යෝජිත නව මහ බැංකු ස්වාධීනත්වය: මහ බැංකුව පෞද්ගලික කරණය ද?

පසු ගිය දිනක මුදල් රාජ්‍ය ඇමති වරයකු විසින් මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ බව මධ්‍යයෙහි වාර්තා විය.

මෙම ලිපියේ අරමුණ එම යෝජනාවට උපකාරයක් ලෙස කෙටි විමසුමක් ඉදිරිපත් කිරීම යි.

අර්බුදයක දී නීති සම්පාදකයන්ගේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකාවේ පොදුජනයා අර්බුදයකට මුහුණ දෙන විට, රාජ්‍ය පාලකයන් විසින් සොයන ගැලවුම් කරුවන් දෙදෙනෙකි. පළමුව, ව්‍යවස්ථාව. දෙවනුව, එවැනි අර්බුදයක් නැවතත් ඇති වීම වැලක් වීම සඳහා නව නීති පැනවීම. මෙය නිලධාරීන් විසින් තම ඇග බේරා ගැනීම සඳහා කරන දෙයකි. ඊට හේතුව, නව නීති එන තෙක් ඔවුන්ට පහසුවෙන් සිට විශ්‍රාම යාමේ කාලය ලැබෙන බැවිනි. එහෙත්, තමන් අකමැති පුද්ගලයන් වංචා චෝදනාවන් මත අත් අඩංගුවට ගෙන නඩුවලට පැටලීම පිණිස ව්‍යාජ සාක්ෂි සැකසීම සඳහා මෙම නීති අති දක්ෂ ලෙස භාවිතා කෙරේ.

වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදවා ගැනීම සඳහා ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කොට අවසානය. එහෙත්, සමහරු ඉල්ලන්නේ නව ව්‍යවස්ථාවකි.

වත්මන් ආර්ථික අර්බුදය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම් ඉටු නොකිරීම හේතු කොට හට ගත් එකක් බව අර්බුදයේ සිද්ධි දාමය දෙස බලන විට ඉතා පැහැදිලිය. එනම්, මුදල් නීති පනතේ මුලධර්මයන් සහ බලතල අනුව ආර්ථිකයේ ස්ථායිතාවය පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය, පොලී අනුපාතයන්, විදේශ මුදල් සංචිතය, විනිමය අනුපාතය සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීමට මහ බැංකුව අසමත් වීම යි. අනෙකුත් සියළු කථාවන් ද්විතීය ඒවාය.

එහෙත්, එම අසමත් භාවයට වගකිව යුතු නව මහ බැංකු නිලධාරීන්ගේ ගැලවුම් කරුවා ලෙස මහ බැංකු ස්වාධීනත්වය ඉදිරියට ගෙන ඇත. එනම්, අර්බුදයට හේතුව මහ බැංකුවට ස්වාධීනත්වය නොමැති වීම ලෙස ගෙන හැර දැක්වීම යි. ඊට හේතුව ලෙස රජයේ ඇගිලි ගැසීම් හේතු කොට දක්ෂ සුදුසු නිලධාරීන් පත් කොට ස්වාධීනව ක්‍රියා කිරීමට නොහැකි වීම ලෙස දැක්වෙයි. මෙය ඉදිරිපත් කරන්නේ නව රජයට වන බැවින් එහි නායකයන් පසුගිය රජයට පහර ගැසීමේ අවියක් ලෙස භාවිතා කෙරේ. 

එබැවින්, ව්‍යවස්ථාව සංශෝධනය කළා මෙන්, මහ බැංකුවට කඩිනමින් ස්වාධීනත්වය දුන් විට, අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව නිරායාසයෙන් ලැබෙන බවට කල්ලිවාදී මතයක් ඇති කෙරේඑය ඔවුන්ට සැනසීමෙන් මහජන වරප්‍රසාදයන් භුක්ති විඳීමට අවස්ථාව ලබා දෙයි. මෙහි දී, ස්වාධීනව ක්‍රියා කරන බවට නිතර දේශනාවන් කරන වත්මන් මහ බැංකු අධිපති විසින් ජවන වේගයෙන් මුදල් මුද්‍රණය කරන්නේ ස්වාධීනත්වයක් නැති නිසා ද, නැත්නම් වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ වෙන කරන්න දෙයක් මහ බැංකුවට නොමැති නිසා ද? යන ප්‍රශ්නය ද පැන නගී.

මුදල් රාජ්‍ය ඇමති වරයාගේ ප්‍රකාශය මෙම මහ බැංකු ස්වාධීන කල්ලියේ ප්‍රතිඵලයක් විය යුතුය. ඊට හේතුව, මුදල් රාජ්‍ය ඇමති වරයාට ලෝකයේ මහ බැංකු, ශ්‍රී ලංකාවේ මුදල් නීති පනත, මුදල් නීති පනත ඉදිරිපත් කළ ජෝන් එක්ස්ටර් මහතාගේ වාර්තාව සහ පාර්ලිමේන්තු විවාදය පිළිබඳ ව දැනුමක් නොමැති වීම නිසා විය යුතුය.

මහ බැංකු ස්වාධීනත්ව යෝජනාවේ මූලික ගැටළු

එබැවින්, මෙම ප්‍රකාශය පිළිබඳ ව මූලික ගැටළු දෙකක් පැන නගී.

  • පළමුව, මුදල් නීති පනතින් මුදල් මණ්ඩලයට ස්වාධීනත්වයක් ලබා දී නැත් ද? 

  • දෙවනුව, දෙන්නට යන ස්වාධීනත්වය කුමක් ද? එය, රජයේ මුදල් මුද්‍රණාලය ජාත්‍යන්තර ආර්ථික වෘත්තිකයන් යයි කියා ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙකුට පෞද්ගලික කරණය කිරීමක් ද? නැතහොත්, ඔවුන්ටත් තරගකාරී මුදල් මුද්‍රණයට තවත් මුද්‍රණාලයක් ලබා දීම ද?

පළමු ප්‍රශ්නයට පිළිතුර ඉතා පැහැදිලි ය. එනම්, මුදල් නීති පනතින් ඉතා පැහැදිලි නෛතික ස්වාධීනත්වයක් මහ බැංකුවට ලබා දී ඇත. ඒ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් එක්ස්ටර් වාර්තාවේ ඇත. එසේ නම්, යෝජනා කරනු ලබන ස්වාධීනත්වය කුමක් ද? යන දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය.

මෙහිදී, පැන නගින අතුරු ගැටළුව වන්නේ, මුදල් නීති පනතින් ලබා දී ඇති ස්වාධීනත්වය ප්‍රමාණවත් නොවීම හේතු කොට මහ බැංකු නිලධාරීන්ට නිසි මූල්‍ය ප්‍රතිපත්ති තීරණයන් ගැනීමට නොහැකි වී ද? යන්නය. එය සාවද්‍ය බව මහ බැංකුව විසින් මීට පෙර අර්බුදයන් රාශියක් නිරාකරණය කොට ආර්ථික ස්ථායිතාවයට දායක වී ඇති ආකාරය දෙස බැලීමෙන් පෙනේ.

එබැවින්, නව ස්වාධීනත්වයක් ප්‍රදානයට පෙර රජය විසින් විමර්ශනය කළ යුත්තේ මහ බැංකු නිලධාරීන් විසින් දැනටම පවතින නෛතික ස්වාධීනත්වය භාවිතා කරමින් මෙවර අර්බුදය පාලනයට සහ නිරාකරණයට අසමත් වූයේ ඇයි ද? එම නිලධාරීන් විසින් තම පෞද්ගලික වාසි පතා ස්වාධීනත්වය පවා දී ක්‍රියා කිරීමෙන් එය සිදු වූවා ද? යන්න යි. එවැනි චෝදනාවලින් මෑත කාලීන මහ බැංකු ඉතිහාසය පිරී පවතින බව නොරහසකි. 

පුරවැසියන් විසින් රජය වෙනස් කරන විට මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩල සාමාජිකයන් ඉල්ලා අස් වෙයි නම්, දේශපාලනික අස්ථායිතාවන් හට ගන්නා විට මහ බැංකු අධිපති ඉල්ලා අස් වීමට සුදානම් වෙයි නම්,  මහ බැංකු නිලධාරීන් විසින් දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ මාධ්‍යය සමඟ මහ බැංකුවට සාකච්ඡා සඳහා ආරාධනා කෙරේ නම්, එම නිලධාරීන් විසින් තම කෙටුම්පත් වාර්තාවන් රහසේ මාධ්‍යයට මුදා හරින්නේ නම්, මහ බැංකුවට කිසිම සබඳතාවයක් නැති මහා පරිමාණ වෙළෙඳ සමාගම්වල අළෙවි සැල් විවෘත කිරීමට මහ බැංකු අධිපති වරයා සහභාගී වෙයි නම්, අභ්‍යන්තර පාලනයන් බිඳ දමා හිතුමතේ හදිසි තීරණයන් ගෙන එහි වගකීම බාහිර පාර්ශවයන්ට විතැන් කිරීම කෙරේ නම්, මහ බැංකු ස්වාධීනත්වය පාවා දීමේ හෝ අවභාවිතා කිරීමේ පැහැදිලි ගැටළුවක් පවතී.

එසේ නම්, විසඳීමට ඇති එකම ගැටළුව වන්නේ ස්වාධීනත්වය තුළ මහ බැංකු අරමුණු ඉටු කිරීමට විද්වත් හැකියාව සහ සංයමය ඇති නිලධාරීන් පත් කිරීමත්, ස්වාධීනත්වය පවා දී ඇති නිලධාරීන් විශ්‍රාම ගැන්වීමත්, පවතින රාජ්‍ය පාලන පද්ධතිය යටතේ මහ බැංකුවේ කාර්යසාධනය අධීක්ෂණය කිරීමත් ය.

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැනටමත් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පාලනයට යටත් වෙයි. ඊට හේතුව, රජයේ ප්‍රතිපත්ති සංදර්භයෙන් පිටත එක් එක් පුද්ගලයන්ගේ මානසික විෂාධිය මත ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන පැවතිය නොහැකි බැවිනි. එවැනි පෞද්ගලික ආයතන පැවතීමට ද රාජ්‍ය නියාමන ප්‍රතිපත්ති යටතේ ඉඩ නොලැබෙන බව ද කිව යුතු නැත. 

එබැවින්, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අසමත් වීමට සහ ආර්ථික අර්බුදයට පාර්ලිමේන්තුව ද වගකිව යුතුය. එහෙත්, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය වනුයේ තමන් ශුද්ධ වී ඊට චුදිතයන් සෙවීම යි. එබැවින්, යෝජිත නව මහ බැංකු ස්වාධීනත්වය ද එවැන්නක් නොවිය යුතුය. එසේ නොවුව හොත්, ගැමි නිවසක අටුව කඩා එම දැවවලින් පුටුවක් තැනුවා මෙන් ක්‍රියාවකි.

ලෝකයේ මහ බැංකු ස්වාධීනත්වයේ පදනම

එහෙත්, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යෝජනා කරනු ලබන මහ බැංකු ස්වාධීනත්වය ද අත්‍යාවශ්‍ය බව සිතමු. එසේ නම්, රජය විසින් හෙළි කළ යුත්තේ එවැනි මහ බැකු පවතින්නේ කුමන රටවල ද, එම මහ බැංකුවල කාර්යසාධනය කුමක් ද? යන්නය. 

එසේ නැත්නම්, මහ බැංකු ස්වාධිනත්වය යනු මහ බැංකු නිලධාරීන් දෙවි ලොවින් ආනයනය කොට ඇති බැවින් ඔවුන්ට උවමනා විදියට මුදල් මුද්‍රණය කොට පොදුජන ජීවිතය පාලනය කිරීමට දෙන ලද නිදහස ලෙස සැළකෙනු ඇත. එසේ නොවේ නම්, එම දෙවි වරු ශ්‍රී ලංකාවෙන් චුත වී යාමෙන් පොදුජනයා තවත් අමාරුවේ වැටීමේ අවදානම පවතී.

එහෙත්, මම දන්නා පරිදි ස්වාධීන මහ බැංකු පවතින බවට විශ්වාස කෙරෙන එංගලන්තයේ සහ ඇමෙරිකාවේ පවා පවතින්නේ රජයේ ප්‍රතිපත්ති අධීක්ෂණයට යටත් මහ බැංකු ය. මේ දක්වා ලෝකයේ සියළු මහ බැංකු විකාශය වී ඇත්තේ රාජ්‍ය මූල්‍ය මත පදනම් වූ රජය වගකියන මුදල් ක්‍රමයන් පවත්වා ගැනීම මත ය. එබැවින්, මහ බැංකු විසින් මුදල් මුද්‍රණය කරනු ලබන්නේ රජයට ණය දීම සහ රාජ්‍ය ඇප මත ණය සැපයීම තුළිනි. බැංකුවල බැංකු කරු වශයෙන් මහ බැංකු විසින් බැංකුවලට ණය ලබා දෙන්නේ ද, රාජ්‍ය ණය සුරැකුම්පත් ඇපය මත ය. එවිට, එම ණය ද රජයට දෙන ලද ණයක් බවට පත් වෙයි.

හදිසි අර්බුදකාරී අවස්ථාවල පෞද්ගලික මූල්‍ය වෙළෙඳපොළවලට ණය සැපයීමේ බලය ඇමෙරිකානු මහ බැංකුවට පැවතිය ද, එය භාවිතා කෙරන්නේ සුළු වශයෙනි. ඊට හේතුව, එහි ඇති අධික අවදානම යි. ආර්ථිකයට ඉතා වැදගත් පෞද්ගලික ව්‍යාපාරයන්ට හදිසි ණය ප්‍රදානය කිරීමට තිබූ බලතල මෑත දී ඇමෙරිකානු රජය විසින් ඉවත් කරන ලදි. ඊට හේතුව, එම ණය සැපයීමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවන් සහ අවදානම්කාරී ලෙස කළමනාකරණය වන ව්‍යාපාරයන් රාජ්‍ය මුදල්වලින් බේරා ගැනීමේ සාධාරණත්වය ප්‍රශ්න කිරීම ය. එවැනි තීරණයන් ගත යුත්තේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මත මිස, මහ බැංකු මුදල් මුද්‍රණය මත නොවේ.

ලෝකයේ සියලු මහ බැංකු විසින් කරනු ලබන්නේ රාජ්‍ය මූල්‍ය හරහා ආර්ථිකයට අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීම යි. පොලී අනුපාතය, විනිමය අනුපාතය, බැංකු අධික්ෂණය, විදේශ සංචිත පවත්වා ගෙන යාම වැනි කාර්යයන් ඊට සම්බන්ධිත ක්‍රියාවන් මිස වෙන් වූ වගකීම් නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ද ඇමෙරිකානු මහ බැංකු ආර්ථික විද්‍යාඥයෙක් වූ ජෝන් එක්ස්ටර් මහතාගේ වාර්තාව අනුව එම මහ බැංකු මොඩලය ඇසුරින් පිහිටුවා ඇති අතර ජෝන් එක්ස්ටර් මහතා පළමු මහ බැංකු අධිපති ලෙස වසර තුනක් පමණ සේවය කරන ලදි. වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු උද්ධමන පාලන මුල්‍ය ප්‍රතිපත්ති මොඩලය ද ඇමෙරිකානු මහ බැංකු මොඩලයේ දළ අනුවාදයකි. එසේ නම්, රජය විසින් යෝජනා කරනු ලබන ස්වාධීනත්වය එංගලන්තය සහ ඇමෙරිකාවට එහා ගිය එකක් විය යුතුය. එනම්, මහ බැංකුවේ පුද්ගලයන් කිහිප දෙනෙකුට ඕනෑ ආකාරයට මුදල් මුද්‍රණය කිරීමට අවසර ඇති පෞද්ගලික මහ බැංකුවක් විය යුතුය.

ඊට හේතුව, වෙනත් ආකාරයේ ස්වාධීනත්වයක් හිමි මහ බැංකු ලෝකයේ නොමැති බැවිනි. අතීතයේ එවැනි මහ බැංකු පැවතිය ද, රාජ්‍ය මහ බැංකු ක්‍රමය අනුව ඒවා මුදල් ක්‍රමයෙන් ඉවත් කරන ලදි. එංගලන්ත මහ බැංකුව යනු රජයට පවරා ගත් එවැනි මහ බැංකුවකි.

මහ බැංකුව යනු වෙළෙඳපොළ මිලක්, එනම් පොලී අනුපාතය, අවශ්‍ය මට්ටමක පාලන කිරීම සඳහා අසීමිත ලෙස භාණ්ඩය සැපයීමේ, එනම් මුදල් මුද්‍රණය, බලතල ඇති එකම රාජ්‍ය ආයතනය යි. එසේම, මහ බැංකු පවසන්නේ පොලී අනුපාතය හරහා සමස්ත ආර්ථිකයේ උද්ධමනය පාලනය කොට මිල ස්ථායී කිරීමට ඔවුන්ට හැකි බව යි. කිසිම රාජ්‍ය අවසරක් නොවිමසා තනි මතයට ණය පැහැර හැරීමටත්, පොලී අනුපාතයන් 30% ඉක්මවා ඉහළ නංවා ආර්ථිකය බංකොලොත් කිරීමටත් මහ බැංකුවට නිදහස රජයෙන් ලැබී ඇත්නම්, තවදුරටත් අවශ්‍ය ස්වාධීනත්වය කුමක් ද? යන්න සිතා ගත නොහැකිය. එබැවින්, මහ බැංකුවට ස්වාධීනත්වය අවශ්‍ය බව පැවසීම යනු පොලව ඇද නිසා නටන්න බැරි බව ප්‍රකාශ කිරීමට සමාන ය.

සමාප්ත සටහන

ජෝන් එක්ස්ටර් මහතා තම වාර්තාව තුළ මුදල් මණ්ඩලයට අවවාද කරනු ලැබුවේ, නීතියෙන් ලබා දී ඇති ස්වාධීනත්වය රජය සමඟ සහයෝගයෙන් භාවිතා කරන ලෙස යි. එසේ නොවුව හොත් මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු සියළු රාජ්‍ය ප්‍රතිපත්තිවල අවසාන මහජන වගකීම රජය දැරිය යුතු බැවින් රජය විසින් නීති සංශෝධනය තුළින් මහ බැංකු ස්වාධීනත්වය ආපසු ගැනීමේ අවදානම ඉවත් කළ නොහැකි බව යි. 

එහෙත්, දැනට සිදු වන්නේ ජෝන් එක්ස්ටර් මහතා බිය පළ කළ කරුනට හාත් පසින් වෙනස් දෙයකි. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති අසාර්ථක භාවය හේතු කොට මහා ආර්ථික අර්බුදයකට රජයට සහ මහජනතාවට මුහුණ දීමට සිදු වුව ද, ඒ පිළිබඳව කිසිම වගවිභාගයක් නොමැතිව මහ බැංකුවට තවත් ස්වාධීනත්වය දීමට රජය යෝජනා කිරීම යි. එනම්, රජයට උඩින් රාජ්‍ය අයවැයෙන් පිටත මුදල් මුද්‍රණය කොට වියදම් කෙරෙන වෙනම අධිරාජ්‍යයක් ලෙස මහ බැංකුව ස්ථානගත කිරීමට යාම යි. එහි තර්කානුකූල භාවය කුමක් වුවත්, පාර්ලිමේන්තුවේ අවසරය ලැබෙන බවට සැකයක් නොමැත.

එබැවින්, වත්මන් මහ බැංකු අධිපති හෝ මුදල් මණ්ඩලයට අවශ්‍ය පරිදි මහ බැංකුවට නව ස්වාධීනත්වයක් දීමේ යෝජනාව ගෙන ඒමට පෙර, මුදල් නීති පනත, ජෝන් එක්ස්ටර් වාර්තාව, මුදල් නීති පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සහ ලෝකයේ මහ බැංකුවල ඉතිහාසය අධ්‍යයනය කරන ලෙස අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා කරමි. 

මේ සඳහා මාගේ පෞද්ගලික කෘතියක් වන ‘INNOVATING CENTRAL BANKS With New Mandate and Governance to Promote Safer Money and Banking in Open Economies” යන ග්‍රන්ථය ද අත්වැලක් විය හැකි බව මගේ විශ්වාසය යි. මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ව මා විසින් මෙම වෙබ් අඩවියේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලිපි දෙකක් ද පළ කොට ඇත.

එසේ නොවුන හොත්, ශ්‍රී ලංකාවේ මුදල් සහ බැංකු ක්‍රමය කඩා වැටීමේ වගකීම ද රජයට භාර ගැනීමට සිදු වනු ඇත. ඊට හේතුව, පෞද්ගලික මුදල් ක්‍රමයකට ඉඩ දීම තුළින් මහජන විශ්වාසය බිඳී යාමෙනි. මුදල් සහ බැංකු ක්‍රමයන් පවතින්නේ මහ බැංකු නිලධාරීන්ගේ විද්වත් භාවය මත නොව, රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි ඇති මහජන විශ්වාසය මත ය.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

 

 

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි