, 2021 අගෝස්තු සිට 2023 මැයි දක්වා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගය සහ 2023 ජුනි සිට එය නැවත ළිහිල් කිරීමේ ක්‍රියාමාර්ගය යි.

මෙම ක්‍රියාකාරකම් සඳහා මහ බැංකුව විසින් භාවිතා කොට ඇති ප්‍රතිපත්ති මෙවලම් කිහිපයකි. එනම්,

  • නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යන ප්‍රතිපත්ති පොලී අනුපාතයන් (ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව)
  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය

  • විනිමය අනුපාතය

  • විවට වෙළෙඳපොල ගනුදෙනු

  • උපරිම බැංකු ණය පොලී අනුපාතයන් පැනවීම

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තියේ පදනම වන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව සහ නිත්‍ය පහසුකම් හරහා අන්තර් බැංකු එක් දින ණය අනුපාතය ඊට අනුකූල ලෙස කෙටිකාලීන වෙළෙඳපොළ ද්‍රවශීලතාවය නියාමනය/පාලනය කිරීම යි. ඊට උපකාරී වීමට අවශ්‍ය අවස්ථාවල අනෙකුත් ප්‍රතිපත්ති මෙවලම් භාවිතා කෙරේ.

මෙම ලිපි පෙළ විශේෂයෙන් අපොස උ.පෙළ සහ ඉහළ විභාගයන් සඳහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම ගුරුවරුන්ට සහ සිසුන්ට සැපයීම ඉලක්ක කෙරේ. එබැවින්, ලිපි පෙළ මගින් මූල්‍ය න්‍යායයන්ගෙන් ඔබ්බට ගොස් මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් සහ ප්‍රවණතාවන්ගෙන් සමස්ත ආර්ථිකයට සහ පොදුජනයාට ඇති වැදගත්කම ප්‍රයෝගිකව අවබෝධකර ගැනීමට උපකාරී වනු ඇත.

මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ කාලය 

මෙම කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීම, විනිමය අනුපාතය නියම කිරීම, නිත්‍ය පහසුකම් සීමා කිරීම, උපරිම බැංකු ණය පොලී අනුපාතයන් ඉවත් කිරීම සහ බැංකු තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දැමීම යන මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් දින 11 ක දී තීරණය කළ අතර දැඩි මූල්‍ය ප්‍රතිපත්ති කාලපරිච්ඡේදය මාස 22 ක් පමණ විය. 

මෙම කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 15.5%-16.5% දක්වා සය වරක දී මුළු වශයෙන් 11% කින් ද, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය එක්වරක දී 4% දක්වා 2% කින් ද ඉහළ දැමීම දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන උපණතිය විය.

ප්‍රතිපත්ති මෙවලම් සහ තීරක දිනයන් පහත දැක්වෙයි.

1. 2021 අගෝස්තු 18

  • ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.50% කින් 5.00%-6.00% දක්වා ඉහළ දැමීම
  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් 4% දක්වා ඉහළ දැමීම

2. 2022 ජනවාරි 20

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 0.50% කින් 5.50%-6.50% දක්වා ඉහළ දැමීම

3. 2022 මාර්තු 04

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 1% කින් 6.50%-7.50% දක්වා ඉහළ දැමීම

4. 2022 මාර්තු 07

ඩොලරය සඳහා රුපියල් 198.50-203 ක් ලෙස මහ බැංකුව විසින් නියම කොට තිබූ ස්ථාවර විනිමය අනුපාතය අවලංගු කොට විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේග මගින් තීරණය වීමට ඉඩ හැරීම 

5. 2022 අප්‍රේල්  08

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 7% කින් 13.50%-14.50% දක්වා ඉහළ දැමීම

6. 2022 අප්‍රේල් 21

පොලී අනුපාතයන් ඉහළ දැමීමේ බැංකු විධානයක් නිකුත් කිරීම

  • බැංකු වෙත තැන්පතු ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීමට අනුකූලව තැන්පතු පොලි අනුපාතයන් ඉහළ දැමීමට නියම කිරීම

  • එතෙක්, මහ බැංකුව විසින් 2020 අගෝස්තු මස 21 දින නියම කරන ලදුව පැවති උපරිම ණය පොලී අනුපාතයන් වූ ණය කාඩ්පත් සඳහා 18%, පූර්ව අනුමත අයිරා සඳහා 16%, උගස් ණය සඳහා 10% සහ හිඟ ණය දඬුවම් පොලී අනුපාතය 2% යනාදිය ඉවත් කොට ඕනෑම ණය පොලී අනුපාතයක් අය කිරීමට පොදු අවසරය දීම

7. 2022 මැයි 13

අන්තර් බැංකු වෙළෙඳපොළ තැන් විනිමය ගනුදෙනු සඳහා ඩොලරයේ මධ්‍ය විනිමය අනුපාතය රුපියල් 360 ක් ලෙස ගෙන, ඒ මත රුපියල් 2.60 ක පරාසයක විනිමය වෙළෙඳ ගනුදෙනු කරන ලෙස බැංකු වෙත මාර්ගෝපදේශ විනිමය අනුපාතයක් නියම කිරීම 

8. 2022 ජුලි 07

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 1 කින් 14.50%-15.50% දක්වා ඉහළ දැමීම

9. 2023 ජනවාරි 07

2023 ජනවාරි 16 දින සිට බලපැවැත්වෙන පරිදි ඕනෑම බැංකුවක් සඳහා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මාසයකට උපරිම දින 5 කට ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය ඕනෑම දිනක ණය ගනු ලබන බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය මෙන් උපරිම 90% කට ද සීමා හෝ සලාක කිරීම. 

මින් බැංකු විසින් තම දෛනික අතිරික්ත මුදල් මහ බැංකුවේ නිත්‍ය තැන්පතුවල ආයෝජනය කිරීම සීමා වීම හරහා අන්තර් බැංකු ණය වෙළෙඳපොළ ක්‍රියාශීලී කිරීමත්, එමගින් මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළ යාමත් මහ බැංකුවේ අරමුණ බව වාර්තා විය.

10. 2023 මාර්තු 03

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 1 කින් 15.50%-16.50% දක්වා ඉහළ දැමීම

11. 2023 මාර්තු 07

2022 මැයි 13 දිනැති විනිමය අනුපාත මාර්ගෝපදේශය ඉවත් කොට විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ හැරීම 

මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කිරීමේ කාලය 

දැනට මාස 3 හමාරක් පමණ වන මූල්‍ය ප්‍රතිපත්ති ළිහිල් කිරීමේ කාලපරිඡේදය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීම සහ උපරිම බැංකු ණය පොලී අනුපාතයන් නියම කිරීම යන ප්‍රතිපත්ති මෙවලම් තුන අනුගමන කොට ඇති අතර ඒ පිළිබඳ තීරක දින 4 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙම කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 11%-12% දක්වා දෙවරක දී මුළු වශයෙන් 4.5% කින් ද, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය එක්වරක දී 2% දක්වා 2% කින් ද පහළ දැමීම ළිහිල් මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන උපණතිය විය.

මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් හුදු අභිමතය පරිදි ක්‍රියාත්මක කෙරෙන බැවින් ළිහිල් ප්‍රතිපත්ති කාලපරිච්ඡේදය කොපමණ කාලයක් පවතී ද? යන්න අනාවැකි පැවසීම අසීරු වෙයි. එහෙත්, පසුගිය මාස 22 ක දැඩි ප්‍රතිපත්ති කාලපරිච්ඡේදය සහ පරිමාව මෙන්ම වත්මන් ආර්ථිකයේ පවතින අවපාතය සහ සම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපත්ති මූලධර්මය දෙස බලන විට මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් ඉදිරියේ දී තවත් බොහෝ පරිමාවකින් ළිහිල් විය යුතු අතර ළිහිල් ප්‍රතිපත්ති කාලපරිච්ඡේදය ඊළඟ උද්ධමන රැල්ල හට ගැනීමට පෙර අවම වශයෙන් මාස 24 ක් පමණ පැවතිය යුතුය.

2007/09 මූල්‍ය අර්බුදයෙන් සංවර්ධිත රටවල හට ගත් ආර්ථික පසුබැස්මෙන් ගොඩ ඒමට උපකාරී වීම පිණිස එම රටවල මහ බැංකු විසින් ශුන්‍යයට ආසන්න හෝ සෘණ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සහිත අතිළිහිල් මූල්‍ය ප්‍රතිපත්ති දශකයක පමණ කාලයක් තුළ පවත්වා ගෙන ගිය බවට වාර්තා වෙයි.

මේ දක්වා මාස තුන හමාර තුළ අනුගමනය කළ ළිහිල් ප්‍රතිපත්ති මෙවලම් සහ තීරක දිනයන් පහත දැක්වෙයි.

1. 2023 ජුනි 01

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 2.5 කින් 13.00%-14.00% දක්වා පහළ දැමීම

2. 2023 ජුලි 06

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 2 කින් 11.00%-12.00% දක්වා පහළ දැමීම

3. 2023 අගෝස්තු 08

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් 2% දක්වා පහළ දැමීම. මින් රුපියල් බිලියන 200 ක පමණ මූළු සංචිත මුදලක් බැංකු පද්ධතිය වෙත නිදහස් කෙරෙන බවට වාර්තා විය.

4. 2023 අගෝස්තු 25

උපරිම පොලී අනුපාතයන් නියම කිරීමේ බැංකු විධානයක් නිකුත් කිරීම

  • උපරිම ණය පොලී අනුපාතයන් ලෙස ණය කාඩ්පත් සඳහා 28%, පූර්ව අනුමත අයිරා සඳහා 23%, උගස් ණය සඳහා 18% සහ හිඟ ණය දඬුවම් පොලී අනුපාතය 2% යනාදිය ඉවත් කොට ඕනෑම ණය පොලී අනුපාතයක් අය කිරීමට පොදු අවසරය දීම

  • දැනට 13.5% ට වඩා ඉහළ පොලී අනුපාතයන්  සහිත අනෙක් ණයවල පොලී අනුපාතයන් 2023 ඔක්තෝබර් මස 31 දිනට පෙර 2.50% කින් ද, 2023 දෙසැම්බර්මස 31 දිනට පෙර තවත් 1% කින් ද පහළ දැමීමට නියම කිරීම
විවට වෙළෙඳපොළ මුදල් මුද්‍රණය

ඉහත දැක්වූ ප්‍රතිපත්ති මෙවලම්වලට අමතරව මහ බැංකුව විසින් තම මුදල් මුද්‍රණය කිරීම සඳහා වත්කම් අත්කර ගැනීමේ ගනුදෙනු ද ඉහත දැක්වූ කාලපරිච්ඡේදයන් දෙකම තුළ සිදු කොට ඇත. මෙහි දී, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව පවත්වා ගැනීමට අදාළ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය ගනුදෙනුවලට අමතරව මහ බැංකුව විසින් ද්විතීය වෙළෙඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් ගිවිසුම් සහ ප්‍රාථමික වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම යනාදිය හරහා මුදල් මුද්‍රණයේ හෝ සංචිත මුදල් නිකුත් කිරීමේ යෙදී ඇත. 

ප්‍රතිවිකුණුම් ගිවිසුම් යනු රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත බැංකුවලට ඉතා කෙටිකාලීන ණය සැපයීමේ මෙවලමකි. මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සිදු කෙරෙන්නේ රජයට කෙටිකාලීන ණය සැපයීම සඳහා ය. මෙම ගනුදෙනු විවට වෙළෙඳපොළ මෙවලම ලෙස ද හැඳින්වෙයි.

මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රවණතාවය 

මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රවණතාවය මූලික වශයෙන් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව, අන්තර් බැංකු එක්දින ණය පොලී අනුපාතය, විනිමය අනුපාතය, විවට වෙළෙඳපොළ පරිමාව (නිත්‍ය පහසුකම් සහ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම) සහ සංචිත මුදල් හෙවත් සමස්ත මුදල් මුද්‍රණය යනාදියේ ප්‍රවණතාවයන් දෙස බැලීමෙන් විග්‍රහ කෙරේ. 

ඉහත දැක්වූ මුළු කාලපරිච්ඡේදයට අදාළ එම ප්‍රවණතාවන් දැක්වෙන රුපසටහන් හතරක් පහත දැක්වෙයි.

  • ප්‍රතිපත්ති පොලී අනුපාත ප්‍රවණතාවන් 


  • විවට වෙළෙඳපොළ ගනුදෙනු ප්‍රවණතාවන්

  • විනිමය අනුපාත ප්‍රවණතාවන්

  • සංචිත මුදල්/මුදල් මුද්‍රණ ප්‍රවණතාවන්


මෙම ප්‍රවණතාවන් සහ මූල්‍ය ප්‍රතිපත්තියෙන් පොදුජනතාවට ඇති සාර්ව ආර්ථික වැදගත්කම පිළිබඳ කෙටි විග්‍රහයක් ඊලඟ කොටසින් ඉදිරිපත් කෙරේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි