රාජ්‍ය අයවැය සහ මුදල් ප්‍රතිපත්ති පාඩම් පොදුජන යහපතට යොදමු. එහි ප්‍රගතිය සංවාද කරමු.



මෙම මස 30 දින "ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ" මැයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන් සමඟ සංවාදමය වැඩසටහනක් පැවැත් වීමට නියමිත බව මාධ්‍යය වාර්තා කොට ඇත. මෙහිදී, මහ බැංකු අධිපති සහ නිලධාරීන් විසින් විස්තරාත්මක සංඛ්‍යා වගු සහ විචිත්‍ර රුපසටහන් සමඟ නොයෙකුත් ආර්ථික විද්‍යා වචන සහ සංකල්පයන් යොදා ගෙන පරිගණක ඉදිරිපත් කිරීමක් කරනු නියතය. සමහර විට එය ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා ඉංග්‍රීසි භාෂාව ද යොදා ගැනීම කළ හැකිය.

මෙහිදී, ආර්ථික වශයෙන් විචක්ෂණ නොවූ රාජ්‍ය අයවැය සහ ණය හේතු කොට වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හට ගත් බවත්, අයවැය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විචක්ෂණකාරී ලෙස මහ බැංකුව විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මැදි හා දිගු කාලයේ දී ආර්ථික ස්ථායීතාවයක් ඇති කළ හැකි බවත්, රජය සහ මහ බැංකුව විසින් මේ දක්වා ක්‍රියාත්මක කොට ඇති ප්‍රතිපත්තිවල සාධනීය බලපෑම් හේතු කොට ආර්ථිකය නැවත ගොඩ ඒමේ සංඥාවන් දැනටමත් පෙනෙන බවත්, දෙසැම්බර් මාසය පමණ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමඟ ණය වැඩසටහනක්  යටතේ නැවතත් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළට ඇතුළු වී විදේශ සංචිතය ගොඩ නගා ගැනීම තුළින් ආනයන සීමාවන් ළිහිල් කොට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම කඩිනම් වන බවත්  ඉදිරිපත් කරනු ඇත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා ආර්ථිකය කළමනාකරණය කිරීමේ දී භාවිතා කෙරෙන ආර්ථික විද්‍යා සංකල්පයන් සහ ප්‍රතිපත්ති මෙවලම් පිළිබඳ ව ප්‍රයෝගික පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීම යි. මෙහිදී, මූලික කරුණු අවබෝධ කරවීම සඳහා සංඛ්‍යා වගු නොමැතිව කරුණු ඉදිරිපත් කෙරේ. එබැවින්, මෙම ලිපිය ද සංවාදයක ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.

මෙම පැහැදිළි කිරීම ඉහත දැක්‌වූ සංවාදමය වැඩ සටහනට නිසි අවබෝධයකින් සහභාගී වීමට පිටුවහලක් ලැබෙනු ඇත. රටක ආර්ථික කළමනාකරණය සහ ඊට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ ව පාර්ලිමේන්තුව වගකිව යුතු බැවින් මෙම පැහැදිළි කිරීම තුළින් මන්ත්‍රීවරුන්ට තම වගකීම හඳුනා ගැනීමට සහ ක්‍රියාත්මක වීමට ද උපකාරී වනු ඇත.

සංවාදයයේ ආර්ථික පසුබිම

මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයේ සියළු පව් මහ බැංකුව සහ ආර්ථික විද්‍යාඥයන් විසින් රාජ්‍ය අයවැය පිටට පවරා ඇති බව පැහැදිලි ය. පසුගිය කාලවල රාජ්‍ය ආදායම පහළ ගිය ද, ඊට සමාන්තරව වියදම් පහළ නොදමා ණය තුළින් වියදම් ඉහළ දැමීම හෙවත් ඉහළ අයවැය හිඟය හේතු කොට හට ගෙන ඇති ණය උගුල තුළින් ආර්ථිකය සහ පොදුජනයා වත්මන් අර්බුදයට තල්ලු කොට ඇති බව නිරන්තරයෙන් දැක්වෙයි. මෙම අදහස විශේෂයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසර භාවයක් නොමැති බව ජා.මූ.අ. විසින් පසුගිය මාර්තු මස දී ප්‍රකාශ කිරීමෙන් පසු ව්‍යාප්ත වීම දැකිය හැකිය.

ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 12 දින විදේශ ණය සේවාකරණය අත්හිටුවා එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් විදේශ ණය තිරසර භාවයක් ලබා ගැනීම පිණිස රජය විසින් දැනට ක්‍රියා කරන අතර ඒ මත ජා.මූ.අ. ලෙන් ණය මුදලක් ලබා ගැනීම තුළින් දැනට ආර්ථිකය මුහුණ දෙන උග්‍ර ගෙවුම් ශේෂ හෙවත් විදේශ මුදල් හිඟයට පිළියම් යෙදීම හරහා ආර්ථිකය නැවත ගොඩ ගැනීමට බලාපොරොත්තු වෙයි.

ජා.මූ.අ. ලෙන් ණය ලබා ගැනීමේ දී රාජ්‍ය වියදම් කපා දැමීම, බදු ඉහළ දැමීම සහ රාජ්‍ය ව්‍යවසායන් වාණිජකරණය කිරීම තුළින් අයවැය හිඟය පහළ දැමීමත්, ණය ගැනීම පාලනය කිරීමත් සඳහා කොන්දේසි පැනවෙන බවට බොහෝ අදහස් ප්‍රචලිත වී ඇත.

සමස්තයක් වශයෙන් ගත් විට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය අයවැය ව්‍යුහය තදින් පාලනය කළ යුතු බව මින් අදහස් වෙයි. මෙම අදහස සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ ව ජා.මූ.අ. විසින් අනුගමනය කරනු ලබන ආර්ථික මතවාදය මත පදනම් වී ඇත. එනම්, අඛණ්ඩ අයවැය හිඟයන් හේතු කොට බැංකු ණය පරිමාව සහ මුදල් සැපයුම ඉහළ ගොස් උද්ධමනකාරී තත්ත්වයක් ද, ආනයන ඉල්ලුම ඉහළ ගොස් ගෙවුම් ශේෂ හිඟයක් සහ මුදල් අවප්‍රමාණයක් ද හට ගෙන ආර්ථික අස්ථායීතාවයක් ඇති කෙරෙන බව යි. වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට රාජ්‍ය අයවැය වගකිව යුතු බව දැක්වෙන්නේ එබැවිනි. එහෙත්, රටක ආර්ථික අස්ථායීතාවය හට ගන්නා ආකාරය සහ  වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය  පිළිබඳ ව වෙනත් ආර්ථික මතවාදයන් ද පවතින බව කිව යුතුය.

එහෙත්, මෙම සංවාදය පිළිබඳ ව මූලික ගැටළු දෙකක් හට ගනී. පළමුව, මහ බැංකු අධිපති යනු මෙම ආර්ථික අර්බුදය නිරාකරණයට වගකිව යුතු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු කෝප් සහ මුදල් වැනි කාරක සභාවන් හරහා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පාර්ලිමේන්තුව විසින් ඔහුගේ කාර්යසාධනය ඇගයිය යුතුය. එබැවින්, කළ යුත්තේ මහ බැංකු අධිපති පාර්ලිමේන්තුව වෙත කැඳවා ආර්ථික අර්බුදය විසඳන ආකාරය පිළිබඳ ව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ය. 

ඊට හේතුව, මෙම අර්බුදය ප්‍රධාන වශයෙන් විදේශ සංචිතය, විනිමය අනුපාතය සහ රාජ්‍ය ණය කළමනාකරණය  පිළිබඳ ව මහ බැංකුවේ වගකීම් පැහැර හැරීම තුළින් හට ගැනීම යි. එම තත්ත්වය තුළ වර්තමාන ආර්ථිකය පිළිබඳ ව මහ බැංකු අධිපති සමඟ මන්ත්‍රීවරුන් විසින් සංවාද කිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට යෝග්‍ය ක්‍රියාවක් නොවේ. එබැවින්, මෙම සංවාදය ළබැඳියාවන්ගේ ගැටුමක් හෝ සදාචාර ප්‍රශ්නයක්  ඇති කෙරේ.

දෙවනුව, වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය පිළිබඳ ප්‍රතිපත්ති ගැනීමේ අවසාන වගකීම පිළිබඳ ව වගකීම ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳ නිසි දැනුමක් නොමැති බව අදහස් වෙයි. දැනට වර්ෂයක පමණ කාලයක් පුරා පැවති පාර්ලිමේන්තු විවාද සහ රැස්වීම්වල වාර්තා දෙස බලන විට එය හොඳින් පැහැදිලි වෙයි. ඒ අනුව, ආර්ථික අර්බුදය පිළිබඳ ව පුද්ගල සහ පක්ෂයන්ට දොස් තැබීම හැර නව විසඳුම් ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමක් පාර්ලිමේන්තුවේ දැකිය නොහැකිය. පාර්ලිමේන්තුවෙන් කල යුතු පොදු මහජන සේවය යනු මන්ත්‍රී වරුන් එකිනෙකාට දෝෂාරෝපනයන් කරමින් දුෂණ චෝදනා නගමින් ගැටීම නොව නව නීති පනවමින් රාජ්‍ය සේවකයන් සහ ආයතන මෙහෙය වමින් පොදුජන ප්‍රශ්න විසඳීම යි.

රාජ්‍ය අයවැය යනු කුමක් ද?

රාජ්‍ය අයවැය යනු ඉදිරි වර්ෂය තුළ මධ්‍යම රජයේ ආදායම, වියදම, ආදායම්-වියදම් පරතරය සහ එය පියවා ගන්නා ආකාරය පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන මූල්‍ය සැලසුමකි. පසුගිය වර්ෂවල ක්‍රියාත්මක වූ අයවැය සංඛ්‍යා ශ්‍රේණිය විමර්ශණය කිරීම තුළින් රාජ්‍ය අයවැය ව්‍යුහය සහ ප්‍රවණතාවය හඳුනා ගැනීම සිදු කෙරේ.

පවුලක හෝ ආයතනයක අයවැයක් මෙන් නොව රාජ්‍ය අයවැයක් ක්‍රියාත්මක කෙරෙන්නේ පොදුජන ජීවන තත්ත්වය සංවර්ධනය කිරීමේ අරමුණිනි. එබැවින්, වත්මන් රජයේ සංවර්ධන ප්‍රතිපත්ති සංකල්පයන් සහ ක්‍රමවේදයන් මත පදනම් වී අයවැය සැකසීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. 

  • මෙහිදී, පළමුව රාජ්‍ය වියදම් පරිමාව සහ ව්‍යුහය තීරණය කෙරේ. 

එනම්, සම්ප්‍රදායික අර්ථකතනයන් අනුව පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් තීරණය කිරීම යි. පුනරාවර්තන වියදම් යනු රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා සේවක පඩිනඩි සහ විශ්‍රාම වැටුප්, සමාජ සේවා ප්‍රේෂණ, රජයට වර්ෂය තුළ කෙරෙන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වැනි වර්ෂයක් පාසා නැවත නැවත කෙරෙන වියදම් ය. ප්‍රාග්ධන වියදම් යනු රාජ්‍ය ආයෝජන ලෙස සැලකෙන ව්‍යාපෘති සඳහා වර්ෂය තුළ කෙරෙන වියදම් ය. මීට මූලික වශයෙන් දිගු කාලීන රාජ්‍ය යටිතල පහසුකම් ආශ්‍රිත ඉඳි කිරීම් වියදම් අඩංගු වෙයි.

  • දෙවනුව, රාජ්‍ය වියදමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කෙරේ. 

මෙහිදී, දැනටම පවතින ආදායම ප්‍රමාණවත් නොවේ නම්, නව ආදායම් මාර්ගයන් යෝජනා කෙරේ. එනම්, විවිධ බදු ඉහළ නැංවීම සහ රාජ්‍ය දේපල අළෙවි කිරීම යි.

එම ඇස්තමේන්තු ගත වියදම සහ ආදායම අතර පරතරය අයවැය හිඟය හෝ අතිරික්තය යි. ලෝකයේ සියළු රජයන්හි පාහේ දක්නට ලැබෙන්නේ හිඟ අයවැයකි.

  • තෙවනුව, අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට  ණය  ගැනීම සැලසුම් කෙරේ.  

ඊට, දේශීය සහ විදේශීය ණය ඇතුළත් වෙයි. දේශීය ණය ඍජු බැංකු අත්තිකාරම් සහ රාජ්‍ය සුරැකුම්පත් අළෙවි කිරීම මගින් සපයා ගැනේ. රාජ්‍ය සුරැකුම්පත් යනු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සවර්ධන ඩොලර් බැඳුම්කර යනාදිය යි. විදේශ ණය යනු බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළ තුළින් ලබා ගන්නා වාණිජ ණය සහ විදේශ රජයන් සහ ආයතනවලින් ලබා ගන්නා ද්විපාර්ශවීය ණය යි. පසුගිය දශකයේ ස්වෛරිත්ව බැඳුම්කර සහ විදේශ බැංකු ණය ඒ අතර ප්‍රධාන විය. එහෙත්, රජය විසින් පසුගිය අප්‍රේල් මස 12 දින සිට විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති බැවින් ඉදිරි අයවැය හිඟයන් දේශීය ණය සහ විදේශීය මූල්‍ය ආධාර හරහා පියවීමට සිදු වෙයි.

මෙහිදී, අප මතක තබා ගත යුත්තේ රාජ්‍ය අයවැය සැකසීම සහ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු විසින් කළ ද, රාජ්‍ය ආදායම, වියදම සහ ණය යනාදියෙහි හොඳ සහ නරක සියල්ලම පොදු ජනතාව දැරිය යුතු බව යි. එහෙත්, එය පුද්ගලයන් අතර අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකිය.

එබැවින්, අයවැය ක්‍රියාත්මක කළ යුත්තේ පොදුජන යහපත පිළිබඳ නිසි ඉලක්කයන් ආවේක්ෂණය මත ය.  මෙම ඉලක්කයන් පොදුජන ජීවිතයේ සංවර්ධනය පිළිබඳ මැදි හා දිගු කාලීන අපේක්ෂාවන් මත පදනම් විය යුතුය. උදාහරණ ලෙස මහජනයාගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස, ග්‍රාමීය ආර්ථිකය, විදුලිය, ජලය, අන්තර් ජාලය, තොරතුරු තාක්ෂණය වැනි උපයෝගිතා පහසුකම්, ආර්ථිකයේ යටිතල පහසුකම් ව්‍යාප්තිය, රැකියා සහ ආදායම් ව්‍යාප්තිය දැක්විය හැකිය. 

එබැවින්, ආර්ථිකයක සංවර්ධනය සහ ප්‍රගතිය ආවේක්ෂණය කළ යුත්තේ ආර්ථික වර්ධන අනුපාතය, ඒක පුද්ගල ආදායම, උද්ධමන අනුපාතය, අයවැය හිඟය, රාජ්‍ය ණය ප්‍රතිශතය, විනිමය අනුපාතය, මුදල් සැපයුම, ගෙවුම් ශේෂය වැනි තාක්ෂණික ආර්ථික සංඛ්‍යාවන් මත නොව මහජනයාගේ ජීවන මට්ටමේ සංවර්ධනය පෙන්වන දර්ශකයන් මත ය. ඊට හේතුව, රජයක් යනු තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් නොවන බැවිනි.

එහෙත්, ජා.මූ.අ. සහ බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් අයවැය ඉලක්කයන් ලෙස දක්වන්නේ බදු ආදායම, අයවැය හිඟය සහ ණය මට්ටම් පිළිබඳ ඉලක්කයන් ය. ඒවා ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන වටිනාකම හෝ ජාතික ආදායමට ප්‍රතිශතයක් ලෙස දැක්වීම ඔවුන්ගේ පුරුද්දක් වී ඇත. ආර්ථික සංඛ්‍යාවන් විවිධ ආකාරයට ගණනය කළ හැකි අතර ඒවා හුදෙක් සංඛ්‍යා දත්ත වෙයි. උදාහරණ ලෙස ජාතික ආදායම් සහ නිෂ්පාදන සංඛ්‍යාවන් හුදෙක් සංඛ්‍යාන ඇස්තමේන්තු වන අතර ආර්ථිකයේ සත්‍ය සමස්ත නිෂ්පාදනය ඊට වඩා සෑහෙන ප්‍රමාණයකින් ඉහළ යා යුතුය.

එබැවින්, මේ දිනවල රාජ්‍ය ප්‍රතිපත්තිවල වරදින් හට ගෙන ඇති ආර්ථික අර්බුදයෙන් පෙළෙන ශ්‍රී ලංකාවේ පොදුජනතාව අමතක කොට, එහෙත්, ඔවුන්ගෙන් බදු අය කිරීම තුළින් අයවැය හිඟය සහ ණය පහළ දමා රජය පවත්වා ගෙන යාමේ අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවන් ආර්ථික විද්‍යාඥයන්ගෙන් ඉදිරිපත් වීම දැකිය හැකිය. මීට ප්‍රතිවිරුද්ධව, පිළිගත් ආර්ථික ප්‍රතිපත්ති සම්ප්‍රදාය සහ සංකල්පය වනුයේ රටක ආර්ථික අර්බුදයක් පවතින විට රාජ්‍ය වියදම් සහ අයවැය හිඟය  ප්‍රසාරණය කිරීම තුළින් නිෂ්පාදනයට සහ ආයෝජනයට උත්තේජනයන් සැපයීම යි.

අයවැය පොදුජන ජීවන තත්ත්වය සංවර්ධනයට දායක වන්නේ කෙසේ ද?

මෙය කිහිප ආකාරයකින් සිදු වෙයි.

  • පළමුව, හිඟ අයවැයක් තුළින් රජය විසින් වියදම් ඉහළ දැමීමේ දී එම මුදල් රාජ්‍ය වැටුප්, ප්‍රේෂණ සහ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් හරහා මහජනතාව අතට ලැබෙනු ඇත. මෙහිදී, රජය විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී එහි නිෂ්පාදනය/සැපයුම ඉහළ යනු ඇත. එසේම, රාජ්‍ය වැටුප් සහ ප්‍රේෂණ ලෙස ලැබෙන මුදල් මගින් මහජනතාව විසින් භාණ්ඩ හා සේවා ඉල්ලුම් කිරීම හේතු කොට ගෙන ද නිෂ්පාදනය ඉහළ යනු ඇත. එසේම, මෙම මුදල් නිෂ්පාදන සාධක හිමියන් වෙත ලැබී ආර්ථිකයේ චක්‍රීයව වියදම් කිරීම (එනම්, පරිභෝජනය සහ ආයෝජනය) තුළින් නිෂ්පාදන ධාරිතාවය සහ ප්‍රමාණය වට කිහිපයකින් ඉහළ යනු ඇත. මෙය අයවැයේ ජාතික ආදායම් ගුණක ක්‍රියාවලිය ලෙස හැඳින් වෙයි. එමගින්, ආර්ථිකයේ නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ආදායම ඉහළ යාම තුළින් පොදුජන ජීවන තත්ත්වය ඉහළ යාම සිදු වනු ඇත.

  • දෙවනුව, ආර්ථිකයේ සම්පත්වල සාධාරණ ප්‍රතිව්‍යප්තියක් ඇති කිරීම. මෙහිදී, ආදායම් හැකියාව අනුව බදු අය කොට එම මුදල් රාජ්‍ය වියදම් හරහා සමාජ සහ ආර්ථික සේවාවන් අවශ්‍ය අංශ වෙත ව්‍යාප්ත කිරීම සිදු කෙරේ. එනම්, ඉහළ ආදායම් ලාභීන්ගෙන් බදු අයකොට එම මුදල් විවිධ පාරිභෝගික සහ නිෂ්පාදක ප්‍රේෂණයන් කිරීම මගින් ආදායම ප්‍රතිව්‍යප්ත කිරීම යි.

  • තෙවනුව, බදු සහ දිරිදීම් තුළින් ආර්ථිකයේ සම්පත් සහ තරඟකාරීත්වයට ගැලපෙන නිෂ්පාදන අංශ  ප්‍රවර්ධනය කිරීම. උදාහරණ ලෙස වත්මන් විදේශ මුදල් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපනයන කඩිනමින් ප්‍රවර්ධනය කළ හැක්කේ අපනයන කර්මාන්තවලට ලබා දෙන අයවැය සහන තුළිනි.

  • සිවුවනුව, රටේ නිතිය සහ සාමය ආරක්ෂා කිරීම සහ සාධාරණ වෙළෙඳපොළ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා වියදම් කිරීම තුළින් සමාජ ආර්ථික ස්ථායීතාවය පැවතීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම.

  • පස්වනුව, රාජ්‍ය ණය හරහා පෞද්ගලික අංශයට ආරක්ෂාකාරී ද්‍රවශීල මූල්‍ය වත්කමක් කළඹක් සැපයීම. එමගින්, පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ට තම මූල්‍ය වත්කම් කළඹ විචක්ෂණකාරී ලෙස කළමනාකරණය කර ගත හැකිය. ඊට හේතුව, ඉතාම අඩුම අවදානම් සහිත මූල්‍ය වත්කම් හෝ ආයෝජන ලෙස රාජ්‍ය ණය සැලකෙන බැවිනි.

  • සයවනුව, රාජ්‍ය ණය හරහා මුදල් මුද්‍රණය කිරීම ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු පද්ධතිය පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය පදනම සැපයීම. රාජ්‍ය ණය ඉතාම අවදානම් අඩු ද්‍රවශීල මූල්‍ය වත්කම් වන බැවින් මහ බැංකු මුදල් මුද්‍රණය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රධාන වශයෙන් රාජ්‍ය ණය වත්කම් මත පදනම් වන අතර බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය රාජ්‍ය ණය වත්කම්වල ආයෝජනය මත පවත්වා ගැනේ. එබැවින්, ආර්ථිකයේ මූල්‍ය පද්ධතිය රාජ්‍ය අයවැය සහ ණය මත පදනම් වෙයි. මූල්‍ය ප්‍රතිපත්තිය ද මුදල් මුද්‍රණය ඇතුළු ආර්ථිකයේ මූල්‍ය අංශය නියාමනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන අතර එය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ආයතනයක් වන මහ බැංකුවට පවරා ඇත. එබැවින්, මහ බැංකුව ද මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය වැනි පොදුජන සුභසිද්ධිය පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි.

  • සත්වනුව, ආර්ථිකයේ ජනිත කෙරෙන මුදල් රාජ්‍ය වියදම් සහ බදු හරහා ආර්ථිකයේ විවිධ අංශ වෙත ව්‍යාප්ත කිරීම. මුදල් යනු රාජ්‍ය වගකීමක් වන අතර මුල දී දැක්වූ පරිදි මුදල් ජනිත කිරීම ප්‍රධාන වශයෙන් රාජ්‍ය ණය හරහා සිදු වන අතර එම මුදල් රාජ්‍ය වියදම් හරහා විවිධ ආර්ථික අංශ සහ මහජනයා වෙත ව්‍යාප්ත කෙරේ. එබැවින්, ආර්ථිකය තුළ මුදල් ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන මාධ්‍යය වන්නේ රාජ්‍ය අයවැය යි.

එබැවින්, රාජ්‍ය අයවැය යනු හුදෙක් පවතින රජය පවත්වා ගැනීමට අවශ්‍ය මූල්‍ය ක්‍රියාවක් නොව ජාතික ආර්ථිකයෙහි සහ පොදුජන ජීවිතයෙහි කොඳු නාරටිය බව කිව හැකිය. සංවර්ධිත රටවල් ඇතුළු ලෝකයේ සියළු රටවල ආර්ථික සහ පොදුජන ජීවන තත්ත්වය මේ දක්වා ලබා ඇති දියුණුවේ පුරෝගාමියා සහ මාර්ගෝපදේශකයා ලෙස ඒ ඒ රටවල රාජ්‍ය අයවැය හඳුනා ගත හැකිය.

එබැවින්, සමස්තයක් ලෙස ගත් විට රාජ්‍ය අයවැය යනු රාජ්‍ය මූල්‍ය හෙවත් ෆිස්කල් ප්‍රතිපත්තිය ලෙස හැඳින් වෙයි. රජයක් විසින් ජන සමාජය කෙරෙහි කරනු ලබන සියළු ක්‍රියාකාරකම්වල මූල්‍ය ප්‍රතිඵලය එමගින් පිළිබිඹු වෙයි. එනම්, බදු, වියදම්, වෙළෙඳපොළ පාලනය, රාජ්‍ය ව්‍යවසායන්, නිතිය සහ සාමය, ප්‍රාදේශීය පරිපාලනය, විදේශ සබඳතා ප්‍රතිපත්ති වැනි සියළු රාජ්‍ය ක්‍රියාකාරකම් තුළින් රජයට ජනිත වන මූල්‍ය ප්‍රතිඵලය රාජ්‍ය අයවැය තුළින් නිරූපණය කෙරේ. ඒවා බදු ආදායමක් හෝ වියදමක් ලෙස මූල්‍ය ප්‍රතිඵලයක් රජයට ඇති කරනු ඇත. අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් හෝ ආදායමක් නොලබන රාජ්‍ය වත්කම් අළෙවි කරන ලෙස සහ රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කරන ලෙස ජා.මූ.අ. සහ සමහර ආර්ථික විද්‍යාඥයන් විසින් යෝජනා කරනු ලබනුයේ ඒවා රජයට වියදමක් හෝ මූල්‍ය බරක් වන බැවිනි.

එහෙත්, මෙහිදී සිහිපත් කළ යුත්තේ රාජ්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වන ඍජු රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵලයට වඩා, එමගින්, පොදුජන සමාජය වෙත කෙරෙන ඍජු සහ වක්‍ර සුභසාදනය ඇගයීම තුළින් රාජ්‍ය ක්‍රියාකාරකම්වල පරිමාව තීරණය කළ යුතු බව යි. එය මුදලින් මැනීම කළ නොහැකිය. උදාහරණ ලෙස බදු ආදායම පහළ යාම යනු රාජ්‍ය වියදම්වල හෝ ණයවල දෝෂයක් නොවේ. එම රාජ්‍ය වියදම් තුළින් නිෂ්පාදනය සහ ආදායම අනිවාර්යයෙන් ඉහළ යනු ඇත. එහෙත්, මෙහිදී ඇති ගැටලුව වනුයේ එම ආදායමට සාපේක්ෂව බදු අයකර ගැනීමට රාජ්‍ය බදු අධිකාරීන් අසමත් වීම යි.

රාජ්‍ය අයවැය පිළිබඳ ව ජා.මූ.අ. විසින් පිළි ගැනෙන මතවාදය කුමක් ද?

ජ.මූ.අ. නිලධාරීන් විසින් ඕනෑම රටකට ණය පහසුකම් සහ ආර්ථික උපදෙස් සැපයීමේ දී අනුගමනය කරනු ලබන මතවාදය වනුයේ රටක ආර්ථික අස්ථායීතාවය, ගෙවුම් ශේෂ හිඟය, මුදල් ප්‍රසාරණය සහ උද්ධමන පීඩනය අඛණ්ඩ අයවැය හිඟය හේතු කොට හට ගන්නා බව යි.

මෙය හුදෙක් ආර්ථිකයක සමස්ත මූර්ත ජාතික නිෂ්පාදිතය හෝ සැපයුම සහ සමස්ත මූර්ත ජාතික වියදම හෝ ඉල්ලුම අතර සමතාවයක් පවතින බවට දැක්වෙන සම්භාව්‍ය ජාතික ආදායම් සමීකරණ සංකල්පය පදනම් කර ගෙන ගොඩ නැගී ඇත.

  • සමස්ත මූර්ත ජාතික නිෂ්පාදිතය (Y) = සමස්ත මූර්ත ජාතික වියදම (E) හෝ  Y = E

මෙහිදී, ජාතික වියදම කොටස් රැසකට බෙදා දැක්වෙයි. එනම්, පෞද්ගලික පරිභෝජනය (C), පෞද්ගලික ආයෝජනය (I), රාජ්‍ය බදු (T), රාජ්‍ය වියදම (G), අපනයන (X) සහ ආනයන (M) යනාදිය යි. ඒ අනුව, 

  • Y = C + I - T + G + X - M. 

මෙය පහත දැක්වෙන ලෙස නැවත සැකසිය හැකිය.

  • Y - C = I + (G - T) + (X - M)

මෙහි Y යනු මහජනතාවගේ සමස්ත ආදායම (එනම්, වැටුප්, බදු කුලිය, පොලිය සහ ලාභවල එකතුව) වන බැවින් (Y – C) යනු පෞද්ගලික අංශයේ ඉතුරුම් වෙයි. ඒ අනුව, පහත දැක්වෙන සමීකරණය ලබා ගත හැකිය.

  • (G - T) = (S - I) + (M - X)

  • අයවැය හිඟය = පෞද්ගලික ශුද්ධ ඉතුරුම් + ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය හෝ ශුද්ධ ආනයන

ඒ අනුව, රටක අයවැය හිඟයක් පවතින විට එය පියවීම සඳහා පෞද්ගලික ඉතුරුම් හෝ ශුද්ධ ආනයන (ගෙවුම් ශේෂ හිඟය) හෝ ඒ දෙකම මගින් සම්පත් රජය වෙත සපයා ගත යුතුය. මෙහිදී, ආර්ථිකයේ ඉතුරුම් හිඟයක් පවතී නම්, එම හිඟය සහ අයවැය හිඟය යන දෙකම සඳහා සම්පත් ආනයන මගින් සපයා ගත යුතුය.

ශ්‍රී ලංකාව වැනි ඉතුරුම් හිඟ දියුණුවන රටවල පවතින අඛණ්ඩ ගෙවුම් ශේෂ හිඟයට හේතුව රාජ්‍ය අයවැය හිඟය බවට දැක්වෙන මතවාදය මෙම සංකල්පය මත පදනම් වී ඇත. ඒ අනුව, අඛණ්ඩ ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා විදේශයන්ගෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීම තුළින් වත්මන් විදේශ ණය අර්බුදය සහ විදේශ මුදල් අර්බුදය හට ගෙන ඇති බවත්, මෙය ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමේ රාජ්‍ය අයවැය හිඟය හේතු කොට හට ගෙන ඇති ගෙවුම් ශේෂ අර්බුදයක් බවත් ජා.මූ.අ. ලේ මතය යි.

  • දෙවන මතවාදය වනුයේ, ගෙවුම් ශේෂය පිළිබඳ මූල්‍යවාදී මතය යි.

එම මතය මුදල් සැපයුමේ සංරචකයන් මත ගොඩ නැගී ඇත. මෙහිදී, මහ බැංකුව විසින් මුදල්  සැපයුම ගණනය කිරීමේ සමීකරණය භාවිතා කෙරේ.

  • මුදල් සැපයුම = බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් + බැංකු දේශීය ණය පරිමාව

  • බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් = මුදල් සැපයුම - බැංකු දේශීය ණය පරිමාව

මෙහිදී, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් යනු ආර්ථිකයේ ශුද්ධ විදේශ සංචිතය යි.

ඒ අනුව, කාලයන් දෙකක් අතර ශුද්ධ විදේශ වත්කම් වෙනස් වීමට හේතු පහත ලෙස දැක්විය හැකිය.

  • බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වීම = මුදල් සැපයුම වෙනස් වීම - බැංකු දේශීය ණය පරිමාව වෙනස් වීම

ඒ අනුව, ශුද්ධ විදේශ වත්කම් වෙනස් වීම සෘණ අගයක් ගන්නා විට එම ප්‍රමාණයෙන් ගෙවුම් ශේෂ හිඟයක් හට ගෙන ඇත. එවැනි අවස්ථාවක, ආර්ථිකයේ මුදල් සැපයුම ඉහළ යාමට වඩා වැඩි ප්‍රමාණයකින් දේශීය ණය ඉහළ යාමක් සිදු වී තිබිය යුතුය. මෙහිදී, දේශීය ණය පරිමාව වැඩි ප්‍රමාණයකින් ඉහළ යාමට හේතුව ලෙස ප්‍රධාන වශයෙන් රාජ්‍ය ණය ඉහළ යාම දැකිය හැකිය. ඊට හේතුව, බැංකු පද්ධතියයෙහි ණය පරිමාවෙහි බහුතර කොටස රාජ්‍ය ණය වන බැවිනි. එබැවින්, ජා.මූ.අ. ලේ මතය වනුවේ ගෙවුම් ශේෂ හිඟයටත්, මුදල් සැපයුමේ ඉහළ යාමටත් මූලික හේතුව වනුයේ රාජ්‍ය ණය ඉහළ යාම බව යි.

  • තෙවන මතවාදය වනුයේ උද්ධමනය පිළිබඳ ව මුදල් ප්‍රමාණවාදය යි. 
එයට අනුව, මුදල් සැපයුම ඉහළ යාම හේතු කොට එම මුදල් යොදා ගෙන ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනය හෝ සැපයුමට වඩා වැඩි සමස්ත ඉල්ලුම් ප්‍රමාණයක් ජනිත වනු ඇත. එබැවින්, එම අතිරික්ත ඉල්ලුම හේතු කොට ආර්ථිකයේ පොදු මිල මට්ටම ඉහළ යනු ඇත. පොදු මිල මට්ටමේ ඉහළ යාම උද්ධමනය ලෙස හැඳින් වෙයි. ඒ අනුව, බැංකු පද්ධතියෙහි රාජ්‍ය ණය පරිමාව ඉහළ යාම තුළින් මුදල් සැපයුම ඉහළ යාම සිදු වන බැවින් උද්ධමනය ඉහළ යාම ප්‍රධාන වශයෙන් රාජ්‍ය වියදම සහ ණය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස දැක්වෙයි.

ඒ අනුව, ආර්ථිකයක ගෙවුම් ශේෂ හිඟය, විදේශ සංචිත හිඟය සහ උද්ධමන පීඩනය පහළ දැමීම සඳහා රාජ්‍ය අයවැය හිඟය අඛණ්ඩව පහළ දැමිය යුතු බව ජා.මූ.අ. සහ ඔවුන්ගේ මතවාදය පිළි ගන්නා ආර්ථික විද්‍යාඥයන් විසින් නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම නිරන්තරයෙන් දැකිය හැකිය. ඒ සඳහා රාජ්‍ය වියදම පහළ දැමීම, රාජ්‍ය අයවැයට බරක් වන රාජ්‍ය ව්‍යවසායකයන් වාණිජකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය සේවකයන් අඩු කිරීම වැනි පියවරයන් නිර්දේශ කිරීම ද දැකිය හැකිය. 

ජා.මූ.අ. විසින් රටවලට ණය පහසුකම් ප්‍රදානය කරනුයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් විසඳා ගැනීම පිණිස වන බැවින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයන්ට හේතුව ලෙස ඔවුන් පිළි ගන්නා අධික අයවැය හිඟය සහ ණය  පහළ දැමීම සඳහා එම කොන්දේසි පනවනු ලැබේ. එබැවින්, බොහෝ දේශපාලනික සහ මහජන කොටස් ජා.මූ.අ. විසින් මෙසේ පනවන කොන්දේසිවලට එරෙහි වීමක් දැකිය හැකිය. ඊට හේතුව, එමගින් ආර්ථික ක්‍රියාකාරිත්වය සහ පොදුජන ජීවිතය කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් සිදු වන බැවිනි.

ඊට හේතුව, ආර්ථිකය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා යෙදවෙන රාජ්‍ය මුදල් ප්‍රමාණය පහළ යන බැවින්, ඊට සමගාමීව ආර්ථිකයේ මුදල් සංසරණය, ඉල්ලුම, නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ ආදායම් පහළ යන බැවිනි. පෞද්ගලික වෙළෙඳපොළ පද්ධතියක් පමණක් තුළින් සාධාරණ පොදුජන ආර්ථික සංවර්ධනයක් ලබා ගත නොහැකි බවත්, රජය ආර්ථිකයට මැදිහත් විය යුතු බවත් ගෝලීය පිළි ගැනීමකි. එහෙත්, මෙහිදී මුහුණ දෙන ගැටළුව වන්නේ කොතරම් මට්ටමකකින් රාජ්‍ය මැදිහත් වීමක් සිදු විය යුතු ද? යන්න යි. 

එය ජා.මූ.අ. හෝ මහ බැංකු හෝ මහා භාණ්ඩාගාර නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ පෞද්ගලික මතවාදයන් මත එළඹ ගෙන ගත යුතු තීරණයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී රජයන් විසින් බහුතර මහජන මතය මත ගත යුතු තීරණයකි. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපලය හොඳ හෝ නරක දරනු ලබනුයේ පොදු ජනතාව විසිනි. එසේ නොවුව හොත්, ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය දේශපාලනික සහ සමාජ ස්ථායීතාවය පවත්වා ගත නොහැකි වනු ඇත.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර ඇති සබැඳියාව කුමක් ද?

ඉහත දැක්වූ පරිදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු පොදුජන සමාජ ආර්ථික සංවර්ධනය සඳහා ආර්ථිකය තුළ රාජ්‍ය මුදල් ප්‍රවාහය භාවිතා කරනු ලබන ක්‍රමවේදය යි. එය රාජ්‍ය ආයතන පද්ධතිය හරහා ක්‍රියාත්මක වෙයි. මූල්‍ය ප්‍රතිපත්තිය යනු මුදල් මුද්‍රණය, බැංකු ණය, පොලී අනුපාතය සහ විනිමය අනුපාතය හරහා ආර්ථිකයෙහි ගනුදෙනු අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මුදල් සංසරණය කිරීම පිළිබඳ ව මුදල් නීති පනත යටතේ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය යි.

මෙම ප්‍රතිපත්ති දෙකම ආර්ථිකයේ වියදම කෙරෙහි බලපෑම තුළින් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි දායක වනු ඇත. වියදම යනු ජාතික නිෂ්පාදනය උපයෝජනය කිරීම යි. එය පරිභෝජනය සහ ආයෝජනය හරහා සිදු වෙයි. පරිභෝජනය තුළින් ආර්ථිකයේ පවතින නිෂ්පාදන පරිමාව පවත්වා ගැනීමට දායක වන අතර ආයෝජනය මගින් ආර්ථිකයේ පවතින නිෂ්පාදනයෙන් කොටසක් නව නිෂ්පාදනය සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා දායක වනු ඇත. එමගින්, අනාගත නිෂ්පාදනය ඉහළ යනු ඇත.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් රාජ්‍ය අයවැය හරහා රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් තෝරා ගත් අංශවල පරිභෝජනය සහ ආයෝජනය තුළින් මුදල් හෝ රාජ්‍ය මුදල් ව්‍යාප්ත කරනු ඇත. එය ඍජු ක්‍රියාකාරකමකි. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය මගින් මුදල් ව්‍යාප්ත කරනුයේ රජයට සහ පෞද්ගලික අංශයට සැපයෙන බැංකු ණය හරහා ය. එම ණය පරිභෝජනය හෝ ආයෝජනය සඳහා උපයෝජනය කිරීම ණය කරුවන් විසින් තීරණය කරනු ඇත. එහෙත්, බැංකු ණය ප්‍රවාහයේ දිසාවන්  සහ අරමුණු තීරණය කිරීමේ අධිකාරිය මහ බැංකුව සතුව පවතී. එහෙත්, වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයෙහි මහ බැංකුව විසින් එවැනි ගුණාත්මක ණය ප්‍රවාහයක් අනුගමනය කිරීම දැකිය නොහැකිය.

වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් රජයට ණය දීම (ඍජු ණය සහ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා), එක් දින අන්තර් බැංකු ණය වෙළෙඳපොළේ පොලී අනුපාතය ඉලක්ක මට්ටමේ පාලනය කිරීම සඳහා බැංකු සමඟ එක් දින ණය ගනුදෙනු කිරීම සහ විනිමය අනුපාතය පාලනය කිරීම මත පදනම් වෙයි. එබැවින්, ආර්ථිකයෙහි මුදල් සංසරණය රජය විසින් රාජ්‍ය අයවැය සහ බැංකු විසින් තම ගනුදෙනු කරුවන්ට ණය ප්‍රදානය මත තීරණය වනු ඇත. එබැවින්, මහ බැංකුව විසින් පොදුජන ආර්ථික අවශ්‍යතාවන්ට සහ සංවර්ධනයට ගැලපෙන පරිදි ක්‍රියාකාරී මූල්‍ය ප්‍රතිපත්තියක් භාවිතා කිරීම දැකිය නොහැකිය.

 ඊට හොඳම උදාහරණය මහ බැංකුව විසින් මෑතක දී එක් දින අන්තර් බැංකු ණය වෙළෙඳපොළේ පොලී අනුපාත ඉලක්කය 14.5%-15.5% දක්වා සීග්‍රයෙන් ඉහළ දැමීම (එනම්, 2021 අගෝස්තු මස 4.5%-5.5% සිට) හේතු කොට ආර්ථිකයේ පොලී අනුපාතයන් 25%-30% පමණ දක්වා ඉහළ ගොස් ණය පිරිවැය අධික ලෙස ඉහළ යාම තුළින් ආයෝජනය සහ පරිභෝජනය කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් හට ගැනීම යි. දැනට 8% ක් පමණ වන වත්මන් ආර්ථික සංකෝචනයට සහ 65% ක් පමණ වන උද්ධමනය ඉහළ යාමට එය ද දායක වී ඇති බවට විවාදයක් නොමැත. ඊට හේතුව, සමස්ත ආර්ථික කටයුතු ණය මත පදනම් වන බැවින් ණය පොලී අනුපාතයන් ඉහළ යාම තුළින් අරමුදල් පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම යි.

ලෝකය පුරා මහ බැංකු විසින් දක්වන්නේ ආර්ථිකයේ උද්ධමනය ඉලක්ක ගත පහළ මට්ටමක පවත්වා ගෙන යාම අරමුණු කොට  මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව යි. ඒ පිළිබඳ ව ඔවුන් විසින් දරන මතවාදය වනුයේ උද්ධමනය හට ගැනීම පිළිබඳ ව මුලින් දැක්වූ පරිදි ජා.මූ.අ. විසින් දරන මුදල් ප්‍රමාණවාදී මතවාදය යි. එනම්, මුදල් සැපයුම ඉහළ යාම හේතු කොට ආර්ථිකයෙහි අතිරික්ත ඉල්ලුමක් හෝ වියදමක් හට ගැනීම තුළින් පොදු මිල මට්ටම ඉහළ යාම හෝ උද්ධමනය හට ගන්නා බව යි. 

එබැවින්, උද්ධමනය ඉහළ යන විට එය පහළ දැමීම අරමුණු කොට මුදල් සැපයුම වර්ධනය පහළ දැමීම සඳහා පොලී අනුපාතය ඉහළ දමා මූල්‍ය ප්‍රතිපත්තිය තද කිරීම දැකිය හැකිය. එහෙත්, එමගින් පරිභෝජනය සහ ආයෝජනය පහළ ගොස් ආර්ථික වර්ධනය පහළ යනු ඇත. එසේම, රාජ්‍ය ණය පිරිවැය ඉහළ යාම හේතු කොට රාජ්‍ය ණය පොලී ගෙවීම සඳහා බදු ඉහළ දැමීමට සිදු වනු ඇත. එබැවින්, ඉහළ පොලී අනුපාතයන් පොදු ජනයාට ආර්ථික මරුපහරක් වනු ඇත.

තවද, වර්තමානයේ දශක හතරකට පසු ඉහළම ගෝලීය උද්ධමන රැල්ලක් හට ගෙන ඇති අතර ඊට ප්‍රධාන හේතු ලෙස  සැපයුම් බාධක සහ ගෝලීය බලශක්ති මිල ඉහළ යාම දැක්වෙයි. ඊට ගෝලීය කොරෝනා වසංගතය සහ රුසියානු-යුක්‍රේන යුද්ධය හේතු වී ඇත. එබැවින්, උද්ධමනය සහ මිල මට්ටම පහළ දමීම සඳහා නිෂ්පාදනය සහ සැපයුම ඉහළ දැමීමටත්, තෙල් මිල පහළ දැමීමටත් මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාවක් නොමැත. එසේම, උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතයන්ට හැකියාවක් ඇති බවට ආර්ථික පර්යේෂණ සාක්ෂි මේ දක්වා නොමැත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීම සිදු කරනුයේ රාජ්‍ය මූල්‍ය සහන මගිනි.

රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ආර්ථිකයෙහි නිෂ්පාදනය කෙරෙහි බලපාන්නේ කෙසේ ද?

ඉහත දැක්වූ පරිදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකයේ නිෂ්පාදනය කෙරෙහි කෙරෙන බලපෑම ආර්ථිකයේ සමස්ත වියදම/ඉල්ලුම  (පරිභෝජනය සහ ආයෝජනය) හරහා සිදු වෙයි. එනම්, රාජ්‍ය මූල්‍ය හෝ මූල්‍ය ප්‍රසාරණයකින් මහජනතාව අතට ලැබෙන නව මුදල් තුළින් නව ඉල්ලුමක් හට ගනු ඇත. එම නව ඉල්ලුම හරහා නිෂ්පාදනය දිරි ගැන්වී නව නිෂ්පාදනයක් හෝ සැපයුමක් හට ගනු ඇත. එම නව සැපයුම තුළින් නිෂ්පාදන සාධක සඳහා නව ආදායමක් ලැබෙනු ඇත. එම නව ආදායම තුළින් නව ඉල්ලුමක් ජනිත වනු ඇත. මෙසේ ඉල්ලුම/වියදම සහ සැපයුම/නිෂ්පාදනය වට කිහිපයකින් ඉහළ යනු ඇත. මුලින් දක්වා ඇති පරිදි එය ජාතික ආදායම් ගුණක ක්‍රියාවලිය ලෙස ආර්ථික විද්‍යාවෙහි දැක්වෙයි. ඊට ප්‍රතිවිරුද්ධව, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි හෝ සංකෝචනය කරන විට ඉල්ලුම සහ නිෂ්පාදනය කෙරෙහි ආදායම් ගුණක ක්‍රියාවලිය ඍණ එකක් වනු ඇත.

එබැවින්, ජා.මූ.අ. උපදෙස් සහ කොන්දේසි මත ඉදිරියේ දී රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීමක දී අනිවාර්යයෙන්ම ආර්ථිකය තවත් සංකෝචන ක්‍රියාවලියකට මුහුණ දෙනු ඇත. විශේෂයෙන් දැනටමත් 2020 සහ 2022 වර්ෂවල ආර්ථිකය සංකෝචනය වී ඇති බැවින් මෙවැනි දැඩි ප්‍රතිපත්ති තුළින් ආර්ථිකය ඉදිරි වර්ෂවල තවත් සංකෝචනය වුව හොත් පොදුජන ආර්ථිකය කඩා වැටීම සහ දරිද්‍රතාවය තවත් ඉහළ යාම වැලැක්විය නොහැකිය.

එසේම, ඉහත දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාශීලි ක්‍රමවේදයක් නොවන බැවින් ආර්ථිකයෙහි මූල්‍ය සම්පත් උපයෝජනය සහ ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් සිදු වනුයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හරහා වෙයි. එය බදු, වියදම් සහ ණය හරහා සිදු වෙයි. එබැවින්, ආර්ථිකයක් නිෂ්පාදනය කෙරෙහි ඍජු සහ දිශාත්මක බලපෑමක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හරහා සිදු වෙයි.

එබැවින්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය මනා සම්බන්ධීකරණයක් මත ක්‍රියාත්මක කළ යුතුය. මෙම තත්ත්වය තුළ ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තිය යනු පිළි ගත නොහැකි මතවාදයකි. ඊට හේතුව, රාජ්‍ය ණය නොමැතිව මහ බැංකුවට මුදල් මුද්‍රණය හෝ මූල්‍ය පාලනය කළ නොහැකි බැවිනි. උදාහරණ ලෙස මහ බැංකුවේ වත්කම්වලින් 96% ක් පමණ රාජ්‍ය ණය මත පදනම් වන අතර 72% ක් පමණ රාජ්‍ය ඍජු අත්තිකාරම් සහ රාජ්‍ය සුරැකුම්පත් වෙයි. එබැවින්, රාජ්‍ය ණය පරිමාව පහළ දැමුව හොත් මුදල් මුද්‍රණය කිරීම පහළ ගොස් ආර්ථිකයේ මුදල් හිඟයක් හට ගැනීම තුළින් දැඩි ආර්ථික සංකෝචනයක් හට ගනු ඇත. එය පොදුජන ආර්ථිකය කඩා වැටීමකි.

එබැවින්, රජය යනු ආර්ථිකයේ ප්‍රධාන පාර්ශවකරු වන බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ජනිත කෙරෙන අරමුදල් ආර්ථික තුළ බෙදා හැරීමේ කාර්යය සිදු වනුයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හරහා බව කිව යුතුය. එබැවින්, රාජ්‍ය අයවැය සහ ණය කප්පාදු කිරීම යනු ආර්ථිකය හැකිලීමක් වනු ඇත.

ජ.මූ.අ. විසින් රාජ්‍ය අයවැය සංකෝචනය කිරීම සඳහා කොන්දේසි පැනවීමේ අරමුණ වනුයේ ආර්ථිකය කෙරෙහි ඍජු රාජ්‍ය මැදිහත්වීම අඩු කොට පුද්ගලික අංශය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම තුළින් ආර්ථිකය ක්‍රියාත්මක වීමට ඉඩ දීම යි. මෙය 1750-80 කාලයේ ඇඩම් ස්මිත්ගේ රාජ්‍ය මැදිහත් වීමෙන් තොර නිදහස් වෙළෙඳපොළ සංකල්පය මත පදනම් වෙයි. එහෙත්, සංවර්ධිත රටවල පවා පුද්ගලික අංශය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් මැදිහත්වීම මතය. එබැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති පෞද්ගලික වෙළෙඳපොළ යාන්ත්‍රණයක් නොමැති බව කිව හැකිය.

ආර්ථිකයට මෙසේ රජය මැදිහත්වීම මූලික වශයෙන් 1800 මැද භාගයේ කාල් මාක්ස් විසින් දැක්වූ ප්‍රාග්ධන හිමියන් විසින් නිෂ්පාදන සම්පත් සහ ශ්‍රමය සූරාකෑම පිළිබඳ සංකල්පය මත ආර්ථික සාධාරණත්වය ඇති කිරීමේ අරමුණ මත සිදු කෙරේ. එබැවින්, රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රමාණය සහ ඊට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය රජයන් විසින් තීරණය කළ යුතු අතර ඒ සඳහා ආර්ථික විද්‍යා සුත්‍රයක් නොමැත. ජා.මූ.අ. විසින් 1965 සිට 16 වතාවක් එවැනි කොන්දේසි පැන වුව ද, සියළුම දියුණුවන රටවල මෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ද රාජ්‍ය මැදිහත්වීම අධික ආර්ථිකයක් බව මහජන අදහස් සහ ඉල්ලීම්වලින් පැහැදිලි වෙයි..

සාර්ව ආර්ථික කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

සාර්ව ආර්ථික කළමනාකරණය යනු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකයේ කලින් කාලට හට ගන්නා අයහපත් වෙනස් වීම් සමනය කොට ආර්ථික ක්‍රියාකාරකම් හිතකර උපණතියක පවත්වා ගෙන යාමට අනුගමන කෙරෙන ක්‍රමවේදය යි. මෙය ආර්ථික ස්ථායීකරණය ලෙස හැඳින් වෙයි  ඒ සඳහා ඒ ඒ අවස්ථාවේ හට ගන්නා වෙනස් වීම් අනුව විවිධ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් හරහා රජය ආර්ථිකයට මැදිහත් වනු ඇත. 

ඊට මෑත උදාහරණ ලෙස වර්තමානයේ අනුගමනය කෙරෙන දැඩි ආනයන සීමාවන් පැනවීම, රාජ්‍ය විදේශ ණය ගෙවීම අත් හිටුවීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජා.මු.අ. ණය වැඩසටහනක් ලබා ගැනීම, විනිමය අනුපාතය ස්ථාවර අගයක පාලනය කිරීම සහ පසුව එය පා කිරීම, විවෘත ආනයන ගිණුම් අත්හිටුවීම, පොලී අනුපාතයන් ඉහළ දැමීම, බදු ඉහළ දැමීම, පාලන මිල ගණන් පැනවීම, තෙල් සහ විදුලි මිල ගණන් ඉහළ දැමීම, තෙල් සලාකය දැක්විය හැකිය.

මෙම ප්‍රතිපත්ති මැදිහත්වීම් ආර්ථික ක්‍රියාකාරිත්වයේ විවිධ ප්‍රතිඵලයන්ගේ මට්ටම සහ දිසාව පිළිබඳ ඉලක්කයන් සහ සැබෑ උපණතීන් පදනම් කර ගෙන සිදු කෙරේ. මෙම ආර්ථික ප්‍රතිඵලයන් ප්‍රධාන වශයෙන් සමස්ත නිෂ්පාදන වර්ධනය හෙවත් ආර්ථික වර්ධන වේගය, උද්ධමන අනුපාතය ලෙස සැලකෙන ආර්ථිකයේ පොදු මිල මට්ටමේ වෙනස් වීම හෙවත් ජීවන වියදම් දර්ශකයෙහි වෙනස් වීමේ ප්‍රතිශතය, ශ්‍රම බලකායේ විරැකියා අනුපාතය, ගෙවුම් ශේෂයේ වෙළෙඳ හිඟය සහ ජංගම ගිණුමේ හිඟය, අපනයන ලැබීම්, ආනයන ගෙවීම්, විදේශ ප්‍රේෂණ මට්ටම, විදේශ මුදල් සංචිතය, විනිමය අනුපාතය, විදේශ ආයෝජන ප්‍රවාහය, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන්, පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වැනි ආර්ථික දර්ශකයන්ගේ මට්ටම් සහ වෙනස් වීම් අනුව ඇගයීම කෙරෙන අතර ඒවායේ අහිතකර වෙනස් වීම් සමනය කිරීම සඳහා ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කරනු ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුව විසින් නීති ප්‍රතිපාදන හරහා අධිකාරී බලය ලබා දී ඇති විවිධ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ජාලයක් පවතී.

එම ඇගයීම සඳහා සංඛ්‍යා දත්ත පද්ධතියක් භාවිතා කෙරෙන අතර ඒ තුළින් පෙර සඥාවන් හඳුනා ගෙන ක්‍රියාත්මක වීම අදාළ බලධාරීන්ගෙන් අපේක්ෂා කෙරේ. එහෙත්, ශ්‍රී ලංකාවේ මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක් හට ගැනීම පිළිබඳ ව නිසි පෙර සංඥාවන් හඳුනා ගෙන අර්බුදය වැලැක්වීමට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති බලධාරීන් අපොහොසත් වී ඇත.

මෙම සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ මැදි කාලීනව පොදු ජනතාවගේ ජීවන තත්ත්වයේ සහ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සහ නිෂ්පාදන සම්පත් සහ ආදායම්  සහ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආහාර වැනි මූලික මානව අවශ්‍යතා ඉටු වීම ජන සමාජය තුළ සාධාරණ ලෙස ව්‍යාප්ත විය යුතු ආකාරය හෝ ඒ සඳහා යොමු වූ ප්‍රතිපත්ති මෙවලම් පිළිබඳ ව අවධානය යොමු කිරීමක් දැකිය නොහැකිය. එසේම, මුලින් දැක්වූ සාර්ව ආර්ථික කළමනාකරණ ඉලක්ක ලඟා කර ගත් පමණින් මෙම පොදුජන ආර්ථික සංවර්ධනය ඇති වන බවට තහවුරුවක් දිය නොහැකිය. 

මෙම ඉලක්කයන් හුදෙක් සංඛ්‍යා දත්ත වන අතර ඒවා රාජ්‍ය නිලධාරීන් විසින් විවිධ උපකලපනයන් සහ දත්ත මුලාශ්‍රයන් මත ඇස්තමේන්තු කර ගනු ලැබේ. එබැවින්, එම සංඛ්‍යාවන් විවිධ අයුරින් ගැලපුම් කිරීම තුළින් ආර්ථිකයේ යහපත් ප්‍රවණතාවයන් හුවා දැක්වීම හරහා සාර්ව ආර්ථික කළමනාකරණය ඉතා විචක්ෂණශීලී බව පෙන්වීමට අදාළ අධිකාරීන් උත්සාහ කරන බව රහසක් නොවේ.

උදාහරණ ලෙස වර්තමානයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ මිල ගණන් ඉහළ යාම, ආදායම පහළ යාම, විරැකියාව ඉහළ යාම, දරිද්‍රතාවය  ඉහළ යාම අධික වුව ද, ඊට අදාළ රාජ්‍ය සංඛ්‍යාවන් තුළින් ඊට වඩා අඩු මට්ටම් පෙන්වීම දැකිය හැකිය. උදාහරණ ලෙස පසුගිය මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබූවේ උද්ධමනය ඉහළ යාම අඩු වීමත්, කෙටි කාලීන විදේශ ණය නොමැතිව අත්‍යාවශ්‍ය ආනයන සපයා ගැනීමට හැකි පරිදි ගෙවුම් ශේෂ තත්ත්වය යහපත් වීමත් සිදු වී ඇති බව යි. එය මහ බැංකු සංඛ්‍යාවන් සැකසීම තුළින් ප්‍රකාශ කළ අතර ඊට පොදු ජනතාවගේ වත්මන් ජීවන තත්ත්වය පිළිබඳ දත්ත පදනම් කර ගෙන නොමැත. ඊට හේතුව, වත්මන් ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති ඇගයීම සඳහා පොදුජන ජීවන තත්ත්වය පිළිබඳ දත්ත ආවේක්ෂණයක් නොමැති වීම යි.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා නූතන මූල්‍ය න්‍යාය දර්ශනය කුමක් ද?

නූතන මූල්‍ය න්‍යායෙන් දැක්වෙන්නේ සමස්ත පොදුජන ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම සඳහා මුදල් ප්‍රසාරණය හරහා උද්ධමනය ගැන බිය නොවී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව යි. මෙහිදී, ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය වෙයි නම් මුදල් ප්‍රසාරණය තුළින් උද්ධමනය හට ගැනීමේ බියක් නොමැති බැවින් රාජ්‍ය වියදම් ප්‍රසාරණය ගැටළුවක් නොවන බව දැක්වෙයි. නූතන මූල්‍ය න්‍යාය මතවාදයට අනුව ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීම සහ ආර්ථික ධාරිතාවය, වර්ධනය සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් ඍජු සහ කාර්යක්ෂම මෙවලම් පවතින්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ වන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තියේ පොලී අනුපාත මෙවලම අකාර්යක්ෂම එකකි.

එහෙත්, සම්මතවාදී මූල්‍ය න්‍යායෙන් දැක්වෙන්නේ මුදල් ප්‍රසාරණය නිරන්තරයෙන් උද්ධමනකාරී වන බැවින් මුදල් ප්‍රසාරණය පාලනය කළ යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය වියදම පාලනය කළ යුතු බවත් ය. මොවුන්ගේ මතය වන්නේ උද්ධමනය පහළ මට්ටමක පාලනය කිරීම තුළින් ආර්ථික සහ මිල ස්ථායිතාවය ඇති වී ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය සහ පොදුජන ජීවන තත්ත්වය මැදි හා දිගු කාලයේ දී ප්‍රවර්ධනය වන බව යි. එහෙත්, සැබෑ ලෝකයේ උද්ධමන පාලනය ද බදු, පාලන මිල ගණන් සහ නිෂ්පාදන සහ පාරිභෝගික සහනාධාර තුළින් කෙරෙන බව රහසක් නොවේ.

මූල්‍ය ප්‍රතිපත්තියට උද්ධමනය පාලනය කළ හැකි නම්, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා දශක හතරකට පසු මෙතරම් ඉහළ උද්ධමන මට්ටමකට පත් වීම ප්‍රශ්නකාරී වන අතර එය එක රැයකින් හෝ මාසයකින් සිදු වූ දෙයක් නොවේ. දියුණු රටවල මහ බැංකු විසින් පවසන්නේ කොරෝනා වසංගතයෙන් ආර්ථිකයන් නැවත ගොඩ ඒමේ දී හට ගත් මෙම උද්ධමනය ආරම්භයේ දී නිසි ලෙස හඳුනා නොගත් බව යි. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේ දී හට ගත හැකි උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා 2021 අගෝස්තු මාසයේ සිට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ ද, උද්ධමනය ඓතිහාසික ලෙස මේ වන විට 65% ඉක්මවා ඉහළ යාමෙන් මූල්‍ය ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බව පැහැදිලිය.

අතීතයේ සිට මෙතෙක් පැවති සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය වී ඇත්තේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය වෙන වෙනම ඒවාට අදාළ වූ විශේෂිත අරමුණු සහ ඉලක්ක සඳහා ක්‍රියාත්මක කිරීම යි. උදාහරණ ලෙස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අයවැය හිඟය සහ ණය ප්‍රතිශතය පිළිබඳ ඉලක්ක මත අත්‍යාවශ්‍ය පොදු මහජන සේවාවන් සහ ආර්ථික උත්තේජනයන් සැපයීම සඳහා යොමු වී ඇත. 

එහෙත්, මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය මුදල් සැපයුමේ සහ බැංකු ණය පරිමාවේ වර්ධන අනුපාතය, පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පිළිබඳ ඉලක්ක මත ආර්ථිකයේ පාරිභෝගික මිල උද්ධමනය පාලනය කිරීම සඳහා යොමු වී ඇත. එබැවින්, මෙම ප්‍රතිපත්ති දෙක අතර නිරන්තරයෙන් ගැටුම් හට ගැනීමෙන් පොදුජන ජීවිතයට අයහපත් ලෙස බලපාන බව දැකිය හැකිය. පසුගිය දිනවල කෝප් සභාවේ දී මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය විසින් කරන ලද ප්‍රකාශනයන්ගෙන් එය පැහැදිලි වෙයි.

එහෙත්, සැබෑ ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය තුළ සිදු වී ඇත්තේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය සැපයීම බව රහසක් නොවේ. උදාහරණ ලෙස වත්මන් මුදල් මුද්‍රණය ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා මහ බැංකුව විසින් රජයට ණය ලබා දීම මත පදනම් වී ඇත. එබැවින්, සැබෑ ලෝකයේ මූල්‍ය ප්‍රතිපත්තිය බොහෝ දුරට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර පොදුජන ප්‍රගතිය සඳහා ආර්ථිකය මෙහෙයවීම සහ උද්දීපනය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් සිදු වෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මූල්‍ය ප්‍රතිපත්තිය ද පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පාලනයට යටත් වූ කාර්යයකි.

එබැවින්, නූතන මූල්‍ය න්‍යාය මතවාදීන් විසින් දක්වන්නේ ආර්ථිකයේ පසුතල පහසුකම්, පරිසර, වන සහ පස රක්ෂණය, භූ දේශපාලනික ආරක්ෂාව, දිළිඳු සහන සහ විරැකියා ප්‍රතිලාභ යනාදිය සඳහා අවශ්‍ය රාජ්‍ය වියදම් මුදල් ප්‍රසාරණය තුළින් කිසි බියක් නොමැතිව පවත්වා ගැනීමෙන් සමාජ සංවර්ධනය ඉහළ යන අතර එමගින් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ යාම තුළින් උද්ධමන ගැටළුවක් නොමැති බව යි. එසේම, උද්ධමනකාරී අවස්ථාවල බදු ඉහළ දැමීමෙන් එය ඉක්මනින් පාලනය කළ හැකි බවත්, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ පොලී අනුපාතයන් ඉහළ දැමීම ආර්ථිකයේ වර්ධනයට පහරක් වන බැවින් උද්ධමනය පාලනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය අයෝග්‍ය බවත් ය.

එහෙත්, නූතන මූල්‍ය න්‍යාය අනුගමනය කිරීමෙන් ආර්ථිකයේ උද්ධමනය ඉහළ යන බවට සම්මත මූල්‍ය වාදීන් විසින් නිර්දය විවේචනයක් ඉදිරිපත් කෙරේ. මීට ප්‍රතිවිරුද්ධව, නුතන මූල්‍ය වාදීන් දක්වන්නේ වර්තමානයේ නිල නොවන ලෙස ක්‍රියාත්මක වන්නේ නූතන මූල්‍ය න්‍යාය හෙවත් මුදල් මුද්‍රණය සහ ප්‍රසාරණය හරහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ උද්ධමන පාලනය ක්‍රියාත්මක කරන බව යි. ඔවුන්ට අනුව, උද්ධමනය යනු පාරිභෝගික මිල හෝ ජීවන වියදම් දර්ශකය ඉහළ යාම නොව ආර්ථිකයේ ධාරිතා සැපයුම ඉක්මවා ඉල්ලුම ඉහළ යාමෙන් සිදු වන පොදු මිල මට්ටමේ ඉහළ යාම යි.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රාජ්‍ය අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම යෝග්‍ය ප්‍රතිපත්තියක් ද?

නැත. ඊට හේතුව, එමගින් වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ සාධක නිරාකරණයට හෝ අර්බුදය තුළින් හට ගෙන ඇති අධි උද්ධමනය, ආර්ථික සංකෝචනය, භාණ්ඩ හිඟය, විරැකියාව සහ දරිද්‍රතාවය විසඳීමට හැකියාවක් නොමැති බැවින් පොදුජන ජීවන තත්ත්වය නැවත නගා සිටු විය නොහැකි බැවිනි. ඉන් සැබැවින් සිදු වන්නේ ආර්ථික අර්බුදය තවත් ඉහළ ගොස් පොදුජන ජීවන තත්ත්වය තවත් පහළ යාමත්, ඉදිරි දශක කිහිපය පුරා ශ්‍රී ලංකාව දර්ද්‍රතාවයෙන් පෙළෙන රටක් බවට පත් වීමත් පමණි. ආනයන සහ විදේශ මුදල් පාලනය, පොලී අනුපාතයන් ඉහළ දැමීම, රාජ්‍ය වියදම් පහළ දැමීම වැනි දැඩි ප්‍රතිපත්ති මෙවලම් හේතු කොට ආර්ථික අර්බුදය තවත් උග්‍ර වූ බව පැහැදිලි ය.

ලෝක ආර්ථිකයෙන් සහ ප්‍රතිපත්ති සංකල්පවලින් මනාව පැහැදිලි වන්නේ ආර්ථික අර්බුදයක් පවතින විට රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම හෙවත් ප්‍රසාරණය කිරීම තුළින් වර්ෂ ගණනාවකින් පසුව ආර්ථිකය සහ පොදුජන ජීවිතය ක්‍රමයෙන් නැවත ගොඩ නැගෙන බව යි.

එහෙත්, දැනට අනුගමනය කෙරෙන ප්‍රතිපත්ති දැඩි කිරීම තුළින් ආර්ථිකයේ ඉදිරි ගොඩ ඒම සඳහා මහජනතාවගෙන් සහ වෙළෙඳපොළවලින් ඉටු විය යුතු කාර්ය භාරය සහ දායකත්වය පිළිබඳ ව තැකීමක් නොකොට රාජ්‍ය අධිකාරීන් විසින් ආර්ථික කළමනාකරණයේ දී භාවිතා කෙරෙන ආර්ථික ඉලක්ක සහ සංඛ්‍යාවන් සාධනීය කිරීම සඳහා යොමු වී ඇත. මීට උදාහරණ රාශියක් දැක්විය හැකිය.

  • පළමුව, ආනයන සිමා සහ තහනම් කිරීමේ අරමුණ වනුයේ ආර්ථිකයේ විදේශ ගෙවීම් අඩු කොට ගෙවුම් ශේෂ හිඟය පහළ දැමීම යි. අප්‍රේල් මස 12 දින රාජ්‍ය විදේශ ණය ගෙවීම අත්හිටුවනු ලැබුවේ ද ඒ සඳහා ය. විශාල වශයෙන් ආනයන සහ ණය ගෙවීම තහනම් කිරීම තුළින් විශාල වෙළෙඳ සහ ගෙවුම් ශේෂ අතිරික්තයක් ඉලක්කම්වලින් දක්වමින් ආර්ථිකය දැන් හොඳ බව ප්‍රකාශ කළ හැකිය. එහෙත්, ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය වෙනත් සියළුම රටවල මෙන් ආනයන සහ විදේශ ණය මත රඳා පවතින බැවින් ඒවා තහනම් කිරීම හේතු කොට ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය තවත් කඩා වැටෙන බව දැක්වීමට ආර්ථික න්‍යායන් සහ ඉලක්කම් අවශ්‍ය නොවේ. එබැවින්, මෙම අවස්ථාවේ කළ යුත්තේ ආනයන පවත්වා ගැනීමට සහ ඊට ගෙවීම් කිරීම සඳහා විදේශ මුදල් සහ ක්‍රමවේදයන් සොයා ගැනීමට පෞද්ගලික අංශයට නිදහස ලබා දීම යි. ඔවුන් විසින් තම ජාත්‍යන්තර වෙළෙඳ ක්‍රමෝපායන් හරහා විදේශ මුදල් සපයා ගැනීම සහ ගෙවීම් කොට තම ව්‍යාපාරයන් පවත්වා ගනු ඇත.

  • දෙවනුව, අපනයන ආදායම්වලින් කොටසක් අනිවාර්යයෙන් මහ බැංකුව වෙත විකිණිය යුතු බවටත්, ආනයන තහනම් කිරීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ මහ බැංකුවේ විදේශ සංචිතය ඉහළ දමා ආර්ථිකයේ ජාත්‍යන්තර මූල්‍ය ශක්තිය යහපත් වී ඇති බව ප්‍රකාශ කිරීම සඳහා ය. එහෙත්, එය මහජනතාව නොමඟ යැවීමක් වන්නේ, විදේශ සංචිතය දැඩි නීති තුළින් ජනිත කෙරෙන දෙයක් බැවිනි. එහෙත්, විදේශ සංචිතය සැබෑ ලෙස ඉහළ යා යුත්තේ ආර්ථිකයේ නිෂ්පාදනය සහ විදේශ වෙළෙඳාම ශක්තිමත් වීම තුළිනි. මෙහිදී, සේවා අපනයන කරුවන් වෙත එම නීතිය මෑත දී ඉවත් කොට, එය භාණ්ඩ අපනයන කරුවන් වෙත පමණක් අඛණ්ඩ ක්‍රියාත්මක කිරීමේ නෛතික සාධාරණත්වය කුමක් ද? යන්න ප්‍රශ්නයකි.

  • තෙවනුව, දැනට අඛණ්ඩව ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඓතිහාසික ලෙස ඉහළ දැමීම තුළින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කොට ඇත. මහ බැංකුව විසින් උද්ධමනය ලෙස හඳුන් වන්නේ ජීවන වියදම් දර්ශකයේ වාර්ෂික ප්‍රතිශතක වර්ධනය යි. එහි ඇතුලත් මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇත්තේ විදේශ මුදල් හිඟය හේතු කොට දැඩි ආනයන හිඟය සහ සීමාවන්, විනිමය අනුපාතය ඉහළ යාමෙන් ආනයන මිල ගණන් ඉහළ යාම, තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යාම සහ ආර්ථිකය සංකෝචනය තුළින් භාණ්ඩ සැපයුම් හිඟයක් හට ගැනීම යනාදිය යි. එබැවින්, එම හේතූන් පොලී අනුපාතයන් ඉහළ දැමීම මගින් නිවැරදි කළ නොහැකිය. එබැවින්, මිල ගණන් ඉහළ යාම සහ එමගින් ජීවන වියදම ඉහළ යාම පාලනය කිරීම සඳහා  කළ යුත්තේ ජීවන වියදම් දර්ශකයේ අඩංගු භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ දැමීම සඳහා අවශ්‍ය බදු පහළ දැමීම සහ නිෂ්පාදන සහනාධාර සහ පහසුකම් සැපයිම යි.

එහෙත්, පොලී අනුපාතයන් ඉහළ දැමීම මගින් කළ හැක්කේ නිෂ්පාදනය, ආදායම සහ සේවා නියුක්තිය තව තවත් කඩා දැමීම යි. උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය මගින් බලොරොත්තු වන්නේ ද එය යි. ඊට හේතුව, සම්මත මූල්‍ය න්‍යායට අනුව උද්ධමනය යනු මුදල් සැපයුම සහ සංසරණය ඉහළ යාම හේතු කොට ආර්ථිකයේ දැනට පවතින නිෂ්පාදන සැපයුම සඳහා අතිරික්ත ඉල්ලුමක් හට ගැනීමෙන් සිදු වන පොදු මිල මට්ටම ඉහළ යාම ලෙස සැලකීම යි. එබැවින්, උද්ධමනය පාලනය කිරීම පිණිස ආර්ථිකයේ පවතින අතිරික්ත ඉල්ලුම පහළ දැමීම සඳහා මුදල් සංසරණය අඩු කළ යුතු බවත්, ඒ සඳහා ණය පොලී අනුපාතයන් ඉහළ දැමිය යුතු බවත් සම්මත මූල්‍ය න්‍යායෙන් නිර්දේශ කෙරේ. මහ බැංකු අනුගමනය කරනු ලබන්නේ එම න්‍යාය යි.

එසේ කෙරෙන විට ණය මත රඳන ආර්ථිකයේ පරිභෝජනය සහ ආයෝජනය පහළ ගොස් නිෂ්පාදනය, ආදායම සහ සේවා නියුක්තිය පහළ යනු ඇත. එවිට, ව්‍යාපාරවල සහ මහජනයාගේ ආදායම පහළ යන බැවින් පරිභෝජනය සහ ආයෝජනය පහළ යනු ඇත. මෙය මුළින් දැක්වූ පරිදි ආදායම් ගුණක ක්‍රියාවලිය හරහා වට කිහිපයකින් ආර්ථිකයේ ආදායම සහ භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ යනු ඇත. ඒ අනුව, අතිරික්ත ඉල්ලුම පහළ යාමෙන් ආර්ථිකයේ සැපයුම සහ ඉල්ලුම සමතාවයකට පත් වීමේ දී මිල ගණන් ඉහළ යාම පාලනය වනු ඇත. 

එබැවින්, මෙම න්‍යායේ හරය වනුයේ මහජනතාව දුප්පත් කොට ඔවුන්ගේ භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ දැමීමෙන් ආර්ථිකයේ මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම යි. එබැවින්, මෙය අතිශය අමානුෂික රාජ්‍ය ප්‍රතිපත්තියකි. තවද, මෙම ප්‍රතිපත්තිය මගින් නිෂ්පාදනය ද වට කිහිපයකින් පහළ යන බැවින් දැනටම සංකෝචනය වී ඇති ආර්ථිකය මහා අවපාතයකට තල්ලු කරනු ඇත.

එහෙත්, මහ බැංකු විසින් පවසන්නේ එසේ ආර්ථිකයේ උද්ධමනය පාලනය කොට මිල ස්ථායිතාවයක් ඇති කිරීමෙන් ආර්ථිකය නැවත ස්ථායී ලෙස වර්ධනය වීමට අඩිතාලම දැමෙන බව යි. එසේ නොමැතිව, උද්ධමනය අධිඋද්ධමනයක් බවට පත් වුව හොත් ආයෝජනය සහ පරිභෝජනය කඩා වැටීමෙන් ආර්ථිකය කඩා වැටෙන බව දැක්වෙයි. එහෙත්, මෙම මතවාදය සැබෑ ලෝකයේ සනාථ කළ නොහැකි මතවාදයකි. මෙහිදී, නැගිය යුතු ප්‍රශ්නය වන්නේ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට හැකියාවක් පවතී නම්, උද්ධමනය මෙතරම් ඉහළ මට්ටමකට යන තෙක් මහ බැංකුව කුමක් කළා ද? ඒ සඳහා මහ බැංකු නිලධාරීන්ට නිසි දඩුවම් දීම කළ යුතු ද? යන්න යි.

ඉතා දියුණු මූල්‍ය වෙළෙඳපොළවල් සහ මූල්‍ය ප්‍රතිපත්ති සහිත සංවර්ධිත රටවල පවා මේ දිනවල උද්ධමනය දශක හතරක ඉහළම මට්ටමකට පැමිණ ඇති බැවින් මූල්‍ය න්‍යායේ දක්වන මතවාදය අනුව උද්ධමනය පාලනය කිරීමට මූල්‍ය ප්‍රතිපත්තියට  නොහැකි බවත්, එය නූතන මූල්‍ය න්‍යාය මත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් කළ යුතු බවත් පැහැදිලි ය. මෙහිදී, අවශ්‍ය වන්නේ අදාළ ප්‍රතිපත්ති අධිකාරීන් මහජනයාගේ මූලික ජීවන ගැටළු පිළිබඳ ව දැනුවත්ව සංවේදී වී තම අධිකාරී බලය අනුව තම පෞද්ගලික මතවාදයන්ගෙන් මිදී සත්‍යවාදීව නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යි.

මෙහිදී, රජය විසින් කළ යුත්තේ ආර්ථික අර්බුදය නිරාකරණය සඳහා වෙළෙඳපොළ බලවේගයන්ට හැකිතාක් සහාය දැක්වීම යි. ඊට හේතුව, මහජනයා විසින් නිරායාසයෙන් තම ප්‍රශ්නයන් සඳහා විසඳුම් සොයා ගන්නා බැවිනි. මෙහිදී, රජය විසින් වෙළෙඳපොළ තුළ පවතින ඒකාධිකාරී බලයන් පාලනය කොට තරගකාරිත්වය වර්ධනය තුළින් නව්‍ය ක්‍රියාකාරකම් ජනිත වීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතුය. ඊට හේතුව, එවැනි ඒකාධිකාරීන් විසින් අවස්ථාවාදී වීම හේතු කොට ආර්ථිකය ගොඩ ඒමට අපහසු වීම යි. එසේ නැතිව, මෙවැනි අර්බුදයකින් ආර්ථිකය සහ පොදුජනයා ගොඩ ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට තනිවම කළ නොහැකිය. එවැනි හැකියාවක් ඔවුන් වෙත පැවතියා නම් මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවනු ඇත.

පසුගිය දශකයක පමණ පැවති ආර්ථික කළමනාකරණ මොඩලය සහ සිදුවීම් දෙස බලන විට වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන වගකිව යුත්තා රජය හෝ රාජ්‍ය අයවැය නොව මහ බැංකුව යි. ඊට හේතු දෙකකි.

පළමුව, මෙම අර්බුදය විදේශ මුදල් සංචිතය, විනිමය අනුපාතය සහ රාජ්‍ය විදේශ ණය සේවාකරණය යන මහ බැංකුවේ වගකීම් ඉටු නොකිරීමේ ගැටළු මත හට ගෙන ඇති බැවිනි. වත්මන් මහ බැංකු අධිපති වරයා එම ක්ෂේත්‍රය භාර නියෝජ්‍ය අධිපති ලෙස එම ආර්ථික කළමනාකරණ මොඩලය ක්‍රියාත්මක කිරීමට දශක එක හමාරක පමණ කාලයක් තුළ ඉහළ මට්ටමින් දායක වී ඇත. එහෙත්, ඔහු දැන් සුදු පිරුවට ඇඳ පැළඳ ගෙන තමන් කිසිවක් නොදන්නා මෙන් මෙම ආර්ථික අර්බුදය විසඳීමට නව දර්ශනයක් සහිත එකම පුද්ගලයා ලෙස පෙනී සිටීම දැකිය හැකිය. එහෙත්, ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට වැර දරන දර්ශනය සහ ප්‍රතිපත්ති මෙවලම් පසුගිය දශකයේ වරින් වර භාවිතා කළ පැරණි ඒවා වෙයි. එහි නව ආර්ථික දර්ශනයක් නොමැත.

දෙවනුව, තමන් නව අධිපති පදවියට පත් වූ සතිය තුළ ම පොලී අනුපාතයන් ඉතා ඉහළ සංඛ්‍යාවකින් ඉහළ දැමීම සහ රාජ්‍ය විදේශ ණය පැහැර හැරීම තුළින් ආර්ථිකය තවත් කඩා වැටීමට මාවත විවර කරන ලදි. ඒ අනුව, ණය පොලී අනුපාතයන් 25-30% දක්වා ඉහළ යාම සහ ශ්‍රී ලංකාව කෙරෙහි ණය සහ ආයෝජන විශ්වාසය බිඳ වැටීම හේතු කොට ශ්‍රී ලංකා ආර්ථිකය තවත් කඩා වැටී ඇති බවට විවාදයක් නොමැත. වත්මන් උද්ධමනය ඉහළ යාමට ඉහළ පොලී අනුපාතයන් තුළින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ද, නිෂ්පාදනය/සැපයුම පහළ යාම ද හේතු වී ඇත. එහෙත්, ඔහු පවසන්නේ රජයේ සහ මහ බැංකුවේ ප්‍රතිපත්තිවල සාධනීය බලපෑම හේතු කොට ආර්ථිකය දැන් සුව අතට පත් වීමේ ලක්ෂණ පහළ වී ඇති බව යි.

එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා මන්ත්‍රීවරුන් සහ මහ බැංකු අධිපති වරයා අතර ඇති වන සංවාදයකින් කිසිම ඵලක් නොවනු ඇත. එහි එකම ඵලය විය හැක්කේ ආර්ථික මූලධර්ම සහ කළමනාකරණ ක්‍රමවේදය පිළිබඳ ව මන්ත්‍රීවරුන්ට දැනුමක් නොමැති බැවින් තමාට තනිවම ආර්ථික අර්බුදය විසඳීම අපහසු කාර්යක් බවට මහ බැංකු අධිපති විසින් තම සමාජ මාධ්‍ය ජාලය හරහා නව ප්‍රවෘතියක් මැවීම පමණි. සරල ව ගත හොත් වර්තමානයේ ගෝලීය ආර්ථිකය සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින අර්බුදය, අවපාතය, ප්‍රතිපත්ති සහ දේශපාලනික අස්ථායීතාවය දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථිකය 1970 දශකයට ආපසු ඇද වැටීමත්, ඉන් ගොඩ ඒමට නැවත දශක කිහිපයක් ගත විය හැකි බවත් නිසැක ය.

මහ බැංකු ඉල්ලා සිටින ස්වාධීනත්වය යථාර්තවාදී ඉල්ලීමක් ද?

නැත. ඊට හේතුව, මහ බැංකුව යනු රජයේ මුදල් මුද්‍රණාලය සහ මුදල් ක්‍රමය නියාමකයා වෙයි. එබැවින්, මහ බැංකුවට රජයේ ආරක්ෂාව සහ සහයෝගය නොමැතිව මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය නියාමනය කළ නොහැකිය. එය පහත දැක්වෙන මහ බැංකු ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වෙයි.

  • රජය වෙනුවෙන් රජයේ විශ්වාසය මත මුදල් නිකුත් කිරීම

  • රාජ්‍ය ණය සහ සුරැකුම්පත් මත මුදල් නිකුත් කිරීම

  • මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය ණය හෝ සුරැකුම්පත් මත රැඳීම
  • උද්ධමනය පාලනය රාජ්‍ය මූල්‍ය සහනයන් මත තීරණය වීම

  • රාජ්‍ය විදේශ ණය හරහා විදේශ සංචිතය ගොඩ නැගීම

  • මූල්‍ය අර්බුදයන් නිරාකරණයට රාජ්‍ය මූල්‍ය පැකේජයන් ලබා ගැනීම

  • ගෝලීය කොරෝනා වසංගතයේ ආර්ථික සහ මූල්‍ය අස්ථායීතාවය මර්ධනයට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති භාවිතා කිරීම

එබැවින්, ස්වාධීනත්වය ඉල්ලා සිටීම යනු මහ බැංකු නිලධාරීන් කිහිප දෙනෙකුට අභිමත ලෙස රාජ්‍ය මුදල් මුද්‍රණ යන්ත්‍රය භාවිතා කිරීමට කරන ඉල්ලීමක් වන අතර එමගින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දාක නොවනු ඇත. ඉන් සිදු වනුයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වී ආර්ථිකය තවත් අගාදයට යාම් පමණි. 

උදාහරණ ලෙස උද්ධමනය පාලනය සඳහා අනුගමනය කෙරෙන වත්මන් අත්තනෝමතික දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට රාජ්‍ය මූල්‍ය සහ පෞද්ගලික මූල්‍ය යන දෙඅන්ශයම බංකොලොත් වී ආර්ථිකය තවත් අර්බුදයට පත් වී ඇති ඇති බව රහසක් නොවේ. එහෙත්, මහ බැංකු අධිපති විසින් පවසන්නේ උද්ධමනය පහළ දමා ආර්ථිකයේ මිල ස්ථායීතාවය ඇති කිරීම සඳහා ආර්ථිකය තවත් සංකෝචනය කොට සමස්ත ඉල්ලුම පහළ දැමිය යුතු බව යි. මෑත මූල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ 2022 වර්ෂයේ ආර්ථිකය 8% ලෙස වැඩියෙන් සංකෝචන වීම වඩා වාසිදායක බවත්, එවිට ආර්ථිකය ඉක්මනින් නැවත වර්ධනය කළ හැකි බවත් ය. මෙය රාජ්‍ය පොදුජන ආර්ථික අරමුණු සමඟ දැඩි ගැටීමක් බව කිව හැකිය.

මහ බැංකු ස්වාධීනත්වය ඉල්ලන පිරිස් දක්වන්නේ මහ බැංකුව ස්වාධීනව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් මැදි හා දිගු කාලයේ දී ආර්ථිකයේ මිල ස්ථායීතාවය පවතින බැවින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට සහ ආර්ථික ක්‍රියාකාරිත්වයට හිතකර වන බව යි. එහෙත්, ලෝකයේ කිසිම රටක එවැනි මිල ස්ථායීතාවයක් නොමැති බැවින් එය හුදෙක් පදනම් විරහිත මතවාදයක් බවට විවාදයක් නොමැත. මෙහි ගැටළුව වන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් මැදි හා දිගු කාලයේ දී ආර්ථිකයේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය හිඟය සහ ණය පාලනය කරන ලෙස මහ බැංකු විසින් රජයට බල කරන බැවිනි. එහෙත්, එවැනි පාලනයක දී මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවකාශයක් ද නොමැති වන බව ඉහතින් දක්වා ඇත.

එහෙත්, උද්ධමනය පවතින විට ඒ පිළිබඳ ව මහ බැංකුව විසින් රාජ්‍ය අයවැය හිඟයට සහ ණයට දොස් පවරන අතර උද්ධමනය පහළ යන විට එය මහ බැංකුවේ විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් බවට උදම් ඇනීම දැකිය හැකිය. එහෙත්, මූල්‍ය ප්‍රතිපත්තිය විචක්ෂණකාරී නම් රාජ්‍ය අයවැය හිඟය සහ ණය ඉහළ ගිය ද උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට හැකි විය යුතුය. එය කළ නොහැකි වන්නේ උද්ධමනය හෝ පොදු මිල මට්ටම යනු මූල්‍ය ප්‍රතිපත්තියෙන් බාහිරව ක්‍රියාශීලී ආර්ථිකය තුළ වෙළෙඳපොළ පද්ධතිය මගින් තීරණය වන තත්ත්වයක් වන බැවිනි.

වත්මන් ආර්ථික සංවාදයක දී කතිකා කළ යුතු කරුණු

ඉහත දැක්වූ කෙටි ඉදිරිපත් කිරීම දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ඕනෑම සංවාදයක දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් දැක්විය හැකිය.

  • මේ දක්වා ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ ස්වරුපය කුමක් ද? ඊට දායක වූ ඍජු සාධක මොනවා ද?

  • එය වැලක්වීමට අසමත් වූ රාජ්‍ය අධිකාරින් කවරහු ද? ඔවුන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?

  • අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු නව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය කුමක් ද?

  • අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු නව කෙටි කාලීන සහ දිගු කාලීන රාජ්‍ය ප්‍රතිපත්ති මෙවලම් මොනවා ද? ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් කවරහු ද?

  • අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු කාල රාමුව කුමක් ද?


 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

 

 

 

Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

මහ බැංකු අධිපතිගේ නව අවුරුදු පරාටේ අඬහැරය - බැංකු විෂය නොදැනීමේ ප්‍රතිඵලයක් ද?