මහ බැංකු අධිපති විසින් විකල්ප යෝජනාවන් ඉල්ලන්නේ ඇයි? තම ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක ද?

 


පසුගිය දා විද්වත් දේශනයක දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස් ඇතුලත් කෙටි වීඩියෝවක් මාධ්‍යයෙහි සංසරණය විය. එහිදී, වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ ඔහු විසින් දැක්වූ අදහස් කිහිපයක සාරාංශය පහත දැක්වෙයි.

මෙම ලිපියේ අරමුණ එම අදහස් පිළිබඳ ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීම යි.

මහ බැංකු අධිපතිගේ අදහස්

  • ආර්ථිකය නැවත ප්‍රකෘති වී අහිමිවූ නිෂ්පාදනය නැවත ලබා ගැනීම සඳහා කොතරම් කාලයක් ගත වන්නේ ? යන්න තීරණය වන්නේ, වැදගත් යැයි හඳුනා ගත් ප්‍රතිසංස්කරණයන් බලධාරීන් විසින් කොතරම් සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ ? යන්න මත බවත්, සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව ආර්ථිකය ස්ථාවර කොට ඉදිරියට ගෙන යාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් නොලැබෙන බව.

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබා ගත හැකි වුවත්, එය තාවකාලික සහනයක් පමණක් බවත්, වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක නොකළහොත් නැවතත් එම චක්‍රයට පිවිසීම වැලැක්විය නොහැකි බව.

  • අර්බුදයෙන් ගොඩ ඒම සඳහා IMF එක එකම මාර්ගය නොවන බව පවසන අය විසින් විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීම.
  • ආර්ථිකය ප්‍රකෘතිමත් කොට ස්ථාවර කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පහසු දෙයක් නොවන බව.

  • අප පැවැත්වූ සාකච්ඡාවල දී සියළු ණය හිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළ කළ බව.

  • ණය හිමියන්ට ඔවුන්ගේ ණය අය කර ගැනීම සඳහා ශක්තිමත් බැංකු පද්ධතියක් මෙරට පැවතිය යුතු බව.


කතුවරයාගේ ප්‍රතිචාරය 

මෙම අදහස් තුළින් ඔහුගේ ඒකායන ආර්ථික මෝක්ෂ මාර්ගය වන IMF නිසැකයෙන් අසාර්ථක එකක් වන බව ඔහු විසින්ම පිළි ගෙන හමාර බව පෙනේ. ඊට හේතු කිහිපයකි.

  • පළමුව, බලධාරීන් විසින් සියළු වැදගත් ප්‍රතිසංස්කරණයන් එක් වර කළ යුතු බව දැක්වීම

එහෙත්, එම ප්‍රතිසංස්කරණයන් මොනවා ? අදාළ බලධාරීන් කවරහු ? යන්න තවමත් මහජනයාට හෝ පාර්ලිමේන්තුවට දන්වා නැත. රාජ්‍ය බලධාරීන් විසින් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ජනාධිපති වරයා මෙන් උපදෙස් දීමට අධිකාරියක් හෝ විශේෂඥ දැනුමක් මහ බැංකු අධිපතිට නොමැත

අඩු වශයෙන් මහ බැංකුව විසින් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් මොනවා ? යන්න ප්‍රකාශ කළ යුතුය. මහ බැංකුව විසින් අහස උසට පොලිය ඉහළ නංවමින්, රජයට අවශ්‍ය මුදල් පමණක් මුද්‍රණය කරමින්, පෞද්ගලික ණය ව්‍යාප්තිය බිඳ දමමින් පසුවීම මුදල් නීති පනත අනුව ආර්ථික අර්බුද අවස්ථාවක දී ගනු ලබන මූල්‍ය ප්‍රතිසංස්කරණයන් නොවේ. එහෙත්, එය IMF උපදෙස් අනුව සිදු කෙරෙන  මූල්‍ය ප්‍රතිසංස්කරණයන් නම්, අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගත නොහැකි බව දැක්වීමට ආර්ථික විද්‍යා න්‍යායයන් අවශ්‍ය නොවේ. ඊට හේතුව, පෞද්ගලික ණය ව්‍යාප්තියක් නොමැතිව ආර්ථි

  • දෙවනුව, විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පහසු දෙයක් නොවන බව ඔහු විසින්ම පිළි ගන්නා අතර විකල්ප වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරන ලෙස මහජනයාට යෝජනා කිරීම.

මහ බැංකු අධිපති යනු ආර්ථිකයේ සෑම කොනකම සිදු වන ක්‍රියාකාරකම් පිළිබඳ කාල ශ්‍රේණි දත්ත පද්ධතියක් හිමි ඉතා ඉහළ රාජ්‍ය නිලධාරියෙකි. එසේම, එම දත්ත පර්යේෂණය කොට ආර්ථිකය මුහුණ දෙන සැබෑ අවදානම් සහ ඊට ගත යුතු ප්‍රතිපත්ති පිළියම් හඳුනා ගැනීම සඳහා ඕනෑ තරම් සම්පත් මහ බැංකුව සතු ය. තවද, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නිසි මූල්‍ය පාලන අධිකාරිය මහ බැංකුව සතු ය. එම ප්‍රතිපත්ති සුඛවිහරණය රටේ ජනාධිපතිටවත් නොමැත. එබැවින්, තම ප්‍රතිපත්ති තීරණයන් නිවැරදි නම්, බිය නොමැතිව ඒවා ක්‍රියාත්මක කිරීමේ අධිකාරී බලය ඔහු සතු ය. එහෙත්, ඔහුගේ ප්‍රතිපත්ති හේතු කොට ආර්ථිකය කබලෙන් ලිපට වැටුන බව නොරහසකි.

බොහෝ දෙනා වත්මන් ප්‍රතිපත්තිවලට එරෙහිව අදහස් දක්වන්නේ එම අහිතකර ප්‍රතිඵල සහ ආර්ථික සංකල්පීය පදනමක් මත වන අතර ඔවුන් ආර්ථික දේවතාවුන් නිසා නොවේ. වත්මන් ආර්ථික ප්‍රතිපත්ති ද IMF අදහස් මත පදනම් වූ සංකල්පයන් වන අතර ඒවා නිවැරදි බව ප්‍රකාශ කිරීමට ක්‍රමවේදයක් නොමැත. ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ රටවල මෑතක දී ඒවා ක්‍රියාත්මක වී නොමැති බව රහසක් නොවේ.

එබැවින්, ඔහු විසින් රට පුරා දේශනා පවත්වමින් තම තනතුරේ පහසුකම් බුක්ති විඳින විට, විකල්ප වැඩපිළිවෙලවල් ඉරිදිපත් කරන ලෙස මහජනයාට යෝජනා කිරීම හාස්‍ය ජනක වෙයි. එබැවින්, මහ බැංකු අධිපතිට තම රාජ්‍ය තනතුරේ මහජන වගකීම් ඉටු කිරීමට දැනුමක් සහ හැකියාවක් නොමැති බව එම යෝජනාවෙන්ම පැහැදිලි ය. එහෙත්, ඔහු විසින් මහ බැංකු අධිපති තනතුර භාර ගනු ලැබුවේ මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ගෝලීය ආර්ථික විශාරද දැනුමක් සහ පළපුරුද්දක් ඇති එකම පුද්ගලයා ලෙස ය.

මහ බැංකු අධිපතිගේ මෙම ක්‍රියාව බලයේ සිටින දේශපාලන නායකයන් ද මහජන ප්‍රශ්න විසඳීම සඳහා පොරොන්දු දී ඡන්දය ලබා ගෙන, පසුව විරුද්ධ දේශපාලන නායකයන්ගෙන් විකල්පයන් ඉදිරිපත් කරන ලෙස තරවටු කිරීමට සමාන ය. බ්‍රිතාන්‍යයෙන් ලබා ගත ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ පවතී නම්, ප්‍රතිපත්තිවල යෝග්‍යතාවය තහවුරු කිරීමට නොහැකි බලධාරීන් තම මහජන තනතුරුවලින් වහාම ඉවත් විය යුතුය.  

ඊට හොඳම උදාහරණය වනුයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ජීවන වියදම පහළ දැමීම සඳහා නව බ්‍රිතාන්‍ය අගමැතිනිය විසින් පසුගිය මස අවසානයේ දී ඉදිරිපත් කළ අයවැය (බදු පහළ දැමීම සහ කුටුම්බ බලශක්ති සහනාධාරයක් සැපයීම) තුළින් හට ගත් වෙළෙඳපොළ පොලී සහ විනිමය අනුපාත අස්ථායීතාවය මත නැගුණු විරෝධය හේතු කොට ඇය දින 45 ක අගමැති තනතුරෙන් ඉල්ලා අස් වීම යි.

  • තෙවනුව, ණය හිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡාවේ නිල සටහන් මෙතෙක් ප්‍රසිද්ධ කොට නොමැති බැවින් ඔවුන් කළ කී දෙය කුමක් ? යන්න හුදෙක් මහ බැංකු අධිපති පවසන දෙය මත විශ්වාස කළ නොහැකිය.
ණය හිමියකු යනු දාන පතියෙකු නොවන බැවින් තම මුදල් බේරා ගැනීම හැර ණය කරුට උදවු කිරීමට උවමනාවක් වත්මන් මූල්‍ය ධනවාදී ආර්ථික පද්ධතිවල ණය හිමියන්ගෙන් දැකිය නොහැකිය. තවද, මෙම ණය හිමියන් යනු මහ බැංකු අධිපති හොඳින් දන්නා හඳුනන ජාත්‍යන්තර ආයෝජක ආයතන වෙයි. ඊට හේතුව, පසුගිය දශකය පුරා ස්වෛරිත්ව බැඳුම්කර අළෙවි කිරීම සඳහා නිරන්තරයෙන් ඔවුන් සමඟ සාකච්ඡා පැවැත් වූයේ සහ බැඳුම්කර නිකුතු තීරණයන් ගන්නා ලද්දේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස ක්‍රියා කළ වත්මන් මහ බැංකු අධිපති ය. එබැවින්, ඔහු විසින්ම එම ණය පැහැර හැර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කිරීමේ විශේෂයක් නොමැත.

  • සිවුවනුව, දේශීය බැංකු පද්ධතියේ ශක්තිමත් භාවය පිළිබඳ මහ බැංකු අධිපති විසින් මෙහිදී දක්වා සිටීමේ අරමුණ පැහැදිළි නැත.

ඊට හේතුව, විදේශ ණය හිමියන් ණය දී ඇත්තේ බැංකුවලට නොව රජයට වන අතර ණය පැහැර හැර ඇත්තේ රජය විසින් වන බැවිනි. එසේම, මෑත දී මහ බැංකු අධිපති විසින් (සහ 25.05.2022 දින පුවත්පත් නිවේදනය) දක්වා ඇත්තේ දේශීය බැංකු පද්ධතිය ශක්තිමත් බව යි

එහෙත්, පසුගිය 23 දින ජනාධිපති වරයා විසින් ප්‍රකාශ කොට ඇත්තේ දේශීය ව්‍යාපාරයන් බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීම සඳහා රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු සියල්ලම ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යි. බැංකු පද්ධතියේ ස්ථායීතාවය සහ සුරක්ෂිතතාවයේ වගකීම පවතිනේ මහ බැංකුව සතුව යි. එබැවින්, බැංකු පද්ධතියේ ශක්තිමත් භාවය සඳහා ක්‍රියා කළ යුත්තේ මහ බැංකුව වන අතර බැංකු ප්‍රතිව්‍යුහගත කරණය සඳහා සැලසුම මහ බැංකු අධිපති විසින් ජනාධිපති වරයා වෙත ඉදිරිපත් කළ යුතුය

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි