මහ බැංකු මහ පොලියෙන් ආර්ථිකය මහ පාරට?



මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ දැනට මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන අධික පොලී අනුපාත ප්‍රතිපත්තිය ආර්ථිකයේ උද්ධමනය පහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න මහ බැංකුව විසින් පිළි ගැනෙන මූල්‍ය ආර්ථික විද්‍යා සංකල්පය පැහැදිලි කිරීම යි. 

මේ දිනවල  පැතිරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දැකිය හැකි සටන් පාඨයක් වනුයේ රටේ දැනට පවතින අධික ණය පොලී අනුපාතයන් වහාම අඩු කරන ලෙස ය. මේ පිළිබඳ ව මාධ්‍යය විසින්  කළ විමසීමකට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක විසින් පසුගිය පෙබරවාරි 8 දින දෙන ලද පිළිතුර වූයේ, රටේ පොලී අනුපාතයන් නියම කිරීමේ බලය මුදල් නීති පනත මගින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බැවින්, ඒ සඳහා රජයට මැදිහත් වීමට කිසිම හැකියාවක් නොමැති බව යි. එහෙත්, මෙය නිවැරදි පිළිතුරක් නොවේ. 

  • පළමුව, මහ බැංකුව විසින් මුදල් නීති පනත යටතේ දැනට තීරණය කරන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පමණි. බැංකු ණය සහ තැන්පතු පොලී අනුපාතයන් තීරණය කරනු ලබන්නේ ඒ ඒ බැංකු විසින් ය. 

  • දෙවනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඇතුළු රටට යෝග්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න පිළිබඳ ව රජයේ මතය අනුව විධානයන් පැනවීමේ බලය මුදල් නීති පනතින් ම මුදල් ඇමති වරයා වෙත පවරා ඇත. එවැනි, විධානයන් මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුතුය. එබැවින්, රටේ දැනට පවතින ඉහළ පොලී අනුපාතයන් සඳහා රජයේ එකගත්වය පවතී.

එබැවින්, මෙම ලිපියෙන් වත්මන් ආර්ථික අර්බුදය තුළ මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත සංකල්පීය කාර්යසාධනය පිළිබඳ ව අවබෝධයක් ලබා දීමට උත්සහ කෙරේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මොනවා ද?

එනම්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය යි. 

  • නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යනු වාණිජ බැංකු විසින් මහ බැංකුවේ එක් දින පදනම මත තැන්පත් කෙරෙන මුදල් සඳහා මහ බැංකුව විසින් ගෙවන පොලී අනුපාතය යි. 

  • මීට ප්‍රතිවිරුද්ධව, නිත්‍ය ණය පහසුකම් අනුපාතය යනු වාණිජ බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපයට තබා එක් දින පදනම මත මහ බැංකුවෙන් ලබා ගන්නා ණය සඳහා මහ බැංකුව විසින් අය කරන පොලී අනුපාතය යි. 

මෙම පොලී අනුපාතයන් දැනට පිළිවෙලින් 14.5% සහ 15.5% වෙයි. මෙය ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව ලෙස ද හැඳින් වෙයි.

මෙම නිත්‍ය ගනුදෙනු පහසුකම රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික අළෙවි කාර සමාගම්වලට ද ලැබේ. 

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ගේ අරමුණ කුමක් ද?

  • ආර්ථිකයේ පොලී අනුපාතයන් ස්ථායිකරණය 

කෙටි කාලීන අරමුණ වන්නේ අන්තර් බැංකු එක් දින ණය වෙළෙඳපොළ පොලී අනුපාතයන් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ ස්ථායිකරණය කිරීම යි. ඒ සඳහා යෝග්‍ය මට්ටමේ අන්තර් බැංකු අරමුදල් සැපයුම මහ බැංකු නිත්‍ය පහසුකම් තුළින් පාලනය කෙරේ. 

එය, දෙයාකාරයකට සිදු වෙයි. කිසිම බැංකුවක් තම අතිරික්ත අරමුදල් නිත්‍ය තැන්පතු අනුපාතයට පහළ පොලී අනුපාතයකට අන්තර් බැංකු වෙළෙඳපොළේ ණය දීමට ඉදිරිපත් නොවේ. මීට ප්‍රතිවිරුද්ධව, කිසිම බැංකුවක් නිත්‍ය ණය අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයකට අන්තර් බැංකු වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට ඉදිරිපත් නොවේ. 

එබැවින්, අන්තර් බැංකු එක් දින ණය සැපයුම සහ ඉල්ලුම අනුව එම පොලී අනුපාතයන් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව තුළ විචලනය වනු ඇත. එය දැනට 1% ක පරාසයක (14.5%-15.5%) සිදු වෙයි. පොලී අනුපාත ස්ථායිකරණය හෝ ඉලක්ක කරණය ලෙස හැඳින් වෙන්නේ මෙය යි.

එබැවින්, නිත්‍ය පහසුකම් හරහා පවත්වා ගෙන යන ප්‍රතිපත්ති පොලී අනුපාතයන් යනු එක් දින අන්තර් බැංකු වෙළෙඳපොළේ මිල පාලනය ලෙස දැක්විය හැකිය.

එහෙත්, අන්තර් බැංකු වෙළෙඳපොළේ දින 7 හෝ මාසය වැනි කාලයන් සඳහා ද ණය ගනුදෙනු සිදු වන අතර ඊට අදාළ පොලී අනුපාතයන් පාලනය හෝ ඉලක්ක කිරීමක් මහ බැංකුව විසින් සිදු නොකෙරේ.

  • උද්ධමනය ඉලක්ක මට්ටමේ පාලනය කිරීම හෙවත් උද්ධමන ඉලක්කකරණය 

අවසාන අරමුණ වන්නේ බැංකු පද්ධතිය ඇතුළු ආර්ථිකයේ පොලී අනුපාතයන් කෙරෙහි බලපෑම හරහා ආර්ථිකයෙහි ණය ප්‍රසාරණය පාලනය කිරීම තුළින් උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක මට්ටමේ පාලනය කිරීම යි. ඊට හේතු තුනක් දැක්වෙයි. 

  • පළමුව, අන්තර් බැංකු එක්  දින පොලී අනුපාතය මත බැකු තැන්පතු සහ ණය පොලී අනුපාතයන් තීරණය වනු ඇත. 

  • දෙවනුව, ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා සමස්ත ඉල්ලුම් ප්‍රසාරණය ණය ප්‍රසාරණය මත තීරණය වනු ඇත. 

  • තෙවනුව, ආර්ථිකයේ උද්ධමනය හෝ පොදු මිල මට්ටමේ වෙනස් වීම සමස්ත ඉල්ලුමේ ප්‍රසාරණය මත තීරණය වනු ඇත. ඊට හේතුව, ආර්ථිකයෙහි සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට වඩා ප්‍රසාරණය වීමෙන් උද්ධමනය හට ගන්නා බව පිළි ගැනීම යි. 

එබැවින්, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත ක්‍රියාත්මක කෙරෙන වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය උද්ධමන ඉලක්ක කරණ මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින් වෙයි. ශ්‍රී ලංකාවේ වර්තමාන උද්ධමන ඉලක්කය වාර්ෂික 4%-6% මට්ටම යි. එය සංවර්ධිත රටවල 2% වෙයි.

ඒ අනුව, ආර්ථිකයේ පවතින උද්ධමන උපණතිය සැලකිල්ලට ගෙන මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වරින් වර වෙනස් කිරීම හෝ ස්ථාවරව තබා ගැනීම කරනු ලැබේ.

එනම්, උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා ඉහළ යන විට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීමත්, ඊට ප්‍රතිවිරුද්ධව, උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහළ යන විට ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් ය. 

එසේ ඉහළ හෝ පහළ දැමීමේ ප්‍රමාණය පිළිබඳ ව ගණිතමය සුත්‍රයක් නොමැති අතර එය හුදෙක් අදාළ මහ බැංකු නිලධාරීන්ගේ අභිමතය මත රඳා පවතී. මෙහි දී, සාමාන්‍යයෙන් සුළු ප්‍රතිශතයන්ගෙන් පොලී අනුපාතය කාලයක් තුළ වරින් වර වෙනස් කරමින්, ඊට අනුරූපව උද්ධමනය වෙනස් වන ප්‍රමාණය ඇගයීම කෙරේ. 

එසේම, කුමන උද්ධමන මට්ටමේ දී පොලී අනුපාතය වෙනස් කිරීම නැවතිය යුතු ද? උද්ධමනය ඉලක්ක මට්ටමට එයි ද? ඒ සඳහා කෙතරම් කාලයක් යයි ද? යන්න තීරණය කිරීමට ද පිළිගත් නිර්ණායකයක් නොමැත.

ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම උද්ධමනය කෙරෙහි බලපාන්නේ කෙසේ ද?

පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් උද්ධමනය අනාගතයේ දී  පහළ යාම අපේක්ෂා කෙරේ. එය පියවර කිහිපයක් යටතේ සිදු වීම අපේක්ෂා කෙරේ. එය මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය ලෙස හැඳින් වෙයි.

  • පළමුව, අන්තර් බැංකු එක් දින පොලී අනුපාතය ක්ෂණිකව ඉහළ යනු ඇත.

  • දෙවනුව, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් සහ බැංකු තැන්පතු සහ ණය පොලී අනුපාතයන් ඉහළ යනු ඇත.

  • තෙවනුව, ණය පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ ණය ඉල්ලුම පහළ ගොස් ණය ප්‍රසාරණය පහළ යනු ඇත. සාමාන්‍යයෙන් පොලී අනුපාතයන් වෙනස් වීමට රාජ්‍ය ණය සංවේදී නොවන බැවින්, මෙහි දී පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය පහළ යාම අපේක්ෂා කෙරේ.

  • සිවුවනුව, ණය ප්‍රසාරණය පහළ යාම හේතු කොට ආර්ථිකයේ සමස්ත ඉල්ලුමේ ප්‍රසාරණය පහළ යනු ඇත. මෙහි දී, පරිභෝජන සහ ආයෝජන ඉල්ලුම හෝ වියදම් පහළ යාම සිදු වෙයි. එය පියවර හතරකින් සිදු වෙයි. 

1. පළමුව, ණය හරහා කෙරෙන පරිභෝජන සහ ආයෝජන වියදම් පහළ යනු ඇත.

2. දෙවනුව, ඉහළ ණය පොලී පිරිවැය හේතු කොට ව්‍යාපාරිකයන් විසින් තම ව්‍යාපාරික කටයුතු පහළ දැමීම කෙරේ. 

3. තෙවනුව, එම ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගත් ශ්‍රමය, භුමිය සහ ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධකවල සේවා වියුක්තිය ඉහළ යන බැවින් ආර්ථිකයේ නිෂ්පාදන සාධකවල ආදායම පහළ යනු ඇත. 

4. සිවුවනුව, නිෂ්පාදන සාධක ආදායම පහළ යාම හේතු කොට ඔවුන් විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණය හෙවත් ඉල්ලුම පහළ යනු ඇත. 

  • පස්වනුව, ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමේ ප්‍රසාරණය පහළ යන බැවින් මිල ගණන් පහළ යනු ඇත. එනම්, උද්ධමනය පහළ යාම යි.

එබැවින්, මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් උද්ධමනය පහළ යන්නේ, ආර්ථිකයේ ආයෝජනය සහ නිෂ්පාදනය පහළ යාම, සේවා වියුක්තිය ඉහළ යාම සහ පරිභෝජනය පහළ යාම හරහා ය . එය ආර්ථික පසු බැසීම හෝ අවපාතය ලෙස හැඳින් වෙයි.

එහෙත්, මහ බැංකුව විසින් දක්වන්නේ උද්ධමනය පහළ දැමීම තම ව්‍යවස්ථාපිත වගකීම වන බවත්, ඒ සඳහා තමන්ට ඇති ප්‍රතිපත්ති මෙවලම වන්නේ පොලී අනුපාතය ඉහළ දැමීම බවත්, එබැවින්, ආර්ථිකය හැකිලීමකින් තොරව උද්ධමනය පහළ දැමිය නොහැකි බවත් ය. 

එහෙත්, ආර්ථික අර්බුදය තුළින් දැනටම හැකිලී ඇති ආර්ථිකය මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් තවත් හැකිලීමේ සමාජ සාධාරණත්වය කුමක් ද? යන්න ප්‍රශ්න කෙරේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් සහ සේවකයන් විසින් වර්තමානයේ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය හරහා පවත්වා ගෙන යන ඉහළ පොලී අනුපාතයන්ට එරෙහිව උද්ඝෝෂණය කෙරෙන්නේ එබැවිනි.

මහ බැංකුව විසින් ඉහත දැක්වූ ප්‍රකාශයන් කළ ද, එය දේව ධර්මය හෝ දේව වාක්‍යයන් නොවේ. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට හෝ පොලී අනුපාතයන්ට ඇති හැකියාව පිළිබඳ ව ආර්ථික විද්‍යාඥයන් අතර විවිධ සංකල්පීය මතභේදයන් රැසක් පවතී .

ඊට හේතුව, ඉහත දැක්වූ සම්ප්‍රේෂණ දාමය හෝ මූල්‍ය ප්‍රතිපත්ති ශක්‍යතාවය තහවුරු කෙරෙන ආර්ථික පර්යේෂණ දත්ත නොමැති අතර එය හුදෙක් පැරණි සංකල්පයක් වශයෙන් භාවිතා කිරීම යි. මෙම සංකල්පය හුදෙක් කාසි සහ නෝට්ටු භාවිතා වූ ප්‍රාදේශීය ආවෘත ආර්ථිකයන් පැවති ගෝත්‍රීය ආර්ථික සමාජයන් පදනම් කොට ගොඩ නැගී ඇත. වත්මන් ගෝලීය ආර්ථිකය තුළ  විද්‍යුත් මුදල් භාවිතා කෙරෙන සංකීර්ණ සාධක මත මිල ගණන් සහ උද්ධමනය තීරණය වන ආර්ථිකයන්ට මෙම සංකල්පයේ වැදගත් කමක් නොමැත. එසේම, මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා උද්ධමනය නිර්වචනය සහ ගණනය කෙරෙන ආකාරයේ ද ගැටළු රැසක් පවතී. 

තව ද, මුදල් නීති පනත අනුව උද්ධමනය පාලනය කරන අතර වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා භාවිතා කළ හැකි මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් රැසක් පවතී.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මෑත කාලයේ දී ඉහළ දමා ඇත්තේ කෙසේ ද? ආර්ථිකයේ පොලී අනුපාතයන් කෙරෙහි එහි බලපෑම කුමක් ද?

ශ්‍රී ලංකාවේ ඉදිරි කාලයේ දී උද්ධමන පීඩනයක් හට ගත හැකි බව පවසා, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කරනු ලැබුවේ 2021 අගෝස්තු මස 18 දින ය. එනම්, නිත්‍ය තැන්පතු අනුපාතය 5% දක්වා ද, නිත්‍ය ණය අනුපාතය 6% දක්වා ද, 0.50% කින් ඉහළ දැමීම යි. එතැන් සිට මේ දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 14.5% සහ 15.5% දක්වා 5 වරක දී 9.5% කින් ඉහළ දමා ඇත.

එනම්, 2021 අගෝස්තු 18 දින 0.50%, 2022 ජනවාරි 19 දින 0.50%, 2022 මාර්තු 3 දින 1%, 2022 අප්‍රේල් 8 දින 7.5% සහ 2022 ජුලි 7 දින 1% ලෙස ය.

මින් ආර්ථිකයට මරු පහරක් වූ ඉහළ දැමීම සිදු වූයේ  2022 අප්‍රේල් මස 8 දින ය. එනම්, ආර්ථිකය අර්බුදයෙන් කඩා වැටීම බල බලා, එකවර පොලී අනුපාතයන් 7.5% කින් අත්තනෝමතිකව ඉහළ දැමීම යි. ඊට සමගාමීව බැංකු විසින් තම තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දැමීමට මැළි වූ බැවින්, තැන්පතු පොලී අනුපාතයන් ඉහළ දමන ලෙස 2022 අප්‍රේල් 21 දින ලිඛිත නියෝගයක් ද මහ බැංකුව විසින් බැංකුවලට නිකුත් කරන ලදි. ඒ හේතුවෙන්, ආර්ථිකයේ සියළු පොලී අනුපාතයන් අහස උසට ඉහළ යන ලදි.

එබැවින්, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් 32%-33% දක්වා ද, ස්ථිර තැන්පතු පොලී අනුපාතයන් 20%-25% දක්වා ද, ණය පොලී අනුපාතයන් 28%-30% දක්වා ද ක්ෂණිකව ඉහළ යන ලදි. එහෙත්, තැන්පතු හිමියන් විසින් මහ බැංකුව සහ නව අධිපති කෙරෙහි මහත් ප්‍රසාදය පළ කරන ලදි. ඔවුන් විසින් පෝලිමේ ගොස් තම ස්ථිර තැන්පතු අවලංගු කොට ඉහළ පොලී අනුපාතයන් යටතේ නව තැන්පතු ගිණුම් විවෘත කරන ලදි. එබැවින්, බැංකු විසින් දැනටමත් දී ඇති ණය සඳහා ද පොලී අනුපාතයන් ඉහළ දමන ලදි. ඉන්  තම ණය ගෙවීමට නොහැකි තත්ත්වයට ණය කරුවන් පත් වී ඇත.

තැන්පතු හිමියන් සිතන්නේ නව මහ බැංකු අධිපති විසින් 2022 අප්‍රේල් 8 දින රාජකාරි භාර ගත් විගස ඔවුන්ට වාසි දායක ඉහළ පොලියක් දීම හරහා ආර්ථිකය ගැට ගසා ගෙන  ගෙන යන බව යි. එහෙත්, ඔවුන්ට නොතේරෙන කාරනය නම්, ඉහළ තැන්පතු පොලී අනුපාතයන් හේතු කොට ඔවුන්ගේ මුදල් අධි අවදානම් තත්ත්වයකට වැටී ඇති බව යි.  ඊට හේතුව, බැංකු විසින් 20%-25% ක තරම් ඉහළ පොලියක් තැන්පතුවලට ගෙවීමට නම්, එම මුදල් ණයට දිය යුත්තේ 30%-35% තරම් ඉහළ පොලී අනුපාතයන්ට වීම යි. එතරම්, ඉහළ පොලී අනුපාතයන්ට ණය ගන්නේ ඉතා අවදානම් ව්‍යාපාරයන් ය. එබැවින්, මේ වසරේ අප්‍රේල්-මැයි මස සිට කල් පිරෙන තැන්පතුවලට පොලී ගෙවීමේ සහ තැන්පතු ආපසු ගෙවීමේ දී බැංකු දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ඇත. දැනට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමානව බැංකු තැන්පතු ප්‍රතිව්‍යුහගත කිරීමට ද සිදු විය හැකිය.

පොලී අනුපාතයන් ඉහළ යාම යනු නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් වන බැවින්, එය ද මිල ගණන් තවත් ඉහළ යාමට හේතුවක් විය. එනම්, පිරිවැයෙන් තල්ලු වූ උද්ධමන පීඩනයක් හට ගැනීම යි.

පසුගිය 2023 ජනවාරි 2 දින ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමවේදයට කරනු ලැබූ වෙනස කුමක් ද?

එනම්, 2023 ජනවාරි මස 16 දින සිට බලපැවැත්වෙන පරිදි වාණිජ බැංකු සඳහා මහ බැංකු නිත්‍ය පහසුකම් කෙරෙහි සීමාවන් පැනවීම යි. 

  • ඕනෑම බැංකුවකට නිත්‍ය තැන්පතු පහසුකම යටතේ මුදල් තැන්පත් කිරීම මසකට දින 6 කට සිමා කිරීම.

  • ඕනෑම බැංකුවකට නිත්‍ය ණය පහසුකම යටතේ දෛනික ණය ගැනීම ණය ගන්නා දින එම බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයෙන් 90% ක උපරිමයට සමාන මුදලකට සිමා කිරීම.

එනම්, නිත්‍ය පහසුකම් සලාක කිරීමකි. එබැවින්, ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝවේ අරමුණ බිදී ගොස්, කළු කඩ මුදල් වෙළෙඳපොළක් බිහි වී, ණය ගනුදෙනුවල අක්‍රමිකතාවන් හට ගනු ඇත. එසේම, මුදල් වෙළෙඳපොළ ද අනපේක්ෂිත විචලනයන්ට මුහුණ දෙනු ඇත. ඒ බව, 2023 ජනවාරි මස දෙවැනි සතියේ සිට ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ තුළ දැකිය හැකිය. 

එසේම, මහ බැකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමකින් තොරව, වෙළෙඳපොළ බලවේගයන්ට බාහිර වූ ඍජු මැදිහත් වීම් හරහා පොලී අනුපාතයන් පහළ දැමීමේ උත්සාහයක දැනට නිරත වී ඇති බව පෙනේ.

මහජනතාවට දෙන පණිවුඩය 

ඉහත දැක්වූ කරුනු දෙස බලන විට මහ බැංකුව විසින් පරණ ලිපිගොනුවල තිබෙන පරිදි ආර්ථිකයේ උද්ධමනය පහළ දැමීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දමමින් බලා ගෙන සිටී. එහෙත්, ආර්ථිකයේ සැපයුම් තත්ත්වයන් දියුණු වී, සමහර ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ යාම තුළින් උද්ධමනය මදක් පහළ යන විට එය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා එය සිදු වූ බව මහ බැංකුව පවසයි. 

මහ බැංකුව විසින් 2021 අගෝස්තු මස පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කරන විට උද්ධමනය 5.7% ක් විය. එහෙත්, තවදුරටත් පොලී අනුපාතයන් ඉහළ දමන විට, උද්ධමනය ද අඛණ්ඩව ඉහළ ගොස් ඇත. එය 2022 සැප්තැම්බර් මස 69.8% දක්වා ඉහළ ගොස්, 2023 ජනවාරි මස 54.2% දක්වා පහළ ගොස් ඇත. එහෙත්, උද්ධමනය ගණනය කෙරෙන පාරිභෝගික මිල දර්ශකය තවමත් ඉහළ යමින් පවතී.

ලෝකයේ සියළුම මහ බැංකු විසින් විශ්වාස කරනුයේ රටක මිල හෝ ආර්ථික අස්ථායිතාවයට හේතුව රටේ සමස්ත සැපයුම සහ සමස්ත ඉල්ලුම අතර අසමතාවය බවත්, උද්ධමන ඉලක්කය අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් කිරීම හරහා සමස්ත ඉල්ලුම පාලනය කිරීම මගින් නැවත ආර්ථිකය ස්ථායී  කළ හැකි බවත් ය. මහ බැංකුවට එතරම් ශක්‍ර දේව බලයක් ඇත්නම්, රටේ පාලනය මහ බැංකුවට භාර දිය යුතුය. එහෙත්, මෙය මිත්‍යා මතයක් බව නූතන ආර්ථිකයන්හි ක්‍රියාශීලී වෙළෙඳපොළ ව්‍යුහය සහ අස්ථායිතාවයන් දෙස බැලීමේ දී පැහැදිලි වෙයි. මේ දිනවල සංවර්ධිත රටවල පවා දශක 4 කට පසු ඉහළම උද්ධමනය හට ගෙන ඇත්තේ ස්වාධීන මහ බැංකු ඉදිරිපිට දී ය. ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර දෙක තුළ ක්‍රමයෙන් කඩා වැටුනේ ද ආර්ථික ස්ථායිතාවය සහ අස්ථායිතාවය ගැන මනා දැනුමක් ඇති මහ බැංකුවේ දැනට සිටින ආර්ථික විශේෂඥයන් බලා සිටිය දී ය.

ශ්‍රී ලංකාවේ වත්මන් උද්ධමන පීඩනය සැපයුම් අංශය පහළ යාම සහ පිරිවැය ඉහළ යාම තුළින් හට ගෙන ඇත. ඊට ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය හේතු කොට සැපයුම පහළ යාම, මහ බැංකුවේ අසමත්භාවය තුළින් හට ගත් විදේශ සංචිත හිඟය හේතු කොට ඇති වූ ආනයන හිඟය සහ විනිමය අනුපාතය අවප්‍රමාණය, ගෝලීය ඉන්ධන සහ ගෑස් මිල අධික ලෙස ඉහල යාම සහ ගෝලීය උද්ධමනය හේතු වී ඇත. එබැවින්, එම සාධකයන් නිරාකරණය කිරීමකින් තොරව ඉහත දැක්වූ පරිදි මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දමා ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහළ දැමීමට උත්සහ කිරීම, දැනට වර්ෂයකට වඩා වැඩි කාලයක් පුරා අර්බුදයෙන් කඩා වැටී ඇති ආර්ථිකය තවත් කඩා වැටීමට ලක් කිරීමකි.

එබැවින්, උද්ධමනය පාලනය කරන බවට මහ බැංකුව විසින් කරනු ලබන ප්‍රකාශනයන්හි සත්‍යතාවය පිළිබඳ ව මහජනතාව විසින් ප්‍රශ්න කළ යුතුය. එසේ නැත්නම්, මෙතරම් ඉහළ මට්ටමේ පොලී අනුපාතයන් තුළින් ආර්ථිකය සම්පුර්ණයෙන් බිඳ වැටීමේ ව්‍යසනය ද ඉදිරි වර්ෂවල දී මහජනතාවට දැරීමට සිදු වනු ඇත. පොලී අනුපාතයන් මෙතරම් ඉහළ යාම තුළින් බැංකු සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය කෙරෙහි හට ගන්නා අවදානම් ද මෙහි දී අමතක නොකළ යුතුය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 




Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි