ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් - ආර්ථිකයක සාර්ව හැසිරීම හඳුනා ගනිමු


මේ දිනවල ලෝකය පුරා රටවල ආර්ථිකයන් අස්ථායි වීමත්, ජීවත්වීම පිළිබඳ ව විවිධාකාරයේ ගැටළුවලට මහජනයා මුහුණ දීමත් අසන්නට දකින්න ලැබේ. මෙය  2020 ආරම්භයේ සිට පැතිරී යන ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට ඇති වූ ආර්ථික සහ සමාජීය කම්පනයන් සහ එය මර්ධනය සඳහා රජයන් විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් බව ඉතා පැහැදිලිය. මෙතෙක් සියවස් කිහිපයක් පුරා ගොඩ නැගුන ගෝලීය නිෂ්පාදනය, සේවා නියුක්තිය, ආදායම සහ වෙළෙඳ ජාලයන් කඩා වැටීම තුළින් මෙම අසහනයන් හට ගෙන ඇත. 1970 ගණන්වල සිට වේගයෙන් ඉහළ ගිය ආර්ථික ගෝලීයකරනය තුළින් ලොව පුරා ආර්ථිකයන් එකට බැඳී ඇති බැවින් වසංගතය සහ එය වැලැක්වීම සඳහා අනුගමනය කළ සමාජ දුරස්ථ ප්‍රතිපත්තිවල දුෂ්කරතාවන් ලෝකය පුරා ජනතාව මත පැතිරී ගොස් ඇත. එය රටවල් මුහුණ දෙන රැකියා හිඟය, ආදායම් හිඟය, බදු හිඟය, ආහාර පාන හිඟය, මුදල් හිඟය, විදේශ විනිමය හිඟය, ආයෝජන හිඟය, වෙළෙඳ බාධක යනාදිය මගින් මනාව පැහැදිලි වෙයි.

එය කෙටියෙන් කිව හොත් වසංගතයේ කම්පනයන් හේතු කොට වෙළෙඳපොළවල් අක්‍රිය වීම තුළින් ආර්ථිකයන්ගේ ක්‍රියාකාරිත්වය බිදී යාම යි. එසේම, කලින් කලට හට ගන්නා යුද්ධයන්, මූල්‍ය අර්බුදයන්, ගෝලීය වෙළෙඳ ගැටුම් මෙන්ම රාජ්‍ය ආර්ථික මැදිහත් වීම් තුළින් ද ආර්ථිකයන් අස්ථායී වී පොදු මහජන ජීවිතය අවුල් විය හැකිය. මෙය සිදු වන ආකාරය ආර්ථිකයක් ක්‍රියා කරන පදනම දෙස බැලීමෙන් හඳුනා ගත හැකිය. එම අවබෝධය එවැනි ආර්ථික අවුල් විසඳීම සඳහා ද උපකාරී වෙයි. ඊට හේතු, එම විසඳුම් ද ආර්ථිකයේ පදනම හරහා සිදු කළ යුතු බැවිනි. එසේ නොවුන හොත් ආර්ථිකය අනාත වී මහජන ජීවිතය මංමුලා වී සිවිල් අරගලයන් හට ගැනීමේ අවදානම් පවතී.

ආර්ථිකයේ ක්‍රියාකාරී පදනම

ආර්ථිකයක සිදු වන සියළු ගනුදෙනු හෝ ක්‍රියාකාරකම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය (Production or Output) සහ ඒවා උපයෝජනය (Utilization) ලෙස පුළුල් කොටස් දෙකකට බෙදිය හැකිය.

  • සැපයුම් පැත්ත

නිෂ්පාදනය යනු ආර්ථිකයේ සැපයුම් පැත්ත (Supply Side) ලෙස දැක්වෙයි. භුමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන ආර්ථික සම්පත් මිශ්‍රණයෙන් නිෂ්පාදනය සිදු වෙයි. යම් කාලපරිච්ඡේදයක් තුළ සිදු කෙරෙන මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණය සමාහාර සැපයුම (Aggregate Supply) ලෙස හැඳින් වෙයි. රටක් විවෘත ආර්ථිකයක් ලෙස ක්‍රියාකරන විට, එයට භාණ්ඩ හා සේවා සහ සාධක සේවා ආනයන සහ අපනයන තුළින් දේශීය සම්පත්වලට සිමා නොවී ගෝලීය ආර්ථිකයේ සම්පත් උපයෝජනයට අවස්ථාව ලැබේ. එමගින්, ආර්ථිකයේ සැපයුම් පැත්ත පුළුල් වී සමාහාර සැපයුම ඉහළ යනු ඇත.

ආර්ථිකයේ සම්පත් ඒකකයකට නිෂ්පාදන හෝ සැපයුම් හැකියාව ඵලදායිතාවය (Productivity) ලෙස දැක්වෙයි. ආර්ථිකයේ හඳුනා ගෙන ඇති සියලු සම්පත් යොදා ගැනීමෙන් නිෂ්පාදනය කළ හැකි උපරිම ප්‍රමාණය නිෂ්පාදන ධාරිතාවය (Production Capacity) ලෙස ද. එහෙත්, එයින් දැනට යොදා ගත හැකි සම්පත් ප්‍රමාණය මත කළ හැකි නිෂ්පාදනය විභව නිෂ්පාදනය (Potential Output) ලෙස ද හැඳින් වෙයි. විභව නිෂ්පාදනයෙන් ඉහළ මට්ටමක නිෂ්පාදනය කෙරෙන විට ආර්ථික පිබිදීමක් (Boom) , නිෂ්පාදනය ඊට වඩා පහළ යන විට ආර්ථික පසුබැසීමක් (Slowdown) ද ලෙස පිළි ගැනේ.  යම් කාල පරිච්ඡේදයන් දෙකක් අතර නිෂ්පාදන ප්‍රමාණයේ සිදු වන වෙනස් වීමේ ප්‍රතිශතය ආර්ථික වර්ධනය ලෙස දැක්වෙයි.

නිෂ්පාදනයේ මුළු වටිනාකම ජාතික ආදායම (National Income) වෙයි. එය වැටුප් ලෙස ශ්‍රමිකයන්ට ද, පොලිය ලෙස ප්‍රග්ධන හිමියන්ට ද, බදු කුලිය ලෙස භුමි හිමියන්ට ද, ලාබ ලෙස ව්‍යවසායකයන්ට ද, ඔවුන්ගේ නිෂ්පාදන දායකත්වය සඳහා බෙදී යනු ඇත. එම සියළු නිෂ්පාදන සම්පත් පුද්ගලයන්ට අයත් බැවින් පුද්ගලයන් සේවා නියුක්ත වීම යනු තම සම්පත් කෙරෙහි ඉල්ලුමක් හට ගැනීම හෙවත් නිෂ්පාදනයේ යොදා ගැනීම යි. එසේ ඉල්ලුමක් නොමැති වීම සේවා වියුක්තිය ලෙස හැඳින් වෙයි. වැඩ කරන වයසේ සිටින මුළු ජනගහනයෙන් සේවා වියුක්ත ප්‍රතිශතය ආර්ථිකයේ සේවා වියුක්ති අනුපාතය ලෙස දැක්වෙයි.

ආර්ථිකයේ දැනට උපයෝජනය සඳහා පවතින සම්පත් ප්‍රමාණයට හෝ විභව නිෂ්පාදනයට වඩා ආර්ථිකයේ නිෂ්පාදන ප්‍රමාණය පහළ යන විට සේවා වියුක්තියක් හට ගනී. කොරෝනා වසංගතය හේතු කොට මෙය සිදු විය. එමගින්, නිෂ්පාදනය පහළ යාමෙන් බොහෝ රටවල ඍණ ආර්ථික වර්ධනයන් සහ ඉහළ සේවා වියුක්ති අනුපාතයන් වාර්තා විය.

  • ඉල්ලුම් පැත්ත

නිෂ්පාදන උපයෝජනය යනු ජාතික නිෂ්පාදිතය හෝ ආදායම භාවිතා කිරීම යි. එනම්, පරිභෝජනය සහ ආයෝජනය කිරීම යි. මෙය ආර්ථිකයේ ඉල්ලුම් පැත්ත (Demand Side) හෝ වියදම (Spending) ලෙස හැඳින් වෙයි. එසේ ආර්ථිකයේ ජාතික නිෂ්පාදිතය සඳහා වන මුළු ඉල්ලුම සමාහාර ඉල්ලුම (Aggregate Demand) ලෙස දැක්වෙයි. මෙහිදී, ආදායමින් පරිභෝජනය නොකෙරෙන ප්‍රමාණය ඉතුරුම් ලෙස හැඳින් වෙන අතර ආයෝජනය කෙරෙන්නේ මේ ඉතුරුම් ය. එබැවින්, ක ආර්ථිකයක් වෙන් කොට ගත් විට එහි ඉතුරුම් ආයෝජනයට සමාන වෙයි. මෙහිදී, පුද්ගලයන් විසින් බැංකු සහ මූල්‍ය අයතනවල කෙරෙන තැන්පතු ඉතුරුම් සියල්ල ඉතුරුම් ලෙස නොසැලකේ. ඊට හේතුව, එම තැන්පතුවලින් පරිභෝජනය සඳහා ණය ප්‍රදානය කෙරෙන විට එය පරිභෝජනයේ කොටසක් වන බැවිනි.

පරිභෝජනය හේතු කොට නිෂ්පාදනයෙන් කොටසක් විනාශ හෝ ඉවත් වී යයි. එබැවින්, පරිභෝජනය සඳහා නැවත නැවතත් එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුතුය. ආයෝජනය යනු නිෂ්පාදන ධාරිතාවය ආරක්ෂා කිරීම සහ ඉහළ නැංවීම සඳහා කෙරෙන සම්පත් උපයෝජනය යි. ප්‍රාග්ධනය අත්කර ගැනීම සහ තොග යනාදිය ආයෝජනයට අයත් වෙයි. එමගින්, අනාගත නිෂ්පාදන හැකියාව හෝ ධාරිතාවය ඉහළ යනු ඇත. විවිධ සාධකයන් හේතු කොට ඉල්ලුම වෙනස් විය හැකිය. උදාහරණ ලෙස කොරෝනා වසංගතය හේතු කොට ආර්ථිකයන්හි ඉල්ලුම (පරිභෝජනය සහ ආයෝජනය) කඩා වැටිණ.

ආර්ථික සමතුලිතය සහ අසමතුලිතතාවය

ආර්ථික සමතුලිතය (Equilibrium of Economy) යනු සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම සමාන වන මට්ටමේ ආර්ථිකය ක්‍රියාත්මක වීම යි. ආර්ථිකයේ සැපයුම් පැත්ත සහ ඉල්ලුම් පැත්ත කෙරෙහි බලපාන විවිධ සාධක හේතු කොට ආර්ථිකයක් අසමතුලිත (Imbalance) විය හැකිය. එනම්, අධි සැපයුමක් හෝ අධි ඉල්ලුමක් හට ගැනීම යි. එමගින් ආර්ථිකයෙහි හට ගන්නා විවිධ ප්‍රතිඵලයන් හේතු කොට පොදුජන ජීවිතය කෙරෙහි විවිධ බලපෑම් ඇති විය හැකිය.

අධි සමාහාර සැපයුම හේතු කොට නිෂ්පාදන තොග ඉහළ ගොස්, ඉදිරියේ දී ආයෝජනය සහ නිෂ්පාදනය/ආර්ථික වර්ධනය පහළ ගොස් සේවා වියුක්තියක් හට ගනු ඇත. එසේම, භාණ්ඩ හා සේවා මිල ගණන් හෝ පොදු මිල මට්ටම පහළ යනු ඇත. මෙය ආර්ථික පසුබෑමක් (Economic Recession) ලෙස හැඳින් වෙයි.

මිට ප්‍රතිවිරුද්ධව, අධි සමාහාර ඉල්ලුම හේතු කොට භාණ්ඩ හා සේවා මිල ගණන් හෝ පොදු මිල මට්ටම ඉහළ යනු ඇත. මෙය උද්ධමනකාරී පීඩනය ලෙස හැඳින් වෙයි. එමගින්, පොදුජනතාවගේ ක්‍රය ශක්තිය සහ ජීවන් මට්ටම පහළ යනු ඇත. එහෙත්, අධි ඉල්ලුම හේතු කොට ඉදිරි කාලයේ දී ආයෝජනය ඉහළ ගොස් නිෂ්පාදනය, සමාහාර සැපයුම සහ සේවා වියුක්තිය ඉහළ (Economic Boom) යනු ඇත.

කොරෝනා වසංගතය තුළින් ආර්ථිකයන්හි සැපයුම් පැත්ත සහ ඉල්ලුම් පැත්ත කෙරෙහි ඇති වූ බලපෑම් හේතු කොට සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුම වෙනස් වීම හරහා ආර්ථිකයන් දැඩි අසමතුලිතතාවන්ට ලක් විය. ඒ බව, ආර්ථික වර්ධනය ඍණ වීම, සේවා වියුක්තිය ඉහළ යාම, වසංගතය ආරම්භයේ මිල ගණන් සහ උද්ධමනය පහළ යාම, ආර්ථිකයන් නැවත විවෘත කෙරෙන විට ආර්ථික වර්ධනය ඉහළ යාම සහ මිල ගණන් සහ උද්ධමනය ඉහළ යාම, ආනයනිත භාණ්ඩ හිඟයන් හට ගැනීම, ගෙවුම් ශේෂ හිඟයන් ඉහළ ගොස් උග්‍ර විදේශ විනිමය හිඟයන් හට ගැනීම වැනි විවිධ කෙටි කාලීන ආර්ථික උච්ඡාවචනයන් දෙස බැලීමෙන් පැහැදිලි වෙයි.

මෙම උච්ඡාවචනයන් සියල්ල ආර්ථිකයේ සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුම අතර පවතින අසමතාවන් හේතු කොට හට ගෙන ඇත. ගෝලීය ආර්ථිකය කොරෝනා වසංගතයෙන් නැවත ප්‍රකෘතිමත් වීම සඳහා බොහෝ කාලයක් ගත විය හැකි බැවින් මෙම ආර්ථික අසමතුලිතතාවන් (Imbalances) සහ උච්ඡාවචනයන් (Volatilities) ඉදිරියටත් විවිධාකාරයෙන් හට ගනු ඇත. එබැවින්, ආර්ථිකයේ සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුමේ ව්‍යුහය, මට්ටම් සහ ඒ කෙරෙහි බලපාන සාධක හඳුනා ගැනීමෙන් ආර්ථිකයක් තුළ සිදු වන  උච්ඡාවචනයන් විග්‍රහ කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය විසඳුම් යෝජනා කළ හැකිය.

වෙළෙඳපොළ පද්ධතිය සහ ආර්ථිකය

ආර්ථිකයක පවතින සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම වෙළෙඳපොළවල් රාශියක ක්‍රියාකාරීත්වයෙන් තීරණය වෙයි. එබැවින්, ආර්ථිකයක් යනු සමස්ත වෙළෙඳපොළක් ලෙස දැක්විය හැකිය. සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම යනු වෙළෙඳපොළ බලවේග දෙක යි. මෙම සමස්ත වෙළෙඳපොළට සම්බන්ධ වෙළෙඳපොළ පද්ධතිය විවිධ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළවල් සහ නිෂ්පාදන සාධක වෙළෙඳපොළවල් වලින් යුක්ත වෙයි. වී, සහල්, එළවළු, පළතුරු, සංගීතය, මත්පැන්, ආපනශාලා, හෝටල්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා වැනි භාණ්ඩ හා සේවා  සඳහා විවිධ මට්ටමේ වෙළෙඳපොළවල් ජාලයක් ආර්ථිකය පුරා පවතී. එසේම, ශ්‍රමය, ගොඩනැගිලි, ඉඩම්, දේශීය මුදල්, විදේශ මුදල්, ප්‍රාග්ධන භාණ්ඩ වැනි විවිධ නිෂ්පාදන සාධක සඳහා විවිධ මට්ටමේ වෙළෙඳපොළවල් ජාලයක් ද ආර්ථිකය පුරා පවතී.

එම වෙළෙඳපොළවල ද ඉල්ලුම සහ සැපයුම මත මිල ගණන් තීරණය වනු ඇත. එසේම, එම ඉල්ලුම සහ සැපයුම  විවිධ සාධක හේතු කොට වෙනස් වීමෙන් මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වනු ඇත. විවිධ භාණ්ඩ හා සේවා මිල ගණන්, වැටුප්, ලාභ ප්‍රතිශතයන්, පොලී අනුපාතයන්, විනිමය අනුපාතයන්, බදු කුලී අනුපාතයන් උදාහරණ ලෙස දැක්විය හැකිය.

මෙම වෙළඳපොළවල සිදු වන වෙනස්කම් සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම කෙරෙහි බලපෑම තුළින් ආර්ථික අසමතුලිතතාවන් හට ගෙන ආර්ථික වර්ධන අනුපාතය, උද්ධමනය සහ සේවා නියුක්තිය වෙනස් වනු ඇත. එමගින්, පොදුජන ජීවිතය කෙරෙහි විවිධ බලපෑම් කෙරෙන සිද්ධි මාලාවක් හට ගනු ඇත. ගෝලීය කොරෝනා වසංගතය තුළින් ආර්ථිකයේ මෙම සෑම වෙළෙඳපොළක් කෙරෙහි බලපෑම හේතු කොට ලෝකය පුරා දැඩි ආර්ථික අසමතුලිතතාවන් රැල්ලක් හට ගෙන පොදුජන ජීවන විෂමතාවය සහ දරිද්‍රතාවය ඉහළ නංවා ඇත.

වෙළෙඳපොළවල් මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ සිට පරිණාමය වී ඇත. ඒ අනුව, නූතන මිනිසාගේ අවශ්‍යතාවන් සහ උවමනාවන් ඉටු කිරීම සඳහා අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට උපකාරී වන වෙළෙඳපොළවල් අනේක සංඛ්‍යාවක් පවතී. වෙළෙඳපොළවල් ක්‍රියාත්මක වන්නේ මිල හරහා ය. මිල වෙනස් වීම මගින් ඉල්ලුම සහ සැපයුම තුලනය වීමෙන් වෙළෙඳපොළවල සහ ආර්ථිකයේ ස්ථායිතාවයක් හට ගනී. සමහර නූතන වෙළෙඳපොළවල් භාණ්ඩ හා සේවාවල අනාගත මිල ගණන් පවා වර්තමානයේ තීරණය කිරීමට ද දියුණු වී ඇත. එනම්, ඉදිරි වෙළෙඳපොළවල් (Forward Markets) සහ අනාගත වෙළෙඳපොළවල් (Futures Markets) ය.

ආර්ථික ක්‍රියාකරුවන් - පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ විදේශ අංශය

ආර්ථිකයක සිටින ක්‍රියාකරුවන් (Participants) පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ විදේශ අංශය ලෙස කොටස් තුනකට බෙදිය හැකිය. මෙය සාර්ව ආර්ථික විග්‍රහය සඳහා කෙරෙන බෙදීමකි. පෞද්ගලික අංශයට කුටුම්බ, පුද්ගලයන් සහ ව්‍යාපාරික/නිෂ්පාදන ආයතන අයත් වෙයි. රජය යනු සෙසු අංශවලින් බදු අය කොට පොදු මහජන සේවාවන් (Public Services) පවත්වා ගැනීම සඳහා මහජනයා විසින් පත් කෙරෙන ආයතන යි. රජය විසින් රාජ්‍ය ව්‍යවසායක ආයතන හරහා කෙරෙන නිෂ්පාදන ක්‍රියාකාරකම් පෞද්ගලික අංශය යටතේ ගැනේ. එසේම, රජය විසින් සපයන පොදුජන සේවා වටිනාකම ද රටක නිෂ්පාදන වටිනාකමට අයත් වෙයි. රජය විසින් ක්‍රියාත්මක කෙරෙන විවිධ ප්‍රතිපත්ති ද පොදුජන සේවා යටතේ ගණන් ගැනේ.

මෙම රාජ්‍ය ප්‍රතිපත්ති ආර්ථිකයේ නිෂ්පාදන සහ උපයෝජන ක්‍රියාකාරකම් කෙරෙහි ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් ආර්ථිකයේ වෙළෙඳපොළවල ඉල්ලුම සහ සැපයුම වෙනස් වී ආර්ථික සමතුලිතය කෙරෙහි බලපෑම හරහා පොදුජන ජීවිතය කෙරෙහි විවිධ හොද සහ නරක බලපෑම් ඇති කෙරනු ඇත. මිට හොඳම  උදාහරණය විවිධ මිල පාලනයන් සහ බදු ප්‍රතිපත්තීන් ය. රජය විසින් මෙසේ ආර්ථිකය කෙරෙහි මැදිහත් වන ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. ඒ සඳහා රජය විසින් පරිභෝජනය සහ ආයෝජනය හරහා වියදම් කෙරේ.

අපනයන, ආනයන සහ විදේශ ඉතුරුම් සහ ආයෝජන ගනුදෙනු කිරීම විදේශීය අංශය ලෙස සැලකේ.

ජාතික නිෂ්පාදිතය, ආදායම සහ වියදම

යම්කිසි කාලයක් තුළ ආර්ථිකයේ සියළු ක්‍රියාකාරීන් විසින් කරන ලද මුළු භාණ්ඩ හා සේවා ප්‍රමාණය ජාතික නිෂ්පාදිතය ලෙස සැලකේ. එය එකතු අගය ක්‍රමය (Value Added Method) යටතේ ගණනය කෙරේ. ජාතික නිෂ්පාදනයේ මුදල් වටිනාකම ජාතික ආදායම (Y) වෙයි. එය ආර්ථිකයේ සාධක හිමියන් වෙත වැටුප්, බදු කුලිය, පොලිය සහ ලාභ ලෙස බෙදී යනු ඇත. එම ආදායම සාධක හිමියන් විසින් වියදම් කෙරෙනු ඇත. එබැවින්, ජාතික ආදායම ජාතික වියදමට සමාන වනු ඇත. එබැවින්, රටක පරිභෝජන සහ ආයෝජන වියදමේ එකතුවට ජාතික ආදායම සමාන වෙයි. ආයෝජනය කෙරෙනුයේ ඉතුරුම් ය. එබැවින්, ආයෝජනය ඉතුරුම්වලට සමාන වෙයි. ඉතුරුම් යනු නිෂ්පාදනයෙන් ආයෝජනය සඳහා සැපයෙන හෝ සංචලනය කෙරෙන සම්පත් ප්‍රමාණය යි.

පෞද්ගලික අංශය විසින් නිෂ්පාදන කටයුතුවලින් තමන්ට ලැබෙන ආදායමින් රජයට බදු (T) ගෙවා ඉතිරිය පරිභෝජනය (C) සහ ආයෝජනය (I) කෙරෙනු ඇත. රජය විසින් ද තම බදු ආදායමින් පරිභෝජනය සහ ආයෝජනය සඳහා වියදම් (G) කෙරෙනු ඇත.

පරිභෝජන සහ ආයෝජනය සඳහා භාණ්ඩ හා සේවා (නිෂ්පාදන සාධක සේවාවන් ද ඇතුළුව) ආනයන (M) ද භාවිතා කෙරේ. එබැවින්, ආනයන ප්‍රමාණයෙන් ජාතික වියදම ජාතික නිෂ්පාදන ආදායමට වඩා වැඩි වනු ඇත. එසේම, ජාතික නිෂ්පාදනයෙන් කොටසක් ජාතික වියදමට එක් නොවී අපනයනය (X) කෙරෙනු ඇත. එබැවින්, අපනයන ප්‍රමාණයෙන් ජාතික වියදම ජාතික නිෂ්පාදන ආදායමට වඩා අඩු වනු ඇත. එබැවින්, ජාතික වියදමින් ආනයන අඩු කොට අපනයන එකතු කිරීමෙන් ජාතික වියදම ජාතික ආදායමට සමාන වෙයි.

සාර්ව ආර්ථික විද්‍යාවේ ජාතික ආදායම් සමීකරණය ලෙස දැක්වෙන්නේ මෙම ජාතික ආදායම් සහ වියදම් සමතුලිතය යි. ඉහත ආර්ථික සමතුලිතතාවය ලෙස දැක්වෙන්නේ ද මෙය යි. එය පහත දැක්වෙයි.

Y = C + I + G – T + X – M

ආර්ථිකයේ සියළු ක්‍රියාකාරීන්ගේ සහ වෙළෙඳපොළවල හැසිරීමේ වෙනස්කම් මෙම ජාතික ආදායම් සමිකරණයේ අඩංගු විචල්‍යයන් හෝ පදයන් හරහා හඳුනා ගත හැකිය. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් විවිධ ආර්ථික සංකල්පයන් සහ සංඛ්‍යාන මාදිලීන් භාවිතා කෙරේ.

කොරෝනා වසංගතය මෙම සෑම ආර්ථික ක්‍රියාවක් කෙරෙහි කම්පනයන් ඇති කරන ලදි. උදාහරණ ලෙස රාජ්‍ය වියදම් ඉහළ යාම, පෞද්ගලික පරිභෝජනය සහ ආයෝජනය කඩා වැටීම සහ ජාත්‍යන්තර වෙළෙඳාම වන ආනයන සහ අපනයන වෙළෙඳාම කඩා වැටීම දැක්විය හැකිය. එනම්, ජාතික නිෂ්පාදිතය සහ ආදායම කඩා වැටීම යි.

මුදල්, මහ බැංකුව, මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආර්ථිකය

ඈත අතීතයේ ආර්ථික ගනුදෙනු භාණ්ඩ හුවමාරු වෙළෙඳපොළවලින් පටන් ගෙන නූතනයේ මුදල් ආර්ථිකයන් දක්වා දියුණු වී ඇත. නූතන මුදල් බහුතරය විද්‍යුත් පද්ධති හරහා ගනුදෙනු කෙරේ. ආර්ථිකයක සංසරණය වන මුදල් ප්‍රමාණය තීරණය සහ පාලනය කිරීමේ බලතල රජය විසින් මහ බැංකුව වෙත පවරා ඇත. ඉහත දැක්වූ ආර්ථික ක්‍රියාකාරකම් මුදල් හරහා සිදු කෙරේ. එනම්, සියළු වෙළෙඳපොළවල භාණ්ඩ හා සේවා වෙළෙඳාම මුදල් හරහා සිදු කෙරේ. ඒ අනුව, ඕනෑම භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් මුදලින් වටිනාකම ගණනය කොට ඊට සමාන මුදල් ප්‍රමාණයක් හුවමාරු වෙයි. මෙම වටිනාකම මිල ලෙස හැඳින් වෙයි. එබැවින්, වටිනාකම් මැනීමේ හෝ ගිණුම් ඒකකයක් ලෙස ද, හුවමාරු මාධ්‍යයක් ලෙස ද මුදල් භාවිතා කෙරේ.

එබැවින්, ඕනෑම ගනුදෙනුවක මූර්ත ගනුදෙනුවක් ද, ඊට ප්‍රතිවිරුද්ධ මූල්‍ය ගනුදෙනුවක් ද පවතී. එනම්, මූර්ත ගනුදෙනුව සඳහා ඉල්ලුම් කරන්නේ මුදල් ප්‍රමාණයක් මගිනි. එබැවින්, මූර්ත ගනුදෙනුවක්  සඳහා ඉදිරිපත් කෙරෙන මුදල් ප්‍රමාණය හෙවත් ඉල්ලුම මූර්ත සැපයුමට වඩා ඉහළ යන විට එහි මිල ගණන් ඉහළ යනු ඇත.

  • මුදල්, පොදු මිල මට්ටම සහ උද්ධමනය

ආර්ථිකය සමස්තයක් ලෙස ගත් විට, සමාහාර සැපයුම යනු මූර්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණය හෝ එහි වටිනාකම යි. ඒ සඳහා සමාහාර ඉල්ලුම හෝ වියදම හට ගන්නේ මුදල් හරහා ය. ආර්ථිකයේ මුදල් ප්‍රමාණය ඉහළ යන විට එම මූර්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණය සඳහා කෙරෙන ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට වඩා ඉහළ යනු ඇත. එවිට, සමාහාර සැපයුම ක්ෂණිකව ඉහළ නොයන බැවින් ඉල්ලුම් සහ සැපයුම් තුළනය/සමතුලිතය සඳහා මූර්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ මිල ගණන් ඉහළ යනු ඇත. මෙය පොදු මිල මට්ටමේ ඉහළ යාම හෝ උද්ධමනය ලෙස හැඳින් වෙයි.

උදාහරණ ලෙස ආර්ථිකයේ සමාහාර සැපයුම ඒකක 500 ක් ද, එය මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වන මුදල් ප්‍රමාණය රුපියල් 1,000 ක් ද නම්, සැපයුම් ඒකකයක මිල හෝ පොදු මිල මට්ටම රුපියල් 2 කි. සැපයුම ස්ථාවරව පවතින විට මහ බැංකුව විසින් මුදල් ප්‍රමාණය රුපියල් 1,500 දක්වා ඉහළ දැමූ විට, එම ප්‍රමාණයෙන් ඉල්ලුම ඉහළ යාම හේතු කොට පොදු මිල මට්ටම රුපියල් 3 දක්වා ඉහළ යනු ඇත. එනම්, මුදල් ප්‍රමාණය ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ උද්ධමනය 50% කින් ඉහළ ගොස් ඇත. මීට ප්‍රතිවිරුද්ධව, සමාහාර සැපයුමට සාපේක්ෂව මුදල් ප්‍රමාණය පහළ යාම තුළින් සමාහාර ඉල්ලුම පහළ ගොස්  ආර්ථිකයේ මිල අවධමනකාරි තත්ත්වයක් හට ගනී.

එබැවින්, මුදල් යනු හුදෙක් ගනුදෙනුවල අතරමැදියෙකු ලෙස සැලකේ. ආර්ථිකයට සැපයෙන මුදල් ප්‍රමාණය ජාතික නිෂ්පාදනයේ කොටසක් නොවේ. එය හුදෙක්, නිෂ්පාදන ක්‍රියාවලියෙන් පිටතින් සැපයෙන ගනුදෙනු පහසු කිරීමේ නියෝජිතයෙකු පමණි. මූල්‍ය ආර්ථික විද්‍යාඥයන්ට අනුව මුදල් ප්‍රමාණය ඉහළ හෝ පහළ දැමීම තුළින් ආර්ථිකයේ සමාහාර සැපයුම කෙරෙහි දිගු කාලයේ දී බලපෑමක් ඇති නොවේ. එමගින්, ආර්ථිකයේ මිල මට්ටම පමණක් වෙනස් වෙයි. එහෙත්, බහුතර පිළි ගැනීම වනුයේ ආර්ථිකයේ සම්පත් සේවා වියුක්තියක් හෝ අව උපයෝජනයක් පවතින විට මුදල් ප්‍රමාණය ඉහළ දැමීම හේතු කොට සමාහාර ඉල්ලුම සහ මිල ඉහළ යාම තුළින් නිෂ්පාදකයන් සහ ආයෝජකයන් ධෛර්යමත් වී ඉදිරි කාලයේ දී නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ආදායම ඉහළ යන බව යි.

මීට ප්‍රතිවිරුද්ධව, ආර්ථිකයේ ඉහළ උද්ධමන පීඩනයක් පවතින විට සංසරණය වන මුදල් ප්‍රමාණය පහළ දැමීම තුළින් සමාහාර ඉල්ලුම අඩු කොට උද්ධමන පීඩනය පහළ දැමිය හැකි බවට ද විශ්වාස කෙරේ. එබැවින්, ආර්ථිකයේ මුදල් ප්‍රමාණය, ජාතික නිෂ්පාදිතය සහ පොදු මිල මට්ටම අතර ඍජු සම්බන්ධතාවක් පවතින බව පිළි ගැනේ. ඒ අනුව, ආර්ථිකයේ මිල මට්ටමේ වර්ධන අනුපාතයේ සහ ආර්ථික වර්ධන අනුපාතයේ එකතුවට මුදල් ප්‍රමාණයේ වර්ධන අනුපාතය සමාන වන බව දැක්වෙයි. උදාහරණ ලෙස ආර්ථික වර්ධනය අනුපාතය 5% ක් ද, මුදල් ප්‍රමාණයේ වර්ධනය අනුපාතය 10% ක් ද වෙයි නම්, ආර්ථිකයේ 5% ක මිල ඉහළ යාමක් හෝ උද්ධමනයක් පැවතිය යුතුය. මෙය මූල්‍ය ආර්ථික විද්‍යාවේ මුදල්  ප්‍රමාණවාදය හෙවත් විනිමය සමීකරණය ඇසුරින් පිළි ගැනේ.

  • මුදල්, ණය සහ පොලී අනුපාතය

ආර්ථිකයට මුදල් ලැබෙන්නේ ණය හරහා ය. මුදල්වල අඩංගු කාසි සහ නෝට්ටු ප්‍රමාණය මහ බැංකුව විසින් රජයට සහ බැංකුවලට ණය දීම හරහා සැපයෙන අතර සෙසු මුදල් ප්‍රමාණය බැංකු ණය මැවීම හරහා බැංකු පොත්වල ජනිත වෙයි (වැඩි විස්තර සඳහා සරසවි ප්‍රකාශනයක් වන මෙම කතුවරයාගේ මූල්‍ය ආර්ථික විද්‍යාව ග්‍රන්ථය බලන්න). එසේ සැපයෙන මුළු මුදල් ප්‍රමාණය මුදල් සැපයුම ලෙස දැක්වෙයි. එසේම, එම මුදල් සඳහා ඉල්ලුමක් ද පවතී. එබැවින්, ආර්ථිකයේ මුදල් වෙළෙඳපොළක් හෝ ණය වෙළෙඳපොළක් පවතී. එහි මිල යනු පොලී අනුපාතය යි. ණයවල පවතින අවදානම් අනුව විවිධ ණය වෙළෙඳපොළවල් සහ පොලී අනුපාතයන් පවතී. රාජ්‍ය ණය වෙළෙඳපොළ අවදානම් අඩුම ණය වෙළෙඳපොළ ලෙස සැලකෙයි. එබැවින්, අනෙක් ණය වෙළෙඳපොළවල අවදානම් ඉහළ බැවින් එහි පොලී අනුපාතයන් රාජ්‍ය ණය පොලී අනුපාතයන්ට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවට පිළි ගැනේ.

එබැවින්, මුදල් සඳහා පවතින පිරිවැය හෙවත් පොලී අනුපාතය නිෂ්පාදන සාධක පිරිවැයට එකතු වනු ඇත. ඊට හේතුව, ණය යනු ප්‍රග්ධනයේ කොටසක් (මූල්‍ය ප්‍රාග්ධනය) වන බැවිනි. ආර්ථිකයේ සමාහාර ඉල්ලුම බහුතරය ණය මගින් මූල්‍යකරනය  වන බැවින් පොලී අනුපාතය ද සමාහාර ඉල්ලුම හරහා ආර්ථිකය කෙරෙහි බලපෑමක් ඇති කෙරේ.

  • විදේශ මුදල් සහ විනිමය අනුපාතය

එසේම, විවෘත ආර්ථිකයක කෙරෙන ආනයන සහ අපනයන වෙළෙඳාම හේතු කොට විදේශ මුදල් හෝ විනිමය වෙළෙඳපොළක් ද ආර්ථිකයෙහි ක්‍රියාත්මක වෙයි. විදේශ මුදල් ලැබීම තුළින් විදේශ විනිමය සැපයුමක් ද, විදේශ ගෙවුම් සඳහා විදේශ විනිමය ඉල්ලුමක් ද හට ගනී. විදේශ විනිමය වෙළෙඳපොළේ මිල වනුයේ විනිමය අනුපාතය යි. විනිමය අනුපාතය යනු විදේශ මුදල් ඒකයක මිල දේශීය මුදල් ඒකක ගණනින් දැක්වීම යි. විදේශ විනිමය ගනුදෙනු පරිමාව ආර්ථිකයෙහි මුදල් සැපයුම වෙනස් වීම කෙරෙහි බලපාන බැවින් මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙළෙඳපොළෙහි පරිමාව සහ විනිමය අනුපාතය කෙරෙහි මැදිහත් වනු ඇත. ඒ සඳහා මහ බැංකුව විසින් විදේශ විනිමය සංචිතයක් පවත්වා ගෙන යන අතර විනිමය රෙගුලාසි ද පනවනු ඇත.

  • මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආර්ථිකය

එබැවින්, මුදල් ප්‍රමාණය යනු ආර්ථිකයේ නිෂ්පාදනය සහ මිල මට්ටම කෙරෙහි බලපෑම සඳහා භාවිතා කෙරෙන සමාහාර ඉල්ලුම් පාලන උපකරණයක් ලෙස සැලකේ. එය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස සැලකෙන අතර එය ක්‍රියාත්මක කිරීම මහ බැංකුව විසින් සිදු කෙරේ. මෙහිදී, මහ බැංකුව විසින් ණය පරිමාව, පොලී අනුපාතයන්, විදේශ විනිමය පරිමාව සහ විදේශ විනිමය අනුපාතය කෙරෙහි මැදිහත් වනු ඇත. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය මගින් සමාහාර ඉල්ලුම හරහා ආර්ථිකයේ නිෂ්පාදනය, සමාහාර සැපයුම සහ සේවා නියුක්තිය කෙරෙහි බලපෑම් කළ හැකිය.

උදාහරණ ලෙස ආර්ථිකයේ වර්ධනය පහළ ගොස් ඉහළ සේවා වියුක්තියක් පවතින විට මූල්‍ය ප්‍රතිපත්තිය ළිහිල් කිරීම, එනම්, පොලී අනුපාතයන් පහළ දැමීම සහ ණය/මුදල් ප්‍රසාරණය ඉහළ දැමීම, තුළින් ආර්ථිකයේ සමාහාර ඉල්ලුම ඉහළ ගොස් ඉදිරියේ දී සමාහාර සැපයුම ඉහළ යනු ඇත. මීට ප්‍රතිවිරුද්ධව, ආර්ථිකයේ ඉහළ උද්ධමනයක් පවතින විට, එනම්, අධි සමාහාර ඉල්ලුමක් පැවතීම, දැඩි හෝ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් සමාහාර ඉල්ලුම පහළ දමා උද්ධමනය පාලනය කළ හැකි බවට විශ්වාස කෙරේ. ආර්ථිකය මුදල් හෙවත් ණය මත ක්‍රියාත්මක වන බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකය කෙරෙහි ඍජු බලපෑමක් කෙරෙනු ඇත.

එහෙත්, ආර්ථිකයට සැපයෙන මුදල් හෝ ණය ප්‍රමාණය ජාතික නිෂ්පාදිතයේ කොටසක් නොවේ. එහෙත්, මුදල් හෝ ණය සැපයීමේ මහ බැංකු සහ බැංකු සේවයේ වටිනාකම (වැටුප්, බදු කුලී, ශුද්ධ පොලී ආදායම වැනි) මූල්‍ය අංශයේ එකතු අගය යටතේ ජාතික ආදායමෙහි අඩංගු වෙයි.

ආර්ථික සමතුලිතතාවය සහ ආංශීය අසමතුලිතතාවය

ඉහත දැක්වූ පරිදි ආර්ථිකයේ අංශයන් තුන වනුයේ පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය සහ විදේශ ගනුදෙනු අංශය යි. එය ජාතික ආදායම් සමිකරණයේ පද ඇසුරින් පහත ලෙස හඳුනා ගත හැකිය.

  • ජාතික ආදායම් සමිකරණය සහ ආර්ථික සමතුලිතතාවය

Y = (C + I) + (G – T) + (X – M)

මෙහි (C + I) මගින්  පෞද්ගලික අංශය ද, (G – T) මගින් රාජ්‍ය අංශය ද, (X – M) මගින්  විදේශ අංශය ද දැක්වෙයි.

ජාතික ආදායමින් පෞද්ගලික අංශය වෙත පවතින ඉතුරුම් (S) ලෙස  ලෙස අර්ථ දැක්විය හැකිය. එනම්, Y - C ය. ඒ අනුව ජාතික ආදායම් සමීකරණයේ පදයන් පහත දැක්වෙන ලෙස ඉදිරිපත් කල හැකිය.

S = I + (G – T) + (X – M)

(G – T) = (S – I) + (M – X)

  • ආංශීය අසමතුලිතතාවය - රාජ්‍ය අයවැය හිඟය, පෞද්ගලික ඉතුරුම් - ආයෝජන පරතරය සහ ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ ශේෂය

ඉහත අවසන් සමීකරණය මගින් සමස්ත ආර්ථිකය සමතුලිත වුව ද, ආර්ථික අංශයන් තුළ පවතින අසමතුලිතතාවන් දැක්වෙයි. එනම්, රාජ්‍ය අංශයේ අසමතුලිතතාවය රාජ්‍ය අයවැය හිඟය (G – T) මගින් ද, පෞද්ගලික අංශයේ අසමතුලිතතාවය පෞද්ගලික ඉතුරුම් - ආයෝජන පරතරය (S – I) මගින් ද, විදේශීය අසමතුලිතතාවය ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ ශේෂය (M – X) මගින් ද දැක්වෙයි.

ඒ අනුව, ඒ ඒ අංශයන් තුළ අසමතුලිතතාවන් පැවතිය ද, සමස්ත ආර්ථිකය සමතුලිත වනු ඇත. ඊට හේතුව, එක් අංශයක අසමතුලිතතාවක් අනෙක් අංශවල අසමතුලිතතාවන්ගෙන් පියවෙන බැවිනි. උදාහරණ ලෙස රජය විසින් අයවැය හිඟයක් පවත්වා ගෙන යයි නම්, එම හිඟය පියවීමට අවශ්‍ය සම්පත් හෝ ඉතුරුම් අනෙක් අංශයන් දෙක විසින් සැපයිය යුතුය. එනම්, පෞද්ගලික අංශය විසින් තම ආයෝජනයට වඩා ඉතිරි කොට (S > I) එය රජයට ණය ලෙස ලබා දිය යුතුය. එසේ නැත්නම්, ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් හරහා විදේශ ඉතුරුම්/සම්පත් ආනයනය කළ යුතුය. ජංගම ගිණුමේ හිඟයක් යනු එය පියවීම සඳහා එම ප්‍රමාණයෙන් විදේශ විනිමය ණය සහ ආයෝජන ලබා ගැනීම යි. මීට ප්‍රතිවිරුද්ධව, ජංගම ගිණුමේ අතිරික්තයක් යනු දේශීය ඉතුරුම්වලින් කොටසක් විදේශවලට ණය සහ ආයෝජන ලෙස ලබා දී ඇති බව යි.

ඉහත සමීකරණයට අනුව රටක රාජ්‍ය අයවැය හිඟයක් (G > T) සහ පෞද්ගලික අංශය තම ඉතුරුම්වලට වඩා ආයෝජනයක් (I > S) පවත්වා ගෙන යාම සඳහා ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟයක් (M > X) පවත්වා ගෙන යා යුතුය. උදාහරණ ලෙස ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය 10% ක් ද, ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය 3% ක් ද නම්, ආර්ථිකයේ 7% ක පෞද්ගලික ඉතුරුම් අතිරික්තයක් පැවතිය යුතුය. මෙවැනි අවස්ථාවක, ගෙවුම් ශේෂ අතිරික්තයක් ඇති කිරීම සඳහා ප්‍රතිපත්ති ගැනීම ඵලදායක නොවේ. එසේම, විදේශ අංශය වසා දැමුව හොත් අයවැය හිඟය පියවීම පෞද්ගලික ඉතුරුම් අතිරික්තයක් මගින් සිදු කළ යුතුය.

සමස්ත ආර්ථික සමතුලිතය යනු සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුම එකිනෙකට සමාන වීම යි. එහෙත්, මෙයින් ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තියක් අදහස් නොවේ. සේවා වියුක්තියක් සහිතව වුව ද ආර්ථිකය සමතුලිත විය හැකිය.

  • ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය සහ රාජ්‍ය විදේශ ණය

බොහෝ දියුණු වන රටවල පසුගිය දශක කිහිපය තුළ අයවැය හිඟය සහ ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය තුළින් ආර්ථික වර්ධනය පවත්වා ගෙන ඇත. මෙහිදී, බොහෝ රටවල පෞද්ගලික අංශය වෙත විදේශීය ණය සහ ආයෝජන ලැබීම සිමා කොට ඇති බැවින් (විදේශ ප්‍රාග්ධන සීමාවන්), ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය පියවීම රාජ්‍ය විදේශ ණය හරහා සිදු කොට ඇත. මහ බැංකුවේ විදේශ සංචිතය පවත්වා ගැනීම සහ විනිමය අනුපාතය පාලනය කිරීම සඳහා මෙම විදේශ ණය හරහා ලැබෙන විදේශ අරමුදල් භාවිතා කොට ඇත. එසේම, රාජ්‍ය විදේශ ණය සේවාකරනය ද නව විදේශ ණය ලබා ගැනීම හරහා සිදු කොට ඇත. එහෙත්, කොරෝනා වසංගතය හේතු කොට සමහර රටවලට නව විදේශ ණය ගැනීම අපහසු වූ අතර පවතින විදේශ සංචිතය භාවිතා කොට විදේශ ණය සේවාකරනය කිරීමට සිදු විය.

එමගින් විදේශ සංචිතය දැඩි ලෙස පහළ ගිය බැවින් රට තුළ දැඩි විදේශ විනිමය හිඟයක් හට ගෙන විනිමය අනුපාතය දැඩි ලෙස අවප්‍රමාණය වන ලදි. එසේම, විදේශ විනිමය හිඟය හේතු කොට දැඩි ආනයන සිමාවන් පනවන ලදි. එබැවින්, ආර්ථිකයේ පරිභෝජන සහ ආයෝජන භාණ්ඩ හිඟයන් හට ගෙන, මිල ගණන් සහ උද්ධමනය ඉහළ යන ලදි. එය අපනයන කෙරෙහි ද අයහපත් ලෙස බලපානු ඇත. බොහෝ අපනයන කර්මාන්තයන් ආනයනිත අමුද්‍රව්‍ය මත රඳා පවතී. එබැවින්, මෙම තත්ත්වය තුළින් මහජනයාගේ ජීවන තත්ත්වය කෙරෙහි දැඩි අසහනයක් හට ගෙන ඇත.

එසේම, විදේශ ණය නොමැතිව ආර්ථිකයන් නැවත ප්‍රකෘතිමත් කිරීම බොහෝ රටවලට අපහසු වී ඇත. එවැනි රටවල් නැවත ආවෘත ආර්ථිකයන් බවට පත් වීමේ අවදානමක් ද පවතී. ගෝලීය ආර්ථිකය ද ණය හරහා ක්‍රියාත්මක වන බැවින් විදේශ ණය නොමැතිව ආර්ථිකයන් පවත්වා ගැනීම අපහසුය. එබැවින්, රටවලට විදේශ ණය විශ්වාසය පවත්වා ගැනීමට සිදු වෙයි.

රාජ්‍ය ආර්ථික මැදිහත්වීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

ඉහත දැක්වූ රාජ්‍ය අයවැය හිඟය හෝ අයවැය ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස සැලකේ. එනම්, රාජ්‍ය ආදායම, වියදම සහ ආදායම්-වියදම් පරතරය පියවීමේ ප්‍රතිපත්තිය යි. රජය විසින් ආර්ථිකය කෙරෙහි මැදිහත් වන සෑම ක්‍රියාවක්ම අවසානයේ අයවැය පරතරය කෙරෙහි බලපානු ඇත. උදාහරණ ලෙස බදු අනුපාතයන් වෙනස් කිරීම, සුභසාධන ප්‍රතිපත්ති සහ වෙළෙඳපොළ පාලනයන් දැක්විය හැකිය. ඉහත දැක්වූ පරිදි අයවැය හිඟය ඉහළ යන විට පෞද්ගලික අංශය සහ විදේශීය අංශයේ අසමතාවයන් ද ඉහළ යනු ඇත. එය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙළෙඳපොළ පද්ධතිය සහ සමස්ත ආර්ථිකය කෙරෙහි සිදු වී ඇති බලපෑම නිරූපනය කිරීමකි.

  • අයවැය හිඟය සහ ආර්ථිකය

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ද ආර්ථිකයෙහි සමාහාර ඉල්ලුම කෙරෙහි බලපාන ප්‍රතිපත්තියකි. ඊට හේතුව, අයවැය යනු සමාහාර ඉල්ලුමේ කොටසක් වන බැවිනි. ආර්ථිකයේ නිෂ්පාදනයේ පසුබැසීමක් සහ සේවා වියුක්තියේ ඉහළ යාමක් පවතින විට රාජ්‍ය වියදම සහ අයවැය හිඟය ඉහල දැමීම තුළින් සමාහාර ඉල්ලුම ඍජුව ඉහළ නැංවිය හැකි අතර එමගින් ආර්ථිකයෙහි ගුණාකාර ලෙස නිෂ්පාදනය සහ සේවා නියුක්තිය ඉහළ යනු ඇත. මෙය කේන්ස් වාදය ලෙස හැඳින් වෙයි. කොරෝනා වසංගතය හේතු කොට හට ගත් ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ලෝකයේ සියළු රටවල් විසින් අනුගමනය කරනු ලබන්නේ මෙම ප්‍රතිපත්තිය යි. මෙහිදී, ඉහත දැක්වූ පරිදි ඉහළ යන අයවැය හිඟය පියවීම පෞද්ගලික ඉතුරුම් සහ ගෙවුම් ශේෂ ජංගම ගිණුම් හිඟය ඉහළ යාම හරහා සිදු කළ යුතුය.

  • බැංකු ණය මගින් අයවැය හිඟය පියවීම

එහෙත්, රජය විසින් ක්ෂණිකව බැංකු පද්ධතිය මගින් ණය ගැනීම හරහා මුදල් සැපයුම ඉහළ දැමීම මගින් අයවැය හිඟය පියවිය හැකිය. මුදල් යනු සාර්ව ආර්ථික ක්‍රියාවලියෙන් පිටතින් ලබා ගන්නා දෙයකි. එය මහ බැංකුවෙන් ණය ගැනීම හරහා මුදල් මුද්‍රණය සහ බැංකුවලින් ණය ගැනීම හරහා මුදල්/ණය මැවීම මගින් කළ හැකිය. එමගින්, මුදල් සැපයුම ඉහළ යන බැවින් එය මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි බලපානු ඇත. එබැවින්, මෙහිදී මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති සහයෝගය අවශ්‍ය වෙයි. මෙහිදී, මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා ණය පරිමාව සහ මුදල් සැපයුම පහළ දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ හොත්, රජයේ ණය පොලී පිරිවැය ඉහළ ගොස් අයවැය හිඟය තවත් ඉහළ යනු ඇත. එබැවින්, කොරෝනා වසංගතය මැඩලීම සඳහා ලෝකයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය යන ප්‍රතිපත්ති දෙකම ඓතිහාසික ලෙස ළිහිල් කොට සහයෝගීව පවත්වා ගෙන යාම දැකිය හැකිය. මෙය නූතන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory) ලෙස හැඳින් වෙයි.

  • නූතන මූල්‍ය න්‍යාය

නූතන මූල්‍ය න්‍යාය මගින් දැක්වෙන්නේ, ආර්ථිකයේ සම්පත් සේවා වියුක්තියක් පවතී නම් සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීමට හැකියාව පවතී නම්, රජය විසින් උද්ධමනය ගැන කණස්සළු නොවී මුදල් මුද්‍රණය/සැපයුම ඉහළ දැමීම තුළින් රාජ්‍ය වියදම ඉහළ දැමිය යුතු බව යි. නූතන මූල්‍යවාදීන්ගේ මතය වනුයේ පෞද්ගලික අංශයට මෙන් නොව රජයකට තම ආදායම් ප්‍රමාණයට සිමා නොවී, මුදල් මුද්‍රණය හරහා ඕනැ තරම් වියදම් කළ හැකි බව යි. මෙම මතය වර්තමානයේ ලෝකය පුරා අනුගමනය කිරීම දැකිය හැකිය.

එහෙත්, ඉහත දැක්වූ ආර්ථික ආංශීය අසමතුලිතතා විග්‍රහය අනුව ඉහළ යන අයවැය හිඟය හේතු කොට ඉදිරියේ දී පෞද්ගලික ඉතුරුම් සහ ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය ඉහළ යනු ඇත. ඊට හේතුව, රජයේ ණය ඉල්ලුම ඉහළ යාම හේතු කොට පොලී අනුපාතයන් ඉහළ යන බැවින් පෞද්ගලික ආයෝජන අධෛර්යමත් වී ඉතුරුම් ඉහළ යාමත්, මුදල් සැපයුම ඉහළ යාම නිසා ආනයන ඉල්ලුම ඉහළ ගොස් ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමත් සිදු වන බැවිනි. එබැවින් අවසානයේ, රාජ්‍ය අයවැය හිඟයට සමාන්තරව පෞද්ගලික ඉතුරුම් සහ ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය ඉහළ යා යුතුය. එබැවින්, මුදල් මුද්‍රණය මගින් අයවැය පියවීම ක්ෂණික හෝ කෙටි කාලීන පිළියමක් පමණි.

ආර්ථික දත්ත භාවිතය

ඉහත දැක්වූ පරිදි ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රවණතාවන් හඳුනා ගැනීම සඳහා වෙළෙඳපොළවල්, සමාහාර සැපයුම සහ සමාහාර ඉල්ලුමේ හැසිරීම් පිළිබඳ සංඛ්‍යා දත්ත අවශ්‍යය. එම දත්ත යම් යම් මූලයන් වෙතින් ලබා ගෙන අදාළ රාජ්‍ය ආයතන විසින් කාලීන පදනමක් මත සැපයෙනු ඇත. එසේම, දත්ත මූලයන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු රාශියක් ද පවතිනු ඇත. එබැවින්, ඉහත දැක්වූ පරිදි ආර්ථිකය ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා වෙළෙඳපොළ, ව්‍යාපාරික සමාගම් සහ කුටුම්බයන්ගේ හැසිරීමේ වෙනස්කම් නිරීක්ෂය ද කළ යුතුය. ඊට අමතර, ආර්ථික විද්‍යා න්‍යායන් සහ සංකල්පයන් මගින් කෙරෙන අනාවැකියන් පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතුය.

මෙහිදී, එම න්‍යායන් සහ සංකල්පයන් විවිධ උපකල්පනයන් මත පදනම් වී ඇති බැවින් සමකාලීන ආර්ථික පසුබිම කෙරෙහි ඒවායේ යෝග්‍යතාවය ද විමසිය යුතුය. උදාහරණ ලෙස මුදල් සැපයුම ප්‍රසාරණය වන විට උද්ධමනය හට ගන්නා බවට දැක්වෙන න්‍යාය නිතරම සත්‍ය නොවනු ඇත. එබැවින්, කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කෙරෙන අතිප්‍රසාරණාත්මක මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට සංකල්පීය උද්ධමන බිය හේතු කොට විරුද්ධ වීම යෝග්‍ය නොවනු ඇත. එබැවින්, ලෝකයේ බොහෝ මහ බැංකු පවසන්නේ මෑතදී හට ගෙන ඇති උද්ධමන පීඩනය සමාහාර සැපයුම් අවහිරතාවන් හේතු කොට හට ගෙන ඇති තාවකාලික උද්ධමන තත්ත්වයක් බවත්, ආර්ථිකයන් වසංගතයෙන් ගොඩ එන විට සමාහාර සැපයුම ඉහළ ගොස් උද්ධමනය පහළ යන බවත් ය.

මේ අනුව, ඉහත දැක්වූ ආර්ථික සමතුලිත සහ ආංශීය අසමතුලිතතා ආකෘතිය තුළින් ආර්ථිකයෙහි සිදු වන ප්‍රතිපත්ති සහ වෙනත් ඕනෑම කම්පනයක සාර්ව ආර්ථික බලපෑම හඳුනා ගත හැකිය. ඒ සඳහා සාර්ව සහ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යා මූලධර්මයන් සහ සමකාලීන ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ දැනුම ද අත්‍යාවශ්‍ය වනු ඇත. එසේ නොමැති විට විවිධ පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීම දැකිය හැකිය. උදාහරණ ලෙස දියුණු වන රටවල මහ බැංකු විසින් තම විදේශ සංචිතයෙන් විදේශ විනිමය විශාල වශයෙන් වෙළෙඳපොළට මුදා හැරීම මගින් විනිමය අනුපාත අවප්‍රමාණය වලක්වා ඇති විටක, විනිමය අනුපාතයේ ස්ථායිතාවය හුවා දක්වමින් සමස්ත ආර්ථික කළමනාකරණය කාර්යක්ෂම බව දැක්වීම සාවද්‍ය අදහසකි.


 


(ඊළඟ ලිපියෙන් විවිධ සාධක හේතු කොට ආර්ථිකයේ හට ගත හැකි වෙනස් කම් පිළිබඳ ඉහත ආකෘතිය හරහා උදාහරණ මගින් පැහැදිලි කිරීමට බලපොරොත්තු වෙමි. මෙම විෂය පිළිබඳ ව වෙනස් ඉදිරිපත් කිරීම්/විග්‍රහයන් ද පැවතිය හැකිය.)

 

පී සමරසිරි

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි