ආර්ථික අඳුරෙන් ගොඩ ඒමට - ආර්ථික මූලධර්මයන් උගනිමු. ආර්ථික මිථ්‍යාවන් පිටුදකිමු. ආර්ථිකය කළමනාකරණය කරමු.


 
ඉහත පින්තූරය යනු මා විසින් මෑත දී රචිත ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 6 ක් පිළිබඳ ව පසුගිය සැප්තැම්බර් 5 දින ලංකාදීප පුවත්පතේ පළ වූ අළෙවි දැන්වීමේ පිටපත යි. එබැවින්, මෙම කෙටි ලිපිය මගින් එම ග්‍රන්ථයන් 6 හි විෂය කරුනු ඉදිරිපත් කොට ඇති පදනම පිළිබඳ ව පෙරවදනක් සැපයෙ යි. එය එම ග්‍රන්ථයන් පරිශීලනයේ දී  වැදගත් වනු ඇත.

ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

ආර්ථිකයක් යනු වෙළෙඳපොළ පද්ධතියක් සහ ඒ කෙරෙහි රජය මැදිහත්වීමක් තුළින් නිෂ්පාදන ක්‍රියාකාරකම් සිදුවන වපසරිය යි. භාණ්ඩ හා සේවාවන් සහ නිෂ්පාදන සාධක (වත්කම් සහ ණය ඇතුළුව) වෙළෙඳාම සඳහා වෙළෙඳපොළ පද්ධතිය ක්‍රියාත්මක වන අතර නූතන ගෝලීයකරණය තුළ එය දේශ සීමාවන්ගෙන් ඔබ්බට ව්‍යාප්ත වී ඇත. ගෝලීය ආර්ථිකයක් පිළිබඳ ව අප කථා කරන්නේ එබැවිනි.

  • වෙළෙඳපොළක් යනු ඉල්ලුම්  සහ සැපයුම්  බලවේගයන් මත මිල වෙනස්වීම හරහා ඉල්ලුම් සහ සැපයුම් තුලනය වීමේ ප්‍රවණතාවක් පවතින වෙළෙඳ ක්‍රියාවලිය යි. 

  • රාජ්‍ය මැදිහත්වීම යනු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය හරහා රජය විසින් විවිධ පරිමාණයෙන් විවිධ වෙළෙඳපොළවල සැපයුම, ඉල්ලුම සහ මිල කෙරෙහි බලපෑම තුළින් වෙළෙඳපොළ පද්ධතිය කෙරෙහි මැදිහත්වීමේ ක්‍රියාවලිය යි. එම ක්‍රියාවලිය පුළුල් වශයෙන් බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය, රාජ්‍ය ව්‍යවසායන් සහ වෙළෙඳපොළ නියාමනයන් හරහා සිදුවෙයි. එය මහජනයාගේ ජීවන සහ සමාජීය සුභසාදනය ඉහළ නැංවීම සඳහා යෝග්‍ය බවට වත්මන් රජය පිළිගන්නා සංකල්පයන් මත සිදු කෙරේ. සාර්ව ආර්ථික කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ මෙම රාජ්‍ය මැදිහත්වීමේ ක්‍රියාවලිය යි.
එබැවින්, ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ  කුටුම්බ, ව්‍යාපාරික ආයතන සහ රජය හරහා පුද්ගලයන් දේශීය සහ විදේශීය වශයෙන් එකිනෙකට බැඳී ඇති නිෂ්පාදන දාමයක් ලෙස ය. ආර්ථික අර්බුදයන් ලෙස හැඳින් වෙන්නේ මෙම දාමයේ යම් යම් පද්ධති වැදගත්කමක් සහිත පුරුක් අවහිර වීමෙන් හෝ අක්‍රීය වීමෙන් හෝ බිඳී යාමෙන් හට ගන්නා සමස්ත ආර්ථික සහ සමාජීය කම්පනයන් ය. 

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ද එවැනි දාම පුරුක් බිඳී යාමකි. වර්තමානයේ දී අප සියළු දෙනා විවිධාකාර ජීවන ගැටළුවලට මුහුණ දීමට හේතුව එය යි. සාර්ව ආර්ථික කළමනාකරණයේ හුදු අරමුණ වනුයේ එවැනි කම්පනයන් වලක්වා ආර්ථිකය ස්ථායීව පවත්වා ගෙන යාම යි.

එබැවින්, ඕනෑම ආර්ථික කම්පනයක් පිළිබඳ ව පොදුජනයා විසින් රජයට දොස් නැගීමේ අසාධාරණයක් නොමැත. එබැවින්, රජය විසින් තම කාර්යය ඉටු නොකොට ඕනෑම ආර්ථික කම්පනයක් පිළිබඳ ව වෙළෙඳපොළවලට හෝ මහජන කොටස්වලට දොස් පැවරීම අසාධාරණය. මෙහි දී, සාර්ව ආර්ථික කළමනාකරණයේ වැරදි ද පොදුජනයා පිටට පවරනු ඇත. එවැනි රජයන් ඉක්මනින් විශ්‍රාම ගැන්වෙන බව සාමාන්‍ය අත්දැකීම යි.

ආර්ථික විද්‍යා විෂයේ ස්වරුපය

ආර්ථික විද්‍යා විෂය මූලික වශයෙන් වෙළෙඳපොළ පද්ධතිය සහ රාජ්‍ය ආර්ථික මැදිහත්වීම පිළිබඳ ව මූලධර්මයන් මත පදනම් වූ විග්‍රහයන් ඉදිරිපත් කිරීමට සැකසී ඇත. ඕනෑම විෂයක මූලධර්මයන් මූලික වශයෙන් සැබෑ ලොව පවතින සංකීර්ණත්වය ඉවත් කිරීම සඳහා කෙරෙන උපකල්පනයන් මත පදනම් වී ගොඩ නැගී ඇත. ඒ අනුව, ආර්ථික විද්‍යා මූලධර්මයන් මගින් වෙළෙඳපොළ සහ රාජ්‍ය හැසිරීම සහ එහි ආර්ථික ප්‍රතිඵලයන් පිළිබඳ ව උපකල්පනයන් මත පදනම් වූ අනාවැකි හෙවත් න්‍යායන් ඉදිරිපත් කෙරේ. 

එබැවින්, ආර්ථිකයක සැබෑ ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම සහ විග්‍රහ කිරීම හුදෙක් ආර්ථික විද්‍යා මූලධර්මයන් පමණක් මත සිදු කිරීම දෝෂ සහිත වෙයි. ඊට හේතුව, මහජනයාගේ සැබෑ ආර්ථික හැසිරීම සංකීර්ණ වෙළෙඳපොළ සාධකයන් සහ අනේකවිධ රාජ්‍ය මැදිහත්වීම් මධ්‍යයේ තීරණය වන බැවින් උපකල්පනයන් අදාළ නොවීම යි. 

එබැවින්, සැබෑ හෙවත් ප්‍රයෝගික විග්‍රහයන් සිදු කෙරෙන විෂය අංශයක් ද ආර්ථික විද්‍යා විග්‍රහයන්හි දැකිය හැකිය. මෙහි දී, එම විග්‍රහයන්ට මූලික ගැටළු දෙකකට මුහුණ දීමට සිදුවෙයි. 

  • පළමුව, ආර්ථික තුළ පවතින අනේකවිධ රාජ්‍ය මැදිහත්වීම් සහ එහි ප්‍රතිඵල පිළිබඳ දැනුම නොමැතිවීම. 

  • දෙවනුව, ආර්ථිකයේ විවිධ වෙළෙඳපොළවල සහ රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත නොමැතිවීම සහ දැනට පවතින බොහෝ දත්ත රජය විසින් ඒක පාර්ශවීය සපයන දත්ත වීම.

එබැවින්, බොහෝ ශාස්ත්‍රීය ආර්ථික විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විග්‍රයහයන් බොහෝ දුරට ආර්ථික විද්‍යා මූලධර්මයන් මත පදනම්වීම දැකිය හැකිය. එහෙත්, රාජ්‍ය අංශය තුළ සේවය කිරීම හරහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි නියැලී පළපුරුදු විද්වතුන් සතුව බොහෝ ප්‍රයෝගික ආර්ථික දැනුමක් පවතින අතර ශාස්ත්‍රීය විග්‍රහයන්වල පවතින විෂය දෝෂයන් හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇත.

එබැවින්, ආර්ථික විද්‍යාඥයන්ගේ විද්වත්භාවය විය යුත්තේ හුදෙක් මූලධර්මවලට සීමා නොවී, ස්වාධීන ආර්ථික පර්යේෂණ ක්‍රියාවලියක් හරහා ප්‍රයෝගික විග්‍රහයන් ඉදිරිපත් කිරීම යි. ආර්ථික විද්‍යා විෂයේ ස්වරූපය සහ ව්‍යාප්තිය දෙස බලන විට එම විග්‍රහයන් එකිනෙකට සමාන විය යුතු නැත. එහි වැදගත්කම වන්නේ ආර්ථිකයේ සැබෑ ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීමට උපකාරී වන තොරතුරු විවිධ පැතිකඩයන් හරහා ඉදිරිපත් වීම යි.

මා විසින් රචිත ආර්ථික විද්‍යා ග්‍රන්ථයන්හි විෂය පදනම 

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ පෙර සඥාවන් පෙනි පෙනී මා විසින් 2020-2021 කාලය තුළ රචිත, සරසවි පොත්හළෙන් නිකුත් කරන ලද ආර්ථික විද්‍යා පොත් 5 සහ ආර්ථික අර්බුදය අත්දැක රචනා කොට පසුගිය දා නිකුත් කරන ලද "2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය" පොත මගින් වෙළෙඳපොළ පද්ධතිය සහ රාජ්‍ය මැදිහත්වීම (සාර්ව ආර්ථික කළමනාකරණය) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව ආර්ථික විද්‍යා මුලධර්ම සහ ප්‍රයෝගික දත්ත මත පදනම් වූ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කොට ඇත. පළමු ආර්ථික විද්‍යා පොත් 5 අ.පො.ස. උ.පෙළ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය පදනම් කර ගෙන ඊට ඉහළ පරික්ෂණයන් ද ආවරණය වන පරිදි සකසා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධව වසර 35 ක පමණ දිගු කාලයක් පුරා විවිධ ක්ෂේත්‍රයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය පිළිබඳ මා සතු අභ්‍යන්තරික දැනුම ඊට මහත් පිටිවහලක් විය. එබැවින්, මා විසින් ඉදිරිපත් කෙරෙන ආර්ථික විග්‍රහයන් සම්ප්‍රදායික ආර්ථික මූලධර්මයන් මත කෙරෙන විග්‍රහයන්ගෙන් සපුරා වෙනස් වන බොහෝ අවස්ථාවන් පවතින බව මෙම පොත් පරිශීලනය කරන පාඨකයන්ට පෙනී යනු ඇත. 

එහෙත්, රාජ්‍ය අංශයේ නියුතු විද්වතුන් මෙන්ම විශ්‍රාමික විද්වතුන් විසින් එවැනි මහජන දැනුවත් කිරීමකට ඉදිරිපත් නොවන බව රහසක් නොවේ. බොහෝ වෙළෙඳපොළ සහ ආර්ථික අස්ථායිතාවයන්ට හෝ කම්පනයන්ට හේතුව සාර්ව ආර්ථික කළමනාකරණයේ දෝෂයන් බව රහසක් නොවන අතර ඒ පිළිබඳ ව නිසි විග්‍රහයන් ඉදිරිපත් කිරීමට බොහෝ විද්වතුන් අසමත් වන්නේ ඒ පිළිබඳ ව අභ්‍යන්තරික දත්ත සහ තොරතුරු නොමැති බැවිනි. ඒ බව, මා විසින් 2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ග්‍රන්ථයේ අන්තර්ගතය ඉදිරිපත් කොට ඇති ආකාරයෙන් පැහැදිලි වනු ඇත.

ආර්ථික විද්‍යා ගුරු සහ සිසු පරපුරට ආර්ථික හිතකාමී ඔවදනක්

ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් සහ විභාග ප්‍රශ්න පත්‍රයන් දෙස බලන විට ඒවා හුදෙක් සම්ප්‍රදායික ආර්ථික විද්‍යා මූලධර්මයන් පිළිබඳ දැනුම වනපොත් කිරීමට සැකසී ඇති බවට විවාදයක් නොමැත. එබැවින්, ගුරුවරුන් සහ සිසුන් විසින් ආර්ථික සංඛ්‍යාවන් භාවිතා කෙරෙන්නේ ද ආර්ථික විද්‍යා මූලධර්මයන් කෙසේ හෝ සනාථ කිරීම සඳහා ය. ඉන් බැහැර වී සැබෑ වශයෙන් ආර්ථිකයෙහි සිදුවන සිද්ධි මාලාව නිරීක්ෂණය කොට ආර්ථික විද්‍යා මූලධර්මයන් සහ සංඛ්‍යාවන් ප්‍රශ්න කිරීමටත්, ඒ ඒ ආර්ථික සිද්ධි පිළිබඳ ව අභ්‍යන්තරික විග්‍රහයන් කිරීමටත් කිසිවෙකු ඉදිරිපත් නොවේ.

සමහරු විසින් ආර්ථික විද්‍යා මූලධර්මයන් සලකනු ලබන්නේ ආර්ථික දේව ධර්මයක් ලෙස ය. බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තම ආර්ථික මතයන් ඉදිරිපත් කෙරෙන්නේ ද ඒ ආකාරයෙනි. ආගමික/දේව ඇදහිලිවල මෙන් ඔවුන්ගේ අනුගාමිකයන් ජාලයක් ද විවිධ මාධ්‍යයන් හරහා ප්‍රවර්ධනය කොට ඇත. එබැවින්, සැමගේ මුව පිරි විග්‍රහය වන්නේ සියළු සිද්ධිවලට හේතුව දේශපාලනික නායකයන්ගේ දුෂණය බව යි.

එබැවින්, ගුරුවරුන් සහ සිසුන් ආර්ථික විද්‍යා මූලධර්මයන් පිළිබඳ ව තමන් සතු විස්තීර්ණ දැනුම පසුබිමෙහි තබා ගෙන සැබෑ ලොව ආර්ථික සිද්ධි මාලාව විග්‍රහ කිරීමට පුරුදු පුහුණු වන්නේ නම්, එය වත්මන් ආර්ථික අර්බුදයෙන් පොදුජනයා ගොඩ ගැනීමට ඉමහත් පිටුවහලක් වනු නියතය. ඊට හේතුව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ට තමන් හිස මත තබා ගෙන ඇති ආර්ථික මූලධර්මයන් හුවා දක්වමින් නිරන්තරයෙන් මහජනතාව රැවටීමට නොහැකි වන බැවිනි. එමගින්, දැනට කිසිම පොදුජන සේවයක් නොකෙරෙන ආර්ථික විද්‍යාව ඉමහත් පොදුජන සේවයක් කෙරෙන විෂයක් හෝ විද්‍යාවක් බවට නුදුරේ දී පරිවර්තනය කළ හැකි වනු ඇත. මා විසින් රචිත පොත්වල අරමුණ එය යි.

මා විසින් රචිත සරසවි පොත් පෙළ 

  • මූලික ආර්ථික ප්‍රශ්න සහ විකල්ප විසඳුම් ක්‍රම විග්‍රහය
  • මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්වාණිජ බැංකු සහ මහ බැංකුව
  • ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂයවිදේශ විනිමය සහ ප්‍රතිපත්ති 
  • ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව: පාරිභෝගිකනිෂ්පාදක සහ වෙළෙඳපොළ හැසිරීම්
  • සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන්
  • 2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ආර්ථික විද්‍යා ඇසකින්. අර්බුදය වැලැක්වීමටත්, නිරාකරණයටත්, අප අසමත් වූයේ ඇයි? අර්බුදයේ දෙවන වටයට සූදානම් වෙමු ද?

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි