බටහිරට IMF එකට ගැති වී ආර්ථිකය බංකොලොත් කළ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය. ආර්ථිකය නැවත ගොඩ නැගීමට හැකි Monetary System Change එකක් කරමු.



මුදල් මණ්ඩලය විසින් පසුගිය 6 දින මහ බැංකු පොලී අනුපාතයන් 1% කින් ඉහළ දමන ලදිඑනම් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතය 14.5% සහ නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතය 15.5% දක්වා. මෙසේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම 2021 අගෝස්තු මස 19 දින ඇරඹුන අතර ඒ අනුව මේ දක්වා මහ බැංකු පොලී අනුපාතයන් 4.5% සහ 5.5% සිට අවස්ථා 5 ක දී මුළු වශයෙන් 10% කින් ඉහළ දමා ඇත.

එසේමව්‍යවස්ථා සංචිත අනුපාතය ද 2% කින් 2021 අගෝස්තු මස 19 දින ඉහළ දැමීම තුළින් රුපියල් බිලියන 120 ක් පමණ දවරින් වර මහ බැංකු ප්‍රති මිල දී ගැනීම් සහ රාජ්‍ය සුරැකුම්පත් විකුණුම් ද හරහා මහ බැංකුව විසින් බැංකු පද්ධතියෙන් අරමුදල් අවශෝෂණය කර ගෙන ඇත. මෙසේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ අරමුණ වනුයේ බැංකු ණය සහ මුදල් සැපයුමේ වර්ධනය පහළ දැමීම තුළින් ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුමේ වර්ධනය පහළ හෙළා උද්ධමන වේගය පහළ දැමීම යි. 

ඊට හේතුවමුදල් ප්‍රමාණ වාදී සංකල්පය අනුව උද්ධමනය ඉහළ යාමට (එනම්ආර්ථිකයේ පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම) හේතුව ලෙස ණය සහ මුදල් සැපයුම ප්‍රසාරණය වීම තුළින් ආර්ථිකයේ සමස්ත සැපයුමට වඩා සමස්ත ඉල්ලුම ඉහළ යාම තුළින් අතිරික්ත ඉල්ලුමක් පැවතීම බව පිළි ගැනීම යි.

එහෙත්2021 අගෝස්තු මස සිට මූල්‍ය ප්‍රතිපත්තිය ඓතිහාසික ලෙස දැඩි කළ දඋද්ධමන වේගය ද ඓතිහාසික ලෙස ඉහළ යාම තුළින් එම සංකල්පය මෙම අවස්ථාවේ අයෝග්‍ය බව පැහැදිලිය. උදාහරණ ලෙස 2021 ජූලි මස සිට 2022 මැයි මස දක්වා මුදල් මුද්‍රණය (සංචිත මුදල්) 33% කින් දමුදල් සැපයුම (M2b) 15% කින් ද ඉහළ ගොස් ඇති අතර උද්ධමනය 2022 ජුනි මස අවසානය තෙක් 5.7% සිට 54.6% දක්වා ප්‍රතිශතක 48.9 කින් ඓතිහාසික ලෙස ඉහළ ගොස් ඇත.

එබැවින්මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය 7 දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති තීරණය පිළිබඳ දත්ත අනුව වත්මන් මූල්‍ය ප්‍රතිපත්තියේ අයෝග්‍ය භාවය මූලික කරුණු 09 ක් යටතේ ඉදිරිපත් කිරීම යි.

1. මූර්ත මුදල් සැපයුම පහළ යාම තුළින් එමගින් මිල දී ගත හැකි සමස්ත ඉල්ලුම්/වියදම් පරිමාව පහළ යාම

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ අරමුණ ලෙස උද්ධමනය ඉහළ යාමට හේතු වී ඇති ආර්ථිකයේ ඉල්ලුම් පීඩනය පහළ දැමීම දැක්වෙයි. එහෙත්2021 ජුලි මාසයේ (එනම්මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආරම්භ කිරීමට පෙර මාසය) සිට 2022 මැයි මාසය අවසානය දක්වා උද්ධමනය ඉහළ යාම හේතු කොට මුදල් සැපයුමේ මූර්ත වටිනාකම හෙවත් මුදල් සැපයුම මගින් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා පරිමාව 15.3% කින් පහළ ගොස් ඇත. ආර්ථිකයේ ඉල්ලුම් පරිමාව පිළිබඳ දත්ත මහ බැංකුව සතු නොවන බැවින් මුදල් සැපයුමේ මූර්ත වටිනාකම ඊට හොඳ විකල්ප දත්තයකි. ඒ අනුවඉහත කාලය තුළ ආර්ථිකයේ ඉල්ලුම් පීඩනය මෙන්ම ඉල්ලුම් පරිමාව ද පහළ ගොස් ඇත.

2022 මාර්තු මස 7 දින සිට විනිමය අනුපාතයේ අධි අවප්‍රමාණය (80% ක පමණ) හේතු කොට ඇති වූ විදේශ මුදල් තැන්පතුවල රුපියල් වටිනාකම ඉහළ යාම ඉවත් කළ විට මූර්ත මුදල් සැපයුමේ පහළ යාම තවත් ඉහළ යනු ඇත. එසේමමුදල් සැපයුමේ ප්‍රධාන මූලය වන දේශීය ණය ප්‍රමාණයේ මූර්ත වටිනාකම ද මෙම කාලය තුළ 12% කින් පමණ පහළ ගොස් ඇත. 

බැංකු ණයවල අඩංගු විදේශ මුදල් ණය පරිමාව කෙරෙහි විනිමය අනුපාත අවප්‍රමාණයේ බලපෑම සහ බැංකු ණයවල පවතින අක්‍රිය ණය ඉවත් කළ විටමූර්ත ණය පරිමාව තවත් පහළ යනු ඇත. එම බලපෑම ඉවත් කළ හොත් නාමික මුදල් සැපයුමේ වර්ධනය ශුන්‍යයට ආසන්න වනු ඇත. එබැවින්ආර්ථිකයේ ඉල්ලුම් පීඩනයක් සහ එමගින් ඉල්ලුමෙන් ඇදුනු උද්ධමන පීඩනයක් ඇති බව දැක්වීම සාවද්‍ය වෙයි.

එසේමඋග්‍ර ඉන්ධන සහ විදේශ මුදල් හිඟය හේතු කොට ආර්ථිකය කඩා වැටීම තුළින් රැකියා මාර්ගයන් සහ ආදායම් අහිමි වීම සහ ඉතුරුම්වල මූර්ත වටිනාකම අධික ලෙස පහළ යාම දෙස බලන විට ආර්ථිකයේ ඉල්ලුම් පීඩනයක් පවතින බව මහ බැංකුව විසින් ප්‍රකාශ කිරීම හාස්‍ය ජනක වෙයි.

2. කඩා වැටෙන ආර්ථිකය මුහුණ දෙන උග්‍ර අරමුදල් හිඟයට මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය වග කිව යුතු බව

ආර්ථිකයට යෝග්‍ය පරිදි මූල්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම ඕනෑම මහ බැංකුවක ප්‍රාථමික වගකීමකි. එහෙත්මහ බැංකු අධිපති විසින් මූල්‍ය ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරනු ලැබුවේ තෙල් සංස්ථාවට තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් කෙසේ හෝ සොයා ගත්ත දඑම ඩොලර් මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මුදල් සපයා ගැනීම ගැටළුවක් බව යි. මෙය නව අදහසක් නොව මීට දින කිහිපකට පෙර ප්‍රථම වරට අගමැති වරයා විසින් කරන ලද ප්‍රකාශයකි. 

මේ දිනවල තෙල් ආනයනය ආර්ථිකයේ හදවත බඳු වන බැවින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සහ රාජ්‍ය බැංකු පද්ධතියේ මුලස්ථානය තෙල් සංස්ථාවට හිමි වී ඇත. එහෙත්ඉඳ හිට එන තෙල් නැවුවලට ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් අරමුදල් රාජ්‍ය බැංකු පද්ධතියට සපයා ගැනීමට අපහසු වීම තුළින් ආර්ථිකය මුහුණ දෙන දැඩි අරමුදල් හිඟය පෙන්වයි. මෙයට මූලික හේතුව වනුයේ ආර්ථිකය බිඳ වැටෙමින් පවතිද් දී මහ බැංකුව විසින් 2021 අගෝස්තු මස මැද සිට මූල්‍ය ප්‍රතිපත්තිය ඓතිහාසික වේගයෙන් දැඩි කිරීම බව ආර්ථික විද්‍යා සිසුන්ට පවා වැටහෙන සාමාන්‍ය ආර්ථික කරුණකි.

මහ බැංකුව විසින් ස්වාධීනව ක්‍රියා කළ දමෙම තෙල් ආනයනය මුහුණ අරමුදල් හිඟය පියවීමට රජයට අවශ්‍ය අරමුදල් මුදල් මුද්‍රණය තුළින් සපයා දීමට සිදු වන බව ද, මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරන ලදි. එය මූල්‍ය ප්‍රතිපත්ති විරෝධී ප්‍රකාශයකි. ඊට හේතු කිහිපයකි. 

  • පළමුවමහ බැංකුව ස්වාධීන නම් එවැනි ශුද්‍ර ආර්ථික ගනුදෙනු පියවීමට රජය ඉල්ලා සිටින පරිදි මුදල් මුද්‍රණය නොකරනු ඇත. 

  • දෙවනුවවත්මන් මූල්‍ය ප්‍රතිපත්ති මොඩලය අනුව මූල්‍ය ප්‍රතිපත්තියේ දී සාර්ව ඉල්ලුමේ මට්ටම සහ දිසාව සලකා බලන අතර ඉල්ලුම තුළ අඩංගු අංශ හෝ ඒකකයන් කෙරෙහි මූල්‍ය ප්‍රතිපත්තියෙන් ඇති කෙරෙන බලපෑම පිළිබඳ ව වෙන වෙනම අවධානය යොමු නොකරනු ඇත. එබැවින්මූල්‍ය ප්‍රතිපත්තිය මොට මෙවලමක් (Blunt Instrument) ලෙස හැඳින් වෙයි. 

  • තෙවනුවරාජ්‍ය මූල්‍ය විෂයන් පිළිබඳ ව සලකා බැලීම මූල්‍ය ප්‍රතිපත්තියට අයත් කරුණක් නොවන අතර ඒ සඳහා බදුවියදම් සහ ණය වැනි රාජ්‍ය මූල්‍ය බලතල/මෙවලම් රජයන් වෙත පවතී. එබැවින්මූල්‍ය ප්‍රතිපත්තියට උපකාරී වන ලෙස රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමත්, ආර්ථික පිඩනයට පත් වන සමාජීය කොටස් වෙත සුභසාධන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමත් කරන ලෙස මහ බැංකුව විසින් රජයෙන් ඉල්ලා සිටීම තම මූල්‍ය ප්‍රතිපත්ති කාර්යයෙන් බැහැර යාමකි. 
එබැවින්මහ බැංකුවට ස්වාධීනව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් හෝ දැනුමක් නොමැති බව පැහැදිලි ය.

3. ගෝලීය සහ විදේශීය අංශය කෙරෙහි වත්මන් මූල්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ බලපෑමක් නොමැති වීම

පසුගිය මූල්‍ය ප්‍රතිපත්ති පුවත්පත් නිවේදනයේ මුදල් මණ්ඩලය විසින් ගෝලීය සහ ආර්ථිකයේ විදේශීය අංශයයෙහි ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන මූල්‍ය ප්‍රතිපත්ති තීරණය ගත් බව දැක්වෙයි. එහෙත්ආර්ථිකයේ පවතින වත්මන් අර්බුදය දෙස බලන විට ගෝලීය ආර්ථිකයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට කිසිම දායකත්වයක් බලපොරොත්තු විය නොහැකි බවත්මූල්‍ය ප්‍රතිපත්තියෙන් ඊට කිසිම පිටිවහලක් නොලැබෙන බවත් කිව හැකිය. ඊට හේතු කිහිපයකි.

  • පළමුවමහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම තුළින් ගෝලීය ආර්ථිකයෙන් වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකයට වාසි ලැබීමට නම් ඉහළ පොලී අනුපාතයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන ඉහළ යා යුතු අතර විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණය (පහළ යාම) විය යුතුය. එහෙත්මහ බැංකුව විසින් රාජ්‍ය විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බැවින් බංකොලොත් භාවය පත් වී ඇති ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන කිසිවක් නොලැබෙන බව කිව යුතු නොවේ. එසේමබැංකු පද්ධතිය මුහුණ දෙන උග්‍ර විදේශ විනිමය හිඟය සහ මහ බැංකුව විසින් විධානයක් තුළින් විනිමය අනුපාතය අධි අගයක ස්ථාවර පවත්වා ගෙන යන බැවින් නිල විනිමය වෙළෙඳපොළක් නොමැති වීම සහ ආර්ථිකය මුහුණ දෙන උග්‍ර ගෙවුම් ශේෂ හිඟය හේතු කොට විනිමය අනුපාතය පහළ යාමක් සිදු නොවේ. මහ බැංකු විධානයන් මගින් එසේ විනිමය අනුපාතය පහළ දැමුව දඋග්‍ර ගෙවුම් විදේශ මුදල් හිඟය හේතු කොට ආනයන මිල ගණන් පහළ ගොස් උද්ධමනය පහළ යාමට හැකියාවක් නොමැත.

  • දෙවනුවවත්මන් අර්බුදය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීය ආර්ථිකයෙන් හුදකලා වී ඇති බැවින් ගෝලීය ආර්ථිකයේ බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැත. 

  • තෙවනුවශ්‍රී ලංකා ආර්ථිකයට අත්‍යවශ්‍ය තෙල් සහ ඖෂධ ආනයන අවම මට්ටමෙන් පවත්වා ගෙන යනු ලබන්නේ ඉන්දියාවෙන් ලැබෙන භාණ්ඩ ණය සහ විදේශ මූල්‍ය ආයතනවලින් ලැබෙන ආධාර මත ය. මහ බැංකුව විසින් ද ලෝක වාසීන් ගෙන් විදේශ මුදල් ආධාර යදිමින් පසු වෙයි.

එබැවින්මුදල් මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රතිපත්ති තීරණය ගැනීමේ දී ගෝලීය ආර්ථික සාධක සැලකිල්ලට ගත් බව පැවසීම හුදෙක් මහ බැංකු විසින් සාමාන්‍යයෙන් කරනු ලබන ප්‍රකාශනයක් එලෙසම කිරීමකි.

4. මෙවර 1% කින් පොලී අනුපාතය ඉහළ දැමීම ආර්ථික වශයෙන් සාධාරණිකරණය කළ නොහැකි වීම

2022 මාර්තු මස උද්ධමනය 18.7% ක් වූ අතර එය ඉදිරියේ දී 30% දක්වා ඉහළ යනු ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කරමින් අප්‍රේල් 8 දින මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ දමන ලදි. එහෙත්ජුනි මස උද්ධමනය 54.6% දක්වා මාර්තු මස සිට තවත් ප්‍රතිශතක 35.9 කින් ඉහළ ගොස් ඇති අතර එය ඉදිරියේ දී 90% දක්වා ඉහළ යන බවටත් ප්‍රකාශ කළ දමහ බැංකුව විසින් මෙවර පොලී අනුපාතය ඉහළ දමා ඇත්තේ 1% කින් පමණි. 

එබැවින්මාර්තු මස සිට ආර්ථිකය තවත් කඩා ඇති විටක එසේ පොලී අනුපාතය 1% කින් මෙවර ඉහළ දැමීමේ ආර්ථික පදනම කුමක් දයන්න සනාථ කළ නොහැකිය. ඒ සඳහා කිසිම ආර්ථික මූල ධර්මයක් මහ බැංකුව වෙත නොමැති අතර පොලී අනුපාතය තීරණය කිරීම හුදෙක් පදනමකින් තොර අභිමත ක්‍රියාවකි.

වත්මන් මහ බැංකු අධිපති විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස එවක ක්‍රියාත්මක කළ මූල්‍ය ප්‍රතිපත්තියේ පදනම ප්‍රශ්න කිරීම සඳහා මා විසින් 2018 ඔක්තෝබර් මස පළ කරන ලද ලිපියට පිළිතුරු ලෙස 2018 ඔක්තෝබර් මස 12 දින මහ බැංකු පුවත්පත් නිවේදනයක් මගින් දැක්වූයේ මහ බැංකුවේ සාර්ව ආර්ථික ආකෘති සහ පුරෝකථනයේ (Macroeconomic Modelling and Forecasting) සැලකිය යුතු දියුණුව තුළින් මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සාක්ෂි සහ අනාගත දැක්මක් මත කිරීමටත් (Process of Monetary Policy Decision-making Evidence based and Forward Looking)එමගින් නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ මූල්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යුගයකට සංක්‍රාන්ති වීමේ සැලකිය යුතු දියුණුවක් අත් කර ගැනීමට හැකි වී ඇති බවත් ය.

මෙහිදීකිව යුත්තේ මහ බැංකුව විසින් එසේ සාර්ව ආර්ථික ආකෘති මත කෙරෙන පුරෝකථන ක්‍රමයක් තුළ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ මූල්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කොට ඇත්නම්මෙසේ ආර්ථිකය ලෝකයේ අධි උද්ධමන රටක් වී ආර්ථිකය බංකොලොත් වීමට හැකියාවක් නොමැති අතර එවැනි තත්ත්වයක් තුළ මෙවර පොලී අනුපාතය 1% කින් පමණක් ඉහළ දැමීම මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන ආකෘතිය තුළින් සනාථ කළ නොහැකි බවයි. 

2022 මාර්තු මස උද්ධමනය 18.7% ක් සමඟ 30% කට ඉහළ යාමේ පුරෝකථනයක් පවතින විට මහ බැංකු පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමුවා නම්, ජුනි මස උද්ධමනය 54.6% ක් සමඟ 90% කට ඉහළ යාමේ පුරෝකථනයක් පවතින විට, එසේ අධික ලෙස ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු පොලී අනුපාතයන් අඩුම වශයෙන් 25% කින් ඉහළ දැමුවා නම් මූල්‍ය ප්‍රතිපත්ති ආකෘතිය තුළ පොලී අනුපාත සහ උද්ධමන ඉලක්කම් සාධාරණීකරණය කළ හැකිය.

උදාහරණ ලෙස සිම්බාබ්වේ උද්ධමනය අප්‍රේල් මස 96.4% සිට මැයි මස 131.7% දක්වා ඉහළ ගිය විට, සිම්බාබ්වේ මහ බැංකුව විසින් පසුගිය ජුනි 27 දින තම පොලී අනුපාතය 80% සිට 200% දක්වා 120% කින් ඉහළ දැමීම දැක්විය හැකිය. එබැවින්, ශ්‍රී ලංකාව ද ඉදිරියේ දී සිම්බාබ්වේ උද්ධමන මට්ටම දෙසට පිය නගන බැවින් වත්මන් උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට ද තම පොලී අනුපාතයන් සිම්බාබ්වේ මට්ටමට ඉහළ දැමීමට සිදු වනු ඇත.

මහ බැංකු පුවත්පත් නිවේදනයේ උද්ධමනය පිළිබඳ ව පුරෝකතනයක් ඉදිරිපත් කොට ඇති අතර එහි කිසිම වගකීමක් හෝ පොරොන්දුවක් නොමැති බව දක්වා තිබීමෙන් මහ බැංකුව විසින් එය කිසිම අරමුණක් නැතිව ඉදිරිපත් කොට ඇති බවත්මහ බැංකුවේ මහජන වගකීම කුමක් දයන්නත් ප්‍රශ්න කළ යුතුය. එසේමඑම පුරෝකතනයේ 2023 වර්ෂය අවසානයේ සිට උද්ධමනය ඍණ හෙවත් පොදු මිල මට්ටම පහළ යා හැකි බව දැක්වෙයි. ඉදිරියේ දී 90% කට ඉහළ නගින බවට මහ බැංකු අධිපති විසින් දක්වන උද්ධමනයඑසේ වර්ෂයක් තුළ ඍණ වන බව මහ පාරේ සිටින හිඟන මිනිසකු පවා විශ්වාස නොකරනු ඇත. එබැවින්මහ බැංකුව විසින් නිරන්තරයෙන් අර්ථ රහිත නිල ප්‍රකාශනයන් කෙරෙන බව දැකිය හැකිය.

මූල්‍ය ප්‍රතිපත්ති තීරණ සඳහා මුලින් දැක්වූ මහ බැංකු සාර්ව ආර්ථික පුරෝකතන ආකෘතියේ සාර්ථකත්වයක් නොමැති බව මෙයින් හොඳින් පෙනේ. මහ බැංකුවේ වසර 35 ක සේවා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ වෙනත් මහ බැංකුවක මම දන්නා පරිදි මූල්‍ය ප්‍රතිපත්ති තීරණ සඳහා භාවිතා කෙරෙන එවැනි සාර්ව ආර්ථික පුරෝකතන ආකෘතියක් නොමැත. එහෙත්කිසි ඵලක් නොමැති ආර්ථික ආකෘති ඕනෑ තරම් මහ බැංකුවල දැකිය හැකිය.

5. ඉහළ පොලී අනුපාතයන් සහ බැංකු පද්ධතියේ අරමුදල් හිඟය හේතු කොට රජය සක්විති වැනි පොන්සි ව්‍යාපාරයක් බවට පත් වී රාජ්‍ය දේශීය ණය ද පැහැර හැරීමට ලක් වීමේ අවදානම

මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ පොලී අනුපාතය වෙනස් කිරීම මූලික වශයෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් වෙනස් වීම හරහා ආර්ථිකයට සම්ප්‍රේෂණය වීම දැකිය හැකිය. ඒ අනුව2021 අගෝස්තු මැද සිට පොලී අනුපාතයන් ඉහළ දැමීම හේතු කොට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පොලී අනුපාතයන් ජූලි 6 දින (මෙවර මහ බැංකු පොලී අනුපාතය ඉහළ දැමීමට මද වෙලාවකට පෙර) වන විට 28% පමණ දක්වා 23% කින් පමණ ඉහළ ගොස් ඇත. 

ඉන් ප්‍රතිශතක 13 ක් පමණ අප්‍රේල් 8 දින 7% කින්  පොලී අනුපාතය ඉහළ දැමීම හේතු කොට සිදු වී ඇත. මෙවර පොලී අනුපාතය ඉහළ දැමීමේ බලපෑම එකතු වන විට ඉදිරි සතිවල එය තවත් ඉහළ යනු ඇත. මෙම කාලය තුළ රජය විසින් වෙන්දේසි හරහා භාණ්ඩාගාර බිල්පත්වලින් පමණක් රුපියල් බිලියන 2,834 ක් පමණ රැස් කර ගෙන ඇති අතර ඉන් 34% ක්එනම් රුපියල් බිලියන 958 ක් පමණඅප්‍රේල් 8 දිනෙන් පසු පැවති වෙන්දේසිවලින් ඉතා ඉහළ පොලී අනුපාතයන් යටතේ රැස් කර ගෙන ඇත.

2015-17 කාලයේ වත්මන් මහ බැංකු අධිපති එවක මූල්‍ය ප්‍රතිපත්ති නියෝජ්‍ය අධිපති ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය හරහා පොලී අනුපාතයන් ඉහළ දැමීම හේතු කොට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ඉහළ ගිය විටඑය පුද්ගලික නිකුතූන් අත්හිටුවා ප්‍රසිද්ධ වෙන්දේසි හරහා ණය ලබා ගැනීම හේතු කොට සිදු වූ බවට ඔහු විසින් චෝදනා කළ අතර එය බොහෝ දේශපාලනික පිරිස් විසින් රටපුරා ප්‍රසිද්ධ කරන ලදි. 

එකල මහ බැංකු පොලී අනුපාතයන් 2.25% කින් පමණ දව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 1.5% කින් පමණ ද ඉහළ දැමු අතර ඊට සමගාමීව භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයන් 8%-10% දක්වා 2%-3% කින් පමණ දභාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාතයන්  10%-14% දක්වා 2%-4% කින් පමණ ද ඉහළ යන ලදි. එබැවින්වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම ආශ්‍රිතව රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ඉහළ යාමේ වේගයට සාපේක්ෂව එවක රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතයන් ඉහළ යාම සහ රාජ්‍ය අරමුදල් පිරිවැය ඉහළ යාම ඉතා සුළු මට්ටමක වූ බව ඉතා පැහැදිලිය.

සාමාන්‍යයෙන් රජය විසින් ණය සේවාකරණය ද නව ණය ගැනීම (ණය පෙරලීම) හරහා සිදු කරන බැවින් මෙසේ නව ණය ගැනීමේ පිරිවැය ඉහළ යාම යනු එම ප්‍රමාණයෙන් ණය බර ද ඉහළ යාමකි. එය මේ දක්වා 23% කි. එබැවින්ඊට සරිලන ලෙස බදු ඉහළ දැමීමක් සිදු නොවුව හොත් දේශීය රාජ්‍ය ණය පැහැර හැරීමක් ද ඉදිරියේ සිදු වීමේ අවදානම ඉතා ඉහළ වෙයි. වර්තමාන ආර්ථික අර්බුදය දෙස බලන විට රාජ්‍ය බදු ආදායම කඩා වැටී ඇති බව නොරහසකි. එබැවින්මෙම ඓතිහාසික මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය මුළු මනින් කඩා වැටී ඇති බව නොරහසකි.

6. ඉහළ පොලී අනුපාතයන් හේතු කොට පෞද්ගලික අංශය සහ බැංකු පද්ධතිය බංකොලොත් වීමේ අවදානම

සාමාන්‍යයෙන් රාජ්‍ය ණයවලට වඩා පෞද්ගලික ණය අවදානම ඉහළ බැවින් මෙම අවස්ථාවේ පවතින ආර්ථික අවදානම් තුළ පෞද්ගලික අංශයට බැංකු අංශයෙන් ණය ලබා ගැනීමට නොහැකි වීමෙන් ව්‍යාපාරයන් කඩා වැටීම මෙන්ම ණය පැහැර හැරීමෙන් බැංකු බංකොලොත් වීමේ අර්බුදයක් ද හට ගැනීමේ දැඩි අවදානමක් ඇත. ඊට හේතුවබැංකු පද්ධතිය යනු ආර්ථිකය යන කාසියේ එක පැත්තක් වන බැවිනි. 

බැංකු පද්ධතියේ හට ගෙන ඇති අරමුදල් හිඟය හේතු කොට අන්තර් බැංකු ණය වෙළෙඳපොළ ඉතා පහළ මට්ටමකට වැටී ඇති අතර දෛනිකව මහ බැංකුවෙන් රුපියල් බිලියන 700-750 ක් පමණ ණය ගැනීම මත ක්‍රියාත්මක වෙයි. එබැවින්මෙම මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ආර්ථිකය තවත් දේශීය සහ විදේශීය වශයෙන් කඩා වැටීම වැලැක්විය නොහැකිය.

7. ආර්ථිකයේ පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ ගිය ද උද්ධමනය තවත් ඉහළ යාම

ආර්ථිකයේ අධි ඉල්ලුම් පීඩනයක් පවතින බව පවසමින් ඉදිරියේ දී හට ගත හැකි උද්ධමන පීඩනය වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීම ආරම්භ කරනු ලැබුවේ 2021 අගෝස්තු මස 19 දින ය. එම අවස්ථාව වන විට උද්ධමනය 2021 ජනවාරි සිට ඉහළ ගොස් ඇත්තේ 3% සිට 6% දක්වා මහ බැංකු උද්ධමන ඉලක්කය (4%-6%) තුළ ය. එහෙත්මූල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව ඓතිහාසික ලෙස දැඩි කිරීම නොතකා උද්ධමනය ජුනි මාසය වන විට 54.6% ලෙස ලෝකයේ අධි උද්ධමන මට්ටමට පත් වී ඇත. 

දැනට පවතින රාජ්‍ය පාලන අර්බුදය දෙස බලන විට උද්ධමනය 2008 දශකය මැද භාගයේ දී සිම්බාබ්වේ රටේ හට ගත් පරිදි අධි උද්ධමන තත්ත්වයට පත් වී රුපියල් මුදල කඩා වැටීමේ හැකියාවක් ද පවතී. එබැවින්මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියට පාලනය කළ හැකි ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනයක් වත්මන් ශ්‍රී ලංකාවේ නොපවතින බව කිව හැකිය.

8. ගෝලීය මහ බැංකු විසින් අනුගමනය කරනු ලබන හෝකිෂ් (Hawkish) මූල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට නොගැලපීම

මූල්‍ය ප්‍රතිපත්ති පුවත්පත් නිවේදනයේ ලෝකය පුරා මහ බැංකු විසින් හෝකිෂ් මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව දක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව ද එය අනුගමනය කරන බව දැක්වීමකි. හෝකිෂ් මූල්‍ය ප්‍රතිපත්තිය යනු උද්ධමනය පහළ දැමීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ මතය යි. එය විශේෂයෙන් ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය ඉතා ශක්තිමත් වීමේ දී හට ගන්නා ආර්ථික උණුසුම තුළින් උද්ධමනය ඉහළ යන විට එම උද්ධමනය පහළ හෙළීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ මතය යි. 

එහෙත්ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික පසුබැස්මක් සහ අර්බුදයක් පවතින විට හෝකිෂ් මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව දැක්වීම හාස්‍ය ජනක ප්‍රකාශයක් වෙයි. එසේම, සංවර්ධිත රටවල සහ අනෙක් රටවල මහ බැංකු විසින් අනුගමනය කෙරෙන හෝකිෂ් මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට එම රටවල උද්ධමන පීඩනය පහළ යා හැකි බවට විශ්වාසයක් නොමැති අතර එමගින් ආර්ථිකයන් දැඩි පසුබෑමකට ලක් වන බවට විවාදයක් නොමැත. එබැවින්, මෙම හෝකිෂ් මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ශ්‍රී ලංකා ආර්ථිකය තවත් කඩා වැටෙන බවට සැකයක් නොමැත. ආර්ථිකය එසේ කඩා වැටීමෙන් ඉල්ලුම කඩා වැටී උද්ධමනය පහළ යා හැකි බව න්‍යායාත්මකව දැක්විය හැකි වුව ද, සිම්බාබ්වේ සහ වෙනිසියුලාව වැනි මෑත කාලයේ එසේ කඩා වැටි ඇති ආර්ථිකයන්ගේ උද්ධමනය ගෝලීය ආර්ථික ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පත් වී ඇත.

තව දමෙම මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇමෙරිකානු මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලබන තාක්ෂණික වචන රාශියක් දක්නට ලැබෙන අතර ඒවා ශ්‍රී ලංකා ආර්ථිකයට නොගැලපෙයි. සමස්තයක් ලෙස මෙම ප්‍රකාශනයේ අර්ථය සහ ගැලපුම එය කෙටුම්පත් කළ අයට ද නොතේරෙන බව කිව යුතුය.

9. මහ බැංකුව ස්වාධීනව ක්‍රියා කරමින් මුදල් මුද්‍රණය පහළ දමන බව ප්‍රකාශ කළ ද, වත්මන් මහ බැංකු අධිපති විසින් මුදල් මුද්‍රණය අඛණ්ඩව විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීම

නව මහ බැංකු අධිපති විසින් පසුගිය අප්‍රේල් මස 8 දින පැවසුවේ හිටපු මහ බැංකු අධිපති වරුන් දෙදෙනා විසින් තම විරෝධය නොතකා මුදල් මුද්‍රණය කිරීම හේතු කොට උද්ධමනය හට ගත් බවත්තමා විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ආයෝජන කළඹ අඩු කොට මුදල් මුද්‍රණය පහළ දමා උද්ධමනය පහළ දමන බව යි. එය අසත්‍ය ප්‍රකාශයක් බව දැන් හොඳටම පැහැදිලි ය.

ඊට හේතුවමූල්‍ය ප්‍රතිපත්තිය හරහා පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ දමා ආර්ථිකයේ අරමුදල් තත්ත්වය සිමා කළ දමහ බැංකුව විසින් මුදල් මුද්‍රණය තුළින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට තව තවත් ණය සැපයිම යි. මෙහිදීසතිපතා වෙන්දේසිවලට අමතරව භාණ්ඩාගාරය ඉල්ලා සිටින විට මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම හරහා මුදල් මුද්‍රණය කිරීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන ලදි. 

ඒ අනුවනව අධිපති විසින් පසුගිය 08 දින දක්වා තම නිල කාලය තුළ වෙන්දේසි ක්‍රමය යටතේ රුපියල් බිලියන 384.6 ක් දනව ක්‍රමය යටතේ රුපියල් බිලියන 336.7 ක් ද ලෙස රුපියල් බිලියන 720.9 ක් මුද්‍රණය කොට ඇත. එය 2021 අගෝස්තු මැද සිට භාණ්ඩාගාර බිල්පත් හරහා එසේ මුද්‍රණය කරන ලද මුළු ශුද්ධ මුදල් ප්‍රමාණය වූ රුපියල් බිලියන 1,396.2 න් 51.6% කි. එබැවින්වත්මන් මහ බැංකු අධිපති විසින් තමන්ගේ නිල ප්‍රකාශනයන් සහ මූල්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව මුදල් මුද්‍රණය කොට ඇත.

කෙටි නිගමනය

සමස්තයක් ලෙස ගත් විට ජුලි 7 දින මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්ති පුවත්පත් දැන්වීමේ අන්තර්ගතය දෙස බලන විට මහ බැංකුව විසින් මෙරටට නොගැලපෙන මූල්‍ය ප්‍රතිපත්තියක් කරන්නන් වාලේ කරන බව පැහැදිලි ය. ඊට ප්‍රධාන හේතුවවත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන උද්ධමනකාරී පීඩනය සංවර්ධිත රටවල මෙන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම මගින් පාලනය කොට පහත දැමිය හැකි උද්ධමනකාරී තත්ත්වයක් නොවන බැවිනි. වත්මන් ශ්‍රී ලංකා අධිඋද්ධමනකාරී තත්ත්වය මුදල් සැපයුම ඉහළ යාම තුළින් අධි අතිරික්ත ඉල්ලුමක් ජනිත වීම හරහා ඇති වූවක් නොවආර්ථිකයේ සැපයුම් අවහිරතාවන් හේතු කොට සැපයුම පහළ යාමෙන් හට ගෙන ඇති තත්ත්වයකි. එයට මූලයන් කිහිපයක් දායක වී ඇත.

  • පළමුවගෝලීය කොරෝනා අර්බුදයරුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සහ මෑත චීනයේ නැවත කොරෝනා වසංගතය හට ගැනීම සහ සමාජ අගුළු දැමීම් හේතු කොට හට ගෙන ඇති ගෝලීය සැපයුම් ජාල අවහිරයන් වෙනත් රටවලට මෙන් ශ්‍රී ලංකාවේ ආනයනඅපනයනවිදේශ ණය සහ ආයෝජන කෙරෙහි බලපෑම.

  • දෙවනුවමහ බැංකුවේ විදේශ මුදල් සංචිතය නිසි කළමනාකරණයක් සිදු නොවීම තුළින් සංචිතය කඩා වැටීම හේතු කොට අත්‍යාවශ්‍ය ආනයනවල උග්‍ර හිඟයක් හට ගැනීම තුළින් ආර්ථිකයේ සැපයුම් හිඟයක් හට ගැනීම. 

  • තෙවනුවමහ බැංකු විදේශ සංචිතය කඩා වැටීම සහ ඊට නිසි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම හේතු කොට විනිමය අනුපාතය මහ බැංකු පාලනයෙන් තොර වී එය මාර්තු 7 දින හදිසියේ පා කිරීම තුළින් 80% කින් පමණ අවප්‍රමාණය වීම් හරහා තෙල්ගෑස් සහ ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ආනයනවල දේශීය පිරිවැය සහ මිල ගණන් අධික ලෙස ඉහළ යාම සහ එය දේශීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වීම. 

  • සිවුවනුවමෑත දී බොහෝ පාරිභෝගික භාණ්ඩවල පැවති පාලන මිල ගණන් ඉවත් කිරීම නිසා විවෘත වෙළෙඳපොළ මිල ගණන් අධික ලෙස ඉහළ යාම. 

  • පස්වනුවරට තුළ පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදය හේතු කොට හට ගෙන ඇති දැඩි අස්ථායීතාවන් තුළ පාරිභෝගිකයන් සහ සැපයුම් කරුවන්ගේ අධික සමපේක්ෂිත හැසිරීම සහ ආර්ථික චකිතය.

එබැවින්, මහ බැංකුව විසින් වහාම සංවර්ධිත රටවල අනුගමනය කෙරෙන අන්තර් බැංකු එක් දින ණය පොලී අනුපාත සහ උද්ධමන ඉලක්කයන් මත පදනම් වී IMF නිර්දේශ මත ක්‍රියාත්මක කෙරෙන මෙම මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම වහාම අවලංගු කොට, මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව ආර්ථිකයේ විවිධ ප්‍රමුඛ අංශවලට මුදල් සහ ණය ව්‍යාප්ත කොට ආර්ථිකය නැවත ගොඩ ගැනීමට අවශ්‍ය වන පරිදි නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනු ඇත. ඒ සඳහා, මහ බැංකු පොලී අනුපාතය වහාම 5% මට්ටමකට පහළ හෙළා නිෂ්පාදන ණය ව්‍යාප්තියට ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය යආර්ථිකය කඩා වැටී ඇති කාලවල අවශ්‍ය වන්නේ එවැනි ළිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් මිස ආර්ථික උණුසුම් කාලවල අනුගමනය කෙරෙන දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් නොවේ.

එය කළ යුත්තේ පුළුල් සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි යොමු වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට ඒකාබද්ධ වූ නව මූල්‍ය ප්‍රතිපත්තියක් තුළිනි. රටට දැන් අවශ්‍ය වන්නේ රජයට සහ මහජනයාට වගකීමක් නොමැතිව පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සංකල්පයන් මත බටහිර ආරට ස්වාධීනව මුදල් මුද්‍රණය කෙරෙන මහ බැංකුවක් නොව, ඉහත යෝජනා කළ පරිදි දේශීය ආර්ථිකයට යෝග්‍ය ලෙස ණය සහ මුදල් ප්‍රවාහය හසුරුවන Monetary System Change එකකි. වත්මන් ශ්‍රී ලංකාව මුදල් මත පදනම් වූ ආර්ථිකයක් වන බැවින් රටේ ආර්ථික අංශයන්ට යෝග්‍ය පරිදි මූල්‍ය ප්‍රවාහය ව්‍යාප්ත කිරීමක් නොමැතිව පොදුජනයාට හිතකර සමාජ ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගත නොහැකිය.

එසේ නොවුව හොත්රජය සහ ආර්ථිකය උග්‍ර කඩා වැටීමකට ලක් වී මූලික මහජන අවශ්‍යතාවන් සැපයීම සඳහා විදේශ ණය සහ ආධාර දෙස බලා සිටීමෙන් ආර්ථිකය ඓතිහාසික උග්‍ර දරිද්‍රතාවයකට, සාගතයකටමන්දපෝෂණයකට හසු වී පොදුජනතාවට දශක ගණනකට නැවත හිස එසවීමට නොහැකි වනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකමහ බැංකු සහකාර අධිපතිමහ බැංකු මුදල් මණ්ඩල ලේකම්ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපතිශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)



Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි