මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයට සාර්ව ආර්ථික විද්‍යා පදනමක් තිබේ ද? නැතහොත් එය තවත් නිලධාරීවාදී පාලන මිලක් ද?

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ,

  • නුතන මුදල් ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආර්ථික සහ මූල්‍ය මූලධර්මයන් තුළ  මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයට මූලධර්මීය පදනමක් නොමැති බවත්,

  • එහෙත්, මහ බැංකු විසින් එය ගතානුගතික නිලධාරීවාදී මෙවලමක් ලෙස භාවිතා කෙරෙන බවත්,

  • එමගින් පොදුජන ආර්ථික ප්‍රවර්ධනයට හෝ ස්ථායිකරණයට මහ බැංකු පවසන තරම් මැජික් දායකත්වයක් හඳුනාගත නොහැකි බවත්,

  • එය ක්‍රියාශීලී ආර්ථිකයන්හි අපේක්ෂණයන් කෙරෙහි බලපාන තවත් වෙළෙඳපොළ විචල්‍යයක් හෝ සාධකයක් පමණක් බවත්, ඉදිරිපත් කිරීම යි.

එහෙත්, ආර්ථික විද්‍යා සහ බැංකු විෂය ග්‍රන්ථවල මහ බැංකුව සහ මූල්‍ය ප්‍රතිපත්තිය මාතෘකාව යටතේ මහ බැංකු පොලී අනුපාතය හෙවත් ප්‍රතිපත්ති පොලී අනුපාතය යනු මහ බැංකුවට මනාප ආකාරයට ආර්ථිකය පාලනය කිරීමට හැකි මැජික් පොල්ලක් ලෙස දැක්වෙයි. ඒ අනුව, ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම මෙන්ම වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතය දුරස්ථ පාලකයක් මෙන් නිසැකයෙන් ක්‍රියා කෙරෙන ආකාරය ආර්ථික විද්‍යා ගුරුවරුන් සහ සිසුන් විසින් විචිත්‍ර ලෙස කටපාඩමින් ඉදිරිපත් කෙරේ. 

එය විෂය නිර්දේශ සහ විභාගයන් හරහා මූල්‍ය දේව ධර්මයක් ලෙස ඔවුන්ගේ මනසෙහි ස්ථාපනය කොට ඇත. එබැවින්, කලින් කලට උද්ධමනයන් හෝ අවධමනයන් හටගෙන ආර්ථිකයන් කඩා වැටුන ද, ප්‍රතිපත්ති පොලී අනුපාතය ගැන කිසිම ප්‍රශ්නයක් නොනැගෙන අතර එවැනි ආර්ථික අර්බුදවල සියලු පව් දේශපාලනික රජයන්ට සහ නායකයන්ට පැටවෙන බව රහසක් නොවේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් යනු මහ බැංකු අධිපති, නිලධාරීන් සහ ඔවුන්ට හිතවත් මාධ්‍යවේදී කණ්ඩායම සිතන පතන පරිදි උද්ධමනය පාලනය කොට ආර්ථිකය ස්ථායිකරණය කෙරෙන දේව බලැති මෙවලමක් ලෙස හුවා දක්වමින් තම මහජන තනතුරුවල වැජඹෙන මෙවලමක් බව රහසක් නොවේ. එය දේශපාලන නායකයන් සහ මහජනතාව මුලා කිරීමකි.

එබැවින්, මෙම ලිපිය ආර්ථික විද්‍යාව විෂය ක්‍රියාකාරකම්වල යෙදෙන සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කොට ඉදිරිපත් කෙරේ. ඊට හේතුව, මහ බැංකු සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් දැනට ඔවුන් සතු ලිපිගොනුවලින් බැහැර වී පොදුජන යහපත සඳහා තම රාජ්‍ය සේවයන් නව දැනුම යටතේ නවීකරණය කිරීමට ඉදිරිපත් නොවීම හේතු කොට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රයෝගික ආර්ථික විද්‍යාත්මක කරුණු ඔවුන් විසින් නිසැකයෙන් බැහැර කෙරෙන බැවිනි. ඊට හේතුව, ඔවුන්ගේ රැකියා පැවරුම සහ වගකීම ලෙස ලිපි ලේඛනවල ඔවුන් විසින් සටහන් කොට ඇත්තේ දැනට කරනු ලබන කාර්යාලීය කාර්යයන් මිස මහජන ගැටළු නිරාකරණය නොවන බැවිනි.

පොලී අනුපාතයේ ආර්ථික සහ මූල්‍ය පදනම - අවදානම් දැරීම 

පොලී අනුපාතය යනු ණය ගනුදෙනුවල දී අය කෙරෙන මිල යි. ණය ගනුදෙනුවක දී සිදු වන්නේ ගිවිස ගත් කාලයක් සඳහා ක්‍රය ශක්තිය හුවමාරු වීම යි. එය මුදලේ විලම්බිත ගෙවුම් මාධ්‍ය කාර්යය ලෙස දැක්වෙයි.

මෙහි දී, ණය හිමියා විසින් තමා රැස් කරන ලද මුදල් හෙවත් ක්‍රය ශක්ති ප්‍රමාණයක් වර්තමානයේ සහ අනාගතයේ දී උපයෝජනයෙන් වැලකී, එය ගිවිසුම්ගත කාලයක් තුළ උපයෝජනය සඳහා වෙනත් පාර්ශවයකට ණයට දෙනු ඇත. ඒ අනුව, ණය හිමියාට ආවස්ථික පිරිවැයක් හට ගනී. එනම්, ණය දීමේ දී කැප කරන ලද උපයෝජනය යි. මීට ප්‍රතිවිරුද්ධව, එම කාලය තුළ ණය කරුට නව ක්‍රය ශක්ති ප්‍රමාණයක් ලැබෙන බැවින් ඔහුට එය උපයෝජනයෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. ඒ අනුව, ණය හිමියා විසින් තම ආවස්ථික පිරිවැය පියවෙන ගාස්තුවක් ඉල්ලා සිටීමත්, ණය කරු විසින් තම ආර්ථික ප්‍රතිලාභය නියෝජනය වන ගාස්තුවක් ගෙවීමත් ණය ගනුදෙනුවක දී සිදු වෙයි. පොලී අනුපාතය යනු එම ගාස්තුව යි.

ඒ අනුව, ණය මුදලක පොලී අනුපාතය තීරණය වන්නේ ණය කාලය තුළ ණය මුදල පිළිබඳ ව ණය හිමියා සහ ණය කරුවා විසින් මුහුණ දෙන අනාගත අවදානම් මත ය. එම අවදානම් ණය හිමියන් සහ ණය කරුවන් අතර වෙනස් වනු ඇත. ඒ අනුව, අවදානම් ඇගයීම මත ණය හිමියා සහ ණය කරුවා අතර ණය ගනුදෙනුවක පොලී අනුපාතය තීරණය වනු ඇත. එනම්, පොලී අනුපාතය යනු අවදානම සඳහා තීරණය වන ගාස්තුව හෝ මිල යි. 

එහෙත්, අවදානම් හඳුනා ගැනීමේ සහ ඇගයීමේ ගණිතමය සුත්‍රයක් නොමැත. එබැවින්, අනාගත ණය උපයෝජනය සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ වත්මන් තොරතුරු මත පදනම් වූ විශ්වාසය මත පොලී අනුපාතයන් තීරණය වනු ඇත.

එම තොරතුරු ණය මුදලේ පාර්ශවයන්, ණය මුදල උපයෝජනය කෙරෙන ආර්ථික ක්‍රියාකාරකම් සහ සමස්ත ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය යනා දී විශාල පරාසයක් අශ්‍රිතව පවතී. ඒ අනුව, එම තොරතුරු ඇගයීම මත ණය ගනුදෙනුකරුවන් අතර ඇතිවන විශ්වාසය මත ණය ගනුදෙනුව සහ පොලී අනුපාතය තීරණය වෙයි. රජයන් විසින් ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ එම ණය විශ්වාසයට ආධාරකයක් වශයෙනි..

ණය වෙළෙඳපොළ සහ පොලී අනුපාතය තීරණය කෙරෙන අවදානම් 

ආර්ථිකයේ අනෙක් මිල ගණන් මෙන් පොලී අනුපාතයන් ද වෙළෙඳපොළවල හෙවත් ණය වෙළෙඳපොළවල ඉල්ලුම් සහ සැපයුම් සාධක මත තීරණය වනු ඇත. එම සියලු සාධකයන් ණය පිළිබඳ අනාගත අවදානම් පිළිබඳ සාධකයන් වෙයි. ඒ අනුව, රාජ්‍ය ණය, බැංකු තැන්පතු, අන්තර් බැංකු ණය, සමාගම් ණයකර සහ වාණිජ පත්‍ර, දේපල උකස් ණය, කල්බදු වැනි නීතිමය වශයෙන් සංවිධානාත්මක ණය වෙළෙඳපොළවල් මෙන්ම හුදු වාචික ගිවිසුම් මත ක්‍රියාත්මක වන අසංවිධිත පුද්ගලික ණය වෙළෙඳපොළවල් රාශියක් ආර්ථිකයෙහි දැකිය හැකිය.

මෙම ණය වෙළෙඳපොළවල විවිධ ණය ගනුදෙනු සිදුවන අතර එහි අවදානම් අනුව විවිධ මට්ටමේ පොලී අනුපාතයන් පවතිනු ඇත. මෙහි දී, අවදානම් අඩු සහ වැඩි ලෙස විවිධ නිර්නායකයන් සහ ප්‍රමිතීන් මත ණය වෙළෙඳපොළවල් කාණ්ඩ කිරීම දැකිය හැකිය. උදාහරණ ලෙස රටක් තුළ ක්‍රියාත්මක වන අවදානම් පහළම ණය වෙළෙඳපොළ ලෙස රාජ්‍ය ණය වෙළෙඳපොළ සැලකෙයි. එහෙත්, වත්මන් ශ්‍රී ලංකාවේ මෙන් රාජ්‍ය ණය ද පැහැර හැරෙන කාලයන් බොහෝ රටවලින් වාර්තා වී ඇත.

ණය ගනුදෙනුවක පොලී අනුපාතය තීරණය වන ආකාරය පිළිබඳ ව විවිධ ආර්ථික සහ මූල්‍ය මූලධර්මයන් දැකිය හැකිය. ඒවා බොහෝ විට ණය පිළිබඳ විවිධ අවදානම් හඳුනා ගැනීම සහ ගණනය කිරීම මත පදනම් වෙයි.

මෙහි දී, ඉතාම ප්‍රචලිත මූලධර්මයක් වන්නේ ෆිෂර් සමිකරණය යි. එමගින්, ණය ගනුදෙනුවක මූර්ත පොලී අනුපාතයක් නිර්වචනය කෙරේ. එනම්, ණය මුදලක මූර්ත පොලී අනුපාතය වන්නේ ණය මුදලේ එකඟ වූ පොලී අනුපාතය සහ ණය කාලපරිච්ඡේදය තුළ අපේක්ෂිත උද්ධමන අනුපාතය අතර වෙනස යි.

  • මූර්ත පොලී අනුපාතය = පොලී (නාමික) අනුපාතය - අපේක්ෂිත උද්ධමන අනුපාතය

මෙහි දී, එකඟ වූ පොලී (නාමික) අනුපාතයෙන් අපේක්ෂිත උද්ධමනය අඩු කිරීමට හේතුව වනුයේ, ණය ගිවිසුම් කාලය තුළ ණය මුදලේ ක්‍රය ශක්තිය උද්ධමන අනුපාතයේ ප්‍රමාණයෙන් පහළ යන බැවිනි. එබැවින්, ණය මුදලට අදාළ ශුද්ධ පොලී අනුපාතය වන්නේ මූර්ත පොලී අනුපාතය යි.

මෙහි දී, අපේක්ෂිත උද්ධමන අනුපාතය ගණනය කිරීම සඳහා පොදු මිල මට්ටමේ වෙනස්වීම හෝ මිල දර්ශකයන් පිළිබඳ දත්ත පවතී. ඒ අනුව, ණය ගිවිසුම් කාලය තුළ පොදු මිල මට්ටමේ වෙනස්වීම පිළිබඳ ව ණය ගනුදෙනුකරුවන් විසින් තමන් සතු උද්ධමන පුරෝකථනයන් හෝ අපේක්ෂාවන් මේ සඳහා භාවිතා කෙරෙනු ඇත. එහෙත්, පොදු මිල මට්ටමේ වෙනස්වීම යනු ණය ගනුදෙනුවක් මුහුණ දෙන එක් අවදානමක් පමණි. 

ණය මුදලක තවත් අවදානම් රාශියක් පවතින අතර ඒවායේ මට්ටම් ඒ ඒ ණය ආශිත ව්‍යාපාරික සහ පුද්ගල අවදානම් මත තීරණය වෙයි. එනම්, ණය මුදලේ වටිනාකම ආපසු ණය හිමියාට නොලැබීමේ හෝ පාඩු වීමේ අවදානම යි. මෙහි දී, ෆිෂර් සමිකරණය නැවත සැකසීම මගින් පොලී අනුපාතය තීරණය වීමේ සංකල්පයක් ගොඩ නැගේ.

  • පොලී (නාමික) අනුපාතය = මූර්ත පොලී අනුපාතය + අපේක්ෂිත උද්ධමන අනුපාතය

ඒ අනුව, පහත සඳහන් නිරීක්ෂණයන් දැක්විය හැකිය.

  • ඕනෑම ණය ගනුදෙනුවක දී ණය හිමියා විසින් ණය මුදල පිළිබඳ ව මුහුණ දෙන සමස්ත ව්‍යාපාරික හෝ මූර්ත අවදානම ආවරණයට ප්‍රමාණවත් මූර්ත පොලී අනුපාතයක් බලපොරොත්තු වන අතර ඊට අමතරව ණය කාලය තුළ මුහුණ දෙන උද්ධමන අවදානම සඳහා ද පොලී ප්‍රතිශතයක් අය කෙරේ.

  • උදාහරණ ලෙස බැංකු විසින් විශාල ව්‍යාපාරික සමාගම් වෙත ණය දීමේ දී පහළ පොලී අනුපාතයක් අය කෙරෙන්නේ ණය අවදානම පහළ බැවිනි. එහෙත්, පුද්ගලික වාහන කල්බදු ණය දීමේ දී ඉහළ පොලී අනුපාතයක් අය කරන්නේ ණය අවදානම ඉහළ බැවිනි. පිරමිඩාකාර ව්‍යාපාරිකයන් විසින් මුදල් ආයෝජකයන්ට ඉතා ඉහළ පොලී හෝ ඵලදා අනුපාතයන් ප්‍රදානය කෙරෙන්නේ එම ආයෝජන මුදල්වල ඇති ඉතා ඉහළ අවදානම හේතුවෙනි. බැංකු සහ ණය හිමියන් විසින් ණය දීමේ දී මූර්ත වත්කම් සහ පුද්ගල ඇප ඉල්ලා සිටින්නේ, මෙම ණය අවදානම යම් දුරකට ආවරණය කර ගැනීම සඳහා ය.

  • බැංකු ණය දීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මහ බැංකුව විසින් පනවන ලද සංචිත, ප්‍රාග්ධනය, ද්‍රවශීල වත්කම් සහ ණය අවදානම් සඳහා මුදල් වෙන් කිරීම වැනි නොයෙකුත් නියාමනයන් තුළින් බැංකු මුහුණ දෙන බාධකයන් සහ පිරිවැය ද ව්‍යාපාරික අවදානමේ කොටසක් වනු ඇත.

  • එබැවින්, ව්‍යාපාරික අවදානම සහ අපේක්ෂිත උද්ධමන අවදානම අනුව ණය පොලී අනුපාතයන් නිරන්තරයෙන් වෙනස් වනු ඇත. උදාහරණ ලෙස ශ්‍රී ලංකා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 2019 වර්ෂයේ දී ආයෝජකයන් විසින් ඉල්ලා සිටිය මූර්ත පොලී අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයක් වර්තමානයේ  අපේක්ෂා කරනු ඇත. ඊට හේතුව, රජය විසින් ණය පැහැර හැරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ආර්ථිකය මුහුණ දෙන බංකොලොත් භාවය යි.

  • 2022 වර්ෂය මැද සිට සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල උද්ධමනය වේගයෙන් ඉහළ යාමේ අපේක්ෂාවන් හේතු කොට ණය පොලී අනුපාතයන් ඉහළ යමින් පවතී. එය විශේෂයෙන් ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනු වන සුරැකුම්පත් වැනි ණය පොලී අනුපාතයන් නිරන්තරයෙන් වෙනස් වීමෙන් පැහැදිලි වෙයි. උදාහරණ ලෙස 2022 වර්ෂය දෙවන භාගයේ දී 30%-33% දක්වා ඉහළ ගිය ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් දැනට 20% දක්වා පහළ ගොස් ඇත.

මේ අනුව, ඕනෑම ණය ගනුදෙනුවක පොලී අනුපාතය මගින් ණය හිමියා සහ ණය කරුවා අතර ණය ගනුදෙනුවට පෙර තීරණය කළ හෝ එකඟ වූ අවදානමේ මට්ටම නිරූපනය කෙරේ. එබැවින්, ණය ගනුදෙනු අතර පොලී අනුපාතය ශුන්‍යයේ සිට ඉහළ යන විට ණය අවදානම ද ඉහළ යන බව පිළි ගැනේ. ඒ අනුව, පොලී අනුපාතයන් සැසඳීමෙන් ණය ගනුදෙනුවල අවදානම් මට්ටම් අවබෝධ කර ගත හැකිය.

එහෙත්, ඉස්ලාමීය ආගමික මූලධර්මයන් අනුව මෙසේ පෙර තීරණය කරන ලද අනුපාතයකින් ණය ගනුදෙනුවක් සඳහා පොලිය අය කිරීම තහනම් වන අතර ණය මුදලක් උපයෝජනයෙන් ලැබෙන ලාභය හෝ පාඩුව බෙදා ගැනීමේ මූලධර්මය මත ණය ගනුදෙනු සිදු කෙරේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතයේ පදනම - අවදානම් නොව අධිනිලධාරී වාදය 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් දෙකකි. එනම්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) සහ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR). ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව ලෙස දැක්වෙන්නේ මෙම පොලී අනුපාතයන් දෙක යි. 

  • නිත්‍ය ණය පහසුකම් අනුපාතය යනු මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා ගෙන එක් දිනක් සඳහා වාණිජ බැංකු වෙත ණය දීමේ දී අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතය යි. එය දැනට 12% ක් වෙයි. 

  • නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යනු වාණිජ බැංකු විසින් එක් දිනක් සඳහා මහ බැංකුවේ තැන්පත් කෙරෙන අරමුදල් සඳහා මහ බැංකුව විසින් ගෙවන වාර්ෂික පොලී අනුපාතය යි. එය දැනට 11% ක් වෙයි. 

මෙම ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවේ අරමුණ වනුයේ එක් දින අන්තර් බැංකු පොලී අනුපාතයන් මෙම කොරිඩෝවේ පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි අන්තර් බැංකු අරමුදල්/ද්‍රවශීලතාවය මහ බැංකුව විසින් පාලනය කිරීම යි.

එහෙත්, ඉහත දැක්වූ අවදානම් මූලධර්මයන් මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට අදාළ නොවේ. ඊට හේතුව, මහ බැංකුවට මුදල් මුද්‍රණය හරහා ණය ගනුදෙනු කළ හැකි අතර එම ණය ගනුදෙනු මහ බැංකුවේ දැඩි නියාමනයට යටත් බැංකු සමඟ පමණක් සිදු කිරීම යි. 
  • මහ බැංකුව විසින් නිත්‍ය ණය ප්‍රදානයේ දී රාජ්‍ය සුරැකුම්පත් ඇපයට ගැනීමත්, බැංකුවල බැංකුව සහ නියාමකයා මහ බැංකුව වීමත්, කිසිම අරමුදල් පිරිවැයක් නොමැතිව මුදල් මුද්‍රණය හරහා ණය දීමත් හේතු කොට නිත්‍ය ණයවල අවදානම ශූන්‍ය වෙයි.

  • එසේම, නිත්‍ය තැන්පතු ආපසු ගෙවීමේ කිසිම අවදානමක් මහ බැංකුවට නොමැත. නිත්‍ය තැන්පතුවල දී සිදු වන්නේ බැංකු වෙත දැනටමත් ඇති කාසි සහ නෝට්ටු සහ මහ බැංකුවේ සංචිත ලෙස ඇති මුදල් කොටසක් නිත්‍ය තැන්පතු ගිණුමට මාරු කිරීම පමණි. එම මුදල් මගින් මහ බැංකුව විසින් වෙනත් පාර්ශවයන්ට අවදානම් ණය දීමක් සිදු නොවේ. එබැවින්, මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පැහැර හැරීමේ අවදානම ශුන්‍ය වෙයි.

  • මහ බැංකුව විසින් නිත්‍ය ණය සහ තැන්පතු පහසුකම්වලට අමතරව රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති මිල දී ගැනීම් සහ ප්‍රති විකුණුම් වෙළෙඳාම හරහා අන්තර් බැංකු වෙළෙඳපොළේ අරමුදල් මට්ටම හෝ ද්‍රවශීලතාවය පාලනය කිරීමට ද මැදිහත් වෙයි. ප්‍රති මිල දී ගැනීම් තුළින් ද්‍රවශීලතාවය උකහා ගැනීමටත්, ප්‍රති විකුණුම් තුළින් නව ද්‍රවශීලතාවය සැපයීමත් සිදු වෙයි. මේවා ද වෙන්දේසි හරහා මහ බැංකුව සහ බැංකු අතර කෙරෙන ණය ගනුදෙනු වෙයි. එහි පොලී අනුපාතයන් තරගකාරී වෙන්දේසි ලංසු හරහා තීරණය වෙයි. මෙම ණය මුදල්වල ද කිසිම ණය අවදානමක් නොමැත. එසේම, ප්‍රති විකුණුම් පොලී අනුපාතයන් නිත්‍ය ණය අනුපාතයට වඩා පහළ යාමත්, ප්‍රති මිල දී ගැනීමේ පොලී අනුපාතයන් නිත්‍ය තැන්පතු අනුපාතයට වඩා ඉහළ යාමත් අවදානම් සංකල්පය අනුව පිළිගත නොහැකිය. නිදසුනක් ලෙස බැංකුවකට මහ බැංකුවෙන් එක් දින හෝ දින 7 ක ප්‍රති විකුණුම් ණය මුදලක් නිත්‍ය ණය අනුපාතයට වඩා පහළ පොලී අනුපාතයකට ලබා ගැනීමට අවස්ථාව ලැබීම අවදානම් මූලධර්මයෙන් පැහැදිලි කළ නොහැකිය. ඊට හේතුව, මෙම සියලු ණය ගනුදෙනුවල අවදානමක් නොමැති බැවිනි. එහෙත්, මූල්‍ය අර්බුදයකට පත් වන බැංකුවකට මහ බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස ණය ප්‍රදානය කිරීම අවදානම් වනු ඇත. එහෙත්, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය හරහා එම ණය ලබා දෙන බැවින් ණය මුදල පැහැර හැරිය ද, මහ බැංකුවට දැරිය නොහැකි අලාභයක් සිදු නොවේ.

ඒ අනුව, පහත නිරීක්ෂණයන් දැක්විය හැකිය.

  • ප්‍රතිපත්ති පොලී අනුපාතයන් යනු මහ බැංකුව විසින් කිසිම අවදානමක් රහිත තම ණය ගනුදෙනු සඳහා අත්තනෝමතික ලෙස තීරණය කෙරෙන පොලී අනුපාතයන් වෙයි. මහ බැංකුවට ඒකාධිකාරී මුදල් මුද්‍රණය හරහා මෙම ණය ගනුදෙනු කළ හැකි බැවින් වෙළෙඳපොළ සාධකයන් අදාළ නොවේ. එබැවින්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් තීරණය කිරීමට අදාළ ෆිෂර් සමීකරණය හෝ ඉස්ලාමීය මූලධර්මය වැනි මූලධර්මයන් දැකිය නොහැකිය.  
  • මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව ක්‍රියාත්මක කිරීමේ අරමුණ වනුයේ එක් දින අන්තර් බැංකු /ඒක්ෂණ ණය පොලී අනුපාතයන් එම කොරිඩෝව තුළ පැවතීමට සැලැස්වීම යි. එහෙත්, අන්තර් බැංකු ණයවල විවිධ අවදානම් පවතී. ඊට හේතුව, බැංකුවල ව්‍යාපාරික සහ මූල්‍ය ගුණාත්මක තත්ත්වය බැංකු අතර බොහෝ වෙනස් වන බැවිනි. එසේම, අන්තර් බැංකු ණය ප්‍රදානය කෙරෙන්නේ හුදු විශ්වාසය මත වන අතර ඇප සුරකුම් භාවිතා නොවේ. 
  • එබැවින්, අවදානම් සහිත අන්තර් බැංකු ණය පොලී අනුපාතයන් අවදානම් රහිත මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව හරහා ඉලක්ක කිරීමේ කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැත.

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත සහ මූල්‍ය ප්‍රතිපත්තියේ පදනම් විරහිත භාවය

මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් හරහා ය. එහි ආර්ථික විද්‍යා පදනම ලෙස සැලකෙන්නේ මහ බැංකු පොලී අනුපාතයන් වෙනස් කෙරෙන විට ආර්ථිකයේ අනෙක් පොලී අනුපාතයන් ද වෙනස් වී එමගින් බැංකු ණය ප්‍රසාරණය වෙනස් වන බව යි. එසේ ණය ප්‍රසාරණය වෙනස් වීම තුළින් ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා වූ සමස්ත ඉල්ලුම වෙනස් වී පොදු මිල මට්ටම සහ ආර්ථික වර්ධනය කෙරෙහි කාල පමාවක් තුළ බලපාන බව විශ්වාස කෙරේ. මෙය මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය ලෙස ඉදිරිපත් කෙරේ. ඒ අනුව, ආර්ථිකයේ උද්ධමනය ඉහළ යන විට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීමත්, ආර්ථිකයේ අවධමනකාරී තත්ත්වයක් පවතින විට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් මහ බැංකුව විසින් සම්ප්‍රදායිකව සිදු කෙරේ.

එහෙත්, ඉහත දැක්වූ ප්‍රයෝගික ණය අවදානම් සංකල්පය අනුව මෙය පදනම් විරහිත ප්‍රතිපත්තියක් බව පැහැදිලි ය. ඊට ප්‍රධාන හේතු දෙකකි. 

  • පළමුව, අවදානම් රහිත ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් කළ විට, විවිධ මට්ටමේ ණය සහ උද්ධමන අවදානම් මත තීරණය වන ණය පොලී අනුපාතයන් වෙනස් වීමට කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැත. එම ණය අවදානම් ආවරණයට අවශ්‍ය මූල්‍ය සම්පත් මහ බැංකුව විසින් බැංකුවලට සහ පෞද්ගලික ණය හිමියන්ට සැපයෙයි නම්, ආර්ථිකයේ ණය පොලී අනුපාතයන් මහ බැංකුවට අවශ්‍ය ආකාරයට වෙනස් කළ හැකි වනු ඇත.
  • දෙවනුව, ආර්ථිකයේ ණය ගනුදෙනු සිදු වන්නේ මහ බැංකුව විසින් තම ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත බැංකුවලට සැපයෙන අරමුදල් හෝ මුදල් මුද්‍රණය මත නොව මූල්‍ය පද්ධතිය විසින් මැවෙන අවදානම් ණය හරහා ය. නිදසුනක් ලෙස 2022 වර්ෂය අවසානයේ දී මහ බැංකුව විසින් මුද්‍රණය කොට සංසරණයේ පැවති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,349 ක් පමණ විය. එහෙත්, මහජනයා අත කාසි සහ නෝට්ටු, බැංකු තැන්පතු සහ රාජ්‍ය සුරැකුම්පත් ලෙස පැවති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 19,490 ක් පමණ විය. ඒ අනුව, මුළු මුදල් සංසරණය තුළ මහ බැංකුව විසින් මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය 6.9% ක් වැනි සුළු ප්‍රතිශතයක් විය. එබැවින්, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය සහ මුදල් මුද්‍රණය වෙනස් කිරීම තුළින් ආර්ථිකයේ ණය පරිමාව සහ සමස්ත ඉල්ලුම කෙරෙහි ඇති කළ හැකි බලපෑම ඉතා සුළු වෙයි. එබැවින්, හුදෙක් මහ බැංකුව සමඟ එදිනෙදා කෙරෙන ණය ගනුදෙනු හරහා තොග මුදල් වෙළෙඳාමේ යෙදී සිටින මුදල් වෙළෙඳුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි පමණක් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් බලපාන බව කිව හැකිය. ඊට හේතුව, ඔවුන් ක්‍රියා කරන්නේ සාර්ව ආර්ථික ස්ථායිකරණ අරමුණු සඳහා නොව එදිනෙදා මුදල් වෙළෙඳාම හරහා සොයා ගන්නා ලාභ උපරිමේ කිරීමේ අරමුණ මත බැවිනි.

ඊට අමතරව, වත්මන් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝ සංකල්පය ද 2023 මාර්තු16 දින සිට බිඳී ගොස් ඇත. ඊට හේතුව, මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම සහ නිත්‍ය තැන්පතු පහසුකම සලාක කිරීම යි. එනම්, බැංකුවකට නිත්‍ය තැන්පතු පහසුකම මාසකට උපරිම දින 5 ක් ද, නිත්‍ය ණය පහසුකම ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය මෙන් උපරිම 90% කට ද සීමා කිරීම යි. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවට අදාළ මූල්‍ය සංකල්පය වනුයේ, එම නිත්‍ය පහසුකම් සීමාවකින් තොරව බැංකු වෙත විවෘත කිරීම යි. එසේ නොමැතිව එම පහසුකම් සැපයුම කෙරෙහි සීමාවන් පැනවීම තුළින් කළු කඩයක් බිහි වී මිල පාලනය බිඳී යනු ඇත. මෙහි පාලන මිල යනු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ය.

එබැවින්, මහ බැංකු නිලධාරීන් විසින් තම බැංකු නියාමන බලතල යොදාගෙන මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව පොලී අනුපාතයන් සහ ණය ප්‍රදානය තීරණය කරන ලෙසට බැංකු කෙරෙහි බලපෑම් කිරීම අවදානම් ව්‍යාපාරික මූලධර්මයන් උල්ලංඝණය කිරීමකි. එසේම, මෑත දී සම්මත වූ නව මහ බැංකු පනත යටතේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු වෙත එවැනි නියෝගයන් කිරීමට මහ බැංකුවට බලතල නොමැත. එහෙත්, ඊට පෙර මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ මුදල් නීති පනත යටතේ ආර්ථිකයට සහ ප්‍රමුඛ ආර්ථික අංශයන්ට අවශ්‍ය බැංකු ණය සැපයීම සහ ව්‍යාප්ත කිරීම සඳහා පුළුල් බලතල මහ බැංකුව වෙත පැවතින. 

 සමාප්ත සටහන

  • ඉහත දැක්වූ කරුණු දෙස බලන විට මහ බැංකු පොලී අනුපාතය සහ මූල්‍ය ප්‍රතිපත්තිය යනු හුදු නූතන මුදල් පදනම් වූ ව්‍යාපාර ලෝකයේ ප්‍රයෝගික හෝ සංකල්පීය වැදගත්කමක් නොමැති පැරණි අති නිලධාරී කාර්යයකි. එබැවින්, මූල්‍ය දේව ධර්මයක් ලෙස ඉදිරිපත් කෙරෙන මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය පදනම් විරහිත ගෝත්‍රික මිථ්‍යාවකි.
  • නූතන මුදල් ආර්ථිකයන්හි මුදල් නිෂ්පාදනය සහ සැපයුම පෞද්ගලික අංශය විසින් ණය අවදානම් මත පදනම් වී සිදු කෙරෙන බැවින් ඒ කෙරෙහි අවදානම් රහිත මහ බැංකු පොලී අනුපාතය සහ මුදල් මුද්‍රණය තුළින් කළ හැකි බලපෑම ඉතා සුළු වෙයි. එබැවින්, නූතන මූල්‍ය න්‍යාය වැනි නව මූල්‍ය ප්‍රතිපත්ති සංකල්පයන් ඉදිරිපත් වී ඇත්තේ දැනට ක්‍රමයෙන් මිය යන මහ බැංකු සහ මූල්‍ය ප්‍රතිපත්තිය නවීකරණය කිරීම සඳහා ය. එවැනි නව සංකල්පයන් මහ බැංකු විසින් නිර්දය ලෙස බැහැර කෙරෙන්නේ මහ බැංකු නිලධාරීන්ට තමන්ට සුපුරුදු ලෙස අභියෝගයන්ට මුහුණ නොදී පැවතීම සඳහා ය.
  • මහ බැංකුවට ප්‍රයෝගික වශයෙන් කළ හැකි එකම මහජන සේවය වන්නේ ගනුදෙනු සඳහා මහජනතාව ඉල්ලා සිටින කාසි සහ නෝට්ටු ප්‍රමාණය මුද්‍රණය කොට නිකුත් කිරීම පමණි. ඊට හේතුව, කාසි සහ නෝට්ටු මුද්‍රණය මහ බැංකුවට පමණක් නීතියෙන් අවසරය ඇති කාර්යයක් වීම යි. මහ බැංකුවට එය කළ හැක්කේ රජය සහ බැංකු විසින් මහ බැංකුවෙන් ණය ලබා ගන්නේ නම් පමණි. එසේ ණය නොගැනීම හෝ ණය නොදීම සිදු වුවහොත් ආර්ථිකය කාසි සහ නෝට්ටු හිඟයකට මුහුණ දී දේශීය මුදල් ක්‍රමය කඩා වැටිය හැකිය. එහෙත්, නව ගෝලීය මූල්‍ය ආර්ථිකයක් තුළ රටකට අවශ්‍ය වන්නේ දේශීය මුදල් නෝට්ටු නොව ඩොලර් වැනි විදේශ මුදල් ය. වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ මූලය මෙන්ම ඉන් ගොඩ ඒමේ එකම බාධකය වන්නේ උග්‍ර ඩොලර් හිඟය යි. එහෙත්, ආර්ථිකයට විදේශ මුදල් සැපයීමේ හැකියාවක් මහ බැංකුවට නොමැත. එසේම, උද්ධමනය යනු ක්‍රියාශීලී වෙළෙඳපොළ පද්ධතියේ ප්‍රතිඵලයක් වන බැවින් එය පාලනය කිරීමට ද මහ බැංකුවට හැකියාවක් නොමැත.
  • එබැවින්, ආර්ථික විද්‍යා විෂය නිර්දේශයන් තුළ යල්පැන ගිය ගෝත්‍රීය විෂය කරුණුවලට සිමා නොවී, මෙවැනි නව ප්‍රයෝගික මූලධර්මයන් සහ අදහස් ඇතුළත් කිරීමෙන් අනාගතයේ දී ආර්ථික අර්බුදයන් වැලැක්වෙන පරිදි ආර්ථිකය කළමනාකරණය කිරීමේ නව දැනුමක් නව පරපුරට ලැබෙනු ඇත.

ඉහත දැක්වූ විෂයානු බද්ධ කරුණු සැලකීමේ දී, ප්‍රතිපත්ති පොලී අනුපාතය සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය හුවා දක්වමින් ආර්ථිකයේ උද්ධමනය පාලනය කොට මිල ස්ථායිතාවය සහ ආර්ථික ස්ථායිතාවය පවත්වා ගන්නා බව මහ බැංකු විසින් කරන ප්‍රකාශනයන්හි කිසිම ආර්ථික විද්‍යා පදනමක් නොමැති බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය යනු හුදෙක් තවත් රාජ්‍ය නිලධාරිවාදී කාර්යයක් පමණකි.

එබැවින්, ඓතිහාසික අර්බුදයකට සහ බංකොලොත් භාවයකට පත් වී ඇති වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ නැගීම හෝ ස්ථායිකරණය කිරීම මහ බැංකුව විසින් දක්වන පරිදි ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළ දැමීමෙන් කළ නොහැකිය. ඊට හේතුව, ආර්ථිකය මුහුණ දෙන ඉතා අධික ණය අවදානම් පහළ දැමීමට ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළ දැමීම සහ දෛනික පදනමක් මත අවදානම් රහිත ණය මුදල් ටිකක් මුදල් වෙළෙඳුන්ට දීම මගින් කළ නොහැකි බැවිනි. රජය සහ මහ බැංකුව විසින් නිරන්තරයෙන් හුවා දැක්වෙන රාජ්‍ය ණය පැහැර හැරීම හෝ ණය ප්‍රතිව්‍යුහගත කරණය යනු දේශපාලනික රජය බේරා ගැනීමේ මෙවලමක් මිස ආර්ථික අර්බුදය නිරාකරණ මෙවලමක් නොවේ. එසේම, ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් නව මහ බැංකු පනතේ අඩංගු නොවේ. තව ද, වත්මන් ආර්ථික අර්බුදය හට ගැනීමට හේතුව ද මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ අසමත්භාවය යි (වැඩි විස්තර සඳහා මෙම කතුවරයාගේ නවතම කෘතිය වන " 2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය" බලන්න).

සමස්තයක් ලෙස බැලූ විට ප්‍රතිපත්ති පොලී අනුපාතය සහ ඒ ආශ්‍රිත මූල්‍ය ප්‍රතිපත්තිය යනු හුදෙක් මුදල් වෙළෙඳුන් සමඟ කෙරෙන දෛනික සූදුවක් වන අතර එහි ප්‍රයෝගික සාර්ව ආර්ථික විද්‍යා පදනමක් නොමැත.

එබැවින්, ආර්ථිකය සහ පොදුජනයා වත්මන් ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ වගකීම දැරිය යුත්තේ රාජ්‍ය මූල්‍ය/අයවැය ප්‍රතිපත්තියට බව කිව යුතුය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

කතෘගේ නවතම ග්‍රන්ථය - සරසවි පොත්හල 
 


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි