ඔබේ මුදල් මොනවා ද? කොහේ ද? අවදානම් කුමක් ද? මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 02
ලිපියේ අරමුණ සහ පසුබිම පුද්ගල මූල්‍ය සාක්‍ෂරතාවය යනු පුද්ගලයකු විසින් තම ජීවන රටාව සහ ඉලක්ක සඳහා ප්‍රතිලාභ-අවදානම් තුලනයක් මත මුදල් කළමනාකරණය කිරීම ලෙස මෙම ලිපි කලාපය සඳහා අර්ථ නිරූපණය කෙරේ. මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න. (ලිපිය) එබැවින්, රටේ මුදල් ක්‍රමයෙහි හෝ මූල්‍ය පද්ධතියෙහි කුමන ලක්ෂයන්හි, කුමන ප්‍රතිලාභ-අවදානම් මත තම මුදල් ගනුදෙනු කෙරේ ද? යන්න දැනුමක් පුද්ගලයෙකුට අවශ්‍ය ය. බොහෝ පුද්ගලයන් වංචාකාරී තැන්පතු සහ පිරමීඩ ආයෝජනයන්ට හසු වී, තම මුදල් අහිමි කර ගෙන, ජීවන රටාව බිඳ ගන්නේ, එවැනි දැනුමක් නොමැති බැවිනි. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවෙහි මූල්‍ය පද්ධතියෙහි අඩංගු සංඝටකයන් හෝ ස්ථරයන් සහ ඒවායේ ඇති මූලික පිරමීඩ අවදානම් හඳුන්වා දීම යි. එම දැනුම, මුදල් පිරමීඩයේ කුමන ස්ථරවල අපගේ මුදල් තිබේ ද? එහි ප්‍රතිලාභ-අවදානම් මට්ටම් කුමක් ද? එම මුදල් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? යන්න හඳුනා ගැනීමට උපකාරී වෙයි. මුදල් යනු කුමක් ද? මුදල් යනු වටිනාකම මැනීම, වටිනාකම රැස් කිරීම සහ වටිනාකම හුවමාරු කර ගැනීම සඳහා පිළි ගැනෙන ඕනෑම මාධ්‍යයකි. මෙම වටිනාකම ආශ්‍රිත මුදල්වල කාර්යයන් හතරක් දැක්වෙ...