බදු ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික මෝක්ෂය - මහ බැංකු අධිපති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකට පවසයි.

 


වත්මන් ආර්ථික තත්ත්වය සහ බදු සංශෝධනය පිළිබඳ ව මහ බැංකු අධිපතිවරයා සමඟ සිදු කළ විශේෂ සාකච්ඡාව නම් වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක විසින් මෙහෙයවන ලද නිල මාධ්‍ය වීඩියෝවක් මෑත දී යූ ටියුබ් හරහා සංසරණය වී ඇත. "බදු නැංවීම පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් කළ විශේෂ හෙළිදරවුව මෙන්න" ලෙස එය යූ ටියුබ් විසින් හඳුන්වා දී ඇත.

එම වීඩියෝව දුටු විගස මට නිතැතින්ම සිහියට නැගුනේ වත්මන් මහ බැංකු අධිපති වෙත වර්ෂ 6 ක නව නිල කාලයක් සඳහා පත් කිරීමට මාසයකට පමණ පෙර මැයි මස 28 දින පෙරවරුවේ ඔහු විසින් මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු සමඟ එවක ජනාධිපති වරයා හමු වී කරන ලද සාකච්ඡාව පිළිබඳ ව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එදින සවස 3.48 ට කරනු ලැබූ විශේෂ නිල නිවේදනය යි.

එහි මහ බැංකු අධිපති විසින් පහත කරුණු ජනාධිපති වරයා වෙත දැන්වූ බව සඳහන් විය.

  • ඔහු විසින් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව සඳහන් කළ බව.

  • උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල ජනාධිපති වරයා වෙත පැහැදිලි කළ බව.

  • මේ වන විට සිදු කෙරෙමින් පවතින මෙහෙයවුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමෙන් සමාජ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගැනීමට හැකි වන බවට ඔහු විසින් විශ්වාසය පළ කළ බව.

එසේම, ජනාධිපති වරයා විසින් පහත සඳහන් ප්‍රකාශයන් කළ බවට ද එම පුවත්පත් නිවේදනයේ සඳහන් විය.

  • පත් වී කෙටි කාලයකින් මූල්‍ය අර්බුදය පාලනයටත්, එය යහපත් අතට හැරවීමටත් ඔහු ගත් ක්‍රියාමාර්ගයන් ජනාධිපති වරයාගේ පැසසුමට ලක් වූ බව.
  • මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කර ගෙන යාමට රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව.

  • දේශපාලන මැදිහත් වීමකින් තොරව මහ බැංකු අධිපතිගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට රජය සහය වන බව.

  • මහ බැංකු අධිපති ඇතුළු මුදල් මණ්ඩලය විසින් ජාත්‍යන්තරව සිදු කෙරෙන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවල දී රාජ්‍ය නායක මට්ටමින් මැදිහත් වීමට තමා සුදානම් බව.

එහෙත්, ඉන් මාසයකට පමණ පසු, එනම් මහ බැංකු අධිපතිට වර්ෂ 6 ක් නව නිල කාලය ලැබී පස් වන දින (ජූලි 9 දින), ආර්ථික අර්බුදය තවත් වර්ධනය වී ජනාධිපති වරයාට නිලය අතහැර පළා යාම සිදු වී රාජ්‍ය පාලන තන්ත්‍රය ද කඩා වැටී සමාජ ආර්ථික ස්ථාවරභාවයට යන එන මං නැති වූ බව රහසක් නොවේ. දැනට උද්ධමනය 70% ඉක්මවා ගොස් ඇති අතර මෙම වර්ෂයේ 8%-10% ක පමණ නිල වාර්ෂික ආර්ථික සංකෝචනයක් අපේක්ෂා කෙරෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැලවුම්කාර ණය මුදල එහි දැඩි පූර්ව කොන්දේසි හේතු කොට ලැබෙන දින වකවානුවක් පේන තෙක් මානයක නොමැත.

මෙම වීඩියෝවේ අන්තර්ගතය දෙස බලන විට මෙම සම්මුඛ සාකච්ඡාව ද මහ බැංකු ස්වාධීනත්වය මහජනතාව වෙත හුවා දක්වා රජයේ නව බදු සංශෝධනයන්ගේ සාර්ව ආර්ථික යෝග්‍යතාවය වර්ණනා කිරීම තුළින් වත්මන් ජනාධිපති වරයා විසින් ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත සාර්ව ආර්ථික කළමනාකරණ පද්ධති සංශෝධනයන්ගෙන් තම නිලය බේරා ගැනීමේ පරම අභිලාෂයෙන් සුදානම් කළ එකක් බව පැහැදිලි ය.

මෙම වීඩියෝ සාකච්ඡාව ආරම්භයේ දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක විසින් ඉදිරිපත් කරන ලැබූ පෙරවදනෙහි දැක්වූ ප්‍රධාන කරුණු කිහිපය සංක්ෂිප්තව පහත දැක්වෙයි.

  • ශ්‍රී ලාංකික සමාජය මෙන්ම ජාත්‍යන්තරය විසින් මේ දිනවල ශ්‍රී ලංකාව පිළිබඳ ව කථා කරන ප්‍රධාන මාතෘකාව අප රටේ ආර්ථික බංකොලොත්භාවය බවත් මේ පිළිබඳ ව අප සියළු දෙනාට දැඩි සිත් රිදුමක් පවතින බවත්, එම සිත් රිදුම හැමදාම තබා නොගෙන ඉදිරියට යාම සඳහා ප්‍රතිපතිමය තීරණයන්, ප්‍රතිපත්තිමය වැඩකටයුතු සහ සමාජ ක්‍රියාකාරකම් බහුතරය අපිටම කිරීමට සිදු වන බව.

  • මෙම ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක වන බදු සංශෝධනයන්හි දැඩි බලපෑම සමස්ත සමාජයම දැන ගෙන අවසන් බව.

  • රාජ්‍ය සේවය සහ දේශපාලන වටපිටාව පිළිබඳව ද හොඳ කියවීමක් මහජනයාට නොමැති බව.

  • එහෙත්, ඒ පිළිබඳ ව ඉදිරියට මතු වී විශ්වාසයක් ගොඩ නගා ගෙන ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයන් නැතුවා නොවන බව.

  • වත්මන් මහ බැංකු අධිපති ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය, උද්ධමනය, විදේශ විනිමය සහ නව බදු සංශෝධන පිළිබඳ ව මහජනතාවගේ මේසයේ සිට ප්‍රශ්න කිරීමට සහ කථා කිරීමට හොඳම විනිවිදභාවයක් සහ මහජන විශ්වාසයක් තිබෙන රාජ්‍ය නිලධාරියෙක් බව.

  • තමා මධ්‍යම පාංතික තරුණයෙක් බවත්, කාලයක් රාජ්‍ය සේවයේ නිරතව දැනට දේශපාලනයේත් කටයුතු කරමින් සිටින බව.

  • පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිළිබඳ ව මිනිස්සුන්ට හොඳ දැක්මක් නොතිබූ බව.

  • මුදල් අච්චු ගැසුවට උද්ධමනය ඉහළ නොයන බවත්, ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකාව විසින් විදේශ සංචිත රට ඇතුළත නොමැති බව ප්‍රකාශ කරන විට විදේශ මුදල් ඕන තරම් ශ්‍රී ලංකාවට තිබෙන බවත්, හිටපු මහ බැංකු අධිපති වරු සඳහන් කළ බව.

  • එහෙත්, මේවා බොරු බවත්, මේවා වෙනස් කළ හැකි බවත්, තම පත්වීම ගත් පසු වත්මන් මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කොට මහජනතාවට දැඩි විශ්වාසයක් ලබා දුන් බව.

  • අද සාකච්ඡා කෙරෙන බදු සංශෝධනයන් පිළිබඳ ව මහ බැංකු අධිපතිට ඍජු ප්‍රතිපත්ති වගකීමක් තිබේ ද? යන්න තමාට ලොකු දැනුමක් නොමැති බව.

  • මහ බැංකු අධිපති යනු රාජ්‍ය මූල්‍ය ආරක්ෂා කර ගෙන, මහජනතාවට උද්ධමනයකින් තොරව විදේශ සංචිතයක් මහ බැංකුව තුළ සහ මහා භාණ්ඩාගාරය තුළ තැන්පත් කර ගෙන මිනිස්සුන්ට අවශ්‍ය සුභසාධනය සහිත ස්ථාවර රාජ්‍යයක් ගොඩ නැගීමට පුර්ණ දායකත්වයක් දෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරියෙක් බව තමා විශ්වාස කරන බව.


ජනාධිපති මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ මූලික අදහස් කිහිපයක් 

  • සමස්තයක් ලෙස ගත් විට මෙම සාකච්ඡාවේ මූලය වන්නේ රාජ්‍ය මූල්‍ය සහ නව බදු සංශෝධනයන් වන බැවින් ඒ සඳහා වගකීම් පවතින මුදල් අමාත්‍යංශයේ ලේකම්/භාණ්ඩාගාර ලේකම් සමඟ මෙම සාකච්ඡාව පැවැත්විය යුතුව තිබිණ.

එබැවින්, මෙම සාකච්ඡාව රාජ්‍ය මූල්‍ය ඍජු වගකීමක් නොමැති, එහෙත් ඍජු මූල්‍ය ප්‍රතිපත්ති වගකීම් පවතින මහ බැංකු අධිපති සමඟ පැවැත්වීමේ හේතුව පැහැදිලි නැත. එසේම, රජයෙන් හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් ස්වාධීන වූ මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික බලතල මහ බැංකුව වෙත පැවරිය යුතු බවට හඬ නැගීම මෙම මහ බැංකු අධිපති විසින් මේ දිනවල කරනු ලබන එකම ක්‍රියාව යි. 

එබැවින්, මෙම මාධ්‍ය සාකච්ඡාව තුළින් රාජ්‍ය මාධ්‍යයක් විසින් නව බදු පිළිබඳ ව මහ බැංකු අධිපතිගෙන් විමසීමෙන් මහ බැංකුව තවත් දේශපාලනයට ලක් කිරීමක් සිදු වී ඇත. වෙනත් රටවල මහ බැංකු අධිපති වරුන් එවැනි රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳ ව  අදහස් දැක්වීමෙන් වැලකීම සාමාන්‍ය පිළිවෙත යි.

  • දෙවනුව, වත්මන් ආර්ථික බංකොලොත්භාවයෙහි ඍජු මූලය වන්නේ මහ බැංකු අධිපති විසින් තම පත්වීම ලබා දින 5 ක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැරීමත්, වත්මන් රාජ්‍ය දේශීය ණය ඇතුළු ආර්ථිකයේ ණය අර්බුදයකට හේතු වී ඇති පොළී අනුපාතයන් ඓතිහාසික ලෙස ඉහළ දැමීමත් ය. 

මේ පිළිබඳ ව පාර්ලිමේන්තුව තුළ සහ පිටත දැඩි විවේචනයට භාජනය වෙමින් පවතින බව නොරහසක් වන අතර රාජ්‍ය විදේශ ණය පැහැර හැරීම පිළිබඳ ව ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තර කරුවෙකු ලෙස ද මහ බැංකු අධිපති නම් කොට ඇත. එසේම, වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ව ගොනු කොට විමර්ශණය සඳහා අවසර ලැබී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වත්මන් මුදල් මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තර කරුවන් ලෙස නම් කොට ඇත. 

එබැවින්, වත්මන් ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ව මහ බැංකු අධිපතිගෙන් නොවිමසා, මහ බැංකු අධිපති හොඳම විනිවිදභාවයක් සහ මහජන විශ්වාසයක් තිබෙන රාජ්‍ය නිලධාරියෙක් බව ප්‍රකාශ කිරීම විශාල අඩුපාඩුවකි.

  • තෙවනුව, උද්ධමනය පාලනය කිරීමටත්, විදේශ සංචිතයක් ගොඩ නැගීමටත් යෝග්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මිල ස්ථායීතාවයත්, මූල්‍ය පද්ධති ස්ථායීතාවයත් පවත්වා ගැනීම මහ බැංකුවේ අරමුණු සහ වගකීම වන අතර මූල්‍ය ප්‍රතිපත්ති පර්යේෂණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුළුල් වගකීම් 2020 වර්ෂය අවසානය වන තෙක් වසර 15 ක් පමණ දැරුවේ එවක මහ බැංකු ඉහළ නිලතල දැරූ වත්මන් මහ බැංකු අධිපති ය. 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බංකොලොත්භාවය දෙස බලන විට එම සියළු ස්ථායීතාවයන් බිඳී ඇති බවත්, එහි මූලසාධකයන් 2020 දක්වා දශකය තුළ මූල්‍ය ප්‍රතිපත්ති තුළින් (විශේෂයෙන් අධික ලෙස කෙටි කාලීන විදේශ වෙළෙඳපොළ ණය හරහා රාජ්‍ය ණය සහ විදේශ සංචිතය රැස් කිරීම) වර්ධනය වූ බවත් රහසක් නොවන අතර ඒ බව සාකච්ඡාවේ දී ප්‍රශ්න නොකෙරින.

එබැවින්, මෙම සම්මුඛ සාකච්ඡාවේ දී වත්මන් ආර්ථික බංකොලොත්භාවය කෙරෙහි මහ බැංකුවේ සහ මහ බැංකු අධිපතිගේ මූල්‍ය ප්‍රතිපත්ති දායකත්වය නොවිමසීම ද ප්‍රශ්නකාරී වෙයි. උදාහරණ ලෙස ඊයේ (ඔක්තෝබර් 23) ජනාධිපති වරයා විසින් වෙබ් සම්මන්ත්‍රණයක දී ප්‍රකාශ කරනු ලැබුවේ විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා ඉදිරියේ දී රාජ්‍ය ව්‍යවසාය වත්කම් අළෙවි කිරීම තුළින් ඩොලර් බිලියන 3 ක් පමණ සපයා ගන්නා බවත්, එමගින් රුපියල ශක්තිමත් වන බවත් ය. 

තවද, ජනාධිපති වරයා දැක්වූයේ රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ප්‍රතිව්‍යුහගත කොට ශක්තිමත් කිරීම හරහා ව්‍යාපාර ගණනාවක් බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබෙන බව යි. බැංකු ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය වන්නේ වත්මන් ආර්ථික අර්බුදය හේතු කොට බැංකු ද බංකොලොත් වීමේ අවදානමට මුහුණ දී ඇති බැවිනි.

එහෙත්, විදේශ සංචිතය ගොඩ නැගීම සහ රුපියලේ වටිනාකම ආරක්ෂා කිරීම මහ බැංකුවේ ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති වගකීමක් වන අතර බැංකු පද්ධතියේ ශක්තිමත් භාවය සහ නුබූන්වත්භාවය ආරක්ෂා කිරීම මහ බැංකු නියාමන වගකීමක් වෙයි. එබැවින්, මහ බැංකු අධිපති විසින් එම වගකීම් දෙකම ඉටු කිරීමට අසමත් වී ඇති බව ජනාධිපති වරයා දැක්‌වූ අදහස්වලින් පැහැදිලි ය.

  • සිවුවනුව, 2015 පෙබරවාරි සිට පෞද්ගලික බැඳුම්කර නිකුත් නවතා ප්‍රසිද්ධ වෙන්දේසි පමණක් පැවැත්වීම හේතු කොට ආර්ථිකයේ පොලී අනුපාතයන් ඉහළ ගිය බවත්, ඉන් පොලී අනුපාතයන් පාලනය කිරීමට මූල්‍ය ප්‍රතිපත්තියට පැවති හැකියාව ගිලිහී ගිය බවත්, එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වූ වත්මන් මහ බැංකු අධිපති විසින් එවක රජයට එරෙහිව කැරලි ගැසීම සහ වත්මන් බැඳුම්කර පොලී අනුපාතයන් 32% කට ඉහළ යාම (2015 දී 8%-12% මට්ටමට සාපේක්ෂව) පිළිබඳ ව ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක විසින් ඔහුගෙන් කරුණු විමසීමක් ද කළ යුතුව තිබිණ. 
ඊට හේතුව, ඔහුගේ කැරලි ගැසීම තුළින් එවක රජයේ ස්ථායීතාවය ගිලිහී ගොස් සාර්ව ආර්ථික කළමනාකරණය ද අවුල් වූ බැවිනි. එහෙත්, එවක අධිපති සමඟ එක් වී 2015 පෙබරවාරි 27 දින බැඳුම්කර නිකුතුව පූර්ණ වෙන්දේසිය හරහා සිදු කිරීමට අවශ්‍ය සියළු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ ඔහු විසිනි. ඒ පිළිබඳ සාක්ෂි රැසක් බැඳුම්කර විමර්ශණ කොමිසමේ වාර්තාවල අඩංගු වෙයි.

ඊළඟ ලිපියෙන් මහ බැංකු අධිපති විසින් දැක්වූ අදහස් ආවරණය වනු ඇත. එම අදහස් හරහා ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ, බදු ඉහළ දැමීම හේතු කොට මුදල් මුද්‍රණය පහළ ගොස් මහ බැංකු ස්වාධීනත්වය ඇති වන බවත්, රාජ්‍ය මූල්‍ය හිඟය පහළ ගොස් ආර්ථිකය නැවත ගොඩ නැගීමට උපකාරී වන බවත් ය. 

මෙහිදී, මහ බැංකු අධිපති විසින් අදහස් දැක්වූයේ බදු ඉහළ දැමීම මගින් ආර්ථිකය නැවත ගොඩ ඒම නැමති මෝක්ෂය වෙත නිසැකව ළඟා වන මාර්ගය පිළිබඳ ව ආර්ථික බණක් දේශනා කරනු ලබන ආර්ථික පුජකයකු මෙනි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකට රට රටවල සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයන් හෝ මුලධර්ම පිළිබඳ විෂය දැනුමක් නොමැති බැවින් මහ බැංකු අධිපතිගේ ශ්‍රී ලංකා ආර්ථික මෝක්ෂ මාර්ගය පිළිබඳ ව අතුරු ප්‍රශ්න ඇසීමට නොහැකිව දේශනය අසා සිටීමට පමණක් සිදු විය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි