සාර්ව ආර්ථික අසමතුලිතතාවන් නිරාකරණයට සාර්ව ආර්ථික කළමනාකරණය - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - II කොටස

 


මෙහි පසුගිය සැප්තැම්බර් මස 14 වෙනි දින පළවූ පළමු ලිපියෙන් සාර්ව ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරයත්, එහි සමතුලිත සහ අසමතුලිතතාවන් හඳුනා ගන්නා ආකාරයත් පැහැදිලි කෙරින. එහිදී, ආර්ථිකයක් යනු වෙළෙඳපොළවල් රාශියක එකතුවක් බවත්, එම වෙළෙඳපොළ සාධක වෙනස් වීම හේතු කොට ආර්ථිකයේ සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුම අතර තුලනය බිඳී යාමෙන් සාර්ව ආර්ථික අසමතුලිතතාවන් හට ගන්නා බවත් දැක්විණ. මීට හොඳම උදාහරණය 2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය ආර්ථිකය තුළ සියළු රටවල විවිධ ප්‍රමාණයෙන් සාර්ව ආර්ථික අසමතුලිතතාවන් පැවතීම යි. එහි අයහපත් ප්‍රතිඵලයන් ආර්ථික සහ ආදායම් වර්ධනය පහළ යාම, උද්ධමනය ඉහළ යාම සහ සේවා වියුක්තිය ඉහළ යාම වැනි සාර්ව ආර්ථික දර්ශකයන් තුළින් මනාව විදහා දැක්වෙයි. එනම්, පොදු මහජනයාගේ ජීවන තත්ත්වය පහළ යාම යි. සෑම රටකම කලින් කලට විවිධ අභ්‍යන්තර සහ බාහිර සාධක හේතු කොට මෙවැනි සාර්ව ආර්ථික අසමතුලිතතාවන් හට ගැනීම තුළින් ජීවත් වීමේ ගැටළුවලට මහජනයා මුහුණ දෙන බව රහසක් නොවේ.

සාර්ව ආර්ථික කළමනාකරණය

සාර්ව ආර්ථිකයක් කළමනාකරණය යනු ආර්ථික අසමතුලිතතාවන් අවම කිරීම හෙවත් ආර්ථික ස්ථායීකරනය පවත්වා ගැනීමත්, පොදුජන ජීවන තත්ත්වය ඉහළ යන පරිදි නිෂ්පාදනය සහ උපයෝජනය ඉහළ දැමීමත් සිදු වන අයුරින් ආර්ථිකය මෙහෙය වීම යි. මෙය වෙළෙඳපොළ බලවේග හරහා මිල ක්‍රමය තුළින් ආර්ථිකය තුළම නිරායාසයෙන් හෝ ස්වයංක්‍රියව සිදු වීමේ හැකියාව පවතී. එනම්, මිල ගණන් වෙනස් වීම තුළින් සම්පත් උපයෝජනය වෙනස් වී අසමතුලිතතාවන් ක්‍රමයෙන් පහව යාම යි.  උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ දැනට පවතින දැඩි විදේශ විනිමය වෙළෙඳපොළ අර්බුදය හේතු කොට විනිමය අනුපාතය සීග්‍රයෙන් ඉහළ යාම සිදු වන අතර නිදහස් විනිමය වෙළෙඳපොළ ක්‍රියාත්මක වුව හොත්, විනිමය අනුපාතය හෙවත් විනිමය මිල ඉහළ යාම තුළින් ආර්ථිකයට දැරිය නොහැකි ආනයන ඉවත් වීම, දේශීය ආදේශක නිෂ්පාදනය ඉහළ යාම සහ අපනයන දිරි ගැන්වීම වැනි වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තුළින් විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථායීකරනය වී, දේශීය ආර්ථිකය නව මාවතකට යොමු වනු ඇත. ඒ සඳහා කාලයක් ගත වන අතර එය පුරෝකතනය කිරීමේ හැකියාවක් නොමැත.

එහෙත්, විවිධ රජයන් විසින් දරනු ලබන ආර්ථික හා දේශපාලනික සංකල්පයන් අනුව එසේ ස්වයංක්‍රිය වෙළෙඳපොළ හැසිරීමට ඉඩ නොදී රාජ්‍ය ප්‍රතිපත්ති මගින් වෙළෙඳපොළවලට විවිධ අයුරින් මැදිහත් වී සාර්ව ආර්ථික කළමනාකරණය මෙහෙය වීමට උත්සාහ කිරීම සෑම රටකම දැකිය හැකිය. ඊට උදාහරණ ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ආහාර මිල පාලන ක්‍රමයන්, ආනයන සීමාවන්, විදේශ විනිමය පාලනයන්, රාජ්‍ය වියදම් ඉහළ දැමීම, ලිහිල් මූල්‍ය පාලනයන් යනාදිය දැක්විය හැකිය. කාල් මාක්ස් මතවාදය මත සමාජවාදී/කොමිනිස්ට් සංකල්පය සහ ඇඩම් ස්මිත් මතවාදය මත නිදහස් වෙළෙඳපොළ සංකල්පය අතර විවිධ මට්ටමේ මිශ්‍රණයන්ගෙන් යුත් සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති ලෝකයේ දැකිය හැකිය.

ඓතිහාසික ලෙස රාජ්‍ය ණය හරහා රාජ්‍ය වියදම් පරිමාව ඉහළ දැමීම හෙවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ අති ලිහිල් මූල්‍ය පාලනයන් හරහා ආර්ථිකයේ ණය සහ මුදල් පරිමාව ඉහළ දැමීම හෙවත් මූල්‍ය ප්‍රතිපත්තිය යනාදිය වර්තමානයේ සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල් විසින් ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති සාර්ව ආර්ථික අසමතුලිතතාවන් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති වෙයි.

සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති - රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය

සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස කොටස් දෙකක් යටතේ විග්‍රහ කෙරේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු රාජ්‍ය අයවැය කළමනාකරණය තුළින් ආර්ථිකය කෙරෙහි මැදිහත් වීම යි. මෙය මුදල් ඇමති සහ මහා භාණ්ඩාගාරය ප්‍රමුඛ රජය විසින් ක්‍රියාත්මක කෙරේ. මූල්‍ය ප්‍රතිපත්තිය යනු ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය හෙවත් මුදල් සැපයුම කළමනාකරණය තුළින් ආර්ථිකය කෙරෙහි මැදිහත් වීම යි. මෙය මුදල් මණ්ඩලය හෝ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කේන්ස් වාදය සංකල්පය මත ද,  මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය වාදය සංකල්පය මත ද ක්‍රියාත්මක කෙරේ.

සාර්ව ආර්ථික විද්‍යා මුලධර්මයන් අනුව මෙම ප්‍රතිපත්ති දෙකෙන්ම කෙරෙනුයේ විවිධ සාර්ව ආර්ථික අරමුණු සඳහා ආර්ථිකයේ සමාහාර ඉල්ලුම කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම යි. උදාහරණ ලෙස ආර්ථිකයේ නිෂ්පාදනය සහ සේවා නියුක්තිය පහළ මට්ටමක හෙවත් ආර්ථික පසුබැසීමක් පවතින අවස්ථාවල එය ඉහළ නැංවීම අරමුණු කොට සමාහාර ඉල්ලුම ඉහළ දැමීම පිණිස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් රාජ්‍ය අයවැය සහ ආර්ථිකයේ මුදල් ප්‍රමාණය ප්‍රසාරණය කිරීම දැක්විය හැකිය. මෙහිදී, ආර්ථිකයෙහි ඉල්ලුමෙන් සැපයුම ජනිත වන බව පිළි ගැනේ. අයවැය ප්‍රසාරණය යනු රජයේ වියදම හෝ ඉල්ලුම ඉහළ දැමීම තුළින් සමාහාර ඉල්ලුම ඉහළ දැමීමට ක්‍රියා කිරීම යි. මුදල් ප්‍රසාරණය හේතු කොට මහජනයා විසින් මිල දී ගනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යාම තුළින්  සමාහාර ඉල්ලුම ඉහළ යාම සිදු වෙයි.

මීට ප්‍රතිවිරුධව, ආර්ථිකයෙහි උද්ධමනකාරී පීඩනය ඉහළ යන විට එය පාලනය කිරීම සඳහා සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කෙරේ.  මෙහිදී, උද්ධමන පීඩනය යනු ආර්ථිකයේ සමාහාර සැපයුමට වඩා සමාහාර ඉල්ලුම ඉහළ යාම තුළින් හට ගන්නා සාර්ව ආර්ථික අසමතුලිතතාවය යි. එනම්, අධි ඉල්ලුම තුළින් ආර්ථිකයේ පොදු මිල මට්ටම ඉහළ යාමේ නැඹුරුව යි. එබැවින්, සංකෝචනාත්මක ප්‍රතිපත්ති තුළින් සමාහාර සැපයුම් මට්ටමට සරිලන පරිදි සමාහාර ඉල්ලුම පහළ දැමීමට උත්සාහ කෙරේ.

එහෙත්, මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී, අපේක්ෂිත ආර්ථික අරමුණු ඉටු වීම සඳහා කාලයක් ගත වන අතර එම කාලය තුළ එම ප්‍රතිපත්ති හේතු කොට විවිධ ආර්ථික සංකුලතාවන් හෝ අතුරු ප්‍රතිඵලයන් හට ගත හැකිය. උදාහරණ ලෙස නිෂ්පාදන සහ සේවා නියුක්ති වර්ධනය සඳහා ප්‍රසාරණාත්මක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙන විට, සමාහාර ඉල්ලුම ඉහළ යාම හේතු කොට අන්තර් කාලීන උද්ධමන පීඩනයක් හට ගනු ඇත. එය අයහපත් නොවන බවට පිළි ගැනේ. ඊට හේතුව, සමාහාර ඉල්ලුම ප්‍රසාරණය හේතු කොට පසුකාලීනව සමාහාර සැපයුම ඉහළ යන විට උද්ධමන පීඩනය ඉවත් වී යන බැවිනි. මීට ප්‍රතිවිරුද්ධව, උද්ධමන පීඩනය පහළ දැමීම සඳහා සංකෝචනාත්මක ප්‍රතිපත්ති අනුගමනය කෙරෙන විට අන්තර් කාලීන ආර්ථික පසුබැසීමක් හට ගනී. ඊට හේතුව, සමාහාර ඉල්ලුමේ වර්ධනය පහළ යාම හේතු කොට නිෂ්පාදන තොග ගොඩ ගැසී ආයෝජන සහ නිෂ්පාදන වර්ධනය පහළ යාම යි. එබැවින්, නිසි පසුවිමරකින් තොරව ප්‍රතිපත්ති අනුගමනය කළ හොත් හට ගත හැකි සාර්ව ආර්ථික අතුරු සංකුලතාවන් දරුණු විය හැකිය.

ගෝලීය කොරෝනා වසංගතය සහ ප්‍රතිපත්ති අත්දැකීම

2020 වර්ෂය ආරම්භයේ සිට ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගත් දැඩි ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා සංවර්ධිත රටවල් ඇතුළු සියළු රටවල් විසින් අති ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයන් අනුගමනය කෙරේ. කොරෝනා වසංගතය හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් ක්ෂණිකව කඩා වැටිණ. එනම්, රටවල සමාහාර සැපයුම කඩා වැටීම යි. එබැවින්, 2020 දෙවන සහ තෙවන කාර්තුවල ආර්ථික වර්ධනය ඍණ වූ අතර අධික සේවා වියුක්තියක් වාර්තා විය. ආදායම් පහළ යාම සහ රැකියා අහිමි වීම හේතු කොට හට ගත් අවිනිශ්චිතතාවන් තුළින් සමාහාර ඉල්ලුම ද කඩා වැටීම සිදු වූ අතර එහි සමස්ත ප්‍රතිඵලය වුයේ උද්ධමනය ද පහළ යාම යි.

එබැවින්, වේගවත් අති ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හරහා සමාහාර ඉල්ලුම ඉහළ නැංවීම තුළින් සැපයුම් ජාලයන් ප්‍රකෘත්තිමත් කොට සමාහාර සැපයුම සහ සේවා නියුක්තිය කොරෝනා වසංගතයට පෙර පැවති මට්ටමට ගොඩ නැගීමට අපේක්ෂා කෙරේ. එහෙත්, කොරෝනා වසංගතය තවමත් පුර්ණ පාලනයකට යටත් වී නොමැති බැවින් ඒ සඳහා ඉදිරි වර්ෂ ගණනාවක් ගත වන බවට අපේක්ෂා කෙරේ. එබැවින්, අති ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතු කොට වර්තමානයේ ලෝකය පුරා සැලකිය යුතු උද්ධමන පීඩනයක් හට ගෙන ඇති අතර එය තාවකාලික උපණතියක් බවත්, ගෝලීය සැපයුම් බාධකයන් ක්‍රමයෙන් ඉවත් වී සමාහාර ඉල්ලුම් සහ සැපයුම් තුලනයක් හට ගන්නා විට උද්ධමන පීඩනය පහව යනු ඇති බවත් පිළි ගැනේ.

එබැවින්, හුදෙක් උද්ධමන පීඩනය පදනම් කර ගෙන බොහෝ මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් වර්තමාන අතිප්‍රසාරණාත්මක ප්‍රතිපත්තිවලින් ඉවත් වී උද්ධමනය පාලනය කිරීම සඳහා කඩිනමින් සංකෝචනාත්මක ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස රජයන්ට සහ මහ බැංකුවලට යෝජනා කිරීම දැකිය හැකිය. එහෙත්, මෙම අවස්ථාවේ ප්‍රමුඛතාවය වන්නේ තවමත් කොරෝනා ආර්ථික අවපාතය මැද්දේ පීඩා විඳින මහජනතාවගේ ජීවන තත්ත්වය ගොඩ ගැනීම මිස අතුරු උද්ධමනය පාලනය කිරීම නොවන බැවින් සහ ගෝලීය කොරෝනා  වසංගතයේ ආර්ථික අවදානම් පිළිබඳ අතීත අත්දැකීම් නොමැති බැවින් වර්තමාන අතිප්‍රසාරණාත්මක ප්‍රතිපත්ති හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය. ඊට හේතුව, ප්‍රතිපත්ති දැඩි කිරීමක් කළ හොත් ආර්ථිකයන් තවත් අවපාතයට ඇද වැටීම යි.

ප්‍රතිපත්ති උපකරණයන්

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී විවිධාකාර  ප්‍රතිපත්ති උපකරණ භාවිතා කෙරේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ බදු, වියදම්, ණය, රාජ්‍ය ව්‍යවසායන් සහ වෙළෙඳපොළ නියාමනයන් යන උපකරණ දැකිය හැකිය. රාජ්‍ය අයවැය කෙරෙහි බලපාන ඕනෑම රාජ්‍ය ප්‍රතිපත්තියක් රාජ්‍ය මූල්‍ය උපකරණයක් ලෙස දැක්විය හැකිය.

මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ යනු ආර්ථිකයේ පවතින මුදල් ප්‍රමාණය කෙරෙහි බලපෑම සඳහා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තීන් ය. මේවා මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය සහ බැංකු පද්ධතිය විසින් මුදල් මැවීම තීරණය කෙරෙන ප්‍රතිපත්ති ලෙස හඳුනා ගත හැකිය. මහ බැංකුව විසින් රාජ්‍ය රාජ්‍ය සුරැකුම්පත් සහ විදේශ විනිමය වැනි වත්කම් මිල දී ගැනීම සහ බැංකුවලට සහ රජයට ණය දීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, මහ බැංකු පොලී අනුපාතයන්, බැංකු ණය සහ පොලී අනුපාතයන්, බැංකු ණය පාලනයන් සහ විදේශ විනිමය සහ විනිමය අනුපාත පාලනයන් යනාදිය මූල්‍ය උපකරණ ලෙස දැක්විය හැකිය.

මෙම උපකරණයන් සංයුතිය, එහි පරිමාව සහ කාල වකවානු තෝරා ගැනීම ආර්ථික අසමතුලිතතාවය සහ ඊට අදාළ වෙළෙඳපොළවල ස්වභාවය අනුව තීරණය කෙරේ. එහෙත්, ඒ සඳහා ගණිතමය සුත්‍රයන් නොමැති අතර එය අදාළ ප්‍රතිපත්ති අධිකාරින්ගේ පළපුරුද්ද, දැනුම සහ සංකල්පයන් මත පදනම් වෙයි. එබැවින්, ඕනෑම ප්‍රතිපත්ති කට්ටලයක් විවිධාකාරයේ ගුණදොස් විමසුම්වලට භාජනය වනු ඇත. එසේම, එම ප්‍රතිපත්ති තුළින් විවිධ වෙළෙඳපොළවල් කෙරෙහි විවිධාකාර බලපෑම් ඇති කෙරෙන බැවින් එයට වෙළෙඳපොළවල් දක්වන ප්‍රතික්‍රියාවන් අනුව එම ප්‍රතිපත්තිවල සාර්ථක අසාර්ථක භාවය තීරණය වනු ඇත. මීට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ මෑතක සිට අනුගමනය කෙරෙන විවිධ මිල පාලනයන් ය.

ඕනෑම අවස්ථාවක ආර්ථිකයක් තුළ ගණනය කළ නොහැකි තරම් සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති උපකරණයන් පවතින අතර එමගින් වෙළෙඳපොළ පද්ධතිය, සාර්ව ආර්ථිකය සහ පොදු මහජනතාව කෙරෙහි කෙරෙන බලපෑම හෝ දායකත්වය නිසැකව ඇගයීමේ ක්‍රමවේදයක් නොමැත. ඕනෑම ප්‍රතිපත්තියකින් එක් මහජන කොටසක් සඳහා වාසි දායක වන අතර තවත් මහජන කොටස් සඳහා අවාසි දායක වනු ඇත. උදාහරණ ලෙස මහ බැංකුව විසින් තම විදේශ සංචිතය වෙළෙඳපොළට මුදා හැරීම තුළින් විනිමය අනුපාතය පහළ මට්ටමක පාලනය කෙරෙන විට ආනයන ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට වාසි දායක වෙයි. ඊට හේතුව, ආනයන පිරිවැය ඉහළ නොයාම යි. එහෙත්, අපනයන කර්මාන්තවල නිරත මහජනතාවය එය අවාසි දායක වෙයි. ඊට හේතුව, අපනයන ආදායම ඉහළ යාම වැලකීම යි. එසේම, විනිමය අනුපාතය පාලනය ද මිල පාලනයක් වන බැවින් එමගින් ආර්ථිකය තුළ සංකූලතාවන් රාශියක් ඇති කෙරෙනු ඇත. එබැවින්, සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී එමගින් මහජනතාව වෙත ඇති කෙරෙන වාසි දායක සහ අවාසි දායක ප්‍රතිඵලයන් පිළිබඳ මනා තෝරා ගැනීමක් අවශ්‍ය වෙයි. එහෙත්, සමහරුන් දක්වන පරිදි එය තුලනය කිරීමේ ක්‍රමවේදයක් නොමැත. එසේම, විවිධ පුද්ගලික සංකල්පයන් මත පදනම් වී මහජන වාසි ඇතිවේ යැයි අපේක්ෂාවෙන් කඩි මුඩියේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති උපකරණයන්ගෙන් හට ගන්නා ආර්ථික සහ සමාජ අස්ථායීතාවන් සහ අවිනිශ්චිතතාවන් බොහෝ වෙයි. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ වර්තමාන මිල පාලනයන් ය.

(වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයන් වන මෙම කතුවරයාගේ "මූල්‍ය ආර්ථික විද්‍යාව" සහ "සාර්ව ආර්ථික විද්‍යාව" යන ග්‍රන්ථයන් කියවන්න)


 


පි සමරසිරි

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති



 
 








 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 









Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි